Skip to content

පටුනට යන්න

ආදරය බිඳී යන විට . . .

ආදරය බිඳී යන විට . . .

ආදරය බිඳී යන විට . . .

“යම් සමාජයක් තුළ දික්කසාද අනුපාතය ඉතා ඉහළ මට්ටමක පවතී නම්, එම සමාජය තුළ අසතුටින් දිවි ගෙවන විවාහක යුවළයන් දික්කසාද වීමට තිබෙන ප්‍රවණතාවද ඉහළ යන බවට සැකයක් නැත. ඊට අමතරව, අසතුටින් දිවි ගෙවන විවාහක යුවළයන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමටද බොහෝ ඉඩ කඩ ඇත.”—අමෙරිකාවේ පවුල් ඒකකය ගැන අධ්‍යයනය කරන ආයතනයක්.

වෙන කිසිම දෙයකට වඩා දුක සැප දෙකම ඇති කිරීමට බලය ඇත්තේ විවාහයටයි යනුවෙන් මතයක් ඇත. එම අදහසෙහි යම් සත්‍යයක් තිබේ. මන්ද විවාහයකට හැකියි කෙනෙකුව ප්‍රීති උද්දාමයට මෙන්ම අන්ත කලකිරීමට පත් කිරීමට. ඇත්තෙන්ම, අදදින විවාහක යුවළයන් බොහෝමයක් ඉතා දුක්ඛදායක තත්වයන්ට මුහුණ දෙති. මෙම ලිපියත් සමඟම තිබෙන කොටුවේ තොරතුරු කියවීමෙන් ඔබට එය සනාථ කරගත හැක.

දික්කසාද දත්තවලින් සෑම දෙයක්ම හෙළි නොවේ. මුහුදුබත් වන නැව් මෙන් සමහර විවාහයන් කඩාකප්පල් වී යන බව සැබෑවකි. එහෙත් ඊටත් වඩා වැඩි ගණනක් කුණාටු බඳු තත්වයන් තුළ අසරණ වී ඇත. අවුරුදු 30කට වැඩි කාලයක් පුරා විවාහ වී සිටින කාන්තාවකගේ අද්දැකීම මෙයට හොඳ නිදසුනකි. “මුලදී නම් අපි හුඟක් සතුටින් හිටියේ. හැබැයි දැන් අවුරුදු දොළහක ඉඳන් මම පුදුම දුකක් විඳිනවා. මට ජීවිතය තිත්ත වෙලයි තියෙන්නේ. මගේ මහත්තයාට මගේ හැඟීම් ගැන කිසිම තැකීමක් නැහැ. ඇත්තෙන්ම කියනවා නම්, එයා තරම් මගේ හිත රිද්දවන කෙනෙක් මේ ලෝකයේ තවත් නෑ” යනුවෙන් ඇය තම තත්වය විස්තර කළාය. අවුරුදු 25ක් පමණ විවාහ වී සිටින පුරුෂයෙක් දුක් මුසු හඬින් මෙලෙස පැවසුවේය. “මගේ බිරිඳ කිව්වා එයා මට දැන් ආදරේ නැහැයි කියලා. අපි දෙන්නා එකම වහල යට හිටියට කමක් නැහැලු, හැබැයි මගේ වැඩක් බලාගෙන එයාට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා එයා මට කිව්වා.”

ඉහත සඳහන් ආකාරයට දිවි ගෙවන බොහෝදෙනෙක් දික්කසාද වීමට තීරණය කරති. එහෙත් තවත් යුවළයන් බොහෝමයක් තමන් කොතරම් අසතුටින් සිටියත් දික්කසාද නොවී සිටීමට තීරණය කරති. ඒ මන්ද? ඔවුන්ගේ ආදරය බිඳී ගොස් ඇතත් ඔවුන් එකට සිටීමට තීරණය කරන්නේ දරුවන්, නෑදෑයන් හා හිත මිතුරන් නිසා හෝ ආර්ථික ප්‍රශ්න, සමාජයට මුහුණ දෙන්න බැරි වෙයි යන බිය මෙන්ම ආගමික විශ්වාසයන් නිසයි කියා ආචාර්යවරියක් වන කැරන් කයිසර් පිළිතුරු දෙයි. “මෙම යුවළයන් නීත්‍යානුකූලව දික්කසාද නොවීමට තීරණය කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් චිත්තවේගීය වශයෙන් නම් එකිනෙකාගෙන් ඈත් වෙලයි ඉන්නේ” යනුවෙන් ඇය තවදුරටත් පවසයි.

අසාර්ථක විවාහ දිවියක් ගත කරන අය තමන් සදහටම අසරණ වී ඇති බව නිගමනය කළ යුතුද? ඔවුන් දික්කසාද වීමට පියවර නොගත්තත් කවදා හෝ ආදරයෙන් පිරුණු ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට නොහැකි වේයයි ඉන් අදහස් වේද? කුණාටු බඳු තත්වයන් තුළ පවතින විවාහයන් රැකගත හැකි බව බොහෝදෙනෙකුගේ අද්දැකීම වී තිබේ. ඔව්, වෙන්වීම නමැති වේදනාකාරි අද්දැකීමෙන් පමණක් නොව, ආදරයෙන් තොර ජීවිතයක් ගත කිරීමෙන් පවා ගොඩ ඒමට හැකි බවට බොහෝ සාක්ෂි ඇත.

[3වන පිටුවේ කොටුව]

සිව් දිගින් එන දික්කසාද දත්ත

ඕස්ට්‍රේලියාව: එක්දහස් නවසිය හැට ගණන්වල මුල සිට මේ දක්වා දික්කසාද අනුපාතය හතර ගුණයකින් වැඩි වී තිබේ.

බ්‍රිතාන්‍යය: විවාහයන් දහයකින් හතරක්ම දික්කසාදයෙන් අවසන් වන බව ගණන් බලා ඇත.

කැනඩාව හා ජපානය: විවාහක යුවළයන්ගෙන් තුනෙන් පංගුවක්ම දික්කසාද වේ.

එක්සත් ජනපදය: එක්දහස් නවසිය හැත්තෑවේ සිට විවාහ වන යුවළයන් දිගටම එකට සිටීවිද යන්න කොතරම් අස්ථිරද කිවහොත්, ඒ සඳහා තිබෙන ඉඩ කඩ සියයට පනහකි.

සිම්බාබ්වේ: විවාහයන් පහකින් දෙකක් දික්කසාදයෙන් අවසන් වේ.