Skip to content

පටුනට යන්න

රණ බිමේ නව මුහුණුවර

රණ බිමේ නව මුහුණුවර

රණ බිමේ නව මුහුණුවර

අප්‍රිකානු රටක සරණාගත කඳවුරක් පිහිටුවීමට වැඩි වේලාවක් ගත වූයේ නැත. මෙම කඳවුර පිහිටුවනු ලැබුවේ බලාපොරොත්තු නොවූ අවස්ථාවක අසල්වැසි අප්‍රිකානු රටකින් පැමිණි සරණාගතයන් 1,548දෙනාට පිහිටවීමේ අරමුණිනි. මෙම කඳවුර පිහිටුවීම සඳහා මඩ සහිත බිමක තිබූ පොල් ඉඩමක් එළි පෙහෙළි කළ අතර නිල් හා කහ පැහැති ඝන රෙදිවලින් කූඩාරම් ඉදි කරනු ලැබීය. විදුලිය නොතිබිණ. නිදාගැනීමට අවශ්‍ය පහසුකම්වත් නළ ජලය හා වැසිකිළි පහසුකම්වත් නොතිබිණ. මේ අතර වර්ෂාව ඇද හැලෙන්න පටන්ගත්තේය. මේ සරණාගතයෝ තමන්ගේ කූඩාරම් ඇතුලට ජලය ගලා ඒම වැළැක්වීම සඳහා ලීවලින් සාදාගත් ෂවලයන් යොදාගනිමින් කුඩා කානු කැපූහ. ජාත්‍යන්තර සහනාධාර සපයන ආයතන දෙකක් සරණාගතයන්ට අවශ්‍ය පහසුකම් සපයා දීම සඳහා කඩිමුඩියේ වැඩ කළහ.

මීට කලින් යුද්ධය ආරම්භ වූ අවස්ථාවේදී මේ සරණාගතයන්ට අබලන් වූ බඩු නැවකට නැඟ පලා යෑමට හැකි විය. වසර ගණනාවක් පුරා පැවති සිවිල් යුද්ධය නිසා ඔවුන්ගේ රට සම්පූර්ණයෙන්ම පාහේ විනාශ විය. මේ යුද්ධයේදී යුධ ටැංකි හෝ විශාල බෝම්බ භාවිත කළේ නැත. එය ආරම්භ වූයේ සොල්දාදුවන් 150දෙනෙකු පමණ ස්වයංක්‍රීය තුවක්කු රැගෙන මේ රටට කඩා වැදුණු අවස්ථාවේදීයි. පසුගිය අවුරුදු කිහිපය තුළ මේ සොල්දාදුවෝ ගම් වැසියන්ගෙන් කප්පම් ගනිමින් ගමක් පාසා ගමක් අල්ලාගත්හ. සමහර ගම්වැසියන්ව ඔවුන්ගේ කණ්ඩායමට බඳවාගත් අතර, ඔවුන්ට විරුද්ධ වූ ඕනෑම කෙනෙකුව මරා දමන ලදි. අන්තිමේදී මුළු රටම ඔවුන්ගේ අණසකට යටත් විය.

මේ කඳවුරේ සිටින සරණාගතයෙකු වන එස්තර් නම් තරුණ කාන්තාව තම අද්දැකීම මෙසේ පැවසුවාය. “මගේ ජීවිතයේ අද්දැක්ක දරුණුම දේ තමයි මේ යුද්ධයේදී මගේ මහත්තයා මැරුණු එක. ඒගොල්ලන් එයාව වෙඩි තියලා මැරුවා. හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ බයෙන්. යම් කෙනෙක් මහ හයියෙන් කෑ ගහනවා කෙනෙකුට ඇහුණොත් එකපාරටම ඔහුට දැනෙන්නේ තමන්ව මරන්න කෙනෙක් එනවා වගෙයි. කා ළඟ හරි තුවක්කුවක් තියෙනවා දැක්කොත්, ඒ කෙනා මාව මරයිදෝ කියල හිතෙනවා. මට කවදාවත් හරි හැටි නින්දක් ලැබුණේ නැහැ. මේ කඳවුරේදී තමයි මට ටිකක් හරි හොඳට නින්ද යන්නේ. ගෙදර ඉන්නකොට මට නින්ද ගියේම නැහැ. මෙතන නම් මම පොඩි ළමයෙක් වගේ නිදාගන්නවා.”

