Skip to content

පටුනට යන්න

ඇමසන් වනාන්තරයේ අසිරිය රැකීම

ඇමසන් වනාන්තරයේ අසිරිය රැකීම

ඇමසන් වනාන්තරයේ අසිරිය රැකීම

බ්‍රසීලයේ පිබිදෙව්! ලේඛක විසිනි

පසුගිය අනූව දශකය තුළ වාර්ෂිකව ස්වාභාවික වනාන්තරවලට අයත් බිම් පෙදෙස් අක්කර දශලක්ෂ ගණනකින් අඩු වූ බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය වාර්තා කළේය. ශීඝ්‍ර වන විනාශය නිසා බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තරයට අයත්, විශාල භූමි ප්‍රදේශයක් තණ පිට්ටනියක් බවට පත් වී තිබේ. එම භූමි ප්‍රමාණය ජර්මනියට වඩා විශාලය. අතුරු සිදුරු නොමැතිව ගස් වැල්වලින් සෑදුණු වන වියන අද දක්නට නැත. ඒ වෙනුවට වනාන්තරයේ ඇතැම් තැන්වල දක්නට තිබෙන්නේ තැනින් තැන වැවී තිබෙන වල් පැළෑටිවලින් වැසුණු ඉරි තැළී ගිය භූමිය හා දැඩි හිරු රශ්මියෙන් වේළී ඇති බිම හෙළන ලද ගස්වල මුලේ කඳ කොටස්ය.

වන විනාශය කෙළවරක් නොමැති සිදු වුවත්, නැවතත් නිල්වන් වනය අසිරිමත් එකක් වන බවට බලාපොරොත්තු තබාගත හැකි තත්වයක් උදා වී තිබේ. මන්දයත් කෘෂි වන වගාව කියා හඳුන්වන වැඩපිළිවෙළ මගින් සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන ඇත. එක් මූලාශ්‍රයක කෘෂි වන වගාව විස්තර කර තිබෙන්නේ “පරිසර පද්ධතියට හිතකර අයුරින් කෘෂි බෝග සමඟ ගස් වැල් හා තණ බිම් ඇති කිරීම” ලෙසය. කෘෂි වන වගාව ක්‍රියාත්මක වන්නේ කෙසේද? එමගින් ඉටු කරගෙන තිබෙන දේවල් මොනවාද? මෙම ක්‍රමය වනාන්තරවල අනාගතයට ඇති කරන බලපෑම කුමක්ද? මේ ගැන සොයාබැලීම සඳහා අපේ පිබිදෙව්! ලේඛකයා බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයට අයත් පළාතේ අගනගරය වන මනවුස්හි පිහිටි ජාතික ඇමසන් පර්යේෂණ ආයතනයට (INPA) ගියේය.

අසාර්ථක වෑයමක්

ඉහත සඳහන් කළ ආයතනයේ ශස්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන ලන්දේසි ජාතිකයෙකු වන ජොහැනස් වාන් ලූවාන් පසුගිය අවුරුදු 11 පුරා ඇමසන් වනයේ ගොවීන් සමඟ කටයුතු කරමින් සිට ඇත. ගොවීන් විශාල පිරිසක් මුලින්ම ඇමසන් වනාන්තරයට පැමිණීමට හේතු වූයේ කුමක්ද? මධ්‍යම හා දකුණු බ්‍රසීලයේ ගොවිතැන විශාල වශයෙන් යාන්ත්‍රීකරණයට ලක්වීම නිසා සුළු පරිමාණයෙන් වගා කරන ගොවීන්ට ඔවුන්ගේ වගාබිම් හා ජීවනෝපාය අහිමි විය. මේ නිසා ඔවුන්ට වෙනත් ප්‍රදේශ සොයා යන්නට සිදු විය. මළු සෑදීම සඳහා යොදාගැනෙන ඇමසන් වනයේ වැවෙන හණගස් වගා කරන ගොවීන්ගේද ජීවනෝපාය අහිමි විය. එයට හේතු වූයේ මිනිසුන් හණ මළු වෙනුවට ප්ලාස්ටික් මළු භාවිත කිරීමට පටන්ගැනීමය. නියඟයට ගොදුරු වූ බිම් පෙදෙස්වල වාසය කළ ගොවීන්ටද සාරවත් ප්‍රදේශ සොයා යෑමට සිදු විය. මේ සියලුදෙනාම ගියේ කොහේද? සාරවත් පසක්ද නිවාස සාදාගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය හා වෙනත් ප්‍රයෝජනද ඇමසන් වනයේ තිබෙන බව අසන්න ලැබුණු ඔවුහු මේ වැසි වනාන්තරයට ඇදෙන්න පටන්ගත්හ.

