Skip to content

පටුනට යන්න

වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ ඔබේ තේරීම කොතරම් වැදගත්ද?

වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ ඔබේ තේරීම කොතරම් වැදගත්ද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ ඔබේ තේරීම කොතරම් වැදගත්ද?

අසනීප හා අනතුරු යනාදියට ගොදුරු නොවන කෙනෙක් නැත. නිරෝගිබවේ සතුරන් ලෙස හැඳින්විය හැකි එවන් තත්වයන්ට මුහුණ දෙන විට බොහෝදෙනෙක් වෛද්‍ය ප්‍රතිකාරවල පිහිට පතති. “රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් ඕනෑකමක් නැත” කියා පැවසූ අවස්ථාවේදී, ඇතැම් වෛද්‍ය ප්‍රතිකාරවලින් ප්‍රයෝජන අත් කරගත හැකි බව යේසුස් පිළිගත්තේය.—ලූක් 5:31.

යේසුස් පැවසූ එම වදන් වාර්තා කළ ලූක්ද වෛද්‍යවරයෙකු විය. (කොලොස්සි 4:14) ප්‍රේරිත පාවුල් ලූක් සමඟ ගිය සංචාරවලදී, ලූක් සතු වූ වෛද්‍යමය කාරණා පිළිබඳ දැනුමෙන් ප්‍රයෝජන ලැබුවා කියා සිතිය හැක. එහෙත් ක්‍රිස්තියානීන්ට සුදුසු වන්නේ කුමන ආකාරයේ වෛද්‍ය ප්‍රතිකාරද යන්න ගැන ශුද්ධ ලියවිල්ල යම් මඟ පෙන්වීම් සපයනවාද? ඔබ තෝරාගන්න ප්‍රතිකාර ක්‍රමය ගැන සැලකිලිමත් වීම කොතරම් වැදගත්ද?

ශුද්ධ ලියවිල්ල සපයන මඟ පෙන්වීම්

වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් නැණවත් තීරණ ගැනීමේදී, පුද්ගලයෙකුට අවශ්‍ය මඟ පෙන්වීම සැපයීමට බයිබලයට හැක. උදාහරණයක් හැටියට, නිමිති බැලීම හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් යෙහෝවා “පිළිකුල්” කරන බව ද්විතීය කථාව 18:10-12හි සඳහන් වදන්වලින් පැහැදිලි වේ. පාවුල් අනතුරු අඟවන ලද මෙම දේවල් “ආත්ම බන්ධන ක්‍රියා [NW]” හා බැඳී ඇත. (ගලාති 5:19-21) එනිසා සැබෑ ක්‍රිස්තියානීහුද බයිබල් ප්‍රතිපත්තිවලට පටහැනි ආත්ම බන්ධන ක්‍රියා හා සම්බන්ධ ප්‍රතිකාර ක්‍රමවලින් වැළකී සිටිති.

ජීවිතයේ හා රුධිරයේ පරිශුද්ධභාවය මැවුම්කරු මොනතරම් වටිනා දෙයක් ලෙස සලකනවාද කියා බයිබලයේ සඳහන් වේ. (උත්පත්ති 9:3, 4) ‘ලෙයින් වැළකී සිටින්න’ කියා බයිබලයේ සඳහන් නියෝගයට කීකරු වීමට අදිටන් කරගෙන සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ, එම නියෝගයට පටහැනි ප්‍රතිකාර ක්‍රම ගැනීමෙන් වැළකී සිටිති. (ක්‍රියා 15:28, 29) ඔවුන් සෑම වෛද්‍ය ප්‍රතිකාරයක්ම ප්‍රතික්ෂේප කරන බව එයින් අදහස් කරන්නේ නැත. ඔවුන් සැමවිටම වෑයම් කරන්නේ තමන්ට හොඳම ප්‍රතිකාර ලබාගැනීමට මෙන්ම තම දරුවන්ටත් හොඳම ප්‍රතිකාර ලබා දීමටයි. එහෙත් ප්‍රතිකාර කිරීමේදී තමන්ගේ ආගමික විශ්වාසයන්ට පටහැනි නොවන ප්‍රතිකාර තමන්ට ලබා දෙන්න කියා ඔවුහු වෛද්‍ය කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටිති.

