Skip to content

පටුනට යන්න

ගැලී වහලෙකුගේ විලාපය

ගැලී වහලෙකුගේ විලාපය

ගැලී වහලෙකුගේ විලාපය

ප්‍රංශයේ පිබිදෙව්! ලේඛක විසින්

ප්‍රංශ රජු නැඟි අලුත්ම ගැලිය (හබල් නැව) මාර්සේ තොටුපොළේ සිට මධ්‍යධරණී මුහුදට දියත් වූ මොහොත අපට සිතින් මවාගත හැකිය. අතුරු සිදුරු නැතුව රැස් කකා සිටි සෙනඟ ඇසිපිය නොහෙළා ඒ දෙස බලා සිටින දසුන සිත්ගන්නාසුලුය. එය මුහුදු ඉතිහාසයේ වැජඹුණු දර්ශනීයම නෞකා අතරින් එකකි. මහත් වෙහෙසක් දරා විසිතුරුව නෙළූ කැටයමින්ද රන් මුතුවලින් කළ සැරසිල්ලෙන්ද නැවේ අවරය අලංකාර කර තිබුණි. නැව් තට්ටුවලට රාජකීය තේජසක් ගෙන දුන්නේ සියුම් වැඩ දැමූ රෙදි පිළිය. හිමිදිරි අරුණලු අධික වියදම් දරා කර ඇති කැටයම් මත පතිත වී දිස්නය විහිදුවේ, “සූර්ය රාජයා” යන නම පටබැඳි XIVවන ලුවී රජුගේ කීර්තිය ගැන උදම් අනන්නාක් මෙනි.

දහහත්වන සියවස වන විට යුධ කටයුතු සඳහා යොදාගැනුණේ සීමිත ගැලී ප්‍රමාණයකි. එහෙත්, තමා සතු ගැලී ප්‍රමාණය 40 දක්වා වැඩි කරගැනීමට XIVවන ලුවී රජු තීරණය කළේ, මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කළ විශාලම නැව් සමූහය තමා සතු විය යන වාර්තාව ඉතිහාස පොත්වලට එක් කරමිනි. විශාරදයන් දකින ආකාරයට ගැලී 20කින් ඔහුගේ අවශ්‍යතා හොඳහැටි පියවාගන්න හැකියාව තිබුණි. එසේ නම්, එතරම් විශාල ගැලී සමූහයක් තිබීමේ අරමුණ කුමක් වීද?

රාජ උපදේශක ෂොං-බටීස්ට් කෝල්බේර් එය පැහැදිලි කරන්නේ මෙසේයි. “රජෙක් තම ශ්‍රේෂ්ඨත්වය පෙන්වන්නෙත් විදේශිකයන් අතරේ ප්‍රසිද්ධියක් ලබන්නෙත් ඔහු සතු ගැලී සංඛ්‍යාවෙන්.” ඇත්තෙන්ම, ලුවී රජුගේ ගැලී තැනවීමේ මූලික පරමාර්ථය වූයේ කීර්තිය ලබාගැනීමයි. එහෙත්, ඔහු කීර්තිය වෙනුවෙන් පූජා කළේ මොනවාද?

රජුගේ කීර්තිය වෙනුවෙන් දහදිය සහ කඳුළු හෙළමින් හෙම්බත් වූ මිනිස් ප්‍රාණ ගැන මොහොතකට සිතා බලන්න. අඩි 150ක් තරම්වත් දිග නැති පළලින් අඩි 30ක් පමණ වූ නැව් තට්ටුවක සතුන් මෙන් පටවා සිටියේ හබල්කරුවන් 450දෙනෙකි. එවන් ගුලක සිර වී මාස ගණනාවක් එක දිගට වැඩ කිරීමට ඔවුන්ට සිදු විය. ලුණු මිශ්‍රිත මුහුදු සුළඟින් ඔවුන්ගේ හම වණ වී ගිය අතර, අතොරක් නැතුව කෑ ගුටි බැට හේතුවෙන් ඔවුන්ගේ සිරුරු පැළී කැළැල් ඇති විය. මේ නිසා ඔවුන්ගෙන් අඩක්ම මිය ගියහ. මෙය ප්‍රංශයේ සිදු වූ “විශාලම මිනිස් කෙලසීම” බව ප්‍රංශ ඉතිහාසඥයෝ පවසත්.

