Skip to content

පටුනට යන්න

විවාහය දිවි ඇති තුරා තිබිය යුතු බැඳීමක්ද?

විවාහය දිවි ඇති තුරා තිබිය යුතු බැඳීමක්ද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

විවාහය දිවි ඇති තුරා තිබිය යුතු බැඳීමක්ද?

ඒක අහන්නත් අවශ්‍ය ප්‍රශ්නයක්ද? බටහිර රටවල නම් විවාහ පොරොන්දුව දෙන විට පවසන්නේ “මරණයෙන් අපිව වෙන් කරන තුරා අපි දුක සැප දෙකම බෙදාගන්නෙමු” කියා නොවේද? ඔව්, විවාහ පොරොන්දු දෙන විට සාමාන්‍යයෙන් පවසන්නේ මණාලයා හා මණාලිය දිවි ඇති තුරා බැඳී සිටින බවයි. නමුත් දැන් බොහෝදෙනෙකු සිතන්න පෙලඹී තිබෙන්නේ තමන් එවැනි බැරෑරුම් පොරොන්දුවලින් බැඳී සිටින්න අවශ්‍ය නැති බවයි. හිතාගන්නත් බැරි ප්‍රමාණයකින් විවාහක යුවළයන් වෙන් වෙනවා. සමහරු මාස කීපයකින් වෙන් වන අතර තවත් සමහරු දශක කීපයකින් වෙන් වෙනවා. විවාහයට තිබූ ගෞරවය දැන් අඩු වෙමින් පවතින්නේ ඇයි? බයිබලයේ ඊට පිළිතුරු සපයා තිබෙනවා.

කරුණාකර 2 තිමෝති 3:1-3 පරීක්ෂා කර බලා, එය වත්මන් ලෝකය තුළින් ඔබ දකින දේ සමඟ සසඳා බලන්න. එහි පද කීපයක මෙසේ සඳහන් වෙයි. ‘අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල් පැමිණෙන බව දැනගන්න. මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, . . . ස්තුතිවන්ත නොවන, අභක්තික, ජන්ම ස්නේහය නැති, සමාදාන නොවන, . . . තෘෂ්ණාව මැඩපවත්වා නොගන්න [ආත්ම දමනය නැති, NW]’ අය වී සිටිනවා. මේ අනාවැකිය ඒ ආකාරයෙන්ම අද ඉටු වෙමින් පවතිනවා. මෙම ගතිලක්ෂණ නිසා ලොව පුරා විවාහ සබඳතා දුර්වල වී, කැඩී බිඳී ගොස් ඇති අතර මේ හේතුවෙන් දික්කසාද සංඛ්‍යාවද ඉහළ යමින් පවතිනවා.

බොහෝදෙනා තුළ විවාහය කෙරෙහි ඇති ගෞරවය අඩුවීම, පැහැදිලිව දක්නට තිබෙන දෙයක්. මේ සම්බන්ධයෙන් බලන කල, අපිට මෙසේ ඇසිය හැකියි. විවාහය බැරෑරුම්ව සැලකිය යුතු දෙයක්ද? විවාහය යනු ශුද්ධ ලෙස සැලකිය යුතු හා රැකගත යුතු යමක්ද? ක්‍රිස්තියානියෙක් විවාහ බන්ධනය දෙස බැලිය යුත්තේ කොහොමද? අදදින විවාහක යුවළයන්ට බයිබලයේ සපයන්නේ කුමන උපකාරයක්ද?

දෙවිගේ දෘෂ්ටිය වෙනස් වී ඇද්ද?

පටන්ගැන්මේදී, දෙවි විවාහ බන්ධනය තාවකාලික එකක් බව පැවසුවේ නැහැ. ඔහු මුල් මනුෂ්‍යයා සහ ස්ත්‍රිය එක් කළ අවස්ථාව ගැන උත්පත්ති 2:21-24හි විස්තර කර තිබෙන අතර, විකල්පයක් වශයෙන් දික්කසාද වීමට හෝ වෙන්වීමට හැකි බවක් එහි සඳහන් නොවෙයි. ඒ වෙනුවට 24වෙනි පදයේ පවසන්නේ මෙයයි. “පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.” එම පදයෙන් අදහස් කළේ මොකක්ද?

