Skip to content

පටුනට යන්න

ආදරය බිඳී යන්නේ ඇයි?

ආදරය බිඳී යන්නේ ඇයි?

ආදරය බිඳී යන්නේ ඇයි?

“ආදරයෙන් බැඳෙන තරම් ඉක්මනටම ආදරය බිඳී යන්නත් පුළුවන්.”—ආචාර්ය කැරන් කයිසර්.

ආදරය මුළුමනින්ම බිඳී ගොස් ඇති විවාහයන් එන්න එන්නම වැඩි වෙමින් පවතී. මේ ගැන අප එතරම් පුදුමයට පත් විය යුතු නැත. මන්ද විවාහය කියන්නේ වෙන කිසිම මිනිස් සබඳතාවකට වඩා අභියෝගවලින් පිරුණු එකක් වන නිසාය. තවද බොහෝදෙනෙකු විවාහයට පා තබන්නේ එම අභියෝගවලට මුහුණ දීමට කිසිදු සූදානමක් නොමැතිවය. වෛද්‍ය ඩීන් එස්. ඊඩල් එය මනාව පැහැදිලි කළේ මෙලෙසය. “අපි රියදුරු බලපත්‍රයක් ලබාගන්න කලින් වාහනයක් එළවන්න අපිට සුදුසුකම් තියෙන බව ඔප්පු කරන්න ඕනේ. හැබැයි විවාහ සහතිකය ලබාගන්න නම් අත්සනක් ගහන්න විතරයි තියෙන්නේ.”

යුග දිවිය සතුටින් ගෙවන බොහෝදෙනෙකු සිටියත්, තවත් බොහෝදෙනෙක් අසාර්ථක විවාහයන් තුළ අසරණ වී සිටිති. සමහරවිට යුවළක් අහස උසට බලාපොරොත්තු පොදි බැඳගෙන විවාහයට පා තැබුවත් එම සම්බන්ධය දිගින් දිගටම පවත්වාගෙන යෑමට අවශ්‍ය අද්දැකීම් හා කුසලතා නොමැති වීම නිසා ප්‍රශ්නවලට මුහුණ දිය හැක. ආචාර්ය හැරි රයිස් තත්වය පැහැදිලි කර දෙන්නේ මෙලෙසයි. “දෙදෙනෙක් ආදරයෙන් බැඳෙන විට ඔවුන් දෙදෙනා අතර ලොකු විශ්වාසයක් ගොඩනැඟෙනවා. ඔවුන් එකම විදිහට හිතන්න පුරුදු වෙනවා. ඒ නිසා තමන් ආදරය කරන කෙනා තරම් හොඳ කෙනෙක් මේ ලෝකයේ නැහැයි කියලා ඔවුන්ට හැඟෙන්න පුළුවන්. හැබැයි කාලයක් යද්දී ඒ හැඟීම ක්‍රමක්‍රමයෙන් බොඳ වී යන්න ඉඩ තියෙනවා. ඒ නිසා අන්තිමට වෙන්නේ විවාහය කඩාකප්පල් වෙන එකයි!”

සෑම විවාහයක්ම එවැනි තත්වයකට පත් නොවීම සතුටට කරුණකි. කෙසේවෙතත්, එවැනි තත්වයකට පත් වී තිබෙන විවාහයන් තුළ ආදරය නැති වී යෑමට හේතු මොනවාද කියා අපි දැන් කෙටියෙන් සලකා බලමු.

සිහින සැබෑ නොවූ විට . . .

“ජිමුයි මායි බැන්ද අලුත මං හිතුවේ හරියට සුරංගනා කතාවල කියන විදිහටම අපි දෙන්නාගේ ආදරය ජීවිතාන්තය දක්වාම තියෙයි කියලයි. ඒ සුන්දර සිහිනය හැමදාමත් තියෙයි කියලා මං බලාපොරොත්තු වුණා. හැබැයි ටික කාලයක් ගියාම මගේ සිතුම් පැතුම් සේරම බිඳිලා ගියා. ජිම් ගැන මම හොඳටම කලකිරෙන්න පටන්ගත්තා” කියා රෝස් පවසයි.

