Skip to content

පටුනට යන්න

මගේ ආච්චි සීයාගෙන් මට ප්‍රයෝජනයක් තියෙනවාද?

මගේ ආච්චි සීයාගෙන් මට ප්‍රයෝජනයක් තියෙනවාද?

යෞවන අය අසති . . .

මගේ ආච්චි සීයාගෙන් මට ප්‍රයෝජනයක් තියෙනවාද?

“මටයි අම්මටයි අදහස් හුවමාරු කරගැනීමේ ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නය විසඳගන්න මට උදව් කෙරුවේ මගේ ආච්චි.”—ඩමාරිස්.

“එදා සිට අද දක්වා පවුලේ සමඟිය රැකගනිමින් සහ පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යා යුතු හොඳ සිරිත් විරිත් පෙන්වා දෙමින් පවුල රැකගැනීමේදී අච්චිලා සීයලා ඉතා වැදගත් කාර්යය භාරයක් ඉටු කරමින් සිටිනවා” කියා වෛද්‍ය ආතර් කොන්හාබර්, ඔහු විසින් රචිත ග්‍රන්ථයක (Grandparent Power!) සඳහන් කරනවා. “ඔවුන් ගුරුවරුන් ලෙස කටයුතු කර තිබෙනවා. දෙමාපියන් බවට පත් වී සිටින දරුවන්ට උපකාර කර තිබෙනවා. පවුලේ පසුබිම ගැන මනා දැනුමක් තිබෙන්නේ ඔවුන්ටයි. ඒ විතරක් නෙවෙයි රැකබලා ගන්නන්, උපදේශකයන්, පවුලේ විනෝදයට දායකවන්නන් ලෙසත් ඔවුන් කටයුතු කර තිබෙනවා. මේ නිසා මානසික වශයෙන් සාමාජීය වශයෙන් සහ ආත්මික වශයෙන් ඔවුන් සිදු කර ඇති මෙහෙය විශිෂ්ටයි. අපේ සමාජයේ මෙම වටිනා සම්පත එතරම් ගණනකට නොගෙන සිටීම ගැන මට හරි පුදුමයි” කියා ඔහු තව දුරටත් පවසයි.

ඈත අතීතයේදී, සීයලා ආච්චිලා පවුල් ජීවිතයේ මුල් ගල් මෙන් වූ අතර මෙය විශේෂයෙන් දක්නට ලැබුණේ යෙහෝවා දෙවිට නමස්කාර කරන්නන් අතරෙයි. මහලු අයට ගරු සැලකිලි දක්වන්න කියා ඉශ්‍රායෙල්වරුන්ට බයිබලයේ අණ කර තිබුණා. (ලෙවී කථාව 19:32) ඇත්තෙන්ම ආච්චිලාව සීයලාව සැලකුවේ ගෞරවය ලැබීමට සුදුසු අය ලෙසයි.—1 තිමෝති 5:4.

කනගාටුවට කාරණයක් වන්නේ කාලයත් සමඟම මෙම යහපත් දේවල් වෙනස් වීමයි. දුර ප්‍රදේශයක ජීවත් වීම නිසා දෙමාපියන්ට තම මව්පියන් සමඟත් යෞවනයන්ට තම ආච්චිලා සීයලා සමඟත් සම්බන්ධකම් පැවැත්වීමට ලැබෙන අවස්ථාව ඇහිරී ගොස් තිබෙනවා. එමෙන්ම ආච්චිලා සීයලා පිළිබඳව තිබුණ සුබවාදි ආකල්පයද වෙනස් වී තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල්වල නෑදෑයන් ඇතුළු වැඩිහිටියන්ට ලැබිය යුතු ගෞරවය ලැබෙන්නේ නැහැ. (2 තිමෝති 3:1-3) පරම්පරා පරතරය ලෙස හඳුන්වන දෙමාපියන් දරුවන් අතර ඇති පරතරය පෙරට වඩා වැඩි වී තිබෙනවා. ආච්චිලා සීයලා වයසයි, ඒ නිසා අද කාලයේ සිදු වන දේවල් ඔවුන්ට තේරුම්ගන්න බැහැ කියා යෞවනයන් බොහෝදෙනෙකු සිතනවා. නමුත් තමන් අද්දකින පීඩන සහ ගැටලු ඔවුන්ට වඩා වැඩිහිටියන්ට තේරුම්ගන්න පුළුවන් කියන දේ මෙහිදී යෞවනයන් අමතක කරනවා.