“මේ තෙත කූඩාරමේ කොහොමද නිදාගන්නේ?” කියා පිබිදෙව්! වාර්තාකරුවෙක් ඇගෙන් ඇසුවේය.

එස්තර් සිනහ මුසු මුහුණින් මෙසේ පැවසුවාය. “මෙතැන මට නිදාගන්න සිද්ධ වෙන්නේ මඩේ වුණත්, මම කලින් හිටිය තැනට වඩා නම් හොඳට නින්ද යනවා.”

ඇම්බ්‍රොස්ගේ වයස අවුරුදු දහයක් වන අතර ඔහුගේ ජීවිතයෙන් වැඩි කාලයකදී ඔහු කර තිබෙන්නේ පවුලේ අයත් සමඟ යුද්ධය පවතින ප්‍රදේශවලින් පලා යන එකයි. “මම ආසයි සාමයෙන් ජීවත් වෙන්න තියනවා නම්. ආයෙත් ඉස්කෝලේ යන්න තියෙනවා නම් කොච්චර හොඳද! ඒත්, දැන් මම ලොකු ළමයෙක්.”

නව හැවිරිදි කාපානාගේ දුඹුරු පැහැයෙන් යුත් නෙත් යුගල කොයි කාගෙත් සිත් ඇදගනියි. ඇගේ මතකයේ වැඩියෙන්ම රැඳී තිබෙන්නේ කුමක්ද කියා ඇසූ විට ඇය ගත් කටටම පැවසුවේ “යුද්ධයයි, වෙඩි හඬයි” කියාය.

මේ මිනිසුන්ට තමන්ගේ ගම් බිම් අත්හැර දමා යෑමට හේතු වූ මේ යුද්ධයේ ලක්ෂණ මෑතක සිට බොහෝ යුද්ධවල දක්නට තිබේ. එක් මූලාශ්‍රයකට අනුව, 1990 සිට මේ දක්වා ප්‍රධාන යුද්ධ 49ක් සිදු වී තිබෙන අතර, ඒවායින් 46කම යොදාගෙන තිබෙන්නේ සැහැල්ලු අවි පමණි. කඩු හා හෙල්ල පාවිච්චි කළ පැරණි කාලයේ යුද්ධ මෙන් නොව, අද පවතින යුද්ධවල පාවිච්චි කරන සුළු අවි පළපුරුද්ද ඇති අයට වගේම ඒ ගැන කොහෙත්ම දැනුමක් නැති අයටත් පාවිච්චි කළ හැක. a බොහෝ අවස්ථාවලදී ළමුන්ව යුද්ධවලට බඳවාගෙන තිබෙන අතර, සාමාන්‍ය ජනයාගේ දේපොළ කොල්ලකෑමට, ඔවුන්ගේ අත් පා කපා දැමීමට හා ඔවුන්ව මරා දැමීමට එම ළමුන්ට බල කර තිබේ.

