Skip to content

පටුනට යන්න

පුරඃස්ථ ග්‍රන්ථියේ ආබාධ සමඟ සාර්ථකව කටයුතු කිරීම

පුරඃස්ථ ග්‍රන්ථියේ ආබාධ සමඟ සාර්ථකව කටයුතු කිරීම

පුරඃස්ථ ග්‍රන්ථියේ ආබාධ සමඟ සාර්ථකව කටයුතු කිරීම

“මට අවුරුදු 54ක් වෙන කොට නිතර නිතර මුත්‍රා යන්න පටන්ගත්තා. සමහර වෙලාවට මම පැය භාගයකට වරක් මුත්‍රා කළා. අන්තිමට මම වෛද්‍යවරයෙකුව හමු වෙලා මේ ගැන පැවසුවා. මගේ පුරඃස්ථ ග්‍රන්ථිය ඉවත් කරන්න සිදු වන බව ඔහු මට කිව්වා.” පුරඃස්ථ ග්‍රන්ථියේ ආබාධවලට ප්‍රතිකාර කරන සායනවලට පැමිණෙන බොහෝදෙනෙක් ඒ හා සමාන දේවල් පවසති. පුරඃස්ථ ග්‍රන්ථියේ ආබාධ වළක්වාගැනීම සඳහා පුරුෂයෙකුට කුමක් කළ හැකිද? ඔහු වෛද්‍ය උපදෙස් ලබාගත යුත්තේ කුමන අවස්ථාවේදීද?

කුරුම්බැට්ටයක හැඩයෙන් යුත් පුරඃස්ථ ග්‍රන්ථිය මුත්‍රාශයට පහළින් හා එහි ගෙල වටා පිහිටා තිබේ. (පුරුෂයෙකුගේ ශ්‍රෝණිය දක්වන රූපය බලන්න.) සාමාන්‍ය වැඩිහිටි පුරුෂයෙකුගේ පුරඃස්ථ ග්‍රන්ථියේ බර ග්‍රෑම් 20ක් වන අතර, එහි හරස් අක්ෂය (වමේ සිට දකුණට) සෙන්ටි මීටර් 4ක් වේ. එහි සිරස් අක්ෂය සෙන්ටි මීටර් 3ක් වන අතර තිරස් අක්ෂය (උදරයේ සිට පිටකොන්ද දෙසට) සෙන්ටි මීටර් 2ක් වේ. මෙම ග්‍රන්ථියෙන් කෙරෙන කාර්යය වන්නේ, තරලයක් නිපදවීම වන අතර, ශුකාණු පරිමාවෙන් සියයට 30ක් පමණ එම තරලයෙන් සමන්විතය. මෙම තරලයේ සිට්රික් අම්ලය, කැල්සියම් හා එන්සයිම අඩංගු වන නිසා ශුක්‍රාණුවල චලනය (පිහිනා යෑමට ඇති හැකියාව) හා සරුබව වැඩි වන බවට විශ්වාස කෙරේ. එපමණක්ද නොව, පුරඃස්ථ ග්‍රන්ථියෙන් ස්‍රාවය කෙරෙන තරලයේ අඩංගු වන සින්ක් නමැති මූලද්‍රව්‍යය, ප්‍රජනන පද්ධතියේ ඇති වන ආසාදනවලට එරෙහිව සටන් කරන බව විද්‍යාඥයෝ පවසති.

