විසඳුමත් ගැටලුවක් වී ඇද්ද?
විසඳුමත් ගැටලුවක් වී ඇද්ද?
“සිරකරුවන්ව පහත් ලෙස සැලකීම හා ඔවුන්ව සමාජයෙන් කොන් කිරීම භයානක දෙයකි. එයින් සිදු වන්නේ ඔවුන්ට නිදහස ලබා දීමෙන් පසුව පවා නැවතත් අපරාධ කිරීමට සැලැස්වීමයි.”—දි ඇට්ලන්ටා කොන්ස්ටිටියුෂන් නමැති පුවත්පතේ කතුවැකියක් ඇසුරෙනි.
බොහෝ රටවල තිබෙන බන්ධනාගාර හුදෙක් තාවකාලිකව අපරාධකරුවන්ව රඳවා තබාගන්න ස්ථාන බවට පත් වී තිබේ. වරදකරුවෙකුට a සිර දඬුවම් දුන් පමණින් ඔහු කළ වරදට නිසි දඬුවම් ලැබුණා කියා පැවසිය හැකිද? අපරාධවලට ලක් වූ අය හෝ ඔවුන්ගේ ප්‍රේමනීයයන් ගැන කුමක් කිව හැකිද? දහසය හැවිරිදි තම පුතාව ඝාතනය කළ අපරාධකරුවා වසර තුනක් වැනි කෙටි කාලීන සිර දඬුවමකින් පසු නිදහස් වූ බව දැනගත් රීටා මෙසේ කියා සිටියාය. “මගේ පුතාව මට නැති වුණා. කරුණාකරලා මේ ගැන පොඩ්ඩක් හිතන්න. මේක මහා අසාධාරණයක්.” මේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ අධිකරණය යම් අපරාධයක් සම්බන්ධයෙන් නීතිමය පොත් පත්වල තිබෙන දේවල් ක්‍රියාත්මක කිරීමෙන් හා එම අපරාධය පිළිබඳව පුවත්පත්වල මුල් පිටුවේ පළවීමෙන් බොහෝ කලකට පසු පවා අපරාධයට ගොදුරු වූ තැනැත්තන් තුළ මහත් වේදනාවක් තිබෙන බවයි.
මෙම කාරණය ගැන සැලකිලිමත් වන්නේ අපරාධවල බලපෑමට ලක් වූ අය පමණක් නොවේ. පොදුවේ සෑම කෙනෙක්ම වාගේ මේ ගැන සැලකිලිමත් වෙයි. පුනරුත්ථාපනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිදහස ලැබූ සිරකරුවන් යහපත් පුද්ගලයන් බවට පත් වී සිටිය හැකියි. එසේත් නැත්නම්, සිරගෙදර අද්දුටු දේවල් නිසා ඔවුන් තවත් දරුණු වී සිටිනවා විය හැකියි. ඔවුන් දැන් කෙබඳු පුද්ගලයන්ව සිටියත් ඔවුන් ඔබේ සිතේ සාමයට මෙන්ම ආරක්ෂාවටද ඍජු බලපෑමක් කරයි.
