Skip to content

පටුනට යන්න

මාරාන්තික රතු උදම්

මාරාන්තික රතු උදම්

මාරාන්තික රතු උදම්

පිලිපීනයේ පිබිදෙව්! ලේඛක විසින්

අලුයම උදා වෙත්ම ධීවරයෝ සුපුරුදු පරිදි මුහුදු වෙරළ දිගේ තම බෝට්ටු, දැල් ආදිය තිබෙන ස්ථානයට ඇවිදගෙන යති. ඔවුන් වෙනදා මෙන්ම මෙදිනත් කල්පනා කරමින් සිටින්නේ මසුන් විශාල ප්‍රමාණයක් අල්ලාගැනීමටය. එහෙත්, කිසිවිටෙක බලාපොරොත්තු නොවූ දසුනක් ඔවුන්ගේ නිදිබර වූ නෙත ගැටේ. වෙරළ පුරාම මත්ස්‍යයන්ගේ මළ සිරුරු! මත්ස්‍යයන් මෙතරම් විශාල සංඛ්‍යාවක් මිය ගොස් ඇත්තේ මන්ද? ඊට හේතුව රතු උදම් ඇතිවීමයි.

රතු උදම් නමැති සංසිද්ධිය ලෝක ව්‍යාප්තව ඇති වන එකකි. එක්සත් ජනපදයේ සහ කැනඩාවේ අත්ලන්තික් මෙන්ම පැසිෆික් වෙරළබඩ තීරවල රතු උදම් ඇති වී තිබෙන බව පැවසේ. එමෙන්ම, ඕස්ට්‍රේලියාවේ, බෲනයිවල, වයඹදිග යුරෝපයේ, ජපානයේ, මලයාසියාවේ, පැපුවා නිව් ගිනියාවේ, පිලිපීනයේ මෙන්ම තවත් රටවල් කිහිපයකම ඒවා ඇති වී තිබේ. රතු උදම් පිළිබඳව අසා ඇත්තේ සුළු පිරිසකි. ඒත් එම සංසිද්ධිය මෑතකදී හටගත් එකක් නොවේ.

පිලිපීනයේ මුල්ම වරට රතු උදමක් දක්නට ලැබුණේ 1908දී, බටාන් නමැති ප්‍රදේශයේය. වර්ෂ 1983දී රතු උදම් හේතුවෙන් සාමාර් මුහුදේ, මකීඩා බොක්කේ හා බීල්රේයාල් බොක්කේ මසුන් විශාල සංඛ්‍යාවක් මිය ගියේය. ඉන් අනතුරුව, තවත් බොහෝ වෙරළබඩ ප්‍රදේශවල රතු උදම් ඇති වී තිබේ. පිලිපීනයේ ජාතික රතු උදම් බලකායේ සනෙයිඩා අබූසෝ පිබිදෙව්! වාර්තාකරුවන්ට කීවේ මෙලෙසය. “පිලිපීනයේ ධීවර හා ජල සම්පත් කාර්යාංශයේ වාර්තාවලට අනුව, මසුන් විශාල සංඛ්‍යාවක් මිය යෑමට අමතරව රතු උදම්වලින් විෂ වූ මසුන් කෑම හේතුවෙන් 1,926දෙනෙකුටම ස්නායු පද්ධතිය අඩපණ කරවන දරුණු රෝගයක් (paralytic shellfish poisoning - PSP) වැළඳී තිබේ.” a රතු උදම් නමැති මෙම මාරාන්තික සංසිද්ධිය කුමක්ද?

රතු උදම් යනු කුමක්ද?

මෙම සංසිද්ධිය “රතු උදම්” වශයෙන් හඳුන්වන්නේ, සාගර ජලයේ වර්ණයේ ඇති වන වෙනස් වීමක් හේතුවෙනි. බොහෝවිට, රතු උදමක් ඇති වූ විට ජලය රත් පැහැයට හැරේ. ජලය දුඹුරු පාටට හෝ කහ පාටට හැරෙන අවස්ථාද තිබේ. ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා පවසන්නේ “වර්ණ විපර්යාසය වර්ග යාර හෝ මීටර සුළු ප්‍රමාණයකට සීමා විය හැකි නමුත් එය වර්ග සැතපුම් 1,000ක් (වර්ග කිලෝමීටර 2,600ක්) තරම් විශාල ප්‍රදේශයක් පුරාද විහිදී යන්න පුළුවන” කියාය.

