Skip to content

පටුනට යන්න

මොසැම්බික් මහා ගං වතුර—බිලිවූවන්ට ක්‍රිස්තියානීන් දැක්වූ සැලකිල්ල

මොසැම්බික් මහා ගං වතුර—බිලිවූවන්ට ක්‍රිස්තියානීන් දැක්වූ සැලකිල්ල

මොසැම්බික් මහා ගං වතුර—බිලිවූවන්ට ක්‍රිස්තියානීන් දැක්වූ සැලකිල්ල

මොසැම්බික්වල පිබිදෙව්! ලේඛකයෙකුගේ දායකත්වයෙන්

පසුගිය වසරේ මුල්භාගයේදී මොසැම්බික්හි ඇති වූ ගං වතුර තර්ජනය නිසා එහි ජනයා ගස්වල අතුවලට නඟින අයුරු පෙන්නුම් කළ රූප රාමු රූපවාහිනියේ දිස් වෙද්දී ප්‍රේක්ෂකයන් බලා සිටියේ පුදුමයෙන් ගල්ගැසීය. එක් ස්ත්‍රියක් ගසක් උඩ සිටියදීම දරුවෙකු බිහි කළ අතර බිළිඳා සමඟම ඇයව හෙලිකොප්ටරයකින් සුරක්ෂිත තැනකට ගෙන යන දර්ශනයක්ද දක්නට ලැබිණ. එහෙත්, තවත් දහස් ගණනකට ජලය බැස යන තුරු හෝ හෙලිකොප්ටර්වලින් තමන්ව බේරාගන්නා තුරු දින ගණනාවක්ම කිසිඳු පිළිසරණක් නොමැතිව සිටින්න සිදු විය. සමහරෙකුට සර්පයින් සමඟ පවා ගැවසෙන්න සිදු විය.

මෙම සන්තාප සිද්ධිය හටගත්තේ මොසැම්බික්හි අගනුවර වූ මාපුටොවල තොරතෝංචියක් නැතුව ඇද හැළුණ වරුසාව නිසාවෙනි. පැය කීපයකින් දෙගොඩ තලා ගිය ගං වතුරෙන් මුළු යාබද නගර සියල්ලම යටව ගියේය. ඇතැම් ස්ථානයන්හි ගෙවල්වල වහල උසටම ජල මට්ටම නැංගේය. පාරවල් ඉවක් බවක් නැතුව දෝරෙ ගලන ගංගාවන් බවට පත් විය. මේ නිසා විශාල අගල් හෑරුණු අතර ගෙවල් සහ රථ වාහන මෙන්ම අනිත් සැමෙකක්ම පාහේ ගං වතුරට ගසාගෙන ගියේය. එහෙත් ඊටත් වඩා දරුණු දේවල් ඉදිරියේදී සිදුවීමට තිබිණ.

රටේ මුළු දකුණු පළාතම වැසී යන තෙක් වැස්ස ඇද හැළිණ. මීට කිට්ටුව පිහිටි දකුණු අප්‍රිකාව, සිම්බාබ්වෙ සහ බොට්ස්වානාවලටද වැසි ඇද හැළිණ. එම රටවලින් ඇරඹෙන ඉන්කෝමාටී, ලිම්පෝපෝ හා සැම්බෙසි යන ගංගා සාගරය කරා ඇදී යන්නේ මොසැම්බික් පසු කරගෙන බැවින්, ඒවා පිටාර ගැලූ විට මොසැම්බික්හි විශාල ප්‍රදේශයක් යට විය. මේ මහා විනාශය සිදු වෙද්දී ක්‍රිස්තියානීන් එකිනෙකාට අතහිත දුන් ආකාරය පිළිබඳ කතන්දරය ඇදහිල්ල ශක්තිමත් කරවන්නකි.