පුරඃස්ථ ග්‍රන්ථියේ ආබාධ හඳුනාගැනීම

පුරුෂයන්ගේ ශ්‍රෝණියේ ඇති වන රෝග ලක්ෂණ කිහිපයකටම හේතුව වන්නේ පුරඃස්ථ ග්‍රන්ථියේ ප්‍රදාහයක් හෝ ගෙඩියක් හටගැනීමයි. පුරඃස්ථ ග්‍රන්ථියේ ප්‍රදාහයක් නොහොත් ඉදිමීමක් (Prostatitis) නිසා උණ, මුත්‍රා කිරීමේ අපහසුතාව හා ශ්‍රෝණියේ පිහිටි ත්‍රිකයේ හෝ මුත්‍රාශයේ වේදනාවක් ඇති විය හැක. පුරඃස්ථ ග්‍රන්ථිය හුඟක් ඉදිමුණු විට, මුත්‍රා කිරීම අපහසු වේ. ඉදිමීමට හේතුව බැක්ටීරියාවක් නම් එමගින් ඇති වන වේදනාව ඉතා දරුණු විය හැකි අතර, එය කෙටි කලක් හෝ දිගු කලක් පුරා පැවතිය හැකියි. මෙය බැක්ටීරියාමය පුරඃස්ථි ප්‍රදාහය (Bacterial prostatitis) කියා හඳුන්වනු ලැබේ. බොහෝ අවස්ථාවලදී මෙයට හේතුව මුත්‍රා මාර්ගයේ ඇති වන ආසාදනයකි. කෙසේවෙතත්, මෙම තත්වයට ගොදුරු වී සිටින රෝගීන්ගෙන් බොහෝදෙනෙකුගේ පුරඃස්ථ ග්‍රන්ථිය ඉදිමීමට හේතුව නිශ්චිතව සොයාගත නොහැක. මෙවන් අවස්ථාවකදී එය හඳුන්වන්නේ බැක්ටීරියාමය නොවන පුරඃස්ථි ප්‍රදාහය (Nonbacterial prostatitis) ලෙසය.

පොදුවේ දක්නට ලැබෙන පුරඃස්ථ ග්‍රන්ථියේ ආබාධවලදී නිතර නිතර මුත්‍රා කිරීම, රාත්‍රියේදී කිහිප වතාවක් නින්දෙන් අවදි වී මුත්‍රා කිරීමට සිදුවීම, මුත්‍රා පහරේ වේගය අඩුවීම හා මුත්‍රාශය සම්පූර්ණයෙන්ම හිස් නොවූ බවක් දැනීම යන ලක්ෂණ දැකිය හැක. සාමාන්‍යයෙන් මෙම ලක්ෂණ මගින් පුරඃස්ථ ග්‍රන්ථියේ දරුණු නොවන අධිවර්ධනයක් (Benign Prostatic Hyperplasia, BPH) තිබෙන බව ඇඟවිය හැකියි. මේ රෝගී තත්වයේදී පුරඃස්ථ ග්‍රන්ථිය විශාල වී තිබෙන බව දැකිය හැකි මුත් එය පිළිකාවක් නොවේ. මෙයට බොහෝවිට ගොදුරු වන්නේ වයස අවුරුදු 40ට වැඩි පුරුෂයන්ය. BPH නමැති මේ රෝගි තත්වය වයසට යෑමත් සමඟ වර්ධනය වේ. පනස්පස්වන වියේ පසු වන පුරුෂයන්ගෙන් සියයට 25ක්ද 75වන වියේ පසු වන පුරුෂයන්ගෙන් සියයට 50ක්ද මෙයට ගොදුරු වී සිටියි.

පිළිකාවක් නිසාද පුරඃස්ථ ග්‍රන්ථියේ ආබාධ ඇති විය හැක. පුරඃස්ථ ග්‍රන්ථියේ ආබාධයක් ඇතැයි සිතිය හැකි කිසිදු රෝග ලක්ෂණයක් නොතිබුණත්, විටින් විට කරනු ලබන පරීක්ෂණ මගින් පුරඃස්ථ ග්‍රන්ථියේ ඇති වන පිළිකා සොයාගත හැක. පිළිකාව වඩාත් දරුණු වූ විට මුත්‍රාශය ඉදිමීම නිසා මුත්‍රා හිර විය හැක. පුරඃස්ථ ග්‍රන්ථියේ පිළිකාව සිරුරේ වෙනත් ඉන්ද්‍රියන්වලටද පැතිරී ගිය විට කොන්දේ කැක්කුම, ස්නායු රෝග හා වසා පද්ධතිය අඩපණ වීම නිසා පාද ඉදිමීමද සිදු වේ. මෑතකදී එක්සත් ජනපදයෙන් පමණක් පුරඃස්ථ ග්‍රන්ථියේ පිළිකාව හටගෙන තිබෙන රෝගීන් 3,00,000ක් වාර්තා වූ අතර, 41,000ක් මියගොස් තිබේ. වයස අවුරුදු 60ත් 69ත් අතර වයස් කාණ්ඩයේ සිටින පුරුෂයන්ගෙන් සියයට 30කටද, වයස අවුරුදු 80ත් 89ත් අතර පුරුෂයන්ගෙන් සියයට 67කටද පුරඃස්ථ ග්‍රන්ථියේ පිළිකාව වැළඳිය හැකි බව විද්‍යාඥයෝ විශ්වාස කරති.