ඔබේ පියවර ගැන සැලකිලිමත් වන්න

“නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි [ගැන සැලකිලිමත් වෙයි, NW]” කියා සාලමොන් රජ අනතුරු ඇඟෙව්වේය. (හිතෝපදේශ 14:15) යම් වෛද්‍ය ප්‍රතිකාරයක් තෝරාගැනීමේදී ගනු ලබන තීරණය මගින් ඍජු ලෙස බයිබල් ප්‍රතිපත්ති කඩ නොවූවත්, පුද්ගලයා ‘තමා ගන්නා පියවර ගැන සැලකිලිමත් විය යුතුයි.’ සෑම වෛද්‍ය ප්‍රතිකාරයකින්ම ප්‍රයෝජන ලැබෙයි කියා කිව නොහැක. ‘වෙදාව වුවමනා කරන්නේ රෝගීන්ටයි’ කියා යේසුස් පැවසූ අවස්ථාවේදී, ඔහු කතා කරමින් සිටියේ තමන් ජීවත් වූ කාලයේ පැවති සෑම වෛද්‍ය ප්‍රතිකාරයකම ගුණ අගුණ ගැන නොවේ. ඇතැම් වෛද්‍ය ප්‍රතිකාර මගින් යහපත් ප්‍රතිඵල අත් කරගත හැකි බවත්, ඇතැම් ඒවා මිථ්‍යා මතවල බලපෑමට ලක් වී තිබූ බවත් ඔහු දැන සිටියේය. a

ඒ හා සමානව අදදිනත් ඇතැම් ප්‍රතිකාරවලින් කිසිම ප්‍රයෝජනයක් අත් නොවිය හැක. එමෙන්ම ඒවා නොමඟ යවනසුලු විය හැක. නිවැරදි තීරණයක් ගැනීමට අසමත් වීමෙන් පුද්ගලයෙකු අනවශ්‍ය අවදානම්වලට ගොදුරු විය හැක. එක් පුද්ගලයෙකුට හොඳ ප්‍රතිඵල අත් කර දුන් ප්‍රතිකාරයක් මගින් තවත් කෙනෙකුට ප්‍රයෝජන නොලැබිය හැක. එය ඔහුට හානිකර වෙන්න පවා පුළුවන. වෛද්‍ය ප්‍රතිකාරයක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී, නැණවත් පුද්ගලයෙක්, යහපත් චේතනාවෙන් මිතුරෙක් යම් දෙයක් පැවසුවත්, ඔහු පැවසූ ‘හැම වචනයක්ම විශ්වාස කරනවා’ වෙනුවට, තමාට ලබාගත හැකි විකල්ප ප්‍රතිකාර පරෙස්සමින් සොයා බලයි. දැනුම් තේරුම් ඇතුව තීරණයක් ගැනීමට හැකි වන පරිදි ඔහු විශ්වාස කළ හැකි ආකාරයේ සෑම තොරතුරක්ම සොයා බලමින් “සිහි නුවණින් [NW]” කටයුතු කරයි.—තීතස් 2:13.

යථාර්ථයට මුහුණ දෙමින් සාධාරණ වන්න

සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම හොඳ දෙයකි. නිරෝගි සෞඛ්‍යයක් භුක්ති විඳීම සඳහා සමබර ලෙස අවධානයක් දීමෙන් පෙන්වන්නේ ජීවිතය නමැති ත්‍යාගයත් එහි උල්පත වන දෙවිවත් තමා අගය කරන බවයි. (ගීතාවලිය 36:9) ක්‍රිස්තියානීන් සුදුසු වෛද්‍ය ප්‍රතිකාරයක් ලබාගැනීමට උත්සාහ කළත්, සෞඛ්‍ය කාරණා සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ඔවුහු සමබර වෙති. උදාහරණයක් හැටියට, යම් ප්‍රමාණයකට නිරෝගි පුද්ගලයෙක් තමාගේ ශාරීරික ශක්තිය හා සෞඛ්‍ය ගැන අනවශ්‍ය ලෙස කරදර වෙනවා නම්, ඔහුට “වඩාත් වැදගත් දේවල්, [NW]” කෙරෙහි සිත යොමු කිරීමට නොහැකි වේ.—පිලිප්පි 1:10; 2:3, 4.

