Skip to content

පටුනට යන්න

පෙම් කිරීමට මා ළාබාල වැඩියි කියා දෙමාපියන් සිතනවා නම්?

පෙම් කිරීමට මා ළාබාල වැඩියි කියා දෙමාපියන් සිතනවා නම්?

යෞවන අය අසති . . .

පෙම් කිරීමට මා ළාබාල වැඩියි කියා දෙමාපියන් සිතනවා නම්?

“අම්මා ඔයා තාම ඉන්නෙ කෝපි කාලේ. මේ 50 ගණන් නෙවෙයි. හැමෝම ආදරේ කරනවා. දැන් මං ඔයාගේ පුංචි කෙල්ල නෙවෙයි.”—16-හැවිරිදි ජේනි. a

ඔබ පෙම් කිරීමට ළාබාල වැඩියි කියා පවසනු ලැබුවහොත් ඔබට යම් කලකිරීමක් ඇති විය හැකියි. මේ සම්බන්ධයෙන් යෞවනයෙක් මෙසේ අදහස් පළ කරයි. “මට ඕනෙ බයිබලේ කියන විදිහට මගේ තාත්තටයි අම්මටයි ගරු කරන්නයි. ඒත් මං හිතන්නේ නැහැ ඒගොල්ලෝ හරියි කියල. මේ ගැන ඒගොල්ලෝ එක්ක කතා කරන්නේ කොහොමද කියල මට තේරෙන්නේ නැහැ.” මේ තරුණයා මෙන් ඔබටත්, ඔබේ දෙමාපියන් අසාධාරණයි, කිසිම අනුකම්පාවක් දක්වන්නේ නැහැ කියා හැඟිය හැකියි. සමහරවිට ඔබ ඇත්තෙන්ම ආශා කරන කෙනෙකු ඔබට හමු වී තිබිය හැකි අතර ඔහුව හෝ ඇයව වඩාත් හොඳින් දැනහඳුනා ගැනීමට ඔබට ආශාවක් ඇති විය හැකියි. එසේ නැතහොත්, සම වයසේ මිතුරන් සමඟ වඩාත් හොඳින් පෑහී සිටීම සඳහා පෙම් සබඳතාවක් ඇරඹීමට ඔබ තුළ පෙලඹීමක් ඇති විය හැකියි. “මේ වගේ පීඩනයක් තියෙන හින්දා හුඟක් ළමයි හිතන්නේ, ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන නැති කෙනෙක් හරිම අවාසනාවන්තයි කියලයි” කියා මිෂේල් පවසයි.

එක් පවුල් උපදේශිකාවක් පෙම් කිරීම සම්බන්ධයෙන් පැවසුවේ මෙයයි. “අනිත් හැම දේකටම වඩා දෙමාපියන් අසාධාරණයි කියලා පේන්නේ මේ පැත්තෙනුයි.” ඔබේ දෙමාපියන් අසාධාරණ බව පෙනෙන්න තිබුණත් ඔවුන් ඇත්තෙන්ම අසාධාරණද? ඔබට ඉගැන්වීමේ හා මඟ පෙන්වීමේ මෙන්ම ඔබව පුහුණු කිරීමේ හා රැකබලා ගැනීමේ වගකීම පවරා තිබෙන්නේ ඔබේ දෙමාපියන්ට බව මතක තබාගන්න. (ද්විතීය කථාව 6:6, 7) මේ නිසා ඔබේ යහපත සම්බන්ධයෙන් සැලකිලිමත් වීමට ඔබේ දෙමාපියන්ට යම් සාධාරණ හේතු තිබෙනවා විය නොහැකිද? එක් දෙමාපියෙක් පවසන්නේ “සිද්ධ වෙන්න යන්නේ මොකක්ද කියලා මට තේරෙනවා. ඒක හරිම භයානක දෙයක්” කියායි. බාල කාලයේදීම පෙම් කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙමාපියන් තුළ එවැනි බියක් හටගන්නේ මන්ද?

