Skip to content

පටුනට යන්න

තාත්තා අපිව දාලා ගියේ ඇයි?

තාත්තා අපිව දාලා ගියේ ඇයි?

යෞවන අය අසති . . .

තාත්තා අපිව දාලා ගියේ ඇයි?

“මට තේරෙන්නේ නෑ, ඇයි තාත්තා අපිව දාලා ගියේ කියලා. මම දන්නේ මගේ අම්මා කියපු දේ විතරයි.”—ජේම්ස්. a

පියෙකු තමන් සතු දේ රැගෙන නිවස හැර දා ගියත් ඔහු තම භාර්යාව සහ දරුවන් තුළ තබා යන වේදනාව සහ කෝපය කියා නිම කිරීමට බැරි තරම්. මෙවැනි කටුක අද්දැකීමකට මුහුණ දුන් කලින් සඳහන් කළ 14 හැවිරිදි කුඩා ජේම්ස් මෙසේ පවසනවා. “මගේ අම්මයි තාත්තයි දික්කසාද වුණාම මම මොනවද කරන්නේ කියලවත් මට හිතාගන්න බැරුව ගියා.” පියෙක්, තමා නිවස හැර යෑමට හේතුව පැහැදිලි කිරීමට සහ පසුව දරුවන් සමඟ සම්බන්ධකමක් පැවැත්වීමට අපොහොසත් වෙයි නම් ඔහුගේ දරුවන් තුළ පසු කාලයකදී වරද සහිත බවේ හැඟීමක්, තමන්ව ප්‍රතික්ෂේප කළ බවට හැඟීමක් සහ කෝපයක් පවා ඇති වෙන්න පුළුවන්. b

ඔබ ආදරය කළ ඔබේම පියා නිවස හැර යන්න හේතුව දැනගත් විට ඔබට දැඩි කෝපයක් දැනෙන්න පුළුවන්. “තාත්තා අපිව දාලා ගියේ තවත් ගැහැනු කෙනෙක් එක්ක ජීවත් වෙන්න” කියා මයිකල් නමැති යෞවනයා පවසනවා. “එක දවසක් තාත්තා ඒ ගැහැනු කෙනා එක්ක යනවා දැක්ක වෙලාවේ මට පුදුම කේන්තියක් ආවේ. තාත්තා අපිට ද්‍රෝහි වුණා කියල මට හිතුණා” කියා ඔහු තවදුරටත් පවසනවා. නමුත් සමහර අවස්ථාවල පියෙක් නිවස අත්හැර දමා යන එක ගෙදර ඉන්න අනෙක් උදවියගේ ඇඟට ගුණයි. මෙලිසා නමැති යෞවනියගේ අද්දැකීම සලකා බලන්න. ඇයගේ පියා බේබද්දෙක්. ඇය පවසන්නේ, “ඔහු ගෙදර හිටියා නම් අපිට හරි කරදරයක් වෙන්න තිබුණා” කියා ඇය පවසනවා.

නමුත් බොහෝ අවස්ථාවන්හි තමන්ගේ පියා තමන්ව අත්හැර ගියේ ඇයි කියා දරුවන් දන්නේ නැහැ. මෙය දරුවෙකු තුළ පියා නැතිකමේ දුක තවත් වැඩි කරවනවා. ඔබේ දෙමාපියන්ට ප්‍රශ්න තිබුණ බව ඔබ දැනගෙන ඉන්න ඇති. නමුත් ඔවුන් වෙන් වෙයි කියා ඔබ කවමදාකවත් සිතන්න නැතුව ඇති. රොබට් මෙසේ සිහි කරනවා. “තාත්තා අපිව දාලා යනකොට, සිද්ධ වුණ හැම දෙයක්ම වගේ මට තේරුණේ නෑ. මගේ දෙමාපියන් නිතර නිතර රණ්ඩු කරපු නිසා තත්වේ එච්චර හොඳ නෑ කියලා නම් මට තේරුණා. ඉන් එහාට මම කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ.”

