Skip to content

පටුනට යන්න

ඉශ්‍රායෙල්වරුන්ට යෙහෝවා ගෝත්‍රික දෙවි කෙනෙකු වීද?

ඉශ්‍රායෙල්වරුන්ට යෙහෝවා ගෝත්‍රික දෙවි කෙනෙකු වීද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

ඉශ්‍රායෙල්වරුන්ට යෙහෝවා ගෝත්‍රික දෙවි කෙනෙකු වීද?

අදදින බොහෝ රටවල යෙහෝවා යන නාමය, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය හා සම්බන්ධ කර දක්වයි. නමුත්, යෙහෝවාගේ සාක්ෂිකරුවන් පමණක් නොව වෙනත් ආගම්වල භාවිත කරන සමහර බයිබල් පරිවර්තනවලත් මෙම නාමය දක්නට ඇත. ශතවර්ෂ ගණනාවකට පෙර සිටම හෙබ්‍රෙව් අක්ෂර හතරක් මගින් නිරූපනය කළ යෙහෝවා යන නාමය භාවිතයේ තිබිණි.

සමහර අවස්ථාවලදී යෙහෝවාව හඳුන්වා ඇත්තේ “ඉශ්‍රායෙල්ගේ දෙවියන්” ලෙසය. (1 ලේකම් 17:24) මෙසේ හැඳින්වීම නිසා සමහර අය සිතන්න පෙලඹී ඇත්තේ, ඉශ්‍රායෙල්ගේ දෙවියන් හෙබ්‍රෙව්වරුන් විසින් වෙනත් සංස්කෘතියකින් ඈඳාගත් හෝ ඔවුන් විසින්ම සාදාගත් ගෝත්‍රික දෙවි කෙනෙකු බවය. තවද කැරන් ආම්ස්ට්‍රෝං විසින් රචිත දෙවියන්ගේ ඉතිහාසය (A History of God) යන පොතෙහි “ඉශ්‍රායෙල්වරුන්ගේ මෙම ගෝත්‍රික දෙවියන්ව (යෙහෝවාව) ඉතා ආක්‍රමණශීලී දෙවි කෙනෙකු ලෙස” හඳුන්වා ඇත. “පසු කාලයකදී, එනම් ක්‍රි.පූ. හත්වන සහ හයවන ශතවර්ෂවලදී, ඉශ්‍රායෙල්හි විසූ අනාගතවක්තෲන් මෙම ගෝත්‍රික දෙවියන්ව වචනයෙන් විස්තර කළ නොහැකි දේවත්වයේ සංකේතයක් බවට පත් කළා” යයි එම පොතෙහි තවදුරටත් සඳහන්ව තිබිණි.

කෙසේවෙතත්, යෙහෝවා යන නාමයට කානානීය හෝ මිසර සම්භවයක් ඇති බව පැවසීමට ඇතැම් ආගමික ඉතිහාසඥයන් වෙර දරා ඇත. එය “පැරණි ගෝත්‍රික නාමයක්” බවත් “නව ගිවිසුමේ” සඳහන් දෙවියන්ට එය අදාළ කළ නොහැකි බවත් තවත් සමහර අය තරයේ කියා සිටිති. කවුරු කුමක් පැවසුවත් මෙම අදහස් සත්‍යයද? බයිබලය ගැඹුරින් අධ්‍යයනය කිරීමෙන් මේ ගැන දැනගත හැක්කේ කුමක්ද?