මුලින් සිදු වූ හානිය ගණනය කිරීම

පසුගිය වසරේ පෙබරවාරි 9වනදා, මාපුටොහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් නියෝජිතයන් දෙදෙනෙක් උතුරු ප්‍රදේශයේ තත්වය සෝදිසි කිරීමට ගියහ. උදෑසන නවයට පමණ ඔවුන් ෂීනවනි නගරය පසු කළ අතර ඒ වෙනකොට ඉන්කෝලූආනෙ ගඟෙහි ජල මට්ටම බොහෝ ඉහළ ගොස් තිබිණ. එහෙත් ඔවුහු නොනැවතී ගාසා පළාතේ අගනුවර වන ෂයි-ෂයිවලට යෑමට තීරණය කළහ. බොහෝවිට කුණාටුවක් ඇති වන විට දරුණු ලෙස ගං වතුර ගලන ප්‍රදේශයක් වන ෂාක්වේ නගරය අවට මේ අවස්ථාවේදී කිසි ගැටලුවක් නැති බව ඔවුන්ට දැනගන්න ලැබිණ. එමනිසා ඔවුහු යළිත් මාපුටො කරා යෑමට තීරණය කළහ.

කෙසේවෙතත්, යළිත් ෂීනවනි වෙත ළඟා වෙද්දී පොලිස් බැරැක්කයක් අසල ඔවුන්ව නතර කරනු ලැබීය. “දකුණු අප්‍රිකාවේ ගං වතුර මෙහෙටත් ගලලා ප්‍රධාන පාරවල් යට වෙලා” කියා පොලිස් භටයෝ අනතුරු ඇඟවූහ. “බස්වලටවත්, ට්‍රක්වලටවත් මෙතනින් එහාට යන්න බැහැ.” උදෑසන එද්දී ඔවුන් පසු කර ආ පාරවල් දැන් සම්පූර්ණයෙන්ම යට වී ඇත! ඈත උතුරුකරයේ ගංගාවල ජල මට්ටමද ඉහළ නැඟෙමින් තිබුණ නිසා එම ප්‍රදේශය රටේ ඉතිරි කොටසෙන් වෙන් වී ගොස් තිබුණාක් මෙන් විය.

ඉතින් මේ දෙදෙනා යාබද ප්‍රදේශයක් වූ මාසියාවල රැය පහන් කිරීමට තීරණය කළහ. එම රාත්‍රියෙහි තත්වය තව තවත් දරුණු අතට හැරිණ. මුළු ෂීනවනි නගරයම ගං වතුරෙන් යට වී ගිය අතර එහි වැසියන්ට සියල්ලම අහිමි විය. එහි සිටි සාක්ෂිකරුවන්ට මාසියාවල රාජ්‍ය ශාලාවක තාවකාලිකව පිහිටෙවූ කඳවුරකට යෑමට සැලසුම් යොදන ලදි. සාක්ෂිකරුවෝ වහාම ගොස් තොග වශයෙන් බඩු දෙන තැන්වලින් හාල්, ධාන්‍ය වර්ග, පිටි සහ තෙල් වැනි අත්‍යවශ්‍ය දේවල් මිලයට ගෙන ආහ.

ෂාක්වේවල සහ අවට නගරවල වෙසෙන සෙසු ක්‍රිස්තියානීන් වෙත ඊළඟට අවධානය යොමු කරනු ලැබීය. ෂාක්වේහි සභාවල අවේක්ෂකයෝ එක් වී සමූහයක් වශයෙන් පිටව යෑමට සංවිධානය වූහ. “වහාම පිට වී මාසියාවලට යන්න” කියා පණිවිඩයක් නිකුත් කරනු ලැබීය. කෙසේවුවත්, ෂීනවනිවල සිටි බොහෝදෙනෙකු පැමිණ නැති බව විගස දැනගන්න ලැබිණ. එබැවින් ඔවුන්ගේ තත්වය විමසා බැලීමට සාක්ෂිකරුවන්ව යවනු ලැබීය. මේ අතර ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකු ඔහුගේ නිවස තුළ ගිලී මියගොස් ඇති බව සැල විය. ඔහුගේ භූමදාන කටයුතු පිළියෙළ කරනු ලැබූ අතර වහලවල් උඩ සිටි අය ඇතුළු ඉතිරි සාක්ෂිකරුවන්ව සොයාගෙන ඔවුන්ට මාසියාවලට යෑමට උපකාර සපයන ලදි.

