Skip to content

පටුනට යන්න

යුද්ධය වෙනුවට සාමයට ජය කෙහෙලි නංවමින්

යුද්ධය වෙනුවට සාමයට ජය කෙහෙලි නංවමින්

යුද්ධය වෙනුවට සාමයට ජය කෙහෙලි නංවමින්

පැවසුවේ ඩොරති හෝර්ලී

මම 1919දී අ.එ.ජ., ඩෙල්වෙයා, විල්මින්ටන්හි කතෝලික ආගම අදහපු ඉතාලි ජාතික පවුලකයි උපත ලැබුවේ. මගේ දෙමාපියන් කවදාවත් දේවමෙහෙයන්ට සහභාගි වුණේ නැතත් අක්කවයි, නංගිවයි, මාවයි පල්ලියට යැව්වා. කලාත්මක ලෙස නිර්මාණය කළ විශාල පල්ලි, ඒවායේ සුරුවම් හා ජයට ගත් මංගල්‍යවලට මගේ හිත ඇදිලා ගිහින් තිබුණා.

කල් යද්දී කතෝලික ධර්මය ගැන තිබුණු මගේ උනන්දුව අඩු වෙලා ගියා. මගේ තාත්තා ගෞරවාදරයෙන් නිතර කියෙව්ව බයිබලයට කතෝලික සභාව කිසිම අවධානයක් දුන්නේ නැහැ. මුදල් පරිත්‍යාග කරන්නන්ගේ නම් සහ ඔවුන් සම්මාදම් කළ මුදල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මා තුළ කලකිරීමක් ඇති වුණා. හිතුමතේට වැඩ කරන පූජකයන් ගැන හුඟක් කටකතා පැතිරිලත් තිබුණා. මේ දේවල් නිසා, මට අවුරුදු 15ක් වෙනකොට මම කතෝලික ධර්මය අදහන්නේ නැති තත්වයකට පත් වෙලයි හිටියේ. ඒ හින්දා චිත්‍ර කලාව ප්‍රගුණ කරන්න මට වැඩිපුර කාලයක් ලැබුණා.

කලා වෘත්තියක්

වර්ෂ 1940දී, විලියම් (බිල්) හෝර්ලී එක්ක මම විවාහ වුණා. ඒ වෙනකොට මට වයස අවුරුදු 21යි. ඔහු යුධ හමුදාවට සම්බන්ධ ගුවන් යානාවන්, සොල්දාදුවන්, තුවක්කු සහ නැව් යනාදියට සම්බන්ධ දේවල් චිත්‍රයට නැඟීමෙන් වින්දනයක් ලැබුව තරුණයෙක්. මාත් චිත්‍ර ශිල්පිණියක් වෙලා හිටිය එක ගැන සතුට පළ කරමින් බිල් මට මගේ මුල්ම තෙල් සායම් කට්ටලය ගෙනත් දුන්නා. පුරාණයේ විසූ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්ගේ ශිල්ප ක්‍රම ඉගෙනගන්න මම පටන්ගත්තා.

විවාහ වෙලා අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ, බිල් විනෝදාංශයක් හැටියට ඊයම්වලින් හමුදා භටයන්ගේ පුංචි රූප හදන්න පටන්ගත්තා. ඒ සෙල්ලම් බඩුද? ඇත්තෙන්ම නැහැ! ඔහුගේ ආශාව වුණේ නියම කලා කෘති නිර්මාණය කරන්නයි. රූප නෙළන වෙන අය ප්ලාස්ටික්, ලී හෝ ප්ලාස්ට ඔෆ් පැරිස් යොදාගත්තත්, බිල් යන්ත්‍රෝපකරණ යොදාගෙන රූප නෙළන්න පුහුණු වෙවී හිටිය නිසා, ඊයම් ඒකට කදිම අමුද්‍රව්‍යයක් වුණා.

ඔහු මුලින්ම කරන්නේ රූපය ඇඳගන්න එකයි. ඊට පස්සේ ඒ හැඩයට අච්චුවක් හදලා ඊයම් වත් කරලා රූපය නෙළනවා. මේ විදිහට ටික කලක් යද්දී, ඔහු රූපයේ කොටස් වෙන වෙනම හදලා, ඒවාට නියම හැඩයන් දීලා, ඔපමට්ටම් කරලා ඒවා එකට පාස්සන්න තරම් අතිදක්ෂ වුණා. පස්සේ කාලයකදී ඔහු ප්ලාස්ට ඔෆ් පැරිස් වෙනුවට දත් පිරවීමට යොදාගන්නා ද්‍රව්‍ය සංයෝගයකින් අච්චු හදන්න පටන්ගත්තා. ඒ නිසා පුංචි පුංචි කොටස් පවා හොඳට හදන්න ඔහුට පුළුවන් වුණා.

