Skip to content

පටුනට යන්න

හද සලිත කරවන ඒඩ්ස් සංඛ්‍යා ලේඛන

හද සලිත කරවන ඒඩ්ස් සංඛ්‍යා ලේඛන

හද සලිත කරවන ඒඩ්ස් සංඛ්‍යා ලේඛන

දකුණු අප්‍රිකාවේ පිබිදෙව්! වාර්තාකරුවෙකු විසින්

ටෙම්බෙකා, දකුණු අප්‍රිකාවේ පිටිසරබද ගමක වෙසෙන 12-හැවිරිදි දැරිවියක්. ඇගේ දෙමාපියන් ඒඩ්ස් රෝගයෙන් මියගිය නිසා වයස අවුරුදු දහයේ, හයේ හා හතරේ පසු වන ඇගේ නැගණියන් තිදෙනාව රැකබලා ගන්න ඇයට සිදු වුණා. “ආදායම් මාර්ගයක් නොතිබෙන එම දැරිවියන්ට ජීවත් වෙන්න සිදු වෙලා තිබෙන්නේ අසල්වැසියන්ගේ පිළිසරණෙන් . . . පාන් රාත්තලක්, අල ටිකක් වැනි දේවලින්” කියා පුවත්පත් වාර්තාකරුවෙක් පැවසුවා. වසර 2000 ජූලි මාසයේ දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී පැවැත්වූ 13වන ජාත්‍යන්තර ඒඩ්ස් සම්මන්ත්‍රණයේදී, දකුණු අප්‍රිකානු පුවත්පතක මුල් පිටුවේ පළ වූ මේ දැරිවියන්ගේ පින්තූරයක් පෙන්වනු ලැබුවා.

ඒඩ්ස් නිසා අනාථ වූ මිලියන සංඛ්‍යාතදෙනෙක් ටෙම්බෙකා හා ඇගේ නැගණියන් අද්දකින දේවල්ම අද්දකිමින් සිටිනවා. කොණ්ඩොම් භාවිත කිරීම මගින් ඒඩ්ස් වළක්වාගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම, දැනට තිබෙන වියදම අඩු ඒඩ්ස් ප්‍රතිකාර යොදාගැනීම හා ප්‍රබල ඒඩ්ස් එන්නත් නිපදවීම සඳහා වැඩි මුදලක් පරිත්‍යාග කිරීම වැනි ක්‍රම මගින්, උග්‍ර වෙමින් පවතින ඒඩ්ස් උවදුර වළක්වාගත හැකි ආකාරය පිළිබඳව සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කරනු ලැබුවා. ස්ත්‍රීන්, විශේෂයෙන්ම බාල දැරිවියන් එයට ගොදුරු වීමට ඇති ඉඩ කඩ සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරුණා.

කුමරි බඹසර නොබිඳුණු තැනැත්තියක් සමඟ කායික සබඳතා පැවැත්වූ විට සමාජ රෝග සුව වන බව විශ්වාස කරන පුරුෂයන්, ඒඩ්ස් රෝගය වැළඳී මිය ගිය දෙමව්පියන් නිසා අනාථ වී සිටින දැරිවියන්ව ඒ සඳහා යොදාගැනීම සෝචනීයයි. මීට අමතරව, බොහෝ පුරුෂයන් දරුවෙකු බිහි නොකළ තැනැත්තියක් හා විවාහ වීමෙන්ද වැළකී සිටිනවා. මේ නිසා, කොණ්ඩොම් භාවිතය සලකන්නේ විවාහය හා මව් පදවිය යන දෙකටම බාධකයක් ලෙසයි.

