Skip to content

පටුනට යන්න

ආසන දෙව්මැදුරු සිහි කරවන්නේ දෙවිවද නැත්නම් මිනිසුන්වද?

ආසන දෙව්මැදුරු සිහි කරවන්නේ දෙවිවද නැත්නම් මිනිසුන්වද?

ආසන දෙව්මැදුරු සිහි කරවන්නේ දෙවිවද නැත්නම් මිනිසුන්වද?

ප්‍රංශයේ පිබිදෙව්! ලේඛක විසිනි

මොස්කව් නගරයේ නැවත නැඟිටීමකට සමාන යමක් සිදු වී තිබේ. වර්ෂ 1931දී ස්ටාලින් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර දමන ලද එම නගරයේ තිබූ ගැළවුම්කාර ක්‍රිස්තුස්ගේ ආසන දෙව්මැදුර නැවත ගොඩනඟා ඇත. එහි රන් ආලේපිත අර්ධ ගෝලාකාර වහලවල්වලින් නික්මෙන දීප්තිය රුසියානු අහස් කුස පුරාම විහිදෙයි. ප්‍රංශයේ පැරිසියේ එව්රී නගරයේ වැඩකරුවන් තවත් ආසන දෙව්මැදුරක අවසන් වැඩකටයුතු නිමා කර තිබේ. මෙය 20වන සියවසේ ප්‍රංශයේ ඉදි කළ එකම ආසන දෙව්මැදුරයි. ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්හි පිහිටි අල්මුඩෙනා ආසන දෙව්මැදුර කැප කළේ මීට වසර කිහිපයකට කලිනි. නියූ යෝක් නුවර පිහිටි සාන්ත ජුවාම් ආසන දෙව්මැදුර මේ සියල්ලට නොදෙවෙනි වේ. අවුරුදු 100කටත් වඩා වැඩි කාලයක් තිස්සේ ගොඩනඟමින් තිබෙන එම ආසන දෙව්මැදුර බොහෝවිට හඳුන්වනු ලබන්නේ නිම කර නැති සාන්ත ජුවාම් කියාය. කෙසේවෙතත්, ලෝකයේ තිබෙන විශාලතම ආසන දෙව්මැදුරුවලින් එකක් වන එය, වර්ග මීටර් 11,000ක භූමි ප්‍රමාණයක ඉදි කර ඇත.

ක්‍රිස්තියානි රටවල පිහිටි නගරවලට අයත් භූමි ප්‍රමාණයෙන් වැඩිහරියක් දැවැන්ත ආසන දෙව්මැදුරුවලින් වසා ගෙන තිබේ. ක්‍රිස්තියානි බැතිමතුන් මේවා සලකන්නේ දෙවි කෙරෙහි තිබෙන ඇදහිල්ල කියාපාන ස්මාරක ලෙසය. බැතිමතුන් නොවන අය පවා මේවා උසස් කලාත්මක නිර්මාණයන් ලෙස හෝ වාස්තු විද්‍යාවේ විස්මයන් ගැන අධ්‍යයනය කිරීම සඳහා යොදාගත හැකි ගොඩනැඟිලි ලෙස සලකා ඒවා සම්බන්ධයෙන් උනන්දුවක් දැක්විය හැක. එනමුත්, විශාල මුදල් කන්දරාවක් වැය කර සාදා තිබෙන මෙම සංකීර්ණ ආගමික සිද්ධස්ථාන නිසා මතු දැක්වෙන ප්‍රශ්න මතු වේ. මේවා සෑදීමට මුල් වූ හේතුව කුමක්ද? මේවා ගොඩනැඟුවේ කෙසේද? මේවා ඉදි කිරීමෙන් බලාපොරොත්තු වූයේ කුමක්ද?

ආසන දෙව්මැදුරක් යනු කුමක්ද?

