Skip to content

පටුනට යන්න

ඔබේ ශරීර සෞඛ්‍යයට ආරක්ෂාව සලසන පද්ධතියක්

ඔබේ ශරීර සෞඛ්‍යයට ආරක්ෂාව සලසන පද්ධතියක්

ඔබේ ශරීර සෞඛ්‍යයට ආරක්ෂාව සලසන පද්ධතියක්

වරොනිකාගේ රුධිර පරීක්ෂාවේ ප්‍රතිඵල දෙස බලන වෛද්‍යවරයා, “මහත්මිය, ඔබේ ප්‍රතිශක්තිය සෑහෙන්න අඩුයි” කියා පවසයි. වරොනිකා සෑහෙන කාලයක් තිස්සේ අසනීප ගතියකින් පසු වෙයි. ඇයට බ්‍රොන්කයිටිස් කිහිප වතාවක්ම වැළඳී ඇති නිසා, ඇය ඉතා දුබල ගතියකින් පෙළෙයි. ඒ විතරක් නොවෙයි, කනේ ආසාදනයකින්ද, මහත් හිරිහැරයක් වී ඇති පීනස් අමාරුවකින්ද පෙළෙන නිසා ඇය දුර්වලව සිටියි.

ප්‍රතිශක්තිය යනු කුමක්ද? එය මෙතරම් වැදගත් වන්නේ මන්ද? ඇත්තෙන්ම සිරුරේ ප්‍රතිශක්ති පද්ධතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

ප්‍රහාරවලින් ආරක්ෂාවක්

ප්‍රතිශක්ති පද්ධතිය ඉතා සංකීර්ණ අණු සහ විශේෂ සෛල පද්ධතියකින් සෑදී ඇත. ඒවා ආසාදන නොහොත් රෝග බෝවීමට එරෙහිව ‘යුද්ධ’ කරනවා කියා පැවසුවහොත් නිවැරදිය. අපගේ සිරුර බැක්ටීරියා හෝ වයිරස වැනි ආක්‍රමණිකයන්ගේ නොයෙකුත් ප්‍රහාරවලට ලක් වේ. මෙම ප්‍රහාරවලදී අපට ආරක්ෂාව ලබා දෙන්නේ අපගේ ප්‍රතිශක්ති පද්ධතියයි.

මෙය නිදර්ශනය කිරීමට, අපි අපගේ සිරුර පුරාණ නුවරකට සමාන කරමු. පුරාණයේ නුවරක් සාමාන්‍යයෙන් තිබුණේ උස් බිමකය. එමගින් සතුරු හමුදාවන් දුරදීම දැකගත හැකි විය. පවුරු සහ දොරටු රාශියකින්ද, එම දොරටු සහ පවුරු අසල මුරකාරයන් රැඳවීමෙන්ද නුවරට ආරක්ෂාව සැලසීය. මෙවැනි ආරක්ෂාවක් තිබූ නිසා නුවර වැසියන්ට සුරක්ෂිතභාවයක් දැනුණු බවට නොඅනුමානය. දැන් අපගේ සිරුර එවැනි නුවරක් සමඟ සන්සන්දනය කිරීමෙන්, ප්‍රහාරවලින් ආරක්ෂා වීමට අවශ්‍ය වන්නේ කුමක්දැයි තේරුම්ගැනීමට අපට වඩාත් පහසු වේ.

අපගේ සිරුර ආක්‍රමණය කරන විෂබීජයන්ගෙන් අපට මුලින්ම ආරක්ෂාව සැපයෙන්නේ අපගේ සමෙන් සහ ශ්ලේෂ්මල පටලවලිනි (උදාහරණයකට, මෙවැනි ශ්ලේෂ්මල පටල උගුරේ සහ නාසය තුළ දක්නට ලැබේ). සමේ පිටත පෘෂ්ඨය විටින් විට කුඩා කැබලි වශයෙන් හැලෙන විට, එමත තැවරී ඇති අසංඛ්‍යාත විෂබීජවලින් වැඩි හරියක්ම ඉවත් කෙරේ. මෙසේ අපගේ සම විෂබීජයන්ට බාධකයක් වශයෙන් වැදගත් කාර්යයක් ඉටු කරයි.

