Skip to content

පටුනට යන්න

වන ලැහැබක දරු සෙනෙහස

වන ලැහැබක දරු සෙනෙහස

වන ලැහැබක දරු සෙනෙහස

කෙන්යාවේ පිබිදෙව්! වාර්තාක රුවිසින්

හිමිදිරි අරුණලු විහිදී එත්ම ඉමක් කොනක් නැති අප්‍රිකානු තැනිතලා භූමිය මදක් දෙදරුම් කයි. එය නව ජීවිතයක් එළි දකින බවට ලකුණකි. මෙම අලුත උපන් පොඩි පැංචා අලි පැටියෙකි. පොඩිත්තා පොළොවට පතිත වෙත්ම අම්මා ඌව ආදරයෙන් බදාගනිමින් නැඟිට්ටවන්න හදයි. අලුත උපන් පැටියාව පිළිගැනීමට වෙනත් අලි අම්මලා, අක්කලා දුවගෙන ඇවිත් ඌ වටා රොක් වෙති. උන්ටත් පැටියාව අතගාන්නත් ඉඹින්නත් ප්‍රස්තාවක් ලැබේ. ඔව්, අඩි තුනක් පමණ උස හා කිලෝග්‍රෑම් 120ක් පමණ බරැති මේ පැංචාගේ උපත මුළු අලි රංචුවටම සුභ ආරංචියකි.

අප්‍රිකාවේ සිට කිලෝමීටර දහස්ගණනක් ඈතින් පිහිටි අමෙරිකා මහද්වීපවල ගස් අතුරින් වෙරළු ගෙඩියක් තරම් කුඩා කැදැල්ලක් දිස් වේ. මෙම නිවහනට හිමිකම් පාන්නේ කුරුමිණි ගුමන කුරුලු ජෝඩුවකි. කුරුමිණියන් තරම් කුඩා මෙම කුරුලු ජෝඩුව කැදැල්ල සාදා ඇත්තේ තම පැටික්කන් දෙදෙනාගේ රැකවරණය සඳහාය. විදුලි වේගයෙන් පියාසර කරන දිදුලන වර්ණවලින් යුත් මොවුන්, තම පැටවුන්ගේ ආරක්ෂාව ගැන කොතරම් සැලකිලිමත් වෙනවාද කිවහොත්, මහත් එඩිතරකමක් විදහාපෙන්වමින් කැදැල්ල වෙතට පැමිණෙන විශාල සතුන්ව පමණක් නොව මනුෂ්‍යයන්ව පවා පලවාහරී.

සත්ව පැටවුන් වෙත අප කොයි කාගෙත් සිත ඇදී යයි. කුඩා දරුවෙකු බලු පැටවුන්ගේ උපත නරඹන්නේ මොනතරම් කුතුහලයකින්ද කියා සිතා බලන්න. එමෙන්ම පූස් පැටවෙකු නටන නාඩගම් දෙස බලද්දී, එසේත් නැත්නම් හුරුබුහුටි වඳුරු පැටවෙකු තම අම්මාගේ ඇඟේ එල්ලීගෙන සිටින ආකාරය හෝ කැදැල්ලේ සැඟවී ඇසිපිය නොහෙළා බලා සිටින කුඩා බස්සෙකුගේ විශාල නෙත් යුගළ දෙස බලද්දී අප ආස්වාදයක් ලබන්නේ නැද්ද?

සත්ව පැටවුන් කුඩා දරුවන් තරම්ම තම දෙමව්පියන් මත යැපෙන්නේ නැත. සමහර පැටවුන්ට උපන් මොහොතේ සිටම දුව පැන යා හැක. තවත් පැටවුන් මෙලොව එළිය දකින මොහොතේ සිටම තනි වේ. උන්ව ආරක්ෂා කරන්නවත් පෝෂණය කරන්නවත් කිසිවෙකු නැත. කොහොම වුණත්, සත්ව ලෝකයේ මෙන්ම කෘමි ලෝකයේ පැටවුන්ගෙන් වැඩි හරියක් පෝෂණය, රැකවරණය, පුහුණුව ආදිය සඳහා යැපෙන්නේ තම දෙමව්පියන් මතය. ඇත්තෙන්ම සමහර පැටවුන් හා දෙමව්පියන් අතර තිබෙන්නේ ඉතා කිට්ටු බැඳීමකි.

