Skip to content

පටුනට යන්න

සිහින—දෙවිගෙන් ලැබෙන පණිවුඩද?

සිහින—දෙවිගෙන් ලැබෙන පණිවුඩද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

සිහින—දෙවිගෙන් ලැබෙන පණිවුඩද?

මහන මැෂිමේ සැලැස්ම පිළිබඳව තමන් අදහසක් ලබාගත්තේ සිහිනයකින් බව එහි නිමැවුම්කරු වන ඉලයස් හව් පවසා සිටියේය. තමන්ට විවිධ සංගීත තනු නිර්මාණය කිරීමට හැකි වූයේ සිහිනෙන් දුටු දේවල් නිසා බව ගීත රචකයෙකු වන මෝට්සාට් පැවසීය. එලෙසම බෙන්සීන් අණුවේ ව්‍යූහය සොයාගත් රසායනඥ ෆ්‍රිඩ්රිහ් ඕගුස්ට් කේකුලේ ෆොන් ෂ්ට්‍රාඩෝනිට්ස් පැවසුවේ එය තමන් සිහිනෙන් දුටු බවය. ඇත්තටම බොහෝදෙනෙකු මෙවැනි අදහස් පළ කර ඇත. සිහිනවල අද්භූත පණිවුඩ ඇති බවට විශ්වාස කළ විවිධ සංස්කෘතීන් තිබූ බව ඉතිහාසය සාක්ෂි දරයි. එමෙන්ම සිහින ලෝකය සැබෑ ලෝකය තරම්ම යථාර්ථවාදී බව තවත් සමහර අය විශ්වාස කරති.

විවිධ අවස්ථාවලදී, දෙවි තොරතුරු ලබා දීමේ වටිනා මාධ්‍යයක් හැටියට සිහින යොදාගත් බව බයිබලයේ පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් වාර්තා කිහිපයක්ම එහි අන්තර්ගතය. (විනිශ්චයකාරයන් 7:13, 14; 1 රාජාවලිය 3:5) නිදසුන් ලෙස, සිහින තුළින් ආබ්‍රහම්ට, යාකොබ්ට සහ යෝසෙප්ට දෙවි තමා අරමුණු කළ දේ දැනුම් දුන්නේය. (උත්පත්ති 28:10-19; 31:10-13; 37:5-11) දෙවි අනාගතය පිළිබඳ තොරතුරු ඇතුළත් සිහිනයක් බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර්ට දකින්ට සැලැස්සුවේය. (දානියෙල් 2:1, 28-45) එදා එම සිහින දෙවිගෙන් ලැබූ ඒවා බව විශ්වාස කිරීමට හොඳ හේතු තිබුණ නිසා, අදදිනත් අප දකින සමහර සිහින දෙවිගෙන් ලැබූ ඒවා බව අප විශ්වාස කළ යුතුද?

දෙවිගෙන් ලද සිහින

දෙවිගේ අනුභාවය සහිත සිහින දකින්න සැලැස්වීමට යම් නිශ්චිත හේතු තිබූ බව බයිබලයේ සඳහන්ව ඇත. ඒ කාලයේදී සිහින දකින අයට තමන් දුටු සිහිනයේ අර්ථය එකවර වටහාගත නොහැකි විය. මෙවැනි අවස්ථාවලදී එම සිහිනයේ අර්ථය “රහස් එළිදරව්කරන” තැනැත්තා වන දෙවි පැහැදිලිව තේරුම් කර දුන්නේය. (දානියෙල් 2:28, 29; ආමොස් 3:7) සාමාන්‍යයෙන් අප දකින සිහින අපැහැදිලිය, ඒවාට කිසිදු හරයක් නොමැති තරම්ය. එනමුත් දෙවිගෙන් ලැබූ සිහිනවල එවැනි ස්වභාවයක් දක්නට ලැබුණේ නැත.

