Skip to content

පටුනට යන්න

ඔබ සදහටම අසරණ වී ඇද්ද?

ඔබ සදහටම අසරණ වී ඇද්ද?

ඔබ සදහටම අසරණ වී ඇද්ද?

“ගැටලු ගණනාවක් සමඟ පොරබදින විවාහක යුවළයන් අද්දකින තවත් ගැටලුවක් වන්නේ තමන් සදහටම අසරණ වී ඇතැයි යන නිෂේධාත්මක ආකල්පය ඔවුන් තුළ තිබීමය. එම ආකල්පය තිබීමම ප්‍රශ්න විසඳාගැනීමට ලොකු බාධකයකි. මන්ද එවැනි මතයක් දරන අය තම ගැටලුවලින් ජයගැනීමට කිසිදු උත්සාහයක් නොදරන නිසාය.”—වෛද්‍ය. ඒරන් ටී. බෙක්.

ඔබ වේදනාවක් අද්දකිමින් සිටින නිසා වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වන බව සිතන්න. ඔබේ සෞඛ්‍යය හා ජීවිතය පවා අවදානම් තත්වයක තිබිය හැකි නිසා ඔබට යම් චකිතයක් දැනෙනවාට සැකයක් නැත. පරීක්ෂණයෙන් පසුව, ඔබේ සෞඛ්‍ය ගැටලුවට ප්‍රතිකාරයක් ඇති බවත්, ආහාර පානවලින් පරෙස්සම් වෙමින් දිනපතා ව්‍යායාම කළහොත් ඔබට සම්පූර්ණ සුවයක් ලබාගත හැකි බවත් ඔබේ වෛද්‍යවරයා පවසනවා නම්, එය ඔබට මොනතරම් සැනසිල්ලක් වේවිද කියා කල්පනා කර බලන්න! ඔබ ප්‍රමාද නොවී වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපදින බවට සැකයක් නැත.

එම නිදර්ශනය විවාහය යන විෂයට අදාළ කරමු. ඔබ ඔබේ විවාහය තුළ යම් වේදනාකාරි තත්වයකට මුහුණ දෙමින් සිටිනවාද? ඇත්තෙන්ම, ඕනෑම විවාහයක් තුළ යම් යම් ආකාරයේ ගැටලු හා එකඟ නොවීම් ඇති වේ. එමනිසා ගැටලුවක් ඉස්මතු වූ පමණින් ඔබ දෙදෙනාගේ ආදරය බිඳී ගොස් ඇති බව නිගමනය කිරීමට ඉක්මන් නොවන්න. කෙසේවෙතත්, එම වේදනාකාරි තත්වය දිගින් දිගටම, එනම් සති, මාස හෝ අවුරුදු ගණන් පවතින එකක් නම් ප්‍රශ්නය බැරෑරුම් එකක් බව පැහැදිලිය. ඔබේ විවාහයේ සාර්ථකත්වය ඔබේ මෙන්ම ඔබේ දරුවන්ගේ ජීවිතවල සෑම අංගයකටම බලපෑ හැකි බැවින් ඔබ එම ප්‍රශ්නයට අවධානය දිය යුතුමය. ඇත්තෙන්ම විවාහ ජීවිතයේ ඇති වන ගැටලු, මානසික අසහනය ඇති කිරීමට, රැකියාවේදී කාර්යක්ෂමතාව අඩු කිරීමට මෙන්ම දරුවන්ගේ පාසැල් වැඩකටයුතු අසාර්ථක වීමට පවා තුඩු දිය හැකි ප්‍රධාන හේතුවක් බවට විශ්වාස කෙරේ. ක්‍රිස්තියානියෙකු සැලකිය යුතු තවත් කාරණයක්ද තිබේ. එය නම්, ඔහු දෙවි සමඟ භුක්ති විඳින සම්බන්ධයට ඔහුගේ විවාහ සම්බන්ධය කෙළින්ම බලපානවා යන කාරණයයි.—1 පේතෘස් 3:7.

ඔබේ කලත්‍රයා හා ඔබ අතර යම් ගැටලු පැන නැඟී ඇත්නම් බලාපොරොත්තු සුන් කරගන්න එපා. සෑම විවාහයකම අනිවාර්යයෙන්ම ගැටලු ඉස්මතු වෙනවා යන යථාර්ථය පිළිගැනීම වැදගත් වේ. එවිට ගැටලු අනවශ්‍ය ලෙස සිතට නොගෙන සාකච්ඡා කර ඒවා විසඳාගැනීම පහසු වේ. අයිසැක් නමැති විවාහක පුරුෂයෙකු පැවසූ දේ සලකා බලන්න. “විවාහ ජීවිතයේ හොඳ දවස් වගේම නරක දවසුත් තියෙයි කියලා මම දැනං හිටියේ නැහැ. ඒ හින්දා අපි දෙන්නාට ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණාම මං මුලදී හිතුවේ අපි දෙන්නාගේ තමයි වැරැද්ද කියලා!”