මෙම වර්ණ විපර්යාසය ඇතිවීමට හේතුව කුමක්ද? සාමාන්‍යයෙන් රතු උදම් ඇති කරවන්නේ පියවි ඇසට නොපෙනෙන ඒක සෛලීය ඇල්ගී විශේෂයක් වන ඩයිනොෆ්ලැජලාටාවන්ය. මෙම කුඩා ජීවීන්ගේ ශරීරයේ කෙස් වැනි සිහින් කෙඳි දක්නට ඇත. මෙම කෙඳි හඳුන්වන්නේ ෆ්ලැජලා නැත්නම් කශිකා යනුවෙනි. කසයක හැඩය ගන්නා මෙම කශිකා, ජලයේ කැරකි කැරකි ඉදිරියට ගමන් කිරීමට මෙම ජීවීන්ට උපකාරවත් වේ. ඩයිනොෆ්ලැජලාටා විශේෂ 2,000ක් සිටින අතර ඉන් 30ක්ම විෂ සහිතයි. මෙම කුඩා ජීවීන් වැඩෙන්නේ ලවණතාව අධික උණුසුම් ජලයේය.

රතු උදම් ඇති වන්නේ ඩයිනොෆ්ලැජලාටාවන් ශීඝ්‍ර වර්ධනයක් අද්දකින විටය. ඇතැම් අවස්ථාවලදී මෙම ජීවීන්ගේ ගණන කොතරම් වර්ධනය වෙනවාද කිවහොත් ජල ලීටරයක 5,00,00,000ක් තරම් විශාල සංඛ්‍යාවක් සිටිය හැක. මෙම විපර්යාසය සිදුවීමට හේතුව විද්‍යාඥයන් තවමත් හරි හැටි දන්නේ නැතත්, ඩයිනොෆ්ලැජලාටා වර්ධනය වන්නේ මුහුදු ජලයේ එකවරම සිදු වන යම් වෙනස්කම් නිසයි කියා ඔවුන් සොයාගෙන ඇත. මෙම විපර්යාසයට දායක වන සාධක කිහිපයක් නම්, අසාමාන්‍ය කාලගුණ තත්වයන්, එම ජීවීන්ට හිතකර උෂ්ණත්වය, ජලයේ අධික පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් තිබීම, හොඳින් හිරු එළිය වැටීම හා හිතකර ජල ප්‍රවාහ ඇතිවීමය. එමෙන්ම, ධාරානිපාත වර්ෂාවන් ඇති වූ විට පොළොවේ ඇති ඛනිජ සහ වෙනත් පෝෂ්‍ය පදාර්ථ සේදී ගොස් මහ මුහුදට එක් වේ. මෙම පෝෂ්‍ය පදාර්ථ ඩයිනොෆ්ලැජලාටා වර්ධනයට දායක විය හැකි අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් රතු උදම් ඇති වේ.

කනගාටුවට කාරණයක් වන්නේ මිනිසා විසින් තත්වය වඩාත් උග්‍ර කරවීමය. උදාහරණයක් වශයෙන්, කර්මාන්ත ශාලාවලින් හා නාගරික වැසියන් විසින් විශාල පරිමාණයෙන් මුහුදට මුදාහරින අපද්‍රව්‍ය නිසා ඇතැම් පෝෂ්‍ය පදාර්ථ අධික ප්‍රමාණයක් මුහුදට ගලා යා හැක. මෙය ඩයිනොෆ්ලැජලාටාවන්ගේ ශීඝ්‍ර වර්ධනයට දායක විය හැකි අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ජලයේ ඇති ඔක්සිජන් ප්‍රමාණය පහත බැසීමට ඉඩ ඇත. මුහුදේ මත්ස්‍යයන් විශාල සංඛ්‍යාවක් මිය යන්නේ එනිසාය.

