Skip to content

පටුනට යන්න

පිළියම් සොයමින්

පිළියම් සොයමින්

පිළියම් සොයමින්

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටෙවූ දා පටන්, දරුවන්ව සහ ඔවුන්ට විශේෂිත වූ ගැටලු එම සංවිධානයේ අවධානයට ලක්ව ඇත. වසර 1946 අවසන් වෙද්දී, එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික ළමා හදිසි අරමුදල (UNICEF) පිහිටුවනු ලැබුවේ, යුද්ධයෙන් දෙදරා ගිය ප්‍රදේශවල විසූ දරුවන් රැකබලා ගැනීමේ අරමුණෙනි.

වසර 1953දී මෙම හදිසි අරමුදල නිත්‍ය සංවිධානයක් ලෙස පිහිටුවන ලදි. දැන් “හදිසි” යන වචනය ඉවත් කර, එය එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ලෙස නිල වශයෙන් හඳුන්වන අතර, ඊට තවමත් UNICEF යන කෙටි යෙදුම යොදනු ලැබේ. අඩ සියවසක් පුරා UNICEF සංවිධානය ලොව පුරා දරුවන්ට ආහාර පාන, ඇඳුම් පැළඳුම් සහ වෛද්‍ය ප්‍රතිකාර සපයා දෙමින්, එම දරුවන්ගේ අවශ්‍යතා ගැන සැලකිලිමත් වීමට ප්‍රයත්නයක් දරා ඇත.

වසර 1959දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ළමා හිමිකම් ප්‍රකාශය ස්ථාපිත කළ අවස්ථාවේදී, දරුවන්ගේ අවශ්‍යතාවලට අමතර අවධානයක් දෙන ලදි. (පස්වන පිටුවේ කොටුව බලන්න.) මෙම ප්‍රකාශය මගින් දරුවන්ගේ ගැටලු කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කරවයි කියා අපේක්ෂා කළ අතර, එමගින් ගැටලු නිරාකරණය කිරීම සඳහා මහජනයා මූල්‍යමය සහ වෙනත් ආකාරවලින් සහයෝගය ලබා දීමට ඉදිරිපත් වේයයි අපේක්ෂා කෙරිණ.

එනමුත්, ඉන් “විසි වසරක් ගෙවී ගියත් තවමත් මෙම හිමිකම් බොහෝමයක් ලැබී නැති බව” කෝලියර්ගේ 1980 වාර්ෂික පොතෙහි (ඉංග්‍රීසියෙන්) සඳහන් කර ඇත. එහි තවදුරටත් මෙසේ පැවසේ. “ලොවේ සිටින දරුවන් බිලියන 1.5න් වැඩිදෙනෙකුට ප්‍රමාණවත් පෝෂණය, සෞඛ්‍ය පහසුකම් සහ සැප සම්පත් ලැබී නැත.” දරුවන්ගේ ගැටලු නිරාකරණය කිරීමට නිරන්තර අවශ්‍යතාවක් ඇති බව තේරුම්ගනිමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි ප්‍රකාශිත ඉලක්කයන්වලට එකඟව, 1979 ජාත්‍යන්තර ළමා වසර ලෙස ප්‍රකාශ කළේය. මීට ප්‍රතිචාරයක් වශයෙන්, ලොව පුරා තිබෙන ආණ්ඩු මෙන්ම සමාජ සේවා, ආගමික සහ පුණ්‍ය කටයුතුවල නිරත වන සංවිධාන මගින් පවතින ගැටලු සඳහා විසඳුම් සෙවීමට උත්සුක විය.

“පුස්සක්”

ජාත්‍යන්තර ළමා වසර, දියුණු වෙමින් පවතින රටවල දරුවන්ට එතරම් ප්‍රතිඵලදායක වසරක් නොවීම ඇත්තෙන්ම කනගාටුවට කරුණකි. UNICEF සංවිධානයේ වාර්තාවකට අනුව, එම වසර අවසානයේදී, දරුවන්ගෙන් මිලියන 200ක් පමණ මන්දපෝෂණයෙන් පෙළී ඇති අතර, අවුරුදු පහකට කලින් මියගිය ළමුන් මිලියන 15න් හරි අඩක්ම මියගොස් ඇත්තේ මන්දපෝෂණය හේතුවෙනි. එම වසරේදී එවැනි රටවල සෑම විනාඩියකදීම මෙලොව එළිය දුටු ළමුන් 100දෙනෙකුගෙන්, 15දෙනෙක් අවුරුද්දක් ඇතුළත මරු දුටූහ. ප්‍රාථමික අධ්‍යාපනයක් ලබා ඇත්තේ සියයට 40කටත් වඩා අඩු පිරිසකි. මෙම UNICEF වාර්තාව ගැන අදහස් දැක්වූ ඉන්දීය පුවත්පතක (Indian Express) පළ වූ කතුවැකියකට අනුව අන්තර්ජාතික ළමා වසර “පුස්සක්” බවට පත් විය.