යේසුස්ගේ මරණින් පසු ඔහුගේ ගෝලයන් සභා වශයෙන් සංවිධානය වූ අතර එම සභාවලට අයත් වූ අය පෞද්ගලික නිවෙස්වල එක්රැස් වූහ. (පිලෙමොන් 2) දශක ගණනාවක් පුරා මෙම සභාවන් රැකබලා ගනු ලැබුවේ ආත්මිකව මේරූ “වැඩිමහල්ලන්” විසිනි. (ක්‍රියා 20:17, 28; හෙබ්‍රෙව් 13:17) කෙසේවෙතත්, ප්‍රේරිතවරුන්ගේ අභාවයෙන් පසු, සැබෑ ක්‍රිස්තියානි ධර්මය අත්හැර යෑමක් සිදු විය. (ක්‍රියා 20:29, 30) කල් ගතවීමත් සමඟ වැඩිමහල්ලන්ගෙන් බොහෝදෙනෙක් අන් අයට වඩා තමන්ව උසස් කරගනිමින් සභා ගණනාවක් අධීක්ෂණය කරන බිෂොප්වරුන් ලෙස තමන්ව හඳුන්වා දුන්හ. මෙසේ තමන්ව උසස් කරගැනීමට එරෙහිව යේසුස් කලින් අනතුරු අඟවා තිබිණ. (මතෙව් 23:9-12) මුල් කාලයේදී ක්‍රිස්තියානීන් විසින් යොදාගන්නා ලද “සභාව” යන වචනයට අමතරව ඔවුන් නමස්කාරය සඳහා එක්රැස් වන ස්ථානය හැඳින්වීමට “පල්ලිය” යන වචනයද යොදාගන්නා ලදි. වැඩිකල් යන්න කලින් ඇතැම් බිෂොප්වරු ඔවුන්ගේ තනතුර නියෝජනය කරන පල්ලි සාදාගැනීමට කටයුතු කළහ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බිෂොප්වරයාගේ පල්ලිය ආසන දෙව්මැදුර යන අලුත් නමින් හඳුන්වන ලදි.

මෙම වචනය පැමිණෙන්නේ “ආසනය” යන අර්ථය ගැබ් වී තිබෙන කාතීඩ්‍රා යන ග්‍රීක් වචනයෙනි. මෙසේ, ආසන දෙව්මැදුර බිෂොප්ගේ සිහසුන ලෙස යොදාගත් අතර, ඔහුගේ භූමික ජීවිතයේදී ඔහු සතු බලය එයින් නියෝජනය විය. බිෂොප් තම ආසන දෙව්මැදුරේ සිට ඔහුට අයත් පදවිය පාලනය කළේය.

“ආසන දෙව්මැදුරු යුගය”

නගරවලට බිෂොප්වරුන්ව පත් කිරීම පො.යු. 325දී නීසියා කවුන්සලය විසින් නිල වශයෙන් පිළිගන්නා ලදි. මේ කාලය වන විට රෝම ආණ්ඩුවේ සහය ලැබූ බිෂොප්වරු නිතරම වගේ බලධාරීන්ගෙන් තෑගි වශයෙන් ඉඩම් ලබාගත්තෝය. එපමණක්ද නොව, ඔවුහු වෙනත් ආගමික සිද්ධස්ථාන බොහොමයක පාලන බලයද අත් කරගත්හ. රෝම අධිරාජ්‍යය බිඳී ගියත්, අඛණ්ඩව පැවතුණු ආගමික සංවිධානවලට මධ්‍යතන යුගයේදී මහත් බලතල හිමි විය. එම වකවානුව ප්‍රංශ ජාතික ඉතිහාසඥයෙකු වන ජෝර්ජ් ඩියූබේ විසින් හඳුන්වන පරිදි‘ආසන දෙව්මැදුරු යුගයේ’ ආරම්භය සනිටුහන් කළේය.

