Skip to content

පටුනට යන්න

තාත්තාගේ රැකවරණය නැතුව ජීවත් වෙන්නේ කොහොමද?

තාත්තාගේ රැකවරණය නැතුව ජීවත් වෙන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

තාත්තාගේ රැකවරණය නැතුව ජීවත් වෙන්නේ කොහොමද?

“තාත්තා නැතුව ජීවත් වෙන්න ආමාරුයි. මට තාත්තාගේ ආදරය, සැලකිල්ල ඕනේ.”—හෙන්රි. a

ජෝන්ගේ පියා නිවස හැර යන විට ඇයට වයස අවුරුදු දහතුනයි. බීමත්කමට ලොල් වූ ඔහු නිවස හැර ගිය පසු තම දරුවන් සමඟ සම්බන්ධකම් පැවැත්වූයේ නැති තරම් කියා පැවසුවොත් නිවැරදියි. කනගාටුවට කාරණයක් වන්නේ, ජෝන්ව පමණක් නොව වෙනත් බොහෝ දරුවන්ව ඔවුන්ගේ පියවරුන් විසින් අත්හැර දමා තිබීමයි.

ඔබේ තත්වයත් ඒ හා සමානද? එසේ නම් එම කටුක අද්දැකීමට මුහුණ දීම දුෂ්කර විය හැකි අතර, විටින් විට දුකක් සහ කෝපයක් ඔබට දැනිය හැකියි. සමහරවිට ඔබ අධෛර්යයට පත්වීමට පවා පුළුවන. ඒ විතරක් නොවෙයි ඔබ මුරණ්ඩු ලෙස කටයුතු කිරීමට පවා පෙලඹිය හැකියි. නමුත්, “බලහත්කාරකම් කිරීමෙන් නුවණැත්තා අනුවණයෙක් වෙයි” කියා එක් අවස්ථාවක සාලමොන් නමැති බයිබල් ලේඛකයා පැවසුවා.—දේශනාකාරයා 7:7, නව අනුවාදය.

‘අනුවණ ලෙස කටයුතු කිරීම’

ජේම්ස් ඔහුගේ පියා නිවස හැර දමා ගිය පසු කටයුතු කළේ ‘අනුවණයෙක් වගෙයි.’ වෙනත් විදිහකින් පවසනවා නම් මෝඩයෙකු ලෙසයි. ඒ ගැන ජේම්ස් මෙසේ පවසනවා. “මම වගකීම් දරන කිසිම කෙනෙකුට කීකරු වුණේ නැහැ. අඩුම තරමින් මගේ අම්මාටවත්. මම ගොඩක් රණ්ඩුවලට පැටලුණා. මම හැමතිස්සේම බොරු කිව්වා. බනින්නවත් උපදෙස් දෙන්නවත් කවුරුත් හිටියේ නැති නිසා මම රෑට ගෙදරින් පනිනවා. මාව නවත්වන්න අම්මා කොච්චර උත්සාහ දැරුවත් වැඩක් වුණේ නෑ.” මුරණ්ඩු ලෙස කටයුතු කිරීමෙන් ජේම්ස්ගේ ජීවිතය සාර්ථක වුණාද? කොහෙත්ම නැහැ. ජේම්ස් පවසන්නේ වැඩි දවසක් යන්න පෙර ඔහු “මත්ද්‍රව්‍යවලට පුරුදු වෙන්නත්, ඉස්කෝලෙන් කට්ටි පනින්නත් පෙලඹුණා. ඊට පස්සේ අධ්‍යාපන කටයුතුවලින් පවා පහත වැටෙන්න පටන් ගත්තා” කියායි. ඔහුගේ වැරදි හැසිරීම් එන්න එන්නම වැඩි වුණා. “මම සාප්පුවලින් හොරකම් කරන්න පටන්ගත්තා. මිනිසුන්ගෙන් මංකොල්ල කෑවා. මාව දෙවතාවක්ම අත්අඩංගුවට අරගෙන ටික කාලයකට හිරේ දැම්මා. ඒ වුණාට මම මගේ වැරදි වැඩ නැවත්තුවේ නැහැ” කියා ඔහු පවසනවා.

