Skip to content

පටුනට යන්න

යුකැලිප්ටස් ගස හඳුනාගනිමු

යුකැලිප්ටස් ගස හඳුනාගනිමු

යුකැලිප්ටස් ගස හඳුනාගනිමු

ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! ලේඛක විසිනි

ඉරිතැළුණු පොළොවේ සිට අඩි 300කටත් වඩා උසට විහිදෙන දැවැන්ත ගස් අතර වකුටු වූ කුරු ඒවාද දක්නට ඇත. ලෝකයේ උසම වෘක්ෂයන් අතරින් ප්‍රධාන තැනක් හිමි වන මෙම ගස් විශේෂයෙහි පත්‍රවලට ඇත්තේ අපූරු සැකැස්මක්ය. එමෙන්ම මලින් බර වූ මෙවන් ගසක් නෙත පිනවන දසුනකි. ඇතැම්විට ඔබ නොදැනුවත්වම මෙම ගසින් යම් ප්‍රයෝජනයක් ලබා තිබිය හැක.

මෙම විශේෂයට අයත් ගස්, වර්ග කිහිපයකටම බෙදිය හැකි අතර ඇල්පයින් ඈෂ් සහ ටැස්මේනියන් ඕක් මෙයට නිදසුන් දෙකකි. සාමාන්‍යයෙන් නම් මෙම ගස් හඳුන්වන්නේ ගම් ගස් යනුවෙනි. ගස්වල ගම් හෙවත් මැලියම්, ජලයෙහි දිය වන කාබොහයිඩ්රේට් අඩංගු ද්‍රව්‍යයකි. එහෙත් ගම් ගස්වලින් එවැනි ද්‍රව්‍යයක් නිපදවෙන්නේ නැති නිසා එම නම ඇත්තෙන්ම නොගැළපේ. එය වඩාත් යෝග්‍ය ලෙස හඳුන්වන්නේ යුකැලිප්ටස් යන නමිනුයි. යුකැලිප්ටස් පවුලේ සාමාජිකයන් 600කටත් වැඩිය සිටින අතර එහි නිජබිම වන්නේ ඕස්ට්‍රේලියාවය.

ඕස්ට්‍රේලියාවේ උතුරුකරයේ දක්නට ලැබෙන උණුසුම් නිවර්තන දේශගුණයේ මෙන්ම එහි ශුෂ්ක කාන්තාර දේශගුණයේ පවා යුකැලිප්ටස් ගස් සරුවට වැඩෙයි. පුදුමයකට මෙන්, එය දකුණු ටැස්මේනියාවේ හමන ඇන්ටාක්ටික් සුළංවලටද, වෙරළබඩ ප්‍රදේශයේ මීදුමෙන් වැසුණු කඳුවැටිවල අධික ශීතලටද හොඳින් ඔරොත්තු දෙයි. ඕස්ට්‍රේලියාව කොතරම් යුකැලිප්ටස්වලින් ගහනව ඇද්ද කිවහොත් 19වන සියවසේ විසූ සත්ව විද්‍යාඥයෙකු මෙන්ම ගවේෂකයෙකු වූ තැනැත්තෙක් මෙසේ පැවසීය. “අපි කොහේ ගියත් පේන්න තියෙන්නේ ගම් ගස්. භූ දර්ශනයේ කිසිම වෙනසක් පේන්න නැහැ. සැතපුමක් සැතපුමක් පාසා තියෙන්නේ එකම තුරුලතාදියයි.”

දහනවවන සියවසේදී ඕස්ට්‍රේලියාවට යුරෝපීය ජනයාගේ පැමිණීමත් සමඟ යුකැලිප්ටස් ගසට සෑහෙන හානි සිදු වී ඇත. රට සංවර්ධනය කිරීමේ අටියෙන් යුකැලිප්ටස් ගස්වලින් ගහන වූ විශාල ප්‍රදේශ එළිපෙහෙළි කෙරිණ. ඇත්තෙන්ම වර්ග කිලෝමීටර් 3,00,000ක් තරම් විශාල ප්‍රදේශයක් මෙලෙස එළිපෙහෙළි කර ඇති බව ගණන් බලා ඇත. කෙසේවෙතත්, මෙම අගනා සම්පත අගය කළ අයද සිටියේය. එමෙන්ම දහනවවන සියවසේ සිට යුකැලිප්ටස් ගස ලෝකයේ විවිධ රටවලට හඳුන්වා දීමටද පටන්ගෙන ඇත.

