Skip to content

පටුනට යන්න

වළ දැමූ අතීතය ගොඩගන්නේ මොකටද?

වළ දැමූ අතීතය ගොඩගන්නේ මොකටද?

වළ දැමූ අතීතය ගොඩගන්නේ මොකටද?

“ඈත අතීතයෙහි සිට මේ දක්වා මිය ගිය අසංඛ්‍යාත ජනයාත්, අප මැරුණු තැන්වල රූස්ස ගස් වැවුණු කල්හි මිහිමත වෙසෙන අනාගත පරපුරත්, අපත් අතර කිට්ටු බැඳීමක් ඇති බව ඉතිහාසය ඉගෙනගනිද්දී හැඟේ.” ඉතිහාසය තේරුම්ගැනීමට අත්පොතක් නමැති පොතේ කර්තෘ මයිකල් ස්ටැන්ෆඩ්.

අතීතය අමතක කර ජීවත් වන්නෙකු හරියට මුලක් නැති ගසක් මෙනි. ඉතිහාසය ගැන නොදන්නා කෙනෙකු තමාට, තමාගේ පවුලට, තමාගේ ගෝත්‍රයට, එහෙමත් නැත්නම් තමාගේ ජාතියටම මූලාරම්භයක් නැති බව සිතන්න පුළුවන. වර්තමානය තුළ කිසිඳු ස්ථිරභාවයක් නොදකින ඔහු ජීවිතයේ අරුත දැකීමට නොහැකිව අතරමං විය හැක.

අතීතයට පයින් ගසන්නෙකු කලින් වැටුණු වළටම යළිත් වැටෙනවා නියතයි කියා දාර්ශනිකයෙක් පවසා ඇත. එසේය, ඉතිහාසය වනාහි ජීවිතය ගැන ගුරුහරුකම් දෙන බොහෝ ඇසූ පිරූ තැන් ඇති පඬි රුවනක් වැන්න. යළි යළිත් එකම වළේ නොවැටී සිටීමට අත දීමට ඔහුට හැක. ආපස්සට ගමන් කිරීමෙන්, පැරණි ශිෂ්ටාචාර දෙස විවෘත මනසකින් යුතුව එබිකම් කර බැලීමට ඔහු අපට හැකි කරවන්නේය. අරුම පුදුම ගවේෂණයන්ට පාර කියන්නේය. දුටු සැණෙකින් හද සොරාගන්නා ස්ත්‍රී පුරුෂයන් අපට මුණ ගස්සවන්නේය. මිනිස් ජීවිතය හා තමා අවට ඇති ලෝකය දෙස විවිධ කෝණවලින් බැලීමට මනස විවෘත කර දෙන්නේය.

කෙසේවෙතත්, ඉතිහාසයෙන් කියවෙන්නේ අතීතයේ විසූවන් හා ඔවුන් කළ කී දේවල් ගැන හෙයින් ඒවා විශ්වාස කිරීමට තරම් පදනමක් අපට තිබේද? හොඳයි, අප ඉතිහාසයෙන් වටිනා කියන පාඩම් ඉගෙනගන්න නම්, එය සැබෑ බව අප සහතික කරගත යුතුයි නේද? සැබවින්ම එය එසේ විය යුතුයි. නමුත් සැබෑව සොයාගත් පසු එය පිළිගැනීමටද අප සූදානම්ව සිටීම අවශ්‍යයි. දිරවන්නේ නැතැයි නැතහොත් තිත්තයි කියමින් එය කාරා දැමීමට අප ලැහැස්ති නොවිය යුතුයි. විකසිත වූ සියුමැළි රෝස මල් මොනතරම් සුන්දරද! ඒත් ඒවායේ නටුවල කටුද තිබේ! අතීතයත් හරියට රෝස මල් පාත්තියක් වගෙයි.

අප කියවන දෙයෙහි ඇත්ත නැත්ත වටහාගැනීමට උපකාරවත් වන මිනිස් ඉතිහාසයේ විවිධ අංග ගැන මීළඟ ලිපිවලින් විමසා බලනු ලැබේ. බුද්ධිමත් පාඨකයෙකු අව්‍යාජ වූ ඓතිහාසික සිදුවීම්වලින් ප්‍රයෝජන ලබන්නේ කෙසේද යන්නත් අප සලකා බලනු ඇත.

[23වන පිටුවේ පින්තූරය]

නෙෆටිටි බිසව

[23වන පිටුවේ පින්තූරය]

ඉතිහාසයෙන් අපට කුමක් ඉගෙනගත හැකිද?

[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

නෙෆටිටි: Ägyptisches Museum der Staatlichen Museen Preußischer Kulturbesitz, Berlin

පසුතලය: ඡායාරූපය British Museum අනුග්‍රහයෙනි