අසිරිමත් ඝානාව
අසිරිමත් ඝානාව
ඝානාවේ පිබිදෙව්! ලේඛක විසින්
රාත්‍රි අන්ධකාරය හා මීදුම අතරින් හිරු එබිකම් කරද්දී අපි කිලෝමීටර් 80ක් දුර ගමනක් අරඹනවා. අපි ගමන් කරන්නේ ඝානාවේ උතුරුකරයේ පිහිටි මෝල් ජාතික වනෝද්‍යානයටයි. ගමන් කරන බොරළු පාර දෙපැත්තේ තැනින් තැන කුරු ගස් හා පඳුරු වැඩෙන පාළු තණබිම් පෙනෙන්න තිබෙනවා. පිදුරු සෙවිලි කළ මැටිවලින් සෑදූ චාම් පැල්පත් ඇති පුංචි ගම්මානද ඉඳ හිට අපේ දසුනට හසු වෙයි.
ටික වේලාවකින් අපි ඩේමෝන්යෝ නගරයට පැමිණෙනවා. ඒක අපි පහු කරං ආව අනිත් හැම තැනකටම වඩා වෙනස්. මේ නගරයේ නම් බොරළු පාරවල් නැහැ! කඩ සාප්පු පිරිලා. පාරේ හැම තැනකම පෙනෙන්නේ කඩිමුඩියේ එහෙ මෙහෙ දුවන මිනිස්සුයි. ලා දුඹුරු පැහැති නිල ඇඳුම් ඇඳගත් පාසැල් දරු දැරියන් වගේම, විවිධ කෑම වර්ග, වතුර භාජන හා දර වැනි ද්‍රව්‍ය හිස මත තබාගෙන යන වෛවර්ණ ඇඳුම්වලින් සැරසුණු කාන්තාවන්ද අපේ නෙත ගැටෙයි. බලන බලන තැන වාහන පිරිලා! එක පැත්තකින් බයිසිකල්කාරයෝ අපිව පහු කරං යනවා, අනිත් පැත්තෙන් කාර් ට්‍රැක්ටර් අපිව පහු කරං යනවා. වාහනවල යන අය හයියෙන් නළාව පිඹගෙන යනවා. මෙතැන ඉඳලා අපේ ගමනාන්තයට තියෙන්නේ තව කිලෝමීටර් 20යි.
මෝල් ජාතික වනෝද්‍යානය
මෝල් වනෝද්‍යානයට පැමිණෙද්දී අපිට දැනෙන්නේ පුදුම සතුටක්. එහිදී අපිට සැකරායාව මුණගැහෙනවා. එයා තමයි අපිව උද්‍යානය වටේ ගෙනියන්නේ. සැකරායා අපට මෝල් වනෝද්‍යානය ගැන දැන් කෙටි විස්තරයක් සපයනවා. එම උද්‍යානය මුල්ම වරට සංරක්ෂිත භූමියක් ලෙස නම් කරලා තියෙන්නේ 1971දීලූ. ඒකට වර්ග කිලෝමීටර් 4,840ක විශාල භූමි ප්‍රදේශයක් අයත් වෙනවා. ගණනය කර ඇති ආකාරයට ක්ෂීරපායි සතුන් විශේෂ 93ක්ද, උභය ජීවීන් විශේෂ 9ක්ද, උරග විශේෂ 33ක්ද උද්‍යානය තම වාස භූමිය කරගෙන තිබෙනවා. සිංහයන්, දිවියන්, තිත් හඊනාවන්, උරුලෑවන් (civet cat), අලි ඇතුන්, බොන්ගෝ මුවන්, මී හරක් (dwarf forest buffalo), ගැට ඌරන් (warthog), වෝටබක්, ඩයික හා හාර්ට්බීස්ට් වර්ගයේ මුවන්, ගෙනෙට් බළලුන්, මුගටියන්, බැබූන්, විවිධ වර්ගයේ වඳුරන්, රෝන් ඇන්ටිලෝපයන්, ඉත්තෑවන්, කිඹුලන් සහ පිඹුරන් ඇතුළු විවිධ වර්ගයේ සර්පයන් මෝල් වනෝද්‍යානයේ දැකගන්න ලැබෙයි. මීට අමතරව, කුරුල්ලන් විශේෂ 300කට වඩා එහි ලැගුම් ගන්නවා කියා පැවසෙනවා.