හත්වන සියවසේ සිට 14වන සියවස දක්වා කාලය තුළ යුරෝපයේ ජනගහනය තුන්ගුණයකින් වැඩි විය. මෙසේ ජනගහනය අධික ලෙස වර්ධනය වීමෙන් මුලින්ම ප්‍රයෝජන ලැබුවේ නගර නිසා, ඒවා සමෘද්ධිමත් වෙන්න පටන්ගත්තේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බිෂොප්ගේ පාලනය යටතේ පැවති ධනවත් නගරවල සුවිශාල ආසන දෙව්මැදුරු ඉදි කිරීමට හොඳ පසුබිමක් සකස් විය. මෙයට හේතු වූයේ කුමක්ද? මෙම දැවැන්ත ඉදි කිරීමේ ව්‍යාපෘති සාර්ථකව නිම කළ හැකි වූයේ අතිමහත් මුදල් සම්භාරයක් ගලා එන ස්ථානවල පමණක් වීමයි!

ආසන දෙව්මැදුරු ඉදි කිරීම සඳහා හොඳ පසුබිමක් සකස් වීමට තවත් හේතුවක් වූයේ, බහුතරයක් කන්‍යා මරියාට හා පිළිමවලට වැඳුම් පිදුම් කිරීමයි. මෙය පෙර කවරදාටත් වඩා වර්ධනය වෙන්න පටන්ගත්තේ 11වන හා 12වන සියවස්වලදීය. තම ආසන දෙව්මැදුරුවල ප්‍රසිද්ධිය ඉහළ නංවාගැනීමේ අරමුණින් බිෂොප්වරු එම නමස්කාරයේ වර්ධනයට අතහිත දුන්හ. මේ කාලයේ ප්‍රංශයේ තිබූ ආසන දෙව්මැදුරුවලට නෝත්‍ර ඩාම් නොහොත් අපේ ස්වාමිදුව යන පදවි නාමයද දෙන ලදි. “ඇගේ නමින් කැප කළ දේවස්ථානයක් හෝ ආසන දෙව්මැදුරක් නොතිබූ නගරයක් නැති තරම්” කියා තෙඕ නමැති කතෝලික විශ්වකෝෂයේ සඳහන් වේ. පැරිසියේ පිහිටි සැන්එටියැන් ආසන දෙව්මැදුර නෝත්‍ර ඩාම්ට කැප කර තිබේ. ප්‍රංශයේ ෂාත්‍රහි පිහිටි නෝත්‍ර ඩාම් ආසන දෙව්මැදුර උතුරු යුරෝපයේ ප්‍රධානතම ආගමික සිද්ධස්ථානය බවට පත් විය. “ආසන දෙව්මැදුරු තැනූ පුද්ගලයන්ගේ ජීවිතවලට හා සිතුවිලිවලට බලපෑම් කිරීමට මරියා තරම් කිසිම පුද්ගලයෙක් සමත් වී නැත. අඩුම තරමින් ක්‍රිස්තුස්වත් සමත් වී නැත” කියා සුවිශාල ආසන දෙව්මැදුරු ගැන විස්තර කරන පොතක සඳහන් වේ.

“අපි සාදන්න යන ආසන දෙව්මැදුර මොනතරම් විශාලද කියනවා නම්, . . . ”