ඇත්තටම, සමහර පියවරුන් නිවස හැර දමා යන්නේ ඇයි? ඔබේම පියා නිවස හැර දමා ගියා නම් එය ඔබව ප්‍රතික්ෂේප කිරීමක් කියා ඔබ සිතිය යුතුද? එමෙන්ම ඔබේ දෙමාපියන් එය ඔබෙන් වසං කරන්නේ මන්ද? ඔවුන් ඔබට ඒ සම්බන්ධයෙන් යම් තොරතුරු පැවසිය යුතුද?

ඔවුන් නිහඬව සිටින්නේ මන්ද?

පියෙකු නිවස හැර දමා යෑමට හේතු වන කාරණය කොහෙත්ම ප්‍රසන්න දෙයක් වෙන්නේ නැහැ. බොහෝ අවස්ථාවල මෙයට හේතුව කාමමිථ්‍යාචාරයයි. මෙවැනි නොමනා හැසිරීමක් පවුල් සාමාජිකයන්ගෙන් වසං කිරීම සාමාන්‍ය දෙයක්. භාර්යාව තම ස්වාමිපුරුෂයාගේ නොමනා හැසිරීම ගැන දැනගත් විට තම ස්වාමිපුරුෂයාව දික්කසාද කිරීමට තීරණයක් ගන්න පුළුවන්. එසේ නැතහොත් දික්කසාදයට අවශ්‍ය ලියකියවිලි සූදානම් කිරීමට පෙරම නිවසෙන් පිට වෙන ලෙස ඇය ඔහුගෙන් ඉල්ලා සිටිය හැකියි. සමහරවිට දරුවන් මේ කිසිවක් නොදැන සිටිනවා වෙන්න පුළුවන්.

ඔබේ මව සිදු වුණ දේ වසං කරන්නේ මන්ද කියා තේරුම්ගැනීමට වෑයම් කරන්න. සමහරවිට ඇය ඔබට නොපවසන්නේ, ඔබේ පියාගේ වැරදි හැසිරීම ගැන හෙළි කිරීමෙන් ඔබේ දුක තවත් වැඩි වෙයි කියා සිතන නිසා වෙන්න ඇති. මුළු හදින් ආදරය කළ ඇගේ ස්වාමිපුරුෂයා ඇයට ද්‍රෝහි වුණා කියා දැනගත් විට ඇයට මොනතරම් දුකක් දැනෙන්න ඇද්ද කියාත් මොහොතකට සිතන්න. (මලාකී 2:13, 14) එමනිසා, ඔබේ දෙමාපියන්ගේ වෙන්වීමට හේතුව කාමමිථ්‍යාචාරය නම් ඔබේ මවට ඒ ගැන ඔබත් සමඟ කතා කිරීම වේදනාකාරි දෙයක් වීම පුදුමයක් නොවෙයි.

පියා නිහඬව සිටීම ගැන කුමක් කිව හැකිද? ඔහු ඔබේ මවට ද්‍රෝහි වී ඇත්නම් ඔහු ඒ ගැන ඔබත් සමඟ කතා කරයි කියා බලාපොරොත්තු වෙන්න බැහැ. සමහර පියවරුන්ට කොතරම් වරද සහිතබවේ හැඟීමක් දැනෙනවාද කිවහොත් තම දරුවන්ට මුහුණ දීමට පවා ඔවුන්ට නොහැකි වී තිබෙනවා! බොහෝ පියවරුන් නොමනා ලෙස හැසිරුණත් තම දරුවන්ට දිගටම ආදරය කරන අතර නැවතත් ඔවුන් සමඟ සම්බන්ධකම් පවත්වන්න උත්සාහ කරනවා.

සමහර අවස්ථාවල පියා නිවස අත්හැර යන්නේ මවගේ නොමනා හැසිරීම නිසයි. කෙසේවෙතත්, ඔහු තම දරුවන් සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වාගැනීමට සෑම වෑයමක්ම දරයි. වෙනත් අවස්ථාවලදී වෙන්වීමට හේතුව අවුරුදු ගණනාවක් පුරා තිබූ විවාහ ජීවිතයේ අඬ දබර මිසක් කාමමිථ්‍යාචාරය නොවෙයි. c (හිතෝපදේශ 18:24, NW) මෙවැනි දේවල් පවා සිදු වන්නේ රහසිගතව නිසා රණ්ඩුවට හේතුව දැනගැනීමට ඔබට හැකියාවක් නෑ.

