Skip to content

පටුනට යන්න

සුළු අවි බරපතළ ගැටලු

සුළු අවි බරපතළ ගැටලු

සුළු අවි බරපතළ ගැටලු

දශක ගණනාවක සිට පවත්වන අවි සීමා කිරීම පිළිබඳ සාකච්ඡාවලදී මූලික අවධානය යොමු කර තිබෙන්නේ න්‍යෂ්ටික අවි කෙරෙහිය. නගරයක් සම්පූර්ණයෙන්ම සුනු විසුනු කර දැමීමට එක් න්‍යෂ්ටික බෝම්බයකට හැකි නිසා, ඒවා සීමා කිරීම සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්වීම පුදුමයට හේතුවක් නොවේ. එහෙත් සුළු අවි මෙන් නොව, දරුණු න්‍යෂ්ටික අවි අවුරුදු පනහකට වඩා වැඩි කාලයක සිට යුද්ධ සඳහා භාවිත කර නොමැත.

බොහෝදෙනෙකුගේ ගෞරවයට පාත්‍ර වී සිටින යුධ ඉතිහාසඥයෙකු වන ජෝන් කීගන් මෙසේ සඳහන් කරයි. “වර්ෂ 1945 අගෝස්තු 9වනදා සිට අද වන තෙක් න්‍යෂ්ටික අවි භාවිතය නිසා කිසිවෙකු මිය ගොස් නැත. එහෙත් එදා සිට අද දක්වා මිනිසුන් 5,00,00,000ක් යුද්ධය නිසා මිය ගොස් ඇත. මොවුන්ගෙන් බොහෝදෙනෙකුව මරා දමනු ලැබුවේ මිල අධික නොවන සුළු අවි යොදාගෙනය. මහා පරිමාණයෙන් නිපදවන මෙම අවිවල මිල, එම වකවානුවේදීම විශාල වශයෙන් වෙළඳපොළට පැමිණි ට්‍රාන්සිස්ටර් රේඩියෝ යන්ත්‍රවල හා වියළි කෝෂ බැටරිවල මිලට වඩා වැඩි වන්නේ සුළු වශයෙනි. පහසුවෙන් මිල දී ගත හැකි අවිවලින්, දියුණු රටවල මිනිසුන්ගේ ජීවිතවලට එතරම් තර්ජනයක් එල්ල වී නොමැත. මේ නිසා මත්ද්‍රව්‍ය වෙළඳාම හා දේශපාලනය හා සම්බන්ධ ත්‍රස්තවාදය රජයන නොදියුණු රටවල සුළු අවි භාවිතය නිසා සිදු වන මහත් විනාශය ගැන දියුණු රටවල මිනිසුන්ට අවබෝධයක් නැත.”

සුළු හා සැහැල්ලු අවි කොතරම් ප්‍රමාණයක් භාවිතයේ පවතිනවාද කියා කිසිවෙකුට හරියටම කිව නොහැක. එහෙත් විශේෂඥයන්ගේ ගණන් බැලීම්වලට අනුව යුද්ධවලදී භාවිත කරන ගිනි අවි දශලක්ෂ 500ක් පමණ තිබේ. මීට අමතරව, සාමාන්‍ය ජනයා භාවිත කරන රයිෆල් හා පිස්තෝලද කෝටි ගණනක් තිබේ. එපමණක්ද නොව, සෑම වසරකම නවීන පන්නයේ අවි නිෂ්පාදනය කරමින් වෙළඳපොළට නිමක් නොමැතිව හඳුන්වා දෙයි.

