Skip to content

පටුනට යන්න

ඔබේ හිසකෙස් ගැන දත යුතු දේ

ඔබේ හිසකෙස් ගැන දත යුතු දේ

ඔබේ හිසකෙස් ගැන දත යුතු දේ

“ඕනෑම වයසක පසු වන හා ඕනෑම සංස්කෘතියකට අයත් වන කෙනෙකුගේ හිසකේවලින් එය සතු පුද්ගලයා ගැන යමක් කියාපායි” කියා එක් ප්‍රකාශනයක පළ වී තිබෙනවා. එසේනම්, තම හිසකේ නිරෝගීව, ආකර්ෂණීයව තබාගැනීමට බොහෝදෙනෙක් වෙහෙසීම පුදුමයක් නොවෙයි.

හිසකේවල ව්‍යූහය හා ඊට දිය යුතු නිසි සාත්තුව පිළිබඳව පළපුරුදු හිසකේ සකසන්නන් හතරදෙනෙකුගෙන් පිබිදෙව්! වාර්තාකරුවෙක් පොදු ප්‍රශ්න කීපයක් අසනු ලැබුවා. එවිට පැහැදිලි වුණේ මතුපිටින් දකින දේට වඩා වැඩි දෙයක් හිසකේවල ගැබ්ව තිබෙන බවයි.

හිසකේ වැඩීම හා වැටී යෑම

ප්‍ර: හිසකේවල ව්‍යූහය කුමක්ද?

උ: හිසකේවල තන්තුමය ප්‍රෝටීන් විශේෂයක් වන කෙරටින් අඩංගුයි. සෑම කෙස් ගසක්ම රෝපණය වන්නේ හිස් කබලේ ඇති කූපයකින්. රුධිරය බහුල ලෙස සැපයෙන පිටිකාවක් ඒ සෑම කූපයකම අභ්‍යන්තරයේ පිහිටා තිබෙනවා. පිටිකාව කෙස් ගසේ සෛල නිපදවමින් කූපයෙන් ඉහළට නැඟෙන අතර එය කෙස් ගස ලෙසින් ඝනට වැඩෙයි.

ප්‍ර: කොණ්ඩෙ කැපුවහම එය ශීඝ්‍රයෙන් වැඩෙන බවට විශ්වාසයක් පවතිනවා. මේක ඇත්තක්ද?

උ: නැහැ. ගසක කඳ එහි අතු පෝෂණය කරන්නාක් මෙන් කෙස් ගසද ශරීරයෙන් පෝෂණය වන බවට සමහරු උපකල්පනය කරනවා. නමුත් හිස් කබලෙන් කෙස් ගසක් වැඩෙන විට එම කෙස් ගස මළ ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. එබැවින්, කොණ්ඩෙ කැපීම එහි වැඩීමට බලපෑමක් නොවෙයි.

ප්‍ර: හිසකේ පැසෙන්නේ ඇයි?

උ: කෙස් ගසට ආවේණික වර්ණය ලබා දෙන වර්ණකයක් කෙස් ගසේ අභ්‍යන්තර ස්තරයේ අඩංගුයි. වර්ණක සෛල මියයන විට කෙස් ගස සුදු පැහැයක් ගනී. එය වයසට යෑමේ ක්‍රියාවලියේ අංගයක්. අකලට කෙස් පැසීම සිදු වන්නේ ප්‍රවේණි ලක්ෂණ හෝ රෝගී තත්වයක් නිසා විය හැකියි. කෙසේවුවත්, එක් රැයකින් හිසකේ පැසෙන බව පැවසීම මිථ්‍යාවක්. වර්ණක තැන්පත් වී තිබෙන්නේ හිස් කබලේ යටි තලයෙයි. ඉතින් සුදු හිසකේ වැඩීමටත් (මාසයක් තුළ අඟල් භාගයක් පමණ), හිසෙන් මතුවීමටත් යම් කාලයක් ගත වෙනවා.

ප්‍ර: කෙස් ගැළවී යෑමට හේතු මොනවාද?