අරුම පුදුම මාපියන්

සාමාන්‍යයෙන් කෘමීන්, මත්ස්‍යයන්, උභයජීවීන් හා උරගයන් තම පැටවුන්ගේ සුභසිද්ධිය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැත. එහෙත් එම සතුන් අතර පවා කැපීපෙනෙන ආකාරයේ දෙමව්පියන් සිටී. චලතාපි උරගයෙකු වන නයිල් කිඹුලා මීට හොඳ නිදසුනකි. ඌ පුදුමාකාර ලෙස තම පැටවුන්ට රැකවරණය ලබා දෙයි. මාපිය යුවළ උණුසුම් වැලි තුළ තම බිත්තර තැන්පත් කළ පසු ඒ ළඟම ගැවසෙමින් බිත්තර ආරක්ෂා කරති. බිත්තරවලින් පිටතට එන්න සූදානම් වෙද්දී, විවිධ ශබ්ද පිට කරමින් වැලිවලින් වසා ඇති බිත්තර එළියට ගන්න කියා කිඹුල් පැටව් සංඥා කරති. ඉන්පසු මව් කිඹුලිය තම පැටවුන්ව ජල අද්දරට ගෙන ගොස් උන්ගේ සිරුරේ ඇති වැලි සෝදා දමයි. ඇයට ඇත්තේ භයංකර පෙනුමක් වුවත් ඇය තම ශක්තිමත් හකුවලින් පැටවුන්ව ගෙන යන්නේ ඉතාමත් පරිස්සමෙනි. ඇතැම් අවස්ථාවලදී කිඹුල් පියාද එසේම කරන බව කියැවේ. දියට පුරුදු වන තෙක් කිඹුල් පැටවුන් පීනන්නේ තාරා පැටවුන් මෙන් තම මව් පසුපසිනි. උන්ගේ මවට කිසිවෙකු තර්ජන එල්ල නොකරන නිසා උන්ට අවශ්‍ය ආරක්ෂාව ලැබේ.

පුදුමයකට මෙන් ඇතැම් මත්ස්‍යයන් පවා තමන් හොඳ මාපියන් බව ඔප්පු කරයි. මිරිදිය මත්ස්‍ය විශේෂයක් වන තිලාපියාව උදාහරණයකට ගන්න. ඩිම්බ මෝචනය හා සංසේචනයෙන් පසු බිහි වන බිත්තර ආරක්ෂා කිරීම සඳහා තිලාපිය යුවළ බිත්තර තම මුඛය තුළට ගනිති. බිත්තරවලින් පිටතට ආ පුංචි එවුන් පීනන්නේ තම දෙමව්පියන්ට සමීපවයි. අනතුරක සේයාවක්වත් දුටුවොත් පැටවුන් තම මුඛය තුළ සඟවාගැනීමට මාපිය යුවළ පසුබට නොවේ. අනතුරක් නැති බව හැඟුණාට පස්සේ පුංචි එවුන් නැවතත් එළියට ඇවිත් සුපුරුදු පරිදි එහෙ මෙහෙ පීනයි.

කුහුඹුවන්ට, මී මැස්සන්ට හා වේයන්ටද පැටවුන් රැකබලා ගැනීමට සහජ නැඹුරුවාවක් ඇත. සමාජශීලී කෘමීන් ලෙස හඳුන්වන උන් ජීවත් වන්නේ රංචු පිටිනි. උන් බිත්තරවලට පවා නිවහනක් සාදන අතර පැටවුන්ට කෑම බීම සපයා දීමට සෑහෙන ආයාසයක් දරන බව පැවසිය හැක. මෙයට හොඳ නිදසුනක් වන්නේ පැණි මී මැස්සාය (honeybee). මී වදයේ සිටින පිලවුන්ගේ රැකවරණය සඳහා මෙම කඩිසර මී මැස්සන් දහස් ගණනක් සහයෝගයෙන් වැඩ කරති. සහජයෙන්ම ලැබී තිබෙන බුද්ධිය හේතුවෙන් මී වදයේ සිටින පිලවුන් හදාවඩා ගැනීම සඳහා ළමාගාරයක් වැනි ස්ථානයක් ගොඩනැඟීමට මෙන්ම එය අලුත්වැඩියා කිරීමට, පිරිසිදු කිරීමට හා එහි උෂ්ණත්වය හා ආර්ද්‍රතාව පාලනය කිරීමට පවා උන්ට හැක.

