Skip to content

පටුනට යන්න

අවි පාලනය සාර්ථක වේවිද?

අවි පාලනය සාර්ථක වේවිද?

අවි පාලනය සාර්ථක වේවිද?

මෑතක සිට ලොව පුරා තිබෙන ආණ්ඩු, නීති විරෝධි අවි වෙළඳාම වැළැක්විය හැකි ක්‍රම ගැන සාකච්ඡා කරමින් සිටියි. මේ කාරණය ගැන එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීමේදීද අවධානය යොමු කෙරිණ. මේ පිළිබඳව වාර්තා සකස් කර තිබේ. නොයෙකුත් යෝජනාද ඉදිරිපත් වී ඇත. සම්මුතිවලටද එළඹ ඇත. කෙසේවෙතත්, අවධානය මුළුමනින්ම යොමු කර තිබෙන්නේ නීති විරෝධි අවි වෙළඳාම කෙරෙහි මිස, ආණ්ඩු විසින් මහා පරිමාණයෙන් සිදු කරනු ලබන අවි ගනුදෙනු කෙරෙහි නොවන බව විචාරකයෝ පෙන්වා දෙති.

ඇත්තෙන්ම, නීත්‍යානුකූල හා නීති විරෝධී අවි වෙළඳාම අතර පැහැදිලි වෙනසක් දක්නට නැත. කලක් නීති විරෝධි අවි විශාල වශයෙන් නීත්‍යානුකූලව අළෙවි කරනු ලැබීය. මුලින්ම හමුදාවට හා පොලීසියට අළෙවි කළ අවි, බොහෝ අවස්ථාවලදී සොරකම් කර නීති විරෝධි ලෙස වෙනත් අයට විකුණා තිබේ. මුලින්ම අවි මිල දී ගත් තැනැත්තාගේ අනුදැනුම හෝ අවසරය නොමැතිව වෙනත් පාර්ශ්වයකට එම අවි නැවත විකිණීමද අද සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. එක් සඟරාවක (Arms Control Today) පළ වූ ලිපියක මෙසේ සඳහන් විය. “ජාතික ආණ්ඩු මගින් නීති විරෝධි අවි වෙළඳාම තහනම් කරන නීති ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. තමන් විසින් සිදු කරනු ලබන නීත්‍යානුකූල අවි ගනුදෙනු ගැනද දැනට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.” අනාගතයේදී ආණ්ඩු විසින් සුළු අවි වෙළඳාම වැළැක්වීමට නිශ්චිත ක්‍රියා මාර්ගයක් ගනු ඇති බවට බොහෝදෙනෙක් විශ්වාසය පළ කරති. එහෙත් මේ ගැන එක් මාධ්‍යවේදියෙක් මෙසේ සඳහන් කළේය. “ලෝකයේ අවි වෙළඳාමින් සියයට 80කට වඩා වැඩි ප්‍රමාණයකට වගකිව යුත්තේ [එක්සත් ජාතීන්ගේ ආරක්ෂක] මණ්ඩලයට අයත් නිත්‍ය සාමාජිකයන් පස්දෙනායි. ඒ නිසා, මේ වෙනුවෙන් ඉක්මන් පියවර ගන්නා තෙක් සෑහෙන කාලයක් බලා සිටීමට සිදු වේවි.”

සංකීර්ණ අවිවලට වඩා සුළු හා සැහැල්ලු අවි පහසුවෙන් නිෂ්පාදනය කළ හැකි නිසා ඒවා පාලනය කිරීම ගැටලුවක් වී තිබේ. යුධ ටැංකි, ප්‍රහාරක ගුවන් යානා හා යුධ නෞකා නිෂ්පාදනය කිරීමේ හැකියාව රටවල් 12කට පමණක් සීමා වී තිබුණත්, අද වන විට රටවල් 50ක පමණ තිබෙන අවි නිෂ්පාදන සමාගම් 300කට වැඩි ගණනක සැහැල්ලු අවි නිෂ්පාදනය කෙරීගෙන යයි. මහා පරිමාණයෙන් ගිනි අවි නිෂ්පාදනය කරන මෙම සමාගම්, ජාතික ආණ්ඩුවලට පමණක් නොව, ත්‍රස්තවාදී කණ්ඩායම්වලට හා අපරාධ සිදු කරන සංවිධානවලට පවා අවි මිල දී ගැනීමේ අවස්ථාව වැඩි වැඩියෙන් විවෘත කර දී තිබේ.

උණුසුම් විවාදයන්

මෙතෙක් අප අවධානය යොමු කළේ යුද්ධය නිසා බිඳ වැටී තිබෙන රටවල සුළු අවි භාවිතය කෙරෙහිය. එහෙත් ගිනි අවි පාලනය කිරීම සම්බන්ධයෙන් උණුසුම් වාද විවාද, යුද්ධ නොපවතින රටවලද පවතී. ගිනි අවි පාලනය කිරීම සඳහා දැඩි නීති ස්ථාපිත කළ යුතුයි කියා තරයේ කියා සිටින අය පවසන්නේ, ගිනි අවි වැඩි වන තරමට මිනීමැරුම්ද වැඩි වන බවයි. තුවක්කු බහුලව භාවිත කරන හා ගිනි අවි පාලනය කිරීම සම්බන්ධයෙන් දැඩි නීති නොමැති අමෙරිකා එක්සත් ජනපදයේ මිනීමැරුම් සංඛ්‍යාව ඉහළ මට්ටමක තිබෙන බවත්, ගිනි අවි භාවිතය ගැන දැඩි නීති තිබෙන එංගලන්තයේ එය අඩු මට්ටමක තිබෙන බවත් පවසමින් ඔවුහු ගිනි අවි පාලනයට පක්ෂව තර්ක ඉදිරිපත් කරති. ගිනි අවි පාලනය කිරීම සඳහා නීති පැනවීම ගැන විරෝධය පාන අය එම තර්කය බිඳ හෙළීම සඳහා බොහෝදෙනෙකුට පහසුවෙන්ම අවි ලබාගත හැකි ස්විට්සර්ලන්තයේ මිනීමැරුම් සංඛ්‍යාව අඩු මට්ටමක පවතින බව පෙන්වා දෙති.

