ඔබේ කකුල්වල නලියන ගතියක් දැනෙනවාද?
ඔබේ කකුල්වල නලියන ගතියක් දැනෙනවාද?
දැන් රෑ බෝ වෙලා. ඔබට හොඳටම නිදිමතයි. ඒ නිසා ඔබ ඇඳේ දිගා වෙලා නිදාගන්න සූදානම් වෙනවා. නින්ද යාගෙන එද්දි එක පාරටම ඔබේ කකුල් දෙක ඇතුලේ යමක් දුවනවා වගේ දැනෙනවා. ඔබට ඒක නිකම්ම ගණන් නොගෙන දිගටම නිදාගන්න බැහැ. සහනයක් ලැබෙන්න නම් ඇඳෙන් නැඟිට ටිකක් එහෙට මෙහෙට ඇවිදින්නම වෙනවා. ටික වෙලාවකින් පස්සේ ඔබ තීරණය කරනවා ආපහු ඇඳට යන්න. හැබැයි හාන්සි වුණ ගමන්ම ඒ නලියන ගතිය ආයෙත් පටන්ගන්නවා. ඔබට නිදිමතයි, හැබැයි නිදාගන්න බැහැ. මෙවැනි දෙයක් ඔබ අද්දැක තිබෙනවාද? මේ තත්වය අද්දකින්නේ ඔබ විතරක් නෙවෙයි. එක්සත් ජනපදයේ තත්වය සලකා බලන්න. එහි ජනගහනයෙන් සියයට 15ක්ම මෙම තත්වයට මුහුණ දෙමින් සිටිනවා!
මෙම ලෙඩේ හඳුනාගෙන එයට නිසි ප්‍රතිකාර ලබා දීමට බොහෝ වෛද්‍යවරුන් අසමත් වී තිබුණත්, එය මෑතකදී ඇති වූ ලෙඩක් නෙවෙයි. ඇත්තෙන්ම මෙම රෝග ලක්ෂණ අද්දුටු අය 17වන සියවස තරම් ඈත අතීතයේ පවා සිටියා. මෙයට සාක්ෂි වශයෙන් 1685දී වෛද්‍යවරයෙක් ලියා තිබුණේ, “මේ ලෙඩුන්ගේ කකුල්වල හා අත්වල දැනෙන නලියන ගතිය නිසා ඔවුන් කොතරම් අපහසුතාවකින් පෙළෙනවාද කිව්වොත් රෑට නින්ද යන්නෙම නැහැ. ඔවුන්ට දැනෙන්නේ හරියට ඔවුන් වධකාගාරයක ඉන්නවා වගෙයි” කියායි.
මෙම රෝගය හඳුනාගැනීම අපහසු කරවන එක් දෙයක් වන්නේ එය තිබෙනවාද නැද්ද කියා නිශ්චය කරගැනීම සඳහා පරීක්ෂණයක් නොමැති වීමයි. එය හඳුනාගත හැකි වන්නේ රෝග ලක්ෂණවලින් පමණයි. දැනුම් තේරුම් ඇති වෛද්‍යවරයෙක් සාමාන්‍යයෙන් අසන ප්‍රශ්න කිහිපයක් සලකා බලන්න. ‘ඇතුලෙන් මොකෙක් හරි දඟලනවා වගේ දැනෙන්නේ එක කකුලකද නැත්නම් දෙකේමද? ඔයාගේ අත්වලත් එහෙම දැනෙනවාද? ඔයා නැඟිටලා පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිද්දාම, නෑවාම, නැත්නම් කකුල් දෙක මසාජ් කළාම ටිකක් හොඳ වෙනවාද? කාර් එකක නැත්නම් බස් එකක හුඟක් වෙලා ඉඳගෙන ඉන්න වුණාමත් ඒ අමුත්ත දැනෙනවාද? ඒක වැඩියෙන්ම ඇති වෙන්නේ රෑටද? ඔයාගේ පවුලේ වෙන කාටහරි මේ ලෙඩේ තියෙනවාද? ඔයාගේ මහත්තයා/නෝනා කියනවාද ඔයා නිදාගෙන ඉන්නකොට ඔයාගේ කකුල් එක පාරටම ගැස්සෙනවා කියලා?’ ඔබ මෙම ප්‍රශ්නවලින් කිහිපයකටම ඔව් කියා පිළිතුරු දෙනවා නම් ඔබට රෙස්ට්ලස් ලෙග්ස් සින්ඩ්‍රෝම් (RLS) තිබෙනවා කියා වෛද්‍යවරයා තීරණය කරාවි.
