Skip to content

පටුනට යන්න

කාර්යබහුල ලොවක සතුටින් දිවි ගෙවීම

කාර්යබහුල ලොවක සතුටින් දිවි ගෙවීම

කාර්යබහුල ලොවක සතුටින් දිවි ගෙවීම

බොහෝදෙනෙකු ජීවිතයේ පීඩනවලට සාර්ථකව මුහුණ දුන්නත්, එයට සතුටින් මුහුණ දෙන්නේ සුළු පිරිසකි. මේ සඳහා විශේෂ ආකාරයක ප්‍රඥාවක් අවශ්‍ය වේ.

මෙය සත්‍යය බව පිළිගන්න පැය 24 පුරාම වැඩ කරන සමාජයක් නමැති පොතෙහි මෙසේ සඳහන් වේ. “මිනිසා බිහි කර තිබෙන තාක්ෂණික ලෝකයේ ජීවත් වන විට, මිනිස් අවශ්‍යතා හා ගතිලක්ෂණ රැකගැනීම සඳහා අප ප්‍රඥාව ලබාගත යුතුයි.”

ලෝකයේ වැඩියෙන්ම බෙදාහැර තිබෙන පොත වන බයිබලයේ නොහොත් දෙවිගේ වචනයේ ප්‍රායෝගිකව අදාළ කරගත හැකි ප්‍රඥාව සොයාගත හැකිවීම සතුටට කරුණකි. මිනිස් අවශ්‍යතා හා ගතිලක්ෂණ සම්පූර්ණයෙන්ම තේරුම්ගත හැකි තැනැත්තාගේ මඟ පෙන්වීම යටතේ බයිබලය ලියවී තිබෙන නිසා, සාර්ථක බවට ඔප්පු වී ඇති ප්‍රතිපත්ති එහි අන්තර්ගත වේ. මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන්, ඔබේ ජීවිතය හොඳින් පාලනය කරගැනීමටත් අද පවතින කාර්යබහුල ලෝකයේ පීඩනවලින් ජයගැනීමටත් ඔබ දරන වෑයමේදී යම් ප්‍රමාණයකට හෝ සතුට භුක්ති විඳීමට ඔබට හැක.—යෙසායා 48:18; 2 තිමෝති 3:16.

මෙම ප්‍රතිපත්ති ජීවිතයේ ප්‍රධාන පැති තුනකට අදාළ කරගත හැක. මුලින්ම, ඔබේ ජීවිතයේ අනවශ්‍ය දේවල් මොනවාද කියා නැණවත් ලෙස තීරණය කරන ආකාරය එම ප්‍රතිපත්ති මගින් පෙන්වා දෙයි. දෙවනුව, ඔබේ ජීවිතයේ මුල් තැන දිය යුත්තේ කුමන දේවලටද කියා තීරණය කිරීමට ඒවා උපකාරවත් වේ. තුන්වනුව, ලෞකික මතිමතාන්තරවලට වඩා ඉතාමත් උසස් ආත්මික දෘෂ්ටියකින් දේවල් දෙස බැලීමේ හැකියාව ඒවා ඔබට ලබා දෙයි. අපි දැන් මේ ප්‍රධාන පැති තුන සලකා බලමු.

නිරවුල් සරල ජීවිතයක් ගත කරන්න

ඔබ දවස් කිහිපයකට විනෝද සවාරියක් යනවා කියා සිතන්න. සැප පහසු ලෙස මේ දවස් කිහිපය ගත කරන්න ඔබට අවශ්‍යයි. එනිසා ඔබ අවශ්‍ය හැම දෙයක්ම රැගෙන යයි. විශාල කූඩාරමක් හා ආහාර පානාදිය ඇතුළුව ඇඳක්, අල්මාරියක්, මේසයක්, පුටු, ආහාර පිසීමට අවශ්‍ය කරන උපකරණ, ශීතකරණයක්, කුඩා ජෙනරේටරයක්, විදුලි බුබුළු, රූපවාහිනියක් හා තවත් බොහෝ ද්‍රව්‍ය ඔබ ගමන් කරන වාහනයේ පුරවා ඇත. ඔබ විවේකය ගත කිරීමට තෝරගන්න ස්ථානයේ මේ සෑම උපකරණයක්ම නිසි පරිදි සකස් කරගැනීම සඳහා ඔබට පැය ගණනාවක් ගත කරන්න සිදු වෙයි. පසුව, ඔබ විවේකයෙන් ගත කළ දවස් කිහිපය අවසානයේදී, ආපසු නිවස බලා එන්න කලින් ඔබ රැගෙන ගිය සෑම දෙයක්ම අසුරාගන්න සෑහෙන්න කාලයක් ගත වෙයි. ඔබට සතුටින් විවේකය ගත කරන්න එතරම් කාලයක් නොතිබුණු බව බඩු අසුරද්දී ඔබට කල්පනා වෙයි. මෙම ගමන සඳහා දැරූ වෙහෙසෙන් ප්‍රයෝජනයක් ලැබුවාද කියා ඔබ කල්පනා කරයි.