මේ ගොඩනැඟිලිවලින් බොහොමයක් මෙතරම් විශාල වීමට හේතුව කුමක්ද? හතරවන සියවස තරම් ඈත අතීතයේ ජර්මනියේ ට්‍රියර් නගරයේද ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේද ඉදි කළ ආසන දෙව්මැදුරු විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇත. එහෙත් එම භූමි ප්‍රදේශය සමඟ සසඳන කළ ඒවාට පැමිණෙන බැතිමතුන් සංඛ්‍යාව සුළුය. එකළොස්වන සියවසේදී ඉදි කළ ජර්මනියේ ස්ප්යියර් නගරයේ පිහිටි ආසන දෙව්මැදුර මොනතරම් විශාලද කියනවා නම්, නගරයේ මුළු ජනගහනයට වඩා වැඩි පිරිසකට එහි රැස්විය හැක. මේ ගැන ආසන දෙව්මැදුරු පිළිබඳ පොතක මෙසේ සඳහන් වේ. “[ආසන දෙව්මැදුරුවල] විශාලත්වයෙන් හා වැය කර තිබෙන අධික මුදල්වලින් හෙළි වන්නේ ඒවා ඉදි කිරීමට ආගමික නොවන හේතු රැසක් මුල් වී තිබෙන බවයි.” එම අරමුණු අතර “ගොඩනැඟිල්ල ඉදි කිරීමට අනුග්‍රහය දැක්වූ බිෂොප්ගේ හෝ එහි ප්‍රධාන දේවගැතිවරයාගේ අභිමානය විදහා දැක්වීමද” වේ.

දොළොස්වන හා දහතුන්වන සියවස්වලදී ආසන දෙව්මැදුරුවල සාමාන්‍ය උස මීටර් 100ක් වූ අතර, ඒවා සාදන අයගේ අරමුණ වූයේ උසට සමාන දිගකින් ඒවා ඉදි කිරීමය. මීටර් 169ක උසකින් යුත් එංගලන්තයේ වින්චෙස්ටර්හි පිහිටි ආසන දෙව්මැදුර හා මීටර් 145ක උසකින් යුත් ඉතාලියේ මිලාන් නුවර පිහිටි ආසන දෙව්මැදුර මේ අතර කැපීපෙනෙයි. “අපි සාදන්න යන ආසන දෙව්මැදුර මොනතරම් විශාලද කියනවා නම්, ඒක සම්පූර්ණ කළාට පසුව ඒක දකින අය සිතයි අපට පිස්සු කියාලා” යැයි 1402දී සෙවියාහි පල්ලියේ සිටින ස්පාඤ්ඤ ජාතික නිලධාරියෙක් පැවසුවේය. සෙවියාහි පිහිටි ආසන දෙව්මැදුර ලෝකයේ දෙවන විශාලතම ආසන දෙව්මැදුර ලෙස සැලකෙයි. එහි අර්ධ කවාකාර වහලය මීටර් 56ක් උසය. ප්‍රංශයේ ස්ට්‍රෙස්බර්ග්හි පිහිටි ආසන දෙව්මැදුරේ කොත මීටර් 142ක් උසය. එය තට්ටු 40කින් යුත් ගොඩනැඟිල්ලක උසට සමානය. දහනවවන සියවසේදී ඉදි කළ ජර්මනියේ උල්ම්හි පිහිටි ගොතික් මියූනෙස්ටර් ආසන දෙව්මැදුරේ කොත මීටර් 161ක් උසය. මෙය ගල්වලින් තනන ලද ලෝකයේ උසම කොත වේ. “මෙතරම් විශාල මුදල් කන්දරාවක් යෙදවීමට අනුබල දෙන කිසිම ආගමික නියමයක් නැත” කියා ඉතිහාසඥයෙකු වන පෙයර් ඩූ කොලොන්බ්යා අවධාරණයෙන් යුතුව පවසයි.

දොළොස්වන හා දහතුන්වන සියවස්වලදී ආසන දෙව්මැදුරු තැනීමට බලපෑ ‘ආගමික නොවන හේතු’ අතර, නගරවල පැවති තරඟකාරිත්වයද විය. එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකාහි සඳහන් වන පරිදි, “උසම ආසන දෙව්මැදුර සෑදීමෙන් තමන්ගේ නගරයට කීර්තියක් අත් කරගැනීමේ තරඟයක් නගර අතර පැවතිණ.” නගරසභිකයන්, නගරවැසියන් හා නගරයේ ව්‍යාපාරිකයන් දෙව්මැදුරු සැලකුවේ තමන්ගේ නගරයේ අනන්‍යතාව කියාපාන ලක්ෂණයක් ලෙසය.