අතළොස්සකගේ උද්ධච්චකම සහ බොරු ආටෝපය බහුතරයකගේ අභාග්‍යයටත් මරණයටත් හේතු විය. රජු තම ගැලී 40ට අවශ්‍ය හබල්කරුවන් දහස්ගණනක් සොයාගත්තේ කොහෙන්ද?

හබල්කරුවන්ව බිලි බෑම

මධ්‍යතන යුගයේදී ගෙලෙඕටි ලෙස හැඳින්වූ ගැලී හබල්කරුවන් වහලුන් නෙවෙයි. හබල් ගැසීම එවකට ගරුතර වෘත්තියක් ලෙස සලකනු ලැබීය. කෙසේවෙතත්, 17වන සියවසේදී තත්වය වෙනස් විය. සමහර හබල්කරුවන්ව ඔටොමන් අධිරාජ්‍යයෙන් මිල දී ගැනුණි. ඔවුන්ව හැඳින්වූයේ තුර්කියන් හැටියටයි. ඔවුන්ගෙන් වැඩිදෙනෙකු මුස්ලිම් ජාතිකයන් වූ අතර, සමහරෙකු ඕතඩොක්ස් ක්‍රිස්තියානීන් විය. යුධ සිරකරුවන්වද මේ සඳහා යොදාගැනුණි.

“ගැලී හබල් කණ්ඩායම්වල ‘ශක්තිය තර කිරීම’ සඳහා කළ පාපිෂ්ඨම සහ පිළිකුල්සහගතම ක්‍රියාව වූයේ ඉරෝක්වොයි ඉන්දීය හේවායන්ව සූර්ය රාජයාගේ ගැලීවල සේවයේ යෙදවීම බව අවිවාදයෙන් පිළිගත යුතුය” කියා ප්‍රංශ ඉතිහාසඥයෝ සඳහන් කරත්. උතුරු ඇමරිකාවේ මුල් පදිංචිකරුවන්ව අල්ලාගෙන ඒමෙන් ඔවුන් කළේ විශාල වරදකි. වර්ෂ 1689දී ඉරෝක්වොයි ඉන්දියානුවන් මුල් ප්‍රංශ යටත් විජිතයන්හි විසූවන්ට තර්ජනයක් වෙන්න පටන්ගත් විට ඔවුන්ව නැවත ඔවුන්ගේ මව්බිම් කරා යවනු ලැබීය.

කෙසේවෙතත්, ලුවීගේ අභිලාෂකාමී වැඩ පිළිවෙළ නිසා තව තවත් හබල්කරුවන් සොයාගැනීමේ අවශ්‍යතාවක් පැන නැඟුණි. කෝල්බේර් ඊට විසඳුමක් සොයාගත්තේය. ඔහු රජුගේ කැමැත්ත මහේස්ත්‍රාත්වරුන්ට දැන්වීය. එහි ප්‍රතිඵලයක් ලෙස, “හැකි තරම් අපරාධකරුවන්වද, මරණ දණ්ඩනය නියම කර ඇති සිරකරුවන්වද ගැලී සේවයට බඳවාගැනුණි.” අපරාධකරුවන්ව මේ අයුරින් පාවිච්චි කිරීම අලුත් දෙයක් නොවීය. ඊට අවුරුදු 200කට පමණ පෙර ඉතාලිය සමඟ කළ යුද්ධවලදී වරදකරුවන්ව ගැලී වහලුන් ලෙස යොදාගැනුණි. කෙසේවෙතත්, XIVවන ලුවී සහ ඔහුගේ මී මුනුපුරා වූ XVවන ලුවීගේ කාලයේදී ගැලී සේවය සඳහා පෙර නොවූ විරූ ප්‍රමාණයේ සේවක පිරිසක් යොදවාගනු ලැබීය. වර්ෂ 1680 සිට 1748 දක්වා කාලයේදී ගැලී වහලුන් ලෙස යොදාගත් මිනිසුන් ගණන 60,000කි. මෙසේ හබල්ගෑ වහලුන් කවුරුන් වීද?