අපරාධකරුවන් බිහි කරන පාසැල්
අපරාධකරුවන්ව යහමඟට ගෙන ඒමට බන්ධනාගාරයේ ක්‍රියා පිළිවෙත සැමවිටම සමත් වී නැත. “සිරකරුවන්ගේ ආත්මගරුත්වය ගොඩනඟනවා වෙනුවට බන්ධනාගාර ගොඩනැඟීම සඳහා විශාල මුදල් කන්දරාවක් වැය කිරීමෙන් බොහෝ අවස්ථාවලදී සිදු වන්නේ අපරාධ තව තවත් වැඩිවීමයි” කියා ටයිම් සඟරාවේ පළ වූ ලිපියක ජිල් ස්මෝලෝ සඳහන් කළාය. මේ තැනැත්තිය සඳහන් කළ දෙය, වසර 14ක් තිස්සේ සිරගතව සිටින පීටර් b පවසන මේ දෙය සමඟ එකඟ වෙයි. ඔහු මෙසේ පවසයි. “මා සමඟ සිටින සිරකරුවන්ගෙන් හුඟදෙනෙක් මෙහාට ආවේ සුළු සොරකම් වැනි පොඩි පොඩි අපරාධ කරලයි. හැබැයි, පස්සේ එයාලා වඩාත් බරපතළ සොරකම් සහ මිනීමැරුම් ඇතුළු දරුණු අපරාධවලට යොමු වුණා. එයාලාට සිරගෙය කියන්නේ යම් රැකියාවක් ගැන ඉගෙනගන්න තියෙන පාසැලක් වගෙයි. එයාලා සිරගෙයින් පිට වෙලා යන්නේ වඩාත් දරුණු අපරාධකරුවන් හැටියටයි.”
අපරාධකරුවන් නිදැල්ලේ හැසිරීම ටික කලකට නවත්වන්න සිරගෙවල්වලට හැකි වුවත්, දිගු කලකට අපරාධ නවත්වන්න ඒවාට හැකි වී නැති බව පෙනෙන්න තිබේ. නගරයේ තිබෙන මුඩුක්කුවල ජීවත් වන තරුණයන් සිරගත වීම සලකන්නේ තමන් වැඩිහිටියන් බවට පත් වී තිබෙන බව අඟවන ලක්ෂණයක් ලෙසයි. මෙසේ සිතන ඔවුන් පසු කාලයේදී දරුණු අපරාධකරුවන් බවට පත් වෙයි. වරින් වර සිරදඬුවම් නියම වීම නිසා තමාගේ ජීවිතයෙන් වැඩි කාලයක් සිරගෙදර ගත කර තිබෙන ලැරී මෙසේ පවසයි. “සිරගෙදර හිටියා කියලා මිනිහෙක් කවදාවත් හොඳ කෙනෙක් වෙන්නේ නැහැ. සිරකරුවන් නිදහස් වෙලා ගියාට පස්සේ ආයෙත් කලින් කරපු අපරාධම කරනවා.”
අමෙරිකා එක්සත් ජනපදයේ සිදු කරන ලද අධ්‍යයනයකට අනුව, දරුණු අපරාධවලින් සියයට 50ක් සිදු කරනු ලබන්නේ අපරාධකරුවන්ගෙන් සියයට 5ක් වැනි සුළු පිරිසක් විසිනි. මෙම සුළු පිරිසට අයත් වන්නේ නිතර නිතර වැරදි කර සිර දඬුවම් ලබන අයයි. “සිරගෙදර ගත කරන කාලය ඵලදායී ලෙස යොදාගැනීමට සිරකරුවන්ට නොහැකි වන විට, පළිගැනීමේ චේතනාව ඔවුන් තුළ පෝෂණය වෙයි. එපමණක්ද නොව, ඔවුන් සිරගෙයින් පිට වී යන්නේ අපරාධ සිදු කිරීමේ අලුත් ක්‍රම හා විධි ඉගෙනගෙනයි” කියා ටයිම් සඟරාවේ සඳහන් විය.
මේ තත්වය අමෙරිකා එක්සත් ජනපදයේ පමණක් දක්නට තිබෙන දෙයක් නොවේ. ග්‍රීසියේ යුධ හමුදාව යටතේ තිබෙන බන්ධනාගාරයක වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන ජෝන් වාටිස් මෙසේ පවසයි. “භයානක හා දරුණු අපරාධකරුවන්ව බිහි කරන්න අපේ සිරගෙවල් හරි දක්ෂයි. සිරකරුවන් හුඟදෙනෙක් නිදහස ලැබීමෙන් පසු සමාජයෙන් පළිගන්න උත්සාහ කරනවා.”