අද සිටින බොහෝදෙනෙකුගේ ජීවිතය එම විනෝද සවාරිය හා සමානය. අද වෙළඳපොළේ තිබෙන නිමක් නැති නවීන පන්නයේ භාණ්ඩ මිල දී ගැනීමට හා නඩත්තු කිරීමට ඔවුන් අධික කාලයක් වැය කරයි. සන්තෝෂයෙන් සිටීමට නම් මෙම දේවල් අපට අවශ්‍ය බවට විශ්වාසයක් මේ ලෝකය අප තුළ ඇති කරවයි. මීට වෙනස්ව යේසුස් ක්‍රිස්තුස් මෙසේ පැවසුවේය. “මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැත.” (ලූක් 12:15) යම් කෙනෙකු සන්තෝෂයෙන් සිටිනවාද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ ඔහු සතු ද්‍රව්‍යමය දේවල් මගින් නොවේ. ඇත්තෙන්ම බොහෝ අවස්ථාවලදී ද්‍රව්‍යමය වස්තුව මගින් කනස්සල්ල ඇති කරවයි. “පොහොසතාගේ අධික තෘප්තිය නිසා ඔහුට නිදාගන්ට බැරිය” කියා දේශනාකාරයා 5:12හි සඳහන් වේ.

මේ නිසා ඔබ සතු ද්‍රව්‍යමය දේවල් සැලකිල්ලට ගනිමින් ඔබෙන්ම මෙසේ අසන්න. ‘ඇත්තටම මට මේ දෙය අවශ්‍යද? එහෙම නැත්නම් එය නිසා මගේ ජීවිතය අවුල් වී තිබෙනවාද? මගේ ජීවිතයේ සන්තෝෂයට එය දායක වෙනවාද? එහෙම නැත්නම් එය මගේ වටිනා කාලය සොරාගන්නවාද? මා මෙතරම් වෙහෙසට පත්ව සිටින්නේ මන්ද? නමැති පොතේ කර්තෘ ලියොන් මක්මාන් එහි හැඳින්වීමෙහි මෙසේ සඳහන් කරයි. “ගෙදරදොරේ වෙහෙසකාරි වැඩවලින් නිදහස් වීම සඳහා විවිධ මාදිලියේ උපකරණ නිපදවා තිබේ. මේ දේවල් ලබාගැනීමට හා ඒවා නඩත්තු කිරීමේ වියදම් දැරීමට අවශ්‍ය මුදල් ඉපයීම සඳහා ගෘහණියන්ටද රැකියාවල නිරත වීමට සිදු වේ.”

ඔබේ ජීවිතය ඔබ සරල කරගන්න විට, ඔබේ පවුලේ අය හා මිතුරන් සමඟ ගත කිරීමටත් ඔබ ගැන සැලකිල්ල දැක්වීමටත් ඔබට වැඩි කාලයක් ඉතිරි වේ. එසේ කාලය වෙන් කරගැනීම ඔබේ සන්තෝෂයට ඉතාමත් අවශ්‍යයි. මුදල් හා ද්‍රව්‍යමය දේවල්වලට වඩා මිතුරන් හා පවුලේ අය වටිනා බව ප්‍රමාද වී තේරුම්ගන්නා අයට අත් වන ඉරණම ඔබට අත් නොවන ලෙස කටයුතු කරන්න. ඔබට ප්‍රේමය පෙන්විය හැක්කේ මිනිසුන්ට පමණි. බැංකු ගිණුම්, ව්‍යාපාරවල ආයෝජනය කර තිබෙන මුදල්, පරිගණක, රූපවාහිනි යන්ත්‍ර හා වෙනත් උපකරණ යනාදිය තිබීම යම් ප්‍රමාණයකට ප්‍රයෝජනදායක වුවත්, ඒවා අත්‍යවශ්‍ය දේවල් නොවේ. මෙවැනි දේවලට ප්‍රමුඛත්වය දෙන අය තමන්ගේ ජීවිතයේ තිබෙන වටිනාකම තේරුම්ගැනීමට අසමත් වීම නිසා අවසානයේදී කලකිරුණු ජීවිතයක් ගත කරති. එමෙන්ම ඔවුන්ට ජීවිතය පවා එපා විය හැක.—1 තිමෝති 6:6-10.

