Skip to content

පටුනට යන්න

ඔබ අසරණ වී නැත!

ඔබ අසරණ වී නැත!

ඔබ අසරණ වී නැත!

සෑම විවාහක යුවළකටම ප්‍රයෝජන ගෙන දෙන ප්‍රායෝගික උපදෙස් රැසක් බයිබලයෙහි සොයාගත හැක. මෙය අපව පුදුමයට පත් කළ යුතුද? නැහැ, මන්ද විවාහ විධිවිධානයෙහි ආරම්භකයාම බයිබලයෙහි කර්තෘ වන නිසාය.

බයිබලය විවාහය ගැන ඉදිරිපත් කරන්නේ යථාර්ථවාදී අදහසකි. පුරුෂයෙකුට හා ස්ත්‍රියකට තම විවාහයේදී “මාංසයෙහි දුක්” හෝ “විපත්” [නව අනුවාදය] අද්දකින්න සිදු වන බව එහි විවෘතව පවසා ඇත. (1 කොරින්ති 7:28) එහෙත් කෙනෙකුව සතුටින් ඉපිල යෑමටද සලස්වන්න විවාහයකට හැකි බවත් එහි පවසයි. (හිතෝපදේශ 5:18, 19, න. අ.) මෙම ප්‍රකාශන දෙක එකිනෙකට පරස්පර විරෝධී මෙන් පෙනෙන්න තිබුණත් එය එසේ නොවේ. ඒවායින් අවධාරණය කරන්නේ විවාහක යුවළකට බැරෑරුම් ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වුවත් ඔවුන් දෙදෙනාට උණුසුම් මෙන්ම කිට්ටු සබඳතාවක්ද භුක්ති විඳිය හැකි බවයි.

ඔබේ විවාහය තුළ එකිනෙකා කෙරෙහි තිබූ උණුසුම් හැඟීම් නැති වී ගොස් තිබෙනවාද? ඔබ දෙදෙනා අතර කලින් තිබූ ආදරය, කුලුපගකම හා ප්‍රීතිය දැන් නැති වී ගොස් ඇති බව ඔබට හැඟෙනවාද? ඔබේ සම්බන්ධය බලාපොරොත්තු සුන්වීම්වලින් හෝ සිත්තැවුලෙන් පලුදු වී තිබෙනවාද? ඇතැම්විට ඔබ දෙදෙනා අවුරුදු ගණනාවක් පුරාම මෙවැනි තත්වයකට මුහුණ දෙමින් සිටිනවා විය හැක. එහෙත් ඔබ දෙදෙනා අතර කලින් තිබූ ආදරය යළි පණගැන්විය හැකි බැවින් ධෛර්යවත් වන්න! කෙසේවෙතත්, එකිනෙකාගෙන් පරිපූර්ණත්වය අපේක්ෂා කිරීමෙන් වැළකී සිටින්න. එය යථාර්ථවාදී නොවේ. සියලුදෙනාටම මිනිස් අසම්පූර්ණත්වය සමඟ පොරබැදීමට සිදු වන නිසා ගැටලුවලින් තොර විවාහ සබඳතාවක් පවත්වාගැනීමට කිසිවෙකු සමත් නොවන බව මතක තබාගන්න. කොහොම වුණත්, ඔබේ විවාහයට තර්ජනයක් එල්ල වන ආකාරයේ ගැටලු මතු වී ඇත්නම් එය වෙනස් කිරීමට ඔබට පියවර ගත හැක.

මතු දැක්වෙන තොරතුරු කියවද්දී විශේෂයෙන්ම ඔබේ විවාහයට අදාළ වන කාරණා සිතට ගන්න. ඔබේ කලත්‍රයාගේ අඩු පාඩුකම් වෙත අවධානය යොමු කරනවා වෙනුවට, ඔබ දියුණු විය යුත්තේ කුමන පැතිවලින්ද කියා සැලකිල්ලට ගන්න. ඉන්පසු එම ශුද්ධ ලියවිලිමය උපදෙස් ක්‍රියාවට නැංවීමට පියවර ගන්න. එවිට ඔබේ විවාහය දියුණු කරගැනීමට හැකි බවත්, ඔබ සිතූ තරම් අසරණ තත්වයකට පත් වී නැති බවත් ඔබ තේරුම්ගනීවි.

අප මුලින්ම අවධානය යොමු කරන්නේ ආකල්ප වෙතයි. මන්ද ඔබ දෙදෙනාගේ බැඳීම සම්බන්ධයෙන් හා ඔබේ කලත්‍රයා සම්බන්ධයෙන් ඔබ දරන ආකල්පය විවාහය මත ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි නිසාය.

එකට බැඳී සිටීම පිළිබඳ ඔබේ ආකල්පය

ඔබේ විවාහ බන්ධනය ශක්තිමත් කරගැනීමට නම් ඔබ විවාහය දිගු කාලීන සම්බන්ධයක් වශයෙන් සැලකිය යුතුය. දෙවි විවාහ විධිවිධානය ආරම්භ කළේ පුරුෂයා හා ස්ත්‍රිය සදාකාලිකවම එකට සිටීමේ අරමුණ ඇතුවය. (උත්පත්ති 2:24; මතෙව් 19:4, 5) එමනිසා ඔබේ කලත්‍රයා හා ඔබ අතර තිබෙන සම්බන්ධය සැහැල්ලුවට ගත හැකි එකක් නොවේ. රැකියාවකින් නම් අවශ්‍ය වූ විට ඉල්ලා අස් විය හැක. බදු ගිවිසුම කඩ කරමින් නිවසකින් පිට වී යන්නත් පුළුවන. එහෙත් ඔබේ විවාහ ගිවිසුම නම් හිටි හැටියේ කඩ කළ හැකි එකක් නොවේ. කුමන තත්වයකට මුහුණ දුන්නත් පොළොව මත ජීවත්ව සිටින තාක් කල් ඔබේ කලත්‍රයා සමඟ එකට සිටිනවා කියා එයට අත්සන් තැබූ මොහොතේදී ඔබ පොරොන්දු විය. එසේ නම් ඔබේ කලත්‍රයා සමඟ එකට සිටීමට බැඳී සිටින බව ඔබට හැඟිය යුතු නැද්ද? එවැනි ආකල්පයක්, ‘දෙවි එක් කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවා!’ යනුවෙන් යේසුස් ක්‍රිස්තුස් අවුරුදු 2,000කට පමණ පෙර පැවසූ වදන්වලට එකඟයි.—මතෙව් 19:6.

