Skip to content

පටුනට යන්න

ගින්නකදී පිහිටට එන ගිනි නිවනය ගැන ඔබ දත යුතු දේ

ගින්නකදී පිහිටට එන ගිනි නිවනය ගැන ඔබ දත යුතු දේ

ගින්නකදී පිහිටට එන ගිනි නිවනය ගැන ඔබ දත යුතු දේ

කීවතාවක් නම් අප බිත්තියේ එල්ලලා තියෙන ඒ පුංචි සිලින්ඩරය පසු කරගෙන යන්න ඇද්ද! ඒත් ඒ පුංචි සිලින්ඩරය කවදා හරි අපේ කාර්යාලය හෝ අපේ නිවස ගිනිගත් විට පිහිටට එයි කියා ඒ වෙලාවේ අප නිකමටවත් හිතුවාද? නමුත්, උදුන මත තිබූ ඇතිලිය ගිනිගත් විට හෝ තාපකය මගින් ජනෙල් රෙදිවලට ගිනි ඇවිළුණු විට, එම කුඩා ගින්න විනාශකාරි ගින්නක් දක්වා වර්ධනය වීමට නොදී එය මැඩපැවැත්වීමට කුඩා ගිනි නිවනය සතු බලය ඔබට තේරුම් යනු ඇත. ක්ෂණික ප්‍රතිප්‍රහාරයක් එල්ල කළ හැකි ආයුධයක් මෙන්, කුඩා ගින්නක් සිත් පිත් නැති ගිනි රකුසෙකු වීමට නොදී වළක්වාගැනීමේ හැකියාව ඇතුව ගිනි නිවනය නිර්මාණය කර තිබේ.

ගින්නක් ඇතිවීමට හේතු වන දෑ බොහෝමයි. දැව, තෙල්, ගෑස්, විදුලිය ආදියෙන් හට ගන්නා ගින්න මෙහිදී සඳහන් කළ හැකියි. එමනිසා, පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි ගිනි නිවනයත් විවිධ වර්ගයන්ගෙන් පැමිණේ. ඔබ ඔබේ සතුරෙකු බඳු ගින්න ගැනත් ආයුධයක් බඳු ගිනි නිවනය ගැනත් දැනුවත් වීම ඔබේ ප්‍රයෝජනයට හේතු වෙයි. මෙහිදී ඔබ ගිනි නිවන හමුදා භටයෙකු මෙන් දැනුවත් විය යුතු බවක් අදහස් නොකරයි. ඇත්තෙන්ම ගින්නක් මැඩපැවැත්වීමේදී ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව සාමාන්‍ය දැනුමක් හෝ ලබාගැනීමෙන් ප්‍රයෝජන අත් වන්නේ ඔබටමයි. උදාහරණයකට පහත සඳහන් සිද්ධියට ඔබ මුහුණ පෑවා නම් ඔබ ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද?

එක්තරා කෝකියෙකු, පාන් පිලිස්සීමට හොඳින් තෙල් ගා පිරිමැදූ තැටි 20ක් රත්වීමට උදුන තුළට දැමීය. එම උදුනේ තාප පාලකයේ තිබූ දෝෂයක් නිසා උෂ්ණත්වය ඉහළ ගිය අතර තෙල් දමා රත්වීමට තැබූ තැටිවලින් දුම් දැමීමට පටන්ගත්තේය. අත් වැසුම් පැළඳ සිටි කෝකියා ඉක්මනින්ම උදුන විවෘත කර තැටි ඉවතට ගත්තත්, ඔහු ඉවත් කරන අවස්ථාවේදී දුම් දමමින් තිබූ තෙල් වෙතට වාතය ගලා ආවේය. හදිස්සියේම ගින්නක් ඇති වී ගිනි දැල් සිවිලිම දක්වා විහිදුණි. කෝකියාට කිසි අනතුරක් සිදු නොවුණ අතර, ඔහු විගස දුව ගොස් කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවනයක් රැගෙන ඇවිත් ගින්න නිවීය. නමුත් සුළු මොහොතකින් තව තවත් දුම් නැඟුණු අතර නැවතත් තෙල්වලට ගිනි ඇවිළුණි. ඔහු පෙර ක්‍රමයම හතර වතාවක් යොදාගත්තේය. මෙසේ කිරීමෙන් ගිනි නිවනය ඉවර වෙයි කියා බිය වූ ඔහු ළඟ එල්ලෙමින් තිබූ ෆයර් බ්ලැන්කට් එක (ගිනි ආරක්ෂක කබාය) ගිනිගනිමින් තිබූ තැටි මත එළීය. එවිට ගින්න නිවී ගිය අතර, ඔහුද සැනසුම් සුසුමක් හෙළීය.