අපි දැන් දණ හිස තරම් උසට වැවුණු තණකොළ ගොඩේ ඇවිදගෙන යන්නේ ඇඟේ වහන මැස්සන්ව එළවමිනුයි. වැඩි වේලාවක් යන්න ඉස්සෙල්ලා
අපිට ඇන්ටිලෝප් රංචුවක් දකින්න ලැබෙනවා. මුලදී අපි උන්ව දැක්කේ නැහැ. මොකද උන් ඉන්නේ උන්ගේ සමේ පාටට සමාන වටපිටාවකයි. අපි උන්ව නිරීක්ෂණය කරද්දී උනුත් අපි දිහා කන්න වගේ බලං ඉන්නවා. උන් බලං ඉන්නේ හරියට අමුතු සත්තු රංචුවක් දිහා බලන විදිහටයි! උන් එතැනින් යන්න ඉස්සෙල්ලා අපි ඉක්මනට ඡායාරූප ගන්න පටන්ගන්නවා. එතකොට, එකපාරටම දකුණු පැත්තෙන් අමුතු ශබ්දයක් ඇහෙනවා. ඒ ඇහෙන්නේ වෝටබක් මුවෙක්ගේ ශබ්දයයි. අපි උගේ නිදහසට බාධා කළ නිසාදෝ කේන්තියෙන් වගේ ඌ අපිව පහු කරගෙන පඳුරු ගොඩක් අස්සට දුවනවා.දැන් අපි දකින්නේ අලි හතරදෙනෙක්වයි. විශාල ගහක් යට විවේක ගන්නා අතරේදී උන් හොඬවැලෙන් අතු කඩාගෙන, ඒවායේ ළපටි දළු කනවා. උන්ව හොඳින් දැකගන්න ඕනේ නිසා අපි තව ටිකක් ළං වෙනවා. දැන් අපි ඉන්නේ උන්ට මීටර් 10ක් දුරින්! එකපාරටම සැකරායා අපිට මතක් කරලා දෙනවා මේක ඡායාරූප ගන්න කදිම අවස්ථාවක් කියලා. ඊට පස්සේ එයා එයාගේ අතින් රයිෆලයට තට්ටු කරලා උන්ව බය කරනවා. තහඩුවකට ගහනවා හා සමාන ශබ්දයක් එයින් පිට වෙද්දී අලීන් හතරදෙනා එතැනින් පිට වෙලා යනවා. අපි ඉක්මනටම තවත් ඡායාරූප ගන්නවා! අලි හතරදෙනා කොහෙටද යන්නේ? ළඟම තියෙන මඩ වගුරක් ගාවටයි. අපි උන් නාන විදිහ දිහා බලං ඉන්දැද්දී සැකරායා අපට විස්තර කරනවා මඩේ නානකොට අලීන්ගේ පාට වෙනස් වෙන හැටි. මඩේ පාටට අනුව, උන්ගේ තද අළු පැහැති සම රතු පාටට නැත්නම් දුඹුරු පාටට හැරෙනවාලූ.
අපි දැන් අලි නාන තැනින් ටිකක් එහාට ගිහින් උද්‍යාන භූමිය දිහා බලනවා. සුළඟට ලෙළ දෙන ඇකේෂියා හා ෂියා ගස් කොච්චර සුන්දරද! අපි ඒ දර්ශනයෙන් වින්දනයක් ලබනවා. දැන් අපි නැවතත් අලීන්ව හොයාගෙන උන්ගේ අඩි පාර දිගේ ගමන් කරනවා. ඒත් අපි ඕනෑවට වඩා උන්ට ළං වෙන්නේ නැහැ. හැබැයි අලීන්ගෙන් ලොකුම එකා උගේ කන් දෙක උඩට උස්සාගෙන සටන්කාමී ස්වභාවයකින් එන්නේ අපි ඉන්න පැත්තටයි. ඌ අපිට හානියක් කරාවිද?
අපිට බය වෙන්න එපා කියලා කිව්වත් සැකරායා රයිෆලය අතට අරගන්නවා. අපි අතට අරගන්නේ අපේ කැමරාවල්! ඊට පස්සේ, එයා අපිව වෙන දිහාවකට ගෙනියනවා.
