Skip to content

පටුනට යන්න

සීමාව ඉක්මවා වැඩ කිරීමෙන් සිදු වන හානි

සීමාව ඉක්මවා වැඩ කිරීමෙන් සිදු වන හානි

සීමාව ඉක්මවා වැඩ කිරීමෙන් සිදු වන හානි

වේගය හා පහසුව බටහිර ලෝකයට නැතුවම බැරි දෙයකි.

මුළුතැන්ගෙයි තිබෙන පිඟන් සෝදන යන්ත්‍රය මගින්ද රෙදි සෝදන යන්ත්‍රයක් මගින්ද කාලය ඉතුරු කරගත හැක. අද බොහෝදෙනෙකුට තමන්ට අවශ්‍ය දෑ මිල දී ගැනීම සඳහා වෙළඳ සැලට යෑමට හෝ ගනුදෙනු කිරීම සඳහා බැංකුවට යෑමට අවශ්‍ය නැත. නිවසේ සිටම ඒ දේවල් කරගත හැක. ඔවුන්ට කිරීමට තිබෙන්නේ පරිගණකය ක්‍රියාත්මක කර අන්තර් ජාලය භාවිත කිරීම පමණි.

අද ලෝකයේ බොහෝ තැන්වල කාලය හා ශ්‍රමය ඉතිරි කරගත හැකි විවිධ වර්ගයේ නවීන උපකරණ භාවිත කෙරේ. මේ නිසා මිනිසුන්ට තමන්ගේ පවුලේ අය සමඟ ගත කිරීමට හෝ විවේකයෙන් සිටීමට කාලය ඕනෑතරම් තිබෙනවා කියා ඔබට සිතෙන්න පුළුවන. එහෙත් බොහෝදෙනෙකු පවසන්නේ තමන් පෙරට වඩා වෙහෙසට පත්ව සිටින බවයි. එමෙන්ම ඔවුහු කලින් අද්නොදුටු ආකාරයේ මානසික පීඩනයකින්ද පෙළෙති. මෙයට හේතු බොහොමයක් තිබෙන අතර, ඒවා සංකීර්ණය.

ප්‍රධාන හේතුව ආර්ථික ගැටලුය. ඕස්ට්‍රේලියාවේ පිහිටි කාර්මික සබඳතා පිළිබඳ පර්යේෂණ හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානය මගින් එරට මිනිසුන් රැකියාව සඳහා යොදවන කාලය විශ්ලේෂණය කළේය. “විශාල පිරිසක් සතියකට පැය 49කට වඩා වැඩි කාලයක් රැකියාවේ නිරත වන බවත්, මෙසේ වැඩි කාලයක් වැඩ කිරීම නිසා පවුල් ජීවිතය හා සමාජීය සබඳතා මත අහිතකර බලපෑමක් ඇති වී තිබෙන බවත්” එහිදී අනාවරණය විය. රැකියා කරන බොහෝදෙනෙක් නගරයෙන් බැහැර පිහිටි ගස් වැල්වලින් ගහන වූ නිසංසල පරිසරයක ජීවත් වීමට ප්‍රිය කරති. නගරයෙන් ඈත ජීවත් වීම නිසා රැකියාවට යෑම සඳහා දිනපතා පැය ගණනාවක් ගත කිරීමට සිදු වේ. එපමණක්ද නොවෙයි, වාහන තදබදයක් තිබෙන පාරවල්වල හෝ සෙනඟ පිරී සිටින දුම්රිය හා බස් රථවල ගමන් කිරීමටද සිදු වේ. මේ තත්වය නිසා රැකියාව සඳහා ගත කරන කාලය හා එයින් ඇති වන පීඩනය තවත් වැඩි වේ.

අවශ්‍ය නින්ද නොලැබීම නිසා ඔබ පීඩා විඳිනවාද?

මෑතක සිට නින්ද හා සම්බන්ධ ගැටලු මොනතරම් වැඩි වී තිබෙනවාද කියනවා නම්, ලෝකයේ බොහෝ රටවල පිහිටි රෝහල්වල නින්ද නොයෑම සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන සායන පිහිටුවා තිබේ. මිනිසුන් නිතිපතා ප්‍රමාණවත් නින්දක් නොගැනීමෙන් සිදු වන්නේ නින්ද සඳහා සිරුරට තිබෙන අවශ්‍යතාව තව තවත් වැඩිවීම බව පර්යේෂකයන් සොයාගෙන ඇත. මිනිසුන්ට වෙහෙස දැනීමට සැලැස්වීමෙන් සිරුර තමන්ගේ අවශ්‍යතාව ඔවුන්ට දන්වයි. එහෙත් අද බොහෝදෙනෙකු ප්‍රමාණවත් නින්දක් නොලබන ජීවන රටාවකට හැඩගැසී තිබෙන නිසා එම අවශ්‍යතාව සපුරාලීමට නොහැකි වී තිබේ. මෙහි ප්‍රතිඵලයක් හැටියට එවැනි අය දීර්ඝ කාලීනව වෙහෙසකාරි බවක් අද්දකිති.