‘ඉතිං, අපි එකට තමයි ඉන්නේ. අපි දෙන්නා එකට බැඳිලා ඉන්නවා කියලා ඒකෙන් ඔප්පු වෙන්නේ නැද්ද’ කියා ඇතමෙකු තර්ක කළ හැක. කෙසේවෙතත්, අප කලින් සඳහන් කළ පරිදි ඇතැම් යුවළයන් එකට සිටියත් ඔවුහු බිඳී ගිය ආදර සම්බන්ධයක් තුළ අසරණ වී සිටිති. ඔබේ ඉලක්කය විය යුත්තේ විවාහය තුළ විඳවීම නොව නමුත් එය භුක්ති විඳීමයි! බැඳී සිටිනවා යන්නෙන් අදහස් වන්නේ විවාහ විධිවිධානයට පමණක් නොව, නමුත් ඔබ ආදරයෙන් රැකබලා ගැනීමට පොරොන්දු වූ තැනැත්තාටද පක්ෂපාත වීමයි.—එපීස 5:33.

ඇත්තෙන්ම ඔබේ කලත්‍රයාට ඔබ පවසන දේවලින් හෙළි වෙන්නේ ඔබේ කලත්‍රයා සමඟ බැඳී සිටීම ඔබ කොතරම් බැරෑරුම් ලෙස සලකනවාද යන්නයි. නිදසුනක් ලෙස, විවාදයක් හටගත් විට පුරුෂයෙකු හෝ ස්ත්‍රියක් දුර දිග කල්පනා නොකර, ‘මං මේ වහල යට තව මොහොතක්වත් ඉන්නේ නෑ!’ නැත්නම්, ‘ඔයාට මාව ඕනේ නැත්නම් මං වෙන කෙනෙක්ව හොයාගන්නවා’ වැනි දේවල් පැවසිය හැක. ඔවුන් ඇත්තටම එවැනි දෙයක් අදහස් නොකළත්, එයින් අඟවන්නේ කුමක්ද කියා මොහොතකට සිතා බලන්න. ඇත්තෙන්ම එවැනි දේවල් පවසන කෙනෙකු අඟවන්නේ අවශ්‍ය ඕනෑම වේලාවකදී තමා විවාහයෙන් නිදහස් වී යෑමට සූදානම් බවයි. එය එකිනෙකාට බැඳී සිටීමට දුන් පොරොන්දු සුළු කොට තැකීමක් නොවේද?

එසේ නම්, ඔබේ විවාහය තුළ ආදරය යළි පණගැන්වීමට අවශ්‍ය නම් එවැනි දේවල් පැවසීමෙන් වැළකී සිටින්න. මේ ගැන සිතා බලන්න. ඔබ දැන් සිටින නිවස අත්හැර යෑමට අදහස් කරනවා නම් ඔබ එය ලස්සන කිරීමට කාලය ගන්නවාද? එසේ නොකරන බව නිසැකය. එසේ නම්, ඔබ හිටි හැටියේ තමාව අත්හැර යා හැකි බව ඔබේ කලත්‍රයා දන්නවා නම්, ඔහු විවාහයේ තත්වය දියුණු කිරීමට කාලය හා ශ්‍රමය කැප කරාවියි කියා ඔබට සිතිය හැකිද? ඔබ දෙදෙනා අතර තිබෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා නිශ්චිත පියවර ගැනීමට අදිටන් කරගත යුතු බව මින් පැහැදිලි වන්නේ නැද්ද?

කැලඹීමට පත් කරවන විවාහ ගැටලුවලට කාලයක් තිස්සේ මුහුණ දුන් එක් භාර්යාවකගේ අද්දැකීම සලකා බලන්න. “මගේ පුරුෂයාව මට පෙන්නන්න බැරි දවසුත් තිබුණා. හැබැයි අපි දෙන්නා වෙන් වෙනවා දකින්න මට ඕන වුණේ නැහැ” කියා ඇය පවසයි. ඇය තවදුරටත් විස්තර කරන්නේ මෙලෙසයි. “අපි දෙන්නා අවුරුදු දෙකක් තිස්සේ හුඟක් ප්‍රශ්නවලට මුහුණ දුන්නා. හැබැයි අපි කොහොමහරි ප්‍රශ්න විසඳගන්නවා කියලා හිතාගත්ත නිසා අපිට ඒ ප්‍රශ්නවලින් ගොඩ එන්න පුළුවන් වුණා. ඒ නිසා අපි දැන් ආපහු සතුටින් ඉන්නවා කියලා මට අවංකවම කියන්න පුළුවන්.”