ශ්ලේෂ්මල පටල සම තරම් ඝන නොවන නිසා, වඩාත් පහසුවෙන් විෂබීජවලට ගොදුරු වේ. කෙසේවෙතත්, විෂබීජවලට එරෙහිව සටන් කරන ස්වාභාවික ද්‍රාවණ කිහිපයක්ම ඒවායින් ශ්‍රාවය වේ. එක් ද්‍රාවණයක් ලයිසොසයිම් යන නමින් හඳුන්වන අතර, එය කඳුළුවල, ඛේටයේ සහ දහඩියේ සොයාගත හැක. දහඩියේ අම්ල ගතිය විෂබීජ රැසකගේ වර්ධනයට බාධාවක් වුවත්, ඒවා විනාශ කිරීමට දායක වන්නේ ලයිසොසයිම්ය. ලයිසොසයිම් එය සිදු කරන්නේ විෂබීජ සෛලවල බිත්තිවලට ප්‍රහාර එල්ල කිරීමෙනි. සත්වයෙකු උගේ තුවාල ලෙව කන විට එය ඉක්මනින් සුව වන්නේද ඛේටයේ අඩංගු ලයිසොසයිම් ක්‍රියා කරන නිසාය.

ප්‍රධාන ආරක්ෂකයෝ—සුදු රුධිරාණු

කෙසේවෙතත්, යම් රෝගයක් ඇති කළ හැකි බැක්ටීරියාවක්, තුවාලයක් හෝ විස සහිත ද්‍රව්‍යයක් මාර්ගයෙන් අපගේ සිරුරට ඇතුල් වුවහොත් සිදු වන්නේ කුමක්ද? එම ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට සෛල රාශියක්ම එක වරම ක්‍රියාත්මක වේ. මෙම සෛල සියල්ලටම ඇත්තේ එක අරමුණකි. එය නම් ආක්‍රමණිකයාව විනාශ කොට, රෝග වැළදීමෙන් සිරුර ආරක්ෂා කරගැනීමය. සිරුරට මෙලෙස ආරක්ෂාව සපයන සෛල සුදු රුධිරාණු නොහොත් ලිව්කොසයිට හෝ ශ්වේතසයිට ලෙස හැඳින්වේ. මෙම අවස්ථාවේදී ප්‍රහාර දියත් කරන සුදු රුධිරාණු වර්ග තුනකට බෙදිය හැක. ඒවා නම්, මොනොසයිට, නියුට්‍රොෆිල සහ ලිම්ෆොසයිටය.

සිරුරේ යම් ස්ථානයක ප්‍රදාහයක් නොහොත් ඉදිමුමක් ඇති බවට අනතුරු අඟවන රසායනික සංඥාවන් මොනොසයිටවල අවධානයට ලක් වන විට, ඒවා රුධිර ධාරාවෙන් බැහැර වී, ආසාදනය වූ පටකයට ගොස් මහාභක්ෂාණු, එනම් “මහා අනුභව කරන්නන්” බවට පත් වේ. ඉන්පසු එය එම ස්ථානයෙහි සිරුරට විදේශී වූ සෑම දෙයක්ම වේගයෙන් ගිල දමයි. මීට අමතරව, මෙම මහාභක්ෂාණුවලින් සයිටොකයින ලෙස හැඳින්වෙන වැදගත් ද්‍රව්‍යයක් ස්‍රාවය වන අතර, එමගින් ආසාදනයකට විරුද්ධව සටන් කිරීමට සිරුර සූදානම් කෙරේ. සයිටොකයිනවලින් සිදු කරන එක් කාර්යයක් වන්නේ උණ ඇති කිරීමය. ඇත්තෙන්ම උණක් ඇතිවීමෙන් ප්‍රයෝජනවත් කාර්යයක් ඉටු වේ. අපගේ සිරුරේ ආසාදනයක් ඇති බවටත්, සිරුරේ ආරක්ෂාව සඳහා යම් ක්‍රියාවලියක් සිදු කෙරෙන බවටත් සංඥාවක් ලෙස එය ක්‍රියා කෙරේ. එමනිසා සුවවීමේ ක්‍රියාවලිය තවත් වේගවත් වන අතර, රෝග නිර්ණයටද එය ප්‍රයෝජනදායක වේ.

