මගේ ආච්චිටයි සීයාටයි සමීප වෙන්නේ කොහොමද?
යෞවන අය අසති . . .
මගේ ආච්චිටයි සීයාටයි සමීප වෙන්නේ කොහොමද?
“මගේ සීයලා දෙන්නම මට හොඳ හොඳ කතන්දර කියලා දෙනවා. එයාලා කියලා දෙන කතන්දර මට මාවම තේරුම්ගන්න උදව්වක් වෙනවා”—ජොෂුවා.
පරම්පරා කිහිපයක පවුල් සාමාජිකයන් එකම නිවසේ එකට විසූ කාලයක් තිබුණා. සාමාන්‍යයෙන් එදා සිටි අයගේ ජීවන රටාවට ඇතුළත් වූ එක් අංගයකි, ආච්චිලා සීයලා සමඟ සමීපව ඇසුරු කිරීම.
අදදින සිටින යෞවන අයට තම ආච්චිලා සීයලාගෙන් වෙන්වීමට එක් හේතුවක් වී තිබෙන්නේ ඔවුන් දුර බැහැර ප්‍රදේශවල ජීවත් වීමයි. ඊට අමතරව, දික්කසාදය හේතුවෙන් පවුල් විශාල සංඛ්‍යාවක් කැඩී යාමත් මෙයට තවත් බාධාවක් වී තිබෙනවා. එක් පුවත්පතක (The Toronto Star) මෙසේ සඳහන් කරනවා. “දික්කසාදය නිසා ආච්චිලා සීයලාත් පීඩා විඳිනවා. එයාලා ආදරය කරන මිනිබිරියන් මුනුබුරන් දැකගන්න ලැබෙන අවස්ථාව මේ නිසා එයාලට අහිමි වෙනවා.” අනෙක් හේතුව නම් බොහෝ තරුණ අයට වයසක අය ගැන නිෂේධාත්මක ආකල්පයක් තිබීමයි. ආච්චිලා සීයලාගේ අදහස් උදහස් අද කාලයට ගැළපෙන්නේ නැහැ කියා ඔවුන් සිතයි. මේ නිසා යෞවනයන් බොහෝදෙනෙකුට ආච්චිලා සීයලා සමඟ ඇසුරු කිරීමේ ප්‍රස්තාව තිබුණත් එය භාග්‍යයක් ලෙස ඔවුන් නොසලකයි.
ඇත්තෙන්ම මෙය කනගාටුවට කාරණයක්. මෙම ලිපි මාලාවේ පෙර ලිපියක පැවසුවාක් මෙන් ආච්චිලා සීයලා සමඟ කරන ඇසුර ප්‍රයෝජනදායක මෙන්ම ප්‍රීතිදායක එකකි. ඔවුන් දේවභයැති අය නම් ඔවුන් සමඟ ඇසුරු කිරීමට ලැබීමේ වටිනාකම කියා නිම කරන්න බැහැ. a නහඹර වියේ පසුවන රෙබෙකා ඇගේ ආච්චියි සීයායි ගැන මෙසේ පවසනවා. “අපිට එකට එකතු වෙලා ඕන වෙලාවක හිනා වෙන්න පුළුවන්.” පීටර් නමැති තරුණයාත් එවැනිම අදහසක් ඉදිරිපත් කරනවා. “මට හිතෙන දේවල් ගැන වගේම මගේ සැලසුම් ගැනත් එයාලා එක්ක කියන්න මට කිසිම භයක් දැනෙන්නේ නැහැ. සමහරක් අවස්ථාවල මගේ අම්මලා තාත්තලා එක්ක ඉන්නවාට වඩා එයාලත් එක්ක ඉන්නැද්දී මට පහසුවක් දැනෙනවා. මට හිතෙනවා මට ඕන දෙයක් එයාලත් එක්ක කියන්න පුළුවන් කියලා.”
ඔබ ඔබේ ආච්චිලා සීයලාගේ ඇසුර භුක්ති විඳිනවාද? සමහරවිට ඔබ කුඩා කලදී ඔවුන්ට ළංව සිටින්න ඇති. නමුත් දැන් ඔබ නහඹර වියේ සිටින නිසා ඔවුන් සමඟ එතරම් කුලුපග සබඳතාවක් ඇති කරගැනීමට උනන්දු නොවනවා වෙන්න ඇති. ඔබේ ප්රශ්නය එය නම් බයිබලයේ 2 කොරින්ති 6:11-13හි ඇති උපදෙස අනුගමනය කිරීමට ප්රයත්නයක් දරන්න. එහි පවසන්නේ ප්‍රේමය පෙන්වීම සඳහා “සිතින් විශාල” වෙන්න කියායි. නමුත් ප්රශ්නය වෙන්නේ මේ දේ කරන්නේ කෙසේද යන්නයි.
