Skip to content

පටුනට යන්න

ඇත්තටම කවුද කතා කරන්නේ?

ඇත්තටම කවුද කතා කරන්නේ?

ඇත්තටම කවුද කතා කරන්නේ?

තිරය දිගහැරෙන විට තුන්දිවාදි ශිල්පියෙකු සහ ඔහුගේ රූකඩ බෝනික්කා වේදිකාව මත සිටියි. ඔවුන් විහිළු තහළු කරගන්නා විට රූකඩ බොනික්කාගේ අංග චලනය සහ කතා විලාසය දෙස බලන ඕනෑම කෙනෙකුට පෙනෙන්නේ හරියට එම දේවල් බෝනික්කා විසින්ම කරන්නාක් මෙනි. ඇත්තටම එය කරනු ලබන්නේ තුන්දිවාදි ශිල්පියා විසින්ය. ඔහු ඉතා ප්‍රවේසමෙන් තොල් නොසෙල්වෙන ආකාරයට රූකඩයේ හඬ මවයි. මෙම කලාව හඳුන්වන්නේ තුන්දිවාදය යනුවෙනි.

මෙම අසාමාන්‍ය කලාව ගැන යමක් දැනගැනීමට ඔබ කැමතිද? එසේ නම් අවුරුදු 18ක් පුරා වෘත්තියක් වශයෙන් තුන්දිවාදයේ නිරත වෙමින් සිටින නාකෝ එස්ට්‍රාඩා සමඟ පිබිදෙව්! වාර්තාකරු පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවට ඔබේ අවධානය දෙන්න.

තුන්දිවාදයේ විවිධ පැති මොනවාද?

එක් අංගයක් තමයි සමීප තුන්දිවාදය. එහිදී, තුන්දිවාදි ශිල්පියාගේ දණහිස මත සිටින රූකඩ බෝනික්කා ළඟ සිට කතා කරන්නාක් මෙන් ශිල්පියා තම කටහඬ ඇහෙන්න සලස්වනවා. හැබැයි දුරස්ථ තුන්දිවාදයේදී ශිල්පියාගේ කටහඬ ඇහෙන්නේ හරියට කෙනෙක් දුර ඉදන් කතා කරනවා වගේ. ඒ වගේම කටහඬේ ශබ්දය බාල කර සැඟවුණ ස්ථානයකින් එන ශබ්දයක් සේ තම කටහඬ ඇසෙන්න සලස්වන්නත් තුන්දිවාදි ශිල්පියෙකුට හැකියාවක් තියෙනවා. සමහර තුන්දිවාදි ශිල්පීන්ට සතුන්ගේ ශබ්ද හෝ ළදරුවෙකු හඬන ශබ්දය වගේ වෙනත් ශබ්ද අනුකරණය කරන්නත් හැකියාව තියෙනවා. ඔවුන් එසේ ශබ්ද නිකුත් කරද්දී තොල්පට සොලවන්නේ නැහැ.

එක අවස්ථාවක දක්ෂ තුන්දිවාදි ශිල්පියෙක්, පිදුරු කරත්තයක් තමා සිටින ස්ථානය පසු කර යද්දී තම කටහඬේ ශබ්දය අඩු කර, හරියට පිදුරු කරත්තයේ සිර වී සිටින කෙනෙක් කෑ ගහනවා වගේ ශබ්දයක් නිකුත් කළා. ළඟපාත සිටිය මිනිස්සු හිතුවේ පිදුරු කරත්තයේ කවුරු හරි හිර වෙලා ඉන්නවා කියලා. ඉතිං පිදුරු ඔක්කෝම බිමට බාලා හිර වෙලා ඉන්න පුද්ගලයාව හෙව්වා. ඒ වුණාට කවුරුවත් හිටියේ නැහැ!

වසර ගණනාවක් පුරා තුන්දිවාදය දියුණු වී ඇත්තේ කෙසේද?

අවුරුදු ගණනාවකට කලින් මිථ්‍යා විශ්වාසයන්ට ඇලී සිටි මිනිසුන්ව මුළා කරන්න තුන්දිවාදය යොදාගත්තා. ඔවුන්ගේ මළ ඥාතින් සමඟ කතා කිරීමට තුන්දිවාදය මගින් හැකියාවක් ලබා දෙනවා කියලා මිනිසුන් අතර විශ්වාසයක් තිබුණා. ඒත් කාලයක් යනකොට ඔප්පු වුණා ඒක නිකම්ම මිනිසුන්ගේ දක්ෂකමක් විතරයි කියලා. පසු කාලයේදී තුන්දිවාදයේ නිරත වීම බොහෝදෙනෙකුගේ විනෝදාංශයක් වුණා. අදදින අධ්‍යාපන කටයුතු සඳහාද මෙය යොදාගන්නවා.