ඊළඟට, ඉදිමී ඇති කලාපයෙන් නික්මෙන රසායනික සංඥාව නියුට්‍රොෆිලවලටද ‘ඇසෙන’ අතර, එය මහාභක්ෂාණු සෛලවල උපකාරයට වහාම දිව යයි. නියුට්‍රොෆිලද බැක්ටීරියා සෛල ආක්‍රමණය කොට, ගිල දමයි. නියුට්‍රොෆිල තම කාර්යය ඉටු කොට මිය ගිය විට, සැරව වශයෙන් එය සිරුරෙන් පිට කරනු ලැබේ. එමනිසා, සැරව ඇති වන්නෙත්, සිරුරට ආරක්ෂාව සලසන ක්‍රමයක් ලෙසිනි. සියවස් ගණනාවක් පුරා වෛද්‍යවරු සැරව සිරුරට සුවයක් ගෙන දෙන, පැසසුමට ලක් කළ යුතු යමක් යන අරුත දෙන පූස් බෝනස් එට් ලව්ඩේබිලෙ යන ලතින් යෙදුම භාවිත කළෝය. සැරව සෑදීම, ආසාදනය නවතා දැමීමටද දායක වේ. විෂබීජ අනුභව කිරීමෙන් පසු, මිතුරු මහාභක්ෂාණු මෙම විෂබීජ ආක්‍රමණිකයන් ගැන අනතුරු අඟවන සංඥාවක් දීමේ අදහසින් ලිම්ෆොසයිටවලට විෂබීජයේ අංශු ප්‍රදර්ශනය කරයි.

ලිම්ෆොසයිට ආසාදනයට එරෙහිව සුවිශේෂ කාර්යයක් ඉටු කරයි. මේවායින් ප්‍රතිදේහ නිපදවෙන අතර, මෙම ප්‍රතිදේහ අදාළ විෂබීජ අංශු හා සංයෝග වේ. මූලික වශයෙන් ලිම්ෆොසයිට කාණ්ඩ දෙකකට බෙදිය හැකි අතර, ඒවා සතු හැකියාවන් එකිනෙකට වෙනස්ය. මුල් කාණ්ඩය B සෛල ලෙස හැඳින්වේ. මෙම සෛල මගින් නිපදවන ප්‍රතිදේහ රුධිර ධාරාවට මුදාහරිනු ලැබේ. මෙම B සෛල ඉතා වේගයෙන් ක්‍රියා කරන නිසාත්, ඉතා නිවැරදිව ඉලක්කයට ඊතල විදින්නාක් මෙන්, ප්‍රතිදේහ මුදාහරින නිසාත්, ඒවා විශේෂ කාර්ය බලකායක් ලෙස නම් කළහොත් නිවැරදිය. මෙම ප්‍රතිදේහ, හඳුනාගත හැකි විෂබීජ පසුපස හඹා යමින් ඒවාට මරු පහර එල්ල කරයි. අනික් ලිම්ෆොසයිට කාණ්ඩය T සෛල ලෙස හැඳින්වේ. මෙම T සෛල ප්‍රතිදේහ හඳුනාගන්න අතර, ඒවා T සෛල මතුපිට සවි වී තිබේ. ඒවා යොදාගන්නේ සතුරු විෂබීජවලට ඍජු ප්‍රහාර එල්ල කිරීමටයි.

එනමුත්, කතාව මෙයින් නතර නොවේ. T සෛලවලම සහායක කාණ්ඩයක් වන සහායක T සෛල ඇති අතර, ඒවා B සෛලවලට විශාල ප්‍රතිදේහ ප්‍රමාණයක් ස්‍රාවය කිරීමට උපකාර කරයි. ප්‍රහාරයට පෙර, සහායක T සෛල එකිනෙකාගෙන් උපදෙස් පතයි. මෑතකදී කර ඇති පර්යේෂණවලින් හෙළි වී තිබෙන්නේ, මෙම සෛල රසායනික සංඥා යොදාගනිමින් සතුරු ආක්‍රමණිකයා සම්බන්ධයෙන් ඉතා කඩිසරව එකිනෙකා සමඟ අදහස් හුවමාරු කරන බවයි.

තවත් වැදගත් කාණ්ඩයක්ද මෙහිදී හඳුන්වා දිය යුතුය. එය නම් සහයෝගයක් ලබා දෙන ස්වභාව ඝාතක සෛල ලෙස හැඳින්වෙන කාණ්ඩයයි. මෙම සෛල ප්‍රතිදේහ නිපදවූයේ නැතත්, ආසාදනය වීම හේතුවෙන් ආසාදිත සෛල ඝාතනය කිරීමට සැරසී සිටියි. මේ අනුව, සිරුරේ නිරෝගිකම රැකගැනීමට මෙම ස්වභාව ඝාතක සෛලවල දායකත්වයද වැදගත් වේ.

