නිර්වින්දනයේ සුල මුල
නිර්වින්දනයේ සුල මුල
රෝගියෙකු ශල්‍යාගාරයට ඇතුල් වන විට එම රෝගියාට යම් චකිතයක් දැනීම සාමාන්‍ය දෙයකි. නමුත් 1840ට පෙර රෝගීන් ශල්‍යාගාරයට ගියේ පණ භයේ ගැහෙමිනුයි. එයට හේතුව, එවකට නිර්වින්දනය කිරීම තියා නිර්වින්දනය යන වචනයවත් අසා නොතිබීමයි. ඩෙනිස් ෆෙරේඩින් විසින් රචිත “We Have Conquered Pain,” නමැති ග්‍රන්ථයේ ඔහු පවසන්නේ, “ශල්‍ය වෛද්‍යවරු ශල්‍යාගාරයට පැමිණියේ විස්කි බෝතල් දෙකක් අතැතිවය. එක් බෝතලයක් රෝගියාගේත් අනෙක රෝගියා නඟන මරලතෝනිය දරාගැනීම සඳහා වෛද්‍යවරයාගේත් භාවිතය පිණිසත්ය.”
රෝගියාට බොන්න දී මත් කරයි
වෛද්‍යවරු, දන්ත වෛද්‍යවරු සහ රෝගීහු පවා ශල්‍යකර්මය කරන අවස්ථාවේ අත් විඳින වේදනාව අවම කරගැනීමට අත්හදා නොබලපු දෙයක් නැති තරම්ය. චීන සහ ඉන්දියානු වෛද්‍යවරුන් විසින් මරිජුවානා සහ හාෂිශ් ඒ සඳහා භාවිත කරන ලදි. මත්පැන් භාවිතයට ගත් ලෙසම අබින්ද ලෝකයේ බොහෝ පැතිවල පුළුල් ලෙස භාවිත කෙරිණි. “ඇනස්තීසියා” (නිර්වින්දනය එනම් ඖෂධ මගින් වේදනාව නොදැනෙන්න සැලැස්වීම) යන වචනය මුලින්ම ව්‍යවහාරයට ගෙන ආවේ පුරාණ ග්‍රීක් සර්වාංග විශේෂඥයෙකු වූ ඩයොස්කොරිඩීස් විසිනුයි. ඔහු එම වචනය දී ඇත්තේ ඖෂධ පැළෑටි විශේෂයක් සහ වයින් එකතු කොට තනා ඇති පානය සතු නිර්වින්දක හැකියාවටය. ඊට පසු කාලවල සමහර වෛද්‍යවරු මෝහනය වැනි ක්‍රම පවා අත්හදා බැලූහ.
එහෙත් අත් විඳින වේදනාවේ නම් කිසිදු අඩුවක් නොවීය. එමනිසා ශල්‍ය වෛද්‍යවරු සහ දන්ත වෛද්‍යවරු ඔවුන්ට හැකි උපරිම වේගයෙන් ශල්‍යකර්මය නිම කිරීමට වෙහෙස දැරූහ. ඇත්තෙන්ම එම කාල වකවානුවේ වෛද්‍යවරුන්ව ශ්‍රේණිගත කරනු ලැබුවේ ඔවුන්ගේ වේගය අනුවයි. කොතරම් වේගයෙන් නිම කළත් රෝගියාට අත් විඳින්න සිදු වන වේදනාව නම් අප්‍රමාණයි. මේ හේතුව නිසා බොහෝ මිනිසුන් ශරීරයේ ඇති ගෙඩි සහ මුඛයේ ඇති නරක් වූ දත් වැනි දේවල් සඳහා ප්‍රතිකාර නොකර සිටීමට කැමැත්තක් දැක්වීය.
