Skip to content

පටුනට යන්න

රුධිර සංසරණ පද්ධතියේ අරුමයන්

රුධිර සංසරණ පද්ධතියේ අරුමයන්

රුධිර සංසරණ පද්ධතියේ අරුමයන්

ඔබේ නිවසෙහි ඉතා නවීන පන්නයේ ජලනල පද්ධතියක් සවි කර ඇතැයි සිතන්න. එම පද්ධතිය තාක්ෂණික අතින් කොතරම් සංකීර්ණද කියා කිවහොත් ඊට ආහාර, ජලය, ඔක්සිජන් සහ අපද්‍රව්‍ය ආරක්ෂා සහිතව පරිවහනය කළ හැකිය. මීට අමතරව, තමන්වම ස්වයංක්‍රීයව අලුත්වැඩියා කිරීමේ හැකියාව එයට ඇති අතර, ඔබේ නිවහනේ අවශ්‍යතාව පරිදි එම පද්ධතිය පුළුල් කළ හැකිය. එවැනි පද්ධතියක් නිර්මාණය කළා නම්, එය සඳහා යොදා ඇති තාක්ෂණය කොතරම් සුවිශේෂී එකක්ද කියා සිතාගත නොහැකි තරම්ය.

ඔබේ සිරුරේ එවැනි පද්ධතියක් ඇත. එනමුත් ඉන් ඊටත් වඩා වැඩිමනත් කාර්යයන් ඉටු වේ. ඔබේ සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීමට අමතරව, එමගින් හෝමෝන නොහොත් රසායනික පණිවිඩ රැසක්ම ප්‍රවාහණය කරන අතර, රෝගවලට එරෙහිව යොදාගන්නා ප්‍රබල ආරක්ෂක මෙවලම්ද ගෙනයයි. මෙම පද්ධතිය සුනම්‍ය, මෘදු ද්‍රව්‍යවලින් සාදා ඇති නිසා, යම් කම්පනයන් පහසුවෙන් දරාගැනීමටත්, ඔබේ සිරුරේ වෙනත් අවයවයන්ට බාධාවක් නොවී ක්‍රියාත්මක වීමටත් එයට හැකියාව ඇත. මෙවැනි පද්ධතියක් නිර්මාණය කිරීමට කිසිම ඉන්ජිනේරුවෙකුට හැකි නොවන බව නම් ස්ථිරය. කෙසේවෙතත්, අපගේ මැවුම්කරු සිරුරේ ධමනි, ශිරා සහ කෘශලක (කේශ නාලිකා) ඇතුළත් කරමින් මෙම සුවිශේෂ පද්ධතිය නිර්මාණය කළේය.

එම පද්ධතියේ ප්‍රධාන අංග

මිනිසාගේ රුධිර සංසරණ පද්ධතිය ඇත්තෙන්ම එකට වැඩ කරන පද්ධති දෙකකින් සමන්විතය. හෘදය, රුධිරය සහ සියලුම රුධිර වාහිනී අඩංගු කන්තුක වාහිනී පද්ධතිය මින් එකකි. අනික, වසා පද්ධතියයි. සිරුරේ පටකවල සිට යළි රුධිර ධාරාව වෙත වසා යනුවෙන් හැඳින්වෙන අතිරික්ත ද්‍රාවණය පරිවහනය කරන වාහිනී පද්ධතියක් ලෙස වසා පද්ධතිය හැඳින්විය හැක. එක වැඩිහිටියෙකුගේ රුධිර වාහිනී ප්‍රමාණය දැක්වීමට රේඛාවක් ඇන්දොත්, එම රේඛාව කිලෝමීටර් 1,00,000ක් දුරට විහිදෙන අතර, එය පොළොව වටා වාර දෙකහමාරක් ඇඳිය හැක. ඉතා පුළුල් වූ කන්තුක වාහිනී පද්ධතිය මගින් සිරුරේ බරින් සියයට 8ක් පමණ වන ජීවනදායක රුධිරය, සෛල බිලියන ගණනක් වෙත පරිවහනය කෙරේ.