මිනිස් සිරුරේ විවිධ පටක කිසිම මූට්ටුවක් නැතුව වියනක් මෙන් එකට ගෙතී තිබෙන ආකාරය ගැන හා කිසිම ඝර්ෂණයක් නැතුව ඇටකටු ශක්තිමත් ලෙස සන්ධි වී තිබෙන ආකාරය ගැන සලකා බලන්න. මොනතරම් කදිම සහයෝගිතාවක්ද! මොනතරම් කල් පවතින්නක්ද! වෙනත් කිසිවකට සම කළ නොහැකි මෙම සිරුරට දරුණු හානියක් සිදු වුවහොත්, එය මොනතරම් වේදනාවක් වේවිද! මේ නිසා, විවාහය තුළ ඇති සමීපත්වය හා ස්ථිරත්වය උත්පත්ති 2:24හි සඳහන් “එක මාංසය” යන වදනින් හොඳින් අවධාරණය කෙරෙනවා. එම බැම්ම කඩා බිඳ දැමුවොත් ඇති වන මහත් වේදනාව පිළිබඳවද එහි නොවරදිනසුලු අවවාදයක් දෙයි.

ගෙවී ගොස් ඇති වසර සිය දහස් ගණන පුරා මිනිස් චින්තනයන් සෑහෙන දුරකට වෙනස් වී ඇතත් තවමත් දෙවිගේ දෘෂ්ටිය වෙනස් වී නැහැ. ඔහු සලකන්නේ විවාහය දිවි ඇති තුරා තිබිය යුතු බැඳීමක් හැටියටයි. වසර 2,400කට පමණ පෙර, ඇතැම් යුදෙව් මනුෂ්‍යයන් තමන්ගේ මුල් භාර්යාවන් අත්හැර, වඩාත් තරුණ ස්ත්‍රීන්ව විවාහ කරගත්තා. දෙවි තම අනාගතවක්තෘ මලාකී මාර්ගයෙන් මෙම ක්‍රියාව මෙසේ හෙළාදැක්කා. “නුඹලාගේ ආත්මය ගැන ප්‍රවේසම්වෙන්න, කිසිවෙක් තමාගේ තරුණ වයසේ භාර්යාවට විරුද්ධව ද්‍රෝහිලෙස ක්‍රියා නොකෙරේවා. මක්නිසාද [භාර්යාවන්] අත්හැරදැමීමට මම ද්වේෂකරමියි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ [යෙහෝවා කියන්නේය].”—මලාකී 2:15, 16.

ඊට සියවස් හතරකට පසුව යේසුස් උත්පත්ති 2:24හි සඳහන් වූ විවාහය පිළිබඳ දෙවිගේ මුල් දෘෂ්ටිය යළිත් තහවුරු කරමින් මෙසේ උපදෙස් දුන්නා. ‘දෙවි එක් කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවා!’ (මතෙව් 19:5, 6) ඉන් වසර කීපයකට පසු ප්‍රේරිත පාවුල් උපදෙස් දුන්නේ “භාර්යාව පුරුෂයාගෙන් අහක්ව නොයේවා. පුරුෂයාද තමාගේ භාර්යාව අත් නොහරීවා” කියායි. (1 කොරින්ති 7:10, 11) විවාහය පිළිබඳ දෙවිගේ දෘෂ්ටිය මේ පදවල නිවැරදිව සඳහන් වෙනවා.

විවාහයක් කෙදිනක හෝ අවසන් වන බව බයිබලයේ සඳහන් වෙනවාද? ඔව්, එක් කලත්‍රයෙකු මියගිය විට විවාහයක් අවසන් වෙයි. (1 කොරින්ති 7:39) දුරාචාරය හේතුවෙන්ද නිර්දෝෂ කලත්‍රයාට වුවමනා නම් විවාහය කටුගා දැමිය හැකියි. (මතෙව් 19:9) මේ හැර, විවාහකයන්ට බයිබලයේ දිරිගන්වා තිබෙන්නේ එක්ව විසීමටයි.