මෙම විධිවිධාන යෙදීමෙන් අනතුරුව, මුහුදු තීරයට ආසන්නව ඇති කුඩා නගරයක් වන බිලෙනිවල ශාඛාවේ නියෝජිතයෝ මාපුටොවලට යෑම සඳහා ගුවන් යානයක් කුලියට ගත්හ. සංචාරකයන්ට දක්නට ලැබුණේ බැලූ බැලූ හැමඅතම ගං වතුරෙන් යට වී තිබෙන ප්‍රදේශය. ගාසා පළාතේ පමණක් 6,00,000ක ජනතාවක් ඊට බිලි වී ඇති බවට වාර්තා විය.

තත්වය තව තවත් දරුණු වේ

ඊළඟ දවස් කීපයේදී වැස්ස එන්න එන්නම වැඩි වූ අතර මොසැම්බික්හි මධ්‍යම පළාත්ද යට වී ගියේය. ඒ සමඟම එලයින් නම් විශාල නිවර්තන සුළි සුළං වේගයෙන් හමා එන්නට විය. ඒත් එක්කම පෙබරවාරි 20වනදා ධාරානිපාත වැස්සක් කඩා වැටී ඉන් යාන්බානේ, සෝෆාලා සහ මානිකා යන පළාත් යට විය. ගං වතුර නොකඩවා ගැලීමේ ප්‍රතිඵලය වූයේ, මියයන සංඛ්‍යාව හා ව්‍යසනයද වැඩිවීමයි.

පෙබරවාරි අගභාගයේදී පමණ ෂාක්වේ නගරය හා අවට මුළු ප්‍රදේශයම කිසිදා නොවූ විරූ අන්දමින් ජලයෙන් යට වී මහා ගං වතුරක් ඇති විය. පෙබරවාරි 26වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේදී පමණ සොරොව්වක වතුර ඇරියාක් මෙන් ගලා ආ ගං වතුර එමඟෙහි තිබූ සියල්ල ගසාගෙන ගියේය. “එහා ගෙදර එක්කෙනා ඒගොල්ලන්ගේ ජනේලයෙන් එබිලා කෑගහනකොටයි අපිට ඇහැරුණේ” කියා 32-හැවිරිදි සාක්ෂිකාරයෙක් වූ ලූයිෂ් ෂිට්ලාන්ගූ පවසයි.

ෂිට්ලාන්ගූ මෙසේ පැහැදිලි කරයි. “අපි ඇඳෙන් පනිනකොටම අපිට මහා හයියෙන් වතුර ගලන සද්දේ ඇහුණා. අපි පණ බේරගන්න දුවද්දී සර්පයෝ රොතු පිටින් වතුරේ හිටියා. උදේ හය වෙද්දී අපි උස් බිමකට ගොඩ වුණත් ටික වෙලාවකින් හතර වටෙන්ම ගං වතුර මට්ටම වැඩි වෙන්න පටන්ගත්ත නිසා අපිට සිද්ධ වුණා ගස්වලට නඟින්න. අපේ කණ්ඩායමේ 20දෙනෙක් හිටියා.