කන්තුක වාහිනී පද්ධතියේ මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරන්නේ හෘදයයි. මිට මෙළවූ අතකට සමාන ප්‍රමාණයෙන් යුත් මෙම හෘදය වස්තුව, දිනපතා ඔබේ සිරුර පුරා අඩුම තරමින් රුධිරය ලීටර් 9,500ක්වත් පොම්ප කරයි. මෙයින් සිදු වන කාර්යය, ටොන් එකක් බර යමක් පැය 24කට වරක් අඩි 40ක පමණ උසක් දක්වා ඉසිලීමට සමාන කළ හැක.

කන්තුක වාහිනී පද්ධතිය හඳුනාගනිමු

රුධිරයේ ගමන් මඟ ගැන කුමක් කිව හැකිද? මුලින්ම, ඔක්සිජන් හීන රුධිරය ප්‍රධාන ශිරා දෙකක් ඔස්සේ, එනම්, පූර්ව (ඉහළ) මහා ශිරාව සහ අපර (පහළ) මහා ශිරාව ඔස්සේ හෘදය වෙතට ළඟා වේ. (රූපසටහන බලන්න.) මෙම ශිරා, හෘදයේ පළමු කුටීරය වන දකුණු කර්ණිකාව වෙතට රුධිරය යොමු කරයි. දකුණු කර්ණිකාවෙන් සිදු වන්නේ වඩාත් ශක්තිමත් කුටීරයක් වන දකුණු කෝෂිකාව වෙතට රුධිරය තල්ලු කිරීමයි. එතැනින් රුධිරය, පුප්ඵුසීය ධමනි දෙක ඔස්සේ පෙණහලුවලට ගමන් කරයි. ඔක්සිජන් හීන රුධිරය පරිවහනය කරන ධමනි ගණයට වැටෙන්නේ මෙම පුප්ඵුසීය ධමනි දෙක පමණි. සාමාන්‍යයෙන් මෙම කාර්යයෙහි නිරත වන්නේ ශිරාය.

පෙණහලුවලදී, රුධිරය කාබන්ඩයොක්සයිඩ් මුදාහැර, ඔක්සිජන් උරාගනියි. ඊළඟට රුධිරය පුප්ඵුසීය ශිරා සතර මාර්ගයෙන් හෘදයේ වම් කර්ණිකාව වෙතට ගලා එයි. ඔක්සිජන් බහුල රුධිරය පරිවහනය කරන ශිරා ගණයට වැටෙන්නේ මෙම පුප්ඵුසීය ශිරා සතර පමණි. වම් කර්ණිකාව හෘදයේ ප්‍රබලතම කුටීරය වන වම් කෝෂිකාවට සම්බන්ධ වේ. එහිදී, ඔක්සිජන් බහුල රුධිරය මහා ධමනිය ඔස්සේ සිරුරට පොම්ප කරනු ලැබේ. මුලින්ම කර්ණිකා දෙක සංකෝචනය වේ. අනතුරුව කෝෂිකා දෙක සංකෝචනය වේ. මෙම ද්විත්ව ක්‍රියාවලිය හේතුවෙන් හෘදය ස්පන්දනය වේ. හෘදය පුරාම රුධිරය එක දිශාවකට ගමන් කරන බවට වගබලා ගන්නේ අභ්‍යන්තරයෙහි පිහිටා ඇති කපාට සතරයි.

සිරුරේ සෑම කොටසකටම රුධිරය පොම්ප කිරීමට සිදු වන නිසා, වඩාත් ශක්තිසම්පන්න වම් කෝෂිකාව, දකුණු කෝෂිකාවට වඩා හය ගුණයකින් පමණ ශක්තිමත්ය. මින් ජනිත වන පීඩනය ඉතා ප්‍රබලය. ඒ පීඩනය නිසා සමහර අවස්ථාවලදී, සිරුරේ උපුලුවක් (Aneurysm-හෘද වස්තුවෙන් පිටතට රුධිරය වහනය කරන නාලවල ඇති වන ඉලිප්පීම් හෝ පිම්බීම්) නැතහොත් මොළයට මාරාන්තික විය හැකි ආඝාතයක් (stroke) හටගත හැක. කෙසේවෙතත්, මෙම අධික පීඩනය දරාගැනීමට ඉවහල් වන අපූරු තාක්ෂණයට ස්තුතිවන්ත වන්න, එවන් අවාසනාවන්ත දෙයක් සිදු නොවේ.