අධිරාජ්‍යයෙක් සහ විද්‍යාඥයෙක්

එක්දහස් අටසිය අසූගණන්වලදී, දැන් ඉතියෝපියාව වශයෙන් හැඳින්වෙන අබිසීනියාවේ IIවන මෙනෙලික් අධිරාජ්‍යයා තම අගනුවර වන අඩිස් අබාබාහි ශුෂ්ක දේශගුණයට ඔරොත්තු දෙන, දර සඳහා ප්‍රයෝජනයට ගත හැකි මෙන්ම හොඳින් සෙවණ ලබා දෙන ගස් වර්ගයක් සොයමින් සිටියේය. එළිපෙහෙළි කරන ලද එම ප්‍රදේශයට සරිලන එක ගස් වර්ගයක්වත් අප්‍රිකාවේ ස්වාභාවික වෘක්ෂලතා අතරින් ඔහුට සොයාගත නොහැකි විය. එමනිසා අධිරාජ්‍යයා තම රට හා සමාන කටුක දේශගුණයක් ඇති රටවල් වෙත තම අවධානය යොමු කළේය. “අඩිස් අබාබා” නමැති වචනයෙන් “අලුත පිපුණු මල” යන අදහස දෙන අතර, ඉතියෝපියාවේ ආර්ථිකය ගොඩනැංවීමට යුකැලිප්ටස් ගස දායක වී ඇති ආකාරය ඇඟවීම සඳහා එම නමින් නුවර හැඳින්වූ බවට මතයක් තිබේ.

නවීන දින ඉතිහාසයේ, යුකැලිප්ටස් ගස වෙනත් රටවල රෝපණය කිරීමට දායක වූ තවත් කෙනෙකු වන්නේ විද්‍යාඥ එඩ්මූන්ඩූ නාවාරූ ඩි ආන්ඩ්‍රාඩීය. බ්‍රසීලයේ ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතින වනාන්තර සංරක්ෂණය කිරීමේ අරමුණින් ඔහු 1910දී ඕස්ට්‍රේලියාවෙන් යුකැලිප්ටස් ගස් ගෙන්වාගැනීමට තීරණය කළේය. ඔහු බ්‍රසීලය පුරා යුකැලිප්ටස් ගස් මිලියන 38ක් රෝපණය කළ බවට වාර්තා වේ. අද බ්‍රසීලයේ යුකැලිප්ටස් ගස් බිලියන දෙකකට වැඩිය තිබෙන බවට ගණන් බලා ඇත!

අදදින බ්‍රසීලයේ ස්වාභාවික වැසි වනාන්තරවලට අමතරව විශාල යුකැලිප්ටස් කැලෑද දක්නට ඇත. ඇත්තෙන්ම ඕස්ට්‍රේලියාවට අමතරව ලෝකයේ විශාලතම යුකැලිප්ටස් කැලෑ දක්නට ලැබෙන්නේ බ්‍රසීලයේය. බ්‍රසීලය යුකැලිප්ටස් ගස්වලින් කොතරම් ප්‍රයෝජන ලබා ඇද්ද කිවහොත්, එම ගස් විශේෂය එරටට හඳුන්වා දීමෙන් ඉටු කළ සේවය වෙනුවෙන් විද්‍යාඥ නාවාරූට විශේෂ සම්මානයක් සමඟ පදක්කමක්ද පිරිනමන ලදි.

දිවි රකින ගසක්

ඇතැම් යුකැලිප්ටස් ගස් ඉරිතැළුණු පොළොවෙන් හැකි සෑම ජල බිඳක්ම උරාගන්නා අතර එම ජලය එහි මුල්වල තැන්පත් කරගනියි. මැලී වර්ගයේ යුකැලිප්ටස් ගස් මෙයට නිදසුනකි. ඕස්ට්‍රේලියාවේ මුල් වැසියන් මෙන්ම එරටට පැමිණි මුල්ම ගවේෂකයන්ද ශුෂ්ක කාන්තාර දේශගුණයේ බේරී ජීවත් වූයේ මෙම මුල්වල ඇති ජලයේ පිහිටෙනි. ඔවුන් ගැඹුරට කිඳා බැස නැති දිග මුල් ගෙන කුඩා බටවලට කපාගත්තේය. එම බටවලට පිඹින විට ලා දුඹුරු පැහැයට හුරු දියරයක් පිට වේ. මෙම දිවි රකින පානය එතරම් රුචි එකක් නොවුවත් අඩි 30ක් දිගැති මුලකින් දියර ලීටරයක්ම ලබාගත හැකි බවට කියැවේ.

