Skip to content

පටුනට යන්න

අසාමාන්‍ය දොඩම් විශේෂයක් හඳුනාගනිමු

අසාමාන්‍ය දොඩම් විශේෂයක් හඳුනාගනිමු

අසාමාන්‍ය දොඩම් විශේෂයක් හඳුනාගනිමු

ඉතාලියේ පිබිදෙව්! ලේඛක විසිනි

ඉතාලියේ සිසිලි දූපතේ අසාමාන්‍ය දොඩම් විශේෂයක් තිබෙනවා. සාමාන්‍යයෙන් පැණි දොඩම් ගෙඩියක් කහ පාටට හුරු කොළ පාටින් හෝ තැඹිලි පාටින් යුක්තයි. නමුත් මේ දොඩම් විශේෂය නම් රතු පාටයි!

සිසිලියේ වැවෙන මෙම දොඩම් විශේෂය තද රතු පැහැයක් ගන්නවා. සමහරක් ඒවා තැඹිලි පාට ලප සහිතයි. තවත් ඒවා දීප්තිමත් තැඹිලි පාටට හුරු රතු පැහැයක්ද ගන්නවා. තවත් සමහරක් ඉතා තද රතු පැහැයෙන් යුක්තයි. ඒවා කළු පාටට හුරුයි කියලා කිව්වොත් වැරදි නැහැ. ලෙල්ල ගැන කුමක් කියන්න පුළුවන්ද? එය තැඹිලි පාටයි, නමුත් රතු හෝ දම් පැහැයක් ගන්නවා කියලත් කියන්න පුළුවන්. ඒවායේ සුවඳ ගැන නම් කියලා වැඩක් නැහැ! දැක්ක ගමන්ම කෙළ උනනවා. ඇඹුල් රහත් ගානට තිබෙනවා. සෑහෙන පැණි රසකුත් තිබෙනවා.

පුරාණ කාලයේ සිටම ඉතාලියේ පැඟිරි වර්ග වගා කර තිබෙනවා. පොදු යුගයේ සිව්වන සියවසේදී පමණ දොඩම් සිසිලියට හඳුන්වා දුන්නේ ආසියාවයි. එනමුත් ඒ දොඩම් රතු පැහැති පැණි රස ඒවා නොව, ඇඹුල් ඒවායි. පැණි රස දොඩම් යුරෝපයට හඳුන්වා දුන්නේ 14වන සහ 15වන සියවස්වලදී පෘතුගීසීන් විසිනුයි. එතැන් පටන් අමෙරිකා මහද්වීපවලටද එම වර්ගය හා තවත් පැඟිරි වර්ග හඳුන්වා දෙනු ලැබුවා. කොහොම වුණත්, සිසිලියේ අප මුලින් සඳහන් කළ ලේ රතු පාට දොඩම් වර්ගය හඳුනාගත්තේ 20වන සියවසේ මුල් භාගයේදී පමණය.

ඇයි රතු පාට?

හැම දොඩම් වර්ගයකම කැරොටින් තිබෙනවා. බිත්තර කහ මදය කහ වන්නෙත් කැරට් තැඹිලි පාට වන්නෙත් මෙම තැඹිලි පාටට හුරු කහ වර්ණකය නිසයි. සිසිලියාවේ වැවෙන මෙම ලේ රතු පාටින් යුත් දොඩම් ගෙඩිවල මෝරෝ, ටාරෝකෝ සහ සාන්ග්විනෙල්ලෝ වැනි විශේෂයන් ඇති අතර, එම විශේෂයන් අනික් ඒවාට වඩා වෙනස්. ඒවා ඇන්තොසයනින් නමැති රතු වර්ණකය නිපදවනවා. ඒ නිසා, ඉදුණු දොඩම් ගෙඩියට රතු පැහැයක් ලැබෙනවා. a එනමුත් කාටානියා, සීරාකූසා සහ එන්නා යන ප්‍රදේශවලින්, ලේ රතු පැහැති දොඩම් ගහක් අරන්, වෙනත් ප්‍රදේශයක සිටෙව්වොත්, ඉන් නිපදවෙන ඵලවලට ඒ රතු පාට ගතිය අනිවාර්යයෙන්ම නොතිබෙන්න පුළුවන්. ඒ ඇයි ? මේ ප්‍රදේශ තුන පිහිටි නැඟෙනහිර සිසිලියේ යම් විශේෂත්වයක් තිබෙනවාද?

