Skip to content

පටුනට යන්න

අපේ අරුම පුදුම හිරු

අපේ අරුම පුදුම හිරු

අපේ අරුම පුදුම හිරු

ඇතැම්විට ඔබ මෙම ලිපිය කියවද්දී හිරු උදා වී තිබෙන්න පුළුවන. එසේත් නැත්නම් එය තව ටික වේලාවකින් උදා වනු ඇත. කෙසේවෙතත්, ඔබ මොහොතකටවත් මේ ගැන සිතා ඇද්ද? හිරු රශ්මිය නොතිබුණේ නම්, ඔබ ඇතුළුව පෘථිවි ග්‍රහයා මත ජීවත් වන අසංඛ්‍යාත ගණන් ජීවීන්ට පැවතීමට නොහැක. එපමණක්ද නොව, පියවි ඇසට නොපෙනෙන ඒක සෛලීය බැක්ටීරියාවේ සිට යෝධ තල්මසා දක්වා පවතින මිලියන ගණනාවක් ඉක්මවූ විවිධ ජීවීන් දක්නට නොලැබේ.

ඇත්තෙන්ම සූර්යයා නිපදවන ශක්ති ප්‍රමාණයෙන් පෘථිවිය වෙතට පැමිණෙන්නේ මිලියන 500කින් එක පංගුවක් පමණි. එනමුත් මිහිපිට වෙසෙන සෑම ජීවියෙකුගේම පැවැත්මට මෙන්ම පෝෂණයට එම “අංශු මාත්‍රය” ප්‍රමාණවත්ය! එපමණක් නොව, එම සුළු ශක්ති ප්‍රමාණය කාර්යක්ෂම ලෙස මිනිස් සංහතියේ ප්‍රයෝජනය සඳහා යොදාගන්නවා නම්, නූතන ජනයාගේ බලශක්ති අවශ්‍යතාව අතිරික්තයක් ඇතුව පහසුවෙන්ම සපයාගත හැකි වේ.

තාරකා ශාස්ත්‍රය පිළිබඳ ලියැවුණු බොහෝ කෘතිවල පවසන්නේ අපේ හිරු නිකම්ම නිකම් තාරකාවක්, එසේත් නැත්නම් “එතරම් වැදගත් නැති ආකාශ වස්තුවක්” කියාය. නමුත් එය සැබෑවක් විය හැකිද? සියැටල්හි වොෂිංටන් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥයෙකු වන ගීල්යෙර්මෝ ගොන්සාලේස්ගේ අදහසට අනුව අපේ සූර්යයා සැබවින්ම අද්විතීය තාරකාවකි. වෙනත් ග්‍රහයන් මත ජීවීන් සිටිනවාදැයි සෙවීම සඳහා කරන ගවේෂණවලට මෙය බලපෑ හැකිද? “බුද්ධිමත් ජීවීන්ගේ පැවැත්මට දායක වෙන්න පුළුවන් තාරකා ගණනාවක් තියෙනවා කියා ජනයා සිතුවත් සැබෑ තත්වය ඒක නෙවෙයි. තාරකා ශාස්ත්‍රඥයන් තම ගවේෂණයන් සූර්යයා වැනි විශේෂ ලක්ෂණ තියෙන තාරකාවලට පමණක් සීමා කෙරුවේ නැත්නම් ඔවුන් කරන්නේ කාලය අපතේ හැරීමක් විතරයි” කියා ගොන්සාලේස් පිළිතුරු දෙයි.

ජීවයේ අඛණ්ඩ පැවැත්මට දායක වන්නේ හිරුගේ කුමන ලක්ෂණද? මෙම ප්‍රශ්නය සලකා බලද්දී විශ්වයේ ස්වභාවය ගැන කර ඇති බොහෝ ප්‍රකාශයන් මතයන් පමණක් බව මතක තබාගනිමු.

කුහුල දනවන ලක්ෂණ

● හුදෙකලා තාරකාවක්: සූර්යයා අවට ප්‍රදේශයේ පවතින තාරකාවන්ගෙන් සියයට 85ක්ම පිහිටා ඇත්තේ පොකුරු වශයෙන් නැත්නම් ජෝඩු වශයෙන් කියාත්, එම තාරකා එකිනෙකා වටා ගමන් කරනවා කියාත් තාරකා විද්‍යාඥයෝ විශ්වාස කරති. එම තාරකා එකිනෙකට බැඳී පවතින්නේ ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් කියාත් පැවසේ.

