Skip to content

පටුනට යන්න

මරණය පරාජය කිරීමට විද්‍යාවට හැකිද?

මරණය පරාජය කිරීමට විද්‍යාවට හැකිද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

මරණය පරාජය කිරීමට විද්‍යාවට හැකිද?

මීට වසර ගණනාවකට පෙර එවැනි ප්‍රශ්නයක් නැඟීම පවා අනුවණකමක් මෙන් පෙනෙන්ට තිබුණි. නමුත් දැන්, සමහරු ඒ ගැන බැරෑරුම් ලෙස සලකා බලති. තාක්ෂණික ක්‍රම යොදාගැනීමෙන් පලතුරු මැස්සන්ගේ හා පණුවන්ගේ ජීවිත කාලය දීර්ඝ කිරීමට විද්‍යාඥයන්ට හැකි වී තිබෙන නිසා, මිනිසුන් සම්බන්ධයෙනුත් එම ක්‍රමය අත්හදා බැලිය හැකියි කියා සමහරු සිතති.

සාමාන්‍ය මිනිස් සෛල මියයන බැවින්, ඒවා බෙදී යන්නේ සීමිත වාර ගණනක් දක්වා පමණක් බව පර්යේෂණ මගින් පෙන්වා ඇත. ඉන් එහාට ඒවායේ බෙදීමක් සිදු නොවේ. එම ක්‍රියාවලිය මිනිසුන් මහලු වන හා මියයන කාලය නියම කරන, ශරීරය තුළ සවි කර තිබෙන ඔරලෝසුවක් මෙනි. විද්‍යාඥයන් දැන් සැරසෙන්නේ මෙම ඔරලෝසුවේ වෙලාව යළි සකස් කිරීමටයි.

වයසට යෑම සඳහා මූලිකවම හේතු වන්නේ DNAවල අග කොටස එනම් ටෙලමිය ලෙසින් හැඳින්වෙන කොටසය යන්න එක් ජනප්‍රිය මතයකි. ගැට ගසන ලද සපත්තු ලේස් පටලැවීම වළක්වාගැනීමට ලේස් එකේ අගට යොදා තිබෙන ප්ලාස්ටික් කොපුවලට එම ටෙලමිය කොටස් සමාන කර තිබේ. ඇතැම් සෛල බෙදී යන සෑම අවස්ථාවකදීම, ඩයිනමයිටයකට සවි කර ඇති ගිනි නූලක් දැවෙන විට එය කෙටි වන්නාක් මෙන්, ටෙලමිය කොටස්ද කෙටි වන බව විද්‍යාඥයන්ගේ නිරීක්ෂණය වී තිබේ. මින් පැහැදිලි වන්නේ අන්තිමේදී, සෛලවල බෙදීම නතර කරවන තරමටම ටෙලමිය කොටස් කෙටි වන බවයි. කෙසේවෙතත්, එක්තරා එන්සයිමයක් තිබෙන විට ටෙලමිය කෙටි නොවේ. මේ හේතුවෙන්, සදාකාලිකවම බෙදීමේ හැකියාවක් සෛලවලට ලබා දිය හැකි බවත් විශ්වාස කෙරේ. එම පර්යේෂණයට අතගසා තිබෙන සමාගමක විධායක නිලධාරියෙකු පැවසුවේ මෙලෙසිනි. “මිනිස්සුන්ට අමරණීයත්වය අත් කරගත හැකියි කියා මුල්ම වතාවට සිතන්න පුළුවන් වෙලා තියෙනවා.” එහෙත් සෑම විද්‍යාඥයෙකුම ඊට එකඟ නොවේ.

මියයෑමට හේතුව

ඇත්තවශයෙන්ම, බයිබලය කෙරෙහි විශ්වාසය තබා ඇති අය, මිනිසුන්ට සහස්‍ර ගණනාවක් පුරා සදාකල් ජීවත් විය හැකි බව විශ්වාස කර තිබේ. ඔවුන් විශ්වාසය තබා තිබෙන්නේ මානව විද්‍යාඥයන් කෙරෙහි නොව සියලු ජීවමාන දේවල් මැවූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා වන යෙහෝවා දෙවි කෙරෙහියි.—ගීතාවලිය 104:24, 25.