බොහෝවිට, අප සවන් දෙන සංගීතය, නරඹන චිත්‍රපට සහ කියවන පොත් පත් තුළ ආදරය ගැන බොළඳ අදහස් ඉදිරිපත් කර ඇත. ඇත්තෙන්ම, දෙදෙනෙකු ආදරය කරන විට ඔවුන්ට සාමාන්‍යයෙන් හැඟෙන්නේ තම සිහින සැබෑ වී ඇති බවය. නමුත් විවාහ වී ටික කලකට පසුව, විවාහ ජීවිතය නපුරු සිහිනයක් වගෙයි කියා ඔවුන්ට හැඟෙන්න පුළුවන. ඔවුන් අහසේ තැනූ මාළිගා බිඳ වැටෙන නිසා, ගැටලු නිරාකරණය කළ හැකි තත්වයක තිබියදී පවා විවාහය අසාර්ථක වී ඇති බවට ඔවුන් තීරණය කළ හැක.

කොහොම වුණත්, යම් අපේක්ෂා ඇතුව යුග දිවියට පා තැබීමෙහි වරදක් නැත. ඇත්තෙන්ම, තම කලත්‍රයාගෙන් ආදරය, අවධානය හා සහයෝගය වැනි දේවල් බලාපොරොත්තු වීම සාධාරණයි. නමුත් කනගාටුදායක ලෙස මෙවැනි සාධාරණ අපේක්ෂාවන් පවා ඉටු නොවන අවස්ථා තිබේ. විවාහක තරුණියක් වන මීනාගේ අද්දැකීම මෙයට හොඳ නිදසුනකි. “මගේ ස්වාමිපුරුෂයා මාව ගණන් ගන්නේවත් නැහැ. මං හරියට මේ ලෝකයේ තනි වෙලා වගේ” කියා ඇය තම තත්වය පැහැදිලි කර දෙයි.

නොගැළපෙන චරිත දෙකක් එක් වූ විට . . .

එක් කාන්තාවක් මෙසේ තම අදහස් පළ කළාය. මගේ මහත්තයයි මායි හරියට අහසයි පොළොවයි වගේ. අපි දෙන්නාගේ අදහස් පොඩ්ඩක්වත් ගැළපෙන්නේ නෑ. මං දවසක් නෑර කල්පනා කරන්නේ මොකටද මං එයාව බැන්දේ කියලයි.”

විවාහයට පෙර තමන්ගේ අදහස් උදහස් සෑහෙන දුරට එක සමාන බව සිතුවත්, විවාහ වී වැඩි කල් යන්න කලින් තමන්ගේ අදහස් එකිනෙකට නොගැළපෙන බව බොහෝ යුවළයන්ට තේරුම්ගොස් ඇත. “තනිකඩව ඉන්න කාලයේදී කෙනෙකුගේ දුර්වලකම් සැඟවිලා තියෙන්න පුළුවන්. හැබැයි විවාහයෙන් පස්සේ ඒ ගතිගුණ කැපීපෙනෙන විදිහට ඉස්මතු වෙනවා” කියා ආචාර්ය නීනා එස්. ෆීල්ඩ්ස් අදහස් දක්වයි.

එමනිසා තමන් කොයිම ආකාරයකින්වත් එකිනෙකාට ගැළපෙන්නේ නැහැයි කියා ඇතැම් විවාහක යුවළයන් නිගමනය කළ හැක. “පෞද්ගලිකත්වයේ හා රුචි අරුචිකම්වල සුළු සුළු සමානකම් තිබුණත්, අදහස් උදහස්, පුරුදු හා හැසිරීම අතින් විශාල වෙනස්කම් තිබෙන පුද්ගලයන් විවාහ වන” බව වෛද්‍ය ඒරන් ටී. බෙක් පවසයි. එම පරතරය අඩු කරගන්නේ කෙසේද කියා බොහෝ යුවළයන් දන්නේ නැත.