රූපය හොඳින් හයි වුණාට පස්සේ ඒකට අලංකාර නිමාවක් දෙන එකයි මගේ වැඩේ වෙලා තිබුණේ. අපි දෙන්නා හෙම්බත් වෙනකම්ම හෙව්වට පස්සේ අන්තිමේදී බොත්තම්, පටි, නිල ලාංඡන සහ වර්ණ ඇතුළු හැම දෙයක්ම අඩංගු වුණු පරණම පරණ යුධ ඇඳුම් ගැන විස්තර සොයාගත්තා.

මගේ රාජකාරිය වුණේ විශාල කර දක්වන උපකරණයක ආධාරයෙන්, ලෝහයට උරාගැනීමට හැකි ආකාරයකට සකස් කර තිබෙන තෙල් හා සායම් වර්ග රූපයට ගැල්වීමයි. එහෙම කළහම අපේ පුංචි රූපවලට පණ ඇවිල්ලා වගෙයි පෙනුණේ. පෙන්සිල්වේනියාවේ ෆිලඩෙල්ෆියාහි පිහිටි අපේ පුංචි කුටියේදී අපි අමෙරිකාවේ ආදි වැසියන්, සිවිල් යුධ භටයන්, එ.ජ. නාවිකයන්, නැපෝලියන්ගේ යුධ අශ්වයන් සහ අසරුවන්, මිසර මැම්ලුක් භටයන්, ඇල්ජීරියානු සූආව් සොල්දාදුවන් සහ තවත් එවැනි අයව නිර්මාණය කළා.

වර්ෂ 1939ට පෙර චීනයේ පීකිං (දැන් බීජිං) නුවරින් පිටත් කර යැවූ මුල් අශ්වාරෝහක පෙළ දක්වන නිර්මාණයක් කරන්න කියලා එ.ජ. නාවික හමුදාවෙන් බිල්ට ආරාධනාවක් ලැබුණා. අපි දිවා රෑ වෙහෙස නොබලා වැඩ කළ නිසා 1954දී වොෂිංටන් ඩී.සී., ස්මිත්සෝනියන් ආයතනයේදී ප්‍රදර්ශනය පෙන්වන්න පුළුවන් වුණා. වසර කීපයකට පස්සේ ඒවා ධවල මන්දිරයට ගෙනියන්න පුළුවන්ද කියලා ජනාධිපති ලින්ඩන් ජොන්සන් ඇහැව්වා. අපි ඒ අදහසට එක පයින්ම කැමති වුණා.

අපි කවදාවත් අපේ රූප විකුණුවේ නැහැ. ඒවා සියගණනක්ම බිල් නිකම් දුන්නා. හුඟක් පොත්වල අපි නිර්මාණය කළ සොල්දාදු ආකෘති ගැන ප්‍රසාදය පළ කරලා තිබුණා. වර්ෂ 1965දී නියූ යෝක්, ක්වීන්ස්වල ෆ්ලෂිං මෙඩෝහි පැවැත්වූ ජාත්‍යන්තර ප්‍රදර්ශනයේදී අපේ නිර්මාණ ප්‍රදර්ශනය කළා. අපේ ආකෘතිවලට කෞතුකාගාරවලින් ඉල්ලුමක් තිබුණා. සිවිල් යුද්ධ පිළිබඳව එ.ජ. ඉතිහාසඥයෙකු වූ බෲස් කැටන් තම පොත්වල රූපසටහන්වලට අපි නිර්මාණය කළ කුඩා පරිමාණයේ ආකෘති හා රූප කීපයක් යොදාගෙන තිබුණා.