සුනම්‍ය ධමනි

අපගේ සිරුරේ විශාලතම ධමනිය වන මහා ධමනිය සහ එහි ප්‍රධාන ශාඛා “සුනම්‍ය ධමනි” ලෙස හැඳින්විය හැක. මෙම ධමනි අභ්‍යන්තරයේ (ලූමනයේ) විශාල ඉඩ ප්‍රමාණයක් ඇති නිසා, රුධිරයට පහසුවෙන් ගලා යා හැක. එම ධමනිවල බිත්ති ගත් කල, ඒවා ඝනකමින් වැඩිය. තවද රබර්වලට සමාන ප්‍රෝටීනයක් වන ඉලැස්ටින් අතුරා ඇති ශක්තිසම්පන්න බිත්තිවලින් එය සමන්විතය. වම් කෝෂිකාව මෙම ධමනි තුළට රුධිරය පොම්ප කරන විට, ඒවා ප්‍රසාරණය වෙමින්, අධික පීඩනය අවශෝෂණය කොට, ඊළඟ ධමනි කාණ්ඩයට එනම්, බිත්තිවල ඉලැස්ටින් ආවරණයක් ඇති බෙදාහැරීමේ කාර්යයෙහි නියුතු ශක්තිසම්පන්න ධමනිවලට රුධිරය යවයි. මෙම පුදුම දනවන සැලැස්මට ස්තුතිවන්ත වන්න, ඉතා සියුමැලි කෘශලක වෙතට රුධිරය ගමන් ගන්නා විට, රුධිර පීඩනයෙහි අසාමාන්‍ය තත්වයක් දක්නට නොලැබේ. a

රුධිරය බෙදාහැරීමේ කාර්යයෙහි නිරත වන ධමනි සෙන්ටිමීටර් එකක සිට මිලිමීටර් 0.3 දක්වා විවිධාකාර විෂ්කම්භයන්ගෙන් යුක්තය. විශේෂ ස්නායු තන්තු ආධාරයෙන් විස්තාරණය වන හා සංකෝචනය වන මෙම රුධිර වාහිනී, රුධිර වහනය පාලනය කරන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් රුධිර සංසරණ පද්ධතිය ඉතා සක්‍රීයව පවතී. නිදසුනකට, සිරුර දැඩි කම්පනයකට හෝ අනතුරකට ලක් වන අවස්ථාවකදී, ධමනි බිත්තිවල පීඩනයේ වෙනස්කම් දැනෙන සංවේදක ඉන්ද්‍රීන් මොළයට සංඥා යවයි. ඊට පිළිතුරු වශයෙන්, මොළය සම වැනි වැදගත්කමින් අඩු පෙදෙස්වලට රුධිර වහනය කිරීම සීමා කරන මෙන් අදාළ ධමනිවලට සංඥා යවන අතර, අත්‍යවශ්‍ය අවයවයන් වෙතට රුධිරය වැඩියෙන් යොමු කිරීමටද පණිවිඩ යවයි. නියූ සයන්ටිස්ට් සඟරාව පවසන පරිදි, “ඔබේ ධමනිවලට රුධිරය ගලායෑම ‘දැනෙන’ අතර, ඒවා ඊට යෝග්‍ය ලෙස ප්‍රතිචාරය දක්වයි.” ඇත්තෙන්ම ධමනි “බුද්ධිමත් පයිප්ප” ලෙස විස්තර කිරීම පුදුමයක් නොවේ.

ධමනිකා යනුවෙන් හැඳින්වෙන ඉතා කුඩා ධමනිවලින් රුධිරය මුදාහැරෙන අවස්ථාවේදී, එහි පීඩනය රසදිය මිලිමීටර් 35ක පමණ මට්ටමක පවතී. ධමනිකා කුඩාම රුධිර වාහිනී වන කෘශලක හා සම්බන්ධ වන නිසා, රුධිර පීඩනය වෙනස් නොවනසුලු, අඩු පීඩනයක් යටතේ තිබීම අත්‍යවශ්‍යය.