යෙහෝවා—සියලුම ජාතීන්ගේ දෙවි

ඉශ්‍රායෙල් ජාතිය සමඟ යෙහෝවා කිට්ටු සම්බන්ධයක් පැවැත්වූ බව බයිබලයේ වාර්තා කරයි. එසේ වාර්තා වූ පමණින් ඔහු හුදෙක් ගෝත්‍රික දෙවි කෙනෙකු කියා තීරණය කළ හැකිද? ක්‍රිස්තියානිවරයෙක් වන ප්‍රේරිත පාවුල් මෙසේ ඇසුවේය. ‘දෙවි යුදෙව්වරුන්ගේ දෙවි පමණක්ද?’ ඔහු එයට පැහැදිලි පිළිතුරක් දෙමින් පැවසුවේ, දෙවි “අන්‍යජාතීන්ගේත් දෙවි” කියාය. (රෝම 3:29) මෙහිදී පාවුල් සඳහන් කරන දෙවියන් කවුද? එම ලිපියේ යෙහෝවා යන නාමය 19 වතාවක් සඳහන්ව ඇත. අතීතයේ සිටි හෙබ්‍රෙව් අනාගතවක්තෘ කෙනෙකු වන යෝවෙල්ගේ වාර්තාව උපුටා දක්වමින් පාවුල් පෙන්නුම් කළේ, යුදෙව්වරුන් පමණක් නොව ‘යෙහෝවාගේ නාමයට යාච්ඤා කරන කවුරු නමුත් ගළවනු ලබන්නේය’ කියාය.—රෝම 10:13, අකුරු ඇල කළේ අපය; යෝවෙල් 2:32.

තම දෙවි හැටියට ඉශ්‍රායෙල්වරුන් යෙහෝවාව තෝරාගත්තේ නැත. ඒ වෙනුවට තමා අරමුණ කර තිබූ පරිදි මෙසියස්ගේ පැමිණීමට මාර්ගය පිළියෙළ කිරීම සඳහා ඉශ්‍රායෙල්වරුන්ව තෝරාගත්තේ යෙහෝවාය. සාමාන්‍යයෙන් යම් ගෝත්‍රයකට අයත් ජන සමූහයක් එකතු වී ඔවුන්ටම ආවේණික ගෝත්‍රික දෙවි කෙනෙකු සාදාගන්න බවත්, එම ගෝත්‍රය අභාවයට යෑමත් සමඟම එම දෙවියා අතුරුදහන් වී යන බවත් අපි දනිමු. එහෙත් මෙම සංකල්පය යෙහෝවාට අදාළ නොවේ.

ශතවර්ෂ ගණනාවකට පෙර ක්‍රිස්තුස්ගේ උපත සම්බන්ධයෙන් යෙහෝවා ආබ්‍රහම් සමඟ ගිවිසුමක් ඇති කරගනු ලැබූ විට මුළු මිනිස් සංහතියටම ආශීර්වාද ගෙන එන බවට ඔහු පොරොන්දු විය. යෙහෝවාගේ සැලකිල්ල එක් ජාතියකට හෝ ගෝත්‍රයකට පමණක් සීමා වී නැති බව මින් පැහැදිලිය. (උත්පත්ති 12:1-3; ක්‍රියා 10:34, 35; 11:18) තවද ‘පොළොව හා එහි සම්පූර්ණත්වයද ලෝකය හා එහි වැසියන්ද යෙහෝවාගේ’ බව සඳහන් කරමින් ඉශ්‍රායෙලයේ සිටි රජ කෙනෙකු වන දාවිත් පෙන්නුම් කළේ, යෙහෝවා ඉශ්‍රායෙල් දේශයේ පමණක් නොව මුළු පොළෝ තලයේම හිමිකරු වන බවය.—ගීතාවලිය 24:1.

පසු කාලයකදී, යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා සෑදූ දේවමාළිගාව කැප කරන අවස්ථාවේදී දාවිත්ගේ පුත්‍ර සාලමොන් පැවසුවේ, ඕනෑම ජාතියකට අයත් යටහත් පහත් මනසක් ඇති ඕනෑම කෙනෙකුට යෙහෝවා දෙවි වෙතට ළඟා විය හැකි බවය. ඒ අවස්ථාවේදී සාලමොන් මෙසේ යාච්ඤා කළේය. “ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙනෙක් නොවන . . . දුර දේශයකින් ආවාවූ විදේශියෙක් මේ ගෘහය දෙසට හැරී යාච්ඤාකළොත්, ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් මෙන් පොළොවේ සියලු සෙනඟ විසිනුත් ඔබගේ නාමය ඇඳිනගන ඔබ කෙරෙහි භයවන පිණිසද, . . . මේ ගෘහයට ඔබගේ නම තබා තිබෙන බව දැනගන්න පිණිසද, ඔබගේ වාසස්ථානය වන ස්වර්ගයෙහි සිට අසා, විදේශියා ඔබට කරන මුළු කන්නලව්ව ලෙස ඔහුට කළ මැනව.”—1 රාජාවලිය 8:41-43.