දෙවි යම් යම් අවස්ථාවලදී මූලිකවම සිහින යොදාගත්තේ, තම අරමුණ හා සම්බන්ධ වැදගත් පුද්ගලයන්ව ආරක්ෂා කිරීමට ඉක්මන් පියවර ගැනීමට අවශ්‍ය වූ විටදීය. තවද මෙවැනි සිහින දුටුවේ දෙවිගේ සේවකයන් පමණක්ම නොවේ. නිදසුනක් ලෙස, මිනීමරු හෙරොද් ළදරු යේසුස්ව බලන්න පැමිණි ජ්‍යොතිඃ ශාස්ත්‍රඥයන්ගෙන් තමන් වෙතට නැවත පැමිණෙන ලෙස ඉල්ලා සිටියත් ඔවුන් ඔහු හමුවීමට ගියේ නැත. ඒ ඇයි? ඔවුන්ට සිහිනයකින් අනතුරු අඟවනු ලැබූ නිසාය. (මතෙව් 2:7-12) මෙය යේසුස්ගේ සුරැකි පියාට තම පවුල රැගෙන මිසරයට පලා යන්න ප්‍රමාණවත් කාලයක් ලබා දුන් අතර, ඔහුට ඒ සඳහා සිහිනයක් මගින් මඟපෙන්වනු ලැබීය. මෙමඟින් ළාබාල යේසුස්ගේ ජීවිතය ආරක්ෂා විය.—මතෙව් 2:13-15.

ඊට ශතවර්ෂ ගණනාවකට පෙර, මිසරයේ සිටි ඵාරාවෝ සරු ගොයම් කරල් හතක් හා තර එළදෙනුන් හත්දෙනෙකුද එයට හාත්පසින් වෙනස් නිසරු ගොයම් කරල් හතක් හා වැහැරී ගිය එළදෙනුන් හත්දෙනෙකුද සිහිනෙන් දිටීය. යෝසෙප්, දිව්‍යමය උපකාරය ඇතුව සිහිනය නිවැරදිව පැහැදිලි කර දුන්නේය. අනාගතයේදී මිසරය තුළ අවුරුදු හතක් පුරා සමෘද්ධිමත් තත්වයකුත් තවත් අවුරුදු හතක් පුරා සාගතයකුත් ඇති වන බව ඔහු පැහැදිලි කර දුන්නේය. ඉදිරියේදී මිසරයට සිදු වන දේ කලින්ම දැනගත් නිසා ඔවුහු ඒ සඳහා අවශ්‍ය ආහාර ගබඩා කරගනිමින් සූදානම් වූහ. මෙය ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන්ව ආරක්ෂා කිරීමට හා ඔවුන්ව මිසරයට ගෙන ඒමට ඉවහල් විය.—උත්පත්ති 41 පරිච්ඡේදය; 45:5-8.

බබිලෝනියේ සිටි නෙබුකද්නෙශර් රජද සිහිනයක් දිටීය. අනාගතයේදී ලෝක බලයන් නැඟී සිටින ආකාරයත්, බිඳ වැටෙන ආකාරයත්, ඒවා දෙවිගේ සෙනඟ සමඟ කෙළින්ම ගැටෙන ආකාරයත් එම සිහිනයෙන් පෙන්නුම් කරන ලදි. (දානියෙල් 2:31-43) තවද අනාගතයේදී ඔහු කාලයකට උමතු වී සිට නැවත ප්‍රකෘතිමත් තත්වයකට පැමිණීම පිළිබඳවද ඔහු තවත් සිහිනයක් දැක්කේය. අනාගතය ගැන හෙළි කළ මෙම සිහිනයට ඊටත් වඩා විශාල පරිමාණයේ ඉටුවීමක් තිබිණ. මෙසියානු රාජ්‍යය ස්ථාපිත කරන ආකාරයද, එමගින් දෙවිගේ කැමැත්ත ඉටු වන ආකාරයද එම අනාවැකිමය සිහිනය මනාව පැහැදිලි කළේය.—දානියෙල් 4:10-37.

අද ගැන කුමක් කිව හැකිද?

ඉහත සඳහන් දේවල් සලකා බලන විට සමහර මිනිසුන්ට දෙවි සිහින මාර්ගයෙන් තම අරමුණ දැන්වූ බව අපට දැකගත හැක. නමුත් බයිබලයෙන් පැහැදිලි වන ආකාරයට එවැනි අවස්ථාවන් දුර්ලභය. අතීතය පරීක්ෂා කර බලන විට, දෙවි තොරතුරු දැනුම් දුන් ප්‍රධාන මාර්ගය සිහින නොවූ බව පැහැදිලි වේ. එපමණක් නොව සිහින මාර්ගයෙන් දෙවිගෙන් පණිවුඩ නොලැබූ දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් බොහෝදෙනෙක්ද එදා සිටියහ. මනුෂ්‍යයන්ට තොරතුරු දැනුම් දීම සඳහා සෑම අවස්ථාවකදීම දෙවි සිහිනම භාවිත නොකර ඒ සඳහා වෙනත් ක්ෂණික පියවර ගනු ලැබූ අවස්ථාද ඇත. උදාහරණයක් ලෙස දෙවි විසින් රතු මුහුද දෙබෑ කළ අවස්ථාව දැක්විය හැක. ඔහු එම ක්‍රියාව කළේ එක සැනින් බව අපි දනිමු. නමුත් එය, ඔහු තම සෙනඟ සමඟ කටයුතු කිරීම සඳහා සාමාන්‍යයෙන් යොදාගන්නා ක්‍රමයක් නොවේ.—නික්මයාම 14:21.