අමෙරිකා එක්සත් ජනපදයේ ගිනි අවිවලින් සිදු නොවන මිනීමැරුම් සංඛ්‍යාව, යුරෝපීය රටවල් බොහොමයක සිදු වන මුළු මිනීමැරුම් සංඛ්‍යාවට වඩා වැඩි බව අධ්‍යයනවලින් හෙළි වී තිබෙන නිසා මේ ප්‍රශ්නය විසඳීම තවත් අසීරු කරවයි. එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ මුළු මිනීමැරුම් සංඛ්‍යාවට වඩා ගිනි අවිවලින් සිදු නොවන මිනීමැරුම් සංඛ්‍යාව වැඩි රටවල්ද තිබේ.

යම් කරුණක් තහවුරු කිරීමේදී සංඛ්‍යා ලේඛන නිවැරදි ලෙස හෝ වැරදි ලෙස යොදාගැනීම අද සාමාන්‍ය පුරුද්දක් බවට පත්ව තිබේ. අවි පාලනය කිරීම සම්බන්ධයෙන් කතා කරන විට, ඊට පක්ෂව හා විපක්ෂව ඉදිරිපත් කරන කරුණුවල යම් සත්‍යයක් තිබෙන බව පෙනෙයි. මේ විෂය ඉතාමත් සංකීර්ණ විෂයකි. කෙසේවෙතත්, මිනීමැරුම් හා අපරාධ ඉහළ යෑමට, තුවක්කු ළඟ තබාගැනීමට අමතරව වෙනත් බොහෝ හේතුද බලපාන බව විශේෂඥයෝ පෙන්වා දෙති.

“මිනිසුන්ව ඝාතනය කරන්නේ තුවක්කු නොව මිනිසුන්මය.” මෙය අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික රයිෆල් සංගමය නිතර ගෙනහැර දක්වන ප්‍රකාශයකි. මෙම ප්‍රකාශයට අනුව, තුවක්කුවක් සාදා තිබෙන්නේ ඝාතනය කිරීමට වුවත්, ඉබේම වෙඩිල්ලක් පත්තු වන්නේ නැත. හිතාමතාම හෝ අහම්බෙන් හෝ කොකා ගැස්සවිය යුත්තේ යම් කෙනෙකු විසිනි. එහෙත් තුවක්කු නිසා මිනිසුන්ව ඝාතනය කිරීම පහසු දෙයක් වී තිබෙන බවට ඇතැමුන් කරුණු ගෙනහැර දක්වයි.

කඩුවලින් හීවැල් තළාගැනීම

බයිබලයේ සඳහන් දේවලින් පැහැදිලි වන්නේ, අපරාධකරුවන්ව නිරායුධ කිරීමෙන් පමණක්ම මිනිස් ඝාතන වැළැක්විය නොහැකි බවයි. අපරාධවලට හේතුව ගිනි අවි පමණක්ම නොවේ. සමාජීය හේතුද ඊට බලපායි. මේ නිසා මිනිස් ඝාතනවලට සැබෑ විසඳුමක් ලබාගැනීමට නම් සමාජයේ සිටින මිනිසුන්ගේ ආකල්පවල වෙනසක් සිදු විය යුතුය. අනාගතවක්තෘ යෙසායා දෙවිගේ ආනුභාවයෙන් මෙසේ ලීවේය. ‘[දෙවි] ජාතීන් අතරේ විනිශ්චය කොට, බොහෝ ජනයන්ගේ කාරණා නිශ්චය කරන්නේය. ඔවුහු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.’—යෙසායා 2:4.

කවදාවත් එවන් දෙයක් සිදු විය නොහැකියි කියා සමහරුන්ට හැඟෙන්න පුළුවන. නමුත්, යෙසායා පැවසූ එම අනාවැකිය අදදින ලොව පුරා සිටින සැබෑ ක්‍රිස්තියානීන් අතර ඉටු වී තිබේ. ඔවුන් අතර පවතින සාමයෙන් පිළිබිඹු වන්නේ දෙවිව සතුටු කරමින් අන් අය සමඟ සාමයෙන් ජීවත් වීමට ඔවුන් තුළ අවංක ආශාවක් තිබෙන බවයි. දෙවිගේ රාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලයේදී සැබෑ සාමය හා සුරක්ෂිතභාවය පොළොව පුරා පවතිනු ඇත. (මීකා 4:3, 4) ඒ කාලයේදී මිනිසුන් මිනිසුන්ව මරා දමන්නේ නැත. එමෙන්ම මාරක ගිනි අවියක් සොයාගන්නවත් ලැබෙන්නේ නැත.

[10වන පිටුවේ පින්තූර]

‘ඔවුහු තමුන්ගේ කඩුවලින් හීවැල් තළාගන්නෝය’