ලිම්ෆොසයිට සතු තවත් ලක්ෂණයක් වන්නේ විෂබීජයක ගතිලක්ෂණ මතක තබාගැනීමේ හැකියාවයි. මෙය ප්‍රතිශක්ති මතකය ලෙස හැඳින්වෙන අතර, එය හරියට විෂබීජ පිළිබඳ වාර්තාවක් තබාගන්නවා හා සමානය. එමනිසා, ඒ විෂබීජ වර්ගය නැවත සිරුරට ඇතුල් වුවහොත්, වහාම එය විනාශ කිරීමට ඕනෑ කරන ප්‍රතිදේහ මුදාහැරීමට එම ලිම්ෆොසයිටවලට පුළුවන.

ප්‍රතිශක්ති ක්‍රියාවලිය මුලින්ම ක්‍රියාත්මක කරන මහාභක්ෂාණු, ප්‍රදාහය මර්දනය කිරීමට සහාය වෙමින් සිරුර යථා තත්වයට පැමිණෙන තෙක් සහයෝගය දක්වයි. මහාභක්ෂාණු “සටනින්” පසු ඉතිරිව ඇති මළ සෛල නැතහොත් සෛල අංශු හෝ සුන්බුන් හානියට ලක් වූ ප්‍රදේශයෙන් ඉවත් කරන අතර, “නුවර” තුළ සාමය යළි පිහිටුවීමට කටයුතු කරයි.

ප්‍රතිශක්තිය දුර්වල වන විට

අප ඉහත සලකා බැලුවේ, ප්‍රතිශක්ති පද්ධතිය ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් තිබෙන පොදු අදහසයි. එනමුත් හේතු කිහිපයක් නිසා, ප්‍රතිශක්තිය දුර්වල විය හැක. ප්‍රතිශක්ති පද්ධතියේ සහජයෙන්ම දක්නට ලැබෙන යම් දෝෂ තිබිය හැක. එමෙන්ම, යම් රෝගයක් බෝවීම නිසා ඇති වන දෝෂද තිබිය හැක.

බෝවිය හැකි රෝග අතුරින්, ඉතා බරපතළ එකකි ලොවට 1980 ගණන්වලදී කඩා වැදුණු ඒඩ්ස් වසංගතය. ඒඩ්ස් රෝගයට තුඩු දෙන මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසය (HIV), ප්‍රතිශක්ති පද්ධතියට එල්ල කරන්නේ ඉතා දරුණු පහරකි. එම වයිරසයේ ප්‍රතිඵලයක් වශයෙන් එක්තරා ලිම්ෆොසයිට වර්ගයක් ක්‍රමානුකූලව විනාශ කරනු ලැබේ. මේ අනුව, පුද්ගලයෙකුගේ ප්‍රතිශක්ති පද්ධතියේ ඉතා වැදගත් අංගයක් ක්‍රියා විරහිත වේ. මින් පසුව, නිතර නිතරම ආසාදනයන් ඇති වන අතර, ඒවා සම්පූර්ණයෙන්ම තුරන් කළ නොහැකිය. ඇත්තෙන්ම මෙම ආසාදනයන් ක්‍රමක්‍රමයෙන් දරුණු වන අතර, සිරුර දුර්වල වේ. එවිට එය පවුරු නොමැති, ඕනෑම ආක්‍රමණයකට ගොදුරු විය හැකි, ගරා වැටුණු නුවරකට සමාන කළ හැකිය.

භාග්‍යයකට මෙන්, ප්‍රතිශක්ති පද්ධතියේ සිදු වන සෑම දෝෂයක්ම එතරම් බරපතළ නොවේ. මුලින් සඳහන් කළ වරොනිකාගේ ප්‍රතිශක්ති පද්ධතියේ තිබුණු දෝෂය කුමක්ද? ඇයට තිබුණේ සුළු දෝෂයක් පමණි. සාමාන්‍යයෙන් ශ්ලේෂ්මල පටලවල, විශේෂයෙන්ම ශ්වසන මාර්ග දිගේ දක්නට ලැබෙන එක්තරා ප්‍රතිදේහයක් නිපදවීමට ඇගේ ප්‍රතිශක්ති පද්ධතියට හැකියාවක් තිබුණේ නැත. එමනිසා, ඇය නැවත නැවත ආසාදනවලට ලක් වූයේ මන්දැයි තේරුම්ගත හැක.