මෙතරම් මුරණ්ඩු වීමට හේතුව කුමක්ද කියා ඇසූ විට ජේම්ස් මෙසේ පැවසුවා. “මගේ තාත්තා අපිව දාලා ගිය හින්දා මට මඟ පෙන්වීම දෙන්න කවුරුත් හිටියේ නැහැ. මම මගේ අම්මාවයි පොඩි නංගිවයි මල්ලිවයි කොච්චර රිදවනවාද කියලා පොඩ්ඩක්වත් හිතුවේ නෑ. මාවත් මම රිදවාගත්තා. මට ඕන වුණේ තාත්තාගේ ආදරයයි මඟ පෙන්වීමයි ලබාගන්න විතරයි.”

මුරණ්ඩු ලෙස කටයුතු කිරීමෙන් සිදු වන්නේ තත්වය තවත් දරුණු වීම පමණයි. (යෝබ් 36:18, 21) ජේම්ස්ගේ උදාහරණයෙන් පෙන්නුම් කෙරෙන ආකාරයට ඔහුගේ නොමනා හැසිරීම නිසා ඔහුට පමණක් නොව, සිත් තැවුලට සහ මානසික පීඩනයකට ලක් වුණු ඔහුගේ මවට සහ සහෝදර සහෝදරියන්ටත් ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වුණා. මුරණ්ඩු හැසිරීම නිසා ඊටත් වඩා භයානක දෙයක් සිදුවීමට පුළුවන්. එනම් දෙවිත් සමඟ ඇති කෙනෙකුගේ සම්බන්ධතාවය පලුදු විය හැකියි. මන්ද යෙහෝවා යෞවන අයට නියෝග කරන්නේ තම දෙමාපියන්ට කීකරු වන්න කියායි.—හිතෝපදේශ 1:8; 30:17.

කෝපය පරාජය කිරීම

ඔබේ පියාත් සමඟ ඇති කෝපය මැඩපවත්වාගන්නේ කොහොමද? ඔබේ පියාගේ වෙන්ව යෑමට හේතුව ඔබ නොවන වග පළමුකොට ඔබ මතක තබාගත යුතුයි. ඒ වගේම ඔහු ඔබට තවදුරටත් ආදරය කරන්නේ නැති බවක් හෝ ඔබ ගැන සලකන්නේ නැති බවක් ඉන් අදහස් කරන්නේ නැහැ. ඔබට කතා කිරීමට හෝ ඔබව බැහැදැකීමට පියා වැඩි උනන්දුවක් දක්වන්නේ නැතිකොට දුකක් දැනීම සාධාරණයි. නමුත් මෙම ලිපි මාලාවේ මුල් ලිපියක පෙන්නූ ආකාරයට b අත්හැර ගිය බොහෝ පියවරුන් දරුවන් සමඟ සම්බන්ධකම් නොපවත්වන්නේ ඔවුන්ට දැනෙන වරද සහිතබවේ හැඟීම සහ ලජ්ජාව නිසා මිස දරුවන් කෙරෙහි ඔවුන්ට ආදරයක් නොමැති නිසා නොවෙයි. උදාහරණයකට ජෝන්ගේ පියා වැනි තවත් අය අධික ලෙස මත්ද්‍රව්‍ය සහ මත්පැන්වලට ලොල්වීම නිසා පියෙකුගෙන් විය යුතු යුතුකම් අල්ප වශයෙන්වත් ඉටු කිරීමට නොහැකි තත්වයක සිටිනවා.

තත්වය කුමක් වුවත් ඔබේ දෙමාපියන් අසම්පූර්ණ අය බව මතක තබාගන්න. “සියල්ලෝම පව්කොට [දෙවිගේ] මහිමයෙන් හීනව සිටිති” කියා බයිබලයේ පවසනවා. (රෝම 3:23; 5:12) නමුත් අන් අයව වේදනාවට පත් කරවන අයුරින් හෝ වගකීමකින් තොරව හැසිරීමට මෙය නිදහසට හේතුවක් නොවෙයි. නමුත් අප සියල්ලන් අසම්පූර්ණකම උරුම කරගෙන සිටින බව තේරුම්ගැනීමෙන් ඔබට දැනෙන කෝපය පාලනය කරගැනීමට හැකියාවක් ලැබෙනවා.