බහුලව භාවිත කෙරෙන අවි

මෑතක සිට යුද්ධවලදී සුළු අවි බහුලව භාවිත කිරීමට හේතුව කුමක්ද? යුද්ධය හා දිළිඳුකම අතර තිබෙන සම්බන්ධය මෙයට යම් දුරකට හේතු වී ඇත. අනූව දශකය තුළ සිදු වූ සටන්වලින් බොහොමයක් හටගත්තේ නවීන පන්නයේ අවි මිල දී ගැනීමට වත්කමක් නොමැති දිළිඳු රටවලය. සුළු හා සැහැල්ලු අවි අඩු මිලකට ගත හැක. උදාහරණයක් හැටියට, නවීන පන්නයේ ප්‍රහාරක ජෙට් යානයක මිල ඩොලර් දශලක්ෂ 50ක් පමණ වේ. එහෙත් මෙම මුදලින් ප්‍රහාරක රයිෆල් ලක්ෂ දෙකක් පමණ මිල දී ගත හැක.

සමහර අවස්ථාවලදී සුළු හා සැහැල්ලු අවි ඊටත් වඩා අඩු මුදලකට මිල දී ගැනීමට පුළුවන. ඇතැම් හමුදාවන්වල ප්‍රමාණය අඩු කිරීම නිසා හෝ ඇතැම් සටන් සමතයකට පත් කිරීමට හැකිවීම නිසා, එම සටන් සඳහා යොදාගත් අවි විශාල ප්‍රමාණයක් වෙනත් අයට ලබා දී තිබේ. සමහර රටවල ප්‍රහාරක රයිෆල් මොනතරම් බහුලව තිබෙනවාද කියනවා නම්, ඩොලර් හයක් වැනි සුළු මුදලකට ඒවා මිල දී ගත හැක. නැත්නම් එළුවෙක්, කුකුළෙක් හෝ පාවිච්චි කළ ඇඳුම් මල්ලක් දී ප්‍රහාරක රයිෆලයක් ලබාගැනීමට පුළුවන.

සුළු අවි බහුලව භාවිත කරන්නේ, එම අවි අඩු මිලකට හා පහසුවෙන්ම ලබාගත හැකි නිසා පමණක්ම නොවේ. ඊට තවත් හේතුද තිබේ. මෙම අවිවලින් විශාල හානියක් සිදු කළ හැක. එක් වේගවත් ප්‍රහාරක රයිෆලයකින් වෙඩි තැබීමේදී මිනිත්තුවකට උණ්ඩ සිය ගණනක් නිකුත් වේ. මේවා ක්‍රියාත්මක කිරීම හා නඩත්තු කිරීමද පහසුය. ප්‍රහාරක රයිෆලයක් ගළවා නැවත සවි කරන ආකාරය අවුරුදු දහයක ළමයෙකුට පවා කියා දෙන්න පුළුවන. එම රයිෆලයෙන් මිනිසුන් පිරිසක් ඉලක්ක කොට වෙඩි තබන ආකාරය ළමයෙකුට පවා ඉක්මනින් ඉගෙනගත හැක.

තුවක්කු බහුලව භාවිත කිරීමට තවත් හේතුවක් වන්නේ ඒවා අවුරුදු ගණනාවක් පාවිච්චි කිරීමට තිබෙන හැකියාවයි. වියට්නාම් යුද්ධයේදී හමුදා භටයන් භාවිත කළ AK-47 වර්ගයේ රයිෆල් හා M16 වර්ගයේ රයිෆල් අද පවතින යුද්ධවලදීත් භාවිත කෙරේ. අප්‍රිකාවේ ඇතැම් රටවල පවතින යුද්ධවල භාවිත කරන සමහර රයිෆල් පළමු ලෝක මහා යුද්ධ සමයේදීත් භාවිත කර තිබේ. එමෙන්ම තුවක්කු ප්‍රවාහණය කිරීමටත් සඟවා තැබීමටත් පහසුය. ඝන වනාන්තරයක හෝ දුර ඈත කඳුකර ප්‍රදේශයක සිටින සටන්කාමී කණ්ඩායමකට රයිෆල් දුසිමක් අශ්වයෙකුගේ පිටේ බැඳගෙන ගෙන යා හැක. කුඩා හමුදා කණ්ඩායමකට අවශ්‍ය කරන රයිෆල් අශ්වයන් කිහිපදෙනෙකුට වුවත් ප්‍රවාහණය කළ හැක.