හබල් ගෑ අය කවුරුන්ද?

ගැලියේ වැඩට යැවූවන්ගෙන් හරි අඩක්ම වාගේ සාමාන්‍ය අපරාධකරුවන් විය. මිනිමරුවෝ මෙන්ම සුළු සුළු සොරකම්වලට හසුවූවෝද ඒ අතර සිටියහ. ජාවාරම්කරුවන්ද මේ ආකාරයට දඬුවම් ලැබූ අතර, එක්තරා අවදියකදී ජාවාරම්කරුවන් බොහෝදෙනෙකු හබල්කරුවන් ලෙස සේවයේ යොදවාගැනුණි.

ඊට අමතරව, පහත් සමාජ තත්වයක සිටි අයවද ගැලී සේවය සඳහා බලහත්කාරයෙන් යොදවාගනු ලැබීය. වර්ෂ 1666දී මාර්සේහි සිටි හබල්කරුවන් භාර නිලධාරියා මෙසේ ලීවේය. “කාලකණ්ණි, සිද්ධස්ථාන ගානෙ ඔහේ ඇවිදින, . . . අහිකුණ්ඨක සහ ඉබාගාතෙ යන එවුන්ව ගැලීවලට දමා වැඩ ගන්නා නීතියක් ක්‍රියාත්මක කළහොත් යහපති. . . . එසේ කළහොත්, මේ ලෝකෙට බරක් වී තිබෙන ජහ ජරාව ඉවත් කළ හැකිය.” සමාජය තුළ යම් විනයක් රැකීමේ මුවාවෙන් අහිකුණ්ඨකයන් සහ අනාථයන්ව ගැලී වැඩ සඳහා යොදාගනු ලැබුණි. වර්ෂ 1660දී, ප්‍රංශයේ සිද්ධස්ථානයක් නරඹමින් සිටි පෝලන්ත ජාතික වන්දනා නඩයක්ව පවා බලහත්කාරයෙන් ගැලී වැඩට බඳවාගැනිණි!

ගැලීවලට අවශ්‍ය මිනිස් ශ්‍රමය සොයාගත් තවත් මාර්ගයක් වූයේ හමුදාවෙන් පැන ගිය අයයි. ඔවුන්ව අල්ලාගෙන ජීවිතාන්තය දක්වා ගැලී වැඩට නියම කරනු ලැබීය. හමුදාවෙන් පැන ගිය අයගේ කන් සහ නාස් කපා දැමූ අතර, ඔවුන්ගේ කම්මුල්වල ෆ්ල-ඩ-ලිස් යන ප්‍රංශයේ රාජකීය ලාංඡනය හංවඩු ගසා හිසද බූ ගා දැමීය. වර්ෂ 1685 සිට 1715 දක්වා කාලය තුළ XIVවන ලුවී රජු සටන් කළ බොහෝ යුද්ධවලදී හමුදාවෙන් පැන ගිය 17,000 දෙනෙකුව පමණ ගැලී වැඩ සඳහා යොදවාගනු ලැබීය. ඔවුන් මුහුණ දුන්නේ කිනම් තත්වයන්ටද?

විලාපයේ හඬ

ගැලී වහලුන්ගේ දුක් ගාවිනා ඇරඹුණේ මුහුදු ජීවිතේ ඇරඹීමට බොහෝ මත්තෙනි. සියගණන් වූ මොවුන්ව දම්වැල්වලින් බැඳ මාර්සේ වෙත ඇදගෙන එන්න මත්තෙන් මාස හයක් පමණ තාවකාලිකව සිර කරනු ලැබීය. බ්‍රිටැනි හෝ පැරිස් සිට යවනු ලැබූ සමහර අයව බලහත්කාරයෙන් ගෙන යනු ලැබූ මේ ගමන මාස ගණනාවක් පුරා ඇදෙන කිලෝ මීටර් 800ක් පමණ දුර ගෙවා යා යුතු බියකරු ගමනක් විය. එකල විසූ කෙනෙකු එය දුටුවේ, “චූදිතයෙකු ලැබූ දරුණුම දඬුවම” හැටියටයි. බොහෝදෙනෙකු අතරමඟදී මියැදුණි.