ඔව්, එකිනෙකාට බැඳී සිටීම කියන්නේ නිකම්ම එක වහල යට ජීවත් වීම නොව, සහයෝගයෙන් එකම ඉලක්කය කරා ගමන් කිරීමයි. එහෙත් ඔබේ විවාහයේ සුහදශීලී වාතාවරණයක් නොමැති බව ඔබට හැඟිය හැක. ඇතැම්විට ඔබ දෙදෙනා විවාහය රැකගැනීම සඳහා වෙර දැරීමට එකම හේතුව වන්නේ වගකීම් පැහැරහැරිය නොහැකියි යන හැඟීම විය හැක. එහෙත් බලාපොරොත්තු සුන් කරගන්න එපා. ඔබ දෙදෙනාගේ ආදරය යළි පණගැන්වීමට මඟක් ඇත! ඒ කුමක්ද කියා අපි දැන් සලකා බලමු.

ඔබේ කලත්‍රයාට ගරු කරන්න

‘විවාහය සියල්ලන් අතර ගෞරවනීයව තබාගන්න’ යනුවෙන් බයිබලයෙහි උපදෙස් දී ඇත. (හෙබ්‍රෙව් 13:4; රෝම 12:10) ‘ගෞරවනීයව’ යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනය විවිධ ස්වරූප ගන්නා අතර, බයිබලයෙහි ඒවා “ප්‍රියාදර,” “උතුම්” හා “අනර්ඝ” යනුවෙන්ද පරිවර්තනය කර ඇත. අපි යම් දෙයක් උතුම් කොට සලකනවා නම් එය රැකබලා ගැනීමට නිරන්තර උත්සාහයක් දරන්නෙමු. සෑහෙන මුදලක් යොදවමින් අලුත් වාහනයක් ගන්නා තැනැත්තෙකු තම වාහනය ආදරයෙන් රැකබලා ගන්නා ආකාරය ඔබ දැක තිබේද? ඔහු එය නිතරම ඔප නැංවීමට හා නඩත්තු කිරීමට දරන වෙහෙස දැක තිබේද? ඇත්තෙන්ම වාහනයේ සුළු වශයෙන් හෝ සීරීමක් ඇති වුවහොත් ඔහු කොතරම් දුකට පත් වෙනවාද කියා සිතා බලන්න. තවත් සමහරෙක් තම සෞඛ්‍යය ගැන ඉතා සැලකිලිමත් වෙති. ඒ මන්ද? ඔවුන් තම සෞඛ්‍යය රැකගැනීමේ වටිනාකම අවබෝධ කරගෙන තිබෙන නිසාය.

එසේ නම්, ඔබේ විවාහයත් ආදරයෙන් රැකගැනීම වටින්නේ නැද්ද? ‘ප්‍රේමය බලාපොරොත්තු අත් නොහරින’ බව බයිබලයෙහි පවසා ඇත. (1 කොරින්ති 13:7) එමනිසා බලාපොරොත්තු අත්හරින්න එපා. “අපි දෙන්නා අතර කවදාහරි ඇත්තටම ආදරයක් තිබුණාද?” “අපි දෙන්නා අඩු වයසෙන් බැඳපු හින්දයි මේ හැම ප්‍රශ්නයක්ම ඇති වෙලා තියෙන්නේ,” “අපි මොනවා කරගත්තාද මංදා” වැනි නිෂේධාත්මක හැඟීම් පසෙක දමා, වෙනසක් සිදු කළ හැකියි යන විශ්වාසය ඇතුව විවාහයේ තත්වය දියුණු කිරීමට අවංක වෑයමක් දරන්න. එමෙන්ම ඉක්මන් විසඳුම් අපේක්ෂා නොකර ඉවසිලිවන්ත වන්න. “මං ගාවට එන හුඟදෙනෙක් කියන්නේ ‘මට නං දැන් ඇති වෙලා’ කියලයි. ඊට පස්සේ දෙන්නා සහයෝගයෙන් ප්‍රශ්න විසඳගන්නේ කොහොමද කියා හොයලා බලන්නේ නැතුව ඔක්කොම දමලා ගහලා යනවා. ඒත් එක්කම දෙන්නාම කාලයක් පුරා වටිනවා කියලා සැලකුව ප්‍රතිපත්ති, ලබා තිබෙන අතීත අද්දැකීම් හා අනාගත සැලසුම් ඔක්කොම අමතක කරලා දානවා” යනුවෙන් විවාහ උපදේශිකාවක් අදහස් දක්වයි.

ඔබේ කලත්‍රයා හා ඔබ රැස් කරගෙන ඇත්තේ කුමනාකාරයේ අතීත අද්දැකීම්ද? ඔබ ගැටලුවලට මුහුණ දෙන බව ඇත්තයි. එහෙත් ඔබ සතුටින් කල් ගෙවපු අවස්ථා ගැන මොහොතකට සිතා බලන්න. ඔව්, ඔබ දෙදෙනා අතීතයේදී එකට විනෝද වූ අවස්ථා, යම් ඉලක්ක අත් කරගත් අවස්ථා, එහෙමත් නැත්නම් අභියෝගවලින් ජයගත් අවස්ථා මතක් කරගන්න. ඉන්පසු ඔබ දෙදෙනාගේ සම්බන්ධය හොඳ අතට හැරවීමට අවංක වෑයමක් දැරීමෙන් ඔබේ කලත්‍රයාට ඔබ සැබවින්ම ගරු කරන බව පෙන්වන්න. විවාහ කලත්‍රයන් එකිනෙකාට සලකන ආකාරය පිළිබඳව යෙහෝවා දෙවි සැලකිලිමත් වන බව බයිබලයෙහි පවසා ඇත. නිදසුනක් ලෙස, අනාගතවක්තෘ මලාකීගේ දවස්වලදී තම භාර්යාවන්ට ද්‍රෝහි වෙමින් සුළු සුළු කාරණා මත දික්කසාද වූ ඉශ්‍රායෙල් ජාතික ස්වාමිපුරුෂයන්ව යෙහෝවා හෙළා දුටුවේය. (මලාකී 2:13-16) එමනිසා ක්‍රිස්තියානීහු තම විවාහය තුළින් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කිරීමට වෑයම් කරති.