ඔබේ ආකල්පයත් එයම නම් ඒ ගැන නැවතත් සිතා බලන්න. මන්ද ඔබේ ආච්චිලා සීයලාව ඇසුරු කරන්න ලැබීම මහත් වරප්‍රසාදයකි. විශේෂයෙන් ඔවුන් දේවභය ඇති අය නම් ඔවුන්ගේ ඇසුරේ වටිනාකම කියා නිම කළ නොහැකියි. නමුත් ඔබට ඔවුන්ගේ ඇසුර ලැබිය නොහැකි නම් එයින් ඔබට සිදු වන්නේ විශාල පාඩුවක්. ඒ කොහොමද?

ප්‍රඥාවේ සහ ගුරු හරුකමේ උල්පතක්

යෞවනත්වයත් සමඟ දොරට වඩින ප්‍රශ්න ගැටලුවලින් මිදීම සඳහා උපකාර කිරීමට ආච්චිලා සීයලාට හැකි බව බොහෝ යෞවනයන් වටහාගෙන තිබෙනවා. එක් සඟරාවක (Seventeen) මෙසේ සඳහන් වුණා. “දශක ගණනාවක් ජීවත් වීමෙන් ලබා තිබෙන අද්දැකීම් නිසා ඔබේ ආච්චිලා සීයලාට හැකියි, ඔබ හා සමාන ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන ඔබේ සම වයසේ මිතුරන්ට වඩා හොඳ, ප්‍රායෝගික උපදෙස් ඔබට ලබා දෙන්න. මන්ද ඔබ සහ ඔබේ මිතුරන් ජීවිතයේ මුල්ම වරට අද්දකින විවිධ තත්වයන්වලට ඔබේ ආච්චිලා සීයලා ඔවුන්ගේ යෞවන කාලයේදී මුහුණ දී තිබෙනවා. එනිසා ඔබේ ලෙඩේට නියම බෙහෙත තිබෙන්නේ ඔවුන් ළඟයි.” මෙම උපදෙස මගින් තහවුරු වන්නේ ශත වර්ෂ ගණනාවකට පෙර බයිබලයේ කියා ඇති දෙයෙහි සත්‍යතාවයි. “පැසුණු හිස ගෞරවයේ ඔටුන්නක්ය, එය ධර්මිෂ්ඨ මාර්ගයෙහි සම්බවෙයි” කියා එහි පවසනවා.—හිතෝපදේශ 16:31.

ඔබ ජීවත් වන ලෝකයට වඩා හාත්පසින්ම වෙනස් ලෝකයක ඔබේ ආච්චිලා සීයලා හැදුණ බව ඇත්ත. නමුත් ඔබට තිබෙන හැඟීම්ම තමයි ඔවුන්ගේ යෞවන වයසේදී ඔවුන්ටත් තිබී ඇත්තේ. එමනිසා යෞවන වයසට ආවේණික ගැටලු නිරාකරණය කරගැනීමට අවශ්‍යය දැනුම හා අද්දැකීම් ඔබට වඩා ඔබේ ආච්චිලා සීයලාට තිබෙනවා. (හිතෝපදේශ 1:4) ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් වූ යෝබ් පැවසුවේ, “වයස්ගත අය හට ප්‍රඥාව ඇත. වයස්ගත වීම සමඟ නැණ නුවණ උදා වේ” කියායි. (යෝබ් 12:12, නව අනුවාදය) ඇත්තෙන්ම යෞවනයන්ට යම් උපදෙස්, දිරිගැන්වීම් හෝ උපකාර අවශ්‍ය විටකදී එය ලබා දිය හැකි හොඳම පුද්ගලයන් වන්නේ ඔවුන්ගේ ආච්චිලා හා සීයලායි.

