Skip to content

පටුනට යන්න

ඔහුගේ යෝජනාවට බෑ කියන්නේ කොහොමද?

ඔහුගේ යෝජනාවට බෑ කියන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

ඔහුගේ යෝජනාවට බෑ කියන්නේ කොහොමද?

“මගේ සභාවේ සහෝදරයෙකුට මං ගැන ආදරයක් හිතිලා. මට නම් ඒ වගේ අදහසක් තුන් හිතකවත් තිබුණේ නැහැ. හැබැයි මම මගේ අකමැත්ත ප්‍රකාශ කළොත් ඔහුගේ හිත රිදෙයිද කියලා මට බයයි. මට තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා.”—එළිසබෙත්. a

“මට ඔයා ගැන අදහසක් තියෙනවා!” එවැනි දෙයක් තරුණයෙකු විසින් ඔබට කවදා හෝ පවසා ඇද්ද? තරුණියක් හැටියට, b එවන් දෙයක් අසන්නට ලැබීම ඔබ තුළ යම් සතුටක් මුසු වූ කැළඹිලි ස්වභාවයක් පහළ වීමට එසේ නැතහොත් පුංචි ආඩම්බරයක් දැනීමටත් හේතු වෙන්න පුළුවන්. නමුත් සමහර විට ඔබ එයට දෙන පිළිතුර කුමක්ද යන්න ගැන යම් දෙගිඩියාවකින් සිටිනවා විය හැකියි.

යම් කෙනෙකුට ඔබ ගැන ආදරයක් ඇති වී ඒ ගැන නොවළහා ප්‍රකාශ කළොත්, ඔබ විවාහ වන වයසක සිටිනවා නම් හෝ එවන් ආදරයකට ප්‍රතිචාරය දක්වන තත්වයක සිටිනවා නම් ඒ ගැන ඔබට යම් චකිතයක් සහ විවිධ ආකාරයේ හැඟීම් ඇති වෙන්න පුළුවන්! c මෙහිදී ඔබ දක්වන ප්‍රතිචාරයට, එවන් යෝජනාවක් ගෙනා පුද්ගලයා කෙබඳු පුද්ගලයෙක්ද යන්න බොහෝ දුරට බලපායි. ඔහු මනා ගති පැවතුම් ඇති බුද්ධියෙන් පරිණත කෙනෙකු නම්, ඔබේ සිත ඔහු කෙරෙහි ඇදී යන බව නිසැකයි. නමුත් ඔහු තුළ සහකරුවෙකුට තිබිය යුතු සුදුසුකම් නොමැති නම් තත්වය කුමක්ද? එසේ නැතහොත් ඔහුට යහපත් ගති පැවතුම් තිබුණත් ඔබට ඔහු ගැන ආදරයක් නොහැඟේ නම් කුමක් කිව හැකිද?

මේ ගැනත් මොහොතකට සිතන්න. තරුණියක් යම් තරුණයෙකු සමඟ ටික කාලයක් ඇසුරු කරද්දී, ඔහු තුළ සහකරුවෙකුට තිබිය යුතු සුදුසුකම් නැහැයි කියා ඇයට හැඟෙන්න පුළුවන්. නමුත් තරුණිය එම ඇසුර නවතා දමනවා වෙනුවට, “මම කොහොමද ඔහුගේ හිත රිදවන්නේ” කියා සිතමින් එම ආශ්‍රය දිගටම පවත්වාගෙන යනවා විය හැකියි.

ඔබට ආදරයක් නොසිතේ නම්. . .

පුරාණ කාලවලදී තරුණියක හෝ තරුණයෙකු දීග ගියේ දෙමාපියන් තෝරා දෙන සහකරුවෙකු හෝ සහකාරියක සමඟයි. (උත්පත්ති 24:2-4, 8) බටහිර රටවල වෙසෙන ක්‍රිස්තියානියෙකුට තමන් කැමති සහකරුව තෝරාගැනීමට නිදහස තිබෙනවා. ඒ පිළිබඳව බයිබලයේ කර ඇති ඉල්ලීම නම් ‘ස්වාමින් තුළ පමණක්’ විවාහ වීමය.—1 කොරින්ති 7:39.