නිරාකරණය කරගත නොහැකි ගැටුම්?

විවාහය තුළ ආදරය බිඳී යෑමට තුඩු දෙන ප්‍රධාන හේතුවක් වන්නේ පුරුෂයාට හා ස්ත්‍රියට ගැටුම් සාර්ථක ලෙස නිරාකරණය කරගත නොහැකි වීමය. මේ ලෝකයේ සියයට සියයක් එක වගේ සිතන පුද්ගලයන් දෙදෙනෙකු සොයාගත නොහැක. එමනිසා සෑම විවාහයක් තුළම ගැටුම් ඉස්මතු විය හැක. එහෙත් නිතර නිතර ගැටුම් ඉස්මතු වන විට තම ආදරය ක්‍රමක්‍රමයෙන් බොඳ වී යන බව ඇතමෙකු අද්දැකිය හැක. එමනිසා ‘අපි දෙන්නා පොඩ්ඩක්වත් ගැළපෙන්නේ නැහැ. අපි රණ්ඩු වෙන්නේ නැති දවසක් නැහැ’ කියාත් ඔවුන් සිතිය හැක.

එහෙත් ගැටුම් තිබූ පමණින් ඔබේ විවාහය රැකගත නොහැකි බව අදහස් නොවේ. වැදගත් වන්නේ ඔබ එම ගැටුම්වලට මුහුණ දෙන්නේ කොහොමද යන්නයි. සාර්ථක විවාහයකදී පුරුෂයා හා භාර්යාව තම ගැටලු ගැන විවෘතව කතා කිරීමට පුරුදු වී සිටිති. එසේ කරද්දී එක් ආචාර්යවරයෙකු පැවසූ ආකාරයට ඔවුන් “පස මිතුරන්” බවට පත් නොවේ.

දිව සතු බලය

ඔබට මෙන්ම ඔබේ කලත්‍රයාට ගැටලු සාර්ථක ලෙස නිරාකරණය කරගන්න පුළුවන්ද? සන්සුන්ව ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම දුෂ්කර කාර්යයක් විය හැකි වුවත් එසේ කිරීමට දෙදෙනාම කැමති විය යුතුයි. ඇත්තෙන්ම එය ප්‍රගුණ කරගත යුතු කලාවකි. අප එසේ කියන්නේ මන්ද? එක් හේතුවක් වන්නේ අසම්පූර්ණකම හේතුවෙන් අප සියලුදෙනාම විටින් විට ‘වචනයෙන් පැකිලෙන’ නිසාය. (යාකොබ් 3:2) තවද නිතරම කෝපය පිට කරමින් ප්‍රතිචාරය දක්වන දෙමව්පියන් සිටින නිවෙස්වල හැදුණ දරුවන් පුරුදු වී සිටින්නේ කෝපයෙන් ක්‍රියා කිරීම හා විවේචනාත්මක ලෙස කතා කිරීම සාමාන්‍ය දෙයක් වශයෙන් සැලකීමටයි. එවැනි පසුබිමක හැදී වැඩී ඇති පිරිමි දරුවෙකු වැඩිහිටියෙකු වූ විට “කෝපාවිෂ්ට” මෙන්ම ‘උදහස් වීමට පෙලඹෙන මිනිසෙකු’ බවට පත් විය හැක. (හිතෝපදේශ 29:22, න. අ.) එමෙන්ම එවැනි පරිසරයක් තුළ වැඩුණ ස්ත්‍රියක් ‘බැණ වදින, දබරකාරි බිරිඳක්’ බවට පත් විය හැක. (හිතෝපදේශ 21:19, න. අ.) එවැනි මුල් බැසගත් චින්තන රටාවක් හෝ ක්‍රියාකලාපයක් මුලිනුපුටා දැමීම ඇත්තෙන්ම අභියෝගයක් විය හැක. a

මෙයින් පැහැදිලි වන්නේ, ගැටුම්වලට සාර්ථක ලෙස මුහුණ දීමට නම් අපේ අදහස් වෙනස් ආකාරයකට ප්‍රකාශ කිරීමට පුරුදු විය යුතු බවය. බයිබල් හිතෝපදේශයක පවසා ඇති පරිදි “මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි” ඇති නිසා අප මෙහි වැදගත්කම සුළු කොට නොතැකිය යුතුයි. (හිතෝපදේශ 18:21) ඔබේ කලත්‍රයාට කතා කරන ආකාරයෙන් ඔබ දෙදෙනාගේ සම්බන්ධයට හානියක් කිරීමට හෝ යහපතක් කිරීමට ඔබට හැක. ඔව්, එය සුළු දෙයක් වගේ පෙනුණත් යම් වෙනසක් ඇති කිරීමට එයට බලයක් ඇත. බයිබල් හිතෝපදේශයක එය පැහැදිලි කරන්නේ මෙලෙසයි. “කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥාණවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.”—හිතෝපදේශ 12:18.