එදත් වියදම් අධිකයි, අදත් වියදම් අධිකයි

එක් ලේඛකයෙක් ආසන දෙව්මැදුරු ඉදි කිරීම සඳහා මුදල් යෙදවීම, “සිදුරක් සහිත කලයකට වතුර දැමීම” හා සමාන කළේය. එසේ නම්, නඩත්තු කිරීමට පවා අද විශාල මුදලක් වැය වන ආසන දෙව්මැදුරු සෑදීමට අතීතයේදී මුදල් ලැබුණේ කෙසේද? ඇතැම් අවස්ථාවලදී පැරිසියේ විසූ මොරිස් ඩ සූලි වැනි බිෂොප්වරුන් විසින් ඔවුන්ගේ පෞද්ගලික ධනය ඒ සඳහා ලබා දෙන ලදි. තවත් අවස්ථාවලදී පළමුවන ජේම්ස් රජු වැනි පාලකයන් විසින් වියදම් පියවන ලදි. කෙසේවෙතත්, පොදුවේ ගත් කළ ආසන දෙව්මැදුරු ඉදි කර, ඒවා පවත්වාගෙන යෑම සිදු කළේ එම දෙව්මැදුරට අයත් බලප්‍රදේශයේ සිටි ජනයාගෙන් ලැබුණු මුදල්වලිනි. මෙයට එම ප්‍රදේශයේ දේපොළවලින් අය කළ බදු මුදල් හා වැඩවසම් ක්‍රමය යටතේ ජනයාගෙන් අය කළ බදු මුදල්ද අයත් විය. ඉතාලියේ බලොන්යාහි සිටි බිෂොප්, වතු 2000ක අයිතිකරුවෙකු විය! එම වතුවලින් ලැබූ ආදායමට අමතරව, පල්ලියේ සාමාජිකයන්ගෙන් එකතු කරගනු ලැබූ මුදල්ද, දඬුවම් ලිහිල් කිරීමෙන් හා පාපවලට දඬුවම් වශයෙන් අය කළ මුදල්ද විය. ප්‍රංශයේ රූආන්හි වාසය කළ අය පාස්කු සමය තුළ නිරාහාරව සිටියදී කිරිවලින් සාදන ලද චීස් හා බටර් වැනි ආහාර ද්‍රව්‍ය අනුභව කිරීමට අවසර ගැනීම සඳහා එම නගරයේ පිහිටි ආසන දෙව්මැදුරේ බටර් කොත කියා හැඳින්වූ කොතට මුදල් පරිත්‍යාග කරන ලදි.

සමහරු අසාමාන්‍ය ප්‍රමාණවලින් පරිත්‍යාග කළහ. මෙසේ පරිත්‍යාග කළ පුද්ගලයන්ට ගරු කිරීමක් හැටියට ඔවුන්ගේ රූප පල්ලියේ ජනෙල්වල තිබෙන වර්ණ වීදුරු මත පින්තාරු කර ආරක්ෂා කරන ලදි. පෙනෙන ආකාරයට, පරිත්‍යාග කිරීම්වලදී පුද්ගලයාව සඳහන් නොකිරීමේ ක්‍රිස්තියානි ප්‍රතිපත්තිය මෙහිදී අමතක කර තිබිණ. (මතෙව් 6:2) දැරීමට සිදු වූ වියදම බොහෝ අවස්ථාවලදී ඇස්තමේන්තු කළ වියදමට වඩා වැඩි වූ නිසා වැඩ නිම කිරීම සඳහා තව තවත් මුදල් අවශ්‍ය විය. මෙසේ විශාල මුදල් කන්දරාවක් අවශ්‍ය වූ නිසා වංක ලෙස හා අයුතු ක්‍රමවලින් මුදල් ලබාගැනීමට පෙලඹීම ගැන පුදුම විය යුතු නැත. උදාහරණයක් හැටියට, පල්ලියේ ඉගැන්වීම්වලට විරුද්ධව අදහස් ප්‍රකාශ කළ අයගේ දේපොළ බොහෝ අවස්ථාවලදී බලහත්කාරයෙන් අත්පත් කරගන්නා ලදි. කැතාරිවරු කියා හැඳින්වූ පල්ලියේ ඉගැන්වීම්වලට විරුද්ධ වූ කණ්ඩායමට අයත් අයගේ දේපොළ කොල්ලකෑමෙන් පල්ලි කිහිපයක් සෑදීමට අවශ්‍ය මුදල් සොයාගත හැකි විය. a