හානිදායක හැඟීම්

“මං කාට හරි ආස වුණොත් මගේ දෙමාපියන් බලන්නේ ඒක වැරදි දෙයක් කියල පෙන්වන්නයි” කියා 14-හැවිරිදි බෙත් මැසිවිලි නඟයි. කෙසේනමුත්, ඔබේ දෙමාපියන් ක්‍රිස්තියානීන් නම්, දෙවි විසින් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයක් මවනු ලැබුවේ එකිනෙකා වෙත ආකර්ෂණය වීමට බව ඔවුහු හොඳින් දනිති. (උත්පත්ති 2:18-23) මෙම ආකර්ෂණය වීම ස්වාභාවික එකක් බවත්, එවැනි දෙයක් සිදු වන්නේ මැවුම්කරුගේ අරමුණ වන මනුෂ්‍යවර්ගයාගෙන් ‘පොළොව පූර්ණ කිරීම’ යන කාරණයට අනුකූලව බවත් ඔවුහු දැන සිටිති.—උත්පත්ති 1:28.

එපමණක්ද නොව, ඔබ “යෞවනයේ මල් පූදින වියේ” සිටින විට ඔබේ ලිංගික ආශාවන් කෙතරම් බලවත්ද කියාත් ඔබේ දෙමාපියන්ට වැටහේ. (1 කොරින්ති 7:36, NW) එම ආශාවන් පාලනය කරන ආකාරය සම්බන්ධයෙන් ඔබට අද්දැකීම් නැති බවත් ඔවුහු හොඳින් දනිති. විරුද්ධ ලිංගයේ කෙනෙකුව හමු වී හෝ දුරකථනයෙන් හෝ බොහෝ වේලා කතාබහ කරනවා නම්, නැතහොත් ලිපි ලියනවා නම් හෝ විද්යුත්-තැපෑලෙන් ලිපි හුවමාරු කරගන්නවා නම්, ආකර්ෂණය වීමට ඇති ඉඩකඩ වැඩියි. ‘ඒකෙ ඇති වැරැද්ද මොකක්ද’ කියා ඔබ ඇසිය හැකියි. ඇත්තෙන්ම, එවැනි ආශාවන් ඉටු කරගැනීමට ඔබට තිබෙන්නේ කුමන මාධ්‍යයද? තර්කානුකූලව බලන කල එම ආශාවන් ඉටු කරගැනීමේ උච්ච අවස්ථාව වන විවාහයට ඇත්තෙන්ම ඔබ සූදානම්ද? එසේ නොවිය හැක.

මෙලෙස ළාබාල වයසේදී පෙම් කිරීමෙන් ඇතැම් බරපතළ හානි සිදු විය හැකියි. බයිබලය අනතුරු අඟවන්නේ මෙසේයි. “මනුෂ්‍යයෙක් ගින්න තමාගේ ළයට ගත්තොත් ඔහුගේ ඇඳුම් නොපිළිස්සේද?” (හිතෝපදේශ 6:27) බොහෝවිට සිදු වන්නේ නොමේරූ වයසකදී ඇරඹෙන පෙම් සබඳතා පූර්ව විවාහ ලිංගික ඇසුරට මඟ පෑදීමයි. ප්‍රතිඵලයක් වශයෙන් අවිවාහක ගර්භිණීභාවයට හා ලිංගිකව පැතුරුණු රෝගවලට යෞවනයෝ නිරාවරණය වෙති. (1 තෙසලෝනික 4:4-6) උදාහරණයක් බලමු. යෞවන ටැමීගේ දෙමාපියන් ඇයට පෙම් කිරීමට ඉඩ නොහළ විට ඇය සිතුවේ ඇගේ දෙමාපියන් අසාධාරණයි කියාය. මේ හේතුවෙන් ඈ රහසිගතව පාසැල් ශිෂ්‍යයෙකු සමඟ පෙම් සබඳතාවක් ඇරඹුවාය. වැඩි කල් යන්න මත්තෙන් ඇය ගර්භිණී වූ අතර ඇගේ ජීවිතය වෙනස් විය. දැන් ඈ පසුතැවෙමින් මෙසේ පිළිගනී. “ආදරේ කරන එක හිතන තරම්ම සුන්දර දෙයක් නෙවෙයි.”