එකඟ නොවීමක් ඇති වූ විට ප්‍රධාන වශයෙන්ම වරද තිබෙන්නේ ඔබේ කලත්‍රයාගේ අතේ කියා ඔබට හැඟුණත්, ඔබ ඒ අවස්ථාවේදී පවසන දේවල් ගැන සැලකිලිමත් වීමට වෑයම් කරන්න. ඔබ කතා කරන්නේ කඩුවකින් අනින ආකාරයකටද නැත්නම් සුවය ගෙන දෙන ආකාරයකටද? ඔබ කතා කරන්නේ කෝපය උපදවන වචනද නැත්නම් සන්සුන් කරවන වචනද? ‘සැර පරුස වදන තරහ අවුස්සයි’ කියා බයිබලයෙහි අනතුරු අඟවයි. එහෙත් “මුදු මොළොක් පිළිතුර කෝපය පහකරයි.” (හිතෝපදේශ 15:1, න. අ.) තවද වේදනා ගෙන දෙන වචනයක් කොතරම් සන්සුන්ව පැවසුවත් එයින් තත්වය වඩා උග්‍ර වන බව මතක තබාගන්න.

ඔබේ සිතට වද දෙන යමක් තිබෙනවා නම් ඒ ගැන පැවසීමට ඔබට අයිතියක් නැති බව මින් අදහස් නොවේ. (උත්පත්ති 21:9-12) නමුත් මතක තබාගත යුතු යමක් තිබේ. එනම් එවැනි දෙයක් ගැන කතා කරද්දී “මට ඔයාව ඇස් දෙකට පේන්න බැහැ” නැත්නම් “මං මොනවට ඔයාව බැඳගත්තාද මං දන්නේ නෑ” වැනි අපහාසාත්මක, විවේචනාත්මක හා අධෛර්යය කරවනසුලු වදන්වලින් වැළකී සිටිය යුතුයි. එමනිසා, ඔබ යමක් පැවසීමට කලින් කුමනාකාරයේ දේවල් කීමෙන් වැළකී සිටිය යුතුද කියා නිශ්චය කරගන්න. ප්‍රේරිත පාවුල් ‘වචන හා සුළු සුළු කාරණා ගැන දරුණු වාද විවාදවල පැටලැවීම’ පිළිබඳව අනතුරු ඇඟෙව්වේය. ඔහු එම අවස්ථාවේදී කතා කරමින් සිටියේ විවාහය ගැන නොවුණත්, එය විවාහයට අදාළ කරගැනීම සුදුසුයි කියා ඔබ සිතන්නේ නැද්ද? b (1 තිමෝති 6:4, 5, NW) ඇතැම්විට ඔබේ කලත්‍රයා පාවුල් සඳහන් කළ ආකාරයට කටයුතු කරනවා විය හැක. එහෙත් ඔබත් එලෙසම ප්‍රතිචාරය දැක්විය යුතු නැති බව මතක තබාගන්න. සාමකාමී වාතාවරණයක් පවත්වාගැනීමට ඔබට හැකි සියල්ල කරන්න.—රෝම 12:17, 18; පිලිප්පි 2:14.

කේන්ති ගත් විට දිව පාලනය කරගැනීම පහසු නැති බව ඇත්තයි. දිව ‘සකල ලෝකයට ගිනි අවුළවයි. එය දමනය කරගන්න කිසි මනුෂ්‍යයෙකුට නුපුළුවන. ඒක කැරලිකාර වූ, මරණීය විසෙන් පූර්ණ වූ, නපුරු දෙයක්ය’ කියා බයිබල් ලේඛක යාකොබ් පැහැදිලි කර දෙන්නේය. (යාකොබ් 3:6, 8) එසේ නම්, ඔබ තුළ කෝපය වර්ධනය වන බව ඔබට හැඟේ නම් ඔබ කුමක් කළ යුතුද? එමෙන්ම ඇවිළෙන ගින්නට පිදුරු දැමීමෙන් වැළකීමටත්, ඔබේ කලත්‍රයාව සන්සුන් කරගැනීමටත් ඔබට හැක්කේ කෙසේද?

ඇවිළෙන ගින්නට පිදුරු නොදමන්න

තම කලත්‍රයා කළ දේ වෙත අවධානය යොමු කරනවාට වඩා, ඒ අවස්ථාවේදී තමන්ට ඇති වූ හැඟීම් වෙත අවධානය යොමු කිරීමෙන් කෝපය නිවා දැමිය හැකි බවත්, ගැටලුව නිරාකරණය කරගත හැකි බවත් ඇතමුන් අද්දැක ඇත. නිදසුනක් ලෙස, “ඔයා මගේ හිත රිද්දුවා” නැත්නම් “ඇයි ඔයා මට ඔහොම කතා කරන්නේ” කියනවාට වඩා “ඔයා කියපු දේ හින්දා මගේ හිත රිදුණා” වැනි දෙයක් පැවසීම සාර්ථකයි. මෙලෙස ඔබට හැඟෙන ආකාරය කෙරෙහි අවධානය දෙමින් අදහස් ප්‍රකාශ කරන විට, ඔබේ කටහඬේ ස්වරය කිසිම විටෙක කෝපාවිෂ්ට වූ බවක් හෝ අගෞරවනීය ස්වරූපයක් නොගත යුතුයි. මන්ද ඔබේ ඉලක්කය වන්නේ ඔහුට ප්‍රහාරයක් එල්ල කිරීම නොව, අදාළ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමය.—උත්පත්ති 27:46–28:1.

