Skip to content

පටුනට යන්න

මිහිතලයේ වෙසෙන සත්ව විශේෂ බේරාගත හැකිද?

මිහිතලයේ වෙසෙන සත්ව විශේෂ බේරාගත හැකිද?

මිහිතලයේ වෙසෙන සත්ව විශේෂ බේරාගත හැකිද?

‘සිව්පාවුන් පක්ෂීන් හා කෘමීන් වර්ග මිනිසා අතින් මොනතරම් ඉක්මනින් වඳ වී යනවාද කියනවා නම්, මිහිතලය මත කොතරම් කාලයක් මිනිසාට ජීවත් වීමට හැකි වේවිද කියා සැක සහිතයි’ කියා කැනඩාවේ ද ග්ලෝබ් ඇන්ඩ් මේල් නමැති පුවත්පතේ සඳහන් විය. එසේ සඳහන් කිරීමට පාදක වූයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ස්වභාව ධර්මය සහ ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ආයතනය (IUCN) මගින් ප්‍රකාශයට පත් කර තිබෙන වඳ වී යෑමේ තර්ජනයට ලක් වූ සත්ව විශේෂ අඩංගු රතු ලැයිස්තුව 2000 නමැති වාර්තාවේ අඩංගු තොරතුරුයි. සත්ව හා ශාක විශේෂ 11,000කට වැඩි ප්‍රමාණයක් වඳ වී යෑමේ මහත් තර්ජනයකට ලක් වී තිබෙන බව රතු ලැයිස්තුව අනතුරු අඟවයි. වඳ වී යෑමේ තර්ජනයට වැඩියෙන්ම ලක් වී සිටින්නේ ක්ෂීරපායි සතුන්ය. “අද මිහිතලය මත වෙසෙන ක්ෂීරපායි ගණයට අයත් සත්ව විශේෂයන්ගෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් වඳ වී යෑමේ තර්ජනයට ලක් වී සිටියි” කියා ග්ලෝබ් නමැති පුවත්පත වාර්තා කරයි.

මේ අර්බුදයට වගකිව යුත්තේ කවුද? අන්තර්ජාතික මට්ටමින් සිදු වන සුරතල් සතුන් අලෙවි කිරීම, මහා පරිමාණයෙන් මසුන් මැරීම හා සතුන්ගේ වාස භූමි විනාශ වී යෑම යනාදි දේවල් සත්ව විශේෂ වඳ වී යෑමට හේතු ලෙස විද්‍යාඥයෝ ගෙනහැර දක්වති. මීට අමතරව, මිනිසුන් අතින් විනාශ නොවූ වනාන්තර ඔස්සේ දැව ප්‍රවාහනය කිරීම සඳහා පාරවල් සෑදීම වැඩි වී තිබේ. එමෙන්ම “කලකදී කිසිම මිනිසෙකුට ඇතුලු වීමට නොහැකි වූ වනාන්තරවලට ඇතුලු වී එහි වෙසෙන සතුන්ව අල්ලාගැනීමට අද මිනිසුන්ට හැකි වී තිබේ. එසේ අල්ලාගන්නා සතුන්ව ඔවුන් මරාගෙන කයි. මෙය දිගටම කෙරීගෙන ගියහොත් එම සත්ව විශේෂ වඳ වී යාවි.”

මේ තත්වය මිනිසුන්ටද තර්ජනයක් වන බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති. “සත්ව විශේෂ වඳ වී යෑමට සැලැස්වීමෙන් අපි කරන්නේ අපේ ජීවිත අනතුරේ හෙළීමයි” කියා සත්ව විශේෂ රැකගැනීම සඳහා පිහිටුවා තිබෙන ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ආයතනයේ සභාපති ඩේවිඩ් බ්‍රැකට් පවසයි. “අපේ පෘථිවියේ ජෛව විවිධත්වය රැකගැනීමට අසමත් වුවහොත් ජීවීන් මිහිතලයෙන් සදහටම අතුරුදහන් වනු ඇත.”

ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර ආයතනය මගින් පළ කළ වාර්තාවෙන් අවධාරණය කෙරෙන්නේ මේ සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට ලොවේ සියලු රටවල් උනන්දු විය යුතු බවයි. “මේ අර්බුදයට විසඳුම් සෙවීම සඳහා වැය කරන මුදල් ප්‍රමාණය හා ශ්‍රම බලය දැනට වඩා සිය ගුණයකින් වැඩි කළ යුතුයි” කියා එහි සඳහන් වේ. එහෙත් අපේ පෘථිවි ග්‍රහයා තුළ තිබෙන සම්පත් ආරක්ෂා කිරීමේදී ගිජුකම නිතර මතු වන බාධාවක් වීම කනගාටුවට කරුණකි.

මිහිතලය මත වෙසෙන සත්ව විශේෂ බේරාගත හැකිද? අපේ පෘථිවි ග්‍රහයා මත සිටින විවිධ ජීවීන්ව රැකබලා ගැනීමේ වගකීම එදා මුල් මිනිස් යුවළට හා ඔවුන්ගේ පැවතෙන්නන්ට දෙන ලදි. මේ ගැන බයිබලයෙහි මෙසේ සඳහන් වේ. “[යෙහෝවා] දෙවි මනුෂ්‍යයා රැගෙන ඒදන් උයන වවන්ටත් බලාගන්ටත් එහි පදිංචිකෙරෙවූවේය.” (උත්පත්ති 2:15) දෙවි පැවරූ ඒ වගකීම ඉටු කිරීමට අද මිනිසා අපොහොසත් වී ඇත. එහෙත් පොළොව සඳහා දෙවිගේ මුල් අරමුණ වෙනස් වී නැත. අප ජීවත් වන පොළොව කෙරෙහි මහත් සැලකිල්ලක් දක්වන ඔහු නොසැලකිලිමත් හා ගිජු මිනිසුන්ට එය දිගටම විනාශ කිරීමට ඉඩ නොදෙයි. (එළිදරව් 11:18) ඔහුගේ වචනය වන බයිබලයේ මෙම පොරොන්දුව දී ඇත. “ධර්මිෂ්ඨයෝ දේශය [පොළොව, NW] උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.”—ගීතාවලිය 37:29.

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

U.S. Fish & Wildlife Service, Washington, D.C./J.D. Pittillo