අහස් කුසෙහි වැඩෙන ළමෝ

සාමාන්‍යයෙන් කුරුල්ලන් හොඳ මාපියන් කියා පැවසිය හැක. උන් කැදැල්ල සෑදීම සඳහා සුදුසු ස්ථානයක් සොයාගැනීමට, කැදැල්ල සෑදීමට හා පැටවුන් ඇති දැඩි කිරීමට සෑහෙන වෙහෙස මහන්සි වෙති. අප්‍රිකාවේ කෑදැති කුරුල්ලෙකු තම බිරියට ආහාර සැපයූ ආකාරය සැලකිල්ලට ගන්න. ඌ බිජු රකින කිරිල්ලියට දින 120ක් පුරා පලතුරු කැබලි 24,000ක් රැගෙන තම කැදැල්ල වෙතට 1,600කටත් වැඩි වාර ගණනක් ගිය බව වාර්තා වේ!

සැරිසරන ඇල්බත්‍රොසයා (wandering albatross) බිරියවත් දරුවන්වත් පෝෂණය කිරීමට වෙහෙසෙන තවත් කුරුල්ලෙකි. කුරුලු සැමියා කිලෝමීටර් දහස්ගණනක් ඈතට පියාඹා කෑම සොයන අතරතුර උගේ විශ්වාසවන්ත බිරිය ඌ එන තෙක් කැදැල්ලට වී බලා සිටින්නීය.

කාන්තාර ප්‍රදේශවල ලැගුම් ගන්නා ඇතැම් කුරුල්ලෝ තම පැටවුන්ගේ පිපාසය සංසිඳවීමට අපූරු ක්‍රමයක් යොදාගනිති. උන් වතුර වළක් වෙතට ගොස් ළයේ පිහාටු හොඳින් තෙමාගන්නා අතර, නැවතත් කැදැල්ලට ගොස් පැටවුන්ට තම පිහාටුවලින් වතුර උරා බොන්න ඉඩ සලසති.

සෑහෙන පිරිසකට කෑම සොයන්න සිදු වන විට ඇතැම් කුරුල්ලන් තම පැටවුන් බලාකියා ගැනීමට වෙනත් කුරුල්ලන්ව “අත් උදව්වට” ගන්නේය. මෙම අත් උදව්කාරයන් සාමාන්‍යයෙන් එම කුරුලු ජෝඩුවගේම වැඩිමල් දරුවන් වේ. උන් තම නංගිලා මල්ලිලාට කන්න බොන්න දී අවශ්‍ය රැකවරණය සපයති.

මාපිය රැකවරණය

කුරුලු පැටවුන් ආරක්ෂා කිරීම සඳහාත් සෑහෙන වෙහෙසක් දැරිය යුතුයි. මහ වැස්සක් වහිද්දී කුරුලු මාපියෝ තම තටු විහිදාගනිමින් කැදැල්ල වසාගනිති. එමගින් තම පැටවුන් සිටින තැන උණුසුම් මෙන්ම වියළි තත්වයක තබාගැනීමට උන් සමත් වේ. තම කැදැල්ල පිරිසිදුව මෙන්ම පිළිවෙළකට තබාගැනීමට ස්ටාර්ලින් කුරුල්ලා හරිම හපනෙකි. උකුණන්, කිණිතුල්ලන් වැනි පළිබෝධකයන්ගෙන් කැදැල්ල ආරක්ෂා කිරීමට මෙම කුරුල්ලා ඉතා පුදුමාකාර ක්‍රියාවක යෙදෙයි. ඌ විෂ සහිත පැළෑටිවලින් යම් ද්‍රව්‍ය ගෙනැවිත් කැදැල්ල පුරාම තවරමින් ඒවා කෘමි නාශක මෙන් යොදාගනී.