RLS හැදෙන්නේ කාටද?
සමහර අයට RLS තිබුණත් ඉඳහිට පමණක් රෝග ලක්ෂණ මතු වන නිසා ඔවුන්ට එයින් ඒ තරම් අපහසුතාවක් දැනෙන්නේ නැහැ. හැබැයි තවත් සමහර අයට, නිතර නිතර රෝග ලක්ෂණ මතු වන හින්දා රෑට නින්ද යන්නෙම නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ට දවස පුරාම අධික වෙහෙසක් දැනෙන අතර, එය ඔවුන්ගේ දෛනික ජීවිතය මතද අහිතකර බලපෑම් ඇති කරයි. එක ලෙඩෙක් එයාගේ තත්වය විස්තර කළේ, “මගේ කකුල් ඇතුලින් පණුවෝ දඟලනවා වගෙයි මට දැනෙන්නේ. සහනයක් ලබන්න නම් කකුල් එහෙට මෙහෙට හොලවන්නම ඕනේ” කියායි.
ස්ත්‍රී පුරුෂ දෙගොල්ලන්ටම RLS හැදෙන අතර එය වඩාත් දරුණු ලෙස බලපාන්නේ මැදිවියේ පසු වන අයටයි. බොහෝවිට කෙනෙකු තුළ මෙම රෝග ලක්ෂණ තිබෙනවා කියා සොයාගන්නේ
ඔහුට වයස අවුරුදු පනහක් විතර ගියාට පසුවයි. නමුත් ඔහුට රෝග ලක්ෂණ මතු වෙන්න පටන්ගන්න ඇත්තේ ඊට අවුරුදු දහයකට පමණ කලින් විය හැකියි. ඇත්තෙන්ම සමහර අයට කුඩා කාලයේ ඉඳන්ම මෙම තත්වය තිබෙනවා. නමුත් බොහෝ අවස්ථාවලදී RLS තිබෙන කුඩා දරුවන් නිතරම දඟලන නිසාත්, එක තැනකට වෙලා ඉන්නේ නැති නිසාත්, ඔවුන්ව “අධික්‍රියාශීලි” (hyperactive) දරුවන් ලෙස හංවඩු ගැසෙනවා. ඒ නිසා කුඩා කාලයේදීම ඔවුන්ට RLS තිබෙන බව හඳුනාගන්නේ කලාතුරකින්.වෛද්‍ය විශේෂඥයන්ගේ මතයට අනුව RLS කියන්නේ ස්නායු පද්ධතියට සම්බන්ධ අසාත්මිකතාවක්. හැබැයි එය ඇතිවීමට හේතුව පැහැදිලි කර දෙන්න ඔවුන් බොහෝදුරට අපොහොසත් වෙනවා. කොහොමනමුත්, RLSවලට බලපාන යම් කාරණා තිබෙනවා. උදාහරණයක් වශයෙන් එය දෙමව්පියන්ගෙන් දරුවන්ට උරුම විය හැකියි. ගැබිණි මව්වරුන්ටද RLS රෝග ලක්ෂණ මතු වෙන්න ඉඩ තිබෙන අතර, ඔවුන්ට එය විශේෂයෙන්ම බලපාන්නේ ගැබිණි අවස්ථාවේ අන්තිම මාස කිහිපය තුළයි. හැබැයි දරුවා ඉපදුණාට පස්සේ රෝග ලක්ෂණ නැති වී යනවා. සමහර අවස්ථාවලදී යකඩ හෝ විටමින් ඌනතාවක් වැනි සෞඛ්‍ය ගැටලුවක් නිසාත් RLS රෝග ලක්ෂණ මතු විය හැකියි. නිදන්ගත රෝගත් එයට හේතු කාරකයක් විය හැකි අතර, වකුගඩු අක්‍රීය වීම, දියවැඩියාව, රූමැටොයිඩ් ප්‍රදාහය, පර්යන්ත ස්නායු දුර්වල වීම මෙන්ම අත්වල හා කකුල්වල ස්නායුවලට හානි සිදුවීම එයට විශේෂයෙන්ම හේතු වන බව සොයාගෙන තිබෙනවා.