සල්ෆියුරික් අම්ලය සහ නයිට්රස් ඔක්සයිඩ් හෙවත් හිනා වායුව
වර්ෂ 1275දී ස්පාඤ්ඤ සර්වාංග විශේෂඥයෙකු වූ රේමන්ඩ් ලුලස් රසායනික ද්‍රව්‍ය උපයෝගි කරගනිමින් යම් පර්යේෂණවල නිරතව සිටි විට වාෂ්පශීලී සහ ගිනි ඇවිලෙනසුලු දියරයක් නිපදවූ අතර එය සල්ෆියුරික් අම්ලය ලෙස ඔහු හැඳින්වීය. දහසයවන සියවසේදී ස්විට්සර්ලන්තයේ උපන් පැරසෙල්සස් ලෙස කවුරුත් දන්න සර්වාංග විශේෂඥයෙකු මෙම සල්ෆියුරික් අම්ලය කුකුල් පැටවුන්ට ආඝ්‍රාණය කිරීමට සැලැස්වූ අතර පසුව ඔහුට නිරීක්ෂණය කිරීමට හැකි වූයේ මෙම පැටවුන් නිදිබර වූවා පමණක් නොව උන්ට කිසි වේදනාවක්ද නොදැනුණ බවයි. මෙම අම්ලය නිපදවූ ලුලස් මෙන්ම මොහුද මෙය අත්හදා බැලීමට මනුෂ්‍යයන්ව යොදා නොගත්තේය. වර්ෂ 1730දී ෆ්‍රෝබෙනියස් නමැති ජර්මානු ඖෂධවේදියෙකු ග්‍රීක් බසින් “දිව්‍ය” යන අරුත් ඇති ඊතර් යන නාමයෙන් මෙම දියරය හැඳින්වීය. වර්තමානයේද එම නාමයම භාවිත කරයි. එහෙත් ඊතර් දියරය සතු නිර්වින්දක හැකියාවේ නියම ප්‍රයෝජන තේරුම්ගැනීමට තවත් වසර 112ක් ගත විය.
මේ අතරතුර 1772දී ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයෙකු වූ ජෝසෆ් ෆීස්ට්ලි විසින් නයිට්රස් ඔක්සයිඩ් නමැති වායුව සොයාගන්නා ලදි. මුලදී මෙම වායුව සුළු වශයෙන්
පවා භාවිත කිරීම අනතුරුදායකයි කියා මනුෂ්‍යයන් සිතීය. පසුව 1799දී බ්‍රිතාන්‍යයේ ඖෂධවේදියෙකු සහ නිෂ්පාදකයෙකු වූ හම්ෆ්‍රී ඩේවී මෙම වායුවේ නියම ස්වභාවය අත්හදා බැලීම සඳහා තමාවම යොදාගැනීමට තීරණය කළේය. ඔහුව මවිතයට පත් කරමින් එම වායුව, එනම් නයිට්රස් ඔක්සයිඩ් ඔහුව සිනායෑමට සැලැස්වීය. එමනිසා ඔහු එය හිනා වායුව ලෙස විකට නාමයකින් හැඳින්වීය. ඩේවී නයිට්රස් ඔක්සයිඩ් වායුව සතු ප්‍රබල නිර්වින්දක හැකියාව ගැන සඳහන් කළත් එවකට සිටි කිසිවෙකුගේ උනන්දුව අවදි කරවීමට එය සමත් නොවීය.ඊතර් සහ හිනා වායුව, විනෝදය සඳහා
මෙම හිනා වායුවට ඩේවී ටික කාලයකට ඇබ්බැහි වී සිටි නිසා මෙම වායුවේ බලපෑම් මත ඔහු කළ විකට ක්‍රියා ප්‍රසිද්ධ විය. එම වායුව හුදු විනෝදය තකා ආඝ්‍රාණය කිරීමද ශීඝ්‍රයෙන්ම ජනප්‍රිය විය. වීදි නාට්‍යකරුවන් ඔවුන්ගේ වැඩසටහන්වල අංගයක් ලෙස නරඹන්නන්ගෙන් කැමති කෙනෙකුට වේදිකාවට පැමිණ නයිට්රස් ඔක්සයිඩ් වායුව ආඝ්‍රාණය කිරීමට අවස්ථාවක් ලබා දුන්නේය. පසුව වේදිකාවට පැමිණ වායුව ආඝ්‍රාණය කළ අයගේ විකට ක්‍රියා නරඹන්නන්ව කුල්මත් කළේය.