රතු උදම් ඇති වන්නේ උණුසුම් මෙන්ම නිසල සාගර ජලයේය. සාමාන්‍යයෙන් උණුසුම් දේශගුණයේ අවසානයත් වැසි වසින කාලයේ ආරම්භයත් අතරමැදි කාලය තුළදී මේවා ඇති වේ. රතු උදමක් පැය කිහිපයකින් අවසන් විය හැක. එසේත් නැත්නම් එය මාස ගණනාවක් එක දිගටම පැවතීමටද ඉඩ ඇත. එය කොතරම් කාලයක් පවතිනවාද යන්න තීරණය වන්නේ අවට දේශගුණය වැනි සාධක මතයි.

ගොදුරුවන්නන්

බොහෝවිට රතු උදම්වලින් කිසිදු හානියක් සිදු නොවේ. එහෙත් මාරාන්තික ප්‍රතිඵල ඇති කරවන ඒවාද තිබේ. ඇතැම් ඩයිනොෆ්ලැජලාටා වර්ග විෂ සහිත ද්‍රව්‍ය පිට කරයි. මෙම විෂ ද්‍රව්‍යයන් හේතුවෙන් මුහුදේ මසුන් ඇතුළු වෙනත් ජීවීන්ගේ සිරුරේ ස්නායු ක්‍රියා විරහිත වන අතර උන් පසුව මිය යයි. ඇතැම් අවස්ථාවලදී රතු උදම් නිසා මත්ස්‍යයන්, මුතු බෙල්ලන්, දැල්ලන්, විවිධ වර්ගයේ බෙල්ලන්, බූවල්ලන්, ඉස්සන් හා කකුළුවන් විශාල සංඛ්‍යාවක් මිය ගොස් තිබේ. එයට හේතු වී ඇත්තේ මෙම මසුන් ඩයිනොෆ්ලැජලාටාවන් ආහාරයට ගැනීමය. හානිකර රතු උදම් ඇති වූ විට ජලය මතු පිට මැරුණු මසුන් පාවෙනවා දකින්න ලැබේ. පසුව, මෙම මසුන් ගණන් කළ නොහැකි තරමක් වෙරළට සේදී එන අතර සැතපුම් ගණනාවක් ඈතට යන තුරු වෙරළ දිගේ ගොඩ ගැසේ.

රතු උදම් මිනිසාටද ඉමහත් හානියක් සිදු කරයි. මසුන් ඇල්ලීම ප්‍රධාන ජීවනෝපාය කරගත් ඇතැම් ප්‍රදේශවල ජීවත් වන ධීවරයන්ට රතු උදම් ඇති වූ විට මහත් අලාභ විඳීමට සිදු වී තිබේ. එහෙත් ඊට වඩා බරපතළ දේ වන්නේ රතු උදම්වලින් මිනිස් ජීවිතවලට සිදු වන හානියයි.

රතු උදම්වලින් විෂ වූ මුහුදු ජීවීන් ආහාරයට ගැනීම

ඩයිනොෆ්ලැජලාටාවන් පිට කරන එක් විෂ ද්‍රව්‍යයක් හඳුන්වන්නේ සැක්සිටොක්සින් යන නමිනි. ජලයේ දිය වන ලවණයක් වන මෙය, මිනිසාගේ නියුරෝන පද්ධතිය හෙවත් ස්නායු පද්ධතියට දරුණු ප්‍රහාරයක් එල්ල කළ හැකියි. එය නියුරෝටොක්සින් (ස්නායුවලට විෂ ද්‍රව්‍යයක්) වශයෙන්ද හඳුන්වන්නේ එනිසාය. ද නිව් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා පවසන්නේ, “ජලයට එකතු වන විෂ ද්‍රව්‍ය මිනිසාගේ ශ්වසන පද්ධතියට හානිකර විය හැකියි” කියාය. ඇතැම් අවස්ථාවලදී රැල්ල ගැසීම හේතුවෙන් රතු උදම්වලින් නික්මෙන විෂ ද්‍රව්‍යයන් වාතාශ්‍රයටද එකතු වී තිබේ. එවැනි අවස්ථාවලදී වැල්ල අයිනේ තනා ඇති තානායම් වසා දැමීමටද සිදු වී ඇත.