කාලය හොඳට සැලසුම් කර, වැදගත් දේවලට මුල් තැන දෙන්න

ඇතැම් කාරණා සම්බන්ධයෙන් සලකා බලන කල, කාලය සැලසුම් කිරීම සමබර ලෙස අය වැය පිළියෙළ කරනවා හා සමානය. ඔබට තිබෙන සීමිත කාලය තුළ බොහෝ දේවල් කරන්න උත්සාහ කළහොත් ඔබට කාලය සමබර ලෙස භාවිත කළ නොහැකි වේ. මෙවන් ජීවන රටාවකට හැඩගැසීමේ ප්‍රතිඵලයක් ලෙස කලකිරීම, මානසික පීඩනය හා වෙහෙසකාරි ගතිය වැනි දෑ ඇතිවීම වැළැක්විය නොහැක. එනිසා වැදගත් දේවලට මුල් තැන දෙන ආකාරය ඉගෙනගන්න.

මුලින්ම, වඩා වැදගත් දේවල් මොනවාද යන්න තීරණය කර, ඒ දේවල් සඳහා ප්‍රමාණවත් කාලයක් වෙන් කරන්න. ක්‍රිස්තියානීන්ගේ ප්‍රමුඛතා අතර කවදත් මුල් තැන ගන්නේ ආත්මික ක්‍රියාකාරකම්ය. (මතෙව් 6:31-34) වැදගත් කාරණා ඉක්මනින් ආවට ගියාට කළොත්, එහි ප්‍රතිඵලය වන්නේ බරපතළ ගැටලු මතුවීමයි. මේ නිසා යම් දෙයක් සඳහා වැය කරන කාලය තරමටම එයින් ප්‍රතිඵල නොලැබේ නම්, එවැනි දේවල් කපාහැරීමට ඔබට සිදු විය හැක.

ප්‍රමුඛතා තැබීමේදී හුදකලාව සිටීමටද කාලය වෙන් කරන්න. මෙසේ හුදකලාව සිටීමට වෙන් කරන කාලය තුළ ඔබට වර්ධනය ගෙන දෙන දේවල් ගැන මෙනෙහි කිරීමට හා ඔබේ මතකයන් අලුත් කරගැනීමට හැක. “අර්ථාන්විත ලෙස තනිව කාලය ගත කිරීම අද පවතින කලබලකාරි ලෝකයේ ජීවත් වන අයට ශක්ති ජනකයකි. . . . තනිව කාලය ගත කිරීම ශක්තිය වඩවන පානයක් වැනිය” කියා සයිකොලොජි ටුඩේ නමැති සඟරාවේ සඳහන් වේ. මෙනෙහි කිරීම සඳහා කාලය වෙන් කරගත නොහැකි තරමටම කාර්යබහුල වන අය ජීවිතය ගැන ගැඹුරින් කල්පනා කර බැලීමට අපොහොසත් වේ.

නිහතමානිකම හා ආත්මිකත්වය

ඔබ නිහතමානි කෙනෙකු හා ආත්මික දේවල් කෙරෙහි ඇල්මක් දක්වන පුද්ගලයෙකු නම් ඔබට සන්තෝෂවත් හා සමබර ජීවිතයක් ගත කළ හැක. නිහතමානි පුද්ගලයෙකු තම සීමාවන් හඳුනාගෙන කටයුතු කරයි. මෙය වැදගත් ගුණාංගයකි. මන්ද තමන්ට කළ නොහැකි වැඩ හා වගකීම් බාර නොගැනීමට එම ගුණාංගය පුද්ගලයෙකුට උපකාරවත් වන බැවිනි. වඩා වැදගත් දේවල් කිරීමට නොහැකි වන ලෙස වැඩි කාලයක් රැකියා ස්ථානයේ වැඩ කිරීමට සිදු වන විටදී හෝ වෙනත් වැඩවල නිරත වීමට සිදු වන විටදී ඒවා ප්‍රතික්ෂේප කළ යුත්තේ කුමන අවස්ථාවලදීද කියා නිහතමානි පුද්ගලයෙකු දනියි. අන් අය සතු දේවල් හා කරන දේවල් ගැන නිහතමානි අය ඊර්ෂ්‍යා නොවෙති. මේ නිසා, මෙවැනි අයට තෘප්තිමත් ජීවිතයක් ගත කිරීම පහසුය. තවද සැබෑ නිහතමානිකම ආත්මික පුද්ගලයෙකුගේ ලක්ෂණයකි. අපේ ජීවිතය පාලනයකින් යුතුව ගත කිරීමට අත්‍යවශ්‍ය දෙයකි ආත්මිකත්වය.—මීකා 6:8; 1 යොහන් 2:15-17.