කාලයාගේ ඇවෑමෙන් වරොනිකාට සුවයක් ලැබිණ. ඇගේ ප්‍රශ්නය පිළිබඳව වෛද්‍යවරයා දුන් විස්තරයට සවන් දීමෙන් පසු, නිර්දේශ කළ ප්‍රතිකාරය අකුරටම අනුගමනය කිරීමට ඇය ඉටාගත්තාය. පීනස් රෝගය සුව වූ විට, ප්‍රතිදේහ නිෂ්පාදනය වැඩි කරන බෙහෙත් මාත්‍රාවක් එන්නත් මගින් ලබාගැනීමට ඇය එකඟ විය. a දුම්පානයද නතර කළ ඇය, විවේකය සඳහා වැඩි කාලයක් මිඩංගු කළාය. වැඩි කලක් නොගොස් ඇගේ සෞඛ්‍යය හොඳ අතට හැරිණ.

හොඳ සෞඛ්‍යයක් භුක්ති විඳීමට අපගේ සිරුර සැලසුම් කර ඇති බව පැහැදිලිය. අපගේ ප්‍රතිශක්ති පද්ධතිය ඉතා සංකීර්ණය. මිනිස් සිරුරේ වෙනත් ක්‍රියාකාරිත්වයන්ද ඉතා විස්මයජනකය. ඇත්තෙන්ම අපගේ මැවුම්කරුගේ ප්‍රඥාව පැසසුමට ලක් කිරීමට සහ අපගේ කෘතඥතාව ප්‍රකාශ කිරීමට මෙය අපව පොලඹවන්නේ නැද්ද! (ගීතාවලිය 139:14; එළිදරව් 15:3) මිනිස් අසම්පූර්ණත්වය හේතුවෙන් අපට නිතරම යහපත් සෞඛ්‍ය තත්වයක් නොතිබුණත්, දෙවිගේ ආනුභාවයෙන් ලියන ලද වචනය සහතික කරන්නේ, පැමිණෙන නව ලොවේදී මිනිසා මානසිකව සහ ශාරීරිකව පරිපූර්ණත්වය භුක්ති විඳින බවය. එදාට “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය.”—යෙසායා 33:24.

[පාදසටහන]

a රෝගියෙකු ලබන්නේ කුමන ප්‍රතිකාරයද යන්න පෞද්ගලික තීරණයක් බව පිබිදෙව්! ප්‍රකාශකයන් තරයේ විශ්වාස කරන අතර, යම් විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැත.

[29වන පිටුවේ කොටුව]

ආරක්ෂක සැලැස්මේ අනුපිළිවෙළ:

සම සහ ශ්ලේෂ්මල පටල

සුදු රුධිරාණු නොහොත් ලිව්කොසයිට

මොනොසයිට ආසාදනය වූ පටක ආක්‍රමණය කොට, සතුරු බැක්ටීරියා ගිලදමයි

නියුට්‍රොෆිල බැක්ටීරියා ගිලදැමීමට සහාය වෙමින්, සැරව වශයෙන් සිරුරෙන් බැහැර වේ

ලිම්ෆොසයිටවලට මතක ශක්තියක් ඇති නිසා, කලින් ආක්‍රමණය කළ විෂබීජයක් නැවත පැමිණේ නම්, විෂබීජ වහාම විනාශ කිරීමට ප්‍රතිදේහ ක්‍රියාත්මක වේ

B සෛල විෂබීජ සොයා යන ප්‍රතිදේහ මුදාහරින අතර, නිවැරදි ලෙස ඉලක්කයට විදින ඊතල මෙන් එය සාර්ථක ප්‍රහාර එල්ල කරයි

T සෛල ප්‍රතිදේහ නිෂ්පාදනයට සහය වන අතර එම ප්‍රතිදේහ විෂබීජ සමඟ මුහුණට මුහුණලා සටන් කරයි

සහායක T සෛල විශාල ප්‍රතිදේහ ප්‍රමාණයක් ස්‍රාවය කිරීමට B සෛලවලට උපකාර කරයි

ස්වභාව ඝාතක සෛල ප්‍රතිදේහ නිපදවන්නේ නැතුව ආසාදිත සෛලවලට එරෙහිව ඍජු ප්‍රහාර දියත් කරමින් ඒවා විනාශ කර දමයි

[31වන පිටුවේ පින්තූරය]

සුදු රුධිරාණුවක් බැක්ටීරියාවලට ප්‍රහාර එල්ල කරයි

[හිමිකම් විස්තර]

Lennar Nilsson