බොහෝ දැරිවියන්ට ඒඩ්ස් අවදානම ගැන හරිහැටි අවබෝධයක් නොතිබීම කනගාටුවට කරුණක්. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) මගින් පැවැත්වූ සමුළුවකදී නිකුත් කළ වාර්තාවක් පිළිබඳව, දකුණු අප්‍රිකානු පුවත්පතක් වන සෝවෙටන් මෙවැනි අදහසක් ඉදිරිපත් කළා. “යුනිසෙෆ් මගින් පැවැත්වූ සමීක්ෂණවලින් හෙළි වී තිබෙන්නේ, දකුණු අප්‍රිකාවේ වයස අවුරුදු 15ත් 19ත් අතර දැරිවියන්ගෙන් සියයට 51ක්, සෞඛ්‍ය සම්පන්න තැනැත්තෙක් එච්අයිවීවලින් ආසාදිත විය හැකි බවවත්, ඔවුන් මගින් තමන්ටත් රෝගය බෝවිය හැකි බවවත් නොදැන සිටි බවයි.”

ඒඩ්ස් පැතිරීමට තවත් හේතුවක් වී ඇත්තේ ස්ත්‍රීන් ලිංගික දූෂණයට ලක්වීමයි. සමුළුවට සහභාගි වූ රන්ජෙනි මූනූසාමි, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග්වල පළ කරන සන්ඩේ ටයිම්ස්හි මෙසේ වාර්තා කළා. “ස්ත්‍රීන්ට එරෙහිව ඉතා දරුණු ලෙස පිරිමි බලය යෙදීමෙන් සිදු කරන මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව, එච්අයිවී වැළැක්වීමට හා ඒ සඳහා ප්‍රතිකාර කිරීමට විශාල බාධකයක් වී තිබෙනවා. ස්ත්‍රී දූෂණය, ව්‍යභිචාරය, භාර්යාවන්ට ගුටි බැට දීම හා ලිංගික අතවර වැනි දේවල් මගින් බොහෝවිට ලිංගිකව බලහත්කාරකම් සිදු කෙරෙන නිසා, එය එච්අයිවීවලින් ආසාදනය වීමේ අවදානමට හේතු සාධකයක් වෙනවා.”

මෙහි දැක්වෙන වගුවට අනුව සම්මන්ත්‍රණයේදී නිකුත් කළ සංඛ්‍යා ලේඛන ඇත්තෙන්ම තැතිගන්වනසුලුයි. ගණන් බලා තිබෙන ආකාරයට සෑම දිනකම යෞවන අය 7,000කට හා බිළිඳුන් 1,000කට එච්අයිවී ආසාදනය වෙනවා. අප්‍රිකාවේ දකුණු සහරා ප්‍රදේශවල 1999 වසර තුළදී පමණක් දරුවන් 8,60,000කට පමණ තම ගුරුවරුන් අහිමි වූයේ ඒඩ්ස් රෝගය නිසයි.

දකුණු අප්‍රිකාවේ වෛද්‍ය පර්යේෂණ කවුන්සලය මගින් පළ කළ දත්තවලට අනුව, එහි ජනයාගෙන් මිලියන 4.2ක් එච්අයිවීවලින් ආසාදනය වී සිටින අතර, ඉන් ඇඟවෙන්නේ සෑම පුරවැසියන් 10දෙනෙකුගෙන් 1කෙනෙක් ඊට ගොදුරු වී සිටින බවයි. ඒ අවට රටවල තත්වය ඊටත් වඩා දරුණුයි. එක්සත් ජාතීන්ගේ ජනලේඛන කාර්යාංශය මගින් කළ තක්සේරු කිරීමක් පිළිබඳව ද නේටල් විට්නස්හි මෙසේ වාර්තා වුණා. “ඒඩ්ස්වලට ගොදුරු වී මිලියන ගණන් මියයෑම හේතුවෙන් නොබෝ කලකින් ඇතැම් අප්‍රිකානු රටවල ජනගහනය ශීඝ්‍රයෙන් අඩු වී යෑමටත්, මේ දශකය අවසන් වන විට ආයුෂ කාලය 30ගණන් දක්වා පහත බැසීමටත් පටන්ගනීවි.”