අවි, මත්ද්‍රව්‍ය හා දියමන්ති

ලොව පුරා අවි වෙළඳාම සිදු වන ආකාරය සංකීර්ණයි. රට රටවල් අතර මහ පරිමාණයෙන් නීත්‍යනුකූල ලෙස අවි ගනුදෙනු සිදු වේ. ශීතල යුද්ධයෙන් පසු බටහිර හා නැඟෙනහිර රටවල් විසින් ඔවුන්ගේ හමුදාවන් අඩු කරනු ලැබූ අතර, වැඩිපුර තිබෙන අවි මිත්‍ර රටවලට විකුණන ලදි. නැත්නම් නොමිලේ ලබා දෙන ලදි. නෝර්වේහි ඔස්ලෝහි පිහිටි සාම අධ්‍යයන ආයතනයේ සේවය කරන ලේඛකයෙකු සඳහන් කළ පරිදි, 1995 සිට අමෙරිකා එක්සත් ජනපදය පමණක් රයිෆල්, පිස්තෝල, මැෂින් තුවක්කු හා ග්‍රෙනෙඩ් ප්‍රහාර එල්ල කරන උපකරණ 3,00,000කට වඩා වැඩි ගණනක් වෙනත් අයට ලබා දී තිබේ. අවි විනාශ කර දැමීමට හෝ ගබඩා කර තැබීමට වඩා ඒවා විකිණීම ලාභදායක බව පෙනී ගොස් තිබේ. ඇතැම් විශ්ලේෂකයන්ගේ ගණන් බැලීම්වලට අනුව සෑම වසරකම ඩොලර් බිලියන ගණනක් වටිනා සුළු හා සැහැල්ලු අවි ගනුදෙනු නීත්‍යනුකූලව රටවල් අතර සිදු වේ.

කෙසේවෙතත්, නීති විරෝධි අවි වෙළඳාම මීට වඩා මහා පරිමාණයෙන් සිදු වෙනවා විය හැක. මෙහිදී අවි මිල දී ගැනීම සිදු වන්නේ නීති විරෝධි තැරැව්කරුවන් මාර්ගයෙනි. ඇතැම් අප්‍රිකානු රටවල සටන් වැද සිටින කණ්ඩායම් ඩොලර් දශලක්ෂ ගණනක් වටිනා සුළු හා සැහැල්ලු අවි මිල දී ගෙන තිබෙන්නේ මුදල් ගෙවා නොවේ. මුදල් වෙනුවට ඔවුන් ලබා දෙන්නේ දියමන්ති පතල්කරුවන්ගෙන් කොල්ලකා ගත් දියමන්තිය. නියූ යෝක් ටයිම්ස් සඟරාවේ මෙසේ සඳහන් විය. “අල්ලස් දූෂණය රජයන ආණ්ඩු තිබෙන රටවල සිටින කැරලිකරුවන් ජනයාට සලකන්නේ කුරිරු ලෙසය. එවන් රටවල දේශ සීමා හරහා පහසුවෙන් ඕනෑම දෙයක් ගෙන යා හැක. . . . දියමන්ති නිසා මිනිසුන් වහල් මෙහෙකරුවන් වී තිබේ. මිනිසුන්ව මරා දමයි. අත් පා කපා දමයි. විශාල පිරිසකට උන් හිටි තැන් අහිමි වී තිබෙන අතර ආර්ථිකයන්ද බිඳ වැටී තිබේ.” අවි ආයුධ ලබාගැනීමට කොල්ලකා දුන් දියමන්තියක්, සදා නොමියෙන ප්‍රේමයේ සංකේතයක් ලෙස අලංකාර රන් භාණ්ඩ අළෙවි කරන සාප්පුවක විකිණීම පිණිස තබා තිබීම මොනතරම් කනගාටුදායක දෙයක්ද!

අවි ආයුධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් අතරද කිට්ටු සම්බන්ධයක් තිබේ. අපරාධ සිදු කරන සංවිධාන මත්ද්‍රව්‍ය දී අවි ආයුධ ලබාගනී. මෙසේ අවි මුදල් ඒකකයක් බවට පත්ව ඇත.

