Skip to content

පටුනට යන්න

එළවළු ඔබේ ආහාර වේලට එකතු කරගන්න

එළවළු ඔබේ ආහාර වේලට එකතු කරගන්න

එළවළු ඔබේ ආහාර වේලට එකතු කරගන්න

බ්‍රසීලයේ පිබිදෙව්! වාර්තාකරු විසින්

“අපෝ ඒවා තිත්තයි.” “මම ඒ රසට කැමති නෑ.” “මම ඒවා කවදාවත් කන්නේ නෑ.”

ඉහත සඳහන් වන්නේ එළවළු කෑමට එතරම් ප්‍රියක් නොදක්වන අයගේ අදහස්වලින් බිඳක්ය. එහෙත් ඒ ගැන ඔබේ අදහස කුමක්ද? දිනපතා ආහාර වේලට ඔබ එළවළු එකතු කරගන්නවාද? එළවළු ආහාරයට ගැනීම සමහරක් අය ප්‍රිය කිරීමටත් සමහරක් අය එතරම් ප්‍රිය නොකිරීමටත් හේතු වන කාරණා කීපයක් පිබිදෙව්! සඟරාවේ පළ කිරීමට අපි අදහස් කළෙමු.

එළවළු, පලතුරු හා ඇට ජාති කෑමට ප්‍රිය කරන අය අදහස් දක්වමින්, ඒ අයගේ දෙමව්පියන් ඒවායේ අඩංගු පෝෂ්‍ය ගුණය හොඳින් අවබෝධ කර දුන් බව කියා සිටිති. අනික් අතට, තවත් සමහරුන් සාමාන්‍යයෙන් එළවළු වර්ග ප්‍රිය නොකිරීමට මූලිකවම හේතු වී තිබෙන්නේ, ඒ අය ළමා වියේදී එළවළු වැනි පෝෂ්‍ය ගුණයෙන් අනූන ආහාර ගැනීම වෙනුවට පෝෂ්‍ය ගුණයෙන් අඩු ආහාර ගැනීමට පුරුදු වී සිටීමය. කෙසේවෙතත්, මේ අය මනා සෞඛ්‍යයකට එළවළු අත්‍යවශ්‍ය බවට එකඟ වෙති.

දෙමව්පියෙනි, ඔබේ දරුවන් තුළ එළවළු සඳහා රුචියක් ඇති කරවන්න. එය කරන්නේ කෙසේද? එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මගින් පළ කළ ප්‍රකාශනයක (facts for life) පෙන්නුම් කරන්නේ මාස හයක් පමණ වයසැති ළදරුවන්ට මව් කිරි හෝ පිටි කිරි දෙන අතරතුරේදී දවසකට එක් වතාවක් හෝ තම්බාගත් පොත්ත ඉවත් කරන ලද එළවළු හොඳින් පොඩි කර දිය හැකි බවය. ඇත්තෙන්ම ළදරුවෙකුට විවිධ ආහාර වර්ග ලබා දීම සුදුසුය. බ්‍රසීලියානු ළමා විශේෂඥයෙක් වන වාග්නර් ලාපාටේ පවසන්නේ, මුල් අවුරුදු දෙක ඇතුළත ලබා දෙන ප්‍රධාන ආහාරය කිරි වුවත් “ළදරුවන්ට අලුත් රසයන් ප්‍රිය කරන්න අවස්ථාවක් උදා කර දෙන” නිසා වෙනත් වර්ගයේ ආහාර වර්ගත් ලබා දීම වඩාත් සුදුසු බවය.

ඉහත සඳහන් කළ වයසට කලින් පටන්ම කෙසෙල්, ඇපල්, ගස්ලබු වැනි පලතුරු යුෂ ස්වල්පයක්, කැඳ හා එළවළු සුප් වර්ගද ළදරුවාට දිය හැක. නුමුත් උපදෙස් කලින් කලට වෙනස් වීම්වලට ලක් වන නිසා කළ හැකි සුදුසුම දේ වන්නේ ළමා විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ගැනීම බව ඖෂධ පිළිබඳ සත්‍යයන් හා මිථ්‍යාවන් (Medicina Mitosy Verdades) යන පොතෙහි කාර්ලා ලියොනල් පෙන්වා දී ඇත.