නරඹන්නන්ව කුල්මත් කිරීමට සහ තුන්දිවාදි ශිල්පීන්ගේ දස්කම් විස්කම් පෙන්වීමට ශත වර්ෂ ගණනාවක් පුරා නොයෙකුත් අංගයන් යොදාගෙන තියෙනවා. තුන්දිවාදි ශිල්පය ප්‍රදර්ශනය කිරීමේදී ලී බෝනික්කෙක් සමඟ දෙබස් හුවමාරු කිරීමේ දසුන විසිවන සියවසේදී ජනප්‍රිය වුණා.

තුන්දිවාදය කෙරෙහි ඔබේ සිත ඇදී යෑමට හේතුව කුමක්ද?

මිනිසුන්ව සතුටු කිරීමට ඊට ඇති හැකියාවටත් එහි ඇති හාස්‍යමය රසයටත් මගේ සිත ගියා. තුන්දිවාදි ශිල්පය හඳුන්වන “වෙන්ට්‍රිලොක්විස්ට්” යන ඉංග්‍රීසි වචනය ව්‍යවහාරයට පැමිණ තිබෙන්නේ වෙන්ට සහ ලොක්වි යන ලතින් වචනවලින් බවත්, එම වචනවල තේරුම “බඩ කතා කිරීම” හෝ “බඩෙන් කතා කිරීම” කියලාත් පොඩි කාලේදී මට වෙළෙන්දෙක් පැහැදිලි කරලා දුන්නා. ඒ විදිහට හැඳින්වූයේ, තුන්දිවාදයේදී කටහඬ නිකුත් වෙන්නේ උදරයෙන් කියා විශ්වාසයක් තිබුණ නිසායි. ඉන්පසු ඔහු තුන්දිවාදය පිළිබඳ මූලික දැනුම මට ලබා දුන්නා.

ඊළඟ දවසේ ඉස්කෝලේ ගිහිල්ලා මම ඒක අත්හදා බැලුවා. දුරස්ථ හඬ ශිල්ප ක්‍රමය යොදාගෙන හරියට මගේ කටහඬ ශබ්ද විකාශනයකින් එනවා වගේ කතා කළා. මම කතා කෙරුවේ වෙන කෙනෙක් මට පංතියෙන් පිට වෙන්න කියා අණ කරන විදිහටයි. එය සාර්ථක වුණා! ඊට පස්සේ තැපැල් මාර්ගයෙන් පවත්වන පාඨමාලාවක් තුළින් මම වැඩි දුරට ඒ පිළිබඳව හැදෑරුවා. ඒක අවසන් වුණාට පස්සේ රැකියාවක් හැටියට මෙය කරගෙන ගියා.

තුන්දිවාදි ශිල්පියෙකු හැටියට ඔබගේ කාර්යයන් මොනවාද?

මම ඉඳලා හිටලා උත්සවවල රඟ දක්වනවා. ඒ වගේම තුන්දිවාදය පිළිබඳ සම්මන්ත්‍රණවලට සහ රූපවාහිනි වැඩසටහන් කිහිපයකට සහභාගි වෙලා තියෙනවා. පාසැල්වල ගුරු ශිෂ්‍ය රැස්වීම්වලදී ළමයින්ට මෙම කලාව ගැන ඉගැන්වීම සඳහා වැඩි කාලයක් යොදවනවා. තුන්දිවාදි සංදර්ශනවලදී විශේෂ තැනක් හිමි වන්නේ හාස්‍ය රසයටයි. මේකට මම එක උදාහරණයක් කියන්නම්. එක දවසක් පෞද්ගලික පිරිසිදුකම ගැන තිබුණ වැඩසටහනකදී මැක්ලෝවියෝ කියන මගේ ලී බෝනික්කාට මම මෙහෙම කිව්වා. ඔයා උදේ දත් මැදලා නෑ නේද? ඔයා උදේට කෑව බිත්තර තවම දත්වල තියෙනවා. එතකොට මැක්ලෝවියෝ මෙහෙම උත්තර දුන්නා. “ඔයාට වැරදිලා. ඒ ඊයේ කෑව ඒවා!”

තුන්දිවාදයේදී සිදු වෙන්නේ කුමක්ද?