පසුගිය සියවස ඇතුළත එක් බටහිර රටක මිනිසුන් නිදාගන්න කාලය සියයට 20කින් අඩු වී ඇත. සාමාන්‍යයක් හැටියට බලද්දී, එය රාත්‍රියකදී නිදාගන්න කාලය පැය නවයේ සිට හත දක්වා අඩුවීමකි. සිරුරට අවශ්‍ය නින්ද නොදීම නිසා ඉගෙනගැනීම මෙන්ම මතක ශක්තිය හා සම්බන්ධ ගැටලු මතු වන බවටත්, මාංස පේශිවල ක්‍රියාකාරිත්වය හා ප්‍රතිශක්ති පද්ධතිය දුර්වල වන බවටත් සාක්ෂි රැසක් පර්යේෂකයන් සොයාගෙන ඇත. මනසට දැඩි වෙහෙසක් දැනෙන විට වැරදි සිදුවීමට තිබෙන ඉඩ කඩ වැඩි බව අපි පෞද්ගලිකව අද්දැක ඇත්තෙමු. මෙම වැරදි නිසා දරුණු අනතුරු සිදු විය හැකි අතර, හානි පියවාගැනීමට විශාල මුදලක්ද වැය කිරීමට සිදු විය හැක.

විඩාව නිසා සිදු වන අධික පාඩුව

වැඩ කරන කාලය දීර්ඝ කිරීම හා සේවක සංඛ්‍යාව අඩු කිරීම නිසා සේවකයන් විඩාවට පත්වීමේ ප්‍රතිඵලයක් හැටියට පසුගිය 20වන සියවස තුළ දරුණු විපත්ති සිදු වී තිබේ. යුක්‍රේනයේ චර්නොබිල්හි සිදු වූ න්‍යෂ්ටික ව්‍යසනය, චැලෙන්ජර් අභ්‍යවකාශ යානය පුපුරා යෑම හා එක්සන් වල්ඩෙස් නෞකාව ඇලස්කාවේ ප්‍රින්ස් විලියම් සෞන්ඩ් මුහුදු තීරයේ කොරල් පරයක ගැටීම නිසා සිදු වූ අතිවිශාල තෙල් කාන්දු වීමෙන් ඇති වූ විනාශය, මෙම විපත්තිවලට උදාහරණ ලෙස සඳහන් කළ හැක.

චර්නොබිල්හි න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීම සිදු වූයේ එහි විශේෂ පරීක්ෂණයක් සිදු කරමින් සිටි අවස්ථාවකදීය. පැය 24 පුරාම වැඩ කරන සමාජයක් (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ කර්තෘ වන මාර්ටින් මෝර්-එඩ් මෙසේ සඳහන් කරයි. එම පරීක්ෂණය “සිදු කරනු ලැබුවේ විදුලි ඉන්ජිනේරුවන්ගෙන් සමන්විත කණ්ඩායමක අධීක්ෂණය යටතේය. මොවුහු අඩුම තරමින් පැය දහතුනක්වත් මෙම බලාගාරය තුළ එක දිගටම වැඩ කිරීම නිසා දැඩි ලෙස වෙහෙසට පත්ව සිටියහ. වැඩ ආරම්භ කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමේදී පැය දහයක ප්‍රමාදයක් සිදු වූ නිසා ඔවුන් එහි සිටි කාලය ඊට වඩා වැඩි විය හැක.” හේතුව කුමක් වුවත්, මෑතකදී කළ අධ්‍යයනයකට අනුව, 1986 සිට යුක්‍රේනයේ ළමුන් අතර තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකාව දස ගුණයකින් ඉහළ ගොස් ඇත. මෙම කනගාටුදායක තත්වයට හේතුව න්‍යෂ්ටික බලාගාරයෙන් කාන්දු වූ විකිරණශීලී ද්‍රව්‍යයන්ය.