සහනයක් සොයා
කනගාටුදායක දෙයක් වන්නේ RLS නිට්ටාවටම සුව කිරීමට නොහැකි වීමයි. ඇත්තෙන්ම කල් යද්දී රෝග ලක්ෂණ වැඩි වෙනවා. හැබැයි රෝගයට යම් දුරකට ප්‍රතිකාර කරන්න පුළුවන් වීම සතුටට කරුණක්. බොහෝවිට බෙහෙත් නොදී කරන වෙනත් ප්‍රතිකාර ක්‍රමවලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. නමුත් එක්කෙනෙකුට හරි යන ප්‍රතිකාරය වෙනත් කෙනෙකුට හරි නොයනවා විය හැකියි. එමනිසා රෝග ලක්ෂණ වැඩිවීමට හෝ අඩුවීමට දායක වන පුරුදු, ක්‍රියාකාරකම් හා බෙහෙත් වර්ග මොනවාද කියා රෝගියාම අවබෝධ කරගත යුතුයි.
RLSවලට ප්‍රතිකාර කිරීමේදී ගත යුතු මූලික පියවර වන්නේ එහි රෝග ලක්ෂණ මතුවීමට හේතු වන වෙනත් ලෙඩක් තිබෙනවාද කියා නිශ්චය කරගැනීමයි. එය සුව කළ හැකි ලෙඩක් නම් එයට නිසි ප්‍රතිකාර ගත යුතුයි. උදාහරණයක් වශයෙන් යකඩ හෝ විටමින් ඌනතාවක් තිබෙනවා නම් යකඩ හෝ B12 නමැති විටමිනය ඇති ආදේශකයක් ගැනීමෙන් ඉක්මන් සහනයක් ලබාගත හැකියි. නමුත් උවමනාවට වඩා විටමින් හෝ ඛනිජ ලවණ ගැනීම සෞඛ්‍යයට අහිතකර විය හැකි නිසා වෛද්‍ය නියමයක් නොමැතිව යකඩ හෝ විටමින් ආදේශක නොගත යුතුයි.
කැෆේන්, රෝග ලක්ෂණ උග්‍ර කරවන බව සමහරදෙනෙකුගේ අද්දැකීමයි. කෝපි, තේ, චොකලට් සහ සිසිල් බීම බොහොමයක කැෆේන් තිබෙනවා. එමනිසා කැෆේන් අඩංගු ආහාර පාන සීමිත ප්‍රමාණයක් ගැනීමෙන් හෝ ඒවා ආහාර වේලෙන් සම්පූර්ණයෙන්ම අයින් කරගැනීමෙන් සමහරවිට RLS රෝග ලක්ෂණ අඩු කරගන්න පුළුවන් වෙයි. මත්පැන් පානයද රෝග ලක්ෂණ පවතින කාලය වැඩි කිරීමට හෝ රෝග ලක්ෂණ වඩාත් උග්‍ර කරවීමට හේතු වෙනවා. එමනිසා මත්පැන් පානය අඩු කරගැනීමෙන් හෝ සම්පූර්ණයෙන්ම නතර කරගැනීමෙන් යම් සහනයක් ලබාගත හැකියි.