“අන්තිම දවස්වලදී” හටගනු ඇතැයි බයිබලයේ පුරෝකථනය කළ “කටයුතු කිරීමට අසීරු අර්බුදකාරි [කාලවල්වල]” මනුෂ්‍යවර්ගයා ජීවත් වන බවට ඒඩ්ස් ඛේදවාචකය මගින් තවදුරටත් සාක්ෂි සපයනවා. (2 තිමෝති 3:1-5NW ) දේවවචනය වන බයිබලයට ඇලුම්කරන්නන්, ඒඩ්ස්වලට මෙන්ම මනුෂ්‍ය සංහතියට වින කර ඇති වෙනත් සියලුම ගැටලුවලට සම්පූර්ණ, සදාකාලික විසඳුමක් ලැබෙන තුරා ආශාවෙන් බලා සිටිනවා. ළඟදීම, මේ මිහි මඬලේ පාලනය දේවරාජ්‍යය අතට පත් වෙන්න යනවා. දිළිඳුබව හා පීඩිතබව දැහැමි නව ලොවේදී අතීත පිය සටහන් බවට පත් වේවි. (ගීතාවලිය 72:12-14; 2 පේතෘස් 3:13) අනතුරුව, ලෝ වාසීන් පරිපූර්ණ සෞඛ්‍යයක් දක්වා යළි ප්‍රකෘතිමත් වනු ඇති අතර, ඉන් මතුවට ඔවුන්ගෙන් කිසිවෙකු “තමා ලෙඩින්යයි” කිසිදා නොකියනු ඇත.—යෙසායා 33:24.

[14වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ඒඩ්ස් නිසා අනාථ වූ අය 1,30,00,000ක් පමණ ලොව පුරා සිටී

[15වන පිටුවේ වගුව⁄සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

1999 අවසානය වෙද්දී එච්අයිවී/ඒඩ්ස් වැළඳී තිබූ වැඩිහිටියන්ගේ සංඛ්‍යාව (වයස 15 සිට 49 දක්වා)

උතුරු අමෙරිකාව 890,000

කැරිබියන් දූපත් 350,000

ලතින් අමෙරිකාව 1,200,000

බටහිර යුරෝපය 520,000

නැඟෙනහිර හා මධ්‍යම යුරෝපය 410,000

උතුරු අප්‍රිකාව හා මැදපෙරදිග 210,000

අප්‍රිකාවේ දකුණු සහරා ප්‍රදේශ 23,400,000

දකුණු හා ගිනිකොනදිග ආසියාව 5,400,000

පැසිෆික් දූපත් 530,000

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය 15,000

[හිමිකම් විස්තර]

Source: UNAIDS

[15වන පිටුවේ ප්‍රස්තාරය⁄පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

1999 අවසානය වෙද්දී අප්‍රිකානු රටවල් 16ක එච්අයිවී/ඒඩ්ස් ආසාදිතව සිටි වැඩිහිටියන්ගේ (වයස 15 සිට 49 දක්වා) ප්‍රතිශතය

1 බොට්ස්වානා 35.8%

2 ස්වාසිලන්තය 25.2

3 සිම්බාබ්වේ 25.0

4 ලෙසතො 23.5

5 සැම්බියාව 20.0

6 දකුණු අප්‍රිකාව 20.0

7 නැමීබියාව 19.5

8 මලාවි 16.0

9 කෙන්යා 14.0

10 මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුව 14.0

11 මොසැම්බික් 13.2

12 ජිබුටි 11.7

13 බුරුන්ඩි 11.3

14 රුවන්ඩාව 11.2

15 අයිවරි කෝස්ට් 10.7

16 ඉතියෝපියාව 10.6

[හිමිකම් විස්තර]

Source: UNAIDS

[පින්තූරය]

ටෙම්බෙකා ඇගේ නැගණියන් සමඟ

[හිමිකම් විස්තර]

Photo: Brett Eloff