අරාතුඩුවා නමැති කුරුලු විශේෂයේ කිරිල්ලියද තම පැටවුන් ආරක්ෂා කිරීමට අපූරු ක්‍රමයක් යොදාගනී. තර්ජනයක් එල්ල වන විට ඇය තම පැටවුන් කකුල් දෙකේ තදින් රඳවාගනිමින් උන්ව වඩාත් ආරක්ෂිත ස්ථානයකට ගෙන යයි. සතුරන් ඉදිරියේදී තමන්ට තුවාල වී ඇති බව මවා පාමින් තම පැටවුන්ව ආරක්ෂා කරන කුරුල්ලන්ද සිටියි. උන් බිම දිගා වී තම අත්තටු දුර්වල ලෙස එහෙට මෙහෙට සොලවමින් ක්‍රමක්‍රමයෙන් සතුරාව කැදැල්ලෙන් ඈත් කරගනිති. උන් තම රඟපෑම නතර කර ආරක්ෂා සහිත ස්ථානයකට යන්නේ අනතුරක් නැති බව සහතික වූ විට පමණි. ඇතැම් කුරුල්ලන් තම කැදැලි සාදන්නේ පොළොවෙයි. උන් සතුරන්ව බියගන්වන්නේ විවිධ ශබ්ද යොදාගනිමිනුයි. උතුරු අමෙරිකාවේ දක්නට ලැබෙන එක්තරා බස්සෙක් (burrowing owl) තම කැදැල්ල වෙතට එන සතුරන්ව බියගැන්වීමට සර්පයෙකු මෙන් ශබ්ද කරයි. ඇත්තෙන්ම අමෙරිකාවේ මුල් පදිංචිකරුවන් විශ්වාස කළේ මෙම කුඩා බස්සන්ගේ කැදැලි තුළ විෂඝෝර සර්පයන් සිටින බවය. ඒ නිසා ඔවුන් එම කැදැලි ළඟටවත් ගියේ නැත!

මව් සෙනෙහස

සත්ව ලෝකයේ වැඩියෙන්ම මාපිය සෙනෙහස දක්නට ලැබෙන්නේ ක්ෂීරපායි සතුන් අතරයි. ඇතින්නියන් තම පැටවුන් සමග කොතරම් කිට්ටු බැඳීමක් ඇති කරගන්නවාද කිවහොත්, උන් අතර අවුරුදු 50ක් තරම් දීර්ඝ කාලයක් පුරා එම සම්බන්ධය පවතින බවට විශ්වාස කෙරේ. අලි පැටියා තම මව් මතම යැපෙයි. මව තම විශාල ශරීරයට මුවා වෙමින් අව් රශ්මියෙන් ආරක්ෂාව ලබන තම පැටියාට කිරි පොවන්නේ මිනිස් මවක හා සමාන සෙනෙහසකිනි. ඇතැම් අවස්ථාවලදී අලි පැටියා තම චූටි හොඬවැල දික් කරමින් මවගේ කටින් කෑම අරගෙන කයි. පැටියාව නිතරම පාහේ නාවන එකත් මවගේ දින චර්යාවට ඇතුළත් කාර්යයකි. ඇය එසේ කරන්නේ තම හොඬවැලෙන් පැටියාගේ ඇඟට වතුර විදීමෙන් සහ ඇඟ ඇතිල්ලීමෙනි. ඇත්තෙන්ම අලි පැටියෙකු හදා වඩා ගැනීම සඳහා අලි රංචුවේ සියලුම සාමාජිකයන් කුමන හෝ ආකාරයකින් දායක වේ. පැටවුන් පෝෂණය කිරීමට, ආරක්ෂා කිරීමට හා පුහුණු කිරීමට රංචුවේ අනිත් ඇතින්නියන්ද නන් අයුරින් සහය වේ.