ඔබ මූලිකත්වය ගන්න
මුලික පියවර ගැනීම ‘සිතින් විශාල වීමට’ ඇතුළත් වෙනවා. ඒ වගේම බයිබලයේ පවසන්නේ, “කරුණාව පෙන්වන්ට නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑකරන අයගෙන් එය වලක්වානොගන්න” කියායි. (හිතෝපදේශ 3:27) ඔබ කුඩා අවධියේ සිටින විට ආච්චිලා සීයලා සමඟ ඇති ඔබේ ඇසුර ශක්තිමත් කරගැනීමට ඔබට ‘බලයක්’ නොතිබෙන්න ඇති. නමුත් දැන් ඔබ යෞවනයෙක් නිසා ඒ සඳහා කළ හැකි දේවල් බොහෝමයක් තිබෙන බව ඔබට පෙනේවි.
ඔබේ ආච්චිලා සීයලා ළඟපාතක ජීවත් වෙනවා නම් ඔවුන්ව නිතිපතා බැහැදකින්න යෑමට ඔබට හැකියි. මෙය ටිකක් කම්මැළි හිතෙන දෙයක් කියා ඔබට සිතෙන්න පුළුවන්. නමුත් ඔබ මූලිකත්වය ගෙන කතා බහ ආරම්භ කරනවා නම් ඔබට කම්මැළිකමක් දැනෙන එකක් නැහැ. නමුත් ප්රශ්නය වන්නේ ඔබ කතා කරන්නේ මොනවාද යන්නයි. මෙහිදී පිලිප්පි 2:4හි සඳහන් බයිබල් උපදේශය ඔබට උපකාරවත් වෙයි. එහි අපට පවසන්නේ ‘තමන්ගේ කාරණා පමණක් නොව අනුන්ගේ කාරණාත් බලන්න’ කියායි. වෙනත් විදිහකින් කියනවා නම් ඔබේ ආච්චිලා සීයලා ගැන සැලකිලිමත් වන්න. ඔවුන් උනන්දුවක් දක්වන දේවල් ගැන කතා කිරීමට ඔවුන්ට අවස්ථාවක් ලබා දෙන්න. ඔවුන්ගේ සැප දුක් විමසන්න. ඔවුන් සාමාන්‍යයෙන් කරමින් සිටින දේවල් මොනවාද කියා සොයා බලන්න. සමහරවිට ඔවුන් අතීතයේ දේවල් ගැන කතා කරන්න ආස ඇති. ඔවුන්ගේ තරුණ කාලය කොයි වගේ එකක්ද කියා අසන්න ඔබට පුළුවන්. ඔබේ අම්මා හෝ තාත්තා තරුණ කාලයේදී කොයි වගේද කියා අසන්න. ඔබේ ආච්චිලා සීයලා ක්‍රිස්තියානීන් නම් ඔවුන් බයිබල් සත්‍යයට ආකර්ෂණය වුණේ කොහොමද කියා අසා දැනගන්න.
පවුලේ ඉතිහාසය ගැන මනා තොරතුරු රැසක් ආච්චිලා සීයලා ළඟ තියෙනවා. එම අතීත සැමරුම්වලින් ඔබට සතුටක් ගෙන දීමට ඔවුන් ආශාවක් දක්වනවා. මෙයින් ඔබට විනෝදයක් ලැබිය හැකියි. ඔවුන්ගෙන් යම් දේවල් පිළිබඳව විමසන්න. සමහරවිට ඔවුන් පවසන දේවල් සටහන් කරගන්න හෝ පටිගත කරන්න හෝ වීඩියෝ කරන්න ඔබට පුළුවන්. ඔවුන්ගෙන් ඇසිය යුත්තේ කුමන ප්‍රශ්නද කියා ඔබ හරි හැටි නොදන්නවා නම් ඇසිය යුතු යෝග්‍ය ප්‍රශ්න මොනවාද කියා ඔබේ දෙමාපියන් ඔබට කියා දේවි. මෙසේ කිරීමෙන් ඔබට ඔබේ ආච්චිලා සීයලාව සහ ඔබේ දෙමාපියන්ව හොඳින් තේරුම්ගැනීමට හැකි වේවි. ඒ විතරක් නොවෙයි ඔබට ඔබවම හරිහැටි තේරුම්ගන්නත් හැකි වේවි. ජොෂුවා මෙසේ තම අදහස් දක්වනවා. “මගේ සීයලා දෙන්නම මට හොඳ හොඳ කතන්දර කියලා දෙනවා. එයාලා කියලා දෙන කතන්දර මට මාවම තේරුම්ගන්න උදව්වක් වෙනවා.”