බයිබලයේ හිතෝපදේශ 25:9හි පවසන්නේ, “නුඹේ අසල්වාසියා සමගම නුඹේ කාරණය කථාකරන්න, අනිකෙකුගේ රහස ප්‍රකාශ නොකරන්න” කියායි. යම් අවස්ථාවල විවාහ ජීවිතයේ ගැටලුවලට හේතුව ඔවුන්ගේ පෞද්ගලික කාරණා විය හැකියි. සමහරවිට එය ඔබට විශ්වාස කරන්න බැරි දෙයක් වෙන්න පුළුවන්. එමනිසා එය දැනගැනීමට වෙහෙස නොවන්න. යම් ‘රහස්’ දේවල් හෙළි කිරීමෙන් සිදු වන්නේ උද්ගත වී ඇති තත්වය තව තවත් දරුණු වීමයි. සමහරවිට ඔබ එක්කෙනෙකුගේ පැත්ත ගැනීමට පෙලඹෙන්න පුළුවන්. එයින් සිදු වන්නේ ඔබේ පවුලේ බෙදීම් තවත් වැඩිවීම පමණයි. මේ නිසා, ඔබේ දෙමාපියන් ඔවුන්ගේ ප්‍රශ්න ගැටලු කිසිවෙකුට හෙළි නොකරයි නම් ඔබ එය දැනගැනීමට කරදර නොවීම ඔබේම යහපතට හේතු වෙයි.

කෝපය මැඩපැවැත්වීමට සිහි කල්පනාව ඇතුව කටයුතු කරන්න

ඔබේ පියා නිවස හැර යෑමත්, එයට හේතු ඔබට දැනගැනීමට නොහැකි වීමත් නිසා කෝපයක් හෝ අමනාපයක් දැනීම සාධාරණයි. ඒත්, හිතෝපදේශ 19:11 පවසන්නේ, ‘සිහි කල්පනාව ඇති මනුෂ්‍යයා [කෝප නොවී සිටින බව නොවෙයි, නමුත්] ඉක්මනට නොකිපෙන’ බවයි. සිහි කල්පනාව ඇතිව කටයුතු කිරීමට ඔබ සෑම තොරතුරක්ම දැනගත යුතුයි කියා මෙයින් අදහස් කරන්නේ නෑ.

අපේ දෙමාපියන් අසම්පූර්ණ අය කියා තේරුම්ගැනීමට බයිබලය අපට උපකාර කරනවා. එහි පවසන්නේ, “සියල්ලෝම පව්කොට [දෙවිගේ] මහිමයෙන් හීනව සිටිති” කියායි. (රෝම 3:23) මෙම අභාග්‍ය සම්පන්න සත්‍යය පිළිගැනීම මගින් දෙමාපියන්ගේ වැරදි දෙස සාධාරණව බැලීමට ඔබට හැකි වෙනවා. උදාහරණයකට, ඔබේ පියා ඔහුගේ විවාහ ගිවිසුමට අගෞරව කළා නම් එය බරපතළ පාපයක් වන අතර, දෙවි ඉදිරියේ ඔහු එයට වන්දි ගෙවිය යුතුයි. (හෙබ්‍රෙව් 13:4) ඒ මිසක් ඔහු ඔබව ප්‍රතික්ෂේප කරනු ලැබූ බවක් හෝ ඔහු ඔබට ආදරය නොකරන බවක් ඉන් අදහස් කරන්නේ නෑ.