කුඩා ගින්නක් වුවද මහත් ව්‍යසනයක් ඇති කළ හැකි නිසා එය නිවීමේදී අපට පාවිච්චි කළ හැකි හොඳම ආයුධය යොදාගැනීමට අප කවුරුත් කැමතිය. නමුත් දුමක් තියෙද්දී ඉබේම ගින්නක් ඇතිවීමට තිබෙන ප්‍රවණතාවය (ස්වයංසිද්ධ දහනය) ගැන කෝකියා දැනගෙන සිටියා නම් ඔහු කරන්නේ උදුනේ ස්විචය නිවා දමා කාමරයේ දොර වැසීමයි. එවිට උදුනේ ඇති තැටිවල උණුසුම නිකම්ම පහත වැටෙනු ඇත. එසේ නැතහොත් ෆයර් බ්ලැන්කට් එක මුලින්ම භාවිත කර අවශ්‍ය නම් පමණක් ඔහුට කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවනය භාවිතා කිරීමට තිබුණි. ඔහු ගත් ක්‍රියාමාර්ගය කුමක් වුවත්, මෙම අද්දැකීමෙන් පෙන්වන්නේ ගින්න පිළිබඳවත් එය මැඩපවත්වන ආකාරය පිළිබඳවත් දැනගැනීම කොතරම් ප්‍රයෝජනදායකද යන්නය.

ගින්නක් ව්‍යාප්ත වීමට බලපාන “අංග තුන”

ගින්නක් ඇතිවීමට බලපාන අංග තුනක් තිබේ. එය සරල සූත්‍රයක් ලෙස දැක්විය හැක. එනම් ඉන්ධන + ඔක්සිජන් + තාපය = ගින්දර යන්නයි. මෙයින් එක අංගයක් කපාහැරිය විට ගින්න නිවා දැමීමට හැකි වනවා පමණක් නොව තවදුරටත් එය ව්‍යාප්ත වීම වළක්වාගැනීමටද ඔබට හැකියි. මෙය කළ හැක්කේ කෙසේද කියා බලමු.

ඉන්ධන: අපට ආහාර නැත්නම් අප මිය යන්නාක් මෙන් ගින්දරද ඊට අවශ්‍ය ඉන්ධන නොමැති විට නිවී යයි. මෙය ප්‍රයෝජනයට ගන්නා ගිනි නිවන භටයන් වනාන්තර සහ ලඳු කැලෑ ආදියෙහි හටගත් ගින්නක් නිවීමේදී, ගින්න හටගත් ස්ථානයෙන් එහාට එය පැතිරී යෑමට නොහැකි වන සේ ගිනි කපොල්ලක් තනයි. නමුත් මුළුතැන් ගෙයි ඉන්ධන කපාහැරීමට නම් කළ යුත්තේ ගෑස් සැපයුම නවතා දැමීමයි. එහෙත් වෙනත් ගිනිගැනීම්වලදී ගින්නට හේතු වූ ඉන්ධනය සොයාගැනීම දුෂ්කර වන අතර සමහර අවස්ථාවලදී ඒ ගැන සොයාගැනීමට කිසිදු මඟක් නොමැත.

ඔක්සිජන්: ගින්දරටත් අපට වගේම වාතය අවශ්‍යයි. ගින්නට වැලි දමා හෝ ෆයර් බ්ලැන්කට් එකක් දමා වාතය නොලැබීමට සැලැස්වීමෙන් ගින්නක් නිවිය හැක. ගින්නක් නිවීමට ඔක්සිජන් වායුවේ අගය බින්දුවටම දැමීමට අවශ්‍ය නැත. අප වටා ඇති වාතයේ තිබෙන සියයට 21ක ඔක්සිජන් ප්‍රමාණය සියයට 15ක් දක්වා අඩු කිරීමට ඔබට හැකි නම් වහා ගිනි ඇවිළෙනසුලු දියර සහ සමහර ඝන ද්‍රව්‍ය බොහෝමයක් ගිනිගනිද්දී එම ගින්න මර්දනය කර ගත හැකියි.