නමුත් ඔබ කෙරෙහි උනන්දුවක් දක්වන ඕනෑම සැබෑ නමස්කාරකයෙකුව හෝ ටික කලක් ඇසුරු කළ කෙනෙකුව අනිවාර්යයෙන්ම විවාහ කරගත යුතුයි කියා මෙයින් අදහස් කරනවාද? කොහෙත්ම නැහැ. මේ පිළිබඳව බයිබලයේ හොඳ උදාහරණයක් තිබෙනවා. ඒ තමයි මැද පෙරදිග ගමක් වන ෂුනෙම්හි ජීවත් වූ ගැමි තරුණිය පිළිබඳ කතාව. ඇය සිටි රටේ රජ වූ සාලමොන් ඇයව දුටු විට ඇයට පෙම් බැන්දා. ඔහු ඇයට එය ප්‍රකාශ කළ විට ඇය ඔහුව ප්‍රතික්ෂේප කළා පමණක් නොව රජුට සේවය කළ ස්ත්‍රීන්ගෙන් මෙසේද අයැද සිටියා. ‘ප්‍රේමය කැමති වන තුරු එය නොනැඟුටුවන ලෙසත් නුපුබුදුවන ලෙසත් ඉල්ලමි.’ (සාලමොන්ගේ ගීතිකාව 2:7) අන් අය විසින් ගෙනා පීඩනයට යටවීමට හා හැඟීම්වලට වහල් වී වැරදි තීරණයක් ගැනීමට මෙම බුද්ධිමත් තරුණියට අවශ්‍ය වුණේ නැහැ. ඊට හේතුව, ඇය පෙම් බැන්දේ එඬේර කොලුවාට මිසක සාලමොන්ට නොවීමයි.

අදදින විවාහ වීමට කල්පනා කරන අයට මෙය වටිනා පාඩමක් උගන්වනවා. ඔබට ඕනෑම කෙනෙකු ගැන ආදර හැඟීමක් ඇති නොවන බව එයින් පෙන්වනවා. තරුණියක් යම් තරුණයෙකුව ටික කාලයක් ආශ්‍රය කළ පසු ඔහු කෙරෙහි තමාට ආදරයක් ඇති නොවන බව ඇයට හැඟී යා හැකියි. සමහර විට ඔහු කෙරෙහි ආදරයක් ඇති නොවන්නේ එම තරුණයාගේ යම් දුර්වලකමක් පෙනුණ නිසා විය හැකියි. නැතහොත් ඔහු කෙරෙහි ඇගේ සිත ඇදී නොයන නිසා විය හැකියි. එසේ හැඟියදීත් එය ගණන් නොගෙන සිටීම ඇත්තෙන්ම මෝඩකමක්. එසේ කිරීමෙන් කවදාවත්ම දේවල් හොඳ අතට හැරෙන්නේ නැහැ. d තමාරා නමැති තරුණිය තමා ආශ්‍රය කරමින් සිටි තරුණයා ගැන පැවසුවේ මෙහෙමයි. “ඔහුව මට හරිම සැකයි. සැකය කොයිතරම්ද කිව්වොත් අන්තිමේදී ඔහු ළඟ ඉන්නකොට මට යම් අපහසුතාවයක් දැනෙන්න පටන්ගත්තා.” ඔහු ගැන තිබූ සැකයන් නිසා එම ආශ්‍රය නවතා දැමීමට පසුව ඇය තීරණය කළා.

ප්‍රතික්ෂේප කිරීම එතරම් අමාරු මන්ද?

එක් දෙයක් පිළිගත යුතුයි. එනම් ආදරයක් පෙන්වන තරුණයෙකුව ප්‍රතික්ෂේප කරන්න කියා කියන්න ලෙහෙසියි. ඒත්, ඒක කරන්න තමයි අමාරු. ලිපිය ආරම්භයේ සඳහන් කළ එළිසබෙත්ට මෙන්, ඔහුව රිදවීමට ඇති අකමැත්ත නිසා ඔබටත් එය හිතට වද දෙන ගැටලුවක් විය හැකියි. ඇත්තෙන්ම, අන් අයගේ හැඟීම් ගැන සැලකිලිමත් වීමට අප වගබලා ගත යුතුයි. බයිබලයේ ක්‍රිස්තියානීන්ට උපදෙස් දෙන්නේ, ‘දයාබර හිතක් පැළඳගන්න’ කියාය. එමෙන්ම අන් අය අපට සලකනවාට කැමති කොයි ආකාරයෙන්ද එලෙසම අන් අයටත් සලකන ලෙස එහි අපට උපදෙස් දී තිබෙනවා. (කොලොස්සි 3:12; මතෙව් 7:12) නමුත් ආදරය පෙන්වන තරුණයාව රිදවීමට ඇති අකමැත්ත නිසා බොරු මවාපෑමක් කළ යුතුයි කියා මෙයින් අදහස් කරන්නේ නැහැ. මන්ද කවදා හරි දවසක ඔබේ නියම තත්වය ඔහු දැනගනීවි. ඔබ ඔහුගෙන් සත්‍යය වසං කළ බවත් එය පැවසීමට කල් හැරිය බවත් ඔහු දැනගත් විට ඔහුගේ දුක තවත් වැඩි වෙන බව නම් ස්ථිරයි. ඒ වගේම, එම තරුණයාගේ හිත රිදවීමට ඇති අකමැත්ත නිසා ඔහුව විවාහ කරගැනීමට පෙලඹීම ඔබ කරන්නාවූ ලොකුම මෝඩකම විය හැකියි. මන්ද, අනුකම්පාව, විවාහයට ශක්තිමත් පදනමක් නොවෙයි.