සැකරායා විස්තර කරන විදිහට උද්‍යානයේ අලීන් සෑහෙන දුරට හීලෑ කරලයි තියෙන්නේ. සමහර අවස්ථාවලදී උන් මිනිසුන් ළඟටම එනවාලූ. නිතර නිතර දකින්න ලැබෙන අලීන්ට උද්‍යානයේ මඟ පෙන්වන්නන් එක එක නම් දාලා තියෙනවා. එක අලියෙකුගේ හමේ ලොකු ගැටයක් තියෙන හින්දා ඌට ගැටයා කියනවා. තවත් එකෙක් නිතරම සංචාරකයන්ව බයගන්වන හින්දා ඌට දඟයා කියන නම දාලා!
මේ අතර බැබූන් රංචුවක් අපේ නෙත ගැටෙනවා. උන් එක් ගසකින් තවත් ගසකට පනින හැටිත් බිම දිගේ දුවන හැටිත් බලං ඉද්දි අපිට හරිම සතුටක් දැනෙනවා. බැබූන් අම්මා කෙනෙක් ඇගේ පැටවුන් දෙන්නා අරං යන විදිහ අපිට සැකරායා පෙන්නනවා. එක පැටියෙක් අරං යන්නේ ඇගේ පිට උඩයි. අනිත් එකා ඇගේ පපුවේ එල්ලීගෙන යනවා. උන් දෙන්නා නිමුන්නුලූ.
අපි එක දවසක් ඇතුළත හුඟක් සත්තු දැක්කා. පායන කාලයේ, ඒ කියන්නේ අප්‍රියෙල් සිට ජූනි දක්වා වතුර වළක් ගාවට ගියොත් ඕන තරම් සතුන්ව දැකගන්න පුළුවන් කියලා සැකරායා අපිට කිව්වා. මොකද ඒ කාලයට සත්තු රංචු පිටින් වතුර බොන්න එනවාලූ. ෆෝ වීල් ඩ්‍රයිව් වාහනයකින් උද්‍යානය වටේ ගමන් කළොත් මී හරක් හා සිංහයන් ඇතුළු තවත් බොහෝ සතුන් දැකගන්න පුළුවන් කියලත් එයා අපිට කිව්වා.
අපි දවල් කෑම කන්න ලෑස්ති වෙද්දී ලොකු බැබූන් කෙනෙක් අපේ කාර් එක ළඟ නතර කර ඇති වාහනයක් උඩට වෙලා මගේ කෑම එක දිහා කෙළ ගිල ගිල බලං ඉන්නවා. තවත් බැබූන්ලා කිහිපදෙනෙක් අපිව පහු කරං යනවා. උන්ගේ පිටි පස්සෙන් ගැට ඌරෙක් එක්ක ඇන්ටිලෝප් රංචුවක් ගමන් කරනවා. ඒත් එක්කම අලි හතරදෙනෙක්, ළඟ තියෙන පොඩි කන්දක් උඩට නඟිනවා. මං හිතන්නේ අපේ කෑම දැකලා වෙන්න ඇති අපි ගාවට මෙච්චර සත්තු ඇවිත් ඉන්නේ. ඉතිං අපිත් අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ඡායාරූප ගන්නවා.
