Skip to content

පටුනට යන්න

කාර්යබහුල ලොවක්

කාර්යබහුල ලොවක්

කාර්යබහුල ලොවක්

කාර්යබහුල ජීවිතය නිසා ඔබ දැඩි මානසික පීඩනයකට ලක් වී සිටිනවාද? මේ නිසා ඔබ කලකිරීමට පත්ව සිටිනවාද? ඔබ දරාගත නොහැකි තරමට දැඩි ලෙස වෙහෙසට පත්ව සිටිනවාද? එසේනම් අධෛර්යයට පත් නොවන්න. මෙවන් තත්වයක් අද්දකින්නේ ඔබ පමණක් නොවේ.

විශේෂයෙන් නගරවල ජීවත් වන බොහෝදෙනෙකු ගත කරන්නේ අධික ලෙස වෙහෙසට පත් කරවන කාර්යබහුල ජීවිතයකි. මෙවන් තත්වයක් විශේෂයෙන්ම දැකිය හැක්කේ බටහිර රටවලය. දවසේ වැඩි කාලයක් දැඩි ලෙස වෙහෙසට පත්ව සිටින බවක් දැනෙන අය සිටිනවා නම් අත් ඔසවන්න කියා, මෑතකදී එක්සත් ජනපදයේ පවත්වන ලද ආගමික රැස්වීමක කතාවක් ඉදිරිපත් කරමින් සිටි කථිකයෙක් රැස්ව සිටි අයගෙන් ඉල්ලා සිටියේය. විගස සියලුදෙනාම පාහේ අත් ඉහළට එසවීය.

මා මෙතරම් වෙහෙසට පත්ව සිටින්නේ මන්ද? (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ මෙසේ සඳහන් වේ. “අද බොහෝදෙනෙකු ගත කරන්නේ කාර්යබහුල ජීවිතයකි. නියමිත වේලාවට ගුවන් තොටුපොළට යා යුතුයි. නියමිත දිනයේදී නිම කළ යුතු වැඩ රාශියක් තිබේ. දරුවන්ව පෙර පාසැලට ගෙන ගොස් නැවත රැගෙන ආ යුතුයි. කිරීමට තිබෙන වැඩවල අවසානයක් නැත.” අප ජීවත් වන මේ කාලයේ වෙහෙසට පත්ව සිටීම ඉමහත් හිසරදයක්ව පැවතීම ගැන පුදුම විය යුතු නැත. a

අතීතයේදී ජීවිතය මෙතරම් කාර්යබහුල නොවීය. අදට වඩා එදා ජීවිතය සරල විය. දීර්ඝ කාලයක සිට පැවතෙන දින චර්යාවකට අනුව මිනිස්සු හැඩගැසී සිටියහ. ඔවුන් දිවා කාලයේදී රැකියාවල නිරත වූ අතර, රාත්‍රි කාලය වෙන් කර තිබුණේ පවුලේ අය සමඟ එකට කාලය ගත කිරීමට හා නිදාගැනීමටය. මීට වෙනස්ව, දිනෙන් දින තමන් අවිවේකීව හා දැඩි ලෙස වෙහෙසට පත්ව සිටින බවක් අද ජීවත් වන අයට වැඩි වැඩියෙන් දැනීමට හේතු ගණනාවක්ම බලපා තිබේ.

අවදිව සිටින කාලය වැඩි වෙයි

නිදාගන්න කාලය කෙටිවීම, දැඩි ලෙස වෙහෙසට පත්ව සිටින බව හැඟීමට තවත් එක් හේතුවක් විය හැක. විදුලි ආලෝකය සොයාගැනීමත් සමඟ මිනිසුන් අවදිව සිටින කාලය වැඩි වී තිබේ. මිනිසුන් අවදිව සිටින කාලය පාලනය වන්නේ ස්විචයක් මගිනි. මේ නිසා මිනිසුන් වැඩි කාලයක් අවදිව සිටියි. කර්මාන්ත ශාලාවල පැය 24 පුරාම වැඩ කෙරන නිසාත් සේවා සපයන ආයතන වැඩ කරන වේලාව දීර්ඝ කර තිබෙන නිසාත් එම ක්‍රමයට හැඩගැසීමට බොහෝදෙනෙකුට සිදු වී තිබේ. මෙහි ප්‍රතිඵලයක් හැටියට, “පැය 24 පුරා අවදිව සිටින සමාජයක් බිහි වී තිබේ” කියා එක් ලේඛකයෙක් පැවසුවේය.