රතු රුධිරාණුවල ගමන, තනි පෙළට

කෘශලක කොතරම් කුඩාද කිවහොත්, ඒවා මයික්‍රෝමීටර් (මීටරයකින් මිලියනයකින් එකක්) අටත් දහයත් අතර විෂ්කම්භයෙන් යුක්තය. ඒ හේතුවෙන් රතු රුධිරාණු සෛලවලට ඒවා ඔස්සේ තනි පෙළට ගමන් කිරීමට සිදු වේ. කෘශලක බිත්ති තනි සෛල තට්ටුවකින් පමණක් සකස් වී තිබුණද, ඒවා ඊට යාබදව පිහිටි පටකවලට (රුධිරයේ ද්‍රව කොටස වන ප්ලාස්මය මගින්) පෝෂ්‍ය පදාර්ථ සපයන අතර, (රතු රුධිරාණු මගින්) ඔක්සිජන් පරිවහනය කරයි. ඒ අවස්ථාවේදීම, කාබන්ඩයොක්සයිඩ් සහ වෙනත් අපද්‍රව්‍ය පටකවලින් ඉවත් වී යළිත් කෘශලකවලට විසරණය වේ. චක්‍ර පිධානය නොහොත් වේෂ්ටකය යනුවෙන් හැඳින්වෙන කුඩා පේශි වළල්ලේ ආධාරයෙන් අවට පටකයන්ගේ අවශ්‍යතාව පරිදි රුධිර ධාරාව පාලනය කිරීමට කෘශලකවලට පුළුවන.

අනුශිරාවල සිට ශිරා මාර්ගයෙන් හෘදය වෙතට

රුධිරය කෘශලකවලින් කුඩා ශිරා වන අනුශිරාවලට ගමන් කරයි. විෂ්කම්භයෙන් මයික්‍රෝමීටර් 8ත් 100ත් අතර වන මෙම අනුශිරා, ශිරාවන් හා සම්බන්ධ වී රුධිරය හෘදය වෙතට නැවත යවයි. රුධිරය ශිරාවන් තුළට පිවිසෙන විට, එහි පීඩනයක් නොමැති තරම්ය. එමනිසා, ධමනි බිත්තිවලට වඩා ශිරා බිත්ති ඝනකමින් අඩුය. ඒවායෙහි අඩංගු ඉලැස්ටින් ප්‍රමාණයද අඩුය. කෙසේවෙතත්, ඒවායෙහි ලූමනය විශාලත්වයෙන් වැඩි නිසා, ඔබේ සිරුරේ ඇති රුධිරයෙන් සියයට 65ක්ම තිබෙන්නේ ශිරාවලය.

ශිරා තුළ ඉතා අඩු රුධිර පීඩනයක් ඇති නිසා, හෘදය වෙතට රුධිරය යැවීම සඳහා දක්ෂ ක්‍රම කිහිපයක් යොදාගැනේ. මුල්ම ක්‍රමය නම්, ඒවාට කෝප්පයක හැඩැති විශේෂ කපාට තිබීමයි. මෙම කපාට මගින් හෘදය වෙත රුධිරය යැවීමේ කාර්යයට බාධාවක් විය හැකි ගුරුත්වාකර්ෂණයේ බලපෑම අඩු කෙරේ. දෙවන ක්‍රමය නම්, ශිරා මගින් සිරුරේ අස්ථිමය පේශි උපයෝගි කරගැනීමයි. ඒ කෙසේද? ඇවිදීම වැනි අවස්ථාවකදී පේශි ක්‍රියාත්මක වන විට, පේශි අවට පිහිටි ශිරා තෙරපීමකට ලක් වේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, එක් පැත්තකට පමණක් විවෘත වන කපාට ඔස්සේ රුධිරය හෘදය දෙසට තල්ලු කරනු ලැබේ. අවසාන වශයෙන්, ශ්වසනය හේතුවෙන් උදරයෙහි සහ පපුවෙහි වෙනස් වන පීඩනය, ශිරාවල රුධිරය හෘදයේ දකුණු කර්ණිකාව වෙත යැවීමට ඉවහල් වේ.

කන්තුක වාහිනී පද්ධතිය කොතරම් කාර්යක්ෂමද කිවහොත්, පුද්ගලයෙක් විවේකීව සිටින අවස්ථාවකදී පවා, සෑම විනාඩියකට වරක්ම රුධිර ලීටර් 5ක් හෘදය වෙතට යවයි. ඇවිදිනවා නම්, ඒ ප්‍රමාණය විනාඩියකට ලීටර් 8ක් දක්වා වැඩි වේ. නිරෝගී මැරතන් ධාවකයෙකු දුවද්දී, ඔහුගේ හෘදය තුළට සහ ඉන් පිටතට විනාඩියකට ලීටර් 35ක් රුධිරය ගමන් කළ හැකිය. මින් අදහස් කරන්නේ විවේකීව සිටින අවස්ථාවට වඩා හත් ගුණයක වැඩිවීමකි.