ජීවිතය පිළිබඳ ප්‍රශ්න වැලක්

මට වයස අවුරුදු 40 වෙනකොට මා තුළ යම් වෙනසක් ඇති වුණා; මම දෙවි ගැන කල්පනා කරන්න පටන්ගත්තා. එක් නත්තල් දිනකදී නිවසක හිටිය කතෝලික දරුවන් පස්දෙනෙක් පිච්චිලා මැරුණා. ඒ වෙලාවේ ඔවුන්ගේ දෙමාපියන් හිටියේ පල්ලියෙයි. ‘දෙවි කොහොමද තමන්ගේම උපන් දිනයේදී ඒ වගේ දෙයක් වෙන්න ඉඩහැරියේ’ කියලා මම දහඅතේ කල්පනා කළා. යුදෙව් සමූලඝාතනයේදී කළ දාමරික ක්‍රියා සම්බන්ධයෙන් විස්තර කෙරුණු පොතක් මට කියවන්න ලැබුණා. ලෝකයේ සිද්ධ වෙන මේ වගේ ගොඩක් දරුණු දේවල් නිසා ‘දෙවි කොහෙද ඉන්නේ? කරන්න අවශ්‍ය දේවල් ඔහු කරන්නේ නැත්තේ ඇයි’ කියලා මම මගෙන්ම අහගත්තා.

මගේ තාත්තාගේ ආදර්ශය නිසා මට හැඟුණේ බයිබලයේ ඒකට මොකක්හරි පිළිතුරක් තියෙන්න ඕන කියලයි. ඒ නිසා මම ෆිලඩෙල්ෆියාවේ අපේ ගේ කිට්ටුව තිබුණ කතෝලික දේවගැති නිවසට ගිහින් බයිබල් සාකච්ඡාවක් කරන්න පූජකයෙක් එක්ක වෙලාවක් නියම කරගෙන සෑහෙන වෙලාවක් බලාගෙන හිටියත් ඔහු ආවේ නැහැ. කතෝලික දේවගැති නිවසට මම සති හතරක් පිට පිටම ගියත් පූජකයා එක්ක එක සාකච්ඡාවක්වත් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.

අන්තයටම කලකිරුණු මම එක හැන්දෑ වරුවක අහස දිහා බලාගෙන යාච්ඤා කළා. “ඔබ කවුද කියලා මම දන්නේ නැහැ. ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ මොන ආගමටද කියලත් මම දන්නේ නැහැ. ඒ වුණත් ඔබ ඉන්න බව නං මට විශ්වාසයි. කරුණාකරලා ඔබව මට දැනගන්න සලස්වන්න!” ටික දවසකට පස්සේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් මගේ ගෙදරට ආවා.

සාක්ෂිකරුවන් ඔවුන්ගේ මෝටර් රථ නවත්වලා, ගෙවල්වලට යනවා මම දැකලා තියෙනවා. ඔවුන් ගැනවත්, ඔවුන් ගෙවල්වලට යන්නේ ඇයි කියලවත් මම දැනගෙන හිටියේ නැති වුණත්, ඔවුන්ගේ මෙහෙය ගැන කුතුහලයක් ඇති වෙලා තිබුණා.

දෙවි ගැන කිසි දෙයක් හරියට දැනගන්න බැරි වෙලා තිබුණ නිසා 1961දී සාක්ෂිකරුවන් මගේ ගෙදරට ආව දවසේ, මම හිටියේ හොඳටම කලකිරිලා. මම ඉස්සරහ දොර සුද්ද කර කර ඉන්නකොට මාර්ජ් බ්‍රිඔන් කියන මැදි වියේ කාන්තාව ඉස්තෝප්පුවේ තරප්පු පෙළ නැඟලා මට ආචාර කළා. ඇයව පිළිගන්න මම හැරුණේ නැහැ. පොළොව ලස්සන පාරාදීසයක් වෙන්න යනවා කියලා ඈ කියද්දී ඒ හැම වචනයකටම මම හොඳින් ඇහුම්කන් දුන්නා. අන්තිමේදී “ඔයා මං කියන දේ අහගෙනද ඉන්නේ” කියලා ඈ මගෙන් ඇහැව්වා.

යෙසායා 55:11න් උපුටා දැක්වූ බයිබල් පදය ඇතුළු ඇය පැවසුව හැම දෙයක්ම මම ආපහු ඇයට කිව්වා. ඊට පස්සේ මම හැරිලා ඇගේ අත අල්ලලා “එන්න ඇතුලට!” කියලා අඬගැහැව්වා. බයිබලයකුයි, පාරාදීසය අහිමි වීමේ සිට එය යළි ලැබීම දක්වා (ඉංග්‍රීසියෙන්) කියන බයිබල් ආධාරක පොතයි ඇය මට දුන්නා. මට මුල්ම වරට බයිබලයක් ලැබුණේ එදායි. නිතිපතා බයිබල් සාකච්ඡාවක් කරන්නත් ඇය ඉදිරිපත් වුණා. කතෝලික සභාවත් එක්ක මම කරන්න බලාපොරොත්තුවෙන් හිටියෙත් ඒ වගේ සාකච්ඡාවක්.