චැලෙන්ජර් අභ්‍යවකාශ යානය පුපුරා යෑම ගැන විධිමත් පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව ජනාධිපති කොමිසම් වාර්තාවේ මෙසේ සඳහන් විය. මෙහි කොන්ත්‍රාත් පදනමක් මත වැඩ කළ එක් කණ්ඩායමක් පැය 20ක අතිකාල සේවා සීමාව 480 වතාවක් ඉක්මවා තිබේ. එමෙන්ම තවත් කණ්ඩායමක් 2,512 වතාවක් එම අතිකාල සේවා සීමාව ඉක්මවා ඇත. “දවස් කිහිපයක් එක දිගටම පැය ගණනාවක් වැඩ කිරීමේ හා ප්‍රමාණවත් නින්දක් නොලැබීමේ” ප්‍රතිඵලයක් හැටියට කළමනාකරණ කටයුතුවල නිරත වී සිටි අයද දැඩි ලෙස වෙහෙසට පත්ව සිටියහ. මෙම යානය ක්‍රියාත්මක කිරීමේදී දුන් වැරදි උපදේශයට එම තත්වයද විශේෂයෙන් බලපෑවේය. “සේවකයන් අතිකාල සේවයේ අධික ලෙස නිරත වන විට ඔවුන්ගේ කාර්යක්ෂමතාව අඩු වන අතර, ඔවුන් අතින් වැරදි සිදුවීමට තිබෙන ඉඩ කඩද වැඩියි” කියා එම වාර්තාවේ තවදුරටත් සඳහන් විය.

වෘත්තීය සමිති නිලධාරීන් සඳහන් කරන ආකාරයට, නඩත්තු වියදම් කපාහැරීමේ අරමුණින් නැවේ සේවක පිරිස අඩු කිරීම නිසා එක්සන් වල්ඩෙස් නෞකාවේ සිටි නාවිකයන්ට දිගු කාලයක් පුරා වැඩ කිරීමට සිදු විය. ඔවුන්ට අමතර වැඩ කිරීමටද සිදු විය. මධ්‍යම රාත්‍රිය පසුවීමත් සමඟම කොරල් පරයේ ගැටුණු මෙම නෞකාවේ සහයක කපිතාන්ට එම දවස තුළ කොහෙත්ම නිදාගැනීමට අවස්ථාවක් ලැබී තිබුණේ නැත කියා එක් වාර්තාවක සඳහන් විය. තෙල් ලීටර් මිලියන 42කට ආසන්න ප්‍රමාණයක් මුහුදට කාන්දු වූ අතර, එක්සත් ජනපද ඉතිහාසයේ සිදු වූ විශාලතම තෙල් කාන්දු වීම මෙයයි. මුහුදු වෙරළට හා සතුන්ට සිදු වූ හානිය අතිවිශාලය. අවට පරිසරය පිරිසිදු කිරීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 2කට වැඩි මුදලක් වැය විය.

විඩාවට පත්වීමෙන් සිදු වන නොපෙනෙන හානි

විඩාවට පත්වීම නිසා ලොව පුරා සෑම වසරකම සිදු වන පාඩුව අඩුම තරමින් ඩොලර් බිලියන 377ක්වත් වන බව ගණන් බලා තිබේ. එහෙත් විඩාවට පත්වීම නිසා මිනිස් ජීවිතවලට හා සෞඛ්‍යයට සිදු වන හානිය මුදලින් මැනිය නොහැක. උදාහරණයක් හැටියට මාර්ග අනතුරු ගැන සිතා බලන්න. ඕස්ට්‍රේලියාවේ සිදු වන මාර්ග අනතුරුවලින් සියයට 20ත් 30ත් අතර ප්‍රමාණයකට හේතුව රිය පදවන විට රියැදුරන්ට නින්ද යෑම බව සිඩ්නි නුවර පිහිටි නිදාගැනීම හා සම්බන්ධ අක්‍රමිකතාවලට ප්‍රතිකාර කරන සායනයකින් නිකුත් කළ සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය විය. එක්සත් ජනපදයේ වාර්ෂිකව සිදු වන රිය අනතුරුවලින් අවම වශයෙන් 1,00,000කටවත් හේතුව රියැදුරන් නිදිමතේ රිය පැදවීම බව එක් ගණන් බැලීමකින් හෙළි විය.