මෙම කාල වකවානුවේම විනෝදය තකා ඊතර් භාවිතයද ජනප්‍රිය විය. එක් දිනක් ක්‍රෝෆඩ් ඩබ්ලිව්. ලෝං නමැති තරුණ අමෙරිකානු සර්වාංග වෛද්‍යවරයා නිරීක්ෂණය කළේ තම මිතුරන් ඊතර් භාවිත කළ පසු එහි බලපෑම නිසා වැටී තුවාල වුවත් ඔවුන්ට කිසි වේදනාවක් දැනුණේ නැති බවය. ඔහු ඒ අවස්ථාවේදීම ශල්‍යකර්ම සඳහා එය භාවිත කිරීමේ හැකියාව ගැන සිතා බැලීය. ශල්‍යකර්මයකදී අත්හදා බැලීමේ ප්‍රස්තාව උදා කළේ විනෝදය සඳහා ඊතර් භාවිත කිරීමට පැමිණි ජේම්ස් වෙනබල් නමැති ශිෂ්‍යයායි. ඉවත් කළ යුතු සාමාන්‍ය ප්‍රමාණයේ ගෙඩි දෙකක් ඔහුට තිබුණත් ශල්‍යකර්මය සිදු කෙරෙන අවස්ථාවේ දැනෙන වේදනාව උහුලාගැනීමට බැරි නිසාවෙන් ඔහු ශල්‍යකර්මය කල් දැමීය. ඊතර් භාවිත කරමින් ශල්‍යකර්මය කිරීමට ලෝං යෝජනාවක් ඉදිරිපත් කළේය. වෙනබල් මෙයට එකඟ වූ අතර 1842 මාර්තු 30වෙනිදා වේදනාවක් අත් නොවිඳින ශල්‍යකර්මයකට ඔහු භාජන විය. කෙසේනමුත් ලෝං සොයාගත් දෙය ඔහු විසින් 1849 දක්වා ප්‍රසිද්ධ නොකරන ලදි.
දන්තවෛද්‍යවරුත් නිර්වින්දනය සොයාගනී
වර්ෂ 1844 දෙසැම්බර්වලදී හෝරස් වේල්ස් නමැති අමෙරිකානු දන්ත වෛද්‍යවරයෙකු විනෝද සැණකෙළියකට සහභාගි වූ අතර එහිදී කොල්ටන් නමැති එක්තරා උයන්පල්ලෙක් නයිට්රස් ඔක්සයිඩ් වායුව ආඝ්‍රාණය කරන ආකාරය නිරූපණය කර පෙන්වීය. වේල්ස් තම කැමැත්තෙන්ම එම වායුව ආඝ්‍රාණය කිරීමට ඉදිරිපත් වුණත් සිදු වන දේ නිරීක්ෂණය කිරීම සඳහා පියවි සිහියෙන් සිටීමට උවමනා වූ හෙයින් සුළු වශයෙන් ආඝ්‍රාණය කිරීමට ඔහු වග බලාගත්තේය. මේ අතර, සහභාගි වූ එක් පුද්ගලයෙකුගේ කකුල යකඩ පුටුවක තදින් වැදී ලේ ගැලුවත් ඔහුට කිසි වේදනාවක් නොදැනුණ බව ඔහු දුටුවේය. වේල්ස් එම රාත්‍රියේදීම තම දන්ත ශල්‍යකර්මයන් සඳහා නයිට්රස් ඔක්සයිඩ් භාවිත කිරීමට තීරණය කළේය. ඔහු පළමුකොට එය අත්හදා බැලීම සඳහා තමාවම යොදාගත්තේය. ඒ සඳහා ඔහු තමාට වේදනාවක් ගෙන දුන් ඥාන දත ගැළවීම සඳහා සෙසු දන්ත වෛද්‍යවරයෙකු වූ ජෝන් රිග්ස්ටද වායුව සැපයීම සඳහා කොල්ටන්ටද වගකීම පවරන ලදි. එම දන්ත ශල්‍යකර්මය සාර්ථක විය.