සමථයකට පත් කළ නොහැකි ගැටුම් ඇති වූ විට . . .

“අපි දෙන්නා රණ්ඩු වෙච්ච විදිහ මතක් වෙද්දී මටම පුදුමයි. අපි එහෙම රණ්ඩු වෙයි කියලා අපි කවදාවත් හිතුවේ නෑ. සමහර දවස්වලදී අපි මහ හයියෙන් බැණගත්තා. දවස් ගානක්ම කතා නොකර ඉඳලත් තියෙනවා” කියා සින්ඩි ඇගේ විවාහයේ මුල් අවදිය විස්තර කළාය.

විවාහයකදී අනිවාර්යයෙන්ම එකඟ නොවීම් ඇති වේ. එය අපට වැළැක්විය නොහැකි දෙයකි. නමුත් වැදගත් දේ වන්නේ අප ඒ තත්වයන්ට මුහුණ දෙන්නේ කෙසේද යන්නයි. “සාර්ථක විවාහයක් තුළ භාර්යාවටත් පුරුෂයාටත් තමන්ගේ අදහස් උදහස් විවෘතව ප්‍රකාශ කිරීමට නිදහසක් තිබිය යුතුයි. නමුත් කේන්ති ගියාම වෙන්නේ අනිත් කෙනාගේ චරිතය ඝාතනය වන විදිහට චෝදනා එල්ල කිරීමයි. අන්න එතකොටයි ප්‍රශ්න මතු වෙන්නේ” කියා ආචාර්ය ඩැන්යෙල් ගෝල්මන් පවසයි.

මෙලෙස චෝදනා එල්ල කිරීම උණුසුම් විවාදයකට මඟ පෑදිය හැකි අතර, එකිනෙකා තම තමාගේම අදහස් නිවැරදියි කියා ඔප්පු කරගැනීමට දැඩි ලෙස වෑයම් කළ හැක. එවිට දිව අදහස් හුවමාරු කිරීමේ මාධ්‍යයක් වශයෙන් නොව නමුත් ආයුධයක් මෙන් භාවිත කෙරේ. “ඉතා සැර විවාදයක් ඇති වෙද්දී අදහස් හුවමාරුවට තර්ජනයක් එල්ල වන ආකාරයේ දේවල් කටින් පිට විය හැකියි. එතකොට අදහස් හුවමාරුව ඇණ හිටිනවා. අදහස් හුවමාරුව ඇණ හිටිනවා කියන්නේ විවාහයකට සිදු විය හැකි ලොකුම හානියයි. මොකද අදහස් හුවමාරුවක් නැතුව විවාහයක් දිගටම පවත්වගෙන යන්න බැහැ” කියා ප්‍රවීණයන් කිහිපදෙනෙක් අදහස් පළ කළහ.

බලාපොරොත්තු අත්හරින විට . . .

“දැන් නම් මං අපේ ප්‍රශ්නවලට විසඳුමක් සොයන්නේ නෑ. අපේ ප්‍රශ්න කවදාවත් විසඳෙන ඒවා නෙවෙයි. ඒ හින්දා මං දැන් කරදර වෙන්නේ මගේ දරුවන් ගැන විතරයි” කියමින් විවාහ වී දැනට අවුරුදු පහක් පමණ වන කාන්තාවක් තම තත්වය හෙළි කළාය.

ආදරයේ විරුද්ධ පැත්ත වෛරය නොව උදාසීනත්වය බව ඇතමෙකු පවසා ඇත. මින් අදහස් වන්නේ කුමක්ද? විවාහය සාර්ථක එකක් කරගැනීමට කිසිදු උනන්දුවක් නොදැක්වීම හෝ උත්සාහයක් නොදැරීම කලත්‍රයන් අතර වෛරයක් තිබීම තරම්ම විනාශකාරි විය හැකි බවය.