කෙසේවෙතත්, විඩාවට පත්වීමේ හානි එතැනින් අවසන් නොවෙයි. අනතුරට පත් වූ කෙනෙකුව හැකි ඉක්මනින් රෝහලක් වෙත ගෙන යන්නේ, දක්ෂ හා සැලකිලිමත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගැනීමේ බලාපොරොත්තුව ඇතුවය. එහෙත්, වෛද්‍යවරයා එදින කාර්යබහුල වීම නිසාත් දිගු වේලාවක් වැඩ කරමින් සිටින නිසාත් එතරම් සැලකිල්ලකින් ප්‍රතිකාර නොකරයි. වෛද්‍යවරුන්ගෙන් සියයට දහයක් පමණ සතියකට පැය 65කට වැඩි කාලයක්ද, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සියයට 17ක් ඊටත් වඩා පැය ගණනක්ද, “නවක වෛද්‍යවරුන්ගෙන්” සියයට 5ක් සතියකට පැය 80කට වඩා වැඩි කාලයක්ද වැඩ කරන බව ඕස්ට්‍රේලියාවේ පිහිටි සෞඛ්‍යය හා ශුභසාධන ආයතනය මගින් නිකුත් කළ වාර්තාවකින් අනාවරණය වේ.

“ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු උපදෙස් අඩංගු අත්පොත් මගින්ද, අනතුරු ඇඟවීමේ ලේබල මගින්ද, සේවකයන්ව පුහුණු කිරීම මගින්ද යන්ත්‍රෝපකරණ ආරක්ෂා කරනු ලබයි. මිනිසුන්ට එවන් ආරක්ෂාවක් නොලැබේ. . . . අප මිනිස් සිරුරේ ක්‍රියාකාරිත්වය ගැන දන්නවාට වඩා පරිගණක හා සම්බන්ධ දෘඩාංග (hardware) හා මෘදුකාංග (software) ගැන දැන සිටීම කම්පිත කරවන්නක්” බව මාර්ටින් මෝර්-එඩ් පවසයි.

අපේ සිරුර මගින් අනතුරු ඇඟවීම් කිරීම සඳහා රතු ආලෝකයක් දැල්වීම හෝ හඬක් නිකුත් කිරීම වැනි දෑ නොකරයි. කෙසේවෙතත්, එය වෙනස් ආකාරයක අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කරයි. දිගු වේලාවක් වෙහෙසට පත්ව සිටීම, චිත්ත ස්වභාවය වෙනස් වීම, මානසික පීඩනය හා බහුල ලෙස පැතිරී තිබෙන වයිරසවලට පහසුවෙන් ගොදුරු වීම එම අනතුරු ඇඟවීම්වලට ඇතුළත් වේ. ඔබට වෙනත් කිසිම ආකාරයක සෞඛ්‍ය ගැටලුවක් නොතිබෙන විටෙක, එම ලක්ෂණ ඔබ තුළ දක්නට ලැබේ නම් ඔබේ ජීවන රටාව පරීක්ෂා කර බැලීම වැදගත්ය.

අධික ලෙස වැඩ කිරීමෙන් සමාජයට සිදු වන හානිය

මිනිසුන් වෙහෙසකර හා ප්‍රමාණවත් නින්දක් නොලබන ජීවන රටාවකට හැඩ ගැසීම, මිනිස් සබඳතාවලට අහිතකර ලෙස බලපා තිබේ. අලුත විවාහ වූ යුවළක් වන ජෝන්ගේ සහ මරියාගේ a අද්දැකීම සලකා බලන්න. සාමාන්‍යයෙන් අලුත විවාහ වූ බොහෝදෙනෙක් සැප පහසු නිවසක ජීවත් වීමට හා හැකි තරම් මුදල් ඉපයීමට කැමැත්තක් දක්වති. මේ නිසා මොවුන් දෙදෙනාම රැකියාවක් කළහ. බොහෝ අවස්ථාවලදී ඔවුන්ගේ වැඩ වේලාවන් විධිමත් නොවූ නිසා එකට කාලය ගත කිරීමට නොහැකි විය. ඔවුන් අතර තිබූ සබඳතාව දුර්වල වී යෑමට වැඩි කලක් ගත වූයේ නැත. කෙසේවෙතත් මොවුන් දෙදෙනා තමන් අතර තිබූ සබඳතාව දුර්වල වීම සම්බන්ධයෙන් මතු වූ ලක්ෂණ සැලකිල්ලට නොගෙන දිගටම රැකියාව සඳහා අධික කාලයක් වැය කළහ. අවසානයේදී ඔවුන්ගේ විවාහය බිඳී ගියේය.