‘මට වෙන කෙනෙක් ලැබුණේ නැත්නම්? මට මේකත් නැහැ, ඒකත් නැහැ’ කියා ඔබට සමහර විට සිතෙන්න පුළුවන්. එක් සඟරාවක (Teen) යෞවනියක් මෙවැනි අවස්ථාවක සිතන ආකාරය පෙන්වා දී තිබුණා. “එයා නියම කෙනා නොවුණත් එයා විතරයි මගෙන් ඇහුවේ. මම මොකටද මේ අවස්ථාව නැති කරගන්නේ. එතකොට වෙන්නේ මං තනි වෙන එක විතරයි.” ඇත්තෙන්ම අපි කවුරුත් කැමති නැහැ තනි වෙන්න. ඒත් ඕනෑම කෙනෙකුව ඔබේ සහකරු කරගැනීමෙන් මෙම අවශ්‍යතාවය ඉටු වෙයි කියා සිතීම උගහටයි. එය නිසි ආකාරයෙන් කළ හැක්කේ ඔබට ඔබේ මුළු හදින්ම ආදරය පෙන්විය හැකි මෙන්ම විවාහය පිළිබඳව දී ඇති ශුද්ධ ලියවිලිමය වගකීම් ඉටු කළ හැකි කෙනෙකුට පමණයි. (එපීස 5:33) එමනිසා විවාහ වීමට ඉක්මන් වෙන්න එපා! මන්දයත් බොහෝදෙනෙකු ඉක්මනින් විවාහ දිවියට පිවිස කල්යෑමේදී ඒ ගැන පසුතැවෙනවා.

තවත් දෙයක් වන්නේ, සමහරෙක් තරුණයාගේ වැරදි ක්‍රියා කලාපයන් හොඳින් දැක දැකත් ආශ්‍රය දිගටම පැවැත්වීමයි. ‘මම ටිකක් කල් දීලා බලනවා. සමහර විට එයා වෙනස් වෙන්නත් පුළුවන්’ කියා ඇතැම් විට යෞවනියන් සිතනවා ඇති. එය ඥානවන්ත සිතුවිල්ලක් නොවෙයි. නරක පුරුදු සහ හැසිරීම් වෙනස් කිරීම හිතන තරම් පහසු නැහැ. කියමනකුත් තියෙනවානේ ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා. යම් විටක ඔහු ක්ෂණික වෙනස් වීම් පෙන්නුම් කරන්න පුළුවන්. නමුත් එවා සැබෑ වෙනස්කම් කියලා අපිට ස්ථිර වෙන්න පුළුවන්ද? මෙවැනි දෙයකට මුහුණ දුන් තරුණියක් වූ කැරන්, තම පෙම්වතාගේ සහ ඇගේ ඉලක්කයන් නොගැළපෙන බව තේරුම්ගත් විට සම්බන්ධය නතර කර දැමීමට තීරණය කළා. ඇය මෙසේ පවසනවා. “මම ඔහුට වශී වෙලයි හිටියේ. ඒ නිසා මට ඒක කරන්න ගොඩක් අමාරු වුණා. ඒත් මම තේරුම්ගත්තා ඒක තමයි කළ යුතුම දේ කියලා.”

ප්‍රවේසමෙන් කාරණය හසුරුවන්න

කෙනෙකුගේ ආදරයක් ප්‍රතික්ෂේප කරන එක පහසු දෙයක් නොවන බව පිළිගත යුතුයි. එම කාරණය හැසිරවිය යුත්තේ හරියට බිඳෙනසුලු දෙයක් ඔතා ඇති පාර්සලයක් විවෘත කරනවා වගේ ප්‍රවේසමෙනුයි. එවැනි කාරණයක් නිරාකරණය කිරීමේදී ඔබට උපකාරවත් වන යෝජනා කිහිපයක් පහත දක්වා තිබෙනවා.

කාරණය ගැන දෙමාපියන් සමඟ හෝ සභාවේ සිටින මේරූ කෙනෙකු සමඟ සාකච්ඡා කරන්න. ඔබේ බලාපොරොත්තු යථාර්ථවාදීද නැද්ද යන්න තේරුම්ගැනීමට ඔවුන් සමහර විට ඔබට උපකාර කරයි.