වේල්ස් තම සොයාගැනීම ප්‍රසිද්ධ කිරීම සඳහා මිතුරන් ඉදිරියේ එය නිරූපණය කිරීමට තීරණය කළේය. ඒ අවස්ථාවේ ඔහු සෑහෙන කලබලයට පත්ව සිටි නිසා නියමිත ප්‍රමාණයෙන් රෝගියාට වායුව සැපයීමට අසමත් විය. එහෙයින් දත ගළවන අවස්ථාවේදී රෝගියා කෑගැසීය. ඒ අවස්ථාවේදී වේල්ස්ගේ මිතුරෝ ඔහුට සිනාසීමට පටන්ගත්හ. නමුත් ඔවුන් ඒ අවස්ථාවේ රෝගියාගෙන් ඒ පිළිබඳව විමසිය යුතුව තිබුණත්
ඔවුන් එසේ නොකළේය. පසුව එම රෝගියා වේල්ස්ට කියා සිටියේ ඔහු කෑගැසුවත් ඔහුට දැනුණේ සුළු වේදනාවක් පමණක් බවයි.වර්ෂ 1846 සැප්තැම්බර් 30වනදා තවත් අමෙරිකානු දන්ත වෛද්‍යවරයෙකු වූ විලියම් මෝටන් රෝගියෙකුට 1842දී ලෝං විසින් භාවිත කරන ලද ඊතර් ප්‍රමාණයම ලබා දෙමින් වේදනා රහිත දන්ත ශල්‍යකර්මයක් කළේය. මෝටන් භාවිතය සඳහා ඊතර් සූදානම් කළේ ප්‍රවීන ඖෂධවේදියෙකු වන චාල්ස් තෝමස් ජැක්සන්ගේ උපකාරය ඇතිවය. ලෝංට වෙනස්ව මෝටන් ශල්‍යකර්මයකට යන රෝගියෙකුට ඊතර් මගින් සපයන නිර්වින්දන ශක්තිය ගැන නිරූපණය කර පෙන්වීය. වර්ෂ 1846 ඔක්තෝබර් 16වනදා බෝස්ටන් නුවර මැසචුසෙට්ස් ප්‍රදේශයේදී රෝගියෙකුගේ හකුවේ තිබූ මස්දළුවක් ඉවත් කිරීම සඳහා මෝටන් විසින් රෝගියාව නිර්වින්දනය කිරීමෙන් පසු ශල්‍ය වෛද්‍ය වොරන් විසින් ශල්‍යකර්මය සිදු කරන ලදි. එම ශල්‍යකර්මය ඉතා සාර්ථක එකක් වූ අතර එම ආරංචිය අමෙරිකාව සහ යුරෝපය පුරා ලැව්ගින්නක් මෙන් පැතිරගියේය.
තවත් සොයාගැනීම්
මෙම සතුටුදායක සොයාගැනීම් සහ විවිධ වායූන් යොදාගනිමින් කළ අත්හදා බැලීම් දිගටම ක්‍රියාත්මක විය. වර්ෂ 1831දී ක්ලෝරෝෆෝම් සොයාගත් අතර 1847දී එය භාවිත කිරීමත් සමඟ සාර්ථකත්වයක් අත් කරගන්නා ලදි. සමහරක් පැතිවල නිර්වින්දනය සඳහා එය යොදාගැනීමට වැඩි කැමැත්තක් දැක්වීය. වර්ෂ 1853 අප්‍රියෙල් මාසයේදී එංගලන්තයේ ක්වීන් වික්ටෝරියා රෝහල ඇතුළු විවිධ රෝහල්වල දරු ප්‍රසුතියේදී ස්ත්‍රීන්ට ක්ලෝරෝෆෝම් දෙනු ලැබීය.