උදාහරණයකට, ඩමාරිස්ගේ ආච්චි ජීවත් වුණේ ඇයත් ඇගේ මවත් සමඟ එකම නිවසෙයි. “අම්මත් එක්ක අදහස් හුවමාරු කරගැනීමේ ප්‍රශ්න පැනනගිනකොට ඒ ප්‍රශ්න විසඳාගන්න මගේ ආච්චි මට උදව් කළා විතරක් නෙවෙයි කාරණා දිහා වෙනත් ආකාරවලින් බලන්නත් ඇය මට කියා දුන්නා” කියා ඩමාරිස් පවසනවා.

ඇලෙක්සැන්ඩ්‍රියා තම පවුලත් සමඟ අලුත් ස්ථානයක පදිංචියට යෑම නිසා ඇයට තම පාසැලද වෙනස් කිරීමට සිදු වුණා. “මගේ අලුත් ගුරුවරිය හරි වසයි. සමහරක් වෙලාවට බෝම්බයක් වගෙයි” කියා ඇලෙක්සැන්ඩ්‍රියා පවසයි. නමුත් මෙම දුෂ්කර තත්වයට හැඩ ගැහෙන්නත් ඒ දෙස ශුභවාදීව බලන්නත් ඇගේ ආච්චි ඇයට උපකාර කළා. “මම දැන් ඉස්කෝලේ යන්න හරි කැමතියි, ඒ වගේම මගේ ගුරුවරියටත් කැමතියි” කියා ඇලෙක්සැන්ඩ්‍රියා පවසනවා.

බ්‍රසීලයේ තරුණයෙකු වූ රාෆායෙල් උසස් අධ්‍යාපනය අවසන් කර අමතර අධ්‍යාපනයක් ලබන අවදියේදී ආච්චිලා සීයලාගෙන් තමාට ලැබුණු උපකාරය ගැන මෙසේ පවසනවා. “ආශ්‍රය කළ යුතු අය ගැන වගේම මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටින්නේ කොහොමද කියන එක ගැනත් එයාලා මට හුඟක් උපදෙස් දුන්නා.” රාෆායෙල් දැන් පූර්ණ කාලීන දේවසේවකයෙක් ලෙස සේවය කරනවා.

ඊඩා ලෂාන් විසින් රචිත ග්‍රන්ථයක (Grandparenting in a Changing World) තමා ආච්චි කෙනෙකු ලෙස ලද පෞද්ගලික අද්දැකීම් කැටි කොට දක්වා තිබෙනවා. “මගේ මිනිබිරිය එක දවසක් දුරකථනයෙන් කතා කරලා මෙහෙම කිව්වා. ‘අනේ ආච්චි, මගේ යාළුවන් මාව නිතරම වැරදි දේවලට පොලඹවන්න හදනවා. මට ඔයාගේ උදව් ඕනේ.’ ඇගේ පංතියේ මිතුරියන් පිරිමි ළමයි සමඟ හාදකම් පවත්වන්න කියලා ඇයට බල කර තිබුණා. සමහර පිරිමි ළමයි ඇයට දුරකථනයෙන් පවා කතා කර තිබුණා.” ඇගේ මිනිබිරිය ඇගෙන් උපකාර පැතූ නිසා යම් උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දීමට ඇයට හැකි වුණා. ඔබේ ආච්චියි සීයයි සමඟ කෙටි සාකච්ඡාවක් කිරීමෙන් නිවැරදි මාර්ගය තෝරාගැනීමට අවශ්‍ය හොඳ උපදෙස් ලබාගැනීමට ඔබටත් හැකි වනු ඇත.

