Skip to content

පටුනට යන්න

‘පහන් රුක්’ ගස අපට අහිමි වේවිද?

‘පහන් රුක්’ ගස අපට අහිමි වේවිද?

‘පහන් රුක්’ ගස අපට අහිමි වේවිද?

බ්‍රසීලයේ පිබිදෙව්! ලේඛක විසින්

කලක්, බ්‍රසීලයේ දකුණු දිග ප්‍රදේශය පයින් ගස්වලින් ගහන වී තිබිණ. එම ගස් අතරින් ඉතා කැපීපෙනෙන පයින් විශේෂයක් වන පරනා පයින්, බ්‍රසීලියානු පයින් (ඇරොකේරියා බ්‍රසීලියානා) වශයෙන්ද හැඳින්වේ. එයට “පහන් රුක් ගස” යන නාමයද පටබැඳි ඇත. මෙම ගස පහන් රුකක් හා සමාන හැඩයක් ගන්නා නිසා එම නම එයට උචිතය.

‘පහන් රුක්’ ගසේ සෑදෙන ගෙඩි මහ සිදරන් ගෙඩිවලටත් වඩා විශාල වන අතර සමහර ගෙඩි කිලෝග්‍රෑම් පහක් තරම් විශාලයි. මෙම ගෙඩිවල ඇට තිබෙන අතර සමහර ගෙඩිවල 150ක් තරම් ඇට ප්‍රමාණයක් තිබිය හැක. එම ඇට පෘතුගීසි භාෂාවෙන් හඳුන්වන්නේ පින්යොයින්ස් යනුවෙනි. ගෙඩිය මෝරා වියළුණු පසු එය වෙඩිල්ලක හඬක් පිට කරමින් පිපිරෙන අතර ඇට සෑම තැනම විසිරී යයි.

කජු රසැති එම ඇට වර්ගය කුරුල්ලන් සහ සතුන් පමණක් නොව, මිනිසුන් පවා කෑමට ගනී. පින්යොයින්ස් ප්‍රෝටීන් හා කැල්සියම් බහුල ඇට වර්ගයක් වන අතර එය කලක් දකුණු බ්‍රසීලයේ සමහර ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන ආහාරය විය. අද පවා බ්‍රසීලයේ සැන්ටා කැටරිනා ප්‍රදේශයේ පින්යොයින්ස් ඇට යොදාගෙන පැසෝක ඩී පින්යාඋන් (පොඩි කරන ලද පින්යොයින්ස්) වැනි දේශීය වෑංජන සාදයි.

කනගාටුවට මෙන් ‘පහන් රුක්’ ගස දැන් වඳ වී යෑමේ තර්ජනයට මුහුණ දෙයි. එයට ප්‍රධාන හේතුව වන්නේ 18වන සියවසේදී බ්‍රසීලයේ පදිංචි වූ යුරෝපීයයන් ‘පහන් රුක්’ ගස්වලින් ගහන වූ ප්‍රදේශ එළිපෙහෙළි කිරීමයි. ඔවුහු ‘පහන් රුක්’ ගස හොඳ දැව සැපයුමක් වශයෙන් සැලකූ අතර, තම නිවාස ගොඩනැඟීමට මෙන්ම ඉරිඟු හා මිදි වගා කිරීමට අවශ්‍ය ඉඩ සපයාගැනීමට එම ගස් කපා දැමුවෝය. කල් යත්ම, ‘පහන් රුක්’ ගස් රෝපණය කරන ප්‍රමාණයට වඩා කපා දමන ප්‍රමාණය වැඩි වූ අතර, අද මෙම මනහර ගස් දැකගත හැක්කේ අතළොස්සක් පමණි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ‘පහන් රුක්’ ගසේ වටිනාකම සෑහෙන ඉහළ ගොස් ඇත. අවුරුදු පනහක් පුරාම ‘පහන් රුක්’ දැව නිෂ්පාදන සංස්ථාවක සේවය කරමින් සිටින කෙනෙකු එය විස්තර කරන්නේ මෙලෙසයි. “පයින් කියන්නේ ලී නෙවෙයි, රත්තරන්!”

‘පහන් රුක්’ ගස වඳ වී ගොස් නැත්තේ කපුටු කුලයට අයත් ඇෂර් ජේ නමැති කුරුල්ලාට ස්තුතිවන්ත වෙන්නයි කියා පර්යේෂකයෝ පවසති. මෙම කඩිසර කුරුල්ලා ‘පහන් රුක්’ ගසේ ඇට ආහාරයට ගන්නා අතරතුර සමහර ඇට පාසිවල හා වියළුණු මීවන ශාකවල තැන්පත් කරයි. මෙලෙස තැන්පත් කළ ඇට ගණනාවක්ම පසුව රෝපණය වෙයි. ඇත්තෙන්ම ඇෂර් ජේ කුරුල්ලා ‘පහන් රුක්’ ගස් රෝපණය කිරීමේ කාර්යයේ නිරත වී සිටිනවායයි පැවසුවොත් නිවැරදියි. කනගාටුදායක ලෙස පයින් වනාන්තර එළිපෙහෙළි කිරීම හේතුවෙන් ඇෂර් ජේ කුරුල්ලන්ද දැන් ක්‍රමක්‍රමයෙන් වඳ වෙමින් පවතී.

දැව කර්මාන්තයෙහි යෙදෙන ඇතැම් සමාගම් සුළු වශයෙන් හෝ වන සංරක්ෂණයට අත හිත දෙන අතර, දකුණු බ්‍රසීලයේ ඇතැම් ප්‍රදේශවල නැවතත් ‘පහන් රුක්’ ගස රෝපණය කිරීමට යත්න දරමින් සිටියි. ඔවුන්ගේ වෑයම් සාර්ථක වුවහොත් ඉදිරි පරම්පරාවලටද ‘පහන් රුක්’ ගසේ අසිරිය දැකගත හැකි වනු ඇත.

[11වන පිටුවේ පින්තූරය]

ගෙඩියක “පින්යොයින්ස්” ඇට 150ක්ම තිබිය හැක

[හිමිකම් විස්තර]

ගස සහ ගෙඩි: Marcos Castelani