එහෙත්, යෞවනයන් දෙදෙනෙකු නුසුදුසු කිට්ටු වීමකින් වැළකී සිටීමට පරෙස්සම් වීම ගැන කුමක් කිව හැකිද? එවිට පවා, නිසි කලට පෙර ආදරයේ හැඟීම් පිබිදීමේ හෝ ඇවිස්සීමේ අන්තරාය පවතී. (සාලමොන්ගේ ගීතිකාව 2:7) අනාගතයේ යම් කලකදී තෘප්තිමත් කරගත යුතු ආශාවන් කලින් පුබුදුවාගැනීමෙන් සිදු වන්නේ කලකිරීමක් හා දුකක් ඇතිවීම පමණි.

එමනිසා මේ කරුණු කීපයත් මෙනෙහි කර බලන්න. විවාහ කලත්‍රයෙකු තුළ ඔබ බැලිය යුතු දේ දැනගැනීමට ඔබට ඇත්තෙන්ම ප්‍රමාණවත් අද්දැකීම් තිබේද? (හිතෝපදේශ 1:4) අනික් අතට, සැබවින්ම ප්‍රේමය හා ගෞරවය ලැබෙන ස්වාමිපුරුෂයෙකු හෝ භාර්යාවක වීමට අවශ්‍ය ගුණාංග හා දක්ෂතාවන් දැනටමත් ඔබ සතුව ඇද්ද? ඇත්තෙන්ම ඔබට දිගු කාලීන සබඳතාවක් පවත්වාගැනීමට අවශ්‍ය ඉවසීම හා අධිෂ්ඨානය තිබේද? නහඹර වියේ ඇති කරගන්න පෙම් සබඳතාවලින් වැඩි ප්‍රමාණයක් ඛේදජනක ලෙස කෙටි කලකින් අවසන් වීම පුදුමයක් නොවේ. දිගු කල් පවතින විවාහයන් බවට පත් වන්නේ ඉන් ස්වල්පයක් පමණි.

මේ සම්බන්ධයෙන් දහඅට හැවිරිදි මොනිකා වැදගත් යමක් පවසයි. “ඉස්කෝලේ යාළුවෝ ඔක්කොම ඒගොල්ලන්ගේ කොල්ලෝ ගැන විස්තර මාත් එක්ක කියනවා. ඒත් ඒගොල්ලෝ, එක්කෝ පොඩි වයසෙන්ම විවාහ වෙලා එහෙමත් නැත්නම් විවාහ වෙන්න තරම් සූදානමකින් ඉඳලා නැති නිසා ඒගොල්ලන්ගේ ප්‍රේම සම්බන්ධය කැඩිලා ගිහිල්ලා.” බ්‍රැන්ඩන් නම් යෞවනයාද මෙසේ පවසයි. “ඔබ කෙනෙකු හා බැඳීමට සූදානම් නැහැයි කියා ඔබට වැටහෙනවා වුණත් ඔබ ඒ තැනැත්තා සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන තිබෙන නිසා ඔබට ලොකු කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. අනිත් තැනැත්තාට රිද්දන්නේ නැතුව කොහොමද ඔබ සම්බන්ධය නතර කරන්නේ?”

විවාහ වීමට සුදුසු වයසකට එන තුරු පෙම් සබඳතාවක් ඇති කරගන්න එපා කියා ඔබේ දෙමාපියන් තරයේ පවසා සිටී නම්, නිසැකවම ඔවුන් වෑයම් කරන්නේ ඔබව වේදනාවෙන් හා කලකිරීමෙන් වළක්වාගැනීමටයි. ඇත්තෙන්ම ඔවුන් ක්‍රියා කරමින් සිටින්නේ දේශනාකාරයා 11:10හි දේවානුභාවයෙන් දී ඇති මෙම උපදෙසට එකඟවයි. “නුඹේ සිතෙන් ශෝකය පහකර නුඹේ මාංසයෙන් දුක දුරුකරන්න.”