බොහෝ විවාහක යුවළයන් ආදරය බිඳී ගිය තත්වයන්ට කොතරම් පුරුදු වී සිටිනවාද කියා පැවසුවොත්, ගැටලු විසඳගැනීම ගැන ඔවුන් මුළුමනින්ම බලාපොරොත්තු අත්හැර තිබේ. අවුරුදු විසිතුනක් තිස්සේ විවාහ වී සිටින පුරුෂයෙක් පැවසුවේ, තම විවාහය “හරියට අකමැත්තෙන් වුණත් කරන්න සිද්ධ වෙන රස්සාවක් වගේ” කියාය. “වෙන කරන්න දෙයක් නැති හින්දා ඔහේ ඉන්නං වාලේ ඉන්නවා” කියා ඔහු තවදුරටත් විස්තර කළේය. අවුරුදු හතක් පුරා විවාහ වී සිටින වෙන්ඩිද ඇගේ පුරුෂයා ගැන බලාපොරොත්තු අත්හැර ඇත. “මං කොච්චර උත්සහ කළාද ප්‍රශ්න විසඳගන්න. ඒත් මගේ මහත්තයා පොඩ්ඩක්වත් උනන්දු වුණේ නැහැ. අන්තිමට මම මානසික ලෙඩෙක් වුණා. ආයෙත් නම් එහෙම දෙයක් වෙන්න මම ඉඩ දෙන්නේ නැහැ. මම බලාපොරොත්තු තියාගන්න ගියොත් මගේ හිත රිදිලා මං ආයෙත් මානසික ලෙඩෙක් වෙයි. ඊට වඩා හොඳයි අසතුටින් වුණත් හැමදාමත් ඉන්න විදිහටම ඉන්න එක” කියා ඇය පවසයි.

සිහින සැබෑ නොවීම, චරිත නොගැළපීම, ගැටුම් ඇතිවීම හා බලාපොරොත්තු අත්හැරීම, විවාහයක ආදරය බිඳී යෑමට හේතු විය හැකි කාරණා ගණනාව අතරින් ස්වල්පයක් පමණි. පස්වන පිටුවේ තිබෙන කොටුවෙහි එවැනි තත්වයකට මඟ පෑදිය හැකි තවත් හේතු කිහිපයක් සඳහන් වේ. විවාහයක ආදරය නැති වී යෑමට හේතුව කුමක් හෝ වේවා එවැනි තත්වයකට මුහුණ දෙමින් සිටින යුවළයන්ට විසඳුමක් බලාපොරොත්තු විය හැකිද?

[5වන පිටුවේ කොටුව⁄පින්තූරය]

ආදරය බිඳී යෑමට තවත් හේතු

මුදල්: “අයවැය ලේඛනයක් සකස් කරගැනීමේදී තමන් සතු සම්පත් බෙදාගැනීමට හා සහයෝගයෙන් වැඩ කිරීමට හැකි වන නිසාත්, එම උත්සාහය තුළින් හොඳ ප්‍රතිඵල නෙළාගත හැකි නිසාත්, එයින් යුවළක් අතර තිබෙන එකමුතුකම වැඩි වනවායයි කෙනෙකු සිතිය හැක. නමුත් දෙදෙනෙකු අතර තිබෙන බැඳීම ශක්තිමත් කිරීමට දායක විය යුතු මෙම කාරණය පවා දෙදෙනා අතර භේදයක් ඇතිවීමට තුඩු දිය හැක.”—වෛද්‍ය ඒරන් ටී. බෙක්.

දෙමාපියභාවය: “තම පළමුවෙනි දරුවා ලැබුණායින් පසුව අධ්‍යයනයකට ලක් කළ විවාහක යුවළයන්ගෙන් සියයට හැටහතකගේම ප්‍රීතිය අඩු වීගෙන යන බව අපට හෙළි වී තිබේ. ඔවුන් අතර ගැටුම් හටගැනීමට තිබෙන ප්‍රවණතාවද අට ගුණයකින් වැඩි වී ඇත. දෙමව්පියන් බොහෝ අවස්ථාවලදී විඩාපත්ව සිටින නිසා ඔවුන් දෙදෙනාට එකට කාලය ගත කිරීමට නොහැකි වීම මෙයට එක හේතුවක් වශයෙන් දැක්විය හැක.”—ආචාර්ය ජෝන් ගොට්මන්.