කෙසේවෙතත්, ඔවුන්ට මරණය ළඟා කළේ ගමනේ දුරවත් ලැබුණු ආහාර සලාකයවත් නොවේ. ඒ වෙනුවට මුරට සිටි හේවායෝ සිරකරුවන්ට දස වද දුන්නෝය. පහර දීම, ආහාර නොදීම සහ නිදා ගැනීමට නොදීමද ඔවුන්ට මහත් හෙණ පහරක් විය. මඟ දෙපස සිටි මිනිසුන්ද හේවායන්ට දෙවනි නොවීය. ප්‍රංශය හරහා නිතර නිතර එහාට මෙහාට යන මේ මිනිසුන් කෙරෙහි ඔවුන්ට කිසිම අනුකම්පාවක් නොතිබුණි. ගැහැනියකගෙන් වතුර ටිකක් ඉල්ලූ එක් හිරකරුවෙකුට “පලයල්ලා, පලයල්ලා, ඔහොමම පලයල්ලා, උඹලා යන දිහාවෙන් නාතැහැකි” යයි ඇය කියූ බව වාර්තා වේ.

අඩක්ම මරු දකී

එම වරදකරුවන්ගෙන් බොහෝදෙනෙකු මින් පෙර ගැලී නැවක් තියා මුහුදක්වත් දැක තිබුණේ නැත. මාර්සේ තොටුපොළට පැමිණීම ඔවුන්ට හදිසියේ ලද දරුණු අතුල් පහරක් මෙන් විය. සිරකරුවන්ව හිස් ගැලී තුළට දක්කාගෙන ගොස් පරීක්ෂා කළේ, “පොළෙන් ගවයන් මිල දී ගැනීමේදී කරන්නාක් මෙනි” කියා එක් ලේඛනයක සඳහන් වේ. පසුව ඔවුන්ගේ වත ගොත ලේඛනගත කර, ගැලී සේවකයෙක් හැටියට ඔවුන්ව මින් ඉදිරියට අඬගසනු ලබන අංකයක් දෙනු ලැබීය. “ගැලී හබල්කරුවන් අතරට වැටෙන එක මහත් ව්‍යාකූල දෙයක් වූ අතර, එමගින් කෙනෙකු මානසිකව මෙන්ම ශාරීරිකවද දැඩි කම්පනයකට පත් විය” කියා එක් ඉතිහාසඥයෙක් සඳහන් කළේය. කෙසේවෙතත්, ඊට වඩා දරුණු සැලකිලි ඔවුන්ට අත වනමින් සිටී.

අඩි හතහමාරක් දිගැති, අඩි හතරක් පළලැති පුංචි කාමරයක දම්වැල්වලින් බැඳි මිනිසුන් පස්දෙනෙක් මාස ගණනාවක් පුරා බංකුවල ඉඳගෙන එක දිගට හබල්ගෑහ. එක් හබල්කරුවෙකුට ඉඳගැනීමට තිබුණේ අඩි එකහමාරක ඉඩ ප්‍රමාණයක් පමණය. තිබූ ඉඩ ප්‍රමාණය ඒ තරම්ම කුඩා වූ නිසා, ඔවුන් හබල් ගසද්දී ඔවුන්ගේ අත් නවන්නවත් බැරි විය. ඔවුන් එවන් දුෂ්කර කර්තව්‍යයක යෙදුණේ අඩි 39ක් දිගැති රාත්තල් 280ක් බරැති හබලක් සමඟ වලිකමිනි. පැය ගණනාවක් තිස්සේ හබල්ගෑම කොන්ද කැඩෙන වැඩක් වූ අතර, ඔවුන්ගේ මස්පිඩු ඉරෙන්නත් ඔවුන්ගේ ශක්තිය සහ දරාගැනීමේ හැකියාව මහත් සේ හීන වී යාමටත් එය හේතුවක් විය. එය “උෂ්ණ කලාපීය දේශගුණයක් ඇති ප්‍රදේශයක කෙරෙන අධික වෙහෙසකර වැඩකට සමාන කළ හැකියි” කියා ඉතිහාසඥයෙක් පැවසීය.