RLS සමඟ ජීවත් වීම
ඔබට RLS තිබෙනවා නම් ඔබේ ජීවන රටාවේ යම් වෙනස්කම් සිදු කිරීම ප්‍රයෝජනවත් විය හැකියි. විඩාවට පත් වූ විට හා නිදිබරව සිටින විට රෝග ලක්ෂණ වැඩි වන නිසා, පුළුවන් නම් හැමදාම එකම වෙලාවට නිදාගැනීමට හා එකම වෙලාවට පිබිදීමට පුරුදු වෙන්න. හැකි නම් ඔබේ නිදන කාමරය සඳහා සන්සුන්, උෂ්ණාධික නොවන හා සැප නින්දකට තුඩු දෙන තැනක් තෝරගන්න.
දිනපතාම යම් ආකාරයේ ව්‍යායාමයක යෙදී සිටීමද සුව නින්දකට දායක වෙනවා. නමුත් නිදාගැනීමට පෙර පැය හයක් ඇතුළත අධික ලෙස ව්‍යායාම කිරීම නින්දට බාධාවක් විය හැකියි. අනික් අතට නිදාගැනීමට ටිකකට කලින් සුදුසු ප්‍රමාණයකට කරන ව්‍යායාමය හොඳ නින්දකට මඟ පාදන බව RLS තිබෙන ඇතමෙකුගේ අද්දැකීම වී තිබෙනවා. ඔබට සුදුසු ව්‍යායාමය කුමක්ද කියා දැනගැනීම සඳහා විවිධ ව්‍යායාම් ක්‍රම අත්හදා බලන්න.
ඔබට රෝග ලක්ෂණ ඇති වූ විට කකුල එහෙට මෙහෙට කරන්න වේවි. සමහරවිට ඇඳෙන් නැඟිටින්න අවශ්‍ය බවත් ඔබට දැනෙන්න පුළුවන්. එම අවශ්‍යතාව නොසලකා හරින්න එපා. හොඳම දේ වන්නේ ඇඳෙන් බැස එහාට මෙහාට ඇවිදීමයි. ඇවිදීම, අත පය දිගහැරීම, උණුසුම් ජලයෙන් හෝ සීතල ජලයෙන් නෑම හා කකුල් සම්බාහනය කිරීම තුළින් යම් සහනයක් ලැබෙන බව ඇතමෙක් පවසනවා. ඔබට සෑහෙන වෙලාවක් ඉඳගෙන සිටීමට සිදු වෙනවා නම්, ඔබේ මනස වෙනතකට යොමු කිරීම සඳහා පොතක් කියවීම හොඳ අදහසක්.
බෙහෙත් වර්ගවලින් සහනයක් ලැබිය හැකිද? අමෙරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාවල රැලේහි, RLS සම්බන්ධයෙන් උපදෙස් සපයන ආයතනයකට අනුව, “සමහරවිට යම් බෙහෙත් වර්ග ගැනීමේ අවශ්‍යතාවක් තිබිය හැකියි.” RLSවලින් පෙළෙන සියල්ලන්ටම හරි යන එක නිශ්චිත බෙහෙතක් නැති නිසා ඔබට හරි යන්නේ කුමක්ද කියා ඔබේ වෛද්‍යවරයාගෙන් දැනගන්න. බෙහෙත් වර්ග කිහිපයක්ම එකට ගැනීම සාර්ථක බව ඇතමෙක් අද්දැක තිබෙනවා. සමහරවිට කලින් සහනයක් ගෙන දුන් බෙහෙතකට හුරුවීම නිසා එහි බලපෑම නැති විය හැකියි. බෙහෙත් වර්ග ගැනීම, විශේෂයෙන්ම විවිධ බෙහෙත් ජාති එකට ගැනීම සෞඛ්‍යයට හානිකර විය හැකි නිසා, ඔබට සුදුසු වන ප්‍රතිකාර ක්‍රමය නිශ්චය කරගැනීම සඳහා ඔබේ වෛද්‍යවරයා සමඟ හොඳ අදහස් හුවමාරුවක් පවත්වාගන්න.