“ඉස්සෙල්ලම පිරිමි කට්ටිය ගස්වලට නැග්ගා. ඊට පස්සේ ගෑනු අය දරුවන්ව ඒගොල්ලන්ගේ අතට දුන්නා. ඒගොල්ලෝ දරුවන්ව අතුවල බැන්දා. පස්සේ ගෑනු අය ඒගොල්ලන්ගේ බබාලාවත් අරගෙන නැඟගත්තා. සැරෙන් සැරේ අපි ගස්වලින් බැහැලා වතුර යට තිබුණ රටකජු කඩාගත්තා. ඒ හරියේ ඒවා වවලා තියෙන බව අපි දැනගෙන හිටිය නිසා වාසියක් වුණා.

“දවස් තුනකට පස්සේ අපි ෂාක්වේවලට යන්න ඕන කියලා තීරණය කළා. වතුර මට්ටම අපේ පපුව ළඟටම ඇවිල්ලා තිබුණ නිසා අපිට සැඩ පහරවල් එක්ක පොරබදින්න සිද්ධ වුණා. අපි යන අතරමඟදී හුඟදෙනෙක් ගස් උඩයි, වහළවල් උඩයි ඉන්නවා අපි දැක්කා. පහුවෙනිදා වෙනකොට ට්‍රක් රථවලින් නගරයට ගිහින්, සෙනඟව මාසියාවලට ගෙනියන්න පුළුවන් වෙන තරමට වතුර මට්ටම බැහැලා තිබුණා.”

සාක්ෂිකරුවන්ගේ සරණාගත කඳවුර

මාර්තු 4වනදා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය විසින් ගුවන් යානයක් කුලියට ගෙන ව්‍යසනය සිදු වූ ප්‍රදේශයට නියෝජිතයන්ව යවනු ලැබීය. ජනගහනයෙන් වැඩි කොටසක් මාසියාවලට පලා ගොස් තිබූ බැවින් එය සරණාගතයන් සඳහා විශාල කඳවුරක් බවට පත්ව තිබිණ. ගං වතුරට බිලිවූවන්ගෙන් බොහෝදෙනෙකු උණ, මන්දපෝෂණය, මැලේරියාව සහ වෙනත් රෝගවලින් පෙළෙන්න විය.

මුළු පළාතම එකම යුධ පිටියක් මෙන් දිස් විය. විවිධ රටවලින් එවූ සහනාධාර රැගත් හෙලිකොප්ටර් නගරය වටා සැරිසරන ආකාරය දකින්න ලැබුණු අතර ඒවා ගොඩබස්වනු ලැබුවේ අවස්ථාවට අනුව සැකසූ ධාවනපථවලය. සාක්ෂිකාර සහන සේවා පිරිස මාසියාවලට පැමිණි විට බිලිවූවන්ට ආහාරපානාදිය ලබා දීමට සැලසුම් යෙදුවා පමණක් නොව ගිලන් සේවාවක්ද අරඹන ලදි. මේ සියල්ලටම කලින් ඔවුන් ප්‍රාදේශීය අධිකාරීන්ගේ අනුමැතිය ලබාගත් අතර, ඔවුන් එලෙස මූලිකත්වය ගෙන කටයුතු කිරීම සම්බන්ධයෙන් එම අධිකාරීන්ගේ ප්‍රසාදයද ඔවුන්ට ලැබිණ.

සාක්ෂිකරුවන් 700කට ආසන්න සංඛ්‍යාවක් මෙන්ම වෙනත් අයද සිටින සාක්ෂිකාර කඳවුරක සෑම හිමිදිරියකම 6:30 වන විට බයිබල් පදයක් සලකා බලන ලදි. ක්‍රිස්තියානි සහෝදරියන් විසින් ආහාර පිළියෙළ කරනු ලැබූ විට පවුලේ මූලිකයාගේ නම කියා හඬගසනු ලැබේ. තමන්ට කෑම පිඟන් කීයක් අවශ්‍යද කියා එක් එක්කෙනා තමන්ගේ ඇඟිලිවලින් පෙන්වූ අතර ඒ අනුව කෑම බෙදාහරිනු ලැබීය.