“වැඩ මුර ක්‍රමයට රැකියාවල නිරත වන අය අතර සිදු වන දික්කසාද අනුපාතය, සාමාන්‍ය පරිදි දිවා කාලයේ පමණක් රැකියාව කරන අය අතර සිදු වන දික්කසාදවලට වඩා සියයට 60කින් වැඩි බව අධ්‍යයනවලින් පෙනී යයි” කියා පැය 24 පුරාම වැඩ කරන සමාජයක් නමැති පොතේ සඳහන් වේ. එහෙත්, වැඩ මුර ක්‍රමයට රැකියා කළත් නැතත්, යුවළයන් බොහොමයක් අධික ලෙස වැඩවල නිරත වීම නිසා ඔවුන්ගේ විවාහ ජීවිත බිඳ වැටී තිබේ. අධික වෙහෙස හා මානසික පීඩනය නිසා තවත් අය මත්ද්‍රව්‍ය හා මත්පැන් පාවිච්චි කරති. මෙවැනි අය ආහාර කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදක්වති. මේ හේතු නිසා වෙහෙසකාරි ගතිය තවත් වැඩි වේ. මෙවැනි අය ළමුන්ට අඩන්තේට්ටම් පවා කළ හැක.

දවසේ වැඩි කාලයක් රැකියාව සඳහා යෙදවීමට සිදු වන දෙමාපියන්ගේ දරුවන්ව රැකබලා ගනු ලබන දිවා සුරැකුම් මධ්‍යස්ථාන දිනෙන් දින වැඩි වේ. ඇතැම් මධ්‍යස්ථාන පැය 24 පුරාම සේවය සලසයි. රූපවාහිනිය දැන් කුඩා ළමුන් බොහොමයකගේ රැකවලා බවට පත් වී තිබේ. දරුවන් අනාගතයේදී වගකීමෙන් යුතුව කටයුතු කරන යහපත් වැඩිහිටියන් ලෙස වර්ධනය වීමට නම්, දෙමාපියන් ඔවුන් සමඟ ඵලදායක ලෙස කාලය ගත කිරීමට නිතර සූදානම්ව සිටීම අවශ්‍යයි. මේ නිසා, සැපපහසු ජීවිතයක් ගත කිරීමේ අරමුණින් අධික ලෙස කාලය හා ශ්‍රමය වැය කිරීම හේතුවෙන් තම දරුවන් සමඟ කාලය ගත කිරීමට නොහැකි වන තරමට වෙහෙස වන දෙමාපියන්, එයින් තමන්ගේ දරුවන්ටත් තමන්ටත් සිදු වන හානිය ගැන දෙවරක් සිතා බැලීම නැණවත් දෙයකි.

නවීන තාක්ෂණය බහුලව යොදාගනිමින් ඉක්මනින් දේවල් කරන සමාජයක ජීවත් වන මහලු අයටද එහි බලපෑම දැනෙයි. අතීතයේදී මෙන් නොව අද දේවල් ඉතාමත් ඉක්මනින් වෙනස් වේ. එමෙන්ම දිනපතාම පාහේ නවීන පන්නයේ භාණ්ඩ වෙළඳපොළට ගලා එයි. මේ තත්වය නිසා තමන් ව්‍යාකූලත්වයට පත්ව සිටින බවක් මහලු අයට දැනෙයි. ඔවුන්ට බියක් දැනෙන අතර, තමන් මේ සමාජයට ගැළපෙන්නේ නැහැ කියාද හැඟෙයි. මේ නිසා ඔවුන්ට අනාගතයේදී කුමනාකාර තත්වයන්ට මුහුණ දීමට සිදු වනු ඇද්ද?

ඇත්තෙන්ම, අප තරුණ වුවත් මහලු වුවත් වේගයෙන් වෙනස් වන මේ සමාජයට තනිවම සාර්ථකව මුහුණ දීමට අපට හැකිද? මේ සඳහා අපට උපකාර කළ හැකි දේවල් තිබේද? ඔව්, අපට උපකාර කළ හැකි දේවල් තිබීම ගැන සතුටු විය හැක. ඊළඟ ලිපියේ මේ දේවල් අපගේ අවධානයට යොමු කර ඇත.

[පාදසටහන]

a සැබෑ නම් නොවේ.

[6වන පිටුවේ පින්තූර]

චර්නොබිල්හි සිදු වූ න්‍යෂ්ටික අනතුරටද, “චැලෙන්ජර්” අභ්‍යවකාශ යානය පුපුරා යෑමටද, “එක්සන් වල්ඩෙස්” නෞකාවේ තෙල් කාන්දු වීමටද හේතුව විඩාව විය හැක

[හිමිකම් විස්තර]

අනුග්‍රහය: U.S. Department of Energy’s International Nuclear Safety Program

NASA photo

[7වන පිටුවේ පින්තූර]

අධික ලෙස කාර්යබහුල වීම විවාහයන් අසාර්ථක වීමට හේතු විය හැක

[8වන පිටුවේ පින්තූරය]

අධික ලෙස වෙහෙසට පත් වූ විට, සහනයක් ලබාගැනීමේ අරමුණින් සමහරු මත්පැන් පානය කරති