ඒවගේම ඔබේ ආච්චිලා සීයලා ඔබේ ජීවිතය ගැන සහ ඔබ කරන දේවල් ගැන සැලකිල්ලක් දක්වන බව අමතක කරන්න එපා. ඔබ කරන දේවල් ගැන ඔවුන්ට කියන විට ඔබ කරන්නේ, ඔවුන් ඔබගේ ජීවිතයේ සතුටට දායක වන වැදගත් පුද්ගලයන් කියා පෙන්වීමයි. මෙමගින් ඔබ නිතැතින්ම ඔවුන්ට ළං වෙනවා. ප්‍රංශයේ වෙසෙන ඊගෝර් නමැති යෞවනයා මෙසේ පවසනවා. “මමයි මගේ ආච්චියි හරි කැමතියි අවන්හලකට වෙලා තේ බිබී අපි දෙන්නා කරමින් හිටිය දේවල් ගැන කතා කරන්න.”
අපිට එකතු වෙලා මොනවාද කරන්න පුළුවන්?
එකට එකතු වෙලා කතා බහේ යෙදෙන්න පටන්ගත්තට පස්සේ ටිකෙන් ටික යම් දේවල් එකට කරන්න ඔබට පුළුවන්. ටිකක් කල්පනා කළොත් ඔබට ඔවුන් සමඟ එකතු වී කළ නොහැකි දෙයක් නැති තරම් බව ඔබට තේරුම් යයි. තරුණියක් වන ඩාරා ඇගේ අද්දැකීම් මෙසේ විස්තර කරනවා. “මගේ ආච්චිලා දෙන්නම මට උයන්න, ටින්වල කෑම අසුරන්න, පැළ හිටවන්න, වත්තේ වැඩ කරන්න උගන්වනවා.” එමී ඇගේ පවුලේ අය සූදානම් කරන සාදයන්ට සහ විනෝද ගමන්වලට තමන්ගේ ආච්චිලා සීයලාවත් එකතු කරගන්නවා. සමහරක් ආච්චිලා සීයලාට ඔවුන්ගේ වයස අනුව හොඳට දුවලා පැනලා වැඩපොළ කරන්න පුළුවන්. එරන් තම ආච්චිත් සමඟ ගොල්ෆ් ක්‍රීඩා කරනවා. ජොෂුවා තම සීයා සමඟ මාළු ඇල්ලීමෙහි සහ නිවසේ නොයෙකුත් වැඩ රාජකාරීන් කිරීමෙහි හවුල් වෙනවා.
ඔබේ ආච්චිලා සීයලා යෙහෝවාට නමස්කාර කරන අය නම් යෙහෝවාට කරන නමස්කාරයේ එක් අංගයක් වන අන් අයට බයිබලය ගැන ඉගැන්වීමෙහි ඔවුන් සමඟ හවුල් වීම සන්තෝෂවත් දෙයක් විය හැකියි. ඊගෝර් තම ආච්චිත් සමඟ පෝලන්තයේ තිබුණ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර එක්රැස්වීමකට සහභාගි වුණා. “ඒක අපිට අමතක නොවන අද්දැකීමක්. අපි තවමත් ඒ ගැන කතා කරනවා” කියා ඔහු පවසනවා. හැම ආච්චිලා සීයලාටම එහේ මෙහේ යන්න බැරි බව ඇත්ත. නමුත් ඔබ ඔවුන් සමඟ කාලය ගත කිරීම වටිනවා.
ආත්මික උරුමයක්
බයිබල් කාලවල සිටි ලොයිස් තම මුනුබුරා වූ තිමෝතිට දෙවිගේ සේවකයෙක් වීම සඳහා කදිම උපකාරයක් ලබා දුන්නා. (2 තිමෝති 1:5) අදදිනත් බොහෝ ක්‍රිස්තියානි ආච්චිලා සීයලා වටිනා මෙහෙවරක් ඉටු කරනවා. ජොෂුවා තම ආච්චිලා සීයලා ගැන මෙසේ පවසනවා. “එයාලා යෙහෝවාට සේවය කරලා තියෙන කාලය මම ජීවත් වෙලා තියෙන කාලයටත් වඩා වැඩියි. මට එයාලා ගැන ලොකු ගෞරවයක් තියෙනවා. ඒ, ඒගොල්ලො මගේ ආච්චිලා සීයලා නිසා විතරක්ම නෙමෙයි, දෙවිට දක්වලා තියෙන අඛණ්ඩතාවයත් ඒකට එක හේතුවක්.” එමී මෙසේ පවසනවා. “මගේ ආච්චියි සීයයි හැම තිස්සේම කියන්නේ මම යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරනවා දැකීම එයාලට ධෛර්යයක් වගේම ලොකු සතුටක් කියලා. මටත් එයාලාගේ කදිම ආදර්ශය සහ පුරෝගාමින් [ශුභාරංචියේ පූර්ණ කාලීන ප්‍රචාරකයන්] ලෙස ඒ අය යෙහෝවාට පෙන්වලා තියෙන ජ්වලිතය මගේ පුරෝගාමි පැවරුම දිගට කරගෙන යන්න දිරිගැන්වීමක් වෙලා තියෙනවා.”