කෙසේවෙතත් ඔවුන් පදිංචි වූ ප්‍රදේශවල අධික වර්ෂාපතනයක් තිබිණ. වායුගෝලයේ තෙතමනය ඉහළය. දේශගුණය උණුසුම්ය. පසද නිසරුය. අවුරුදු දෙකත් හතරත් අතර කාලයකින් පස මුඩු විය. මේ නිසා මිනිසුන්ගේ දුගීබව තවත් වැඩි විය. බලාපොරොත්තු කඩ වූ මේ ගොවීන් මේ ප්‍රශ්නයට විසඳුම් සෙව්වේ වනාන්තර තව තවත් එළි කරමින් ගොවිබිම් ඇති කිරීමෙනි.

ඇමසන් වනාන්තරයේ විනාශයට ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේ සුළු පරිමාණයෙන් වගා කටයුතුවල නියැලෙන ගොවීන් නොවන බව ඇත්තය. විශාල හානියක් සිදු වී තිබෙන්නේ ගවයන් ඇති කරන විශාල ගොවිපොළවල්, කෘෂිකර්මය හා බැඳි ව්‍යාපාර, පතල් කැනීම, දැව ප්‍රවාහනය, ජලවිදුලි බලාගාර ඇති කිරීම යනාදිය නිසාය. එමෙන්ම වනාන්තරයට විශාල වශයෙන් පැමිණෙන ගොවීන්ද ඔවුන් කරන හේන් ගොවිතැනද මේ වන විනාශයට බලපා තිබේ.

ආදිවැසියන්ගෙන් තොරතුරු දැනගැනීම

“මේ දුප්පත් ගොවීන් වනාන්තරයට සිදු කරන හානිය විශාල වුවත්, ඔවුන්ට ජීවත් වීමට සිදු වී තිබෙන්නේ මේ වනාන්තරයේමයි. ඔවුන්ට යන්න වෙන තැනක් නැහැ” කියා වාන් ලූවාන් පවසයි. “එනිසා වනාන්තරයට සිදු කරන හානිය අවම කරගනිමින් මේ භූමියෙන් නෙළාගන්න දෙයින් දිවි රැකගැනීමට අපි ඔවුන්ට උපකාර කළ යුතුයි” කියා ඔහු තවදුරටත් පවසයි. කෘෂි වන වගා වැඩසටහනක අවශ්‍යතාව මතු වී තිබෙන්නේ ඒ නිසාය. මෙම වැඩසටහන මගින් සිදු කෙරෙන්නේ පස නිසරු වීමට ඉඩ නොදී අවුරුදු ගණනාවක් එකම බිම් කොටසේ වගා කළ හැකි තත්වයක් ඇති කරගැනීම සඳහා ගොවීන්ව දැනුවත් කිරීමයි. පර්යේෂකයන් මෙම වැඩසටහනට ඇතුළත් කළ යුතු තොරතුරු ලබාගෙන තිබෙන්නේ කෙසේද?

ජාතික ඇමසන් පර්යේෂණ ආයතනය මගින් කෘෂි වන වගා වැඩසටහන ක්‍රියාත්මක කරන්න කලින්, අවුරුදු ගණනාවක් පුරා සමීක්ෂණ, ප්‍රශ්නාවලි ඇසුරෙන් තොරතුරු ලබාගැනීම, විවිධ ප්‍රදේශවලින් ලබාගත් ශාක හා පස් නියැදි පරීක්ෂා කිරීම යනාදිය සිදු කරන ලදි. බ්‍රසීලයේ ආදිවැසියන්ගෙන් වටිනා තොරතුරු රැසක් ලබාගත හැකි විය. තවද සුදු හා කළු ජාතිකයන් ඇතුළුව පරම්පරා කිහිපයකම සිට ඇමසන් ද්‍රෝණියේ ජනාවාස වී සිට ඇති අමෙරිකානු ආදිවැසියන්ගෙන් පැවතෙන වෙනත් අයගෙන්ද ප්‍රයෝජනවත් තොරතුරු ලබාගත හැකි විය.