බයිබලයේ පෙන්වන්නේ, මිනිසුන් මියයනවා දැකීම දෙවිගේ අරමුණ නොවූ බවය. මුල් මනුෂ්‍ය යුවළ දෙවිගේ ස්වරූපයෙන් මවනු ලැබූ අතර ඔවුන්ව පදිංචි කරවූයේ පාරාදීස උයනකයි. මනසේ හෝ ශරීරයේ කිසි දෝෂයක් නොමැති පරිපූර්ණ ජීවිතයක් ඔවුන්ට ලැබී තිබුණි. එබැවින් එවන් තත්වයක් යටතේ ඔවුන්ට සදහටම මිහිපිට ජීවත් වීමේ ප්‍රස්තාවද තිබුණි. දෙවිගේ ආශාව වූයේ එවන් ජීවිතයක් ඔවුන් භුක්ති විඳිනවා දැකීමයි. දරුවන් බිහි කිරීමට හා පාරාදීසය ක්‍රම ක්‍රමයෙන් මුළු පොළොවටම ව්‍යාප්ත කිරීමට ඔහු විසින් ඔවුන්ට උපදෙස් දෙන ලදි.—උත්පත්ති 1:27, 28; 2:8, 9, 15.

උත්පත්ති 3වන පරිච්ඡේදයේ පෙන්වන ආකාරයට, ලැබෙන දඬුවම මරණය බව දැන දැනම ආදම් දෙවිට විරුද්ධව කැරලිගැසුවේය. එපමණක්ද නොව, අකීකරු ක්‍රියාමාර්ගයකට යොමුවීමෙන් ඔහු තමන්ගෙන් පැවතෙන්නන්ට පාපය හා මරණයද උරුම කර දුන්නේය. ප්‍රේරිත පාවුල් ඒ ගැන පැහැදිලි කළේ මේ අයුරිනි. “එක් මනුෂ්‍යයෙකු කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.” (රෝම 5:12) වෙනත් අයුරකින් පවසනවා නම්, ආදම් පව් කළ නිසා ඔහුගේ ශරීරය තවදුරටත් පරිපූර්ණ තත්වයක පැවතුණේ නැත. ඔහු ක්‍රම ක්‍රමයෙන් මහලු වී මියගියේය. ඔහුගෙන් පැවතෙන්නන්ටද එම කැළල උරුම විය.

එසේ නම් මිනිසුන්ට මරණය හිමි වූයේ ආදම්ගේ කැරලිගැසීම හා ඉන්පසු දෙවි දුන් විනිශ්චය හේතුවෙනි. එම විනිශ්චය වෙනස් කිරීමට මිනිසුන්ට නොහැකියි. බොහෝ පැතිවලින් වෛද්‍ය විද්‍යාව දියුණු වී ඇතත්, මීට වසර 3,500ට පෙර මෝසෙස් දේවානුභාවයෙන් පැවසූ මෙම වදන් තවමත් සත්‍යයක් වී තිබේ. “අපේ ජීවිතයේ දවස් අවුරුදු හැත්තෑවක්ය, ශක්තිය ඇත්නම් අවුරුදු අසූවක්ය; එසේ වූවත් ඒවායේ යහපත් භාගය පවා වෙහෙස හා දුකමය; මක්නිසාද එය වහාම ගතවෙයි, අපිද ඉගිලී යමුව.”—ගීතාවලිය 90:10.

නොමියෙන ජීවිතයක් සඳහා යෙහෝවාගෙන් දීමනාවක්

කෙසේවෙතත්, බලාපොරොත්තුවක් තිබීම සතුටට කරුණකි! මිනිසා මියයෑම වත්මන් තත්වය වී තිබුණත්, මෙම තත්වය සදහටම පැවතීම යෙහෝවාගේ අරමුණ නොවේ. ආදම් හා ඒව මියයෑම සාධාරණ වුවත්, ඔවුන්ගෙන් ඉපදීමට සිටියවුන් අතරින් බොහෝදෙනෙකු දෙවිගේ ප්‍රේමනීය අධීක්ෂණය අගය කරමින් ඊට යටත් වන බව දෙවි දැන සිටියේය. මිහිපිට සදහටම ජීවත් වීම සඳහා එවැන්නන්ට ඔහු දීමනාවක් සැපයුවේය. ගීතිකාකරු පැවසුවේ මෙයයි. “ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.” (ගීතාවලිය 37:29) එහෙත් මෙය ඉටු කරන්නේ කෙලෙසද?