අද පවතින සටන්වලින් බොහොමයක් සිදු වන්නේ රට රටවල් අතර නොව, රටවල් ඇතුලතමයි. මෙම සටන්වල නිරත වී සිටින්නේ නිසි හමුදා පුහුණුවක් ලැබූ සොල්දාදුවන් නොවේ. එමෙන්ම මෙම සටන් සිදු වන්නේ යුද්ධය සඳහා වෙන් කළ විශේෂ කලාපයක නොව, සාමාන්‍ය ජනයා ජීවත් වන නගර හා ගම්වලය. සටන් වදින අයගෙන් බොහෝදෙනෙකු හමුදා පුහුණුවක් ලබා නොසිටින නිසා බොහෝ අවස්ථාවලදී සම්ප්‍රදායක යුධ නීති කඩ කරනු ලැබේ. උදාහරණයක් හැටියට, නිරායුධව සිටින පුරුෂයන්ට, ස්ත්‍රීන්ට හා දරුවන්ට දරුණු ප්‍රහාර එල්ල කිරීම අද සාමාන්‍ය දෙයක් වී තිබේ. අද සිදු වන යුද්ධවලින් මිය යන අයගෙන් සියයට 90කට වඩා වැඩි පිරිසක් සාමාන්‍ය ජනයා බව විශ්වාස කෙරෙන අතර, මෙවන් යුද්ධවලදී බහුලව යොදාගනු ලබන්නේ සුළු අවි සහ සැහැල්ලු අවිය.

යුද්ධයට එකම හේතුව තුවක්කු නොවේ. මන්ද වෙඩි බෙහෙත් සොයාගැනීමට කලින් පවා මිනිස්සු සටන් කළහ. කෙසේවෙතත්, විශාල වශයෙන් තුවක්කු ගබඩා කර තිබීම මගින් සිදු වන්නේ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගන්නවා වෙනුවට සටන් කිරීමට නැඹුරු වීමයි. අවි නිසා යුද්ධය තවත් දික් ගැස්සිය හැකි අතර, සිදු වන ජීවිත හානිද වැඩි වේ.

අද පවතින යුද්ධවලදී භාවිත කෙරෙන්නේ සැහැල්ලු අවි වුවත්, ඉන් සිදු වන හානි බරපතළය. අනූව දශකයේදී එවන් අවි යොදාගනිමින් මරා දමන ලද පිරිස දශලක්ෂ හතරකට වඩා වැඩි වූ අතර, දශලක්ෂ 40කට වැඩි පිරිසක් සරණාගතයන් බවට පත් වී සිටී. එසේත් නැත්නම් අවතැන් වී සිටී. යුද්ධ පවතින රටවල් දේශපාලනික, සමාජීය, ආර්ථික හා පාරිසරික වශයෙන් බිඳ වැටීමට හේතුව වන්නේ සුළු අවිය. හදිසි සහනාධාර සැපයීම, සරණාගතයන්ගේ අවශ්‍යතා සැපයීම, සාම සාධක වැඩපිළිවෙළවල් දියත් කිරීම හා හමුදාමය ක්‍රියාමාර්ගයන් ගැනීම වැනි දේවල් සඳහා ඩොලර් බිලියන ගණනක් වැය කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට සිදු වී තිබෙන්නේද මේ අවි නිසාය.

වත්මන් යුද්ධවලදී සුළු අවිවලට ප්‍රධාන තැනක් හිමි වී තිබෙන්නේ මන්ද? එම අවි සටන්කාමීන් අතට පත් වන්නේ කෙසේද? මෙම මාරාන්තික අවි සීමා කිරීමට හෝ විනාශ කර දැමීමට කුමක් කළ හැකිද? ඊළඟ ලිපිවලදී මෙම ප්‍රශ්න සැලකිල්ලට යොමු කර ඇත.

[පාදසටහන]

a මෙහි සඳහන් “සුළු අවි” ලෙස සැලකෙන්නේ තනි පුද්ගලයෙකුට ක්‍රියාත්මක කළ හැකි රයිෆල් හා පිස්තෝල වැනි අවිය. “සැහැල්ලු අවි” ලෙස සැලකෙන්නේ මැෂින් තුවක්කු, මෝටාර් හා ග්‍රෙනෙඩ් ප්‍රහාර එල්ල කරන උපකරණ යනාදියයි. ඇතැම් අවස්ථාවලදී මේවා ක්‍රියාත්මක කිරීමට පුද්ගලයන් දෙදෙනෙකු අවශ්‍ය වේ.

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

UN PHOTO 186797/J. Isaac