‘පුළුල් වන්න’

කෙසේවුවත් මින් අදහස් කරන්නේ ඔබට විරුද්ධ ලිංගයේ අය සමඟ ඇසුරු කළ නොහැකි බවක් නොවේ. ඉතින් ඇයි එක පුද්ගලයෙකුට පමණක් ඔබේ ඇසුර සීමා කරන්නේ? බයිබලයේ තවත් පාඨයක අපේ ඇසුර සම්බන්ධයෙන් ‘පුළුල් වන්න’ කියා අපට දිරිගන්වයි. (2 කොරින්ති 6:12, 13) එය යෞවනයන්ට හොඳ උපදෙසකි. එය කළ හැකි එක් ක්‍රමයක් වන්නේ දෙපක්ෂයම සිටින කණ්ඩායම් අතරේ ඇසුර පවත්වාගැනීමයි. “ඒ විදිහට වැඩි විනෝදයක් ලැබෙනවා කියලයි මට හිතෙන්නේ. හුඟක් යාළුවෝ ඉන්න එක හොඳයි” කියා ටැමී පවසයි. මොනිකා මෙසේ පවසයි. “කණ්ඩායමක් හැටියට ආශ්‍රය කරන එක හොඳ අදහසක්. මොකද වෙනස් පෞද්ගලිකත්වයන් තියෙන අයව දකින්න ලැබෙන්නෙත්, තමන්ට මුණගැහුණේ නැති හුඟදෙනෙක් ඉන්න බව තමන්ට තේරුම් යන්නෙත් එතකොටයි.”

වෙනත් යෞවනයන් සමඟ සුදුසු ලෙස විනෝද වීමට සැලසුම් යෙදීම සඳහා ඔබට උපකාර කිරීමට ඔබේ දෙමාපියන් පවා කැමති විය හැකියි. දෙදරු මවක් වන ඈන් මෙසේ පැහැදිලි කරයි. “අපේ ගෙදර, ළමයින්ට ඉන්න ආස හිතෙන විනෝදකාමී තැනක් කරන්නයි අපි හැම වෙලාවෙම මහන්සි ගන්නේ. අපි ඒගොල්ලන්ගේ යාළුවන්ට ආරාධනා කරලා කන්න බොන්න දීලා, ඔහේ ටිකක් සෙල්ලම් කරන්න ඉඩඅරිනවා. මේ විදිහට කරනකොට විනෝද වෙන්න ගෙදරින් පිට යන්න ඕනෙයි කියලා ඒගොල්ලන්ට හිතෙන්නේ නැහැ.”

ඇත්තවශයෙන්ම, කණ්ඩායමක් සමඟ සිටියදී පවා එක පුද්ගලයෙකුට වැඩි අවධානයක් දීම සම්බන්ධයෙන් පරෙස්සම් විය යුතුයි. එහෙත් තමන් කණ්ඩායමක් අතරේ සිටින තාක් කල් තමන් ඇත්තෙන්ම පෙම් සබඳතාවක් ඇති කරගන්නේ නැහැයි කියා ඇතැම් යෞවනයෝ හේතු දක්වති. තමාවම එලෙස රවටාගැනීමෙන් වැළකෙන්න. (ගීතාවලිය 36:2) ඔබේ මිතුරන් සමඟ එකට එකතු වන සෑම අවස්ථාවකදීම එකම තැනැත්තෙකු සමඟ ඇසුරු කරනවා නම් එය පෙම් කිරීමකට සමානය. b විරුද්ධ ලිංගයේ අය සමඟ මිත්‍රත්වයන් පැවැත්වීමේදී හොඳ විනිශ්චයක් කිරීමට ඉගෙනගන්න.—1 තිමෝති 5:2.