පොළේදී
මෝල් වනෝද්‍යානය දාලා යන්න අපි කැමති නැහැ. හැබැයි දැන් අපිට එතනින් එන්න වේලාව හරි. අපි නැවතත් බොරළු පාර දිගේ පැය දෙකක් විතර ගමන් කරනවා. අපි දැන් යන්නේ ස්වාලා කියන පුංචි නගරයටයි. ඒ නගරයේ ජීවත් වෙන්නේ ගොවිතැන් කරන
ලෝබී ගෝත්‍රිකයන්. මේ ගෝත්‍රයේ කාන්තාවන් අතර ඉතා අසාමාන්‍ය සිරිතක් තියෙනවා. ඒගොල්ලන් විවිධ ක්‍රම යොදාගෙන තොල් දෙක විශාල කරගන්නවා! නවීන ක්‍රමයට හැඩගැහෙන තරුණියන් නම් ඒ සිරිතට ඒ තරම්ම වහල් වෙලා නැහැ. හැබැයි ලෝබී කාන්තාවන් වැඩිදෙනෙක් ඒගොල්ලන්ගේ විශාල කරපු තොල් ගැන හරි ආඩම්බරයෙන් ඉන්නේ. ඇත්තෙන්ම, ලෝබී කාන්තාවකට කරන්න පුළුවන් ලොකුම අපහාසය තමයි එයාට පිරිමියෙකුට වගේ හුඟක් හීනි තොල් තියෙනවා කියන එක!අපි දැන් පුංචි ගම්මානයකට ළඟා වෙනවා. ඒත් එක්කම ගස්වල අතු කපා තැනූ පිදුරු සෙවිලි කළ පුංචි කඩ සාප්පු ඇති පොළක් අපේ නෙත ගැටෙනවා. කළු ජාතික අප්‍රිකානුවන් අතර සුදු ජාතික මනුෂ්‍යයෙකුත් ඉන්නවා. අපි එයා ගාවට ගිහින් කතා කරනවා. එයා මේ ප්‍රදේශයට ඇවිත් ඉන්නේ බයිබලය ලෝබී භාෂාවට පරිවර්තනය කරන්නයි. ලෝබී භාෂාව හොඳින් ඉගෙනගන්න ඕනේ නිසා එයා අල්ලපු ගමේ ලෝබී ජාතිකයන් එක්කමයි ජීවත් වෙන්නේ. එයත් එක්ක කතා කරද්දී මට මතක් වෙන්නේ 19වන සියවසේ දකුණු අප්‍රිකාවේ ට්ස්වානා ගෝත්‍රිකයන් අතර ජීවත් වෙලා ඒගොල්ලන්ගේ භාෂාවට බයිබලය පරිවර්තනය කළ රොබට් මොෆට්වයි.
අහම්බෙන් වාගේ, බංකුවක් උඩ ඉඳගෙන ඉන්න තොල් විශාල කරපු ලෝබී කාන්තාවක්ව මට දකින්න ලැබෙනවා. එයාගේ තොල් දෙක හිල් කරලා තියෙනවා. ඒ හිල් කරපු තැනට මහපට ඇඟිල්ලේ නියපොත්ත තරම් විශාල සුදු පාට රවුම් හැඩැති ලී කැබලි දෙකක් හයි කරලා. මං ඡායාරූපයක් ගන්න හදනකොට එයා එකපාරටම අහක බලාගන්නවා. මාත් එක්ක ඉන්න කෙනෙක් ඒකට හේතුව මට පැහැදිලි කරනවා. වැඩිහිටි ලෝබී ජනතාව අතර විශ්වාසයක් තියෙනවාලූ ඡායාරූපයක් ගත්තාම ඒගොල්ලන්ගේ ආත්මයට හානියක් වෙන්න පුළුවන් කියලා.
අපි දැන් ආයෙත් ස්වාලා වෙතට ගමන් කරනවා. අපි එහෙ තමයි රාත්‍රිය ගත කරන්න යන්නේ. අපි ගමන් කරන අතරතුරේදී මම ගොඩක් දේවල් කල්පනා කළා. දෙවිගේ මැවිල්ල කොතරම් විවිධද! ඔහු කොතරම් ප්‍රඥාවන්තද! ඔව්, දෙවි සතුන්වයි මනුෂ්‍යයන්වයි ඉතා දක්ෂ ලෙස නිර්මාණය කරලා තියෙනවා. මට මතක් වෙන්නේ ගීතිකාකරුගේ මේ වචනයි. ‘යෙහෝවා, ඔබගේ කර්මාන්ත කොපමණ නානාප්‍රකාරද! ඔබ මේ සියල්ල ප්‍රඥාවෙන් සෑදුවේය. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය.’—ගීතාවලිය 104:24.
[14, 15වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
ඝානාව
[14වන පිටුවේ පින්තූරය]
ගැට ඌරා
[14වන පිටුවේ පින්තූරය]
තිත් හඊනා
[15වන පිටුවේ පින්තූරය]
ඇතෙක්
[15වන පිටුවේ පින්තූරය]
හිපෝ රංචුවක්
[15වන පිටුවේ පින්තූරය]
ඇන්ටිලෝප් රංචුවක්
[16වන පිටුවේ පින්තූරය]
පැටවුන් දෙන්නෙක් රැගෙන යන බැබූන් අම්මා කෙනෙක්
[17වන පිටුවේ පින්තූරය]
හාර්ට්බීස්ට් මුවා
[17වන පිටුවේ පින්තූරය]
පොළ