ක්‍රිස් ඔහුගේ ආච්චි ගැන මෙසේ සිහිපත් කරනවා.
“හොඳින් ඉගෙනගන්න, හොඳ පුද්ගලයෙක් වෙන්න මං තුළ වැඩියෙන්ම පෙලඹීමක් ඇති කළේ ඇයයි. ‘යෙහෝවාට අපේ හොඳම දේ දෙන්න ඕනේ’ කියලා ඇය කියපු දේ නම් මට කවමදාකවත් අමතක වෙන්නේ නැහැ.” පේඩ්රෝගේ ආත්මික වර්ධනය වෙනුවෙන්ද ඔහුගේ ආච්චිලා සීයලා සෑහෙන වැඩ කොටසක් කර තිබෙනවා. “එයාලගේ අද්දැකීම් මට ගොඩක් උපකාරවත් වුණා. මගේ ආච්චිලා සීයලා මාව නිතරම දේශනා සේවයේ අරන් ගිය එක මම ගොඩක් අගය කරනවා” කියා ඔහු පවසනවා. ඔව්, දේවභයැති ආච්චිලා සීයලාට ළංවීම දෙවිට හොඳ සේවයක් කිරීමට උපකාරයක්.දුර බැහැර සිටින ආච්චිලා සීයලා
ඔබේ ආච්චිලා සීයලා ජීවත් වෙන්නේ දුර බැහැරක නම් තත්වය කුමක්ද? පුළුවන්කමක් තිබේ නම් නොකඩවාම ඔවුන්ව බැහැදකින්න යන්න. ඔවුන්ව බැහැදකින්න යෑමට නොලැබෙන දවස්වලදී පවා කෙසේ හෝ ඔවුන් සමඟ කතා කරන්න අවස්ථාව සලසගන්න. හෝනන් ඔහුගේ ආච්චිලා සීයලාව බැහැදකින්න යන්නේ අවුරුද්දකට තුන්වතාවයි. “ඒත් මම හැම ඉරිදාම එයාලාට දුරකථනයෙන් කතා කරනවා” කියා ඔහු පවසනවා. ඩාරාගේ ආච්චිලා සීයලා ජීවත් වෙන්නේ බොහෝ දුර බැහැරකයි. ඇය ඒ ගැන මෙසේ පවසනවා. “එයාලා මං ගැන හොයලා බලනවා. අපි දුරකථනයෙන් හෝ ඊ-මේල්වලින් (විද්‍යුත් තැපෑල) හැම සතියකම අදහස් හුවමාරු කරගන්නවා.” දුරකථන සහ වෙනත් පහසුකම් තිබුණත් අතින් ලියන ලියුම්වල තිබෙන වටිනාකම අවතක්සේරු කරන්න එපා. තමන් කුඩා කල සිට ආච්චිලා සීයලාට ලියූ ලිපි ඔවුන් සුරැකිව තබාගෙන සිටිනවා දැකීමෙන් යෞවනයන් පුදුම වී තිබෙනවා. ලිපියක් නැවත නැවත කියවන්න පුළුවන් වගේම ඒවා සුරැකිව තබාගන්නත් පුළුවන්. එමනිසා ලිපි ලියන්න අමතක කරන්න එපා!
ආච්චිලා සීයලා තමන්ගේ මුනුබුරු මිනිබිරියන්ට ගොඩක් ආදරෙයි. (හිතෝපදේශ 17:6) ඔබේ ආච්චිලා සීයලා ළඟපාතක ජීවත් වුවත් දුර ඈතක ජීවත් වුවත් ඔවුන් සමඟ සමීප ඇසුරක් ගොඩනඟාගැනීම සඳහාත් එය පවත්වාගෙන යෑම සඳහාත් කිරීමට බොහෝ දේ තිබේ. ඒ සඳහා මූලික පියවර ගත යුත්තේ ඔබමය.
[පාදසටහන]
a “යෞවන අය අසති . . .” ලිපි මාලාවේ “මගේ ආච්චි සීයාගෙන් මට ප්‍රයෝජනයක් තියෙනවාද?” යන මාතෘකාවෙන් යුත් 2001 මැයි 8 වෙනිදා කලාපයේ පළ වූ ලිපිය බලන්න.