දිගු කාලයක සිට ඇමසන් වනයේ ජීවත් වන මොවුන් ළඟ මේ වනාන්තරය ගැන තොරතුරු සම්භාරයක් තිබේ. මඩ පස, රතු මැටි පස, සුදු මැටි පස, බොරලු පස සහ වැලි හා මැටි මිශ්‍ර පස ගැනත් මෙම වනාන්තරයේ වැවෙන පලතුරු, කුළුබඩු සෑදීමට ගන්න ගස් වැල් හා ඖෂධ පැළෑටි රාශියක් ගැනත් මෙහි පවතින කාලගුණික තත්වය ගැනත් ඔවුන් හොඳින් දනියි. කෘෂි විද්‍යාඥයන් හා ගොවීන් ඔවුන්ගෙන් දැනගත් තොරතුරු යොදාගනිමින් පර්යේෂණ සිදු කර තිබෙන අතර, කෘෂි වන වගා වැඩසටහනේ සාර්ථකත්වයට එය හේතු වී ඇත.

වනාන්තරය ආකරයක් නොවේ

කෘෂි වන වගා වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන්නේ පියවරෙන් පියවරටය. කෙටි කලක් ප්‍රයෝජනයට ගෙන පසුව අත්හැර දමන ආකරයක් මෙන් නොව, නැවත නැවත ප්‍රයෝජන රැසක් අත් කරගත හැකි සම්පතක් වන, වනාන්තරයේ තිබෙන වටිනාකම ගොවීන්ට වටහා දීම පළමු පියවර විය. ඊළඟ පියවර වූයේ මඤ්ඤොක්කා, කෙසෙල්, බඩ ඉරිඟු, වී, මෑ හා බෝංචි වැනි කෙටි කලකින් අස්වැන්න නෙළාගත හැකි බෝග පමණක් නොව ගස් වර්ගද වවන්න කියා ගොවීන්ට උපදෙස් දීමයි. “ඇයි ගස් වවන්නේ” කියා ගොවියෝ විමසූහ.

බොහෝ අවස්ථාවලදී ගොවීන් පැමිණෙන්නේ කෘෂිකර්මයේදී ගස් වැල් ගැන එතරම් සැලකිල්ලක් නොදක්වන ප්‍රදේශවලින් නිසාත්, ඇමසන් වනාන්තරයේ වැවෙන ගස් වැල් ගැන ඔවුන් හොඳින් නොදන්න නිසාත් පර්යේෂකයෝ ගස් වැවීමේ ප්‍රයෝජන ගැන ඔවුන්ව දැනුවත් කළහ. ආහාර සඳහා වගා කරන බෝගවල වැඩීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රඳවාගැනීමේ හැකියාව වනාන්තරයේ තිබෙන පස්වලට නොමැති බව ඔවුහු ගොවීන්ට පැහැදිලි කර දුන්හ. උදාහරණයක් හැටියට බඩ ඉරිඟු වැනි බෝග මගින් පසේ පෝෂ්‍ය පදාර්ථ උරාගන්න කලින් එම පෝෂ්‍ය පදාර්ථ වැස්සට සේදී යයි. එහෙත් පසේ පෝෂ්‍ය පදාර්ථ උරාගනිමින් වැඩී, පසේ සශ්‍රීකත්වය රැකගැනීමේ හැකියාව ගස්වලට තිබේ. එපමණක් නොව, ගස් මගින් සතුන්ට ආහාර හා සෙවණ සපයයි. තමන්ට අයත් බිම් ප්‍රමාණය සලකුණු කරන වැටක් ලෙසද ගොවීන්ට ගස් වැවීමට පුළුවන. එමෙන්ම පලතුරු ගස් සිටුවීමෙන් ආදායමක් පමණක් නොව දරද ලබාගත හැක.

විවිධ වර්ගයේ ගස් සිටුවීමට ගොවීන්ව දිරිමත් කරන ලදි. එසේ කළේ මන්ද? එසේ කිරීමෙන් විවිධ වර්ගයේ පලතුරු හා ලී ලබාගත හැක. ගොවීන් පලතුරු වර්ග එකක් හෝ දෙකක් වගා කළා නම්, සෑමකෙනෙක්ම එකම කාලයේදී එකම පලතුරු වර්ගය විශාල ප්‍රමාණයෙන් අලෙවි කරන නිසා ඒවායේ මිල අඩු වේ. මේ නිසා ගොවීන් මහත් පාඩු ලබයි. විවිධ වර්ග වගා කිරීමෙන් ඒ තත්වය මඟහරවා ගත හැකියි.