‘නිශ්ශබ්දව සිටීමට කාලයක් හා කතා කිරීමට කාලයක්’ ඇති බවත් මතක තබාගන්න. (දේශනාකාරයා 3:7) එකම වේලාවට දෙදෙනාම කතා කරන විට කිසිම දෙයක් ඉටු කරගත නොහැක. මන්ද දෙදෙනාගෙන් එක්කෙනෙකුට අනිත් කෙනා කියන දේට සවන් දීමට නොහැකි වන නිසාය. එමනිසා, ඔබ සවන් දිය යුතු අවස්ථාවලදී ‘ඇසීමට ඉක්මන් වෙන්න.’ එමෙන්ම ‘ කතා කිරීමටත් උදහස් වීමටත් ප්‍රමාද වෙන්න.’ (යාකොබ් 1:19) ඔබේ කලත්‍රයා සිත රිදවන ආකාරයට පවසන සෑම වචනයක්ම සිතට නොගන්න. එමෙන්ම ‘කෝපවීමට ඉක්මන් නොවෙන්න.’ (දේශනාකාරයා 7:9) ඒ වෙනුවට, ඔබේ කලත්‍රයා පැවසීමට හදන්නේ කුමක්ද කියා වටහාගැනීමට වෑයම් කරන්න. “සිහි කල්පනාව [තීක්ෂ්ණ බුද්ධිය, NW] ඇති මනුෂ්‍යයා ඉක්මනට නොකිපෙයි; වරදක් නොසලකා හැරීමද ඔහුගේ ගෞරවයක්ය” කියා බයිබලය පවසයි. (හිතෝපදේශ 19:11) ඔව්, තීක්ෂ්ණ බුද්ධිය වර්ධනය කරගන්නා පුරුෂයෙකු හෝ භාර්යාවක් කාරණා දෙස මතු පිටින් බලනවා වෙනුවට එකඟ නොවීම ඇති වූයේ ඇයි කියා තේරුම්ගැනීමට වෙර දරයි.

නිදසුනක් ලෙස, භාර්යාවක් ඇගේ පුරුෂයා ඇය සමඟ කාලය ගත නොකරනවායයි දොස් නඟන විට ඇය ඇත්තටම පවසන්න වෑයම් කරන්නේ කුමක්ද? ඇත්තෙන්ම පුරුෂයා තමා සමඟ ගත කරන පැය හෝ විනාඩි ගණන ගැන පවසනවා වෙනුවට ඇය පුරුෂයාගේ අවධානය ලබාගැනීමට වෑයම් කරනවා විය නොහැකිද? සමහරවිට ඇයව නොසලකා හරින බවත්, අගය නොකරන බවත් ඇයට හැඟෙනවා විය හැක. තවත් උදාහරණයක් සලකා බලන්න. තම භාර්යාව යම් භාණ්ඩයක් මිල දී ගත් විට මුදල් නාස්ති කර ඇතැයි කියා පවසමින් පුරුෂයෙකු චෝදනා කරන විට ඔහු ඇත්තටම සැලකිලිමත් වන්නේ වියදම් වූ රුපියල් ශත ගැනද? එසේත් නැත්නම් ඔහු අමනාප වී ඇත්තේ එම භාණ්ඩය මිල දී ගනිද්දී ඔහුගේ කැමැත්ත අකමැත්ත විමසා බැලුවේ නැති නිසා විය නොහැකිද? පුරුෂයෙකුට හෝ භාර්යාවකට තීක්ෂ්ණ බුද්ධිය ඇත්නම් ඔවුන් ප්‍රශ්නයට මුල් වී ඇත්තේ කුමක්ද කියා ගැඹුරින් සිතා බලයි.—හිතෝපදේශ 16:23.

මෙය කියන තරම් පහසුවෙන් කළ හැකි දෙයක් නොවෙයි කියා ඔබ සිතිය හැක. එය ඇත්තයි. මන්ද ඇතැම් අවස්ථාවලදී කොතරම් උත්සාහ දැරුවත් සිත රිදවන වචන අපේ මුඛයෙන් පිට වේ. ඒ වගේම කෝපය හටගැනීමද වැළැක්විය නොහැක. ඔබ තුළ කෝපය වර්ධනය වන බව ඔබට දැනෙනවා නම් හිතෝපදේශ 17:14හි සඳහන් උපදෙස පිළිපදින්න. “ඩබරයක් හටගන්න කලින් පිට වී යන්න [NW]” කියා එහි පවසා ඇත. කෝපාවිෂ්ට හැඟීම් පහ වන තෙක් සාකච්ඡාව නතර කිරීමේ කිසිම වරදක් නැත. තවද, ඔබ දෙදෙනාට හැඟීම් පාලනය කරගන්න අපහසු බව දැනෙනවා නම්, ඔබ දෙදෙනා ගැටලු නිරාකරණය කරගන්න අවස්ථාවේදී මේරූ මිතුරෙකුව සාකච්ඡාවට හවුල් කරවාගැනීම ඥානවන්ත විය හැක. c

යථාර්ථවාදී වන්න

විවාහයට කලින් ඔබ මවාගත් සිහින සියල්ල සැබෑ වී නැත්නම් අධෛර්යයට පත් නොවන්න. “ජීවිතාන්තය දක්වාම කිසිම ප්‍රශ්නයක් නැතුව සිටින යුවළයන් ගැන අහන්න ලැබෙන්නේ කලාතුරකින්. සාමාන්‍යයෙන් විවාහයක් තුළ ප්‍රීතිය උතුරා යන අවස්ථාත් තිබෙනවා, ඉතා දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙන අවස්ථාත් තිබෙනවා” යනුවෙන් ප්‍රවීණයන් කිහිපදෙනෙක් අදහස් දක්වති.

එසේ නම්, විවාහය සුරංගනා කතා තරම් සුන්දර නොවන බව පැහැදිලියි. එහෙත් එය නපුරු සිහිනයක් විය යුතුද නැත. ඇතැම් අවස්ථාවලදී ඔබ දෙදෙනාට එකිනෙකා සමඟ ඉවසිල්ලෙන් කටයුතු කිරීමට සිදු විය හැක. එහෙත් සැමවිටම එසේ විය යුතු නැත. ඔබ දෙදෙනාගේ එකඟ නොවීම් අමතක කර දමා එකිනෙකාගේ ආශ්‍රය භුක්ති විඳිය හැකි අවස්ථාද තිබේ. ඔව් ඔබ දෙදෙනාට, එකිනෙකා සමඟ කාලය ගත කිරීමට හා විනෝද වීමටද, මිතුරන් ලෙස කතා කිරීමටද එම අවස්ථා යොදාගත හැක. (එපීස 4:2; කොලොස්සි 3:13) එම අවස්ථා ඔබ දෙදෙනාගේ ආදරය යළි පණගැන්වීමට කදිම ප්‍රස්තාය.