ප්‍රේරිත පාවුල්ගේ කාලයේදී දෙවිගේ ආත්මය විවිධ ක්‍රමවලින් දෙවිගේ සේවකයන් තුළ ක්‍රියා කළ බව ඔහු පෙන්වා දුන්නේය. පාවුල් මෙසේ පැවසීය. ‘ආත්මය කරණකොටගෙන එක්කෙනෙකුට ප්‍රඥාවේ වචනයද, එම ආත්මය කරණකොටගෙන තවත් කෙනෙකුට දැනගැනීමේ වචනද, එම ආත්මය තුළ වෙන කෙනෙකුට ඇදහිල්ලද, එම ආත්මය තුළ තවත් කෙනෙකුට සුව කිරීමේ දීමනාවද තවත් කෙනෙකුට ආශ්චර්ය කිරීමද, තවත් කෙනෙකුට ධර්ම වාක්‍ය කීමද, වෙන කෙනෙකුට ආත්මවල් විමසීමද තවත් කෙනෙකුට නානා වර්ග භාෂාද, තවත් කෙනෙකුට භාෂා තේරුම් කර දීමද දෙන ලද්දේය.’ (1 කොරින්ති 12:8-10) එහි නිශ්චිත වශයෙන් දිව්‍ය අනුභාවය ලත් සිහින ගැන සඳහන්ව නොතිබුණත්, යෝවෙල් 2:28හි සඳහන් වන ආකාරයට ශුද්ධාත්මයේ එක් දීමනාවක් ලෙස දිව්‍ය ආනුභාවය ලත් සිහින බොහෝ ක්‍රිස්තියානීන් දුටු බව පෙනෙන්ට තිබේ.—ක්‍රියා 16:9, 10.

කෙසේවෙතත් මෙම විශේෂ දීමනා ගැන ප්‍රේරිත පාවුල් පැවසූ දෙය සලකා බලන්න. “අනාගතවාක්‍යකීම් වුවත්, නැතිවන්නේය; භාෂා වුවත්, නවතින්නේය; දැනගැන්ම වුවත්, නැතිවන්නේය.” (1 කොරින්ති 13:8) ‘නැති වී යන’ දීමනා අතරට දෙවි තොරතුරු ලබා දෙන විවිධ ක්‍රමද ඇතුළත් වන බව පැහැදිලිය. ප්‍රේරිතයන්ගේ මරණයෙන් පසු, දෙවි මෙම විශේෂ දීමනා තම සේවකයන්ට තවදුරටත් දුන්නේ නැත.

නවීන දින ප්‍රවීණයෝ සිහිනවලට ප්‍රායෝගික වටිනාකමක් තිබෙනවාද යන්න තේරුම්ගැනීමට විවිධ ක්‍රම උපයෝගි කරගනිමින් සිටිති. නමුත් මෙවැනි දෙයකට රුකුල් දෙන අදහස් බයිබලය තුළ නැත. කෙසේවෙතත් සමහර අය තරයේ කියා සිටින්නේ ඔවුන්ගේ සිහිනවලට දිව්‍යමය සම්බන්ධතාවක් තිබෙනවා කියාය. එවැනි අයට බයිබලයේ අනතුරු අඟවා තිබේ. සෙකරියා 10:2හි පවසන පරිදි ‘පේන කියන්නෝ නිරර්ථක ස්වප්න කියා දෙන්නෝය.’ තවද දෙවි නිමිති බැලීමට විරුද්ධ බවත් එහි අනතුරු අඟවයි. (ද්විතීය කථාව 18:10-12) මෙම අනතුරු ඇඟවීම්වලට අනුව, අද කාලයේ දකින සිහිනවලට දිව්‍යමය මඟ පෙන්වීමක් ඇතැයි කියා ක්‍රිස්තියානීන් නොසිතිය යුතුය. එලෙසම සිහින යනු නින්දේදී ලබන, විශේෂ වැදගත්කමක් නැති සාමාන්‍ය අද්දැකීමක් පමණකි.