පැහැදිලිව සහ ඍජුව කියන්න. ඔහුට ඔබේ සිතුවිලි ගැන අනුමාන කිරීමට ඉඩ දෙන්න එපා. යම් දේවල් ඉදිරිපත් කරන අවස්ථාවලදී “එපා. බොහෝම ස්තුතියි” කියා පැවසීමෙන් තත්වයන් පාලනය කළ හැකියි. තත්වය හොඳ අතට නොහැරේ නම් “මම පොඩ්ඩක්වත් කැමති නැහැ” කියා කෙළින්ම කියන්න. කාලයක් බලා ගෙන සිටියොත් ඔබේ හිත වෙනස් වෙන්න පුළුවන් වැනි අදහසක් ඔහු තුළ ඇතිවීමට ඉඩ තබන්න එපා. ඔබට ඔහු ගැන ආදර හැඟීමක් නැති බව නොවළහා ප්‍රකාශ කිරීම, වරදවා වටහාගැනීමක් ඇති නොවීමටත්, බලාපොරොත්තු කඩවීමෙන් ඔහු තුළ ඇති වන සිත් තැවුලෙන් ඉක්මනින් මිදීමටත් ඔහුට උපකාරවත් වෙනවා.

අවංක වුණත් සංවේදීව කටයුතු කරන්න. හිතෝපදේශ 12:18හි පවසන්නේ, “කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ” කියායි. ඍජුව කතා කළත් අපේ කතාව “නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව” තිබිය යුතුයි.—කොලොස්සි 4:6.

ඔබේ තීරණය වෙනස් කරන්න එපා. හොඳ චේතනාවෙන් කටයුතු කරන මිතුරන් ඔබ ගනු ලැබූ තීරණයට හේතු නොදැන ඔහුට තව අවස්ථාවක් ලබා දෙන්න කියා පෙරැත්ත කළ හැකියි. නමුත් එක් දෙයක් මතක තබාගන්න. එනම්, ඔබ ගනු ලැබූ තීරණය නිසා ඇති වන ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නේ ඔබ මිසක් ඔබේ මිතුරෝ නොවෙයි.

ඔබේ වචනවලට එකඟව කටයුතු කරන්න. කලින් ඔබ දෙදෙනා හොඳ මිතුරන් ලෙස කල් යැවූ ආකාරයටම පසුවටත් කටයුතු කිරීම සුදුසු දෙයක් කියා සිතෙන්න පුළුවන්. නමුත් එය ප්‍රායෝගික නොවන අතර, කොහෙත්ම කළ නොහැකි දෙයක්. ඔබ කෙරෙහි ඔහුට තිබෙන්නේ ආදර හැඟීමක් මිසක සාමාන්‍යයෙන් මිතුරෙකු සම්බන්ධයෙන් තිබෙන හැඟීමක් නොවෙයි. ඔහුට එම හැඟීම් යටපත් කරගෙන කිසිවක් සිදු නොවුණ ආකාරයට සිටිය හැකියි කියා සිතීම සාධාරණද කියා ඔබම කල්පනා කර බලන්න. එමනිසා සුහදව කටයුතු කරනවා මිසක පෙර මෙන් දෙදෙනා දුරකථනයෙන් බොහෝ වෙලාවක් කතා කිරීම හෝ කිට්ටුවෙන් ඇසුරු කිරීම නැවැත්විය යුතුයි. මන්ද එයින් සිදු වන්නේ ඔහුගේ හිත තව තවත් පෑරීමයි. ඔහුගේ හැඟීම් සමඟ සෙල්ලම් කිරීම කාරුණික දෙයක් නොවෙයි.

ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානීන්ගෙන් ඉල්ලා සිටියේ අනිත් අය සමඟ ‘සැබෑව කතා කරන්න’ කියායි. (එපීස 4:25) එලෙස කටයුතු කිරීම අමාරු දෙයක් වුණත් එය දෙදෙනාටම තම ජීවිත අර්ථවත් ආකාරයකින් ගත කිරීමට උපකාරයක් වේවි.

[පාදසටහන්වල]

a මෙම ලිපියෙහි එන සමහරක් නම් වෙනස් කර තිබෙනවා.

b මෙම ලිපිය විශේෂයෙන් තරුණියන්ට යොමු දැක්වුවත් තරුණයන්ටද එක සේ අදාළයි.

c බාල වියේදී ආදරය කිරීමේ ඇති අවදානම් ගැන 2001 පෙබරවාරි 8 කලාපයේ සාකච්ඡා කෙරුණා.

d “යෞවන අය අසති . . .” යන ලිපි මාලාවේ 1988 ජූලි 22 පිබිදෙව්! සඟරාවේ (ඉංග්‍රීසියෙන්) “අප වෙන් විය යුතුද?” යන ලිපිය බලන්න.

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

යමෙකු තුළ ඕනෑම කෙනෙකු කෙරෙහි ආදරයක් ඇති වෙන්නේ නැහැ

[14වන පිටුවේ පින්තූරය]

ඔබේ හැඟීම් පැහැදිලිව හා ඍජුව ප්‍රකාශ කරන්න