බයිබලයේ නිරවද්‍ය ඉතිහාසය?
බයිබලයේ නිරවද්‍ය ඉතිහාසය?
ඔවුහු පාලකයන්ව දෝෂාරෝපණයට ලක් කළහ. පූජකයන්ව දැඩි සේ විවේචනයට භාජන කළහ. මහජනයාගේ දුෂ්ටකම නිසා ඔවුන්ට තදින් තරවටු කළෝය. ඔවුහු තමන්ගේම දුර්වලකම් සහ පාප හෙළි කිරීමට පසුබට නොවූහ. ඔවුන්ව දඩයම් කර වද හිංසාවට පාත්‍ර කළ අතර, සමහරුන් ඇත්ත ඇති සැටියෙන් කතා කළ නිසාත් ඒ ගැන ලියූ නිසාත් ඔවුන්ව ඝාතනය කළේය. මොවුන් කවුරුන් වීද? ශුද්ධ ලියවිලි ලිවීමේදී මොවුන් බොහෝදෙනෙකුගේ දායකත්වය ඊට ලැබිණ. මොවුන් නම් බයිබල් අනාගතවක්තෲන්ය.—මතෙව් 23:35-37.
පේජ් ස්මිත්, ඉතිහාසය සහ ඉතිහාසඥයා (ඉංග්‍රීසියෙන්) නමැති තම පොතේ මෙසේ ලිවීය. “[හෙබ්‍රෙව් ඉතිහාස වාර්තාකරුවන්] ඔවුන්ගේ වීරයන් ගැන ලිවීමේදී හා කෛරාටිකයන් ගැන ලිවීමේදී කිසි වෙනසක් කළේ නැත. තමන් ගැන වුණත් තමන්ගේ සතුරන් ගැන වුණත් වාර්තා කළේ ඉතා අවංකවයි. ඊට හේතුව, ඔවුන් ලියූ දෙය දෙවිගේ සියුම් පරීක්ෂාවට ලක්වීමය. එබැවින් ලියන දේට යමක් එකතු කිරීමෙන් හෝ සැඟවීමෙන් ඵලක් වූයේ නැති අතර, එසේ කළහොත් දේවඋදහස විඳින්න සිදු වනු ඇත.” ස්මිත් තවදුරටත් මෙසේ ලියුවේය. “සිරියාවේ හෝ මිසරයේ වීරෝධාර රජවරුන්ගේ නිරස ඉතිහාස වාර්තා සමඟ දෙවිගේ තෝරාගත් සෙනඟගේ පීඩා සහ ජයග්‍රහණයන් පිළිබඳ වාර්තා සන්සන්දනය කරද්දී . . . ඒ තුළ සිත්ගන්නා සැබෑවක් අන්තර්ගත බව පෙනේ. හෙබ්‍රෙව් ඉතිහාස වාර්තාකරුවන් ඉතිහාස අධ්‍යයනය තුළින් ඉතා වැදගත් අංගයක් සොයාගෙන තිබේ. එය නම්, ඉතිහාසයේ කතා කරන්නේ අඩුපාඩුකම් සහ වැරදි සිදු වන සැබෑ මිනිසුන් ගැනය යන කාරණයයි.”
බයිබල් ලේඛකයෝද ඉතා සුපරීක්ෂාකාරිව මෙන්ම නිරවද්‍ය ලෙස එය ලියුවෝය. ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් සහ පුරාවිද්‍යාව උපයෝගි කරගෙන බයිබලය විශ්ලේෂණය කිරීමෙන් පසු, බයිබලයෙහි ඓතිහාසික වටිනාකම (ජර්මන් බසින්) නමැති තම පොතේ හැඳින්වීමෙහි ලේඛක වර්නර් කෙලර් මෙසේ ලීවේය. “දැන් අප සතු නිරවද්‍ය සහ ඔප්පු කරන ලද සාක්ෂි හමුවේ, . . . දිගට හරහට මගේ ඔළුවට වද දෙන සිතුවිල්ලක් තිබේ. ‘බලාගෙන ගියහම බයිබලය හරිනේ!’”