සමාජයට දැරීමට සිදු වන වියදම
සිරගෙවල්වල මතු වී තිබෙන අර්බුදකාරි තත්වය ඔබේ මුදල් පසුම්බියටත් බලපායි. උදාහරණයක් හැටියට අමෙරිකා එක්සත් ජනපදයේ කර තිබෙන ගණන් බැලීම්වලට අනුව එක් සිරකරුවෙක් සඳහා අවුරුද්දකට අමෙරිකානු ඩොලර් 21,000ක් පමණ වැය වන අතර, ඒ බර දැරීමට සිදු වී තිබෙන්නේ බදු ගෙවන මහජනයාටයි. වයස අවුරුදු 60ට වඩා වැඩි සිරකරුවෙකු සඳහා ඒ මුදල මෙන් තුන්ගුණයක් වැය කිරීමට සිදු විය හැක. මේ අතර, අපරාධකරුවන්ට දඬුවම් නියම කරන ආකාරය ගැන
බොහෝ රටවල සිටින මහජනයාගේ විශ්වාසය විවිධ හේතු නිසා බිඳී යෑමට පටන්ගෙන ඇත. නියමිත කාලයටත් කලින් නිදහස ලබන සිරකරුවන් ගැනත් නීතිය පෙරළා කතා කිරීමට දක්ෂ නීතිඥවරුන් නිසා සිර දඬුවම්වලින් ගැළවෙන වැරදිකරුවන් ගැනත්, මහජනයා තුළ බියක් තිබේ. සිරෙන් නිදහස ලබන අපරාධකරුවන්ගෙන් නැවතත් තමන්ට තර්ජනයක් ඇති වෙයි දෝ කියා අපරාධවලට ගොදුරු වූ අය බියෙන් සිටිති. මෙවන් අවස්ථාවලදී ඔවුන්ට නීතියේ පිහිට පැතීමටද නොහැකි විය හැක.මහජනයාගේ දැඩි අවධානයට ලක් වෙයි
මෙම ලිපිය සමඟ තිබෙන කොටුවෙහි සඳහන් වන ආකාරයට සිරකරුවන්ට නොයෙකුත් අමානුෂික සැලකිලිවලට මුහුණ පෑමට සිදු වන නිසා බන්ධනාගාරවලින් සිදු කෙරෙන කාර්යය ගැන මහජනයා කලකිරීමට පත්ව ඇත. සිරගෙදර සිටින කාලය තුළ සිරකරුවෙකුට අයුක්තිසහගත ලෙස සලකනු ලැබුවහොත්, ඔහුව පුනරුත්ථාපනය කිරීම ඉතාමත් අසීරු විය හැක. සුළු ජන පිරිස්වලට අයත් සිරකරුවන් ගණනින් වැඩිවීම මානව හිමිකම් සුරැකීම හා සම්බන්ධ සංවිධාන කිහිපයක අවධානයට යොමු වී තිබේ. ඔවුන්ට එසේ අසාධාරණ ලෙස සැලකීමට හේතුව ඔවුන්ගේ සමේ පාට, කතා කරන භාෂාව හෝ ජීවත් වන ප්‍රදේශයද කියා එම සංවිධාන ප්‍රශ්න කරයි.
අමෙරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ පිහිටි හොම්ස්බර්ග් බන්ධනාගාරයේ සිටි කාලයේදී තමන්ව රසායනික පරීක්ෂණ කටයුතු සඳහා යොදාගත් බව පවසමින්, දැන් ඊට වන්දි මුදලක් ඉල්ලා සිටින පිරිසක් අද්දුටු ඛේදජනක තත්වය ගැන 1998දී පළ වූ එක් වාර්තාවක සඳහන් විය. එක් එක් සිරකරුවාගේ පාද දම් වැලකින් ගැට ගසා, මහජනයාට පෙනෙන සේ ඔවුන්ගෙන් වැඩ ගැනීම අමෙරිකා එක්සත් ජනපදයේ නැවතත් ක්‍රියාත්මක වේ. මේ ගැන ජාත්‍යන්තර අධිකරණයක් වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය මෙසේ සඳහන් කරයි. “එකිනෙකාගේ පාද සම්බන්ධ වන සේ දම්වැලකින් ගැට ගසා සිටින සිරකරුවන්ගෙන් දවසකට පැය 10ක් 12ක් පමණ වැඩ ගනියි. බොහෝ අවස්ථාවලදී ඔවුන්ට වැඩ කරන්න සිදු වන්නේ දැඩි අව් රශ්මිය තිබෙන වේලාවෙයි. වතුර ටිකක් බොන්න ලැබෙන්නේ විනාඩි දෙක තුනක් විතරයි. දහවල් කෑමට පැයක් ලැබෙනවා. . . . ඔවුන්ට තිබෙන එකම වැසිකිළි පහසුකම වන්නේ තාවකාලිකව ආවරණය කරන ලදුව භාවිතයට ගත හැකි පිස් පෝච්චියකි. වැසිකිලියට යන විටවත් ඔවුන්ගේ පාද ලිහන්නේ නැත. මේ වැසිකිලි පෝච්චිය පාවිච්චි කරන්න බැරි වුණොත් සිදු වෙන්නේ අනිත් අයට පෙනුණත් එළිමහනේ ඇණ තියාගන්නයි.” සෑම සිරකරුවෙකුටම එසේ සලකන්නේ නැති බව ඇත්තයි. කෙසේවෙතත්, මෙවන් අකාරුණික ක්‍රියාවල ප්‍රතිඵලය වන්නේ සිරකරුවන් මෙන්ම ඒ දේවල් කරන අය තවත් අමානුෂික වීමයි.
සමාජයට යහපතක් සිදු වේද?
දරුණු අපරාධකරුවන්ව සිරගත කිරීමෙන් තමන්ට ආරක්ෂාවක් ලැබෙනවා කියා බොහෝදෙනෙක් සිතති. තවත් අය සිරගෙවල් තිබෙනවාට කැමති වන්නේ ඊට වඩා වෙනස් හේතු නිසාය. ඕස්ට්‍රේලියාවේ කුඩා නගරයක් වන කූමාහි පිහිටි සිරගෙයක් වසා දැමීමට බලධාරීන් තීරණය කළ අවස්ථාවේදී එම නගරයේ වැසියන්ගෙන් ඊට විරෝධතා එල්ල විය. මීට හේතුව දැඩි ආර්ථික ගැටලුවලට මුහුණ පාමින් සිටි නගර වැසියන්ගේ ජීවනෝපාය රැඳී තිබුණේ එම සිරගෙය මත වීමයි.
මෑතක සිට ඇතැම් ආණ්ඩු තමන්ගේ වියදම් අඩු කරගැනීම සඳහා බන්ධනාගාර පෞද්ගලික අංශයට විකුණන්න පටන්ගෙන තිබේ. නමුත් කනගාටුවට කරුණක් නම්, සිරකරුවන් වැඩි වන විට හා සිර දඬුවම් නියම කරන කාලය දීර්ඝ වන විට, එයින් වාසි ලබන්නේ බන්ධනාගාර නඩත්තු කරන ව්‍යාපාරිකයන්ය. මේ වැඩපිළිවෙළ නිසා යුක්තිය හා වාණිජ්‍ය එකට මිශ්‍රවීමට ඉඩ ඇත.
බන්ධනාගාර ගැන අපි බොහෝ දේවල් සලකා බැලුවත්, තවමත් මූලික ප්‍රශ්නය එලෙසම පවතී. අප අවධානයට ලක් කරන මූලික ප්‍රශ්නය වන්නේ අපරාධකරුවන්ව පුනරුත්ථාපනය කිරීමට සිරගෙවල්වලට හැකිද යන්නයි. මෙම ප්‍රශ්නයට උත්තරය, නොහැක යන්න විය හැකි වුවත්, ඇතැම් සිරකරුවන් යහපත් පුද්ගලයන් වී තිබෙන ආකාරය ගැන දැනගැනීමෙන් ඔබ පුදුම වේවි. ඔවුන් එසේ යහපත් පුද්ගලයන් වී තිබෙන්නේ කෙසේද කියා අපි දැන් සලකා බලමු.