යුකැලිප්ටස් පවුලේ වෙනත් සාමාජිකයන් වගුරු බිම්වලින් ජලය උරාගනිමින් සරුවට වැඩෙයි. ඉතාලි ජාතිකයන් පොන්ටයින් වගුරු බිම ආශ්‍රිතව ඇති වූ මදුරු වසංගතය තුරන් කර දැමීමට මෙම යුකැලිප්ටස් ගස් වර්ගය යොදාගත්තේය. ඔවුන් වගුරු බිම වටා ගස් සිටවූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් වගුරු බිමේ ජලය සිඳී ගියේය. දැන් මෙම ප්‍රදේශය සරු වගා බිමක් බවට පරිවර්තනය වී ඇත.

දැන් අප්‍රිකාවේ, අමෙරිකානු මහද්වීපවල, ආසියාවේ සහ යුරෝපයේ රටවල් පනහකට වැඩි ගණනක් යුකැලිප්ටස් ගසේ ආර්ථිකමය මෙන්ම සෞන්දර්යමය වටිනාකම අගය කරති. තවද එයින් ප්‍රයෝජන රැසක් නෙළාගනී. යුකැලිප්ටස් ගස්වල තද රතු මෙන්ම රන්වන් පැහැයට හුරු ලී, ගෘහ භාණ්ඩ නිර්මාණය කරන්නන්ගේ සිත්ගෙන තිබේ. එක් මූලාශ්‍රයකට අනුව, “ලෝකයේ ඝනම, ශක්තිමත්ම හා වඩාත්ම කල්පවතින දැව අතරින් යුකැලිප්ටස් දැවවලට ප්‍රධාන තැනක් හිමි වේ. යුකැලිප්ටස් ලීය ගුණයෙන් උසස් මට්ටමක පවතින නිසාත්, ඒවා වේගයෙන් වැඩෙන නිසාත් . . . , එය ලෝකයේ වටිනාම ඝන ලී සැපයුම ලෙස හැඳින්විය හැක.”

ජලයට ඔරොත්තු දෙන යුකැලිප්ටස් ගස් වර්ග නැව්, ජැටි, ටෙලිෆෝන් කණු හා වැටවල් සෑදීම සඳහා භාවිත කරයි. ඊට අමතරව, යුකැලිප්ටස් වර්ගයට අයත් ඇතැම් ගස්වල (Eucalyptus Melliodora සහ Eucalyptus Sideroxylon) හටගන්නා ලස්සන මල්වලින් මී මැස්සන් ඉතා රසවත් පැණි වර්ගයක් නිපදවයි. තවද, මෑතකදී ඕස්ට්‍රේලියාව යුකැලිප්ටස් ලී ටොන් මිලියන 4.5ක් අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන 250ක වාර්ෂික ආදායමක් උපයාගෙන ඇත.

කීනෝ, තෙල් හා ටැනින්

කීනෝ නමින් හැඳින්වෙන තද රතු පැහැති ඇලෙනසුලු දියරයක් යුකැලිප්ටස් ගසේ පිටපොත්තෙන් හා ලීයෙන් වෑස්සෙයි. කීනෝ වර්ග කිහිපයක් තිබෙන අතර ඉන් සමහරක් නැව්වල ලී ආරක්ෂා කිරීමට භාවිත කෙරේ. රුධිර ගැලීම නතර කිරීමට භාවිත කරන ඖෂධයක් නිපදවීමටද කීනෝ යොදාගැනේ. වෙනත් වර්ගයේ යුකැලිප්ටස් ගස්වල පොත්තෙන් ටැනින් කියා හඳුන්වන ද්‍රව්‍යයක් නිපදවෙයි. හම් පදම් කිරීමටද රෙදිපිළිවලට සායම් දැමීමටද එය යොදාගනී.

එහි ශාකපත්‍ර ගැන කුමක් කිව හැකිද? මවිතකර ලෙස නිර්මාණය කර ඇති ඒවා වටිනා තෙල් ගබඩාවක් වශයෙන්ද සැලකිය හැක. පණ නැති අතක ඇඟිලි මෙන් පහතට එල්ලා වැටෙන ඒවායේ මුදුන් ගසේ මුල් දෙසට යොමු වී ඇති නිසා පුනීලයක් මෙන් ක්‍රියා කරයි. හම්පටි මෙන් ඝන වූ මෙම පත්‍ර මතට වැටෙන ජල බිඳු ඒවායේ මුදුනේ සිට කෙමෙන් කෙමෙන් මුල් පද්ධතිය වෙත ඇද හැළෙයි.