බලවත් පාඩම් උගන්වන ප්‍රබල අතීතයක්
බයිබල් ලේඛකයන්ගෙන් බහුතරයක් ගොවියන්, එඬේරුන් සහ ධීවරයන් වැනි සාමාන්‍ය මිනිසුන් විය. එහෙත්, අවුරුදු 1,600ක කාලයක් පුරා ඔවුන් ලියූ දෑ පුරාණයේ හෝ වර්තමානයේ ලියූ වෙන කිසිම ලියවිල්ලකට වඩා මිනිසුන්ගේ ජීවිතවලට බලපා තිබේ. තවදුරටත්, හතර වටෙන්ම බයිබලයට ගුටි බැට දී තිබුණත්, එයින්ද ඵලක් වී නැත. (යෙසායා 40:8; 1 පේතෘස් 1:25) වර්තමානයේදී බයිබලය සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් භාෂා 2,200කින් කියවීමට ලැබී තිබේ. වෙනත් කිසිම පොතක් ඒ අහලකටවත් පැමිණ නැත! බයිබලය අනිත් පොත්වලට වඩා එතරම්ම වෙනස් වන්නේ මන්ද? ඊට පිළිතුරු මීළඟ වගන්තිවලින් දැනගත හැක.
“[දෙවිගේ] මනුෂ්‍යයා සම්පූර්ණව, සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ.”—2 තිමෝති 3:16.
“ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.”—රෝම 15:4.
“ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට [ඉශ්‍රායෙල්වරුන්ට] සිද්ධ වුණේය; ඒවා ලියා තිබෙන්නේ කාලවල කෙළවරට පැමිණ සිටින්නාවූ [අපට ක්‍රිස්තියානීන්ට] අවවාද පිණිසය.”—1 කොරින්ති 10:11.
දෙවිව සතුටු කළ සහ නොකළ සැබෑ මිනිසුන් පිළිබඳව දේවානුභාවයෙන් ලියැවී ඉතිහාසය පුරා ආරක්ෂා
වූ පොතක් හැටියට බයිබලය අනිකුත් සෑම පොතකටම වඩා කැපී පෙනේ. බයිබලය කියන්නේ, කළ යුතු සහ නොකළ යුතු දේවල් සම්බන්ධයෙන් කිසිම හැඟීමක් දැනීමක් නැති ලැයිස්තුවක්වත්, ළදරුවන්ව නිදි කරවන්ට ගෙතූ ලස්සන කතන්දර පෙළක්වත් නොවේ. බයිබලය ලියන්න දෙවි මිනිසුන්ව පාවිච්චි කළ බව ඇත්තයි. එයින් සිදු වී ඇත්තේ පරම්පරා ගණනාවකගේ හදවත් කරා ළඟාවීමට හැකි වන පරිදි බයිබලයේ හැඟීම්බර ගතිය වැඩිවීමය. පුරාවිද්‍යාඥ විලියම් ඕල්බ්‍රයිට් මෙසේ සඳහන් කළේය. “දෙවිගේ අද්විතීය එළිදරව් කිරීම වන බයිබලයේ අඩංගු ගැඹුරු සදාචාර මෙන්ම විනිවිද යන ආත්මික දැනුම මිනිසාට ලබා දී ඇත්තේ ඔහු සතු අද්දැකීම් සමුදාය තුළින්ය. එම දැනුම දැනට අවුරුදු දෙතුන් දහසකට පෙර නිවැරදි වුණා සේම අදත් නිවැරදිය.”බයිබලය සතු නොමියෙන වටිනාකම පැහැදිලි කරගැනීමට අපි මිනිස් ඉතිහාසයේ මුලටම යමු. එතැනට අපව ගෙන යා හැක්කේ බයිබලයට පමණක් බවද මතක තබාගන්න. දැන් උත්පත්ති පොතේ තිබෙන මූලික පාඩම් කිහිපයක් සලකා බලමු.