ඉශ්‍රායෙල් ජාතිය ප්‍රතික්ෂේප කිරීම

යෙහෝවා හා ඉශ්‍රායෙල් ජාතිය අතර තිබූ සම්බන්ධතාවය පිළිබඳව මහාචාර්ය සී. ජේ. ලබුෂාං ලීවේ මෙසේය. “ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාසය පුරා එම‘ජාතියේ’ දෙවියන් ඔවුන්ගේ ජාතියට විරුද්ධව කීප වතාවක් නැඟී සිටි ආකාරය ඔවුන් අද්දැක්කේය.” පසුව, පළවන ශතවර්ෂය වන විට ඉශ්‍රායෙල් ජාතිය මෙසියස්ව ප්‍රතික්ෂේප කළ නිසා, යෙහෝවාද ඔවුන්ව ජාතියක් හැටියට ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වුවත් ක්‍රිස්තියානීන් අතර යෙහෝවාගේ නාමය අඛණ්ඩව භාවිතයේ පැවතිණ. ක්‍රිස්තියානි සභාව වර්ධනය වූ අතර, එහි සාමාජිකයන් විවිධ ජාතීන්ගෙන් සමන්විත විය. යුදෙව් ජාතික ගෝලයෙකු වන යාකොබ් යෙරුසලමේ රැස්ව සිටි අය අමතමින්, දෙවි ‘තමන්ගේ නාමයට සෙනඟක් තෝරාගන්නා පිණිස පළමුවෙන් ඔවුන් [යුදෙව් නොවන ජාතීන්] දෙස බැලූ හැටි’ පෙන්නුම් කළේය. (අකුරු ඇල කළේ අපය.) මෙය කලින් පුරෝකථනය කර තිබූ යමක් බව ඔප්පු කරමින්, යාකොබ් ආමොස් පොතෙහි යෙහෝවාගේ නාමය ගැන සඳහන් වන අනාගතවාක්‍යයක් උපුටා දැක්වීය.—ක්‍රියා 15:2, 12-18; ආමොස් 9:11, 12.

සියලුදෙනාටම රැකවරණය හා ආශීර්වා

යෙහෝවා මුළු විශ්වයටම අධිපති දෙවි බව සනාථ කරමින් පාවුල් මෙසේ ලීවේය. ‘යුදෙව්වාද ග්‍රීකයාද අතරේ ප්‍රභේදයක් නැත. එකම ස්වාමීන් සියල්ලන්ට ස්වාමිව, ඔහුට යාච්ඤා කරන සියල්ලන් උදෙසා පොහොසත්ව සිටියි.’ (රෝම 10:12, අකුරු ඇල කළේ අපය.) මෙහිදී ඔහු පෙන්නුම් කළේ සියලුම කීකරු මනුෂ්‍යවර්ගයාට යෙහෝවාගේ ආශීර්වාද භුක්ති විඳිය හැකි බවයි.

යෙහෝවා ජාති භේදයකින් හෝ පංති භේදයකින් තොරව විශ්වාසවන්ත හා කීකරු සියලුම මනුෂ්‍යවර්ගයාට දීප්තිමත් අනාගතයක් ලබා දෙන බවට පොරොන්දු කර තිබේ. එම මනුෂ්‍යයන්ව විස්තර කර ඇත්තේ “සියලු ජාතීන් ආශාවෙන දේ” ලෙසයි. (හග්ගයි 2:7, අකුරු ඇල කළේ අපය.) මෙම මනුෂ්‍යයන් යෙහෝවාව හඳුනාගෙන ඔහුට ප්‍රේම කරයි. එපමණක්ද නොව මේ අය ගැන බයිබලයේ අවසාන පොතෙහි මෙසේ සඳහන් වෙයි. “සියලු ජාතීන් පැමිණ ඔබ [යෙහෝවා] ඉදිරියෙහි නමස්කාරකරනවා ඇත; මක්නිසාද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශකරනලද්දේය.”—එළිදරව් 15:4.

[20වන පිටුවේ පින්තූර]

දස පනත අතැතිව සිටින මෝසෙස්