සූර්යයා නම් හුදෙකලාවේ පවතින තාරකාවකි. “සූර්යයාගේ හුදෙකලා පිහිටීම ඇත්තෙන්ම අසාමාන්‍ය දෙයක්” කියා තාරකා විද්‍යාඥ කෙනත් ජේ. එච්. ෆිලිප්ස් තමා ලිවූ කෘතියක (Guide to the Sun) සඳහන් කර තිබිණ. සූර්යයාගේ හුදෙකලා පිහිටීම පෘථිවියට වඩාත් පහසු, බාධක රහිත ගමන් මඟකට ඉඩ සලසා දෙන අතර, පෘථිවිය ජීවීන් සඳහා කදිම ස්ථානයක් බවට පත් වී ඇත්තේද එම හේතුව නිසාමයි කියා ගොන්සාලේස් තවදුරටත් පැහැදිලි කර දෙන්නේය.

● යෝධ තාරකාවක්: සූර්යයාගේ තවත් විශේෂිත ලක්ෂණයක් ඇත. එය ගොන්සාලේස් පහදා දුන් ආකාරය සඟරාවක (New Scientist) මෙලෙස පළ කර තිබිණ. “[සූර්යයා] අවට ප්‍රදේශයේ පිහිටි තාරකා අතරින් සියයට දහයක් විශාලතම තාරකා ගණයට වැටෙන අතර සූර්යයාද එම විශාලතම තාරකාවලින් එකකි.” ෆිලිප්ස් මෙසේ අදහස් දක්වයි. “අපේ සෞරග්‍රහ මණ්ඩලයේ මුළු ස්කන්ධයෙන් සියයට 99.87ක්ම සූර්යයාගේය. ඒ නිසා සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම වස්තූන් පාලනය වන්නේ සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලයෙනි.”

සූර්යයා මෙතරම් විශාල තාරකාවක් වීම හේතුවෙන්, පෘථිවිය එයට තරමක් ඈතින්, එනම් කිලෝමීටර් මිලියන 150ක් ඈතින් පිහිටා ඇතත් සූර්යයා වටා යන ගමනේදී එය කිසිදා ඉවතට නොයයි. තවද සූර්යයාත් පෘථිවියත් අතර ඇති මෙම විශාල දුර ප්‍රමාණය නිසා පෘථිවියේ ජීවීන්ව සූර්යයාගේ අධික උෂ්ණත්වයෙන්ද ආරක්ෂා වේ.

● ස්කන්ධයෙන් වැඩි මූලද්‍රව්‍ය: සූර්යයාගේ ස්වභාවයට මෙන්ම එහි ආයු කාලයට සමාන වෙනත් තාරකා ඇතත්, ඒවායෙහි ඇති ස්කන්ධයෙන් වැඩි මූලද්‍රව්‍ය ප්‍රමාණයට වඩා සියයට පනහකට වැඩි මූලද්‍රව්‍ය ප්‍රමාණයක් සූර්යයා තුළ ඇති බව ගොන්සාලේස් පෙන්වා දෙයි. මෙයට කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, මැග්නීසියම්, සිලිකන් හා යකඩ අයත් වේ. මෙලෙස, සූර්යයා තම සගයන් අතර අද්විතීය තාරකාවක් ලෙස කැපීපෙනෙයි. “සූර්යයා තුළ ස්කන්ධයෙන් වැඩි මූලද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නොතිබුණත් . . . වෙනත් තාරකා සමඟ සසඳා බලද්දී එහි වැඩි ප්‍රමාණයක් තිබෙන බව පැවසිය හැකියි” කියා ෆිලිප්ස් පැහැදිලි කර දෙයි. සූර්යයා මෙන් ස්කන්ධයෙන් වැඩි මූලද්‍රව්‍ය ප්‍රමාණයක් තිබෙන තාරකාවන් ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Population (පොපියුලේෂන්) I තාරකාවන් ලෙසය.