ඉපැරණි විස්තරවලින් කියා දෙන කාලෝචිත පාඩම්
උත්පත්ති පොතේ බොහෝ විස්තර ඇත. එහි මිනිස් පවුලේ ආරම්භය, නම් ගම් ඇතුව සඳහන් කරයි. මේ ගැන කතා කරද්දී වෙන කිසිම ඉතිහාස කෘතියක් බයිබලය තරම් නිශ්චිතව කාරණා සඳහන් කර නැත. ‘එහෙත් අපේ මුල් දෙමහල්ලන් ගැන දැනගැනීමේ ඇති වටිනාකම කුමක්ද’ කියා කෙනෙකු ඇසිය හැක. එහි විශාල වටිනාකමක් ඇත. සියලුම මිනිසුන් වර්ණ, ගෝත්‍ර හෝ ජාති භේදයකින් තොරව එකම මාපිය යුවළකගෙන් පැමිණෙන බව එය අපට සහතික කරයි. මෙසේ, උත්පත්ති පොත ජාතිවාදයට කිසිම ඉඩක් තබන්නේ නැත.—ක්‍රියා 17:26.
උත්පත්ති පොත සදාචාරමය මඟ පෙන්වීම් ගණනාවක්ම ඉදිරිපත් කරයි. එහි සොදොම, ගොමොරාව සහ ඒවායේ අසල්වැසි නුවරවල් යෙහෝවා විනාශ කිරීමට හේතු දක්වයි. යෙහෝවා එසේ කළේ ඔවුන්ගේ බරපතළ ලිංගික දුරාචාරය නිසයි. (උත්පත්ති 18:20-19:29) බයිබලයේ යූද් පොතේ හත්වන පදය මෙසේ කියයි. ‘සොදොම සහ ගොමොරාවද අවට නුවරවල්ද වේශ්‍යාකමට භාර වී, අන්‍ය මාංසය පස්සේ යෑම, අපට අවවාද ආදර්ශයක් කොට දක්වනු ලැබ තිබේ.’ (අකුරු ඇල කළේ අපය.) සොදොම් සහ ගොමොරාවේ සිටි මිනිසුන්ට දෙවිගෙන් කිසිම සදාචාර නීතියක් ලැබී තිබුණේ නැති බව ඇත්තයි. ඒ වුණත්, සැමෝටම දෙවි හෘදය සාක්ෂියක් දී තිබේ. එමනිසා, එම මිනිසුන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් සාධාරණ ලෙස විනිශ්චය කිරීමට දෙවිට හැකි විය. (රෝම 1:26, 27; 2:14, 15) එදා මෙන් අදත්, මිනිසුන් දෙවිගේ වචනය වන බයිබලය පිළිගත්තත් නැතත් ඔවුන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් ඔවුන් දෙවිට ගණන් දිය යුතුයි.—2 තෙසලෝනික 1:8, 9.
බේරී ජීවත් වීමට ඉතිහාසයෙන් පාඩමක්
රෝමයේ පිහිටි ටයිටස්ගේ ආරුක්කුවේ, රෝම හේවායන් පො.යු. 70දී යෙරුසලම වනසා දේවමාළිගාවේ තිබූ පරිශුද්ධ භාජන ගෙන යන හැටි දක්වා ඇත. යුදෙව්වෝ දශලක්ෂයකට වඩා එහිදී මිය ගියහ. කෙසේවෙතත්, සමහර ක්‍රිස්තියානීන් යේසුස් කලින් දුන් මෙම අනතුරු ඇඟවීමට අවනත වූ නිසා ජීවිත ගළවාගත්තේය. “යම් කලක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද, එකල එහි විනාශය ආසන්න බව දැනගන්න. එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායත්වා; එහි තුළ සිටින්නෝ පිටතට යත්වා; ගම්බද සිටින්නෝ එහි ඇතුල් නොවෙත්වා. මක්නිසාද ලියනලද සියල්ල සම්පූර්ණවන පිණිස ඒ දවස් පළිගැනීමේ දවස් වන්නේය.”—ලූක් 21:20-22.