තාක්ෂණික දියුණුවේ ප්‍රතිඵලයක් හැටියට අද බොහෝදෙනෙකුට ගුවන් විදුලි යන්ත්‍රයක්, රූපවාහිනියක් හා පෞද්ගලික පරිගණකයක් ලබාගැනීමට හැකි වී තිබේ. මෙම උපකරණ මගින්ද මිනිසුන්ගේ නින්ද සොරාගෙන ඇත. බොහෝ රටවල පැය 24 පුරාම රූපවාහිනි වැඩසටහන් විකාශනය කෙරේ. චිත්‍රපට නැරඹීමට ප්‍රිය කරන්නන් හා ක්‍රීඩා ලෝලීන් රැකියා ස්ථානයේ නිදි කිරා වැටීම අද අසාමාන්‍ය දෙයක් නොවේ. ඔවුහු රාත්‍රියේ දිගු කාලයක් චිත්‍රපට හා ක්‍රීඩා තරඟ නැරඹීම නිසා වෙහෙසට පත්ව සිටිති. නිවසේ තිබෙන පරිගණකය සහ අවධානය ඇදගැනීමට එයින් සැපයෙන විවිධ දේවල් නිසාද බොහෝදෙනෙකුගේ නින්ද කෙටි වී තිබේ. ඇත්තෙන්ම නවීන උපකරණවල කිසිම වරදක් නැත. එහෙත්, මෙම උපකරණ මගින් ඇතැම් අයගේ විවේකය සොරාගෙන තිබේ.

වේගවත් ජීවිතයක්

අප අවදිව සිටින කාලය දීර්ඝ වී තිබෙනවා පමණක් නොව, ජීවිතයද පෙරට වඩා වේගවත්ය. මෙයටද හේතු වී තිබෙන්නේ නවීන තාක්ෂණයයි. මීට අවුරුදු සියයකට පමණ කලින් මිනිසුන් ගමන් බිමන් ගියේ කරත්තවලය. එහෙත් එදාට වඩා අද තත්වය හාත්පසින්ම වෙනස්ය. මෝටර් රථ, අධිවේගී දුම්රිය සේවා හා ගුවන් සේවා ගමන් බිමන් සඳහා අද බහුලව යොදාගැනෙයි. අද සිටින ව්‍යාපාරිකයෙකුට එක් රටකදී උදෑසන ආහාරය ගෙන, සැතපුම් දහස් ගණනක් ගුවනින් ගොස් වෙනත් රටකදී දහවල් ආහාරය ගත හැක. එනමුත් ඔහුගේ සීයාට රැකියාවට යන්න සිදු වුණේ පයින් හෝ අශ්වයෙකු පිටින් හෝ බයිසිකලයෙනි.

කාර්යාලවල වැඩ කරන වේගය හා ඵලදායීතාවද වැඩි වී ඇත. අද යතුරු ලියනයේ තැන පරිගණකය හිමි කරගෙන ඇත. තැපෑලෙන් ලිපි යවනවා වෙනුවට ෆැක්ස් යන්ත්‍ර හා විද්‍යුත් තැපෑල (ඊ-මේල්) මගින් ලිපි හුවමාරු කරගනු ලැබේ. පරිගණක, සෙලියුලර් දුරකථන හා පේජර් යන්ත්‍ර යනාදිය කාර්යාලවල පමණක් නොව නිවෙස්වලද අද දැකිය හැක. එමනිසා, රැකියාවේ වැඩ කටයුතු නිවසේදී වුවත් කරගැනීමට පුළුවන.

ලෝකයේ සිදු වන වේගවත් වර්ධනය අපට අඩු කළ නොහැකි බව සැබෑවකි. කෙසේවෙතත්, වඩාත් නිසංසල හා සමබර ජීවිතයක් ගත කිරීම සඳහා අපට පෞද්ගලිකව යම් දේවල් කළ හැක. එහෙත්, අපි මේ කාරණය ගැන සලකා බැලීමට කලින්, අද පවතින කාර්යබහුල ලෝකය මගින් අපටද, සමාජයටද එල්ල විය හැකි බලපෑම් කිහිපයක් ගැන සලකා බලමු.

[පාදසටහන]

a දිනපතා අද්දකින නොඉවසුම්ගතිය හැර තවත් හේතු ගණනාවක් නිසා තමන් දිගු කාලයක් පුරා වෙහෙසට පත්ව සිටින බව කෙනෙකුට දැනිය හැක. මේ තත්වයට බලපෑ හැකි හේතු අතර ශාරීරික ගැටලු, සමබර ආහාර නොගැනීම, බෙහෙත් වර්ග භාවිතය, හානිකර රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම, මානසික හා චිත්තවේගීය ගැටලු, මහලු විය හෝ මෙහි සඳහන් කළ සාධක කිහිපයක් එකවිටම තිබීම දක්නට තිබේ.