උ: කෙස් ගසේ ස්වාභාවික චක්‍රයේ එක් අංගයක් කෙස් ගැළවී යෑම. සාමාන්‍යයෙන්, දිනපතා හැම කෙනෙකුගේම 50 සිට 80 දක්වා කෙස් ගස් ප්‍රමාණයක් වැටී යනවා. නමුත් පිරිමින්ගේ තට්ටෙ පෑදෙන්නේ ප්‍රවේණි ලක්ෂණයක් හේතුවෙන් වන අතර, එයින් පෙනී යන්නේ නොකඩවාම කෙස් ගැළවී යෑමට සලස්වන හෝමෝන අසමබරතාවක් හේතුවෙන් එය සිදු වෙන බවයි. අසාමාන්‍ය ලෙස කෙස් ගැළවී යෑම ඇලොපීසියාව ලෙසින් හැඳින්වෙයි. a

ප්‍ර: හිසකේ කෙනෙකුගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් යමක් කියාපාන කැඩපතක් කියා සමහරු පවසනවා. ඔබ මෙය නිරීක්ෂණය කර තිබෙනවාද?

උ: ඔව්. හිස්කබලේ යටි තලයේ රුධිරය කෙස් ගසට පෝෂණය දෙනවා. එබැවින් නිරෝගී කොණ්ඩයක් තිබීමෙන් ඇඟවෙන්නේ මනා පෝෂණයෙන් යුත් රුධිර සැපයුමක් තිබෙන බවයි. කෙසේවුවත්, නිසි ලෙස ආහාර නොගන්නාවූ හෝ මත්පැන් පානයට ඇබ්බැහි වී සිටින්නාවූ තැනැත්තෙකුගේ රුධිර සැපයුමෙන් ඔහුගේ හිසකේවලට නිසි පෝෂණයක් නොලැබෙන නිසා ඔහුගේ හිසකේ අප්‍රාණික හා දුර්වල තත්වයකට පත් වෙයි. කෙස් ගැළවී යෑම හෝ දුර්වල වීම රෝගීබවේ හෝ ගර්භිණීබවේ පෙර ලක්ෂණයක්ද විය හැකියි.

ඔබේ හිස්කබල හා හිසකේ නිරෝගීව තබාගැනීම

ප්‍ර: කොණ්ඩෙ සහ හිස්කබල ෂැම්පු කරන ආකාරය විස්තර කරන්න.

උ: හිස්කබලේ වියළි ගතිය හේතුවෙන් ගැටලු මතු වී තිබෙන වැඩිදෙනෙකුගේ අද්දැකීම්වලින් පෙනී ගොස් තිබෙන්නේ ඔවුන් නිතර නිතර තම කොණ්ඩය ෂැම්පු කරන බවයි. ඔබේ හිසකේවල තෙල් ගතිය නිසා කුණු බැඳීම හා ඉස්හොරි සෑදීම හේතුවෙන් කේශකූප වෙතට දිවෙන මේද නාලිකා වැසී යා හැකියි. එබැවින් නිතිපතා ෂැම්පු කිරීම වැදගත්. මෙම ස්වාභාවික මේද වර්ග හානිකර බැක්ටීරියාවලින් සම රැක සමේ තෙතමනය රඳවා තබයි. නමුත් නිතර ෂැම්පු කිරීමෙන් සිදු වන්නේ, ඔබේ හිස්කබලේ ඇති මෙම ආරක්ෂිත ස්තරය ඉවත් වී හිසේ වියළි ගතිය වැනි ගැටලු ඇතිවීමයි. විශේෂඥයන් වැඩිදෙනෙක් නිර්දේශ කරන්නේ කෙනෙකුගේ හිස්කබල හෝ හිසකේ අපිරිසිදුව පවතින අවස්ථාවලදී ෂැම්පු කරන්න කියායි. තෙල් සහිත කොණ්ඩයක් ඇති අය සාමාන්‍ය කොණ්ඩයක් හෝ වියළි කොණ්ඩයක් ඇති අයට වඩා වැඩි වාර ගණනක් ෂැම්පු කළ යුතුයි.

ෂැම්පු කරන විට ඔබේ හිස් කබල හොඳින් සම්බාහනය කරන්න. එසේ කිරීමෙන් හිස් කබලේ මළ සෛල ඉවත් වන අතර නිසි ලෙස රුධිරය ගලා ඒම සිදු වෙනවා පමණක් නොව ඔබේ හිසකේ පෝෂණයද වෙයි. ෂැම්පු හොඳින් සෝදාහැරීමට මතක තබාගන්න! සබන් යොදා අත් සෝදද්දී සබන් ඉවත් වන තෙක් අත් නොසේදුවොත් ඔබේ හම වියළී හැකිළී යයි. එලෙසම, ෂැම්පෝ හොඳින් සෝදා නොහැරියොත් හිස්කබලේ වියළි ගතියක් ඇති වී සමේ කැබලි ගැළවී යා හැකියි.

ප්‍ර: වියළි හිසකට ප්‍රතිකාර කළ හැක්කේ කෙසේද?