සියලුම විවාහක යුවළයන්ට “මාංසයෙහි දුක් ඇතිවන්නේය.” (1 කොරින්ති 7:28) එහෙත් එය නිදහසට කාරණයක් කරගත යුතු නොවුණත් සමහර ස්ත්‍රීන් සහ පුරුෂයන් මෙම කරදරකාරි ලෝකයෙන් එල්ල වන පීඩනවලට යට වී වැරදි ක්‍රියාවල නිරත වෙනවා. රොබට් මෙසේ සිහි කරනවා. “තාත්තාට ඕන වුණේ හොඳම දේ අපට දෙන්න. ඒ නිසා, තාත්තා වෙන පළාතක පදිංචි වෙන්න තීරණය කළා. තාත්තා හිතුවා එහෙදී එයාට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් නිසා අපිට ලස්සන ගෙයක සන්තෝෂයෙන් ඉන්න පුළුවන් වේවි කියලා.” හැබැයි ඔහුගේ පියා පවුලේ තත්වය දියුණු කිරීමට හොඳ සිතින් ගත් වෑයම වතුරේ ගියා. රොබට් මෙසේ පවසනවා. “තාත්තා ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම ටිකෙන් ටික අඩු කළා. ඊට පස්සේ එයාගේ රස්සාව නැති වුණා. ඒත් එක්කම තාත්තා මගේ අම්මටයි අක්කාටයි අඩන්තේට්ටම් කරන්න පටන්ගත්තා.” වැඩි කල් නොගොස් ඔහුගේ මව සහ පියා දික්කසාද වන තත්වය දක්වා දේවල් දුරදිග ගියා.

රොබට්ට ඔහුගේ පියාගේ අතින් සිදු වුණ වැරදි නිසා තරහක් හෝ දුකක් දැනෙන්න ඉඩ තිබුණා. නමුත් පියාට මුහුණ දීමට සිදු වූ තත්වය ඔහු තේරුම්ගත් නිසා තම කෝපය මැඩපවත්වා ගැනීමට ඔහුට හැකි වුණා. ඔහුගේ දෙමාපියන්ගේ විවාහය කඩාකප්පල් වීම දුක්ඛදායක දෙයක් වුණත්, එයින් ඔහුට වටිනා පාඩමක් ඉගෙනගැනීමට හැකි වුණා. “මම කවදාහරි පවුල් ජීවිතයක් පටන්ගන්නකොට මුල් තැන දෙන්නේ ආත්මික දේට” කියා ඔහු පවසනවා.

කලින් සඳහන් කළ මයිකල්ටත් කෝපය මැඩපවත්වා ගැනීමට උත්සාහයක් දරන්න සිදු වුණා. “තාත්තා අපිට කරපු දේ නිසා ඔහුට රිදවන්න මට ඕන වුණා” කියා ඔහු පිළිගන්නවා. නමුත්, ඔහු පියා සමඟ තිබූ සම්බන්ධතාවය දිගටම පවත්වාගත්තා. කාලය ගතවීමත් සමඟම, මයිකල්ට ඔහුගේ කෝපය මැඩපවත්වාගෙන ඔහුගේ ජීවිතය සාමාන්‍ය විදිහට ගත කිරීමට හැකි වුණා.

තත්වයන් ඉඩ දෙන ආකාරයට, ඔබේ පියා සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වාගැනීමට ඔබ උත්සාහ දරනවා විය හැකියි. නමුත් ඔබේ පියා ඔබව සහ ඔබේ මවව රිදෙව්වා යන කාරණය ඔබට වද දෙන බව ස්ථිරයි. ඒත්, එක් දෙයක් මතක තියාගන්න. එනම්, ඔබ සෑම තොරතුරක්ම දන්නේ නෑ. ඔහු වරදකරුවෙක් කියා දැනගත්තත් ඔහු ඔබේ පියා බව අමතක කරන්න එපා. එමනිසා, ඔබ යම්දුරකට ඔහුට ගෞරවයක් පෙන්විය යුතුයි. (එපීස 6:1-3) ‘කෝපය, උදහස, කෝලාහල සහ අපහාස’ කිරීම් වැනි දේවලින් වැළකී සිටින්න. (එපීස 4:31) පුළුවන් නම් දෙමාපියන්ගේ විවාහ ගැටලු සම්බන්ධයෙන් මධ්‍යස්ථව සිටින්න. ඔබේ මව්පියන් දෙදෙනාටම ඔබ ප්‍රේම කරන බව පෙන්වීමෙන් ඔබට ඔවුන් දෙදෙනා සමඟ හොඳ සම්බන්ධතාවයක් භුක්ති විඳිය හැකියි.