සාමාන්‍යයෙන් කියන්නේ තුන්දිවාදි ශිල්පියා තම කටහඬ වෙනත් තැනක සිට එන ආකාරයට ඇසෙන්න සලස්වනවා කියලයි. ඇත්තෙන්ම ඒ වගේ දෙයක් සිදු වෙන්නෙ නැහැ. අපි කරන්නේ තොල සෙලවීමෙන් ශබ්ද කළ යුතු අකුරු, විශේෂාකාරයකට දිව උපයෝගි කරගෙන ශබ්ද කිරීමයි. ඒ වගේම ප්‍රාචීරයෙන් හුස්මගන්න නිසා ශබ්දය හරියට ඈතකින් එනවා වගෙයි දැනෙන්නේ.

ශබ්දය පැමිණෙන්නේ කොහේ සිටද හා එය පැමිණෙන්නේ කොතරම් දුරක සිටද යන්න හඳුනාගැනීමට බොහෝදෙනෙක් දන්නේ නැහැ. ඇත්තෙන්ම තුන්දිවාදය සාර්ථක වෙන්න මේක ප්‍රධාන හේතුවක්. ඒ කියන්නේ ඔවුන්ට ඇස් දෙකේ පිහිට නැතුව කිසිවක් කරන්න බැහැ. මේක උදාහරණයකින් පෙන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් අනතුරු සංඥාවක් නිකුත් කරන වාහනයක ශබ්දය ඔබට ඇහෙනකොට ඔබ දන්නවා දැන් රථයක් ඔබ සිටින දිශාවට එන බවත් එය තිබෙන්නේ මදක් ඈතින් බවත්. නමුත් වාහනය කොතරම් දුරකද තියෙන්නේ? මොන දිශාවෙන්ද ඒක එන්නේ කියලා හරියටම කියන්න නම් ඔබට වාහනේ දැල්වෙන විදුලි පන්දම දෙස බලන්නම වෙනවා.

මෙයින් ප්‍රයෝජන ගන්න තුන්දිවාදි ශිල්පියා, නියමිත ප්‍රමාණයකින් ශබ්දය නිකුත් කර තමා අරමුණු කර ඇති දිශාවෙන් එම ශබ්දය පැමිණෙනවා කියා පෙන්නුම් කිරීමට ප්‍රේක්ෂකයන්ගේ අවධානය ඒ දෙසට යොමු කරවනවා.

තුන්දිවාදි කලාව ගැන උනන්දුවක් දක්වන කෙනෙකුට ඔබ දෙන උපදෙස් මොනවාද?

ඉස්සෙල්ලාම ඔබේ අරමුණ මොකක්ද කියලා හොඳින් තේරුම්ගන්න. ඊට පස්සේ එම ක්ෂේත්‍රයේ තිබෙන නුසුදුසු දේවල් මඟහරින්න. මම එහෙම කියන්නේ, විනෝදය තකා කරන වෙනත් බොහෝ දේවල් වගේ තුන්දිවාදයත් වැරදි දේවල් සඳහා යොදාගන්න නිසයි. පෞද්ගලිකවම, මම තුන්දිවාදයට යොමු වුණේ එහි තිබෙන හාස්‍ය රසය නිසයි. එනිසා මම ඒ අරමුණ ඉටු කරගැනීමට අවශ්‍ය දෙබස් සහ යම් යම් අංගයන් පමණක් යොදාගනිමින් විනෝදය සඳහා මේ දේ කරගෙන යනවා.

තුන්දිවාදයේදී නිපුණත්වයක් ලබාගන්න අවශ්‍යතා තුනක් ඉටු කරගත යුතුයි. පළවෙනි එක ශිල්පීය දක්ෂතාවය, දෙවෙනි එක සිතින් මවාගැනීමේ හැකියාව සහ තුන්වනුව පුහුණුව. ශිල්පීය දක්ෂතාවය නම් පොත පත ඇසුරෙන් සහ වීඩියෝ පට නැරඹීම මගින් වැඩි දියුණු කරගන්න පුළුවන්. සිතින් මවාගැනීමේ හැකියාව දියුණු කරගන්න නම්, ඔබ හිතන්න ඕනේ ඔබේ බෝනික්කට පණ තියෙනවා කියලා. ඒ වගේම ඔහුව හෝ ඇයව පණ තියෙන කෙනෙක් හැටියට පෙනෙන්න සලස්වන්නේ කොහොමද කියලත් ඉගෙනගන්න ඕනේ. අන්තිම එක පුහුණුව. ඔබ කොතරම් පුහුණු වෙනවාද යන්න මත තමයි ඔබේ හැකියාවන් තීරණය වෙන්නේ. එනිසා පුහුණුව ඉතා වැදගත්.