කඳවුරේ ජීවත් වීම සඳහා අවශ්‍ය සෑම දෙයක්ම හොඳින් සංවිධානය කර තිබිණ. ආහාර ගෙන ඒමට ඇතැමුන්ට පවරා තිබූ අතර පිරිසිදු පානීය ජලය සැපයීමට, වැසිකිළි පිරිසිදු කිරීමට හා එවැනි වෙනත් දේවල් කිරීමට තවත් අයට පවරා තිබිණ. මෙම මනා සංවිධානය රජයේ නිලධාරීන්ගේ අවධානයට ලක් නොවී නොතිබිණ. ඔවුහු මෙසේ තම අදහස් පළ කළහ. ‘මෙතන නියමයිනේ. හැමෝටම කෑමත් හම්බ වෙනවා. සන්ඩු සරුවලුත් නැහැ.’ ප්‍රාදේශීය බලධාරියෙක් මෙසේ පැවසුවේය. ‘හැම දෙයක්ම පිළිවෙළින් කෙරන විදිහ බලාගන්න හැමෝම මේ කඳවුරට එන්න ඕනා.’

දිනක් සහන සේවා කමිටුව ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ව කැඳවා ගං වතුරට බිලිවූවන්ට නිවාස හා රාජ්‍ය ශාලා තනා දීමට ශාඛා කාර්යාලය විධිවිධාන යොදා තිබෙන බව දැන්වූහ. පසුවදා උදෑසන, එදිනට නියමිත බයිබල් පදය සලකා බලද්දී එම සැලසුම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කෙරිණ. සෑහෙන වේලාවක් අත්පොළොසන් නාදය පැවතිණ.

අධිකාරීන් විශාල කූඩාරම් දෙකක් පරිත්‍යාග කර තිබුණත් කඳවුරේ බොහෝදෙනෙකුට නිදාගන්න සිදු වූයේ එළිමහනෙයි. එමනිසා ගං වතුරට බිලිවූවන් අතුරෙන් කණ්ඩායමක් එම ප්‍රදේශයෙහි සභාව පිහිටි ඉඩමේ විශාල රාජ්‍ය ශාලාවක් ඉදි කිරීමට සංවිධානය වූහ. දෙසීයකට පමණ සිටිය හැකි වන සේ එය සාදනු ලැබුවේ මොසැම්බික් මෝස්තරයට අනුව බට ගස් සහ රැළි සහිත සින්ක් තහඩු සවිකරය. දවස් දෙකකින් එහි වැඩ නිම කෙරිණ!

තනිවූවන්ව සොයාගැනීම

මේ අතරතුර යම් දුරකට ගං වතුර බැසගිය පසු මාර්තු 5වනදා සහන සේවා කණ්ඩායමක් ආල්ඩේඅ ඩා බේරාෂන් නම් නගරයට ගමන් කිරීමට සැරසිණ. එය ගං වතුරට මුලින්ම යට වූ ප්‍රදේශයකි. එහි සාක්ෂිකරුවන් 90ක් පමණ සිටින සභාවක් තිබුණු අතර ඔවුන්ගෙන් කිසිම ආරංචියක් නොවීය.

එහි යන අතරමඟදී මෙම කණ්ඩායම 1,00,000ක පමණ පිරිසක් සිටි විශාල සරණාගත කඳවුරක් වූ ෂිහකෙලානි පසු කර ගියහ. පාර දෙපැත්තම සෝදාපාලු වී ගොස් තිබූ අතර, දක්නට තිබුණේ මුළු පළාතම ගං වතුරට යට වී ඇති සේයාවකි. කණ්ඩායමේ එක් තැනැත්තෙක් මෙසේ තම අදහස් ප්‍රකාශ කළේය. “අපි ෂාක්වේවලට ආවහම මුළු පළාතම පාළු වෙලා ගිහින් තියෙන බවයි දකින්න තිබුණේ. නගරයට ඇතුල් වෙන තැන හුඟක් ගෙවල්වල වහළවල් උසටම වතුර ඇවිත් තිබුණා. ගෙවල්වලින් වැඩිහරියක් වතුරට යට වෙලා තිබුණා. මේ වෙනකොට අඳුර වැටෙමින් තිබුණු අතර, අපිට ආල්ඩේඅ ඩා බේරාෂන්වලට තව කිලෝමීටර් 25ක දුරක් යන්න තිබුණා.”