එය වැළඳීමට වැඩි ඉඩ කඩක් තිබෙන්නේ කාටද?

පුරඃස්ථ ග්‍රන්ථියේ පිළිකා ඇතිවීමට වැඩි ඉඩ කඩක් තිබෙන්නේ වයස අවුරුදු 50 ඉක්මවූ පුරුෂයන්ට බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ. එක්සත් ජනපදයේ මෙම පිළිකාවට ගොදුරු වූ කළු ජාතිකයන්ගේ ගණන සුදු ජාතිකයන්ගේ ගණන මෙන් දෙගුණයකි. මෙම රෝගයේ ව්‍යාප්තිය රටින් රටට වෙනස් වන අතර, වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වෙන්නේ උතුරු අමෙරිකාවෙන් හා යුරෝපීය රටවල්වලිනි. අඩුම රෝගීන් පිරිසක් ආසියාවෙන්ද ඒ අතරමැද ප්‍රමාණයක් දකුණු අමෙරිකාවෙන්ද වාර්තා වේ. මෙයින් ඇඟවෙන්නේ පරිසරය හා ආහාර පුරුදු පුරඃස්ථ ග්‍රන්ථියේ පිළිකා ඇතිවීමට බලපෑ හැකි බවයි. යම් කෙනෙකු මෙම රෝගය බහුල ලෙස පැතිරී තිබෙන රටක වාසය කළහොත් මෙම රෝගය වැළඳීමට ඔහුට තිබෙන ඉඩ කඩ වැඩිය.

යම් පුරුෂයෙකුගේ ඥාතියෙකුට පුරඃස්ථ ග්‍රන්ථියේ පිළිකාවක් වැළඳී තිබෙනවා නම්, ඔහුටද එම පිළිකාව ඇතිවීමට තිබෙන ඉඩ කඩ වැඩිය. “තමාගේ පියාට හෝ සහෝදරයෙකුට මේ රෝගය වැළඳී තිබෙනවා නම්, සාමාන්‍ය කෙනෙකුට වඩා ඔහුට මේ රෝගය වැළඳීමට තිබෙන ඉඩ කඩ දෙගුණයකින් වැඩියි” කියා අමෙරිකානු පිළිකා සංගමය පැහැදිලි කරයි. මෙම රෝගයට ගොදුරු වීමට බලපාන සාධක අතර වයස, වර්ගය, ජාතිය, පවුලේ ඉතිහාසය, ආහාර රටාව හා ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත නොවීම යනාදිය සඳහන් කළ හැක. මේදය බහුලව තිබෙන ආහාර ගන්න හා වැඩි වේලාවක් එක තැන වාඩි වී සිටින පුරුෂයන්ද සිටින්නේ පුරඃස්ථ ග්‍රන්ථියේ පිළිකාවට ගොදුරු වීමට වැඩි ඉඩ කඩක් තිබෙන තත්වයකය.