යුද්ධයෙන් පසු වෙඩි හඬ නතර වේද?

යුද්ධ අවසන් වීමෙන් පසු, ඒවායේදී භාවිත කළ අවි බොහෝ අවස්ථාවලදී අපරාධකරුවන්ගේ අතට පත් වෙයි. දේශපාලනික ප්‍රචණ්ඩත්වය නිමවීමෙන් පසු විශාල වශයෙන් අපරාධ සිදු වූ එක් අප්‍රිකානු රටක තත්වය සලකා බලන්න. දේශපාලනික හේතූන් මත ඇති වූ ප්‍රචණ්ඩකාරි ක්‍රියා නිසා වසර තුනක් ඇතුළත මිනිසුන් 10,000ක් පමණ ජීවිතක්ෂයට පත් විය. දේශපාලනික අර්බුදය අවසන් වීමෙන් පසු, එම රටේ අපරාධකරුවන් වැඩි වූයේ හතු පිපෙන්නාක් මෙනි. කුලී රථ රියැදුරන් අතර පැවති තරඟකාරිත්වය නිසා “ටැක්සි යුද්ධයක්” ඇති වූ අතර, එහිදී මඟීන්ට හා තමන්ගේ විරුද්ධවාදී රියැදුරන්ට වෙඩි තැබීම සඳහා මැරයන්ව කුලියට ගන්නා ලදි. යුද්ධවල භාවිත කරන ප්‍රහාරක රයිෆල්, සොරකම් හා වෙනත් අපරාධ සඳහා යොදාගැනීම වැඩි විය. පසුගිය වසරකදී එම රටේ තුවක්කු යොදාගෙන ඝාතනය කරන ලද අයගේ ගණන 11,000 දක්වා වැඩි වූ අතර, මෙය යුද්ධ නොපවතින රටවල සිදු වන මිනීමැරුම් සමඟ බලන කල දෙවන ස්ථානයට පැමිණෙයි.

ආයුධ සන්නද්ධ භයානක අපරාධකරුවන් යම් රටක සිටින විට, එම රටේ මිනිසුන් අතර මහත් බියක් පවතී. දියුණු වෙමින් පවතින බොහෝ රටවල ධනවත් මිනිසුන් ජීවත් වන්නේ දිවා රාත්‍රියේ මුරකරුවන් යොදවා තිබෙන, විශාල තාප්පවලින් හා විදුලිය සම්බන්ධ කර තිබෙන කම්බි වැටවලින් වට වූ නිවෙස්වලය. දියුණු රටවල ජීවත් වන අයද අපරාධකරුවන්ගෙන් ආරක්ෂා වීම සඳහා විවිධ ක්‍රම යොදාගනිති. එමෙන්ම සිවිල් ආරවුල් නොතිබෙන රටවල්ද අපරාධ ගැන සුපරීක්ෂාකාරිව සිටියි.

අවි ආයුධ, යුද්ධ පවතින රටවලට පමණක් නොව, “සාමය” පවතින රටවලටද මහත් තර්ජනයකි. ගිනි අවිවලින් සිදු වන හානි කිසිවෙකුට නිවැරදිව ගණන් බැලිය නොහැක. එමෙන්ම ගිනි අවි භාවිතය නිසා තුවාල වන අයගේ ගණන හා මිය යන අයගේ ගණන නිවැරදිව ගණන් බැලිය නොහැක. තවද ප්‍රේමනීයයන් මිය යෑම නිසා හා පවුල් සාමාජිකයන් එකිනෙකාගෙන් වෙන්ව සිටීම නිසා ඇති වන චිත්තවේගීය හානි ඇතුළත් ලැයිස්තුවක්ද සකස් කළ නොහැක. එහෙත් ලෝකය දවසින් දවස අවිවලින් පිරෙන බව නම් අපි දනිමු. දිනෙන් දින වැඩි වන මෙම අවි පිළිබඳ ප්‍රශ්නයට ස්ථිර විසඳුම් සෙවිය යුතුයි කියා බොහෝදෙනෙක් කියා සිටිති. එහෙත් මෙයට විසඳුමක් තිබේද? එසේ නම්, ඒ විසඳුම කුමක්ද? මෙම ප්‍රශ්න ඊළඟ ලිපියේදී සාකච්ඡා කෙරේ.