තවත් විශාල ක්ෂීරපායි සතෙකු වන හිපපොටේමස් වෙතට දැන් අවධානය යොමු කරමු. උගේ පැටවුන් ඉපදෙන්නේ ජලය යටයි. මෙම පැටවුන් ජලයේ සම්පූර්ණයෙන්ම ගිලී මවගෙන් කිරි බොන අතර, උන් හුස්ම ගැනීමට විටින් විට ජලය මතුපිටට පැමිණේ. ඉන්පසු උන් නැවතත් ජලය යටට කිමිදී මවගෙන් කිරි බොන්න පටන්ගනිති. හිපපොටේමස් මව තම පැටවුන් ආරක්ෂා කිරීම සඳහා සටන් කිරීමට පවා සූදානම්ය.

අප්‍රිකාවේ වෙසෙන වර්වෙට් (cercopithecus aethiops) නමැති වඳුරු විශේෂය ගැන කුමක් කිව හැකිද? පැටියා ඉපදුණ ගමන්ම මව පැය කිහිපයක්ම එක දිගටම ඌව වැලඳගෙන සිටියි. ඇය අඩුම තරමින් එක අතකින්වත් මෙලෙස වැලඳගෙන සිටින්නේ තම පැටියාව රැකගැනීමටයි. මුල් සති කිහිපය තුළදී පැටියා තම මවගේ ලෝම තදින් අල්ලාගෙන සිටින අතර එය අත්හරින්නේ කලාතුරකිනි. මව අනිත් වැඳිරියන්ටත් තම පොඩිත්තාව වැලඳගන්න ඉඩ දෙයි. මෙම වැඳිරියන් පැටියාගේ රෝම සැකසීමට, ඌව අතගෑමට සහ සුරතල් කිරීමට මෙන්ම ඌත් සමඟ සෙල්ලම් කිරීමටද කාලය ගනියි.

ඇත්තෙන්ම බොහෝ සතුන්ට ‘ඉතා ඥානවන්ත’ ලෙස තම පැටවුන්ව රැකබලා ගැනීමට සහජ හැකියාවක් තිබෙන බව මනාව පැහැදිලිය. (හිතෝපදේශ 30:24-28) යම් අවශ්‍යතාවක් පිරිමැසීමට හෝ හටගෙන ඇති යම් තත්වයක් අවබෝධ කරගෙන ඊට සරිලන ආකාරයට ප්‍රතිචාරය දැක්වීමට උන්ට සහජයෙන්ම තිබෙන බුද්ධිය ඉබේම ඇති වූ බව කිව නොහැක. ඔව්, මෙම සතුන් ප්‍රඥාවේ උල්පත, එනම් සියලු දේවල මැවුම්කරු වන යෙහෝවා දෙවිගේ ප්‍රඥාවන්ත නිර්මාණයන් බව අවිවාදයෙන්ම පිළිගත යුතුය.—ගීතාවලිය 104:24.

[15වන පිටුවේ පින්තූරය]

බසු පැටවුන්

[හිමිකම් විස්තර]

[16වන පිටුවේ පින්තූරය]

තිලාපියන් බිත්තර තබාගන්නේ මුඛය තුළයි

Courtesy LSU Agricultural Center

[16වන පිටුවේ පින්තූර]

කිඹුලන් තම පැටවුන් රැගෙන යයි

[හිමිකම් විස්තර]

© Adam Britton, http://crocodilian.com

[17වන පිටුවේ පින්තූරය]

ඇල්බත්‍රොසයා පැටියා සමඟ

[17වන පිටුවේ පින්තූරය]

කෑදැත්තා

[17වන පිටුවේ පින්තූරය]

ස්ටාර්ලින් කුරුල්ලා

[17වන පිටුවේ පින්තූරය]

අරාතුඩුවා

[18වන පිටුවේ පින්තූර]

හිපපොටේමස් මව පැටවුන් ආරක්ෂා කිරීමට සටන් කරන්න පවා සූදානම්ය

[හිමිකම් විස්තර]

© Joe McDonald

[18වන පිටුවේ පින්තූරය]

බැබුන් මව පැටවුන්ගේ රෝම සකසමින්

[18වන පිටුවේ පින්තූරය]

වර්වෙට් වඳුරන්

[හිමිකම් විස්තර]

© Joe McDonald