පුරඃස්ථ ග්‍රන්ථියේ රෝග වැළැක්වීම

විද්‍යාඥයෝ පුරඃස්ථ ග්‍රන්ථියේ පිළිකාවට හේතු තවමත් හරිහැටි සොයාගෙන නොමැති වුවත්, ජාන මෙන්ම හෝමෝන හා සම්බන්ධ සාධක මෙයට හේතු විය හැකි බව විශ්වාස කරති. අවදානමක් ඇති කරන සාධක දෙකක් වන ආහාර රටාව හා ශාරීරික ක්‍රියාකාරකම්වල නිරත නොවීම අපට පාලනය කළ හැකිවීම සතුටට කරුණකි. “මේදය බහුල සත්ව ආහාර ගැනීම සීමා කරන්න කියාත්, ශාකවලින් ලබාගන්න ආහාර වැඩිපුර ආහාර වේලට එක් කරගන්න කියාත්” අමෙරිකානු පිළිකා සංගමය නිර්දේශ කරයි. “සෑම දවසකම පස් වතාවක් හෝ ඊට වැඩි වතාවක් පලතුරු හා එළවළු ආහාරයට ගන්න” කියාත් පාන්, ධාන්‍ය හා පිෂ්ටය අඩංගු ආහාර, බත් හා බෝංචි වැඩිපුර ආහාරයට ගන්න කියාත් එම සංගමය තවදුරටත් නිර්දේශ කරයි. ඔක්සිකරණය වළක්වන ද්‍රව්‍යයක් වන ලයිකොපීනිස් නමැති ද්‍රව්‍යය තක්කාලි, සිදරන් හා කොමඩුවල බහුල ලෙස අන්තර්ගතව ඇති අතර, DNAවලට වන හානිය වැළැක්වීමට එම ද්‍රව්‍යයට හැකිය. එමගින් පුරඃස්ථ ග්‍රන්ථියේ පිළිකා ඇතිවීමට තිබෙන ඉඩ කඩද අවම කරයි. සමහර ඖෂධ පැළෑටි හා ඛනිජ වර්ග මගින් පුරඃස්ථ ග්‍රන්ථියේ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරගත හැකි බව ඇතැම් විශේෂඥයෝ පවසති.

පුරඃස්ථ ග්‍රන්ථියේ පිළිකාවක් තිබේද කියා සොයා බැලීම සඳහා වෛද්‍ය පරීක්ෂණ නිතර නිතර සිදු කිරීම මගින් ජීවිත බේරාගත හැකි බව අමෙරිකානු පිළිකා සංගමය හා අමෙරිකානු මෞත්‍රවේදී සංගමය විශ්වාසය පළ කරයි. පිළිකාව මුල් අවස්ථාවේදීම සොයාගත් විට, එයට සාර්ථකව ප්‍රතිකාර කිරීමට තිබෙන හැකියාව වැඩිය. මේ තත්වයට ගොදුරු වීමට වැඩි අවදානමක් තිබෙන වයස අවුරුදු 50ට හෝ 45ට වැඩි වයස් කාණ්ඩයේ පසු වන පුරුෂයන් අවුරුද්දකට වතාවක්වත් වෛද්‍ය පරීක්ෂණයකට ලක්වීම සුදුසුයි කියා අමෙරිකානු පිළිකා සංගමය නිර්දේශ කරයි. a

මෙම වෛද්‍ය පරීක්ෂණයට පුරඃස්ථ ග්‍රන්ථි පිළිබඳ විශේෂිත ප්‍රතිදේහජනක රුධිර පරීක්ෂාව (PSA) ඇතුළත් වේ. මෙම ප්‍රතිදේහජනකය පුරඃස්ථ සෛල මගින් නිපදවනු ලබන ප්‍රෝටීනයකි. මෙම ප්‍රෝටීනය ඉහළ අගයක් ගැනීමෙන් ඇඟවෙන්නේ පුරඃස්ථ ග්‍රන්ථියේ ආබාධයක් තිබෙන බවයි. “ඔබේ PSA පරීක්ෂණයේ ප්‍රතිඵල සාමාන්‍ය තත්වයක නොතිබෙනවා නම්, පිළිකාවක් ඇතිවීමට තිබෙන ඉඩ කඩ ගැනත්, තවත් පරීක්ෂණ කළ යුතුද යන්න ගැනත් ඔබේ වෛද්‍යවරයාගෙන් අසන්න” කියා අමෙරිකානු පිළිකා සංගමය පවසයි. මෙහිදී ගුද මාර්ගයට ඇඟිල්ල යොදා කරන පරීක්ෂණයක්ද (DRE) අවශ්‍ය විය හැකියි. පුරඃස්ථ ග්‍රන්ථිය පිහිටා තිබෙන්නේ ගුදයට ඉදිරිපසින් නිසා රෝගියාගේ ගුද මාර්ගය ඔස්සේ ඇඟිල්ල දමද්දී පුරඃස්ථ ග්‍රන්ථියේ යම් අසාමාන්‍ය තත්වයක් තිබුණොත් වෛද්‍යවරයාට එය දැනේ. (විසිවන පිටුවේ තිබෙන පුරුෂයෙකුගේ ශ්‍රෝණිය දක්වන රූපය බලන්න.) “PSA සහ DRE පරීක්ෂණ මගින් යම් අසාමාන්‍ය තත්වයක් තිබෙන බව හඳුනාගත් විට” ගුද මාර්ගය ඔස්සේ කරන අතිධ්වනි පරීක්ෂණය (TRUS) සිදු කිරීම අවශ්‍ය විය හැකියි. මෙම පරීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව පුරඃස්ථ ග්‍රන්ථියෙන් ලබාගන්නා පටක යොදාගෙන කරන පරීක්ෂණයක් (Biospy) කිරීමට නිර්දේශ කළ යුතුද නැද්ද කියා වෛද්‍යවරයා තීරණය කරයි. මෙම පරීක්ෂණයට විනාඩි 20ක පමණ කාලයක් ගත වේ.