අසම්පූර්ණ පුද්ගලයන් වශයෙන් අප කිසිවෙකුට ගැටලු මතු නොවන විවාහයක් බලාපොරොත්තු විය නොහැකි බව මතක තබාගන්න. එහෙත් විවාහය ප්‍රීතිමත් සබඳතාවක් බවට පත් කරගත හැක. ගැටලුවලට මුහුණ දෙන්න සිදු වුණත් ඔබ දෙදෙනාව තෘප්තියට පත් කරවන සබඳතාවක් භුක්ති විඳිය හැක. ඔව්, ඔබත් ඔබේ කලත්‍රයාත් එකිනෙකාව සතුටු කරගැනීමට වෑයම් කරනවා නම්, සම්බන්ධය දියුණු කරගැනීමට උපරිම උත්සාහයක් දරනවා නම් හා නම්‍යසුලු ලෙස කටයුතු කරනවා නම් ඔබේ විවාහය රැකගත හැකි බව නොඅනුමානයි!—1 කොරින්ති 10:24.

[පාදසටහන]

a දෙමව්පියන්ගෙන් ඇති වී තිබෙන බලපෑම කුමක් හෝ වේවා තම කලත්‍රයාට වේදනා ගෙන දෙන ආකාරයට කතා කිරීමට එය නිදහසට කරුණක් කර නොගත යුතුයි. කොහොම වුණත්, දෙමව්පියන්ගෙන් ඇති වී තිබෙන බලපෑම් කුමක්ද කියා දැනගැනීමෙන් එවැනි නැඹුරුවාවක් ඇතිවීමට හේතුව හා එයින් මිදීම අපහසු වන්නේ මන්ද කියා තේරුම්ගැනීම පහසුයි.

b “සුළු සුළු කාරණා ගැන දරුණු වාද විවාද” වශයෙන් පරිවර්තනය කර ඇති මුල් ග්‍රීක් වචනය “දෙපාර්ශ්වයම නුරුස්සනු ලබන කාරණා” වශයෙන්ද පරිවර්තනය කළ හැක.

c යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභාවල වැඩිමහල්ලන්ද උපකාර කිරීමට සූදානමින් සිටී. ඔවුන් විවාහක යුවළයන්ගේ පෞද්ගලික කාරණාවලට ඇඟිලි ගසන්නේ නැතත්, එම යුවළයන් ගැටලු අද්දකින විට ප්‍රබෝධය ගෙන දෙන ආකාරයෙන් උපකාර සැපයීමට ඔවුන්ට හැක.—යාකොබ් 5:14, 15.

[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ඔබ කතා කරන්නේ කඩුවකින් අනින ආකාරයකටද නැත්නම් සුවය ගෙන දෙන ආකාරයකටද?

[10වන පිටුවේ කොටුව⁄පින්තූර]

පන්දුව සෙමින් දමන්න

“නුඹලා එකිනෙකාට උත්තර [දිය යුත්තේ] කෙසේදැයි දැනගන්නා පිණිස, නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා” යනුවෙන් බයිබලයෙහි කියවීමට තිබේ. (කොලොස්සි 4:⁠6) මෙම වදන් විවාහයේදී අදාළ කරගැනීම කොතරම් වැදගත්ද! නිදසුනක් සලකා බලන්න. අප සාමාන්‍යයෙන් බෝල ගහන විට බෝලය දමන්නේ අනිත් තැනැත්තාට එය පහසුවෙන් අල්ලාගත හැකි වන ආකාරයටය. එය අනිත් කෙනාට හානියක් සිදු වන තරමටම හයියෙන් වීසි කරන්නේ නැත. ඔබේ කලත්‍රයා සමඟ කතා කරද්දීත් එම ප්‍රතිපත්තියම අදාළ කරගන්න. එකිනෙකාට විරුද්ධව චෝදනා එල්ල කිරීම හානිකරය. එමනිසා ඔබේ කලත්‍රයාට සවන් දීමට පහසු වන අයුරින් මෘදුව හා කාරුණිකව කතා කරන්න.

[11වන පිටුවේ කොටුව⁄පින්තූරය]

අතීතය මතක් කරගන්න

අතීතයේදී ඔබ එකිනෙකාට යැවූ ලියුම් හා කාඩ්පත් විටින් විට කියවන්න. ඒ කාලයේදී එකට ගත් ඡායාරූප දෙසත් බලන්න. “මං එයාට ආදරය කළේ ඇයි? එයාගේ කොයි ගුණාංගවලටද මගේ හිත වැඩියෙන්ම ඇදිලා ගියේ? අපි ඒ කාලයේදී මොන වගේ දේවල්ද එකට කළේ? අපි හිනා වුණේ කොයි වගේ අවස්ථාවලදීද” වැනි ප්‍රශ්න ඔබගෙන්ම අසාගන්න. ඊට පස්සේ, ඔබේ පුරුෂයා හෝ භාර්යාව සමඟ ඒ සම්බන්ධයෙන් කතා කරන්න. “ඔයාට මතකද අපි . . . ” යනුවෙන් ඔබේ කලත්‍රයාගෙන් ඇසූ විට ඔබ දෙදෙනාටම කලින් තිබූ ආදරයේ හැඟීම් යළි පුබුදුවාගත හැක.