[7වන පිටුවේ කොටුව⁄පින්තූරය]

එය “ලොකු මෝඩකමක්” කියා කලින් සිටි සටන්කරුවෙක් පවසයි

මුල් ලිපියේ සඳහන් කළ ආකාරයට මිනිසුන්ව සරණාගතයන් බවට පත් කළ යුද්ධයට හවුල් වූ ළමා සොල්දාදුවෙකුට පසු කාලයේදී නිකරුණේ කාලය නාස්ති කරමින් නගරයේ දිවි ගෙවීමට සිදු විය. ඔහුගේ අතේ තඹ දොයිතුවක්වත් තිබුණේ නැත. එම නගරය අත්පත් කරගැනීමට ඔහුද හවුල් විය. තම කණ්ඩායමේ නායකයාගේ පුතා කාගෙත් සිත් ඇදගන්න මිල අධික මෝටර් සයිකලයක් පදවාගෙන යෑම ගැන ඔහු කතා කළේ මහත් කලකිරීමෙන් යුතුවයි. එමෙන්ම කලින් මෙම සටන්කාමී කණ්ඩායමේ උසස් නිලතල දැරූ අය බල තණ්හාවෙන් කටයුතු කළ ආකාරයද ඔහුගේ කලකිරීමට හේතු විය. “මම අවුරුදු පහක් කැලෑවේ ඉඳගෙන මිනිසුන්ට වෙඩි තිබ්බ කාලය ගැන කල්පනා කරලා බලනකොට, මම කළේ ලොකු මෝඩකමක් කියල මට හිතෙනවා” කියා කලින් සොල්දාදුවෙකුව සිටි මේ පිරිමි ළමයා පැවසුවේය. “අපි අපේ ජීවිත පවා පරදුවට තියලා කටයුතු කරලා තියෙන්නේ උසස් තනතුරුවලට ආවට පස්සේ අපිව අමතක කරලා දාන මිනිසුන් වෙනුවෙනුයි.”

[හිමිකම් විස්තර]

කවරය සහ 7වන පිටුව: ළමා සොල්දාදුවා: Nanzer/Sipa Press

[8වන පිටුවේ කොටුව⁄පින්තූරය]

“සැඟවීමට තැනක් නැත”

වර්තමානයේ භාවිත කරන ප්‍රහාරක රයිෆල් මගින් දරුණු විනාශයක් කළ හැකි වුවත්, එයින් කළ නොහැකි දේද තිබේ. එයින් නිකුත් වන්නේ වෙඩි උණ්ඩ පමණි. ශක්තිමත් තාප්පවලට හෝ බංකර්වලට මුවා වී සිටින අයව ඝාතනය කිරීමට එයට නොහැක. දරුණු සටනකදී බියට පත්වීම නිසා සොල්දාදුවෙකුට නිවැරදි ඉලක්කය කරා තම රයිෆලය එල්ල කරගත නොහැකි වේ. රයිෆලයකින් නිවැරදිව ඉලක්කයට වෙඩි තැබිය හැකි උපරිම දුර මීටර් 460කි.