යෙරුසලමේ විනාශය නිකම්ම පැරණි ඉතිහාසයක් පමණක් නොව, නුදුරු අනාගතයේදී මුළු ලෝකයටම බලපාන මහත් පීඩාවක පෙර ඡායාවක් විය. එහිදීද ජීවිත ගළවාගන්නන් සිටිනු ඇත. මොවුන්ව ‘සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනඟගෙනුත් භාෂාවන්ගෙනුත් පැමිණෙන මහත් සමූහයක්’ ලෙස විස්තර කර තිබේ. යේසුස් වැගිරවූ රුධිරය කෙරෙහි ඔවුන් ඇදහිල්ල පවත්වන නිසා මොවුහු ‘මහත් පීඩාව මැදින් එන්නෝය.’ එම ඇදහිල්ල, බයිබලයේ ඇති අනාවැකි සහ ඉතිහාසය මත දැඩි සේ පදනම් වී ඇත.—එළිදරව් 7:9, 14.
යළි මතු නොවන ඉතිහාසයක්
අදදින අප ජීවත් වන්නේ බයිබල් අනාවැකියේ සඳහන් අවසාන ලෝක බලය වන එංගලන්ත-අමෙරිකානු ලෝක බලය ක්‍රියාත්මක වන කාලයේයි. ඉතිහාසයේ ගමන් රටාව කියාපාන්නේ අනිකුත් ඒවා මෙන් එයද නිමාවකට පත් විය යුතු බවයි. නමුත් එය සිදු වන්නේ කෙසේද? බයිබලයේ කියන විදිහට, මේ ලෝක බලයේ නිමාව අද්විතීය ආකාරයකින් සිදු වේ. වර්ෂ 1914 වෙත යොමු දක්වමින් දානියෙල් 2:44, 45හි, එම කාලයෙහි පාලනය කරන දේශපාලනික ලෝක බලයන් නැතහොත් “රාජ්‍යවල්” ගැන මෙසේ සඳහන් කරයි. ‘ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවන්නේය. ඒකේ ආණ්ඩුව අන් සෙනඟකට අත්හරිනු නොලබන්නේය. ඒක ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කරන්නේය. එයද සදාකාලේටම පවතින්නේය.’
යේසුස් ක්‍රිස්තුස් විසින් නායකත්වය උසුලන දෙවිගේ ස්වර්ගීය රාජ්‍යය නැතහොත් ආණ්ඩුව, කලින් සඳහන් කළ ‘මහත් පීඩාවේ’ උච්ච අවස්ථාවේදී එනම් අර්මගෙදොන්හිදී, පීඩාකාරි මිනිස් පාලන තන්ත්‍රයන්ගෙන් ඉතිරි වන සෑම අංශු මාත්‍රයක්ම ඉවත් කරනු ඇත. ඉන්පසු, මෙම රාජ්‍යය “අන් සෙනගකට අත්අරිනු නොලබන්නේය.” ඉන් අදහස් කරන්නේ, එය කිසිම ආකාරයකින් පෙරළා දමන්ට නොහැකි වන බවයි. එහි පාලනය “පොළොවේ කෙළවර දක්වා” වන්නේය.—ගීතාවලිය 72:8.
ගීතාවලිය 72:7හි මෙසේ පොරොන්දු වේ. “[ඔහුගේ] දවස්වලදී ධර්මිෂ්ඨයා සඵලවන්නේය; සඳ නැතිවන තෙක්ම බොහෝ සමාදානයද වන්නේය.” ආත්මාර්ථකාමීත්වයවත් උඩඟුකමවත් නොව ප්‍රේමය නමැති දෙවිගේ ප්‍රධානම ගුණාංගය මිහිපිට රජයනු ඇත. (1 යොහන් 4:8) යේසුස් කිව්වේ, “එකිනෙකාට ප්‍රේමකරන්න” කියායි. මේ සම්බන්ධයෙන් ඉතිහාසඥ විල් ඩියුරන්ට් මෙසේ කීවේය. “ඉතිහාසයෙන් මම ඉගෙනගෙන තියෙන වැදගත්ම පාඩම යේසුස් ඉගැන්වූ දෙයට බොහෝ සේ සමානයි. එනම් මිහිපිට තිබෙන ප්‍රායෝගිකම දේ ප්‍රේමයයි.”