අන්තිමේදී රාත්‍රියේ කණ්ඩායම තම ගමනාන්තයට පැමිණියහ. කණ්ඩායමේ සාමාජිකයෙක් මෙසේ පැවසුවේය. “අපි නැවතිලා ඊළඟට මොකක්ද වෙන්නේ කියලා බැලුවා.” එතකොටම කට්ටියක් “අන්න, අපේ සහෝදරයෝ ඇවිල්ලා” යයි පවසමින් දිව ආ අතර ඔවුන්ගේ ප්‍රීති ඝෝෂා හඬ දසත පැතිර ගියේය. වාහන දෙකේ පහන් එළි දුටු නිමේෂයකින් මේ අපේ සහෝදරයන් විය හැකියි කියා සිතූ ඔවුහු අන් අයටද ඒ බව සැල කළහ. බලා සිටි අන් අය පුදුමයෙන් පුදුමයට පත් වෙමින් ‘මේ අය තුළ ඇත්තෙන්ම ප්‍රේමය තියෙනවා. ඒගොල්ලෝ කෑම බීමත් අරගෙන බලලා යන්නත් ඇවිල්ලා!’ කියා පැවසූහ.

දිගටම අත හිත දෙමින්

ආල්ඩේඅ ඩා බේරාෂන්හි සහෝදරයන්ට මාසියාවල කඳවුරට ළඟාවීමට උපකාර සැපයූ අතර එහිදී ඔවුන්ට ආහාර, ඉඳුම් හිටුම් හා වෛද්‍ය ප්‍රතිකාර සපයා දෙන ලදි. මේ අතරතුර, මාසියාවල තත්වය එන්න එන්නම දරුණු විය. ආහාර, බෙහෙත් හා ඉන්ධන එවන්න සිදු වූයේ ගුවනින් නිසා ඒවා හිඟ විය. මාපුටොවල සිට මාසියාවලට ගොඩබිමෙන් සහනාධාර සැපයීමේ ක්‍රමයක් පිහිටුවීමේ හදිසි අවශ්‍යතාවක් ඇති වී තිබිණ. මාර්තු 8වනදා වන විට එය ආරම්භ කෙරිණ.

ෂයි-ෂයි නම් විශාල නගරය සම්පූර්ණයෙන්ම ගං වතුරට යට වී ගොස් තිබිණ. එහි නගරාසන්න ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල ජල මට්ටම මීටර් තුනක් දක්වා ඉහළ ගොස් තිබිණ. එහි සිටි සහෝදරයන්ගේ අවශ්‍යතා සැපයීම සඳහා සාක්ෂිකරුවන්ගේ සහන සේවා කමිටුවක් පත් කර තිබිණ. ඊට අමතරව, සෝෆාලා හා මානිකා පළාත්වල සිටින්නන්ට අවශ්‍ය දේ සැපයීම සඳහා කමිටු සංවිධානය කරනු ලැබීය.

සහනාධාර ලැබුණේ වෙනත් රටවල සාක්ෂිකරුවන්ගෙනි. උදාහරණයකට, දකුණු අප්‍රිකාවේ ශාඛාව ඇඳුම් පැළඳුම්, බ්ලැන්කේට්ටු සහ වෙනත් දේවල් ටොන් ගණන් එවීමට සැලසුම් යෙදීය. එමෙන්ම, නියූ යෝක්, බෘක්ලින්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානය මගින් විපත්තියට මුහුණ දී සිටින්නන්ට අවශ්‍ය දෑ සැපයීම සඳහා මුදල් එවන ලදි.