එය ඔබේ වරද නොවෙයි

ඔබේ පියා නිවස අත්හැර යනවා දැකීම ඔබ ලද දුක්ඛදායක අද්දැකීමක් විය හැකියි. ඔහුගේ යෑමට හේතු ඔබට කවමදාකවත් දැනගැනීමට නොලැබුණත් එය ඔබේ වරදක් කියා සිතන්න අවශ්‍ය නැහැ. යම් ආකාරයකට ඔබව ප්‍රතික්ෂේප කළායයි සමහරවිට ඔබට හැඟිය හැකි බව ඇත්තයි. ඒත් දරුවන් නිසා විවාහයක් දෙකඩ වෙන්නේ ඉතා කලාතුරකින්. ඔබේ දෙමාපියන් ජීවිතාන්තය දක්වා එකට විසීමට දෙවි ඉදිරියේ පොරොන්දු වී තිබෙනවා. එයට එකඟව ජීවත් වීම ඔවුන්ගේ වගකීම මිසක් ඔබේ වගකීම නොවන බව මතක තබාගන්න.—දේශනාකාරයා 5:4-6.

ඒත්, තවමත් මනස අවුල් වී ඇති බව හෝ ඔබ වරදක් කර ඇති බව ඔබට හැඟෙනවා නම් ඒ ගැන දෙමාපියන් සමඟ කතා නොකරන්නේ මන්ද? සමහරවිට ඔවුන් තමන්ගේ සිතේ තිබෙන දේ ඔබට පවසන්න පුළුවන්. මෙම ලිපිය ආරම්භයේ සඳහන් කළ ජේම්ස් පවසන්නේ, “මගේ අම්මයි තාත්තයි මට කරුණු පැහැදිලි කරලා දෙනකම්ම මම හිතුවේ මම තමයි වැරදිකාරයා කියලා.” යෞවන නැන්සිගේ මව සහ පියා වෙන් වූ විට ඇය සිතුවෙත් එහෙමයි. නමුත් ඇය ඇගේ මව සමඟ කීපවතාවක්ම සාකච්ඡා කළාට පසු මෙම නිගමනයට එළඹුණා. “දෙමාපියන් කරන වැරදිවලට ළමයි පළි නෑ.” ඔව්, ඔබේ දෙමාපියන්ටම ‘ඔවුන්ගේ වගකීම දැරීමට ඉඩ දීමෙන්’ ඔබට දැනෙන සිත්තැවුලෙන් නිදහස් විය හැක. (ගලාති 6:5) ඊළඟට මතු වන ප්‍රශ්නය වන්නේ පියෙක් නොමැති නිවසක ඔබ කටයුතු කරන්නේ කෙසේද යන්නයි. මෙම ලිපි මාලාවේ මතු ලිපියක ඒ සඳහා පිළිතුරු ලබා දෙයි.

[පාදසටහන්වල]

a මෙහි සමහර නම් වෙනස් කර ඇත.

b “පියෙකු නොමැති කල—පිළියමක් සොයා” නමැති 2000 පෙබරවාරි 8 පිබිදෙව්! කලාපයේ මුල් ලිපි පෙළ බලන්න.

c විවාහ වූ දෙදෙනෙකුට දික්කසාද වී නැවත විවාහ වීමට ඇති එකම බයිබල් පදනම වේශ්‍යාකම පමණයි.—මතෙව් 19:9.

[15වන පිටුවේ පින්තූරය]

ඔබේ දෙමාපියන්ගේ විවාහ ජීවිතයේ ගැටලුවලට ඔබ ඔබටම දොස් පවරා නොගන්න