තමන්ට මුදල් ගලා එන මාර්ග අඛණ්ඩව පවත්වාගැනීමට පල්ලිය නිතරම දැඩි වෑයමක් දැරූ බව අමුතුවෙන් කිව යුතු නැත. ඇතැම් ඉතිහාසඥයන් පවසා තිබෙන පරිදි මෙවන් දැවැන්ත ගොඩනැඟිලි ඉදි කිරීමට හවුල් වූ අතිවිශාල පිරිසෙන් බහුතරයක් සිය කැමැත්තෙන්ම ඉදිරිපත් වූ අය නොවූහ. ඉතිහාසඥ හෙන්රි ක්‍රෞස් මෙසේ සඳහන් කරයි. “මධ්‍යකාලීන යුගයේ විසූ ජනයා ආගමට ඉමහත් ලැදියාවක් දැක්වුවත්, දේවස්ථාන සෑදීම ප්‍රමුඛතාවක් දිය යුතු කාර්යයක් ලෙස සැලකුවේ නැත.” විශාල මුදල් කන්දරාවක් වැය කර සාදා තිබෙන දේවස්ථාන ඉතිහාසඥයන් බොහෝදෙනෙකුගේ විවේචනයට ලක් වී තිබේ. ආසන දෙව්මැදුරු ගැන තොරතුරු ඇතුළත් එක් පොතක මෙසේ සඳහන් වේ. “පල්ලිය විසින් විශාල දෙව්මැදුරු සෑදීමට වැය කළ මුදල්වලින් බොහෝදෙනෙකුගේ කුසගින්න නිවන්න තිබුණා. . . . එහෙම නැත්නම් රෝහල් හා පාසැල් නඩත්තු කිරීම සඳහා එම මුදල් යොදවන්න තිබුණා. මේ දේවල් සලකා බැලීමෙන් පෙනී යන්නේ ආසන දෙව්මැදුරු ඉදි කිරීම සඳහා යෙදවූ මුදල්වලින් සියදහස් ගණනකගේ ජීවිත රැකගැනීමට හැකියාව තිබූ බවයි.”

ඒවා සෑදුවේ කෙසේද?

ආසන දෙව්මැදුරු මිනිසා සතු ඉදි කිරීමේ කුසලතාවලට සාක්ෂියකි. පැරණි තාක්ෂණය යොදාගනිමින් මෙවැනි දැවැන්ත ගොඩනැඟිලි ඉදි කිරීම සැබවින්ම විස්මය දනවන්නකි. මුලින්ම කළේ ගොඩනැඟිල්ලේ සැලැස්ම පිළියෙළ කරගැනීමයි. ඉදි කිරීම සඳහා යොදාගනු ලබන ගල් එකම ප්‍රමාණයෙන් සෑදීමට හා එම ගල් මත අඳින ලද අලංකාර රූපවල සමානතාව රැකගැනීම සඳහා අච්චු භාවිත කරන ලදි. ගොඩනැඟිල්ලේ තිබිය යුතු නියමිත ස්ථානයේ මෙම ගල් තැබීම සඳහා ඒවා හඳුනාගැනීමට පරෙස්සමින් ඒවා මත විශේෂ ලකුණක් දමන ලදි. ගොඩනැඟිලි ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම ඉතාමත් සෙමින් සිදු වූ අතර, ඒ සඳහා අධික මුදලක්ද වැය විය. කෙසේවෙතත්, ප්‍රංශ ඉතිහාසඥයෙකු වන ෂොන් ගැන්පල් සඳහන් කළ පරිදි, ‘1050 සිට 1350 දක්වා කාලය අතරතුර ප්‍රංශයේ සාදන ලද එම ගල් ප්‍රමාණය පුරාණ මිසරයේ සාදන ලද ගල් ප්‍රමාණයට වඩා වැඩිය.’