පවුලක කෙනෙක් අසනීප වීම හෝ මරණයට පත්වීම නිසා පවුලේ අය අසරණ වූ විට ආච්චිලාගෙන් සහ සීයලාගෙන් ලැබෙන උපකාරය කියා නිම කළ නොහැකියි. පහළොස් හැවිරිදි ලේසිගේ පියා දරුණු ලෙස රෝගාතුර වී මියගිය විට එම දුක දරාගන්න ඇගේ ආච්චි ඇයට උපකාර කළා. “අපි ඉස්සරට වඩා දැන් ගොඩක් සමීපයි” කියා ලේසි පවසනවා.

සෙනෙහසේ නවාතැනක්

සමහර අවස්ථාවලදී යෞවනයන් තම දෙමාපියන් සමඟ යම් ගැටලු ඇති කරගත්තත් ආච්චි හෝ සීයා සමඟ එවැන්නක් සිදු වන්නේ නැහැ. එසේ වන්නේ ඇයි? එක හේතුවක් නම් ආච්චිලා සීයලා තම මුනුබුරු සහ මිනිබිරියන්ට ඉතා ඇලුම් වීමයි. ඒ පිළිබඳව බයිබලයේ මෙසේ අදහස් දක්වනවා. “මහල්ලන්ගේ ඔටුන්න නම් දරුවන්ගේ දරුවෝය.”—හිතෝපදේශ 17:6.

ඒත්, ‘යෙහෝවාගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද’ දරුවන්ව ඇති දැඩි කිරීම ඔබේ දෙමාපියන්ගේ වගකීම මිසක්, එය ඔබේ ආච්චිගේ හෝ සීයාගේ වගකීම නොවන බව මතක තබාගන්න. (එපීස 6:4) ආච්චිලා සීයලාගේ කාර්යභාරය සීමා සහිත නිසා ඔබේ දෙමාපියන් තරම් ඔවුන් ඔබ ගැන විවේචනාත්මක මුඛයකින් කතා කරන්නේ නැහැ. ඒ වගේම ඔවුන් ගෙදර දොරේ වගකීම්වලින් නිදහස්. ඒ නිසා ඔවුන්ට ඔබේ අවශ්‍යතාවන් ගැන සොයා බැලීමට හෝ ඔබට වැඩි අවධානයක් දීමට හැකියාවක් තිබෙනවා. දාහත් හැවිරිදි ටොම්ට ආච්චිගෙනුයි සීයාගෙනුයි ලැබුණේ මෙවැනි සැලකිල්ලක්. ඔවුන්, ඔහු “පංතියේ වැඩවලට හොඳින් ලකුණු ගත්තාම තෑගි” එවනවා. ඔහුගේ පියානෝ පංතියට සල්ලි ගෙව්වේත් ඔහුගේ ආච්චියි සීයයි.

හැම ආච්චිලා සීයලාටම ඒ විදිහට තෑගි බෝග දෙන්න බැරි වුණත් ඔවුන් ඔබ ගැන සැලකිලිමත් වෙනවා. සමහර විට යම් ප්‍රශංසාවක් හෝ දිරිගැන්වීමක් ලබා දෙමින් ඔවුන් ඔබ කෙරෙහි ඇති සැලකිල්ල පෙන්වන්න පුළුවන්. ඒ වගේම ඔබේ හිතට එන දේවල් ඔවුන්ට පවසන විට ඔවුන් ඔබට ඇහුම්කන් දේවි. මෙසේ කිරීමෙන් ඔබට ඔවුන් සමඟ හොඳ මිත්‍රත්වයක් ඇති කරගන්න හැකි වෙයි. ඩමාරිස් තම ආච්චි ගැන මෙසේ පවසනවා. “ඇය මාව සනසනවා. මම කියන දේවල් අහගෙන ඉන්න නිසා ඕන වෙලාවක ගිහිල්ලා ඇයත් සමඟ කතා කරන්න පුළුවන්. සමහරක් වෙලාවට බොළඳ දේවල් ගැන කතා කරද්දීත් ඇය අහගෙන ඉන්නවා.” ජොන්ටාස් නමැති යෞවනයා පවසන්නේ තමා ඔහුගේ ආච්චිලා සීයලා සමඟ බරපතළ ප්‍රශ්න ගැන පවා කිසිම චකිතයකින් තොරව කතා කරනවා කියායි.