ගං වතුර මට්ටම සෑහෙන දුරකට බැස ගිය විට, නිවාස අහිමි වූවන්ගේ ගණනයක් කර, යළි නිවාස හා රාජ්‍ය ශාලා ඉදි කිරීමේ වැඩ ඇරඹීය. යළි ඉදි කිරීමේ කමිටුවක් පිහිටෙවූ අතර අප්‍රමාදව වැඩ ඇරඹූ ස්වේච්ඡා සේවකයන් බොහෝදෙනෙකුගෙන් සහයෝගය ලැබිණ. එතැන් පටන්, නිවාස 270ක් මෙන්ම අඩුම තරමින් රාජ්‍ය ශාලා පහක්වත් ඉදි කෙරිණ.

සාක්ෂිකාර ස්වේච්ඡා සේවකයන් ඉදි කළ මුල්ම නිවාස දෙස ජනයාගේ නෙත් යොමු විය. එක් අසල්වැසි කාන්තාවක් මෙසේ අදහස් පළ කළාය. ‘ඕගොල්ලෝ වන්දනාමාන කරන්නේ ජීවමාන දෙවි කෙනෙකුටයි. අපේ පාස්ටර්ලට ඒගොල්ලන්ගේ දුක් විඳින බැටළුවන්ව මතක නැහැ. ඒ වුණාට ඕගොල්ලන්ට නම් ලස්සන ගෙවල් හම්බ වෙලා තියෙනවා.’ එවැනි ප්‍රදේශවල යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් දේශනා කරනු ලැබූ රාජ්‍ය පණිවුඩයට බොහෝදෙනෙකු හොඳ ප්‍රතිචාරයක් දක්වා ඇති අතර බයිබල් පාඩම් ගණනාවක්ද පටන්ගෙන ඇත.—මතෙව් 24:14; එළිදරව් 21:3, 4.

බොහෝ සාක්ෂිකරුවන්ට සෑම ද්‍රව්‍යමය සම්පතක්ම පාහේ අහිමි වී ගියත් කිසිවෙකුගේ ඇදහිල්ල හීන වූයේ නැත. යෙහෝවා දෙවි කෙරෙහි ඔවුන් තුළ තිබූ ඇදහිල්ලත්, ලොව පුරා සිටින සෙසු ඇදහිලිවන්තයන් සමඟ තිබූ ඇසුරත් තව තවත් ශක්තිමත් විය. ඔවුහු තම ප්‍රේමනීය ජාත්‍යන්තර සහෝදරත්වය වෙනුවෙන් හා මෙම දරුණු විපත්තියේදී විගස දැක්වූ ප්‍රතිචාරය වෙනුවෙන්ද කෘතඥ වෙති. ඔවුන්, තමන්ට පෞද්ගලිකවම යෙහෝවාගේ මෘදු සැලකිල්ල හා ආරක්ෂාව තිබෙන බව අද්දැක ඇති අතර බයිබලයෙහි සඳහන් ‘යෙහෝවා උතුම්ය’ යන ප්‍රකාශය ඔවුන්ට කිසිදා අමතක නොවේ.—ගීතාවලිය 48:1.

[24, 25වන පිටුවේ පින්තූරය]

ෂයි-ෂයි නගරය මඩ වතුරෙන් වැසී ගියේය

[25වන පිටුවේ පින්තූරය]

ගුවනින් සහානාධාර

[26වන පිටුවේ පින්තූරය]

සාක්ෂිකාර සහන සේවා කණ්ඩායම ගිලන් සේවාවක් අරඹයි

[26වන පිටුවේ පින්තූරය]

නොකඩවා නව නිවාස ඉදි කෙරේ

[26වන පිටුවේ පින්තූරය]

විශාලතම සරණාගත කඳවුරේ 1,00,000ක පමණ පිරිසක්