නිතරම පාහේ දිගු වේලාවක් සිටගෙන සිටීම, තරබාරු පුද්ගලයෙකු වීම, ගැබ්ගෙන සිටීම හෝ උපතින් උරුම කරගත් යම් දෝෂයක් තිබීම ආදි හේතු නිසා, ශිරා කපාටවල කාන්දු වීමක් සිදු විය හැක. මෙවැනි අවස්ථාවකදී, මෙම කපාටවලට යටින් රුධිරය එකතු වී ශිරා ඉදිමී, අපස්ථික ශිරා (varicose veins) නමැති රෝගී තත්වය හටගනී. ඒ හා සමානව, දරුවෙකු ප්‍රසූත කිරීමට දරන වෙහෙසේදී නැතහොත් මලපහ කිරීමට දරන වෙහෙසේදී උදර කුහරය මත එල්ල වන පීඩනය වැඩි වන අතර, එය ගුදයේ සහ මහාන්ත්‍රයේ ශිරාවල රුධිරය ආපසු යැවීමට බාධා පමුණුවයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් හෙමොරොයිඩ් (රක්තරීත) යනුවෙන් හැඳින්වෙන අපස්ථික ශිරා හටගත හැක.

වසා පද්ධතිය

කෘශලක මගින් පටකවලට පෝෂ්‍ය පදාර්ථ ලබා දී, අපද්‍රව්‍ය නැවත ලබාගන්නා විට, එයට නැවත ලැබෙන්නේ ලබා දෙන ද්‍රව ප්‍රමාණයට වඩා අඩු ද්‍රව ප්‍රමාණයකි. මෙයට හේතුව මෙම පටකවලට ඉතා වැදගත් රුධිර ප්‍රෝටීන කෘශලක මගින් මුදාහරිනු ලැබීමය. සිරුරට වසා පද්ධතියක් අවශ්‍ය වන්නේ මේ නිසාය. එම පද්ධතිය වසා යනුවෙන් හැඳින්වෙන අතිරික්ත ද්‍රවය එකතු කොට, බෙල්ලේ ඇතුළටම වෙන්න පිහිටා ඇති විශාල ශිරාවක් මගින් සහ පපුවෙහි පිහිටා ඇති තව ශිරාවක් මගින් එය නැවත රුධිර ධාරාවට එකතු කරයි.

ධමනි සහ ශිරා මෙන් වසා වාහිනීද වර්ග කීපයකින් සමන්විත වේ. ඉන් කුඩාම ඒවා, වසා කෘශලක ලෙස හැඳින්වේ. ඒවා රුධිර කෘශලක තට්ටුවල පිහිටා ඇත. පාරගම්‍යතාව වැඩි මෙම කුඩා වාහිනී, අතිරික්ත ද්‍රව උරාගෙන වඩාත් විශාල වසා වාහිනීවලට යවයි. වසා වාහිනී මගින් වසා කඳන්වලට වසා තරලය ගෙනයනු ලැබේ. වසා කඳන් එකතු වී වසා ප්‍රණාල සෑදෙන අතර, එම ප්‍රණාල ශිරාවලට සම්බන්ධ වේ.

වසා තරලය ගලා යන්නේ එක දිශාවකට පමණි. එනම් හෘදය වෙතට පමණි. එමනිසා, කන්තුක වාහිනී පද්ධතිය මෙන්, වසා වාහිනීවලින් චක්‍රයක් බඳු පද්ධතියක් සෑදෙන්නේ නැත. වසා තරලය එම පද්ධතිය තුළින් ඉදිරියට ගමන් කරන්නේ, අසල පිහිටි ධමනිවල ගැස්මෙන් සහ අත පයේ චලනයෙන් උත්තේජනය වන වසා වාහිනීවල මද පේශී ක්‍රියාකාරිත්වය ආධාරයෙනි. වසා වාහිනීවල යම් අවහිරයක් ඇතොත්, එම අවහිරය ඇති ස්ථානයෙහි වසා තරලය එකතු වී, ජල ශෝථයක් ලෙස හැඳින්වෙන ඉදිමුමක් ඇති වේ.