වැඩ බිමට ගෙනෙන ලද ගොඩනැඟිලි ද්‍රව්‍ය එවකට පැවති ශිල්ප ක්‍රම යොදාගනිමින් ඉහළට එසවූ ආකාරය පුදුමසහගතය. ගොඩනැඟීමට හවුල් වූ පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් විශේෂ කුසලතාවක් වර්ධනය කරගෙන තිබිණ. මිනිසුන් විසින් ක්‍රියාත්මක කළ බොලොක්ක ඒ සඳහා යොදාගන්නා ලදි. අද ඉන්ජිනේරුවන් විසින් යොදාගනු ලබන ගණිතමය සූත්‍ර ඒ කාලයේ සිටි අය දැන සිටියේ නැත. ඉදි කරන්නන්ට පිහිට වූයේ ඔවුන් සතු සහජ හැකියාව හා අද්දැකීම් පමණි. මේ නිසා කනගාටුදායක දේවල් රැසක් සිදු වීම ගැන පුදුම විය යුතු නැත. උදාහරණයක් හැටියට, 1284දී ප්‍රංශයේ බෝවේ ආසන දෙව්මැදුරේ අර්ධ කවාකාර වහලවල් අතිවිශාල වීම නිසා කඩා වැටිණ. කෙසේවෙතත්, ආරුක්කු කයියෝරුව හා අර්ධ කවාකාර වහලය සෑදීම සඳහා අච්චු වැනි දේවල් යොදාගනිමින් අලුත් ක්‍රම අත්හදා බැලීමෙන් වඩාත් දියුණු ක්‍රම සොයාගැනීමට පසුව හැකි විය.

ගොඩනැඟීමේ වැඩ අවුරුදු 40 සිට අවුරුදු සිය ගණනක් දක්වා සිදු විණ. එංගලන්තයේ සොල්ස්බෙරි ආසන දෙව්මැදුරු තැනීමට අවුරුදු 40ක් ගත වූ අතර, ඉක්මනින්ම තනන ලද ආසන දෙව්මැදුර එය වේ. ප්‍රංශයේ බෝවේ හා ස්ට්‍රාස්බර්ග් වැනි ඇතැම් ආසන දෙව්මැදුරු ගොඩනැඟීම කවදාවත් අවසන් කර නැත.

“ප්‍රමුඛතාවල වරදක්”

‘විශාල මුදල් කන්දරාවක් වැය කර සාදා තිබෙන මේ අලංකාර ගොඩනැඟිලි,’ සාදන්න පටන්ගත් කාලයේ සිටම නොයෙකුත් මතභේදවලට හේතු වූ බව තුන්වන ඔනෝරියස් පාප් සඳහන් කළේය. මේ ගොඩනැඟිලි ඉදි කිරීම හා එයට සිතාගත නොහැකි තරම් විශාල මුදලක් වැය කිරීම ගැන විරෝධය පළ කරන හඬක් පල්ලිය තුළින්ම ඇති විය. දහතුන්වන සියවසේ පැරිසියේ නෝත්‍ර ඩාම් ආසන දෙව්මැදුරේ බිෂොප් ලෙස සේවය කළ පියෙර් ලෙ ෂොන්ත්‍ර මෙසේ පැවසුවේය. “මේ පවතින ක්‍රමයට අනුව පල්ලි සෑදීම පාපයකි.”