පත්‍ර ආසුත ක්‍රියාවලියට ලක් කිරීමෙන් (උණු කර වාෂ්ප බවට හරවා නැවත සිසිල් කර ද්‍රව බවට පත් කිරීමෙන්) ඉතා ප්‍රබල මෙන්ම නැවුම් සුවඳක් ඇති යුකැලිප්ටස් තෙල සාදාගත හැක. මෙම තෙලින් සෑහෙන ප්‍රයෝජන ගන්නා අතර, සුවඳ විලවුන්, ඖෂධ මෙන්ම රසකැවිලි, සබන් වර්ග හා වෙනත් පිරිසිදුකාරක ද්‍රව්‍ය සෑදීමටද එය යොදාගනී. ස්වාභාවික පරිසරයේ තිබියදී යුකැලිප්ටස් තෙල පත්‍රවල පුටිකා තුළින් වාෂ්ප වී වාතාශ්‍රයට එකතු වන්නේ ඉතා කුඩා දිය බිඳු ස්වරූපයෙනි. මෙම දිය බිඳු හරහා හිරු එළිය ගමන් කරද්දී යුකැලිප්ටස් කැලෑවම නිල්වන් මීදුම් වලාපටලයකින් වැසී තිබෙන්නාක් මෙන් දිස් වේ. ඇත්තෙන්ම මෙය යුකැලිප්ටස් කැලයක සාමාන්‍ය ලක්ෂණයක් වන අතර, සිඩ්නි නුවරෙහි බටහිර මායිමෙහි පිහිටි කඳුවලට බ්ලූ මවුන්ටන්ස් (නිල්වන් කඳු) යන නම ලැබී ඇත්තේද එහි දක්නට ලැබෙන මෙම අපූරු දර්ශනය නිසාය.

කෑම තෝරා බේරා කන හපනෙකුගේ නිජබිම

යුකැලිප්ටස් වනාන්තරවල, පුළුන් බෝලයක් වැනි හුරුබුහුටි සතෙකු වන සුප්‍රසිද්ධ කොආලාව දැකගත හැක. ශාක භක්ෂකයෙකු වන කොආලා කන්නේ යුකැලිප්ටස් කොළවල අග කොටස පමණි. කොතරම් දුරට කෑම තෝරා බේරා කනවාද කිවහොත් යුකැලිප්ටස් වර්ග ගණනාව අතරින් ඌ කන්නේ වර්ග 12කින් විතරයි! එවැනි ආහාර වේලක් අනුභව කිරීමෙන් වෙනත් සතෙකුට හානියක් එල්ල විය හැකි නමුත් කොආලාට නම් කිසි හානියක් නොවේ. එයට හේතුව දැන් සලකා බලමු.

කොආලාට විශේෂ ආහාර ජීර්ණ පද්ධතියක් තිබේ. එක විශේෂත්වයක් වන්නේ මීටර් එකත් දෙකත් අතර දිග ප්‍රමාණයකින් යුත් උගේ උණ්ඩුකපුච්ඡයයි. සාමාන්‍යයෙන් මිනිසාගේ උණ්ඩුකපුච්ඡයේ දිග සෙන්ටිමීටර් 8ත් 15ත් අතර වේ. මෙම පුංචි සතාගේ උණ්ඩුකපුච්ඡය නිර්මාණය කර ඇත්තේ යුකැලිප්ටස් කොළවලින් තමාට අවශ්‍ය ප්‍රෝටීන, කාබොහයිඩ්රේට් හා මේද උරාගැනීමට හැකි වන පරිදියි.

ඒ තරම් ප්‍රසිද්ධ නැති ඕස්ට්‍රේලියාවට ආවේණික වූ තවත් සතෙක් වන ග්ලයිඩිං පොසම්ද කොආලාගේ කෑම මේසයෙන්ම අනුභව කරයි. මවිල්වලින් වැසුණු ඌ නිවසේ ඇති කරන පූසෙකු තරම් විශාලය. උගේ වල්ගය සෙන්ටිමීටර් 40ක් පමණ දිග වන අතර එයද මවිල්වලින් වැසී ඇත. උගේ ඉදිරි පාදවල සිට පිටුපස පාද දක්වා විහිදී යන ශරීරයට සම්බන්ධ වූ සම් පටල දෙකක් දක්නට ඇත. එයයි උන්ට අත්තෙන් අත්තට පැන යෑමටත්, එසේ පනිද්දී මීටර් 100ක් තරම් දුරක් පාවී යෑමටත් හැකි කරවන උන්ගේ පියාපත් යුගළය. පැරෂූටයක් සේ ක්‍රියා කරන එම පියාපත් යුගළ භාවිත කරමින් උන් සමහර අවස්ථාවලදී එක අත්තකින් තවත් අත්තකට පනින අතරතුර අංශක 90ක්ම ගුවනේ කැරකේ.