[12වන පිටුවේ කොටුව]

තවත් විවාහයක් කරගැනීමද හොඳම විකල්පය?

අසාර්ථක යුග දිවියක් ගත කරන ඇතමෙක් වෙනත් විවාහයක් කරගැනීම ගැන කල්පනා කරති. නමුත් බයිබලය තුළ කාමමිථ්‍යාචාරය හෙළා දැක ඇති අතර, එවැනි පාපයකට හසු වන කෙනෙකුව “නුවණ නැති [හෘදයේ අඩුවක් ඇති, NW] කෙනෙක්” වශයෙන්ද “තමාගේම ප්‍රාණය නාස්ති” කරගන්නා කෙනෙක් වශයෙන්ද හඳුන්වා ඇත. (හිතෝපදේශ 6:32) පසුතැවිලි නොවී දිගටම කාමමිථ්‍යාචාරයෙහි යෙදෙන පුද්ගලයෙකුට අවසානයේදී දෙවිගේ අනුග්‍රහය අහිමි වේ. ඊට වඩා විය හැකි ලොකු හානියක් ගැන අපට සිතාගත හැකිද?—හෙබ්‍රෙව් 13:⁠4.

කාමමිථ්‍යාචාරික ජීවන රටාවක් ගත කිරීමේ ඇති නිෂ්ඵල බව තවත් පැතිවලින්ද පෙන්විය හැක. නිදසුනකට මෙම කාරණය සලකා බලන්න. කාමමිථ්‍යාචාරික පුද්ගලයා අලුත් කලත්‍රයෙකු සොයාගන්නේ කලින් විවාහයේ ඇති වූ ගැටලුවලින් මිදීමටය. නමුත් බොහෝවිට දෙවෙනි විවාහයේදීත් ඔහුට එම ගැටලුවලටම මුහුණ දීමට සිදු වේ. ආචාර්යවරියක් වන ඩයෑන් මෙඩ්වඩ් තවත් පැත්තක් අපේ අවධානයට ලක් කරයි. “ඔබේ අලුත් කලත්‍රයා ඔබ ගැන මුලින්ම දැනගත්තේ මොකක්ද? ඔබ විශ්වාසවන්ත කෙනෙක් නොවන බවයි. ඔබ ජීවිතාන්තය දක්වා එකට සිටීමට පොරොන්දු වූ කෙනාට ද්‍රෝහි වුණ හින්දා, නැවතත් එසේ කළ හැකි බව ඔබේ කලත්‍රයා දන්නවා. නිදහසට කරුණු ඉදිරිපත් කරන්න ඔබ දක්ෂයි කියාත්, ඔබ බැඳීම සුළු කොට තකනවා කියාත් ඔහු දන්නවා. ඔබේ ආශාවන් පිනවාගැනීමට හෝ පුහුමානයේ හැඟීම් ගොඩනඟාගැනීමට ඔබ ඕනෑම දෙයක් කරයි කියාත් එම තැනැත්තා දන්නවා. . . . එසේ නම් ඔබ නැවත වතාවක් ද්‍රෝහි නොවෙයි කියා විශ්වාස කිරීමට ඔබේ දෙවෙනි කලත්‍රයාට පදනමක් ඇද්ද” කියා ඇය ප්‍රශ්න කරයි.

[14වන පිටුවේ කොටුව]

බයිබල් හිතෝපදේශ ඇසුරෙන් ප්‍රඥාව

හිතෝපදේශ 10:⁠19: “වචන බහුලවූ කල වරද හිඟ නැත; එහෙත් තමාගේ තොල් ආණ්ඩුකරගන්නා නුවණ ඇති කෙනෙක්ය.”

මනස අවුල් වී තිබෙන විට ඔබ සිතා බලන්නේ නැතුව දේවල් පැවසිය හැක. නමුත් ඉන්පසු පැවසූ දේවල් ගැන ඔබ පසුතැවේ.

හිතෝපදේශ 15:⁠18, නව අනුවාදය:  “වහා කිපෙන සුලු මිනිසා කලහ උපදවයි; ඉවසිලිවන්තයා කලහ සංසිඳුවයි.”

ඔබේ පුරුෂයාට හෝ භාර්යාවට දැඩි වේදනාවක් ගෙන දෙන ආකාරයකට කතා කළොත් විවාදයක් හටගන්න පුළුවන. නමුත් ඔබ ඉවසිලිවන්තව ඔහුට හෝ ඇයට සවන් දුන්නොත් සාකච්ඡා මාර්ගයෙන් ඔබ දෙදෙනාට ප්‍රශ්න විසඳගත හැක.

හිතෝපදේශ 17:⁠27, නව අනුවාදය:  “දිව දමනය කරන්නාට ප්‍රඥාව ඇත; තැන්පත් සිතක් ඇති අයට වැටහීම [විචාර බුද්ධිය, NW] ඇත.

ඔබ තුළ කේන්තියක් ඇති බව ඔබට තේරෙන විට, සණ්ඩු සරුවල් ඇතිවීම වළක්වාගැනීමට කළ යුතු සුදුසුම දෙය වන්නේ නිශ්ශබ්දතාව රැකීමයි.

හිතෝපදේශ 29:11, නව අනුවාදය:  “අනුවණයා සිය උදහස නොවළහා හෙළි කරයි; නැණවතා සිය උදහස වළකාගනියි.”

ආත්මදමනය වර්ධනය කරගැනීම අත්‍යවශ්‍යය. කෝපය පිට කිරීමෙන් සිදු වන්නේ ඔබේ කලත්‍රයාව ඔබෙන් තවත් ඈත් කරගැනීම පමණි.