වසා වාහිනී මගින් විෂබීජ පරිවහනය කිරීමද සිදු වේ. මේ හේතුවෙන් අපගේ මැවුම්කරු වසා පද්ධතියට ඉතා ප්‍රබල ආරක්ෂක මෙවලම් ලබා දී ඇත. ඒවා නම් වසා ග්‍රන්ථිය, වසා තරලය එකතු කරන ප්‍රණාල පුරාම විසිර ඇති වසා ගැටිති, පිලාව, තයිමසය, සෙම්ගෙඩි, අනුබද්ධය සහ ක්ෂුද්‍රාන්ත්‍රයේ පිහිටා ඇති වසාභ කූප (පයර් ලප) වේ. ප්‍රතිශක්ති පද්ධතියේ ප්‍රධාන සෛල වර්ගය වන ලිම්ෆොසයිට නිපදවීමටත්, ගබඩා කිරීමටත් මෙම අවයවයන්වල ක්‍රියාකාරිත්වය බෙහෙවින් ඉවහල් වේ. මේ අනුව, ඔබේ වසා පද්ධතිය හොඳ තත්වයක පැවතීම, නිරෝගී සිරුරකට දායක වෙනවා ඇත.

රුධිර සංසරණ පද්ධතිය වටා අප ගිය සංචාරය මෙතැනින් නිමාවට පත් වේ. ඉතා කෙටි සංචාරයක් වුවද, මෙය ඉතා සංකීර්ණ මෙන්ම කාර්යක්ෂම තාක්ෂණයක් යොදා ඇති පද්ධතියක් බව මනාව පැහැදිලිය. එපමණක්ද නොව, එහි අසංඛ්‍යාත කාර්යයන් සිදු වන්නේ කිසිදු ශබ්දයකින් තොරවය. එය ඔබට නොදැනෙන තරම්ය. ප්‍රශ්නයක් ඇති වන්නේ රෝගී වුවහොත් පමණි. එමනිසා, ඔබේ රුධිර සංසරණ පද්ධතිය රැකගන්න. එහි ප්‍රතිඵලයක් ලෙස එයද ඔබව රැකගනීවි.

[පාදසටහන]

a රුධිර පීඩනය මනිනු ලබන්නේ, රසදිය මට්ටම ඉහළ දැමිය හැකි මිලිමීටර් සංඛ්‍යාවෙනි. වම් හෘද කෝෂිකාව සංකෝචනයෙන් මහා ධමනිය වෙත තෙරපීමේදී ඇති වන පීඩනය ආකුඤ්ච පීඩනය ලෙසද, රුධිරය පොම්ප කිරීමෙන් පසු සම්පූර්ණ හෘද විස්තාරයක් ඇති වූ විට සහ හෘදය විරාමයකට භාජන වූ විට ධමනි තුළ ඇති වන පීඩනය විස්තාර පීඩනය ලෙසද හැඳින්වේ. රුධිර පීඩනය පුද්ගලයෙකුගේ වයස, ස්ත්‍රී පුරුෂභාවය, මානසික සහ ශාරීරික විඩාව අනුව වෙනස් වේ. පුරුෂයන්ට වඩා ස්ත්‍රීන්ගේද, දරුවන්ගේද රුධිර පීඩනය අඩු බව දක්නට ලැබෙන අතර, වයෝවෘද්ධ අය තුළ සාමාන්‍යයෙන් වැඩි රුධිර පීඩනයක් දක්නට ලැබේ. සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න යෞවනයෙකුගේ ආකුඤ්ච පීඩනය රසදිය මිලිමීටර් 100 සිට 140 දක්වාද, විස්තාර පීඩනය රසදිය මිලිමීටර් 60 සිට 90 දක්වාද විය හැක.

[30වන පිටුවේ කොටුව⁄පින්තූර]

ඔබේ ධමනි රැකගන්න!