දිවි ඇති තුරා විවාහය රැකගන්නා අයුරු

දෙවිගේ කැමැත්ත විවාහය ප්‍රීතිමත් ලෙස ගත කරනවා දැකීම මිස, බැඳගත්ත බෙරේ ගහන්නම් වාලේ ගහනවා දැකීම නොවෙයි. එමෙන්ම ඔහු කැමති ස්වාමිපුරුෂයා හා භාර්යාව තමන්ගේ ගැටලු විසඳගෙන, එකිනෙකාගේ ඇසුර උපරිමයෙන් භුක්ති විඳිනවා දැකීමටයි. දිවි ඇති තුරා සතුටෙන් විවාහ දිවිය ගත කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම් ඔහුගේ වචනයෙහි සපයා තිබෙනවා. කරුණාකර මතු සඳහන් පද සලකා බලන්න.

එපීස 4:26: “ඉර බසින තුරු නුඹලාගේ කෝපය පවතින්ට ඉඩ නාරින්න.” a මෙම ශුද්ධ ලියවිලි පදය එකඟ නොවෙන දේවලදී වහාම විසඳුමක් සොයාගැනීමට උපකාර වන බවයි, ප්‍රීතියෙන් විවාහ දිවිය ගෙවන තැනැත්තෙකුගේ අදහස වී තිබෙන්නේ. “යම් එකඟ නොවීමක් හේතුවෙන් නින්ද යන්නේ නැත්නම්, මොනවහරි ප්‍රශ්නයක් තියෙන බවයි පේන්න තියෙන්නේ. ඒ නිසා දිගටම ගැටලුව පවතින්න ඉඩහරින්නේ නැතුව විසඳගන්න ඕනේ” කියා ඔහු පවසයි. සමහර අවස්ථාවලදී, ඔහු හා ඔහුගේ භාර්යාවට රෑ දෙගොඩ හරිය වන තෙක්ම ගැටලු ගැන කතා කිරීමට සිදු වී තිබෙනවා. නමුත් එයින් සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා. ඔහු තවදුරටත් මෙසේ පවසයි. “බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් පුදුමාකාර ප්‍රතිඵල ලැබිලා තියෙනවා.” මෙසේ කිරීමෙන් මේ මනුෂ්‍යයා හා ඔහුගේ භාර්යාව වසර 42ක් පුරා ප්‍රීතිමත් යුග දිවියක් ගත කර තිබෙනවා.

කොලොස්සි 3:13: “එකිනෙකා ගැන ඉවසමින්, . . . එකිනෙකාට කමාවෙන්න.” තමා සහ තම භාර්යාව මෙය අදාළ කරගත් අවස්ථා ගැන එක් ස්වාමිපුරුෂයෙක් මෙසේ පැහැදිලි කරයි. “තවත් කෙනෙකුගේ හිතට වදයක් වෙන නොයෙක් අඩුලුහුඬුකම් සහ පුරුදු අපි හැම කෙනෙකුටම තියෙන නිසා, වැරැද්දක් කරන්නේ නැති වෙලාවකදී පවා විවාහ කලත්‍රයන් නොදැනුවත්වම එකිනෙකාට රිද්දන්න පුළුවන්. ඉතින් ඉවසීමට ඉගෙනගැනීමෙන්, මේ වගේ දේවල් නිසා අපි දෙන්නාගේ සාමයට බාධාවක් වෙන්න අපි ඉඩහරින්නේ නැහැ.” වසර 54ක් පුරා සාර්ථක යුග දිවියක් ගත කිරීමට එම ආකල්පය ඇතුව සිටීම මෙම යුවළට උපකාරවත් වුණු බව නිසැකයි!

එවැනි ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති අදාළ කරගැනීමෙන් ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් අතර පවතින බැඳීම තව තවත් ශක්තිමත් වෙයි. මෙසේ, ඔවුන්ගේ යුග දිවිය ප්‍රීතිමත්, සෑහීම ගෙන දෙන හා දිවි ඇති තුරා පවතින බැඳීමක් බවට පත් විය හැකියි.

[පාදසටහන]

a මැද පෙරදිග රටවල් කාලය මැනීමට අනුගමනය කරන පිළිවෙතට අනුව දවස අවසන් වන්නේ හිරු බැස යෑමත් සමඟයි. මේ හේතුවෙන් පාවුල් පාඨකයන්ට දිරිගන්වමින් සිටියේ දවසේ නිමාවට පෙර අන්‍යයන් සමඟ සමාදාන වන්න කියායි.