අන්තිමේදී, බොරු ආගම, පීඩාකාරි දේශපාලනය සහ ගිජු කූට ව්‍යාපාර මගින් කර තිබෙන කෲර ආධිපත්‍යය නිමාවකට පත් වනු ඇත.මිනිසා කෙරෙහි දෙවි තුළ තිබූ ප්‍රේමය බයිබලය ලිවීමට ආනුභාවය දෙන්ට ඔහුව පෙලඹවීය. අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබඳ පැහැදිලි දෘෂ්ටියක් අපට ලබා දෙන්නේ එය පමණි. බයිබලය අධ්‍යයනය කිරීමට ප්‍රමාණවත් කාලයක් යොදවා එහි ඇති ජීවනදායක පණිවිඩය සොයා බලන්න. ඒ සඳහා උදව් කිරීමටත් යේසුස්ගේ ආඥාවට අවනත වීමටත් යෙහෝවාගේ සාක්ෂිකරුවෝ කැමැත්තෙන් සිටිති. ඒ අරමුණ මුදුන් පමුණුවාගැනීම සඳහා ඔවුන් තම අසල්වැසියන් සමඟ ‘රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය’ ගැන කතා කරමින් සිටිත්. මෙසේ, එම ශුභාරංචිය ඉතා ඉක්මනින් යථාර්ථයක් බවට පත් වී, ජීවමාන ඉතිහාස වාර්තාවට එකතු වනවා ඇත.—මතෙව් 24:14.
[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“බලාගෙන ගියහම බයිබලය හරිනේ!” වර්නර් කෙලර්
[31වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“බයිබලයේ අඩංගු ගැඹුරු සදාචාර මෙන්ම විනිවිද යන ආත්මික දැනුම . . . දැනට අවුරුදු දෙතුන් දහසකට පෙර නිවැරදි වුණා සේම අදත් නිවැරදිය.”—පුරාවිද්‍යාඥ විලියම් ඕල්බ්‍රයිට්
[29වන පිටුවේ පින්තූර]
මෝවබීය ශිලා ලේඛනය: මෝවබ් සහ ඉශ්‍රායෙල් අතර ඇති වූ අරගලය (2 රාජාවලිය 3:4-27), බයිබලයේ සඳහන් ස්ථානවල නම් සහ පුරාණ හෙබ්‍රෙව් අක්ෂරවලින් දෙවිගේ නාමය සඳහන් වන ආකාරය පිළිබඳ මෙෂා රජුගේ වාර්තාව අඩංගුය. Musée du Louvre, Paris.
[හිමිකම් විස්තර]
Musée du Louvre, Paris.
රිදී මස්ස: තිබේරියස් කායිසර්ගේ රූපය කොටා ඇත (මාර්ක් 12:15-17).
නැබෝනිඩස්ගේ පුරාවෘත්තය: බබිලෝනිය හදිසියේම කෝරෙෂ් අතට පත්වීම තහවුරු කරන කීලාකාර පුවරුවකි. ඡායාරූපය British Museum අනුග්‍රහයෙනි.
[හිමිකම් විස්තර]
Photograph taken by courtesy of the British Museum.
ගල් පුවරුව: පොන්තියස් පිලාත් යන නම ලතින් බසින් ලියා ඇත.
[හිමිකම් විස්තර]
ඡායාරූපය © Israel Museum, Jerusalem; Israel Antiquities Authority අනුග්‍රහයෙනි.
මළ මුහුදේ ලියවිලිවල පසුබිම: යෙසායාගේ ලියවිල්ල පිළිබඳ අධ්‍යයනයකින් හෙළි වූයේ, අවුරුදු 1,000ක කාලයක් පුරා අත්පිටපත් කිරීමේදී වෙනස්කම් සිදු වී නැති තරම්ය කියායි. Shrine of the book, Israel Museum, Jerusalem මගිනි
[හිමිකම් විස්තර]
Shrine of the Book, Israel Museum, Jerusalem.
[30වන පිටුවේ පින්තූර]
රෝමයේ පිහිටි ටයිටස්ගේ ආරුක්කුව පො.යු. 70දී සිදු වූ යෙරුසලමේ විනාශය තහවුරු කරයි
[හිමිකම් විස්තර]
Soprintendenza Archeologica di Roma