මෙම ප්‍රයත්නය නිරර්ථක උත්සාහයක් වන බව ඇතැම්හු කලින්ම දුටූහ. “දරුවන්ගේ තත්වයට පිළියමක් යෙදීමට නම්, ජාත්‍යන්තර ළමා වසරක් ප්‍රකාශයට පත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව” ලෙස්ප්‍රෙස්සෝ සඟරාවට ලියූ ෆාබ්‍රීට්සියෝ ඩෙන්ටීචේ පැවසීය. අනතුරුව එම සඟරාවේ මෙම අදහස පළ විය. “සමාජයක් ගොඩනැඟී ඇත්තේ එහි සිටින පුද්ගලයන්ගේ ජීවන රටාව අනුවය. අප වෙනස් කළ යුතු වන්නේ, එම ජීවන රටාවය.”

දරුවන්ගේ ගැටලුවලට පිළියමක් සෙවීමට දැරූ තවත් උත්සාහයක් වශයෙන්, 1990 සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සමුළුවක් පවත්වන ලදි. මෙය මිනිස් ඉතිහාසයේ, ලෝකයේ ජන නායකයන් රැස් වූ විශාලතම සමුළුවක් ලෙස සැලකිය හැක. ලෝක නායකයන් 70දෙනෙකුට වඩා පැමිණ සිටි මෙම සමුළුව පැවැත්වූයේ, 1989 නොවැම්බර් 20වනදා ස්ථාපිත කොට, 1990 සැප්තැම්බර් 2වනදා සිට ක්‍රියාත්මක කළ ළමා හිමිකම් පිළිබඳ සමුළුව පැවැත්වීමෙන් අනතුරුවය. සැප්තැම්බර් මාසය අවසන් වෙද්දී, ජාතීන් 39ක්ම එම ගිවිසුමට අත්සන් තබා තිබිණ.

මෑතකදී, UNICEF සංවිධානය මෙම අදහස් පළ කළේය. “මෙම සමුළුවෙන් ස්ථාපිත කළ ගිවිසුම වඩාත් පුළුල්ව පිළිගෙන ඇති ගිවිසුම බවට පත්ව ඇති අතර, දරුවන්ගේ අවශ්‍යතා සපුරා දීම සඳහා ජාත්‍යන්තරව නව ජීවයක්ද ලබා දී තිබේ.” ඇත්ත වශයෙන්ම, 1999 නොවැම්බර් වෙද්දී, මෙම ගිවිසුම ජාතීන් 191ක් විසින් පිළිගෙන තිබිණ. තවදුරටත් උදම් අණමින් UNICEF මෙසේ පැවසීය. “දරුවන්ගේ හිමිකම් සම්බන්ධයෙන් ස්ථාපිත කළ ගිවිසුමෙන් පසුව ගෙවී ගිය දශකයේ දරුවන්ගේ හිමිකම් හඳුනාගෙන ඒවා රැකගැනීමට වෙහෙසීමේ ප්‍රතිඵල දෙස බලන කල, මිනිස් ඉතිහාසයේ ඊට සමාන වෙනත් කිසිදු කාලපරිච්ඡේදයක ඒ තරම් ප්‍රගතියක් ලබා නැත.”

මෙපමණ දියුණුවක් ලබා ඇති බව කියා සිටියද, ජර්මනියේ ජනාධිපති යොහැනස් රවු මෙසේ අදහස් දැක්වීමට පෙලඹීය. “මේ වකවානුවේ වුවත්, දරුවන්ට හිමිකම් තිබෙන බව තවමත් මතක් කර දීමට සිදුවීම කනගාටුවට කරුණකි.” වෙනත් වචනවලින් කිවහොත්, දරුවන්ට තවමත් බරපතළ ගැටලු ඇති බවට වූ කාරණයට අප මුහුණ දිය යුතුය. වසර 1999 නොවැම්බර් මාසයේදී, “තමුන් ඉදිරියෙහි දැවැන්ත කාර්යයක් ඇති” බව පිළිගනිමින් UNICEF සංවිධානය මෙසේ පැහැදිලි කළේය. “ලොව පුරා අවුරුදු පහකට අඩු දරුවන් මිලියන 12ක් වසරක් වසරක් පාසා මියයති. මින් වැඩිදෙනා මියයන්නේ වළක්වාගත හැකි හේතුවලිනි. දියුණු වෙමින් පවතින රටවල දරුවන් මිලියන 130කට පමණ ප්‍රාථමික අධ්‍යාපනයක් නොලැබේ. . . . දරුවන් මිලියන 160ක් පමණ දැඩි ලෙස හෝ තරමක් දුරට මන්දපෝෂණයෙන් පෙළෙති. . . . අසරණ වූ දරුවන් බොහෝදෙනෙකු අනාථ නිවෙස්වල හෝ වෙනත් ආයතනවල කල් ගෙවන්නේ, නිසි අධ්‍යාපනයක් සහ නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලබමින්ය. මෙම දරුවෝ බොහෝවිට ශාරීරික අඩන්තේට්ටම්වලට ලක් වෙති. ගණන් බැලීම්වලට අනුව, දරුවන් මිලියන 250ක් පමණ මෙහෙකාරකමට යොදාගැනේ.” එමෙන්ම, අන්ත දුගීකමින් පෙළෙන දරුවන් මිලියන 600 ගැනත්, වසර 2000 අවසානයේදී, අඩුම තරමින් එක් මාපියෙක්වත් ඒඩ්ස් හේතුවෙන් අහිමි වී යන දරුවන් මිලියන 13දෙනා ගැනත් සඳහන් කළ යුතුමය.