පුරඃස්ථ ග්‍රන්ථියේ පිළිකාවක් ඇති වී තිබෙනවාද කියා සොයා බැලීමට අමතරව, මෞත්‍ර පද්ධතියේ පරීක්ෂණයක් වාර්ෂිකව සිදු කිරීම මගින් කලින් සඳහන් කළ BPH ඇද්දැයි මුල් අවදියේදීම සොයාගත හැක. එම තත්වයට මුල් අවස්ථාවේදී ප්‍රතිකාර කිරීම පහසුය. (“BPH සඳහා ප්‍රතිකාර” නමැති කොටුව බලන්න.) යහපත් සදාචාරාත්මක ගති පැවතුම් ඇතුව සිටීමෙන් පුරඃස්ථ ග්‍රන්ථියේ ප්‍රදාහයකට හේතු විය හැකි ලිංගිකව බෝවෙන රෝගවලින් ආරක්ෂා වීමට පුළුවන.

ඔබේ පුරඃස්ථ ග්‍රන්ථිය රෝගවලින් ආරක්ෂා කරගැනීමට ඔබ කටයුතු කළ යුතුය. මේ ලිපිය ආරම්භයේදී සඳහන් කළ තැනැත්තා සැත්කමකින් පසුව සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙන බව පැවසුවේය. කිසිම රෝග ලක්ෂණයක් නොමැති වුවත් “සෑම පුරුෂයෙක්ම අවුරුද්දකට වතාවක් වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතුයි” කියා ඔහු පවසයි.

[පාදසටහන]

a ඔබ මේ වයස් කාණ්ඩයේ පසු වන කෙනෙකු නම්, “පුරඃස්ථ ග්‍රන්ථියේ දරුණු නොවන අධිවර්ධනයේ රෝග ලක්ෂණ” (BPH) නමැති කොටුව බලන්න.

[21වන පිටුවේ කොටුව]

පුරඃස්ථ ග්‍රන්ථියේ දරුණු නොවන අධිවර්ධනයේ රෝග ලක්ෂණ (BPH)

උපදෙස්: අදාළ ඉලක්කම රවුම් කිරීමෙන් පහත සඳහන් ප්‍රශ්නවලට උත්තර සපයන්න.

1-6 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතු ආකාරය:

0—නැත

1—පහෙන් එකකට වඩා අඩුය

2—අඩකට වඩා අඩුය

3—අඩක් පමණ

4—අඩකට වඩා වැඩිය

5—සෑම වතාවකම පාහේ

1. පසුගිය මාසය තුළ ඔබ මුත්‍රා කිරීමෙන් පසු ඔබේ මුත්‍රාශය සම්පූර්ණයෙන්ම හිස් වී නොමැති බව ඔබට කී වතාවක් දැනුණාද?0 1 2 3 4 5

2. පසුගිය මාසය තුළ, ඔබ මුත්‍රා කිරීමෙන් පසු පැය දෙකකට වඩා අඩු කාලයකදී, ඔබට නැවත කී වතාවක් මුත්‍රා කිරීමට අවශ්‍ය වූවාද? 0 1 2 3 4 5