මෙය පෘථිවි ජීවයේ පැවැත්මට සම්බන්ධ වන්නේ කෙසේද? මෙම ස්කන්ධයෙන් වැඩි මූලද්‍රව්‍ය ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍යය. නමුත් එම මූලද්‍රව්‍ය ඉතා දුර්ලභ වන අතර විශ්වයේ සංයුතියේ ඒවා තිබෙන්නේ සියයට එකක් පමණි. අපේ පෘථිවිය නම් මුළුමනින්ම වාගේ සෑදී ඇත්තේ මෙම ස්කන්ධයෙන් වැඩි මූලද්‍රව්‍යවලිනි. ඊට හේතුව වන්නේ අපේ පෘථිවිය ඉතා අසාමාන්‍ය තාරකාවක් වන අපේ සූර්යයා වටා කක්ෂගත වීමයයි තාරකා ශාස්ත්‍රඥයන් පැහැදිලි කර දෙයි.

● එතරම් ඉලිප්සාකාර නොවන ගමන් මඟක්: සූර්යයා පොපියුලේෂන් I තාරකාවක් වීමේ තවත් ප්‍රයෝජනයක් ඇත. “සාමාන්‍යයෙන් පොපියුලේෂන් I ගණයේ තාරකා චක්‍රාවාටයේ කේන්ද්‍රය වටා ගමන් කරන අතර ඒවා කක්ෂගත වන්නේ සෑහෙන දුරට වෘත්තාකාර ගමන් මඟකයි.” මෙලෙස පවසන්නේ කලින් සඳහන් කළ (Guide to the Sun) කෘතියේය. ඇත්තෙන්ම, හිරුගේ ආයු කාලයට හා එහි වෙනත් ලක්ෂණවලට සමාන තාරකා ඇත. කෙසේවෙතත්, ඒවායේ ගමන් මඟ හිරුගේ ගමන් මඟට වඩා ඉලිප්සාකාර වේ. මෙය පොළොව මත ජීවයේ පැවැත්මට බලපාන්නේ කෙසේද? සූර්යයා ගමන් කරන්නේ සෑහෙන දුරට වෘත්තාකාර ගමන් මඟක නිසා එය සාමාන්‍යයෙන් සුපර්නෝවා (පිපිරීමට ලක් වන තාරකා) සැරිසරන ප්‍රදේශයක් වන චක්‍රාවාටයේ අභ්‍යන්තරයට ඇදී නොයයි.

● නොවෙනස් වන දීප්තියක්: අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන තාරකාව ගැන සලකා බලද්දී උනන්දුව ඇති කරවන තවත් කරුණක් ඇත. ඊට සමාන වෙනත් තාරකා එක්ක සසඳා බලද්දී සූර්යයාගේ දීප්තියේ ඒ තරම්ම වෙනස්කම් ඇති නොවේ. වෙනත් ආකාරයකින් පැවසුවොත් එයින් නික්මෙන එළිය වෙනත් තාරකා මෙන් නිතරම අඩු වැඩි නොවේ.

මෙලෙස නොවෙනස් වන දීප්තියකින් ආලෝකය විහිදුවීම පෘථිවිය මත ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය අංගයකි. “පෘථිවිය මත අපේ පැවැත්මෙන් ඔප්පු වන්නේ සූර්යයා විහිදුවන දීප්තිය එහි වඩාත්ම නොවෙනස් වන පාරිසරික ලක්ෂණවලින් එකක් බවයි.” මෙසේ පැවසුවේ විද්‍යාව පිළිබඳ ඉතිහාසඥ කාර්ල් හෆ්බවර්ය.

● කක්ෂතලය ඇලව පිහිටීම: ක්ෂීර පථයේ තලය හා සූර්ය කක්ෂතලයේ පිහිටීම එකිනෙකට සමාන්තර නොවේ. හිරුගේ කක්ෂතලය පිහිටා ඇත්තේ ක්ෂීර පථයේ තලයට ඇලවය. කෙසේවෙතත්, එය ඇල වී ඇත්තේ ඉතා සුළු වශයෙනි. මෙය පෘථිවියේ ජීවීන්ගේ ශුභසාධනයට දායක වන්නේ කෙසේද?

සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවරෙහිම විශාල ගෝලාකාර වල්ගා තරු පොකුරක් දක්නට ඇත. ඌට් වලාපටලය වශයෙන් හැඳින්වෙන එයින් අපේ සෞරග්‍රහ මණ්ඩලය වට වී ඇත. a හිරුගේ කක්ෂතලය ක්ෂීර පථයේ තලයට වඩා සෑහෙන ඇලව පිහිටා ඇතැයි සිතන්න. එසේ වූවා නම් හිරු අපේ චක්‍රාවාට තලය හරහා වේගයෙන් ගමන් කර ඌට් වලාපටලයේ ගැටීමට ඉඩ ඇත. එවිට විශාල වල්ගා තරු වර්ෂාවක් කඩා වැටී පොළොව විනාශ වීමට පවා හැක.

සූර්ය ග්‍රහණවලින් උගත හැකි දෑ

අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් නවයෙන් හතක් වටා කක්ෂගත වන චන්ද්‍රිකා අඩුම තරමින් 60ක්වත් ඇත. කෙසේවෙතත්, පූර්ණ සූර්ය ග්‍රහණයක් අද්දකින්නේ පෘථිවිය පමණි. ඒ මන්ද?

සූර්ය ග්‍රහණයක් ඇති වන්නේ චන්ද්‍රයා සූර්යයාත් පෘථිවියත් අතර පිහිටන අවස්ථාවලදීය. පූර්ණ සූර්ය ග්‍රහණයක් ඇතිවීමට නම් සූර්යයාත් සඳත් හරි සමාන්තරව පිහිටිය යුතු අතර හිරුගේ ප්‍රකාශ ගෝලය සඳ මගින් සම්පූර්ණයෙන්ම වැසී යා යුතුය. හිරුගේ ප්‍රකාශ ගෝලය මෙලෙස වැසී යන්නේ පෘථිවියේ සිටින්නෙකුට සඳත් හිරුත් ප්‍රමාණයෙන් එක සමානව දිස් වන නිසාය. සූර්යයාගේ විෂ්කම්භය සඳේ විෂ්කම්භයට වඩා 400 ගුණයකින් විශාල බැවින් එම වස්තූන් දෙක එක සමානව දිස් වන්නේ මන්ද? පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර පෘථිවියේ සිට සඳට ඇති දුරට වඩා 400 ගුණයකින් පමණ වැඩි වන නිසාය.

කෙසේවෙතත්, පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර මෙන්ම පෘථිවියට පෙනෙන සූර්යයාගේ ප්‍රමාණය පූර්ණ සූර්ය ග්‍රහණයක් ඇතිවීමට පමණක් නොව පෘථිවිය මත ජීවයේ පැවැත්මටත් අත්‍යවශ්‍ය සාධකයකි. “අප හිරුට තව දශමයක් ළඟින් පිහිටියා නම් පෘථිවියේ ජීවීන්ට දරාගන්න බැරි දැඩි උෂ්ණත්වයක් තිබේවි. තව දශමයක් ඈතින් පිහිටියා නම් දරාගන්න බැරි දැඩි සීතලක් ඇති වේවි” කියා ගොන්සාලේස් පවසන්නේය.

ජීවීන්ගේ පැවැත්මට දායක වන තවත් සාධක තිබේ! පෘථිවියට ඇත්තේ වෙනත් ග්‍රහයන්ට වඩා විශාල චන්ද්‍රයෙකු නිසා, එයින් නික්මෙන ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වෙද්දී ඕනෑවට වඩා සෙලවෙන්නේ නැතුව ගමනේ නිරත වේ. මෙයින් පෘථිවිය මත සිටින ජීවීන්ට යහපතක් සිදු වේ. මන්ද ඕනෑවට වඩා සෙලවෙමින් භ්‍රමණය වූවා නම් පෘථිවි දේශගුණයෙහි පාලනය කළ නොහැකි මෙන්ම විනාශකාරි වෙනස්කම් සිදුවීමට ඉඩ ඇති නිසාය. එමනිසා පෘථිවියේ ජීවීන් පවතින්න නම් සූර්යයා හා පෘථිවිය අතර නියම දුර ප්‍රමාණයක් තිබිය යුතු අතර නියම ප්‍රමාණයෙන් යුත් චන්ද්‍රයෙක්ද සිටිය යුතුය. මීට අමතරව සූර්යයාගේ අද්විතීය ස්වභාවයද ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයකි. මේ සියල්ල අහම්බෙන් සිදු වුණායයි සිතිය හැකිද?