ගැලී තිබුණේ පහත මාලයේයි. ඒ නිසා හබල්කරුවන් සිටියේ වතුර මට්ටමට වඩා අඩි තුනක් පමණ ඉහළිනි. එහි ප්‍රතිඵලයක් හැටියට, ඔවුන්ව සැමවිටම මුහුදු වතුරෙන් නෑවුණු අතර, ඔවුන්ට හබල් ගසන්න සිදු වූයේ ලුණු වතුරේ පය ගහගෙනය. ලුණු මිශ්‍ර සුළඟෙන් ඔවුන්ගේ සම නාස්ති වී ගොස් තිබුණි. ඔවුන්ගේ ආහාර සලාකය බඩ කට යම්තම් පුරවාගැනීමටවත් නොසෑහෙන තරම් විය. එක් ඉතිහාසඥයෙකු සඳහන් කළේ, “නොමැරී ඉන්න වැරදිකරුවන් ඕනෑම දෙයක් කළා” කියායි. පැන යෑම ගැන නම් සිතාගැනීමටවත් හැකියාවක් නොවීය. පැන යන්නන් අල්ලා දුන් අයට විශාල මුදල් සම්භාරයක් තෑගි කළ නිසා, පැන යන්න තැත් කළ ඕනෑම කෙනෙකුව අල්ලා දීමට මහජනයා මහත් ලොල්කමක් දැක්වීය. මෙසේ බේරී ගියේ සියයට එක්කෙනෙකු පමණි.

සිරකරුවන්ට දී තිබූ දණ්ඩන කාලය බලධාරීන්ට හිතුමතේ වෙනස් කළ හැකි විය. එයින් අදහස් කළේ, කෙටි කාලීන දඬුවමක් ලැබූවෙකුට සමහරවිට අවුරුදු 25ක් තිස්සේ වුවත් හබල් ගගා සිටින්න සිදු වන බවය. සමස්තයක් හැටියට ගත් විට, හබල්කරුවන්ගෙන් භාගයක් පමණ මරු කටට ගොදුරු වූ අතර, ඔවුන්ගෙන් තුනෙන් පංගුවක්ම මුල් අවුරුදු තුන ඇතුළත මරුමුවට පත් විය. ගොඩ සිටින හබල්කරුවන් සහ මුහුදේ සිටින හබල්කරුවන්ගේ මරණ සංඛ්‍යාවේ වෙනසක් නොතිබුණි. වර්ෂ 1709/10 ශීත ඍතුවේදී, ඔවුන්ගෙන් තුනෙන් පංගුවක් සාගතයෙන් සහ දරුණු කාලගුණික තත්වයන් නිසා මිය ගියහ. ඉතාම කනගාටුදායක ලෙස, සමහරුන්ව ඔවුන්ගේ ආගම නිසාත් ගැලීවලට යවනු ලැබුණි.

ඇදහිල්ල නිසා ගැලියට

වර්ෂ 1685දී, XIVවන ලුවී රජු නාන්ට්හි නියෝගය අවලංගු කොට, ප්‍රංශය තුළ රෙපරමාදු ධර්මය තහනම් කළේය. a කතෝලික ධර්මයට හැරීම ප්‍රතික්ෂේප කළ නිසා හෝ රටින් පලා යෑමට තැත් කළ නිසා රෙපරමාදුවන් 1,500දෙනෙක් පමණ ගැලී වැඩට යොදවන ලදි. කෙසේවෙතත්, “මිථ්‍යා දෘෂ්ටිකයන්” ලෙස හංවඩු ගැසීම ඇරඹුණේ, 1545දී Iවන ෆ්‍රැන්සිස් රජුගේ අණ පරිදි එක සතියක් ඇතුළත වොල්ඩන්සස්වරුන් b 600දෙනෙකුව ගැලී වැඩට යවනු ලැබීමත් සමඟය. කෙසේවෙතත්, ක්‍රිස්තියානි කෙනෙක්යයි කියාගත් XIVවන ලුවී රජු යටතේ පීඩාවන් නව මුහුණුවරක් ගැනීමට පටන්ගත්තේය.