මෙම “අඩු පාඩු” සඳහා විසඳුමක් අමෙරිකා එක්සත් ජනපදය සොයාගෙන තිබේ. නවීන තාක්ෂණය යොදාගෙන සාදනු ලබන කාර්යයන් කිහිපයක් කළ හැකි මෙම නව රයිෆලය හඳුන්වන්නේ පුද්ගලයාව ඉලක්ක කරන සටන්කාමී අවිය (OICW) කියාය. තනි පුද්ගලයෙකුට මෙය ක්‍රියාත්මක කළ හැකි අතර, උණ්ඩ පමණක් නොව, මිලිමීටර් 20 ෂෙල් වෙඩිද මෙයින් නිකුත් කළ හැක. මතු දැක්වෙන තවත් විශේෂ ලක්ෂණ එහි දැකිය හැක. බංකර් හෝ ශක්තිමත් තාප්පවලට මුවා වී සිටින සතුරන්ව ඝාතනය කිරීමටද එයට පුළුවන. මෙම අවිය අතේ තිබෙන සොල්දාදුවාට කරන්න තිබෙන්නේ නියමිත ඉලක්කය වෙතට මෙය යොමු කිරීම පමණි. මෙම රයිෆලය ස්වයංක්‍රීයව ඉලක්කයේ නියමිත දුර ප්‍රමාණය මැනගෙන එහි තිබෙන ග්‍රෙනෙඩය මතට කුඩා විද්‍යුත් ධාරාවක් නිකුත් කරයි. මෙහි ප්‍රතිඵලයක් හැටියට එයින් නිකුත් වන තියුණු උණ්ඩ නියමිත ඉලක්කය කරා ගොස් හරියටම නිවැරදි දුර ප්‍රමාණයේදී පිපිරී යයි. “මෙහි අසාමාන්‍ය ක්‍රියාකාරිත්වය නිසා අමෙරිකානු හමුදා භටයන්ට හතර වටේටම වෙඩි තැබිය හැකියි” කියා මෙම නවීන අවිය නිෂ්පාදනය කිරීමට සැලසුම් කරන සමාගමේ නියෝජිතයෙක් පැවසුවේය. අඳුරේදී පවා ඉලක්කය නිවැරදිව හඳුනාගැනීමේ හැකියාව මෙම අවිය සතුය.

මෙම රයිෆලයෙන් වෙඩි තබන විට “සැඟවීමට තැනක් නැත” කියා මෙහි නිෂ්පාදකයෝ උදම් අනති. මෙය M16 වර්ගයේ අවියට වඩා පස් ගුණයකින් මාරාන්තිකය. මෙයින් වෙඩි තැබිය හැකි දුර ප්‍රමාණය M203 වර්ගයේ උපකරණය මගින් ග්‍රෙනෙඩ් නිකුත් කළ හැකි දුරට වඩා දෙගුණයකින් වැඩිය. මෙම රයිෆලය භාවිත කරන සොල්දාදුවන්ට ඉලක්කය ගැන අනවශ්‍ය ලෙස කරදර වීමට අවශ්‍ය නැත. ඔවුන් කළ යුත්තේ මෙහි තිබෙන විශේෂ දෘෂ්ටි තිරය ආධාරයෙන් ඉලක්කය හඳුනාගෙන එය දෙසට වෙඩි වරුෂාවක් නිකුත් කිරීමට කොකා ගැස්සවීම පමණි. අපේක්ෂිත කාලයේදී OICW යනුවෙන් හඳුන්වන මෙම අවියේ සියලුම කටයුතු සාර්ථකව අවසන් වුවහොත්, 2007 වන විට මෙම අවිය හමුදාව අතට පත් විය හැක.

කෙසේවෙතත් විවේචකයෝ මේ අවිය ගැන මෙවන් ප්‍රශ්න මතු කරති. අහිංසක සාමාන්‍ය ජනයා අතර සතුරන් සිටිද්දී මෙම අවියෙන් වෙඩි තබන්නේ කෙසේද? යම් විටක තමන්ගේම මිනිසුන්ට එරෙහි විය හැකි ලොව පුරා සිටින සටන්කාමී කණ්ඩායම්වලට මෙම අවිය අළෙවි කළහොත් කුමක් සිදු විය හැකිද? ත්‍රස්තවාදීන් හා අපරාධකරුවන් අතට මේ අවිය පත් වුවහොත් කුමක් විය හැකිද?

[හිමිකම් විස්තර]

Alliant Techsystems

[6වන පිටුවේ පින්තූර]

බොහෝ අවස්ථාවලදී සුළු හා සැහැල්ලු අවි ලබාගන්නේ මුදල් දීමෙන් නොව, දියමන්ති හා මත්ද්‍රව්‍ය දීමෙනි