ඇත්තෙන්ම, ඔබේ විවාහය තුළ ආදරය බිඳී ගොස් ඇතත් එය යළි ගොඩනඟාගත හැක! විවාහ බැම්ම කැඩී බිඳී යන තත්වයට පත් වී ඇත්නම් ගැඹුරු චිත්තවේගීය තුවාල ඇති විය හැකි බව අප පිළිගත යුතුය. තවද එම තත්වයට තුඩු දෙන ගැටලු දිගු කාලයක් පුරා අද්දැක ඇත්නම් තත්වය ඊටත් වඩා වේදනාකාරි විය හැක. ඒ කෙසේවෙතත් බලාපොරොත්තු අත්හරින්න එපා! ශුභවාදී ආකල්පයක් ඇතුව සිටීමත් වෑයම අත් නොහැරීමත් වැදගත් වේ. මන්ද විවාහ සබඳතාව කැඩී බිඳී යෑමට ආසන්නව තිබියදී පවා උනන්දුවක් තිබෙනවා නම් විවාහය රැකගත හැක. a

එසේ නම්, ‘හොඳ සම්බන්ධයක් ඇති කරගැනීමට මම කොච්චර දුරට උනන්දු වෙනවාද’ කියා ඔබගෙන්ම අසාගන්න. ඔබේ කලත්‍රයාත් ඔබත් ගැටලු විසඳාගැනීමට හැකි සෑම උත්සාහයක්ම දරනවාද? “පුදුමයකට මෙන්, අසාර්ථකයයි සැලකෙන විවාහයන්වල කලත්‍රයන් දෙදෙනාම එකතු වී තම විවාහයේ තිබෙන දුර්වල පැති හඳුනාගෙන ඒවා හරිගැස්වීමටත්, හොඳ පැති තව තවත් දියුණු කරගැනීමටත් වෑයම් කරන විට තත්වය හොඳ අතට හැරෙනවා” කියා කලින් සඳහන් කළ වෛද්‍ය බෙක් පවසයි. නමුත් ඔබේ කලත්‍රයා ගැටලු විසඳාගැනීමට කිසිම උනන්දුවක් දක්වන්නේ නැත්නම් කුමක් කළ යුතුද? එවන් ප්‍රශ්නයක් තිබෙනවා කියා ඔහුට හෝ ඇයට නොතේරෙනවා නම් ගත යුතු පියවර කුමක්ද? තනිවම උත්සාහ කිරීම නිෂ්ඵල වේවිද? කොහෙත්ම නැත! “ඔබ යම් වෙනස්කම් සිදු කරනවා නම් බොහෝවිට ඔබේ කලත්‍රයාත් වෙනස්කම් සිදු කිරීමට පෙලඹිය හැකි” බව වෛද්‍ය බෙක් පවසයි.

ඔබේ තත්වය ඊට වඩා වෙනස් බව නිගමනය කරන්න එපා. එම නිෂේධාත්මක සිතුවිල්ල පවා ඔබේ විවාහයට ලොකු තර්ජනයක් එල්ල කරයි. ඔබ දෙදෙනාගෙන් එක්කෙනෙකුට මුල් පියවර ගැනීමට සිදු වේ. ඔබේ විවාහයේ තත්වය දියුණු කිරීමට ඔබට මුල් පියවර ගත හැකිද? ඔබ එසේ කළොත්, වඩාත් ප්‍රීතිමත් සබඳතාවක් ඇති කරගැනීමට වෑයම් දැරීම ප්‍රයෝජනවත් දෙයක් බව ඔබේ කලත්‍රයාට තේරුම් යා හැක. එවිට ඔහු හෝ ඇය ඔබට සහයෝගය දැක්වීමට තීරණය කරන්න පුළුවන.

එසේ නම්, ඔබ දෙදෙනාගේ විවාහය රැකගැනීම සඳහා යුවළක් වශයෙන් හෝ පෞද්ගලිකව ඔබට කුමක් කළ හැකිද? බයිබලයෙහි අපට මෙම ප්‍රශ්නයට කදිම පිළිතුරක් සපයා ඇත. අපි දැන් එය කුමක්ද කියා සලකා බලමු.

[පාදසටහන]

a පුරුෂයා හා භාර්යාව අතර ඉතා බැරෑරුම් ගැටලු පවතින අවස්ථාවලදී වෙන්වීම සුදුසු විය හැකි බව පිළිගත යුතුය. (1 කොරින්ති 7:10, 11) ඊට අමතරව, වේශ්‍යාකමත් දික්කසාදයට පදනමක් සපයන බව බයිබලයෙහි සඳහන් කර ඇත. (මතෙව් 19:9) ද්‍රෝහි වූ කලත්‍රයාව දික්කසාද කළ යුතුද නැද්ද යන්න පෞද්ගලික තීරණයකි. එමනිසා නිර්දෝෂී කලත්‍රයාට දික්කසාද වන්න හෝ නොවන්න කියා අන්‍යයන් බල නොකළ යුතුය.—Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත පවුලේ සන්තෝෂයට රහස නමැති පොතෙහි 158-61 දක්වා පිටු බලන්න.