මෙය, DNA තුළ සැඟවී ඇති අභිරහස් ක්‍රියාවලිය මිනිසා විසින් හෙළි කිරීමේ ප්‍රතිඵලයක් හැටියට සිදු වන්නක් නොවේ. මෙම සදාකාල ජීවිතය යෙහෝවාගෙන් ලැබෙන දීමනාවකි. ඔහු එය දානය කරන්නේ ඔහු කෙරෙහි ඇදහිල්ල තබන අයටයි. ආදම් සහ ඒවගෙන් පැවතෙන්නන්ට මිදීමක් අවශ්‍ය වන බව වටහාගනිමින් ඔහු සදාකාල ජීවිතය ලබා දීමට මාධ්‍යයක් සැපයුවේය. එය යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ මිල පූජාවයි. යේසුස් එම දීමනාව ගැන සඳහන් කළේ මෙලෙසය. ‘දෙවි ස්වකීය ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයාට ප්‍රේම කළේය. එසේ කළේ ඔහු කෙරෙහි අදහාගන්න සෑමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.’—යොහන් 3:16.

ආදම් මෙන්ම යේසුස්ද පරිපූර්ණ මිනිසෙක් විය. එහෙත් ආදම් මෙන් නොව යේසුස් දෙවිට පූර්ණ කීකරුකමක් දැක්වුවේය. මෙබැවින් ආදම්ගේ පාපයට වන්දි ගෙවීමක් වශයෙන් තම පරිපූර්ණ ජීවිතය පුද කිරීමට යේසුස්ට හැකි විය. මෙම ප්‍රේමනීය ක්‍රියාව නිසා යුක්තිය නමැති තුලාව සමබර විය. ඒ හේතුවෙන් ආදම්ගේ දරුවන්ට මරණයේ වහල්භාවයෙන් නිදහස් වීමට හැකියාව ලැබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, යේසුස් කෙරෙහි අදහන සියලුදෙනාටම නොමියෙන ජීවිතයක දීමනාව දෙවිගෙන් ලැබෙනු ඇත.—රෝම 5:18, 19; 1 තිමෝති 2:5, 6.

අසම්පූර්ණත්වයෙන් මිදී නොමියෙන ජීවිතයක් ලබාගැනීමට මිනිසාට හැකිකම තිබුණි නම්, මිදීමේ මිලයක් අවශ්‍ය නොවනු ඇත. බයිබලය මෙම ඥානවන්ත උපදෙස ලබා දෙයි. ‘අධිපතීන් කෙරෙහිවත් පිහිට විය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාසය නොතබන්න. ඔහුගේ හුස්ම නික්ම යයි. ඔහු ස්වකීය භූමියට හැරී යයි. එදාම ඔහුගේ කල්පනාව නැති වේ. යාකොබ්ගේ දෙවි උපකාර කොට ඇත්තාවූ, තමාගේ දෙවි වූ යෙහෝවා කෙරෙහි තමාගේ බලාපොරොත්තුව තබා ඇත්තාවූ තැනැත්තේ වාසනාවන්තය. දෙවි අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් මැව්වේය. ඔහු සදාකල්ම සත්‍යය පවත්වන්නේය.’—ගීතාවලිය 146:3-6.

මරණය පරාජය කළ හැක්කේ විද්‍යාත්මක පර්යේෂණවලට නොව යෙහෝවාටය. තමා අරමුණු කරන ඕනෑම දෙයක් ඉටු කිරීමට දෙවිට හැකියි. ඇත්තෙන්ම ඔහු එය ඉටු කරන්නේය. මන්ද, ‘දෙවිට කළ නොහැකි කිසිවක් නැත.’—ලූක් 1:37, නව අනුවාදය.

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Charles Orrico/SuperStock, Inc.