[පාදසටහන්වල]
a මෙහිදී සිරකරුවන් යන වචනය පුරුෂ ලිංගයෙන් සඳහන් කර තිබුණත්, සාමාන්‍යයෙන් එම වචනයෙන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අයත් සිරගත වී සිටින අයව නියෝජන වේ.
b මෙම ලිපියේ සඳහන් ඇතැම් නම් සැබෑ ඒවා නොවේ.
[6, 7වන පිටුවේ කොටුව⁄පින්තූරය]
බන්ධනාගාරවල ඇතුල් පැත්ත
සිරකරුවන්ගේ ගණන අධික වීම: සිරගෙවල් සිරකරුවන්ගෙන් පිරී ඉතිරී යෑම බ්‍රිතාන්‍යයෙහි විශාල ගැටලුවක් වී තිබෙන අතර, ඒ ගැන පුදුම විය යුතු නැත. එරටෙහි මුළු ජනගහනය සමඟ බලන කල 1,00,000කින් 125දෙනෙක් සිරගෙවල්වල සිටිති. මෙය බටහිර යුරෝපයේ සිරකරුවන්ගේ අනුපාතය සමඟ සසඳන කල දෙවන තැන ගනී. බ්‍රසීලයේ සාඕ පාවුලෝ නගරයේ ඉදි කරන ලද විශාලතම සිරගෙය ප්‍රමාණවත් වන්නේ සිරකරුවන් 500දෙනෙකුටය. එහෙත් එහි සිරකරුවන් 6,000ක් සිටියි. රුසියාවේ තිබෙන ඇතැම් සිරකුටි සාදා තිබෙන්නේ සිරකරුවන් 28දෙනෙකුට වුවත්, 90ත් 110ත් අතර ප්‍රමාණයක් ඒවායේ සිටිති. සිරකරුවන්ගේ ගණන වැඩිවීමේ ගැටලුව මොනතරම් උග්‍ර වී තිබෙනවාද කියනවා නම්, සිරකරුවන්ට නිදාගන්න සිදු වී තිබෙන්නේ මාරුවෙන් මාරුවටයි. එක් ආසියානු රටක සිරකරුවන් 13ත් 14ත් අතර ප්‍රමාණයක් සිටින්නේ වර්ග අඩි 30ක ප්‍රමාණයෙන් යුත් කුඩා සිරකුටියකයි. මේ අතර, බටහිර ඕස්ට්‍රේලියාවේ බලධාරීන් සිරගෙවල්වල ඉඩකඩ මදිවීමේ ගැටලුවට විසඳුමක් වශයෙන් සිරකරුවන්ව රඳවා තබාගැනීම සඳහා නැව්වල භාණ්ඩ ප්‍රවාහනය කරන කන්ටේනර් යොදාගෙන තිබේ.