බොහෝ රටවල ජනයා මියයෑමට හේතුවක් වන්නේ ධමනි දෘඪතාව නොහොත් ධමනි දැඩිවීමයි. මෙසේ වීම නිසා රෝග කිහිපයක්ම වැළඳිය හැක. මේ අතරින් වැඩියෙන්ම සිදු වන්නේ, ධමනි තුළ බෙරි වූ බත් ඇටවලට සමාන මේද ලප (ඇතිරෝමා) ක්‍රමානුකූලව තැන්පත් වීමයි. මෙය ධමනි සිහින් වීමට (atherosclerosis) හේතු වේ. මෙලෙස තැන්පත් වන දේ ධමනි ලූමනය නොහොත් අභ්‍යන්තරය තවත් කුඩාවීමට සලස්වයි. මෙම ද්‍රව්‍යයන් බොහෝසෙයින් තැන්පත් වන විට, එය අනතුරුදායක විය හැක. එම ද්‍රව්‍ය ගැලවී ගියොත් ධමනි ලූමනය දිගේ ගමන් කරමින්, යම් ස්ථානයකදී සම්පූර්ණයෙන් හිර විය හැක. මීට අමතරව එහෙ මෙහෙ ගමන් කරන රුධිර කැටි ධමනියක් සම්පූර්ණයෙන්ම හිර කරවීමටද හේතු විය හැකියි. එසේ නැතහොත්, ධමනි බිත්තියට සම්බන්ධ පේශීවල ගැස්මෙන්ද එවන් හිරවීමක් සිදු විය හැක.

හෘදයේ පේශිවලට රුධිරය සපයන කිරීට ධමනි බිත්තිවල මැලියම් බැඳීම විශේෂයෙන්ම භයානක වූ රෝග තත්වයකි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් හෘද පේශිවලට ප්‍රමාණවත් රුධිර සැපයුමක් නොලැබේ. සම්බාධය (Angina) නමැති මෙම රෝගී තත්වයේ රෝග ලක්ෂණයක් වන්නේ සිරුර වෙහෙසවීමෙන් පසු පපුවේ සුළු නමුත් යම් පීඩනයක් දැනෙන වේදනාවක් ඇතිවීමයි. කිරීට ධමනියක් සහමුලින්ම හිර වේ නම්, එය හෘදයාබාධයකට සහ හෘද පේශිවලට හානිවීමට හේතු විය හැක. ඉතා බරපතළ හෘදයාබාධයකදී, හෘදය මුළුමනින්ම ක්‍රියා විරහිත විය හැක.

දුම්පානය, චිත්තවේගීය පීඩනය, දියවැඩියාව, ස්ථූලතාව, ව්‍යායාමවල යෙදීමේ ඌනතාව, අධික රුධිර පීඩනය, මේද බහුල ආහාර ගැනීම සහ උරුමයෙන් බලපාන හේතු සාධක, ධමනි සිහින් වීමේ ආබාධය ඇතිවීමට තිබෙන ඉඩ කඩ වැඩි කරවයි.

[පින්තූර]

නිරෝගී තත්වය

අතරමැදි තත්වය

බරපතළ ලෙස සිදුර කුඩාවීම

[රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

කිරීට ධමනිය

[28, 29වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

කන්තුක වාහිනී පද්ධතිය

ඔක්සිජන් බහුල රුධිරය

→ පෙණහලු →

හෘදය හෘදය

හෘදයේ දකුණු කෝෂිකාව හෘදයේ වම් කෝෂිකාව

↑ ↓

ශිරා හෘදය

↑ ↓

අනුශිරා ධමනිකා

← කෘශලක ←

ඔක්සිජන් හීන රුධිරය

ඔක්සිජන් හීන රුධිරය

සිරුරේ සිට සිරුරේ සිට

පූර්ව මහා ශිරාව අපර මහා ශිරාව

↓ ↓

දකුණු කර්ණිකාව

දකුණු කෝෂිකාව

කපාට

පෙණහලු වෙත

පුප්ඵුසීය ධමනිය

ඔක්සිජන් බහුල රුධිරය

පෙණහලු සිට

වම් කර්ණිකාව

කපාට

වම් කෝෂිකාව

මහා ධමනිය

සිරුර දක්වා

[29වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

හෘදය ස්පන්දනය වන අන්දම

1. විස්තාරය වන අවස්ථාව

2. කර්ණිකා සංකෝචනය වේ

3. කෝෂිකා සංකෝචනය වේ

[29වන පිටුවේ පින්තූරය]

රුධිර සෛල කිලෝමීටර් 1,00,000ක් පමණ දුර ගෙවා යන රුධිර වාහිනී දිගේ ගමන් කරයි

[30වන පිටුවේ පින්තූරය]

තනි පෙළට ගමන් කරන රතු රුධිරාණු සහිත කෘශලකවල ඡායාරූපයක්

[හිමිකම් විස්තර]

Lennart Nilsson