යේසුස් ජීවත් වූ කාලයේ සිටි එක් ස්ත්‍රියක් තම රෝගය සඳහා කොතරම් ප්‍රතිකාර ලබාගත්තත් කිසිම සුවයක් නොලැබූ අතර, ‘ඈ සතු සියල්ල වියදම් කරමින්’ විවිධ වෛද්‍යවරුන්ව සොයා ගියාය. ඇයට ඉන් ප්‍රතිඵලයක් ලැබුණාද? සුවයක් ලබනවා වෙනුවට ඇගේ තත්වය දරුණු විය. මේ නිසා තව තවත් බලාපොරොත්තු කඩ වූ තත්වයකට ඈ පත් විය. (මාර්ක් 5:25, 26) සුවයක් ලබාගැනීම සඳහා ඇයට කළ හැකි සෑම දෙයක්ම කළත් ඉන් ඵලක් නොවීය. ඇගේ අද්දැකීමෙන් පැහැදිලි වන්නේ ඇගේ කාලයේ පැවති වෛද්‍ය විද්‍යාව මගින් සෑම රෝගයක්ම සුව කරගත නොහැකි වූ බවයි. අද පවා වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු වුවත්, අද සිටින බොහෝදෙනෙක් ඒ ස්ත්‍රිය මුහුණ දුන් තත්වයට සමාන තත්වයන්ට මුහුණ දෙති. මේ නිසා වෛද්‍ය විද්‍යාව මගින් ඉටු කළ හැකි දේවල් කෙරෙහි යථාර්ථවාදීව බැලීම වැදගත් වේ. වර්තමානයේදී පරිපූර්ණ සෞඛ්‍යයක් භුක්ති විඳිය නොහැක. “ජාතීන්ගේ සුවවීම පිණිස” දෙවි නියම කර තිබෙන කාලය නුදුරු අනාගතයේදී පැමිණීමට නියමිත බව ක්‍රිස්තියානීහු දැන සිටිති. (එළිදරව් 22:1, 2) එනිසා වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් අප සමබර දෘෂ්ටියක් ඇති කරගත යුතුය.—පිලිප්පි 4:5, NW.

වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් අප කරන තේරීම වැදගත් බව පැහැදිලිය. එනිසා වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් අපට තීරණ ගැනීමට සිදු වන අවස්ථාවලදී, හොඳ සෞඛ්‍යයක් මෙන්ම දෙවි සමඟ හොඳ සම්බන්ධතාවක් භුක්ති විඳීම සඳහා අප තුළ අවංක ආශාවක් තිබෙන බව දැකගත හැකි විය යුතුය. අප මෙසේ කටයුතු කරනවා නම්, නව ලෝකයේදී “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය” කියා දෙවි දී තිබෙන පොරොන්දුව ඉටුවීම ගැන නිසැකකමින් යුතුව අපට බලා සිටිය හැක.—යෙසායා 33:24.

[පාදසටහන]

a උදාහරණයක් හැටියට, මුල් සියවසේ තිබූ ඩයොස්කොරිඩේස්ගේ වෛද්‍ය විශ්ව කෝෂයේ සෙංගමාලය සඳහා නිර්දේශ කළ ප්‍රතිකාරය වූයේ වයින් සමඟ එළු බෙටි මිශ්‍ර කර පානය කිරීමයි! එවන් ප්‍රතිකාරයක් මගින් රෝගියාගේ තත්වය තවත් දරුණු අතට හැරීමට ඉඩ තිබූ බව අපි කවුරුත් දනිමු.

[30වන පිටුවේ පින්තූරය]

“වෛද්‍යවරයා,” 1891, සර් ලූක් ෆීල්ඩ්ස් විසිනි

[හිමිකම් විස්තර]

Tate Gallery, London/Art Resource, NY