උ: ජලය අධික ලෙස පානය කරන්න. පෝෂ්‍යදායී ආහාර ගන්න. මෙය ඔබේ සමේ වියළිබව නැති කරන අතර රුධිර සැපයුම වැඩි කරයි. මෘදු ෂැම්පෝ වර්ගයක් භාවිත කරමින් නිතිපතා ඔබේ හිස්කබල සම්බාහනය කරන්න. සමහරු හිස්කබලේ තෙතමනය රඳවා තැබීම සඳහා, සේදූ විට සේදී නොයන කන්ඩිෂන් වර්ග හා ලෝෂන් වර්ගත් යොදාගන්නවා.

ඔබේ කොණ්ඩය හැඩගැන්වීම

ප්‍ර: කොණ්ඩා සකසන්නෙක් ළඟට යන විට කෙනෙක් මතකයේ තබාගත යුත්තේ කුමක්ද?

උ: ඔබේ කොණ්ඩ මෝස්තරය වෙනස් කිරීමට ඔබට වුවමනා නම්, ඔබට අවශ්‍ය මෝස්තරයේ පින්තූරයක් රැගෙන එන්න. නැතහොත් අවශ්‍ය නැති මෝස්තරයක් වුවත් රැගෙන ආවාට කමක් නැහැ. අවංකවම ඔබේ අදහස් ප්‍රකාශ කරන්න. එමෙන්ම සෑම දවසකම කොණ්ඩය වෙනුවෙන් කොපමණ කාලයක් වැය කළ හැකිද කියාත් පවසන්න. ඊට හේතුව, ඇතැම් කොණ්ඩ මෝස්තරවලට වෙනත් ඒවාට වඩා වැඩි අවධානයක් දීම අවශ්‍ය නිසයි. කොණ්ඩා සකසන්නෙකුට ඔබේ හිසකේවල ස්වභාවය දැනගැනීමටත්, ඔබ සමඟ හොඳ අදහස් හුවමාරුවක් ඇති කරගැනීමටත්, ඔබ ඔහු වෙත දෙතුන් පාරක්වත් යා යුතු බව මතක තබාගන්න. එමනිසා ඔබේ කොණ්ඩය සකසන්නා ගැන ඉක්මනින් කලකිරෙන්න එපා!

ඔබේ හිසකේ මගින් හෙළි කරන දේ

හිසකේවලට දෙන සාත්තුව හා හිසකේ හැඩගැන්වීම තමන් ගැන යමක් ප්‍රකාශ කිරීමේ ක්‍රමයක්. සාමාන්‍යයෙන් කොණ්ඩෙ කපනවා, වවනවා, කෙළින් කරනවා, රැළි කරනවා, පාට කරනවා, ඒ විතරක් නෙවෙයි මෝස්තර රැල්ලට අනුව, ආගමික විශ්වාසයන්ට සහ සමාජීය හා දේශපාලනික අදහස්වලට එකඟව විවිධාකාරයෙන් හැඩගන්වනවා. ඔබේ කොණ්ඩෙ දිහා හොඳට බලන්න. එය ඔබ ගැන කුමක්ද හෙළි කරන්නේ? ප්‍රිය උපදවන මෝස්තරයකට සකස් කළ නිරෝගී කොණ්ඩයක් එය සතු තැනැත්තාව අලංකාර කරන අතර ඔහුව හෝ ඇයව අන්‍යයන්ගේ ප්‍රශංසාවටද ලක් කරයි.

[පාදසටහන]

a වැඩි විස්තර සඳහා 1991 අප්‍රියෙල් 22 පිබිදෙව්! කලාපයේ “ඇලොපීසියාව—කෙස් වැටී යද්දී සන්සුන්ව විසීම” (ඉංග්‍රීසියෙන්) යන ලිපිය බලන්න.

[26වන පිටුවේ පින්තූර]

පෝෂ්‍යදායී ආහාර ගැනීමෙන් හා අධික ලෙස ජලය පානය කිරීමෙන් හිස් කබලේ වියළි ගතිය නැති කරගත හැකියි

[26වන පිටුවේ පින්තූරය]

නිතර නිතර ෂැම්පු කිරීමෙන් ඔබේ හිස්කබලේ ඇති ආරක්ෂිත මේද ස්තරය නැති වී යා හැකියි

[26වන පිටුවේ පින්තූරය]

හිසකේ පැසීම වයසට යෑමේ ක්‍රියාවලියේ සාමාන්‍ය අංගයක්