බලා සිටීමේ ප්‍රයෝජනය

පෙම් කිරීමට ඔබ ළාබාල වැඩියි කියා යමෙකු ඔබට පවසනවා ඇසීමට ඔබ කැමති නොවනු ඇත. එහෙත් ඔබේ දෙමාපියන් උත්සාහ කරන්නේ ඔබව රිදවීමට නොවේ. ඊට වෙනස්ව, ඔවුන්ට කළ හැකි සෑම දෙයක්ම ඔවුන් කරන්නේ ඔබට උපකාර කිරීමට හා ඔබව ආරක්ෂා කිරීමටයි. මේ නිසා, ඔවුන්ගේ උපදෙස් ප්‍රතික්ෂේප කරමින් ඔබේ හෘදය කෙරෙහි විශ්වාසය තබනවා වෙනුවට ඔවුන්ගේ අද්දැකීම්වලින් ප්‍රයෝජන නොගන්නේ මන්ද? උදාහරණයක් වශයෙන්, ඔබට විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වන ඊළඟ වතාවේදී ඔවුන්ගේ උපදෙස් නොපතන්නේ මන්ද? හිතෝපදේශ 28:26 අපට මෙසේ සිහිගන්වයි. “තමාගේම සිත කෙරෙහි විශ්වාසය තබන්නා අඥානයෙක්ය.” යෞවන කොනී මෙසේ පවසයි. “කොල්ලෙක් මට කැමැත්තක් දක්වනකොට මං ඒ ගැන අම්මත් එක්ක කතා කරනවා. එතකොට මට පුළුවන් වෙනවා එයාට ආදරේ කරන්න පෙලඹෙන්නේ නැතුව ඉන්න. ඒ වගේම අම්මා මට ඇගේ මිතුරු මිතුරියන්ට හා පවුලේ සාමාජිකයන්ට අතීතයේදී සිද්ධ වුණ දේවල් ගැන කියනවා. ඇත්තෙන්ම ඒක මට උපකාරයක්.”

පෙම් සබඳතා ඇරඹීමට කාලයක් බලා සිටීම, ඔබේ චිත්තවේගීය වර්ධනයට බාධාවක් හෝ නිදහසට වැට කඩොලු බැඳීමක් නොවේ. පූර්ව විවාහ ඇසුරේ හා විවාහයේ වගකීම් දැරීමට තරම් මේරුභාවයකට ඔබ තවමත් පැමිණ නැති නිසා ‘ඔබේ යෞවන වයසේදී ප්‍රීතිවීමට’ ඔබට නිදහස තිබේ. (දේශනාකාරයා 11:9) කාලයක් බලා සිටීමෙන් ඔබේ පෞද්ගලිකත්වය, මේරූභාවය හා සියල්ලටම වඩා ඔබේ ආත්මිකත්වය වර්ධනය කරගැනීමට ඔබට හැකි වනු ඇත. (විලාප ගී 3:26, 27) එක් ක්‍රිස්තියානි යෞවනයෙකු පවසන ආකාරයට, “ඔබ තවත් කෙනෙකු හා බැඳීමට කලින් යෙහෝවා සමඟ බැඳීමක් ඇති කරගත යුතුයි.”

ඔබ වයසින් මුහුකුරා ගොස්, සැමට ඔබේ දියුණුව පැහැදිලිව දැකිය හැකි මට්ටමට පැමිණි විට, ඔබේ දෙමාපියන් ඔබ දෙස වෙනත් කෝණයකින් බැලීමට පටන්ගනු ඇත. (1 තිමෝති 4:15) එමෙන්ම, ඔබ පෙම් කිරීමට සුදුසු වයසට පැමිණි විට, ඔවුන්ගේ ආශීර්වාදය මැද නිසැකවම ඔබට පෙම් කිරීමට හැකි වනු ඇත.

[පාදසටහන්වල]

a නම් වෙනස් කර ඇත.

b වැඩි විස්තර සඳහා Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත යෞවනයන් අසන ප්‍රශ්න—ක්‍රියාවට නැගිය හැකි පිළිතුරු නමැති පොතේ 232-3 පිටු බලන්න.

[20වන පිටුවේ පින්තූර]

විශේෂ අවධානයක් දෙමින් විරුද්ධ ලිංගයේ කෙනෙකු සමඟ තනිවීමෙන්. . .

. . . සාමාන්‍යයෙන් සිදු වන්නේ ප්‍රේමාතුර හැඟීම් පිබිදීමයි

[21වන පිටුවේ පින්තූරය]

එක්කෙනෙකු කෙරෙහි පමණක් උනන්දු වීමට සීමා නොවී ඔබේ මිත්‍රත්වය පුළුල් කරන්න