එව්රී ආසන දෙව්මැදුර අද පවා දැඩි විවේචනයට ලක් වෙයි. ල මොන්ඩ් නමැති පුවත්පතේ සඳහන් වූ පරිදි “ප්‍රමුඛතාවල වරදක්” සිදු වී ඇති බව ආසන දෙව්මැදුරු මගින් හෙළි වේ. එම පුවත්පතේ තවදුරටත් මෙසේ සඳහන් විය. පල්ලි විසින් “මුදල් වැය කළ යුතුව තිබුණේ ගොඩනැඟිලි හා ඒවායේ සැරසිලි සඳහා නොව මහජනයාට ප්‍රයෝජන ගෙන දෙන දේවල් හා ශුභාරංචිය ප්‍රචාරය කිරීම සඳහා බව බොහෝදෙනෙකුගේ පිළිගැනීමයි.”

මේ අතිවිශාල ගොඩනැඟිලි සෑදීමට හවුල් වූ අය, එසේ කළේ දෙවි කෙරෙහි තිබෙන අවංක ප්‍රේමය නිසා බව නිසැකයි. ඔවුන්ට ‘දෙවි උදෙසා ජ්වලිතකමක්’ තිබූ බව පැහැදිලියි. නමුත් එය ‘[නිවැරදි, NW] දැනුමක් ඇතුව නොවේ.’ (රෝම 10:2) නමස්කාරය සඳහා එක්රැස් වීමට ඉතා සංකීර්ණ විසිතුරු ගොඩනැඟිලි සාදන්න කියා යේසුස් කිසිදාක ඔහුගේ අනුගාමිකයන්ට පැවසුවේ නැත. ඔහු සැබෑ නමස්කාරකයන්ව උනන්දු කළේ ‘ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කරන්න’ කියාය. (යොහන් 4:21-24) ක්‍රිස්තියානි ආගම්වලට අයත් ආසන දෙව්මැදුරු මොනතරම් විශාල වුවත්, අලංකාර වුවත්, ඒවා යේසුස් පැවසූ ඉහත වදන් සමඟ එකඟ නොවන බව පැහැදිලිය. බොහෝදුරට එම ගොඩනැඟිලිවලින් සිහි කරවන්නේ ඒවා සෑදු මිනිසුන්වයි. ඒවායින් දෙවිව පැසසුමට ලක් නොවේ.

[පාදසටහන]

a යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන 1995 සැප්තැම්බර් 1 මුරටැඹ කලාපයේ පිටු 27-30හි සඳහන් “කැතාරිවරු—ඔවුහු ක්‍රිස්තියානි ප්‍රාණපරිත්‍යාගිකයෝ වූවෝද?” නමැති ලිපිය බලන්න.

[29වන පිටුවේ පින්තූරය]

ස්පාඤ්ඤයේ සැන්ටියාගෝ ඩෙ කොම්පොස්ටෙලා ආසන දෙව්මැදුර

[31වන පිටුවේ පින්තූරය]

ඉහළ කෙළවරේ: ප්‍රංශයේ ෂාට්හි නෝත්‍ර ඩාම් ආසන දෙව්මැදුරේ ජනේලයක වර්ණවත් වීදුරුවලින් කර තිබෙන රෝස කැටයමක්

ඉහළ: ගල්වලින් කැටයම් කපන්නෙකු පිළිබඳ විස්තර, නෝත්‍ර ඩාම්, පැරිස්

[31වන පිටුවේ පින්තූරය]

දොළොස්වන සියවසේ ඉදි කළ පැරිසියේ නෝත්‍ර ඩාම් ආසන දෙව්මැදුර

[31වන පිටුවේ පින්තූරය]

ප්‍රංශයේ අම්යාහි පිහිටි නෝත්‍ර ඩාම් ආසන දෙව්මැදුරේ ඇතුළත. ප්‍රංශයේ උසම ආගමික ගොඩනැඟිල්ල මෙයයි. එහි අර්ධ කවාකාර වහලවල උස මීටර් 43කි.