දෙමාපියන් කෙරෙහි දැනෙන කෝපය පාලනය කරගැනීමට දේශනාකාරයා 7:10හි පවසන දෙය ඔබට ප්‍රයෝජනවත් වෙයි. අතීතය ගැනම සිතීමේ ඇති අන්තරාව ගැන එහි මෙසේ අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. “‘අතීතය වර්තමානයට වඩා හොඳ ව තිබුණේ මන්දැ’ යි ප්‍රශ්න නොකරන්න. එය බුද්ධිමත් ප්‍රශ්නයක් නොවේ.” [න. අ.] හොඳම දේ වන්නේ, කලින් තිබුණ දේවල් ගැන සිත සිතා සිටීම නොව වර්තමානයේ තිබෙන තත්වයට හොඳින් මුහුණ දීමයි.

ඔබ මුල් පියවර ගන්න

පියා සමඟ සම්බන්ධකම් පැවැත්වීමට ඔබ මූලිකත්වය ගෙන කටයුතු කිරීම ගැන සලකා නොබලන්නේ මන්ද? ඔබව හැර දමා ගියේ ඔහු නිසා, මුල් පියවර ගැනීම ඔහුගේ වගකීම කියා ඔබට හැඟීම සාධාරණයි. නමුත් ඔහු එය කිරීමට අසමත් වන විට ඔබ දුකට සහ අසතුටට පත් වේ නම් ඔබම තත්වය හොඳ අතට හරවාගැනීමට උත්සාහයක් ගැනීම හොඳ දෙයක් කියා ඔබට සිතෙන්නේ නැද්ද? යේසුස්ගේ සමහර ගෝලයෝ ඔහුව රිදවූ අවස්ථාවේ ඔහු කටයුතු කළේ කෙසේද කියා සලකා බලන්න. යේසුස්ගේ මනුෂ්‍ය ජීවිතයේ අවසාන රාත්‍රියේදී ඔහුගේ ප්‍රේරිතයන් ඔහු ළඟින් සිටිය යුතුම වුවත් ඒ අවස්ථාවේ ඔවුන් ඔහුව හැර දමා ගියා. කුමන දෙයකට මුහුණ දීමට සිදු වුවත් යේසුස්ව අත්හැර නොයන බවට පුරසාරම් දෙඩූ පේතෘස් පවා යේසුස්ව නාඳුනන බව එක් වතාවක් නොව තුන් වතාවක්ම ප්‍රකාශ කළා!—මතෙව් 26:31-35; ලූක් 22:54-62.

මෙවැනි දෙයක් පේතෘස් විසින් කරනු ලැබුවත් යේසුස් ඔහුට ප්‍රේම කිරීමෙන් වැළකී සිටියේ නැහැ. තම නැවත නැඟිටීමෙන් පසු යේසුස් එක් අවස්ථාවකදී, පේතෘස් වෙතට ගොස් ඔහුට පමණක් විශේෂාකාරයකින් පෙනී ඔවුන් දෙදෙනා අතර පැවති සම්බන්ධතාවය නැවත ස්ථාපිත කිරීමට මූලික පියවර තැබුවා. (1 කොරින්ති 15:5) සිත්ගන්නාසුලු කාරණයක් වන්නේ “නුඹ මට ප්‍රේම කරනවාද?” කියා යේසුස් පේතෘස්ගෙන් ඇසූ විට “ස්වාමීනි, මා ඔබට ආදරේ ඇති බව ඔබ [දන්නේය]” කියා පේතෘස් පිළිතුරු දීමයි. පේතෘස් ලජ්ජාසහගත ලෙස කටයුතු කර තිබුණත් ඔහු යේසුස්ට දිගටම ආදරය කළ බව එයින් පෙනෙනවා.—යොහන් 21:15.