අභාග්‍යයකට මෙන් සාර්ව නිර්වින්දනයේ ඉතිහාසය මත අඳුරු වලාවක් වැටුණි. නිර්වින්දනය සොයාගැනීම (නිර්වින්දනය සඳහා යොදාගන්නා සංයෝගවල සෙවීම නොවේ) පිළිබඳ ගෞරවය හිමි වන්නේ ලෝං, වේල්ස් හෝ මෝටන්ටද නැතහොත් මෝටන්ට සහයෝගය දුන් ප්‍රවීන ඖෂධවේදී ජැක්සන්ටද කියා තීරණය කිරීමේදී තියුණු මතවාදයකට මුහුණ පෑමට සිදු විය. මෙතුවක් කිසිම එකඟතාවකට පැමිණීමට නොහැකි වුවත් මෙම යුග පුරුෂයන් හතරදෙනාටම ගෞරවය හිමි විය යුතුයි කියා බොහෝදෙනෙක් සිතති.
මේ අතරමැදි කාලය තුළ ස්ථානීය නිර්වින්දනය පිළිබඳ දියුණුවක් ඇති විය. මෙය ප්‍රාදේශිය නිර්වින්දනය ලෙසද බොහෝවිට හඳුන්වයි. මෙම නිර්වින්දනයේදී රෝගියාට සිහිකල්පනාව තිබෙන අතර ශල්‍යකර්මය සිදු කරන ස්ථානය පමණක් නිර්වින්දනය කරයි. අදදින දන්ත වෛද්‍යවරු දත් සහ විදුරුමහේ රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී ස්ථානීය නිර්වින්දනය යොදාගන්නා අතර සර්වාංග වෛද්‍යවරු සුළු සැත්කම් සහ ශරීරයට සිදු වූ තුවාලයකට ප්‍රතිකාර කිරීමේදී මෙය යොදාගනී. නිර්වින්දකයන් සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියක් සිදු කරන අවස්ථාවේදී ස්ත්‍රීන්ට දෙනු ලබන්නේ ස්ථානීය නිර්වින්දනයයි.
කාලයාගේ ඇවෑමෙන් නිර්වින්දක විද්‍යාව වෙනම වෛද්‍ය ක්ෂේත්‍රයක් හැටියට දියුණු විය. වර්තමානයේ රෝගියෙකුව ශල්‍යකර්මය සඳහා සූදානම් කිරීමේදී නිර්වින්දකයන්ද එයට දායක වෙති. ඔවුන් නවීනතම උපකරණ උපයෝගි කරගනිමින් රසායනික ද්‍රව්‍ය කිහිපයක් සම්මිශ්‍රණය කොට සාදාගත් නිර්වින්දකයක් ඔක්සිජන් සමඟින් රෝගියාට දෙනු ලැබේ. මුලින්ම ධමනිය තුළින් ශරීරයට නිර්වින්දකය ලබා දෙන අතර නිර්වින්දක වායු දෙනු ලබන්නේ පසුවය. මේ හේතුව නිසා රෝගීන් බොහෝදෙනෙකු තමන්ගේ වෛද්‍යවරයා නිර්වින්දක වායු භාවිත කරන බව නොදනිති. ශල්‍යකර්මය අවසානයේදී රෝගියාගේ වේදනාව මැඩපැවැත්වීම සඳහාද නිර්වින්දකයෝ සහාය වෙති.