3. පසුගිය මාසය තුළ, ඔබ මුත්‍රා කරන අතරතුර, මුත්‍රා යෑම කිහිපවතාවක් නැවතී නැවත ආරම්භ වී තිබෙන බව ඔබ කී වතාවක් අද්දැක තිබේද? 0 1 2 3 4 5

4. පසුගිය මාසය තුළ, මුත්‍රා කිරීම ප්‍රමාද කිරීම දුෂ්කර බව ඔබට කී වතාවක් දැනී තිබේද? 0 1 2 3 4 5

5. පසුගිය මාසය තුළ, මුත්‍රා පහර දුර්වල වී තිබෙන බව ඔබට කී වතාවක් දැනී තිබේද? 0 1 2 3 4 5

6. පසුගිය මාසය තුළ, මුත්‍රා කිරීම ආරම්භ කිරීම සඳහා කී වතාවක් වෙහෙසක් දැරීමට සිදු වී තිබේද?0 1 2 3 4 5

7. පසුගිය මාසය තුළ, ඔබ රාත්‍රියේ නින්දට ගිය වේලාවේ සිට උදෑසන අවදි වන වේලාව දක්වා මුත්‍රා කිරීම සඳහා කී වතාවක් නින්දෙන් අවදි වූවාද? (වතාවන් ගණන රවුම් කරන්න.) 0 1 2 3 4 5

ඔබේ BPHවල තත්වය දැනගත හැක්කේ රවුම් කළ මුළු ඉලක්කම්වල එකතුවෙනි. දරුණු නැත: 0-7; සාමාන්‍යයි: 8-19; දරුණුයි: 20-35.

[හිමිකම් විස්තර]

අමෙරිකානු මෞත්‍රවේදී සංගමය නිකුත් කළ තොරතුරු ඇසුරෙනි

[22වන පිටුවේ කොටුව]

BPH සඳහා ප්‍රතිකාර

ඖෂධ: එක් එක් රෝගියාගේ රෝග ලක්ෂණවලට අනුව විවිධ බෙහෙත් වර්ග රැසක් භාවිත කෙරේ. ඔබ සඳහා ඒවා නිර්දේශ කළ හැක්කේ ඔබේ වෛද්‍යවරයාට පමණි.

විමසිලිමත්ව සිටීම: මෙහිදී රෝගියා කළ යුත්තේ කලින් කලට වෛද්‍ය පරීක්ෂණවලට පෙනී සිටීමයි. බෙහෙත් පාවිච්චි කිරීම අවශ්‍ය නැත.

සැත්කම්:

(අ) මුත්‍රා මාර්ගය ඔස්සේ පුරඃස්ථ ග්‍රන්ථිය කපා ඉවත් කිරීම (TURP). මෙහිදී වෛද්‍යවරයා මුත්‍රා මාර්ගය ඔස්සේ විශේෂිත උපකරණයක් (resectoscope) යවයි. මෙම උපකරණයේ තිබෙන විද්‍යුත් ලූපය මගින් රුධිර වාහිනි ආරක්ෂා කරමින් පුරඃස්ථ ග්‍රන්ථියේ පටක කැපීම සිදු වේ. මෙහිදී බාහිර කැපුමක් සිදු නොවේ. මේ සැත්කම සඳහා විනාඩි 90ක පමණ කාලයක් ගත වේ. බාහිර කැපුමක් ඇති කරමින් කරන සැත්කමකට වඩා මුත්‍රා මාර්ගය ඔස්සේ කරන මෙම ක්‍රමයේදී තුවාල වන්නේ අඩුවෙනි.

(ආ) මුත්‍රා මාර්ගය ඔස්සේ යවන උපකරණයක් මගින් පුරඃස්ථ ග්‍රන්ථිය කැපීම (TUIP).  මෙයත් TURP හා සමානය. එහෙත් මෙහිදී සිදු වන්නේ, මුත්‍රාශයේ ගෙලෙහි හා පුරඃස්ථ ග්‍රන්ථියෙහි කුඩා කැපුම් කිහිපයක් ඇති කරවමින් මුත්‍රා මාර්ගය පළල් කිරීමයි.