ඔබ මුහුදු ආහාර කන්න කැමති කෙනෙක්ද? එසේ නම් රතු උදමක් ඇති වූ විට ඔබ පරෙස්සම් විය යුතුයි. මන්ද ඩයිනොෆ්ලැජලාටාවන් ආහාරයට ගත් මුහුදු ජීවීන්ව ආහාරයට ගත්තොත් ඔබට දරුණු ප්‍රතිඵල අද්දකින්න සිදු වන නිසයි. එක් සඟරාවක ඒ ගැන පවසා තිබුණේ මෙලෙසයි. ‘වඩාත්ම භයානක වන්නේ මුතු බෙල්ලන් හා වෙනත් විවිධ වර්ගයේ ද්විකපාට බෙල්ලන් ආහාරයට ගැනීමයි. මන්ද උන් පෙරහන් ක්‍රමයට (කපාටවලට ඇතුල් වන ජලයෙන් ආහාර පෙරා කෑමෙන්) ආහාර ගන්නා නිසා වෙනත් මසුන්ට වඩා උන්ගේ ශරීරවලට වැඩි විෂ ප්‍රමාණයක් ඇතුල් වේ.’ එහෙත් “මාළු, දැල්ලන්, ඉස්සන්, කකුළුවන් වැනි මසුන් . . . ආහාරයට ගැනීම හානිකර නොවේ.” එයට හේතුව කුමක්ද? එම මසුන් රතු උදම්වලින් නික්මෙන විෂ ද්‍රව්‍ය ආහාරයට ගත්තත් එම ද්‍රව්‍ය සියල්ලම තැන්පත් වන්නේ උන්ගේ බඩවැල්වලයි. පිසීමට පෙර උන්ගේ බඩවැල් අයින් කරන නිසා එම විෂ ද්‍රව්‍ය ආහාරයට එකතු නොවේ.

කෙසේවෙතත්, අපි මසුන් වර්ග ආහාරයට ගනිද්දී පරෙස්සම් විය යුතුයි. රතු උදම්වලින් දූෂ්‍ය වී ඇති ප්‍රදේශවලින් අල්ලාගන්නා බෙල්ලන් ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. රතු උදම්වලින් විෂ වූ එවැනි මසුන් කෑමෙන් PSP රෝගය හටගැනීමට ඉඩ තිබේ. එම විෂ ද්‍රව්‍ය ශරීරගත වී ඇත්නම් විනාඩි 30කින් පමණ PSP රෝග ලක්ෂණ මතු වෙන්න පටන්ගනී. මතු දැක්වෙන ලැයිස්තුවේ එම රෝග ලක්ෂණ කිහිපයක් සඳහන් කර ඇත. PSPවලට නිසි ප්‍රතිකාර ලබාගත්තේ නැත්නම් රෝගියාට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වන අතර, අවසානයේදී ඔහු මිය යෑමට පවා ඉඩ ඇති බව සැලකිල්ලට ගන්න.

රතු උදම් හේතුවෙන් ඇති වන මෙම රෝගයට විෂ නාශක ඖෂධයක් තවමත් සොයාගෙන නැතත්, මේ සඳහා කරන ඇතැම් ප්‍රථමාධාර ක්‍රම යම් තාක් දුරකට සාර්ථක වී ඇති බව පෙනෙන්න තිබේ. රෝගියාට වමනය කිරීමට සැලැස්වීමෙන් විෂ ද්‍රව්‍ය ආමාශයෙන් ඉවත් කිරීම හෝ ආමාශය තුළට බටයක් යවා එය සම්පූර්ණයෙන්ම ශෝධනය කිරීම වැනි ක්‍රමවලින් විෂ ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කළ හැක. ඇතැම් අවස්ථාවලදී කෘත්‍රිම ශ්වසනය ලබා දිය යුතු වේ. පිලිපීනයේ ඇතමෙකුගේ මතය වන්නේ, රතු සීනි දිය කළ පොල් කිරි පානය කළොත් රෝගියාට ඉක්මන් සුවයක් ලබාගත හැකි බවය.