සාහසිකකම්: “සිරගෙවල් ඇතුලේ මත්පැන් හා මත්ද්‍රව්‍ය අලෙවි කිරීම, ලිංගික අපචාර හා ගිනි පොළියට මුදල් ණයට දීම වැනි නීති විරෝධී ව්‍යාපාර පවත්වාගෙන යන කණ්ඩායම්වල තරඟකාරිත්වය නිසා ආරවුල් සිදු වේ.” එහි ප්‍රතිඵලයක් හැටියට දරුණු සිරකරුවන් විසින් අනෙකුත් සිරකරුවන්ව ඝාතනය කරන බවත් ඔවුන්ට වධ හිංසා පමුණුවන බවත් ජර්මනියේ පළ වන ඩෙර් ෂ්පිගල් නමැති පුවත්පතේ වාර්තා වේ. සිරගෙවල්වල ප්‍රචණ්ඩකාරි ක්‍රියා සිදුවීමට ප්‍රධානතම හේතුව එහි සිටින විවිධ ජන කොටස්වලට අයත් සිරකරුවන් අතර පවතින ජනවාර්ගික වෛරයයි. “විවිධ ජාතීන් 72කට අයත් සිරකරුවන් මෙහි සිටිනවා. බෙදීම් හා ගැටීම් නිසා ඇති වන ප්‍රචණ්ඩකාරි ක්‍රියා වැළැක්විය නොහැකියි” කියා ඩෙර් ෂ්පිගල් නමැති පුවත්පතේ සඳහන් වේ. දකුණු අමෙරිකානු රටක පිහිටි බන්ධනාගාරයක නිලධාරීන් පැවසූ පරිදි සිරකරුවන් අතර සිදු වූ විවිධ ගැටුම් නිසා සෑම මාසයකම සිරකරුවන් 12දෙනෙක් පමණ මරුමුවට පත් වූහ. “නමුත් සිරකරුවෝ පවසන පරිදි එම ගණන දෙගුණයක් ”වන බව ලන්ඩනයේ පළ වන ෆයිනැන්ෂල් ටයිම්ස් නමැති පුවත්පතෙහි සඳහන් විය.
ලිංගික අපචාර: ඉතා සැලකිලිමත් ලෙස කරන ලද ගණන් බැලීමකට අනුව අමෙරිකා එක්සත් ජනපදයේ “සෑම වර්ෂයකම සිරගෙවල්වල සිටින පුරුෂයන් 2,90,000කට වඩා වැඩි දෙනෙකු ලිංගික අඩන්තේට්ටම්වලට ලක් වෙයි” කියා, “සිරගෙවල්වල බලහත්කාරකම්” යනුවෙන් නියූ යෝක් ටයිම්ස් සඟරාවේ පළ වූ ලිපියක සඳහන් වේ. එහි තවදුරටත් මෙසේද සඳහන් වේ. “මෙම ලිංගික සාහසිකකම් ඉඳ හිට සිදු වන දෙයක් නොව, සෑම දවසකම වාගේ සිදු වන දෙයකි.” එක් සංවිධානයක් විසින් කළ ගණන් බැලීමකට අනුව අමෙරිකා එක්සත් ජනපදයේ තිබෙන බන්ධනාගාරවල සෑම දවසකම ලිංගික බලහත්කාරකම් 60,000කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු වේ.
සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව: සිරගෙවල්වල ලිංගිකව පැතිරෙන රෝග පිළිබඳව බොහෝ අවස්ථාවලදී වාර්තා වේ. එමෙන්ම රුසියාවේ හා අප්‍රිකානු රටවල සිටින සිරකරුවන් අතර ක්ෂය රෝගය පැතිරී යෑම ගැනත් ලෝකයේ විවිධ රටවල සිටින බොහෝ සිරකරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර, සනීපාරක්ෂක පහසුකම් හා නිසි පෝෂණය යනාදිය නොලැබීම ගැනත් ලොව පුරා මාධ්‍යවල ප්‍රචාරය වේ.
[පින්තූරය]
බ්‍රසීලයේ සාඕ පාවුලෝ නගරයේ සිරකරුවන්ගෙන් පිරී ඉතිරී ගිය සිරගෙයක්
[හිමිකම් විස්තර]
AP Photo/Dario Lopez-Mills
[4, 5වන පිටුවේ පින්තූරය]
ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි උපරිම ආරක්ෂාවක් යොදා තිබෙන ලා සැන්ටෙ සිරගෙය
[හිමිකම් විස්තර]
AP Photo/Francois Mori
[6වන පිටුවේ පින්තූරය]
නිකරගුවාවේ මනාගුවාහි පිහිටි සිරගෙයක සිටින කාන්තාවන් පිරිසක්
[හිමිකම් විස්තර]
AP Photo/Javier Galeano