තාපය: කාමර උණුසුම් කරන තාපක, උදුන්, ප්‍රමාණයට වඩා වැඩි විදුලි ධාරිතාවක් ලබාගන්නා විදුලි රැහැන්, ගිනි පුපුරක් හෝ ගිනි අඟුරක්, විදුලි කෙටීමක්, වියළි ලඳු කැලෑවලින් හටගන්න උණුසුම, වහා ගිනි ඇවිළෙනසුලු රසායනික ද්‍රව්‍ය හෝ වෙනත් එවැනි ඕනෑම දෙයක් මගින් ගින්නක් ඇතිවීමට අවශ්‍ය කරන තාපය ලැබිය හැක. එක් දෙයක් මතක තබාගන්න. උදුන මත තිබෙන තෙල් බඳුනෙන් හෝ වෙනයම් තැනකින් දුමක් නඟිනවා නම්, ඉබේටම එයින් ගින්නක් ඇතිවීමට ගත වන්නේ තත්පර කිහිපයක් පමණි.

ඕනෑම කුඩා ගින්නකට සරිලන පරිදි සකසා ඇත

බොහෝ නිවෙස්වල ගිනි නිවනයක් නොතිබුණත් කර්මාන්ත ශාලා, කාර්යාල සහ පොදු ගොඩනැඟිලිවල අනිවාර්යයෙන්ම ගිනි නිවනයක් තැබීමට නීතියෙන් නියෝග කර තිබේ. වතුර, රසායනික දියර, පෙණ, වියළි කුඩු සහ කාබන් ඩයොක්සයිඩ් වැනි මූලික වර්ගයන්ගෙන් මෙම ගිනි නිවන ලබාගත හැක. හැලන් ගිනි නිවනය මගින් පෘථිවි වායු ගෝලයේ ඕසෝන් ස්තරයට හානි පැමිණෙනවායයි මතයක් තිබෙන නිසා එය ක්‍රමක්‍රමයෙන් භාවිතයෙන් බැහැර කර ඇත. හදිසි අවස්ථාවකදී නිවැරදි ගිනි නිවනය තෝරාගැනීමට හැකි වන පරිද්දෙන් එය භාවිත කරන්නන්ගේ පහසුව තකා ගිනි නිවනය මතුපිට රූපසටහන් හෝ විවිධ වර්ණ පෙන්නුම් කර තිබේ. සමහරක් ගිනි නිවන ගින්නේ ස්වභාවයට අනුව A, B සහ C වශයෙන් නම් කර ඇත. ගිනි නිවනය ඇතුළත ඇති අධි පීඩන ගෑස් හේතුවෙන් එය විවෘත කරන විට ඇතුළත ඇති ද්‍රව්‍ය ඉතාමත් අධික වේගයකින් එහි විවරයෙන් (නොසලයෙන්) පිටතට පැමිණේ. ගිනි නිවනය තුළ අසුරා ඇති ගෑස් පීඩනයක් යටතේ තිබෙන නිසා කාලයෙන් කාලයට එහි තත්වය පරීක්ෂා කර බැලිය යුතුයි. එමෙන්ම ගිනි නිවනය ගොඩනැඟිල්ලක හෝ නිවසක පිට වන ස්ථාන අසල තැබිය යුතු අතර ඒ වෙත පහසුවෙන් ළඟාවීමට හැකියාවක් තිබිය යුතුයි. දැන් මෙම එක් එක් වර්ගයේ ගිනි නිවන පිළිබඳව සුළු අවබෝධයක් ලබාගනිමු.