රැවටීම: “කෙනෙකු තම කලත්‍රයාට ද්‍රෝහි වී ඇත්නම් ඔහු කර තිබෙන්නේ රැවටීමකි. රැවටීම කියන්නේ විශ්වාසය කඩ කිරීමකි. තවද විශ්වාසය නොමැතිව ශක්තිමත් මෙන්ම සාර්ථක විවාහයක් පවත්වාගත නොහැක. එසේ නම්, රැවටීමකින් විවාහ සම්බන්ධයට කොතරම් බලගතු පහරක් එල්ල විය හැකිද?”—ආචාර්යවරියක් වන නීනා එස්. ෆීල්ඩ්ස්.

ලිංගික කාරණා: “පුදුමයකට මෙන්, දික්කසාදය සඳහා පියවර ගන්නා බොහෝදෙනෙකු අවුරුදු ගණනාවක් පුරාම තම කලත්‍රයා සමඟ කිසිම ලිංගික සම්බන්ධයක් පවත්වා නැත! ඇත්තෙන්ම, සමහර යුවළයන් ලිංගික සම්බන්ධයක් පැවැත්වීමට මුළුමනින්ම අසමත් වී තිබේ. කිසිදු හැඟීමකින් තොරව තම කායික අවශ්‍යතා සංසිඳුවාගැනීම සඳහා පමණක්ම ලිංගික සම්බන්ධකම්වල නිරත වන අයද සිටිති.”—මනෝචිකිත්සක වෛද්‍යවරියක් වන ජූඩිත් එස්. වොල’ස්ටයින්.

[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]

දරුවන්ට බලපාන්නේ කෙසේද?

ඔබේ විවාහය හොඳ තත්වයක පවතිනවාද නැද්ද යන කාරණය ඔබේ දරුවන්ගේ ජීවිතවලට යම් අන්දමකින් බලපෑම් කළ හැකිද? අවුරුදු විස්සක පමණ කාලයක් පුරා විවාහක යුවළයන් පිළිබඳව අධ්‍යයනය කර ඇති ආචාර්ය ජෝන් ගොට්මන්ගේ නිගමනය වන්නේ එසේ විය හැකි බවය. “අසතුටින් දිවි ගෙවන දෙමව්පියන් සිටින දරුවන්ගේ හෘද ස්පන්දන වේගය සෙල්ලම් කරන වේලාවේදී වෙනත් දරුවන්ට වඩා ඉහළ යන අතර යථා තත්වයට ඒමට එම දරුවන්ට අසීරු බව අවුරුදු විස්සක් පුරා කළ අධ්‍යයනයන් දෙකකින් අපට හෙළි වී තිබෙනවා. දරුවන්ගේ බුද්ධි මට්ටම කුමන තත්වයක තිබුණත් දෙමව්පියන් අතර ඇති වන ගැටුම් නිසා දරුවන් පාසැල් වැඩකටයුතුවලදී ක්‍රමක්‍රමයෙන් දුර්වල වෙන්න පටන්ගන්නවා” කියා ඔහු පැහැදිලි කර දෙන්නේය. නමුත් දෙමව්පියන් අතර හොඳ බැඳීමක් තිබෙන විට දරුවන් “හොඳට ඉගෙනගන්නවා විතරක් නෙවෙයි, සමාජයට හොඳට හැඩගැහෙන්නත් ඔවුන්ට පුළුවන්. මීට හේතු වන්නේ ඔවුන් අනුන්ට ගෞරවයෙන් සැලකිය යුතු ආකාරයත්, ප්‍රශ්න විසඳගන්නා ආකාරයත් දෙමව්පියන්ගෙන් ඉගෙනගෙන තිබීමයි” කියා ආචාර්ය ගොට්මන් විස්තර කරන්නේය.