පේතෘස් සහ යේසුස්ගේ සිද්ධියේදී මෙන් ඔබත් ඔබේ පියාත් අතර උද්ගත වී ඇති තත්වයත් සිතන තරම් දරුණු නැතිව ඇති. දුරකථන ඇමතුමක් දීමට, ලිපියක් ලිවීමට හෝ බැහැදැකීමට ඔබ මූලික පියවර ගන්නවා නම් සමහරවිට ඔහු හොඳ ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්. මෙම ලිපිය මුලදී සඳහන් කළ හෙන්රි, ඔහු අද්දුටු දෙය මෙසේ සිහි කරනවා. “එක දවසක් මම තාත්තාට ලියුමක් ලිව්වා. මං ගැන ආඩම්බර වෙනවා කියා සඳහන් කරමින් තාත්තා ඒ ලියුමට පිළිතුරක් එව්වා. මම ඒ ලියුම රාමු කරලා අවුරුදු ගාණක්ම බිත්තියේ එල්ලා තිබ්බා. ඒක තවමත් මා ළඟ තියෙනවා.”

ජෝන් සහ ඇගේ සහෝදර සහෝදරියනුත් බීමත්කමට ලොල් වූ තමන්ගේ පියාව බැහැදකින්න යන්න මූලික පියවර ගත්තා. “එයා හිටිය තත්වය නම් එච්චර හොඳ නැහැ. ඒත් මං එයාව බලන්න ගිය එක හොඳයි කියලා මට හිතෙනවා” කියා ජෝන් පවසනවා. මූලික පියවර ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵල සමහරවිට සතුටුදායක විය හැකියි. ඒත් ප්‍රතිචාරයක් නොලැබුණොත් ටික කාලයක් යන්න හැර නැවතත් උත්සහ කර බලන්න.

දුක දරාගැනීම

“සොයාගන්නට කාලයක් සහ නැති වී යන්නට කාලයක් ඇත” කියා සාලමොන් අපට පවසා තිබෙනවා. (දේශනාකාරයා 3:6, න. අ.) සමහර අවස්ථාවල පියා තමන් සමඟ සම්බන්ධකම් පවත්වාගන්න අකමැති බව දැනගැනීම යෞවනයෙකුට වේදනාකාරි දෙයක් විය හැකියි. ඔබේ පියා සම්බන්ධයෙන් මෙය සැබෑවක් නම් ඔබත් සමඟ සම්බන්ධතාවයක් පවත්වා නොගැනීමෙන් ඔහුට අහිමි වුණ දේ ගැන ඔහු පසු කාලයක තේරුම්ගනීවි.

ඔහු ඔබව ප්‍රතික්ෂේප කළ පලියට ඔබ කිසිකමකට නැති කෙනෙකු කියා කිසිවිටකත් අදහස් නොකරන බව තේරුම්ගන්න. බයිබල් ගීතිකාකරුවෙක් වන දාවිත් මෙසේ ප්‍රකාශ කර තිබෙනවා. ‘මාගේ පියාද මවුද මා අත්හැරියෝය, නමුත් යෙහෝවා මා පිළිගන්නේය.’ (ගීතාවලිය 27:10) ඔව්, ඔබ දෙවිගේ ඇස් ඉදිරියේ තවමත් අනර්ඝයි.—ලූක් 12:6, 7.

ඔබ අධෛර්යයට පත්ව හෝ මානසික පීඩනයකට පත්ව සිටිනවා නම් යාච්ඤාවෙන් දෙවිට ළං වෙන්න. (ගීතාවලිය 62:8) ඔබට දැනෙන හැම දෙයක්ම ඔහුට කියන්න. ඔහු ඔබට ඇහුම්කන් දෙන බවත් ඔබට සැනසීම ගෙන දෙන බවත් විශ්වාස කරන්න. ‘මා තුළ කරදර හා කනස්සල්ල බහුල වූ කල්හි ඔබ මාගේ සැනසිල්ල විය’ කියා තවත් බයිබල් ගීතිකාකරුවෙක් පවසනවා.—ගීතාවලිය 94:19, න. අ.