විසඳුම

දැනට රතු උදම් මැඩපැවැත්වීමට ක්‍රමයක් සොයාගෙන නැත. එහෙත් රසායනික පොහොර හා පළිබෝධ නාශක භාවිතය සීමා කිරීමෙන්, රතු උදම්වලින් සිදු වන හානිය අඩු කරගත හැකියි කියා ඇතමෙක් විශ්වාස කරති. මෙසේ කිරීමෙන් එවැනි ද්‍රව්‍ය මුහුදට එකතු වීම වළක්වාගත හැකි වේ. ජලාශවලට අපද්‍රව්‍ය බැහැර කිරීම තහනම් කිරීමද උපකාරවත් විය හැක. එමෙන්ම ඩයිනොෆ්ලැජලාටා වර්ධනයට දායක වන ද්‍රව්‍ය මුහුදු වෙරළින් ඉවත් කිරීම තවත් පිළියමකි.

ඇතැම් රටවල ආණ්ඩු නිලධාරීන් මෙම ගැටලුව ගැන සැලකිල්ලෙන් සිටී. උදාහරණයකට, පිලිපීනයේ එක්තරා රජයේ ආයතනයක් එහි රට වැසියන්ගේ පරිභෝජනය සඳහා මෙන්ම අපනයනය සඳහා වෙන් කර ඇති මසුන්ව කලින් පරීක්ෂණවලට ලක් කර විෂ නැති බව සහතික කරගනී. කෙසේ වුවත්, රතු උදම්වලින් ඇති වන හානිකර ප්‍රතිඵල සාර්ථක ලෙස මැඩපැවැත්වීමට හැක්කේ විශ්වයේ මැවුම්කරුට පමණක්ම බව අපි අමතක නොකරමු.

[පාදසටහන]

a සාමාන්‍යයෙන් පිලිපීනයේ රතු උදම් ඇති වූ විට බොහෝදෙනෙකුට ඉහත සඳහන් කළ, සිරුරේ ස්නායු ක්‍රියා විරහිත කරවන PSP නමැති දරුණු රෝගය වැළඳේ. කෙසේවෙතත්, මෙය රතු උදම් ඇති වන සෑම රටකටම බලපාන්නේ නැති බව ඇතැම් පර්යේෂකයෝ පවසති.

[24වන පිටුවේ කොටුව]

PSP රෝග ලක්ෂණ

1. තොල්, දිව හා විදුරුමස් හිරි වැටීම හා දැවිල්ලක් හටගැනීම

2. මුහුණේ හැඟීම් දැනීම නැති වී යෑම හා හිරි වැටෙන ගතියක් ඇතිවීම. පසුව මෙම තත්වය ශරීරය පුරාම දිව යයි

3. හිසරදය හා කැරකැවිල්ල ඇතිවීම

4. අධික පිපාසයක් දැනීම හා කෙළ අධික ප්‍රමාණයක් ස්‍රාවය වීම

5. ඔක්කාර ගතිය, වමනය හා පාචනය ඇතිවීම

6. හුස්ම ගැනීමේ, කතා කිරීමේ හා ගිලීමේ අපහසුතාව

7. සන්ධි කැක්කුම හා තෝන්තු ගතිය

8. නාඩි වැටීමේ වේගය ක්‍රමක්‍රමයෙන් වැඩිවීම

9. ශරීරයේ පේශිවල අප්‍රාණික ගතියක් දැනීම හා එහි සමබරතාව නැති වී යෑම

10. සිරුර පුරා දිව යන ස්නායු ක්‍රියා විරහිත වීම

[24, 25වන පිටුවේ පින්තූර]

රතු උදම් හටගන්නේ මෙම ජීවීන් නිසයි

පයිරෝඩිනියම් බහමනස්

ජිම්නෝඩිනියම් කැටිනේටම්

ගැම්බියර්ඩිස්කස්

[හිමිකම් විස්තර]

වෛද්‍ය රොඩෝරා වී. අසන්සා University of the Philippines අනුග්‍රහයෙනි

වෛද්‍ය හරුයෝෂි ටකයාමා අනුග්‍රහයෙනි

ASEAN-Canada Cooperative Programme on Marine Science

[25වන පිටුවේ පින්තූර]

රතු උදම්වලින් ඇති වන ප්‍රතිඵල

[හිමිකම් විස්තර]

Grant Pitcher/Courtesy WHOI

[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Peter J. S. Franks, Scripps Institution of Oceanography

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Scripps Institution of Oceanography