ලේ රතු පාට සිසිලියානු දොඩම්වල ඇන්තොසයනින් නිපදවෙන්නේ ඇයි කියා අප හරියටම දන්නේ නැහැ. ඵලයේ පැහැයට පසෙන් යම් බලපෑමක් ඇති කරන බවට සමහරුන් සැක කළත්, ඒ ගැන හරිහැටි නිගමනයකට එළඹීමට පදනමක් නැහැ. ඉදෙන ඵලවල ඇති රතු වර්ණකය නිපදවීමට වෙනත් සාධක උපකාරවත් වෙනවා, එහෙමත් නැත්නම් බාධා කරනවා. මෙම දොඩම් රතු පාටට හැරෙන්න පටන්ගන්නේ රාත්‍රියේ ශීත කාලගුණයක් හා දවල් කාලයේ දීප්තිමත් ආලෝකයක් ඇති කාලවලදී බව විවිධ අය නිරීක්ෂණය කර තිබෙනවා. රසයට කුමක්ද බලපාන්නේ? දීප්තිමත් හිරුරැස් සහිත කාලපරිච්ඡේදයක් තිබෙනවා නම්, සරල සීනි වර්ග අවශ්‍ය ප්‍රමාණයට නිපදවීමට එය දායක වෙනවා. අනික් අතට, සීමිත වර්ෂාපතනයක් ඇත්නම්, පලතුරුවලට දිය රහක් එක් වන්නේ නැහැ. ඒ වගේම ඒවාට හරි ගානට ඇඹුල් රසය ලැබෙනවා.

මෙම හේතු කිහිපය නිසා, ලේ රතු පාට සිසිලියානු දොඩම්, දොඩම් වර්ග අතුරින් අද්විතීය වෙනවා. මේ හා සමාන දොඩම් ගස් දකුණු ඉතාලියේ ඇතැම් ප්‍රදේශවල සහ ස්පාඤ්ඤයේ, මොරොක්කෝවේ, ෆ්ලොරිඩාවේ, කැලිෆෝනියාවේ වගා කරන්න හැදුවත්, ලේ රතු පාට සිසිලියානු දොඩම් වර්ගයේ සියලුම ලක්ෂණ ලබාගැනීමට කිසි කෙනෙක් සමත් වී නැහැ.

රසගුණ පිරි දොඩම් විශේෂයක්

මෙම දොඩම් වර්ගයේ විශේෂත්වය එහි වර්ණයට විතරක් සීමා වී නැහැ. පෝෂණ ගුණයෙන්ද ඒවා ඉහළයි. පැඟිරි වර්ග සියල්ලම ගන්නවා නම්, විටමින් C වැඩියෙන්ම තිබෙන්නේ ටාරෝකෝ දොඩම්වලයි. සාමාන්‍ය ප්‍රමාණයේ දොඩම් ගෙඩියකින් වුණත්, දවසකට අවශ්‍ය විටමින් C ප්‍රමාණය ලබාගත හැකියි. මෙම දොඩම්වලින් තවත් ප්‍රයෝජන ගොඩක් ලැබෙනවා කියලා කියනවා. නැවුම් දොඩම් ගෙඩියක් ගෙන, එහි යුෂ මිරිකා බොමුද? රසවත්, හොඳ සෞඛ්‍යයකට දායක වන පහසුවෙන් ශරීරයට උරාගත හැකි, ශක්ති ජනක, සරල කාබොහයිඩ්රේට්, ඛනිජ ලවණ සහ කෙඳි සහිත රසවත් ආහාර වර්ගයක් ඔබ භුක්ති විඳ ඇතැයි කියන්න පුළුවන්. එසේ නම්, සිසිලියාවේ පැඟිරි වගාවේ නිරත වන අය, ඔවුන්ගේ අද්විතීය වූ මෙම නිෂ්පාදනය ආරක්ෂා කිරීමට සහ එහි ජනප්‍රියත්වය වැඩි කිරීමට උත්සාහ කිරීම පුදුමයට හේතුවක් නොවෙයි.

මෙම දොඩම් වර්ගය “ලෝකයේ විශිෂ්ටතම පැණි රස දොඩම් වර්ගය බව” දොඩම් කෑමට මහත් රුචියක් දක්වන්නන් තරයේ කියා සිටින්නේ “ඒවායේ පැණි රස මෙන්ම ඇඹුල් රස නියම ගානට තිබෙන නිසා, ඒවා කෑවායින් පසුව පවා දිවේ එහි රසය රැඳෙන” බවයි. ඔබත් ඊට එකඟයි කියා කීමට කවදාහරි ඔබට ප්‍රස්තාවක් උදා වේවිද?

මෙම ලේ රතු පැහැති දොඩම් වර්ගය හඳුනාගත්තේ මෑතක වුණත්, එය යෙහෝවා මැවූ මිනිසාට ඉමහත් ප්‍රීතියක් ගෙන දිය හැකි විවිධාකාර ආහාර වර්ගවලින් එකක් පමණයි. ඇත්තෙන්ම, අප දෙවිගේ ත්‍යාගශීලිත්වය අගය කරනවා නම්, ‘ඵල දෙන ගස් සියල්ල යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කරන’ බව අපට අවිවාදයෙන්ම පැවසිය හැකියි!—ගීතාවලිය 148:9, 13; උත්පත්ති 1:29.

[පාදසටහන]

a සරත් සමයේදී පතනශීල ගස්වල කොළ කහ, තැඹිලි සහ රතු පැහැයක් ගන්නේ කැරොටින් සහ ඇන්තොසයනින් නමැති වර්ණක නිසයි.—1987 සැප්තැම්බර් 22 පිබිදෙව්! ඉංග්‍රීසි කලාපයේ 16-18 පිටු බලන්න.