රෙපරමාදුවන්ව ගැලීවලට යැව්වේ මන්ද? රාජ නිලධාරියෙකු ඊට හේතුව සඳහන් කරන්නේ මෙසේයි. “බලහත්කාරයෙන් මිස මිථ්‍යා දෘෂ්ටිකයන්ව හරවාගැනීමට වෙනත් ක්‍රමයක් නොමැති” වූ නිසාය. ඉතිහාසඥයෙකු මේ ගැන පවසන්නේ, “‘ගැලිය ඇතුලේ ගඳ’ දැනුණු සැණින්ම, මෙතරම් කැප කිරීම් කළ රෙපරමාදුවන් ඔවුන්ගේ ආගම අත්හැර දමා එයි කියා රජු සිතීය” කියාය. කෙසේවෙතත්, නිදහස ලබාගැනීමේ අරමුණෙන් ඔවුන්ගේ ඇදහිල්ල පාවා දෙන්න බොහෝදෙනෙකු කැමති වූයේ නැත. මෙහි ප්‍රතිඵලයක් හැටියට, ගැලියේ සිටි කතෝලික පූජකයන්ගේ උසිගැන්වීම මත ඔවුන්ව ප්‍රසිද්ධියේම තැලීම්වලට භාජන කෙරුණි. ඉන් සමහරු මිය ගියහ. තවත් අයට ඉන් ලද තුවාලවල කැළැල් ජීවිත කාලය පුරාම මතක සටහන් වශයෙන් පැවතිණි.

මෙතරම් කුරිරු සැහැසියාව මධ්‍යයෙහි වුණත්, රෙපරමාදුවෝ ක්‍රියාශීලීව ඔවුන්ගේ ඇදහිල්ල අන් අය සමඟ බෙදාගත්හ. මෙහි ප්‍රතිඵලයක් හැටියට, යටත් පිරිසෙයින් කතෝලික පූජකයෙක් ඇතුළු තවත් කිහිපදෙනෙක්ද රෙපරමාදු ධර්මය වැලඳගත්හ. ඉතා භයානකයි කියා සැලකූ උගත් රෙපරමාදුවන්ව ගැලියෙන් ඉවත් කර, ඇඳිරිගෙයි දමා මැරෙන්න ඉඩහැරීය. කෙසේවෙතත්, මෙය රෙපරමාදු හබල්කරුවන්ව අන් අය සමඟ ධර්මය බෙදාගැනීමෙන් වැළැක්වූයේ නැත. කියවීමට නොහැකි අය වෙනුවෙන් සාක්ෂරතා පංති පැවැත්වීම දක්වාම කටයුතු සංවිධානය කිරීමට තරම් ඔවුන් වෙහෙස විය.

ගැලියට කැපවූවන් ඔවුන්ව එහි යැව්වේ ඇයි කියා හොඳින් දැන සිටියේය. රෙපරමාදු භක්තික ප්යෙර් සර් ලියුවේ, “මම දුක් විඳින්න දුක් විඳින්න, එහෙම වෙන්න හේතු වන සත්‍යයට ඇති මගේ ආදරය තව තවත් වැඩි වෙනවා” කියායි. ප්‍රංශයේ පැවති ආගමික පීඩාව ගැන ඇසූ බොහෝ රටවල් මහත් සේ කම්පාවට පත් විය. වර්ෂ 1713දී, එංගලන්තයේ ඈන් රැජින එම ගැලී හබල්කරුවන්ව ගළවාගැනීම සඳහා සාර්ථක උත්සාහයක නිරත වූවාය. කලින් ප්‍රංශය හැර යෑම තහනම් කර තිබූ රෙපරමාදුවන්ව ඉන්පසු එරටින් පිටුවහල් කරනු ලැබීය.