“හුවමාරුවක්”

ආච්චිලා සීයලාට ඔවුන් සතු ප්‍රඥාව සහ ප්‍රේමය ඔබට දිය හැකිවා සේම ඔබේ තරුණ ශක්තියෙන් සහ මිත්‍රත්වයෙන් ඔවුන්ටද ප්‍රයෝජන ලබාගත හැකියි. ඒ කෙසේද? ඔබේ ආච්චිලා සීයලාට උපකාරය පිරිනැමිය හැකි මාර්ග ඕනෑ තරම් තිබෙනවා. මන්ද ඔවුන් ශාරීරික ශක්තිය අතින් දුර්වලයි. නැතහොත් දුර්වල සෞඛ්‍ය තත්වයකින් පීඩා විඳිනවා ඇති. එමනිසා වෙළඳ පොළට යන්න, ගෙදර දොරේ වැඩපොළ කරගන්න ඔබ ඔවුන්ට උදව් උපකාර කරනවා නම් ඒ ගැන ඔවුන් සතුටු වෙයි.

බොහෝ ආච්චිලා සීයලා වැන්දඹු අයයි. එමනිසා ඔවුන්ට පාළුවක් තනිකමක් දැනෙනවා. ඔවුන් ගැන උනන්දුවක් පෙන්වීමෙන් ඔවුන්ට දැනෙන පාළුව තනිකම ඔබට මකා දැමිය හැකි අතර ජීවත් වීමට ආශාවක් ඔවුන් තුළ ඇති කළ හැකියි. මෙය “මවුපියන්ගේ දෙමව්පියන්ට ප්‍රත්‍යුපකාර කරන්න. මක්නිසාද ඒක දෙවි ඉදිරියෙහි ප්‍රසන්නව තිබේ” යනුවෙන් බයිබලයේ කර ඇති අණටද කීකරු වීමකි.—1 තිමෝති 5:4, NW.

ඔබ ඔබේ ආච්චිට සහ සීයාට සමීප වන තරමටම ඔබේ ජීවිතයත් ඔවුන්ගේ ජීවිතත් සාර්ථක වන බවට කිසිම සැකයක් නැහැ. සමහර විට ඔබ අද වෙන තුරුත් එවැනි සමීප ඇසුරක් භුක්ති විඳ නැති වෙන්න පුළුවන්. එයට හේතුව ඔබේ ආච්චිලා සීයලා දුර බැහැරක ජීවත් වීම හෝ ඔවුන් ඔබේ දෙමාපියන්ගෙන් වෙන්ව සිටීම හෝ විය හැකියි. අනිත් අතට, ඔබට ආශාවක් තිබුණත් එය කරන්නේ කෙසේද කියා සිතමින් සිටිනවා ඇති. මෙවැනි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රායෝගික යෝජනා කිහිපයක් මතු ලිපියකින් බලාපොරොත්තු වන්න.

[29වන පිටුවේ පින්තූරය]

ආච්චිලා සීයලා හොඳ සවන් දෙන්නන්, උපදෙස් සපයන්නන් මෙන්ම උපකාරය පිරිනමන්නන් විය හැකියි

[30වන පිටුවේ පින්තූරය]

ඔබේ ආච්චිලා සීයලාට උදව් කරන්න