වියළි කුඩු ගිනි නිවන රසායනික ද්‍රව්‍ය උපයෝගි කරගෙන දහනය වළක්වාලීමේ ක්‍රමයකි. ඕනෑම ආකාරයක ගින්නක් නිවීමේ ක්‍රමයක් ලෙස මෙය බොහෝදුරට සැලකිය හැක. එම ක්‍රමය A සහ B කාණ්ඩයේ ගිනිගැනීම් සඳහා පමණක් නොව C කාණ්ඩයේ (විදුලි උපකරණ) ගිනිගැනීම් සඳහාද භාවිත කළ හැක. මෙම බහුකාර්ය ගිනි නිවනය ඔබේ නිවසෙහි ආරක්ෂාවට කදිමය. වියළි කුඩු සැම තැනම විසිර යෑමෙන් යම් අපහසුතාවන්ට මුහුණ දීමට සිදු වුවත් ගින්නකින් ඇති විය හැකි මහත් ව්‍යසනයත් සමඟ සන්සන්දනය කරන විට එය එතරම් දෙයක් නොවෙයි!

සම්පීඩනය කරන ලද ජල ගිනි නිවන වහා ගිනි ඇවිළෙනසුලු ද්‍රව්‍යයන් වන කඩදාසි, ලී, ප්ලාස්ටික්, කසළ නැතහොත් රෙදි ආදිය ගිනිගනිද්දී මෙය පාවිච්චි කිරීම සුදුසුයි. මේවා A කාණ්ඩයේ ගිනිගැනීම් ලෙස හඳුන්වයි. ඇත්තෙන්ම තාපය උරාගැනීමට ජලය සතු හැකියාව ඉතාමත් ඉහළයි. මේ හේතුව නිසා, ප්‍රමාණවත් ජල සැපයුමක් තිබෙන විට ගින්න මගින් තාපය නිකුත් කිරීමට ගත කරන කාලයට වඩා වැඩි වේගයකින් ජලයට ගින්නේ තාපය උරාගත හැක. ප්‍රතිඵලයක් වශයෙන් ගින්න නිවී යයි. නමුත් ගිනි ඇවිළෙනසුලු දියර සඳහා ජලය යොදා නොගන්න. එයින් සිදු වන්නේ ඇවිළෙන ගින්නට පිදුරු දැමීමකි! එමෙන්ම ජලය විදුලි සන්නායකයක් වන නිසා, විදුලි කාන්දු වීමකින් හටගන්න ගින්නකදී හෝ විදුලි රැහැන් අසල සිට හෝ ජල ගිනි නිවනයක් යොදා නොගත යුතුය.

රසායනික දියර ගිනි නිවන මෙහි අඩංගු වන්නේ සම්පීඩනය කරන ලද යවකාර ලුණු මිශ්‍රිත ජලයයි. මෙය ආහාර පිසීමේදී යොදාගන්නා තෙල් ගිනිගත් විට එම ගින්න නිවීමට භාවිත කළ හැක. ඒ වගේම A කාණ්ඩයේ ගිනිගැනීම් සඳහාද යෝග්‍යයි. නමුත් පැට්රෝලියම් නිපැයුම් හා සම්බන්ධ ගින්නක් සඳහා එය යෝග්‍ය නොවෙයි.

පෙණ ගිනි නිවන A කාණ්ඩයේ ගිනිගැනීම් සඳහා පමණක් නොව ගිනි ඇවිළෙනසුලු දියර (කර්මාන්ත ශාලාවල යොදාගන්නා ලිහිසි තෙල්, ඉන්ධන, තීන්ත ආදිය) එනම් B කාණ්ඩයේ ගිනිගැනීම් සඳහාද සුදුසුයි. මෙම පෙණ සහිත ගිනි නිවන වර්ග දෙකක් තිබෙන නිසා ඔබට සුදුසු වර්ගය කුමක්දැයි පරීක්ෂා කර බලන්න. දැවෙමින් තිබෙන දියරයකට පෙණ සහිත ගිනි නිවනය භාවිත කරන විට, එහි ඇති පෙණ පටලය ගින්න වසාගන්න අතර ඔක්සිජන් වායුව ඒමටද බාධා කරවයි. නමුත් මෙම පෙණ ගින්න මත එක තැනක රැඳෙන ලෙස නොව විසිරී යන ආකාරයට ඉසිය යුතුයි. නැතහොත් සිදු වන්නේ එම පෙණ ගින්න පුරා විහිදෙනවා වෙනුවට එක් තැනකින් පෙණ ටික දියරයට උරාගැනීමයි. තවද මෙය විදුලි බලය ඇති ස්ථාන අසල සිට භාවිත නොකිරීමටද වගබලා ගන්න.

කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවන ගෑස් කාන්දු වීමකින් හටගත් ගින්නක් හැර අනෙකුත් ඕනෑම ගිනිගැනීමකදී භාවිත කළ හැක. මෙහිදී සිදු වන්නේ කාබන් ඩයොක්සයිඩ් මගින් ඔක්සිජන් වායුවේ බලපෑම නැති කර දැමීමයි. එනමුත් අප කලින් දුටු ආකාරයට ගින්නේ උණුසුම තිබේ නම් හදිස්සියේ නැවතත් ගින්නක් හටගැනීමට හැකියාවක් ඇත. කාබන් ඩයොක්සයිඩ් වායුවක් නිසා, හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිසරයකදී එහි බලය පහත වැටේ. එම වායුවේ ඇති පිරිසිදුකම නිසා ඉතා සියුම් යන්ත්‍ර සහ ඉලෙක්ට්‍රොනික උපකරණ ආදිය ගිනිගැනීමකට ලක් වූ විට මෙය යොදාගැනේ. වසා ඇති ස්ථානයක මෙය යොදාගන්නා විට කාබන් ඩයොක්සයිඩ් නිසා ඔබේ හුස්ම හිර විය හැකියි. එමනිසා එවැනි ස්ථානයකදී ගින්න නිවා දැමූ විගස එතැනින් පිටවීමට පියවර ගත යුතු අතර, ඔබ පිට වූ පසු දොර වැසීමටද වගබලා ගන්න.

ෆයර් බ්ලැන්කට් (ගිනි ආරක්ෂක කබාය) a ඇත්තෙන්ම එය ඉතාමත් ප්‍රයෝජනදායක ගිනි නිවීමේ උපකරණයකි. එය මුළුතැන් ගෙයි උදුනක් මත ඇති වූ ගින්නක් හෝ බිම් ඇතිරිල්ලක් මත ඇති වූ ගින්නක් නිවීමට ඉතා යෝග්‍යයි. එය එල්ලා තිබෙන තැනකින් රැගෙන ගින්න මත එළීමෙන්, ගින්නෙන් ආරක්ෂා වීමටත් ගින්න නිවා දැමීමටත් හැකියි. ඒ වන විටත් ඔබ උදුන නිවා නොමැති නම් හැකි ඉක්මනින්ම එය නිවා දමන්න.

ඔබේ ඇඳුමට ගිනි ඇවිළුණු විට ෆයර් බ්ලැන්කට් එක මාර්ගයෙන් ආරක්ෂාවක් ලබාගත හැකියි. නමුත් එවැනි අවස්ථාවක මෙම වචන තුන මතක තබාගන්න. “නවතින්න, බිම වැතිරෙන්න, පෙරළෙන්න.” කවමදාකවත් දුවන්න එපා. එයින් සිදු වන්නේ ගින්න තව තවත් වැඩිවීම පමණයි. ඔබ බිම පෙරළෙන විට ඔබම හෝ වෙන කවුරුන් හෝ ඔබේ ඇඟ වටා බ්ලැන්කට්ටුවක් එතීමෙන් ඉතා ඉක්මනින්ම ගින්න නිවා දැමිය හැක.

ගිනි නිවනයට වඩා හොඳ දෙයක්

ගින්නකින් ආරක්ෂා විය හැකි හොඳම ක්‍රමය වන්නේ ගින්නක් ඇති නොවීමට වගබලා ගැනීමයි. එමනිසා සුපරීක්ෂාකාරිව කටයුතු කරන්න. ගිනි පෙට්ටි සහ ලයිටර ආදිය දරුවන්ගෙන් ඈත් කර තබන්න. ඔබේ උදුන වටා ඇති ගිනි ඇවිළෙනසුලු සියලුම දේවල් ඉවත් කරන්න. කෑම පිසින අවස්ථාවලදී කඩා හැළෙන අත් සහිත ඇඳුම් ඇඳීමෙන් ඒවාට පහසුවෙන්ම ගිනි ඇවිළීමට ඉඩ තිබේ. නිවසේ යම් තැනක දුමක් නඟිනවා නම් එය සොයාගැනීමට හැකියාවක් තිබෙන උපකරණ (smoke detectors) වෙළඳපොළෙන් මිල දී ගත හැකි අතර, එවැනි උපකරණයක් ඔබේ නිවසෙත් සවි කරගත හැක.