සතියකට දෙපාරක් බයිබල් පාඩම කළ නිසා මම ඉක්මනින්ම දැනුම ලබාගත්තා. වැඩි කල් යන්න මත්තෙන් මට ලැබිලා තියෙන්නේ සත්‍යය බව හොඳටම පැහැදිලි වුණා. දෙවිගේ නම යෙහෝවා බව ඉගෙනගන්න ලැබීම මට අමුතුම අද්දැකීමක් වුණා. (ගීතාවලිය 83:17) පුදුමේ කියන්නේ, පොඩි කාලේ ඉඳන්ම මම දැනගන්න ආසාවෙන් හිටියේ මේ දෙවියන්වමනේ! ඔහුගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් ප්‍රධාන ත්‍රිත්ව දෙවියෙකුගේ ගුප්ත කොටසක් නොවන බවත් මම ඉගෙනගත්තා. (යොහන් 14:28) මම කල් අරින්නේ නැතුව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න පටන්ගත්තා. ඒ වගේම බයිබල් පණිවිඩය පූර්ණ කාලීනව ප්‍රකාශ කරන කෙනෙක් වෙන්නත් මට ආශාවක් ඇති වුණා.

වැදගත් තීරණ ගනිමින්

තීරණයක් ගත යුතු අවස්ථාවකට මම මූණ දුන්නා. විලියම් සහ ඩොරති හෝර්ලී කලා හවුල බිඳ දමනවාද? කලා කෘතිවලින් යුද්ධයට ජය කෙහෙලි නංවන අතරේ සාමයේ දෙවි හා ඔහුගේ පුත්‍ර සාමයේ කුමරාට කොහොමද මම සේවය කරන්නේ? (යෙසායා 9:6) ‘පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වන’ බවට යෙහෝවා පොරොන්දු වෙලා තියෙනවා නේද? (ගීතාවලිය 46:9) ඉතින් දෙවි කෙළවර කරන්න යන දෙයකට දිගටම අත හිත දෙන්නේ මොකටද? ඒ විතරක්ද, දෙවිගේ සෙනඟ ‘කඩුවලින් හීවැල් තනාගන්නා’ අතර තවදුරටත් යුද්ධය ඉගෙනගන්න යන්නෙත් නැති බවට යෙසායා පොරොන්දු වෙලා තියෙනවා නේද? (යෙසායා 2:4) මේ ගැන කල්පනා කළ මම සෑහෙන වෙලාවක් හැඟීම්බරව යාච්ඤා කළා. “ආපහු ඒවාට සායම් ගල්වන්න නම් මට බැහැ!” මෙයයි මගේ තීරණය වුණේ. ඉතින් මම 1964 අප්‍රියෙල් 25වෙනිදා වතුර බව්තීස්මය මගින් මගේ ජීවිතය යෙහෝවාට කැප කළා.

කවදාහරි අපි දෙන්නගෙන් එක්කෙනෙක් මැරුණ දාට අපිට වෙන් වෙන්න සිද්ධ වෙන එක කොච්චර කනගාටුදායක දෙයක්ද කියලා බිල් නිතරම කියලා තියෙනවා. මම බයිබලය පාඩම් කරන්න පටන්ගත්තට පස්සේ “දෙවිගේ නව ලෝකයේ අපි දෙන්නට සදහටම එකට ජීවත් වෙන්න පුළුවන්” කියලා මම බිල්ට කිව්වා. (යෙසායා 25:8; එළිදරව් 21:4, 5) ඔහු හිතුවේ මට පිස්සු කියලයි. හමුදා රූප සායම් කරන ගමන් හොඳ හෘදසාක්ෂියක් ඇතුව ඉන්න බැහැ කියලා මම ඔහුට පැහැදිලි කළහම ඔහු කේන්ති අරගෙන, මාව දාලා යන බවට තර්ජනය කළා. කිව්වා වගේම පස්සේ දවසක ඔහු මාව දාලා ගියා.

බිල් අවුරුදු ගණනාවක්ම හමුදා රූප හුඟක් හැදුවා. කොහොමවුණත් ඔහු පදිංචිය සඳහා වැඩි ඈතකට නොයා නිතරම මටත්, 1942දී උපන් අපේ පුතා, ක්‍රේග්ටත් උපකාර කළා. වර්ෂ 1988දී, බිල් ආපහු ඇවිත් ඔහු මියයන තුරු අපිත් එක්ක අවුරුදු දහයක් එකට හිටියා.