(ඇ) විවෘත සැත්කම.  මෙම සැත්කම සිදු කරන්නේ මුත්‍රා මාර්ගය ඔස්සේ කරන සැත්කමට අදාළ වන ක්‍රියාවලිය කළ නොහැකි තරමටම පුරඃස්ථ ග්‍රන්ථිය විශාල වී තිබෙන විටය. විවෘත සැත්කමේදී බාහිර කැපුමක් කිරීමට සිදු වේ.

(ඈ) ලේසර් සැත්කම. මුත්‍රා මාර්ගය අවහිර කරන පුරඃස්ථ ග්‍රන්ථියේ පටක වාෂ්ප කර දැමීමට ලේසර් කිරණ භාවිත කරනු ලැබේ.

තෝරාගත යුතු ප්‍රතිකාර ක්‍රමය කුමක්ද යන්න ගැන අවසන් තීරණය ගත යුත්තේ රෝගියාය. විශේෂයෙන් වයසක පුරුෂයන්ව පුරඃස්ථ ග්‍රන්ථියේ පිළිකා සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලට ලක් කිරීම කොතරම් ආරක්ෂාකාරිද යන්න ගැන ඇතැම් විශේෂඥයන් සැක පහළ කරන බවත්, “මෙම පිළිකාව නිසා බොහෝදුරට දිගු කාලයක් පුරා පවතින හානියක් සිදු නොවුවත්, මේ සඳහා කරන ප්‍රතිකාරවලින් බොහෝ අවස්ථාවලදී දරුණු අතුරු ආබාධ ඇති විය හැකි බවත්” ද නියූ යෝක් ටයිම්ස්හි මෑතකදී පළ වූ වාර්තාවක සඳහන් විය.

[22වන පිටුවේ කොටුව]

සැත්කමට කලින් ඔබේ වෛද්‍යවරයාගෙන් ඇසිය හැකි ප්‍රශ්න

1. ඔබ නිර්දේශ කරන්නේ කුමන ආකාරයේ සැත්කමක්ද?

2. මට සැත්කමක් කිරීම අවශ්‍ය වන්නේ ඇයි?

3. සැත්කමක් කිරීම වෙනුවට තිබෙන විකල්ප ප්‍රතිකාර ක්‍රම මොනවාද?

4. සැත්කම කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද?

5. සැත්කම නිසා මුහුණ දීමට සිදු වන අවදානම් මොනවාද? (උදාහරණයක් හැටියට, අධික ලෙස රුධිරය ගැලීම හෝ ලිංගික දුබලතාව.)

6. මේ සැත්කම නොකළොත් මට සිදු වන්නේ කුමක්ද?

7. මේ ගැන තවදුරටත් සිතා බැලීම සඳහා මට තොරතුරු ලබාගත හැක්කේ කොහෙන්ද?

8. රුධිර ප්‍රවේශනයක් නොමැතිව මේ සැත්කම කිරීම සම්බන්ධයෙන් ඔබට තිබෙන අද්දැකීම් මොනවාද?

9 .සැත්කම සිදු කරන්නේ කොහේද? රුධිර ප්‍රවේශනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට රෝගියා සතු අයිතිවාසිකම්වලට වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ගරු කරනවාද?

10. මට අවශ්‍ය වන්නේ කුමන ආකාරයේ නිර්වින්දනයක්ද? රුධිර ප්‍රවේශනයක් නොමැතිව සැත්කම් කිරීම සම්බන්ධයෙන් නිර්වින්දක වෛද්‍යවරයාට අද්දැකීම් තිබෙනවාද?

11. මට සුවවීමට කොපමණ කාලයක් ගත වෙයිද?

12. සැත්කම සඳහා කොපමණ මුදලක් වැය වෙයිද?

[20වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

පුරුෂයෙකුගේ ශ්‍රෝණි පෙදෙස දක්වන රූපසටහන

මුත්‍රාශය

පුරඃස්ථ ග්‍රන්ථිය

ගුද මාර්ගය

මුත්‍රා මාර්ගය

[23වන පිටුවේ පින්තූරය]

යහපත් ආහාර පුරුදු හා යම් ප්‍රමාණයකට කරන ව්‍යායාම මගින් පුරඃස්ථ ග්‍රන්ථියේ පිළිකා ඇතිවීමට තිබෙන අවදානම අඩු කරගත හැක