අමතර යෝජනා කිහිපයක්ද මතු දැක්වේ. විදුලි කෙවිනිවලින් හෝ විදුලි රැහැන්වලින් වැඩි විදුලි ධාරිතාවක් වැය වන ලෙස ඒවා භාවිත නොකරන්න. අසල කිසිවෙකු නොමැති විට තෙල් බඳුන් ආදිය ලිප මත තබා නොයන්න. ඒ වගේම, ඔබේ කාමරය උණුසුම් කරන තාපකය තබන ස්ථානය ගැනත් කල්පනාකාරි වන්න. ඔබේ නිවසේ ගෑස් සිලින්ඩර තිබේ නම්, ඒවා තැබිය යුත්තේ නිවසෙන් පිටතය. එමෙන්ම, ගින්නකදී වහාම ගිනි ඇවිළිය හැකි ඒවායේ ආරක්ෂක කපාට (safety valves) නිවසට ප්‍රතිවිරුද්ධ දිශාවට මුහුණලා තබන්න. නිවැරදි විදුලි විලායකයන් (ෆියුස්) භාවිත කරන්න. කැඩී ගිය විදුලි රැහැන් අහක් කර අලුත් ඒවා යොදන්න.

නිවසේ ගිනිගැනීමක් සිදු වුවහොත් ඉන් පිට වන ආකාරය පිළිබඳව පෙරහුරුවක් කිරීම ගැන ඔබ සිතා බැලුවද? ඇත්තෙන්ම මෙමගින් බොහෝදුරට ජීවිත ගළවාගත හැකියි. දවාලක හෝ රාත්‍රියකදී වුවද පහසුවෙන් හමු විය හැකි ආරක්ෂිත තැනක මුණගැසීමට සැලසුම් යොදන්න. මෙහිදී වැඩියෙන්ම සැලකිල්ලට භාජන විය යුත්තේ, එවැනි අවස්ථාවක ළදරුවන් සහ ආබාධිත අයට උපකාර කරන්නේ කවුද? ගිනි නිවන හමුදාව අමතන්නේ කවුද? යන කාරණායි. පෙර පුහුණුව හේතුවෙන් ක්ෂණිකව පියවර ගැනීමට හැකියාවක් ලැබෙන නිසා හදිසි ගින්නකදී දිවි ගළවාගත හැකියි.

ගින්නක් ඇති වූවොත්

බඩු බාහිරාදිය නැති වී ගියහොත් නැවත මිල දී ගත හැකියි. නමුත් අපේ ජීවිතය නැවත ලබාගත නොහැකි බව මතක තබාගන්න. එමනිසා ඔබේ ජීවිතය අනතුරේ තබමින් ගින්න නිවීමට තැත් නොකරන්න. ඔබට ආරක්ෂාකාරිව පිටවීමට මාර්ගයක් තිබේ නම් පමණක් ගින්න නිවීම සඳහා පියවර ගන්න. ඒත් ඔබ ළඟ තිබෙන ගිනි නිවනය නිවැරදිද යන්න හා එය ගින්න නිවීමට ප්‍රමාණවත්ද යන්න ගැන ඔබට සැකයක් තිබේ නම් ඉක්මනින්ම ගිනි නිවන හමුදාව අමතන්න.