වැඩසටහන මුල් අදියරේදීම ඵල දරයි

මෙහි සිටුවනු ලබන්නේ මොන වගේ ගස් වර්ගද? කෘෂි විද්‍යාඥ වාන් ලූවාන් මහතා අපට එතරම් හුරු පුරුදු නැති ගස් වර්ග 65කට වැඩි ගණනක ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය. “දැනට අපි මේ ලැයිස්තුවේ තියෙන පලතුරු ගස් වර්ගවලින් 30ත් 40ත් අතර ප්‍රමාණයක් සිටුවීම සඳහා තෝරාගෙන තිබෙනවා.” වනාන්තරයේ එළි පෙහෙළි කළ එකම බිම් කොටස විවිධ කාලවලදී වගාවන් සඳහා යොදාගෙන තිබෙන ආකාරය දක්වන ඡායාරූප කිහිපයක් පෙන්වමින් වාන් ලූවාන් මහතා මෙම වැඩසටහනේ සාර්ථකත්වය පැහැදිලි කළේය.—“වනාන්තරයේ අසිරිය යළි දැකගත හැකි අයුරු” නමැති කොටුව බලන්න.

මනවුස් නගරයේ පිහිටි වෙළඳ සැලකට ගියා නම්, කෘෂි වන වගා වැඩසටහන මොනතරම් හොඳින් ඵල දරා තිබෙනවාද කියා දැකගත හැක. මෙම ප්‍රදේශයේ වගා කරන ගණනින් 60කට වඩා වැඩි විවිධ වර්ගයේ පලතුරු වෙළඳ සැල්වල විකුණයි. කෘෂි වන වගා වැඩසටහන තවත් පුළුල් කිරීමෙන් අනාගතයේදී වන විනාශය අඩු වේ යයි කෘෂි විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. කලක් තිස්සේ වගා කළ භූමි භාගයක් නැවත වගාව සඳහා යොදාගත හැකි ආකාරය හොඳින් දැන සිටින ගොවියෙකු අලුත් වගා බිමක් ආරම්භ කිරීමට වනාන්තරයේ ගස් වැල් කපා නොදමයි.

මෙම වෑයම පැසසිය යුතු වුවත්, ලොව පුරා පරිසර පද්ධතියට එල්ල වී තිබෙන තර්ජනය ඉවත් කිරීමට එම වෑයම ප්‍රමාණවත් විය හැකියි කියා සිතිය නොහැක. එහෙත් එවන් වෑයම් මගින් දැකගත හැකි වන්නේ මිල කළ නොහැකි අපේ ස්වාභාවික සම්පත් රැකගැනීමෙන් අත් වන ප්‍රතිඵල මොනවාද යන්නය.

[24වන පිටුවේ කොටුව⁄පින්තූර]

ඵලදාව නෙළීමට ආසන්න දොඩම් හා ඇසිරෝලා

විටමින් C ගැන කතා කරන විට අමතක කළ නොහැකි පලතුරකි දොඩම්. එහෙත් දැන් “විටමින් C අඩංගු පලතුරු ලොවේ රැජින” වී සිටින්නේ වෙනත් පලතුරකි. විටමින් Cවල රජ ලෙස සැලකෙන ඇසිරෝලා නම් පලතුරට පවා පරාජය පිළිගැනීමට සිදු වෙයි. කවුද මේ අලුත් බලවතා? ඇමසන් ගංඟා නිම්නයේ වැවෙන මිදි ගෙඩියක ප්‍රමාණයෙන් යුත් දම් පැහැති මේ පලතුර කුඩා නමුත් ගුණාත්මකබවින් ඉහළයි. එහි නම මොකක්ද? කාමු-කාමු. විටමින් C අඩංගු පලතුරු ලොවේ සිහසුන එයට හිමිවීමට වටිනවාද? දොඩම් ග්‍රෑම් 100ක විටමින් C අඩංගු වන්නේ මිලිග්‍රෑම් 41ක් වුවත්, ඇසිරෝලා ග්‍රෑම් 100ක විටමින් C මිලිග්‍රෑම් 1,790ක් අඩංගු වන බව බ්‍රසීලයේ පළ වන සඟරාවක සඳහන් වේ. එහෙත් කාමු-කාමු මිලිග්‍රෑම් 100ක විටමින් C මිලිග්‍රෑම් 2,880ක්ම අඩංගු වේ. එනම් දොඩම්වල තිබෙන විටමින් C ප්‍රමාණය මෙන් 70 ගුණයකි!

[හිමිකම් විස්තර]

ඇසිරෝලා හා කාමු-කාමු: Silvestre Silve/Reflexo

[25වන පිටුවේ කොටුව⁄පින්තූර]

ගස් වැවීමේ කලාව

කෘෂි වන වගා වැඩසටහනේ ඇතැම් අංග ක්‍රියාත්මක කිරීමට ගොවීන් එකඟ වීමෙන් පසු, ගස් සිටුවීම හා සම්බන්ධ විස්තරාත්මක යෝජනා සැපයීමට කෘෂි විද්‍යාඥ ජොහැනස් වාන් ලූවාන් මහතාට හැක. ආවට ගියාට ගස් වර්ග තෝරාගෙන සිටුවනවා වෙනුවට, වැවිය යුතු ගස් වර්ග මොනවාද, ඒවා වගා කළ යුතු පිළිවෙළ කුමක්ද යන්න තීරණය කිරීමේදී පරිගණක ආශ්‍රයෙන් සාදන ලද කෘෂි විද්‍යාත්මක ක්‍රම යොදාගනී. ගස් සිටුවීමේදී ඒවා උසේ ප්‍රමාණය අනුව කුඩා, සාමාන්‍ය හා විශාල යනුවෙන් කාණ්ඩවලට වෙන් කෙරේ.