ඔබට යම් දිනක ශල්‍යකර්මයකට මුහුණ දීමට සිදු වුවහොත් අනවශ්‍ය ලෙස කලබල නොවන්න. නමුත් මොහොතකට මෙසේ සිතන්න. ඔබ ශතවර්ෂ දෙකකට පෙර ශල්‍යාගාරයේ ඇඳක දිගා වී සිටින විට ඔබේ ශල්‍ය වෛද්‍යවරයා විස්කි බෝතල් දෙකක් රැගෙන ඔබ වෙතට පැමිණෙනවා. ඒත් එක්කම අද කාලයේ නිර්වින්දකයෙක් නවීනතම ආම්පන්න සමඟින් ඉතාමත් සන්සුන්ව ඔබ දෙස බලා සිටිනවා. ඔබ එම නිර්වින්දකයා දුටු සැනින් සැනසුම් සුසුමක් හෙළන්නේ නැද්ද?
[29වන පිටුවේ කොටුව]
කටු චිකිත්සාව—නැඟෙනහිරෙන් පැමිණි වේදනා නාශකය
කටු චිකිත්සාව වේදනාව සමනය කිරීම සඳහා යොදාගත් පුරාතන චීන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස පිළිගැනේ. චීන කටු චිකිත්සකයන් විසින් එම කටු, ප්‍රතිකාර කරන ස්ථානයට ඈතින්, ශරීරයේ ඇතැම් නිලවලට ඇතුල් කරනු ලබයි. මෙම කටු ඇතුල් කළ පසු ඒවා කරකවනු ලැබේ. නැතහොත් අඩු විදුලි බලයකට එම කටු සම්බන්ධ කෙරේ. එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා පවසන්නේ, “ශල්‍යකර්මය සිදු කරන අවස්ථාවේ නිර්වින්දකයක් ලෙස කටු චිකිත්සාව භාවිත කිරීම සාමාන්‍ය ක්‍රියා පටිපාටියක්ව තිබූ බවයි. චීන රෝගීන්ව සම්පූර්ණ සිහිකල්පනාව ඇතිව කටු චිකිත්සාව මගින් පමණක් ස්ථානීය නිර්වින්දනය කර සංකීර්ණ (සාමාන්‍යයෙන් වේදනාකාරි) සැත්කම්වලට භාජනය කරනු ලබන ආකාරය බටහිරෙන් පැමිණි අය දැක තිබේ.”
කටු චිකිත්සාව කළ යුත්තේ හොඳින් පුහුණුව ලැබූ සහ එම විෂය පිළිබඳ හසළ දැනුමක් ඇති කෙනෙකු විසින් පමණි. එන්සයික්ලොපීඩියා අමෙරිකානා පවසන්නේ, “කටු චිකිත්සාවේ ඉඳිකටු මගින් හෘදය සහ පෙනහලු සිදුරු වීම නිසා භයානක අනතුරු සිදු වී ඇති අතර හරියාකාරව විෂබීජ නසා නොමැති ඉඳිකටු මගින් සෙංගමාලය සහ වෙනත් සුළු ආසාත්මිකතා ඇති විය හැකි බවයි.” ඇත්තෙන්ම සාර්ව නිර්වින්දනයේ හෝ ශල්‍යකර්මවලදී භාවිත කරන මොනයම් නිර්වින්දනයන්වල වුවත් යම් අන්තරාවන් ඇතැයි පැවසීමට පුළුවන.
[30වන පිටුවේ පින්තූරය]
නිර්වින්දක විද්‍යාව වෙනම වෛද්‍ය ක්ෂේත්‍රයක් හැටියට දියුණු වී ඇත
[හිමිකම් විස්තර]
Courtesy of Departments of Anesthesia and Bloodless Medicine and Surgery, Bridgeport Hospital - CT
[28වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
2වන සහ 28වන පිටු: Reproduced from Medicine and the Artist (Ars Medica) by permission of the Philadelphia Museum of Art/Carl Zigrosser/ Dover Publications, Inc.