ගැලියේ අභාවය

කාලයාගේ ඇවෑමෙන්, නාවික සහ යුධ කටයුතු සඳහා වඩා කාර්යක්ෂම නැව් තැනීමෙත්, ප්‍රමාණවත් අරමුදල් නැතිවීමෙත් ප්‍රතිඵලයක් හැටියට ගැලී හබල් නැව් භාවිතය නැති වී ගියේය. මෙසේ වීමට එක් හේතුවක් වූයේ XIVවන ලුවී රජුගේ මූල්‍යමය ගැටලුය. වර්ෂ 1720 වන විට, ගැලී තිබුණේ 15ක් පමණයි. එමෙන්ම ඒවායේ භාවිතයද ඉතා සීමා සහිත විය. ගැලී හබල්කරුවන් මාර්සේහි නැවතුණු අතර, එහි ආර්ථික කටයුතුවලට ක්‍රමානුකූලව සම්බන්ධ විය. ඔවුහු සබන් කර්මාන්ත ශාලාවල වැඩ කළහ. සමහරු ගෙතූ ඇඳුම් විකිණූහ. කෙසේ හෝ, 1748දී ගැලී සේවය අවසන් කරන බවට නියෝග කෙරිණි. අහෝ ගැලියේ අභාවය මෙසේ සිදු විය!

එසේ වුවත්, ගැලියේ කතාව තවමත් ප්‍රංශ ජාතිකයන්ගේ මතකයෙන් ඉවත් වී නැත. දුෂ්කර තත්වයන්හිදී ඔවුහු බොහෝවිට මෙසේ තෙපළති. “කෙහ්ල් ගාලර්!” එහි තේරුම “ගැලී ජීවිතේ වගේ!” යන්නයි. අප ගැලී ජීවිතය ගැන දන්නාවූ බොහෝ දේ දන්නේ රෙපරමාදු හබල්කරුවන්ට ස්තුතිවන්ත වෙන්නයි. එතරම් දරුණු ආගමික අගතියක් මධ්‍යයේ පවා, ඔවුහු අන්‍යෝන්‍ය උපකාරය සහ මානසික අනුබලය ලබා දෙන සංවිධානයක් පිහිටුවාගත්හ. නොමැරී ජීවත් වීම සඳහා විඳදරාගැනීම සහ බලාපොරොත්තුව අත්‍යවශ්‍ය විය. පාවා දීම ගැන නම් ඔවුන් සිතුවේවත් නැත.

එම කාලයේ පැවති ආගමික අගතිය කොතරම්ද කිවහොත්, “අවංක පක්ෂපාත රටවැසියන්ටත් දරුණුම ආකාරයේ අපරාධකාරයන්ටත් කිසිම පැකිලීමකින් තොරව එක සමාන ආකාරයේ තීන්දුවක් දීමට” විනිසුරුවන් කිසිම භයක් සැකක් දැක්වූයේ නැත. ඉතිහාසඥයෝ මේ ගැන ඔවුන්ගේ පුදුමය පළ කරති.

ගැලී වහලුන් පිළිබඳ මේ මතකය, මිනිසා මුළු මිනිස් සංහතිය අසාධාරණ ලෙස පාලනය කිරීම පිළිබඳව ඇති ප්‍රබල සාක්ෂියකි. ඔව්, “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකර” තිබේ. (දේශනාකාරයා 8:9) වැඩි කල් යන්නට මත්තෙන්, දෙවිගේ ආලේප ලත් පාලකයා වන යේසුස් ක්‍රිස්තුස් ‘මොරගසන දිළින්දාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින’ බවට නිසැක වීමට අපට හැකිය.—ගීතාවලිය 72:12-14.

[පාදසටහන්වල]

a වර්ෂ 1998 අගෝස්තු 15 මුරටැඹ කලාපයේ 25-9 දක්වා පිටු බලන්න.

b වර්ෂ 1981 අගෝස්තු 1 වොච්ටවර් කලාපයේ 12-15 දක්වා පිටු බලන්න.

[19වන පිටුවේ පින්තූරය]

ඔවුහු දුඃඛිත තත්වයන් යටතේ හබල් ගෑහ

[හිමිකම් විස්තර]

© Musée de la Marine, Paris

[21වන පිටුවේ පින්තූරය]

චිත්‍රයට ඉහළින් ප්‍රංශ භාෂාවෙන් ලියා තිබෙන්නේ, “මිථ්‍යා දෘෂ්ටිකයන්ව කතෝලික ධර්මයට ගෙන ඒමට ඇති එකම සාධාරණ ක්‍රමය” කියායි. මෙම චිත්‍රය 1686දී කළ එකකි

[18වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

2, 18, සහ 21 පිටු: © Cliché Bibliothèque nationale de France, Paris අනුග්‍රහයෙනි