මෙයත් මතක තබාගන්න. එනම් ගිනිදැල්වලට වඩා කෘත්‍රිම ද්‍රව්‍ය නිසා ඇති වන විෂ දුම නිසා මිනිසුන් විශාල සංඛ්‍යාවක් මරණයට පත් වේ. එය කොතරම් ප්‍රබලද කිවහොත් එයට විනාඩි දෙකකින් පුද්ගලයෙකුව ජීවිතක්ෂයට පත් කළ හැකියි! ඔබ ගිනි ඇවිළෙමින් තිබෙන ගොඩනැඟිල්ලකින් පිට වෙන විට පහත් වී පිට වෙන්න. මන්ද පොළොව මට්ටමේදී දුම අඩුවෙන් තිබෙන අතර වාතයද සිසිල්ව පවතී. පුළුවන් නම් තෙත රෙදි කඩකින් කට වසාගන්න. දොරකින් පිටවීමට තැත් කරන විට අත්ල පිටුපසින් දොර උණුසුම්ද කියා පරීක්ෂා කර බලන්න. උණුසුම් නම් ඉන් අදහස් වන්නේ අනෙක් පැත්ත ගිනිගන්නා බවයි. පිටවීමට වෙනත් මාර්ගයක් සොයාගන්න. ඔබ පිට වන විට සියලුම දොරවල් වැසීමට වගබලා ගන්න. එමගින් ඇවිළෙන ගින්නට අවශ්‍ය ඔක්සිජන් නොලැබී යයි. ඒ වගේම ගිනිගැනීමකදී ආරෝහක (elevators) භාවිත කරන්න එපා. එය ඇතුළතදී ඔබට දැඩි රස්නයක් දැනීමට ඉඩ තිබේ. ඒ විතරක් නොවෙයි සමහර විට ඔබව ගින්නට පවා හසුවීමට ඉඩ ඇත.

ඔබේ නිවසට, වාහනයට හෝ කාර්යාලයට ගිනි නිවනයක් මිල දී ගැනීමට අදහස් කරනවා නම් ඒ පිළිබඳව ඔබේ පළාතේ ගිනි ආරක්ෂක අධිකාරීන්ගෙන් විමසන්න. මෙම ලිපියේ සඳහන් විස්තර බොහෝමයක් රටින් රටට වෙනස් වන අතර සඳහන් කර නොමැති දේවල්ද තිබිය හැක.

ඊළඟ වතාවේදී ඔබ මෙවැනි කුඩා සිලින්ඩරයක් පසු කර යන විට, ඒ දෙස සමීප බැල්මක් හෙළන්න. මන්ද ඔබ කවදා හෝ දිනක එයට ණයගැති වීමට ඉඩ ඇත.

[පාදසටහන]

a ඔබේ රටේ ෆයර් බ්ලැන්කට් භාවිතයේ තිබේ නම් එය නිවැරදිව පාවිච්චි කරන ආකාරය දැනගන්න. ෆයර් බ්ලැන්කට් භාවිතය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ගිනි ආරක්ෂක සංවිධානය මෙසේ අදහස් දක්වයි. “එය ප්‍රබල ගිනි නිවීමේ උපකරණයක් නොවන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි. එය භාවිත කළ යුත්තේ පහසුවෙන් ගත හැකි නම් පමණි. වැරදි විදිහට බ්ලැන්කට්ටුව භාවිත කිරීම නිසා හෝ ගින්න නිවී ගිය පසු බ්ලැන්කට්ටුව ඉවත් නොකිරීම නිසා විශාල දුමක් ඇති විය හැකි අතර, බ්ලැන්කට්ටුව එතීමේදී දුම් මුහුණට වැදීමෙන් පිලිස්සීමක් හෝ වෙනයම් අනතුරක් සිදු විය හැකියි.”

[25වන පිටුවේ රූප සටහන⁄පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

ගිනිගැනීම්

ඉන්ධන

තාපය

ඔක්සිජන්

[පින්තූර]

A කාණ්ඩයේ

B කාණ්ඩයේ

[හිමිකම් විස්තර]

Chubb Fire Safety

[26වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

ඔබේ ඇඳුමට ගිනි ඇවිළුණොත් දුවන්න එපා

1. නවතින්න

2. බිම වැතිරෙන්න

3. පෙරළෙන්න

[හිමිකම් විස්තර]

© Coastal Training Technologies Corp. Reproduced by Permission

[24වන පිටුවේ පින්තූරය]

නිවෙස්වල තැබිය හැකි බහුකාර්ය ගිනි නිවන තිබේ

[හිමිකම් විස්තර]

ඉහත පින්තූරය: Reprinted with permission from NFPA 10-1998, Portable Fire Extinguishers, Copyright © 1998, National Fire Protection Association, Quincy, Massachusetts 02269. This reprinted material is not the complete and official position of the NFPA on the referenced subject which is represented only by the standard in its entirety.