බයිබලයේ අඩංගු නිවැරදි දැනුම මත පදනම් වන ආත්මිකත්වයක් ගොඩනැඟීමෙන්, ඔබට විචාර බුද්ධියෙන් හා වටහාගැනීමේ ශක්තියෙන් හෙබි පුද්ගලයෙකු විය හැක. එවිට ජීවිතයේ සාර්ථකත්වය පිළිබඳ ලෝකයේ මතිමතාන්තරවලට ඔබව මුළා කළ නොහැක. ඔබ 1 කොරින්ති 7:31හි සඳහන් මෙම ඥානවන්ත උපදේශයට අවනත වෙයි. “මේ ලෝකය භුක්ති විඳින්නෝ අධිකලෙස භුක්ති නොවිඳින්නන් මෙන්ද සිටිය යුත්තෝයයි කියමි. මක්නිසාද මේ ලෝකයේ අන්දම පහවෙවී යන්නේය.” තමන්ගේ මෙන්ම තම පවුලේ අයගේ ද්‍රව්‍යමය අවශ්‍යතා සපුරාලීමේදී ක්‍රිස්තියානීහු යම් ප්‍රමාණයකට මේ ලෝකයේ තිබෙන දේවල් ‘භුක්ති විඳිති.’ එහෙත් තමන්ව සම්පූර්ණයෙන්ම එහි ග්‍රහණයට හසු කරගැනීමට ඔවුහු ඉඩ නොදෙති. වැඩි කල් නොගොස් සහමුලින්ම පහවීමට යන මේ ලෝකයෙන් සැබෑ සුරක්ෂිතභාවය අපේක්ෂා කළ නොහැකි බව ඔවුහු දනිති. සැබෑ සාර්ථකත්වය, එනම් පාරාදීස පොළොවක සුරක්ෂිතව සදාකල් ජීවත් වීම රඳා පවතින්නේ පුද්ගලයෙකු දෙවි සමඟ ඇති කරගන්න සබඳතාව මත බව ඔවුහු දැන සිටිති. (ගීතාවලිය 1:1-3; 37:11, 29) මේ නිසා යේසුස්ගේ උපදේශයට අවනත වී, ‘ස්වර්ගයෙහි වස්තු රැස් කරගැනීමෙන්’ අනාගත ප්‍රයෝජන අත් කරගන්න. මෙම වස්තුව ‘කාවෝවත් මලකඩවත් නාස්ති නොකරති. සොරු උමංකැන සොරා නොගනිති.’—මතෙව් 6:20.

කනස්සලු නොවී සැබෑ සාමය සොයන්න

අද පවතින ක්‍රමය එහි නිමාව කරා ළඟා වන නිසා, එමගින් ඇති කරන පීඩනය තව තවත් වැඩි වේ. ඔබට කරන්න තිබෙන වැඩ තවත් වැඩි වෙයි. එනිසා ඔබ ‘කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න’ කියා බයිබලය සපයන උපදේශය ක්‍රියාත්මක කිරීම මොනතරම් වැදගත්ද! එසේ කිරීමෙන් ‘කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් තුළ ඔබේ සිත්ද සිතිවිලිද ආරක්ෂා කරනවා ඇත.’ යාච්ඤාවේ වටිනාකම තේරුම්ගෙන නැති, ලෞකික දේවල් පසුපස හඹා යන අයට එවන් සමාදානයක් අත් කරගත නොහැක.—පිලිප්පි 4:6, 7.

යෙහෝවා ඔබට සාමකාමී මනසක් ලබා දෙනවාට වඩා වැඩි යමක් කරයි. ‘ඔබගේ හැම කරදරයක්ම ඔහු පිට තබනවා නම්’ සෑම දවසකම ඔබට පැවරී තිබෙන වගකීම් ඉසිලීමට ඔහු උපකාර කරනු ඇත. (1 පේතෘස් 5:7; ගීතාවලිය 68:19) මේ නිසා සෑම දවසකම ඔහුගේ වචනයෙන් කොටසක් කියවීම මගින් ඔහුට සවන් දීම නැණවත් ක්‍රියාවකි. ඔබට වඩාත් ප්‍රයෝජනදායක උපදෙස් දිය හැක්කේ මැවුම්කරු හැර වෙන කාටද? (ගීතාවලිය 119:99, 100, 105) දෙවි සමඟ තිබෙන සබඳතාව තමන්ගේ ජීවිතයේ වැදගත්ම දෙය කරගෙන සිටින අයට කාර්යබහුල මේ ලෝකයේ සතුටින් දිවි ගෙවිය හැකි බව සාක්ෂි මගින් ඔප්පු වී තිබේ.—හිතෝපදේශ 1:33; 3:5, 6.

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

තනිව සිටීම හා ආත්මික කටයුතුවල නිරත වීමේ අවශ්‍යතාව ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුළත් කරගන්න

[9වන පිටුවේ පින්තූරය]

ඔබට ඔබේ ජීවිතය සරල කරගනිමින් සාමකාමීව ගත කළ හැකිද?

[10වන පිටුවේ පින්තූරය]

ඔබ ප්‍රමුඛත්වය දෙන්නේ ද්‍රව්‍යමය දේවලටද නැත්නම් මිනිසුන්ටද?