මේ අතරතුරේ පුරෝගාමී ඉලක්කය අත් කරගැනීමට වෙහෙසුණු මම 1966දී පුරෝගාමී ඉලක්කය අත් කරගත්තා. එදා පටන් දිගටම මම පුරෝගාමී සේවයේ යෙදිලා තියෙනවා. මගේ අක්කා එක්ක බයිබලය පාඩම් කරන්න මට ප්‍රස්තාව උදා වුණා. ඒ ඉගෙනගත්ත දේවල් පිළිගත් ඇය මේ දක්වාම සාක්ෂිකාරියක් හැටියට ක්‍රියාශීලීව සේවයේ යෙදෙමින් ඉන්නවා. ඒ වගේම මගේ තාත්තාත් බයිබල් පණිවිඩයට සවන් දුන් අතර සති දෙකක් යන්නත් කලින් රාජ්‍ය ශාලාවේ රැස්වීම්වලට යන්න පටන්ගත්තා. වයස අවුරුදු 75දී ඔහු බව්තීස්ම වෙලා, වයස 81දී මියයන තුරුම දෙවිට විශ්වාසවන්තව හිටියා. මගේ අම්මත් ඇගේ දෙවි හැටියට යෙහෝවාව පිළිගත්තා. ඒත් ඇගේ කැපවීමට පෙර ඇය මියගියා. එතකොට ඇයට අවුරුදු 94 ලබලා තිබුණේ නැහැ.

පහුගිය අවුරුදු ගණනාව පුරා මට සාමයේ දෙවි වූ යෙහෝවාගෙන් මහඟු ආශීර්වාද ලැබිලා තියෙනවා. දැන් මගේ වයස අවුරුදු 81ක් වුණත්, ඇවිදීමේ අපහසුවක් තිබුණත් තාමත් මම පුරෝගාමියෙක්. මට හැඟෙන්නේ ප්‍රේරිත පාවුල්ට හැඟුණ දේමයි. ඔහු මෙහෙම ලිව්වා. ‘මම විශ්වාස කළ හැකි කෙනෙක්යයි ගණන්ගෙන තමන්ගේ සේවයට අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් මා පත් කළ බැවින් මට බලය දුන්නාවූ ඔහුට ස්තුති කරමි.’ (1 තිමෝති 1:12) මොනතරම් චමත්කාරජනක සේවයක්ද! මාත් එක්ක පාඩම් කරපු හුඟදෙනෙක් ඔවුන්ගේම කැමැත්තෙන් අපේ දයාවන්ත දෙවිට සේවය කරන්න කැපවීම් කරලා තියෙනවා.

මගේ පවුලේ හැමෝම බයිබල් සත්‍යයට ප්‍රතිචාරය දක්වලා නැති එක ගැන මට ඇත්තෙන්ම කනගාටුයි. සමහරවිට කල් යද්දී තව අය එක් වේවි. කොහොමවුණත්, යේසුස් ඔහුගේ ගෝලයන් සම්බන්ධයෙන් පැවසූ වචන මං සම්බන්ධයෙන් සැබෑවක් වෙලා තියෙනවා. “දැන් මේ කාලයේදී ගෙවල්ද සහෝදරයන්ද සහෝදරියන්ද මවුවරුන්ද දරුවන්ද ගම්බිම්ද පීඩාත් සහිතව සියක් ගුණයක් හා, අනාගත ලෝකයේදී සදාකාල ජීවනයද නොලබා නොසිටින්නේය.” (මාර්ක් 10:30) ඇත්තෙන්ම, යෙහෝවා මාව ධනවත් කරලා තියෙනවා. කීර්තිය හා යුද්ධය වෙනුවට, දෙවිව දැනගැනීම හා සාමය ලබාගැනීම මොනතරම් ගෞරවයක් වගේම ප්‍රීතියක්ද!

[22වන පිටුවේ පින්තූරය]

1954දී ජෙනරාල් කනිෂ්ඨ එල්. සී. ෂෙපර්ඩ් සමඟ

[හිමිකම් විස්තර]

Defense Dept. photo (Marine Corps)

[23වන පිටුවේ පින්තූරය]

(නියම ප්‍රමාණය)

[24වන පිටුවේ පින්තූරය]

වයස අවුරුදු 81 වෙද්දී අවුරුදු 30කට වැඩි කාලයක් පුරෝගාමී සේවයේ යෙදී