මෙම ගැටලුවලට සතුටුදායක විසඳුම් ලබා දීමට දේශපාලන නායකයන්ට නොහැකි බව පැහැදිලිය. එහෙත් දරුවන් පිළිබඳ ගැටලු තුන්වන ලෝකයේ රටවලට පමණක් සීමා වී නැත. බටහිර රටවල සිටින දරුවන් විශාල පිරිසක්ද වෙනත් ආකාරයේ බලපෑම්වලට ලක් වෙයි.

[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මේ වකවානුවේ වුවත්, දරුවන්ට හිමිකම් තිබෙන බව තවමත් මතක් කර දීමට සිදුවීම කනගාටුවට කරුණකි”

[5වන පිටුවේ කොටුව⁄පින්තූරය]

එක්සත් ජාතීන්ගේ ළමා හිමිකම් ප්‍රකාශය:

● නමක් ඇතුව සිටීමේ සහ ජාතියකට අයත්ව සිටීමේ අයිතිය.

● ආදරය, සෙනෙහස සහ සැලකිල්ල මෙන්ම ද්‍රව්‍යමය වශයෙන් සුරක්ෂිතභාවයක් ලැබීමේ අයිතිය.

● ප්‍රමාණවත් පෝෂණයක්, ඉඳුම් හිටුම් සහ වෛද්‍ය ප්‍රතිකාර ලැබීමේ අයිතිය.

● ශාරීරිකව, මානසිකව ආබාධ වී ඇත්නම් හෝ සමාජීය මට්ටමින් යම් දුෂ්කරතාවන්ට මුහුණ දේ නම්, විශේෂ අවධානයක් ලැබීමේ අයිතිය.

● ඕනෑම තත්වයක් යටතේ මුලින්ම ආරක්ෂාව සහ සහනාධාර ලැබීමේ අයිතිය.

● ඕනෑම නොසැලකිල්ලකින්, කුරිරුකමකින් හෝ සූරාකෑමකින් ආරක්ෂා වීමට තිබෙන අයිතිය.

● සෙල්ලම් කිරීමට සහ විනෝද වීමට තිබෙන අයිතිය. තම පෞද්ගලික හැකියාවන් දියුණු කර, සමාජයේ වටිනා පුරවැසියෙකු වීම සඳහා සෙසු අයට ලැබෙන්නාක් මෙන් නොමිලේ ලබා දෙන අනිවාර්ය අධ්‍යාපනයක් ලබාගැනීමට තිබෙන අයිතිය.

● නිදහස් මෙන්ම ආත්ම ගරුත්වය රැකෙන වාතාවරණයක් තුළ, තම හැකියාවන් සම්පූර්ණයෙන්ම දියුණු කරගැනීමට තිබෙන අයිතිය.

● අන්‍යොන්‍ය තේරුම්ගැනීම, සාධාරණකම, මිත්‍රත්වය, සමාදානය සහ සහෝදරකමක් තිබෙන වාතාවරණයක් තුළ ඇති දැඩි වීමේ අයිතිය.

● ජාතිය, පාට සහ ආගම කුමක් හෝ වේවා, දේශපාලනික හෝ වෙනයම් දෙයකට ඇති නැඹුරුවාව කුමක් හෝ වේවා, පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ වේවා, ජාතික හෝ සමාජීය පසුබිම කුමක් හෝ වේවා, දේපොළ, උපන් තැන සහ තරාතිරම කුමක් හෝ වේවා, සියලු හිමිකම් භුක්ති විඳීමට තිබෙන අයිතිය.

[හිමිකම් විස්තර]

මෙම සාරාංශය පදනම්ව ඇත්තේ Everyman’s United Nations මතය.

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

UN PHOTO 148038/Jean Pierre Laffont]

UN photo

[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

4වන සහ 5වන පිටුවල ඇති ඡායාරූප Giacomo Pirozzi/Panos Pictures