උදාහරණයක් හැටියට, පේර, ග්වරානා හා කූපුආසු යන ගස් වර්ගවලින් යුත් පළමු කාණ්ඩයට අයත් පැළ ළඟින් ළඟ සිටුවනු ලැබේ. මේ ගස් එතරම් උසට වැඩෙන්නේ නැති අතර, කෙටි කලකින් ඵල දරයි. දෙවන කාණ්ඩයට අයත් බිරිබා, අලිගැටපේර හා මුරුමුරු වැනි මධ්‍යම ප්‍රමාණයේ ගස්වලට වැඩි ඉඩක් අවශ්‍ය වේ. මේ කාණ්ඩයට අයත් ගස්වල ඵල දැරීමට මුල් කාණ්ඩයේ ගස්වලට වඩා වැඩි කාලයක් ගත වේ. තුන්වන කාණ්ඩයට අයත් බ්‍රසීල් නට්, පිකිආ හා මහෝගනි වැනි විශාල ගස්වල වැඩීමට දෙවන කාණ්ඩයේ ගස්වලටත් වඩා වැඩි ඉඩක් අවශ්‍යය. අවසාන කාණ්ඩයට අයත් සමහර ගස්වලින් පලතුරුද තවත් ඒවායින් වටිනා දැවද ලබාගත හැක. මේ ප්‍රයෝජන දෙකම ලබාගත හැකි ගස් වර්ගද මේ අතර වේ. මේ කාණ්ඩ තුනටම අයත් ගස් වවා ඇති ගොවිපොළක් දිස් වන්නේ ස්වාභාවික වනාන්තරයක් ලෙසයි.

[පින්තූර]

ජොහැනස් වාන් ලූවාන් (දකුණු කෙළවරේ)

මනවුස්හි වගා කරන පලතුරු අලෙවි කරන වෙළඳ සැලක්

[හිමිකම් විස්තර]

ජේ. වාන් ලූවාන්, INPA, Manaus, Brazil

[26වන පිටුවේ කොටුව⁄පින්තූර]

වනාන්තරයේ අසිරිය යළි දැකගත හැකි අයුරු

1. 1993 පෙබරවාරි—ඇමසන් වනාන්තරයේ මධ්‍යයම කොටසට අයත් මෙම භූමි භාගය 1992 සැප්තැම්බර් මාසයේදී හේන් ගොවිතැන් සඳහා යොදාගැනිණ. වර්ෂ 1993 ජනවාරි මාසයේදී මෙම බිම් කොටසෙහි අන්නාසි වගා කරන ලදි. මාසයකට පසු, පලතුරු ගස්ද එහි සිටුවන ලදි.

2. 1994 මාර්තු—අන්නාසි ගස් වැඩී තිබේ. පලතුරු ගස්ද සරුවට වැඩී තිබේ. පාට කර තිබෙන ලී ගස් අසල සිටුවා තිබෙන්නේ එම ගස්වල වර්ගය, එනම් එම ගස බ්‍රසීල් නට් ගසක්ද, පීච් ගසක්ද කියා හඳුනාගැනීමටය. ගොවීන් වගා කර තිබෙන බෝග අවට තිබෙන වල් පැළෑටි ඉවත් කරන නිසා මෙම පලතුරු ගස් සරුවට වැඩෙයි. තමන්ට කරන මේ සත්කාරය සඳහා මෙම ගස්ද පසේ සාරවත්කම රැකගැනීමට උපකාර කිරීමෙන් ගොවීන්ට කෘතගුණ දක්වයි.

3. 1995 අප්‍රියෙල්—ඉක්මනින් වැවෙන කෘෂි බෝගවල අස්වැන්න නෙළාගෙන විකුණා හමාර කර තිබුණත්, විවිධ වර්ගයේ පලතුරු ගස් දිගටම වැඩෙයි.

[හිමිකම් විස්තර]

1-3 පින්තුර: ජේ. වාන් ලූවාන්, INPA-CPCA, Manaus, Brazil