ලැව් ගිනි

ලැව් ගිනි ඕස්ට්‍රේලියාවේ යුකැලිප්ටස් කැලෑවලට සෑහෙන තර්ජනයක් එල්ල කරයි. කෙසේනමුත් මෙම ගස් නිර්මාණය කර ඇත්තේ ලැව් ගිනිවලට ඔරොත්තු දෙන ආකාරයෙනි. ඒ කෙසේද?

සාමාන්‍යයෙන් කඳේ සහ අතුවල පොතුවලට යටින්, වර්ධනය නොවුණු දළු සොයාගත හැක. ලැව් ගින්නක් හේතුවෙන් ගසේ පත්‍ර හා පොත්ත මුළුමනින්ම විනාශ වෙත්ම මේවා විගස දළුලන්න පටන්ගනී. එමනිසා මව් වෘක්ෂය මිය යන්නේ නැති අතර එහි කඳ පුරාම අලුත් ශාක පත්‍ර හටගනී. තවද ලැව් ගින්නක් ඇති වූ විට බිම වැටී ඇති බීජ රෝපණය වී අලුත් ගස් වැඩෙන්න පටන්ගන්නේය.

වටිනා ගසක්

යුකැලිප්ටස් තෙලින් සාදාගත් බෙහෙතකින් ඔබේ උගුරට සුවයක් ලබා දී ඇද්ද? එහෙමත් නැත්නම් ඔබ යුකැලිප්ටස් පැණිවලින් සෑදූ රසකැවිලි රස බලා ඇද්ද? යුකැලිප්ටස් දැවවලින් තැනූ යාත්‍රාවකින් ඔබ ගමන් කර ඇද්ද? එම ලීවලින් තැනූ නිවසක සෙවණ ලබා ඇද්ද? එහෙමත් නැත්නම් එහි දර ප්‍රයෝජනයට ගෙන ඇද්ද? ඔබ එවන් ප්‍රයෝජන ලබා ඇත්නම් යුකැලිප්ටස් ගසේ වටිනාකම තේරුම්ගෙන ඇති බවට කිසිම සැකයක් නැත. ඔබ කොයි යම් ආකාරයකින් හෝ එයින් ප්‍රයෝජන ලබා ඇතැයි කියා සිතිය හැක. එසේ නම්, ඊළඟ වතාවේ ඔබ ඔබේම දෙනෙතින් හෝ ඡායාරූපයකින් හෝ හුරුබුහුටි කොආලාවෙකුව දකින විට අපූරු ලෙස නිර්මාණය කර ඇති උගේ නිවහන ගැනත් මොහොතකට සිතා බලන්න.

ඇත්තෙන්ම ඕනෑම තත්වයකට ඔරොත්තු දෙන, හොඳ දරාගැනීමේ ශක්තියක් ඇති යුකැලිප්ටස් ප්‍රයෝජන රැසක් ඇති ගසකි.

[16, 17වන පිටුවේ පින්තූරය]

යුකැලිප්ටස් ගස ලෝකයේ උසම වෘක්ෂයන් අතරින් ප්‍රධාන තැනක් ගනී

[17වන පිටුවේ පින්තූරය]

මී මැස්සන් යුකැලිප්ටස් මලෙන් ඉතා රසවත් පැණි වර්ගයක් සාදයි

[18වන පිටුවේ පින්තූරය]

“ලෝකයේ ඝනම, ශක්තිමත්ම හා වඩාත්ම කල්පවතින දැව අතරින් යුකැලිප්ටස් දැවවලට ප්‍රධාන තැනක් හිමි වේ”

[18වන පිටුවේ පින්තූර]

කොආලාවන් (වම් පැත්තේ) මෙන්ම ග්ලයිඩිං පොසම් (ඉහළ) යුකැලිප්ටස් කොළ ආහාරයට ගනී

[හිමිකම් විස්තර]

© Alan Root/Okapia/PR

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Geoff Law/The Wilderness Society

[17වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Courtesy of the Mount Annan Botanic Gardens