සෙසු ක්‍රිස්තියානීන් සමඟ පවත්වන කිට්ටු ඇසුර මගින් එවන් ප්‍රතික්ෂේප කිරීමක් දරාගැනීමට ශක්තිය ලබාගන්න පුළුවන්. හිතෝපදේශ 17:17හි පවසන්නේ, “මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේමවන්නේය, සහෝදරයෙක් ඉපද සිටින්නෙත් විපත්තියේදී පිහිටවීමටය” කියායි. එවැනි අවංක මිතුරන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ක්‍රිස්තියානි සභාව තුළ ඔබට සොයාගත හැක. විශේෂයෙන් සභාවේ අවේක්ෂකයන්ව දැන හඳුනාගැනීම ඔබට උපකාරවත් වේවි. ජෝන්ගේ සහෝදරයෙක් වන පීටර් මෙම උපදේශය දෙනවා. “සභාවේ ඉන්න වයසින් මුහුකුරා ගිය අය සමඟ කතා කරන්න. එයාලා ඔබට උදව් කරයි. ඔබව ඔබේ පියා අත්හැර දමා තිබෙනවා නම්, ඔබට දැනෙන දුක ඔවුන්ට කියන්න.” ඔබේ පියා කලින් ඉටු කළ යම් වගකීම්, එනම් නිවස අලුත්වැඩියා කිරීම වැනි වැඩ රාජකාරීන් ඉටු කිරීමේදී සභාවේ අවේක්ෂකයන්ගෙන් යම් ප්‍රයෝගික යෝජනා ඔබට ලබාගත හැක.

සමහරවිට ඔබට යම් උපකාර පිරිනැමීමට ඔබේ මවට හැක. ඇය හොඳ මානසික තත්වයක නොසිටියත් ඔබ ගෞරවනීය ආකාරයකට ඔබේ හැඟීම් ප්‍රකාශ කළහොත් ඇය තමාට පුළුවන් ආකාරයට ඔබට උපකාර කරන බව නිසැකයි.

ඔබේ පවුලට සහයෝගය දක්වන්න

ඔබේ පියා නැති පාඩුව ඔබේ පවුලේ අයට විවිධ පැතිවලින් දැනිය හැක. සමහරවිට ඔබේ මවට රැකියාවක් කිරීමට සිදු විය හැක. එක රැකියාවකින් වියදම් පියවාගැනීමට නොහැකි වුවහොත් රැකියා දෙකක් කිරීමට සිදු විය හැක. එනිසා ඔබට සහ ඔබේ සහෝදර සහෝදරියන්ට පවුලේ වගකීම්වලට වැඩියෙන් උර දීමට සිදු වෙයි. ඔබ තුළ ක්‍රිස්තියානි ප්‍රේමය තිබෙනවා නම් එවැනි තත්වයකදී සාර්ථකව කටයුතු කළ හැකියි. (කොලොස්සි 3:14) ඒ වගේම හොඳ ආකල්පයක් පවත්වා ගන්නත් කෝපය මැඩපවත්වාගන්නත් එය උපකාරවත් වෙයි. (1 කොරින්ති 13:4-7) “මගේ පවුලට උපකාර කිරීම තමයි මේ අවස්ථාවේදී කළ යුතුම දේ. මගේ අම්මාටයි නංගිලාටයි උදව් කළාම ඇත්තෙන්ම මට තෘප්තියක් ලැබෙනවා” කියා පීටර් පවසනවා.

පියෙක් නිවස හැර දා යෑම ඛේදජනක සහ වේදනාකාරි අද්දැකීමකි. නමුත් දෙවිගෙන් ලැබෙන උපකාරය ඇතුළුව ප්‍රේමනීය ක්‍රිස්තියානි මිතුරන්ගෙන් සහ ඔබේ පවුලේ අයගෙන් ලැබෙන උපකාරයෙන් දුක දරාගත හැකියි. c

[පාදසටහන්වල]

a මෙහි සඳහන් නම් සැබෑ ඒවා නොවේ.

b 2000, දෙසැම්බර් 8 කලාපයේ, “යෞවන අය අසති. . . තාත්තා අපිව දාලා ගියේ ඇයි?” යන ලිපිය බලන්න.

c තනි දෙමාපියෙක් සමඟ ජීවත් වීම පිළිබඳව තවදුරටත් තොරතුරු දැනගැනීමට යෞවන අය අසති. . . ලිපි මාලාවේ 1990 දෙසැම්බර් 22 සහ 1991 මාර්තු 22 (ඉංග්‍රීසියෙන්) කලාප බලන්න.

[28වන පිටුවේ පින්තූර]

තම පියා සමඟ සම්බන්ධකම් පැවැත්වීමට සමහර යෞවනයන් මූලික පියවර ගෙන තිබෙනවා