අහඹු සිදුවීමක්?

ඔබේ වාහනයේ එන්ජිම ට්‍යුන් කිරීම සඳහා එය පුහුණුව ලත් ඉතා දක්ෂ කාර්මික ශිල්පියෙකු වෙතට යවනවායයි සිතන්න. ඔහු පූර්ණ උත්සාහයක් දරමින් තිතටම වැඩේ නිම කර දෙන්නේය. ඔහු කර දුන් වැඩේ නිකම් ඉබේම සිදු වුණායයි ඔබ කියා සිටියා නම් ඔහුට හැඟෙන්නේ කෙසේද කියා සිතා බලන්න.

අපේ හිරුගේ අද්විතීය ස්වභාවය පිළිබඳවත් කීමට ඇත්තේ එම දෙයමයි. ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ අපේ හිරුගේ ස්වභාවය, එහි ගමන් මඟ හා පෘථිවියේ සිට එයට ඇති දුර ප්‍රමාණය ඇතුළු වෙනත් ලක්ෂණ, වාසනාවකට මෙන් සිදු වූ අහඹු සිදුවීමකින් හටගත්තා කියාය. මෙය බුද්ධිමත් නිගමනයක්යයි පැවසිය හැකිද? එය තර්කානුකූලද?

ඉතා තියුණු කාර්යක්ෂමතාවක් ඇති එන්ජිමක් එය සකස් කළ කාර්මික ශිල්පියාගේ පුහුණුව හා කුසලතාවන් ගැන යම් ඉඟියක් සපයනවා සේම, අපේ හිරු මෙන්ම වෙනත් ආකාශ වස්තූන් යම් කාරණයක් ගැන කියාපායි. පෘථිවියේ ජීවය පැවතීමට හැකි කරවන අපේ මව් තාරකාවේ විශිෂ්ට ස්වභාවය ගත් කල, එය බුද්ධිමත් මෙන්ම බලවත් නිර්මාතෘවරයෙකු හෙවත් මැවුම්කරුවෙකු විසින් සාදන ලද්දක් බව සක්සුදක් සේ පැහැදිලි වේ. ප්‍රේරිත පාවුල් එය පැහැදිලි කළේ මෙලෙසය. “ලෝකය මැවූ තැන් පටන් [දෙවිගේ] අදෘශ්‍යමාන දේ වන [ඔහුගේ] සදාකාලිකවූ බලය හා දෙවිකම මවනලද දේවලින් තේරුම් ගොස් පැහැදිලිලෙස පෙනීයන්නේය.”—රෝම 1:20.

[පාදසටහන]

a ඌට් වලාපටලය ගැන වැඩි විස්තර දැනගැනීමට 1999 අගෝස්තු 8 පිබිදෙව්! කලාපයේ 26වන පිටුව බලන්න.

[17වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සූර්යයා නිපදවන ශක්තියෙන් පෘථිවිය වෙතට පැමිණෙන්නේ මිලියන 500කින් එක පංගුවක් පමණි

[16වන පිටුවේ පින්තූරය]

සූර්යයාගෙන් නික්මෙන් මෙවන් ගිනිදැල් පෘථිවියේ ජීවීන්ට කිසිදු හානියක් සිදු නොකරයි

[හිමිකම් විස්තර]

Pages 2, 15, and 16: NASA photo

[17වන පිටුවේ පින්තූරය]

පොළොවේ සිට බලන විට සඳත් හිරුත් ප්‍රමාණයෙන් එක සමානව පෙනෙන චිත්තාකර්ෂණීය සූර්ය ග්‍රහණයක්—මෙය අහඹු සිදුවීමක් විය හැකිද?

[18වන පිටුවේ පින්තූරය]

සූර්යයාගේ කක්ෂතලය වෙනස් වූවා නම් විශාල වල්ගා තරු වර්ෂාවක් කඩා වැටී අපේ පෘථිවිය විනාශ විය හැක