Skip to content

පටුනට යන්න

වචනවලින් පින්තූර ඇඳිය හැකිද?

වචනවලින් පින්තූර ඇඳිය හැකිද?

වචනවලින් පින්තූර ඇඳිය හැකිද?

කාව්‍ය ශාස්ත්‍රය, චිත්‍ර ශිල්පයේ හෝ ගීත රචනයෙහි සංකලනයක් ලෙස හැඳින්වීමට පුළුවන. කවියෙකුගේ නිර්මාණයකට හදවතේ හැඟීම් සහ මනසේ ගැඹුරු සිතුවිලි බෙහෙවින් දායක වේ. එමනිසා, ඉතා හොඳින් නිර්මාණය කළ කවියක් අප තුළ ගැඹුරු හැඟීම් ඇති කළ හැකිය. එවැන්නකට ඔබේ මනසේ සිතුවිලි පුබුදුවාලිය හැක. සිනාසෙන්න හෝ අඬන්න පවා පෙලඹවිය හැක. වාග් ශාස්ත්‍රය පිළිබඳ එක්තරා පොතක (The Need for Words) මෙසේ පැවසේ. “කාව්‍ය ශාස්ත්‍රය යනු හැඟීම්වලට තදින් බලපාන ආකාරයෙන් වචන හැසිරවීමේ කලාවකි. ශ්‍රේෂ්ඨ කවියක් කියවීමෙන් අනතුරුව එය මනසෙහි නොමැකෙන සේ කෙටෙන්නේ එමනිසා විය හැකිය.”

ඇත්තෙන්ම, අලංකාර කවියක් පිටුපස ගැඹුරින් සිතන පුද්ගලයෙකු සිටිය යුතුය. එවන් දෙයක් බොළඳ ලෙස සිතන කෙනෙකුගේ නිර්මාණයක් විය නොහැක. සාමාන්‍යයෙන් කවි ලියන්නේ අප ජීවිතයේ ඉතා වැදගත්යයි සිතන දේවල් පදනම් කරගෙනයි. මිත්‍රත්වය, ප්‍රේමය, අධ්‍යාත්මය, ස්වභාව ධර්මය සහ ජීවිතයේ අරුත වැනි දේවල් එම නිර්මාණයන්ට මුල් වේ. එසේ නම්, කාව්‍ය ශාස්ත්‍රය ඉතා පැරණි කලාවක් වීම පුදුමයට හේතුවක් නොවිය යුතුය. එක් සුප්‍රසිද්ධ කවියෙක් ගද්‍ය රචනය (පොදු ලේඛන ශෛලියෙන් රචිත යමක්) කාව්‍ය ශාස්ත්‍රය සමඟ සසඳමින් සිත්ගන්නා අදහසක් පළ කළේය. ඔහු පැවසුවේ ඒ දෙකම යොදාගෙන ඉතා ඉහළ ගණයේ කෘති දෙකක් නිමවූවොත්, “ගද්‍ය රචනය අප එක් වරක් කියවීමට පෙලඹුණත්, කවිය සිය වරක්වත් කියවීමට පෙලඹෙන” බවය.

කවි ලිවීමට ක්‍රම කිහිපයක් ඇති බව ඔබ දැනටමත් දන්නවා විය හැක. සමහර කවිවල එළිසම දක්නට ලැබේ. සමහර ඒවාවල එළිසම දක්නට නොලැබේ. ඇතැම් අවස්ථාවලදී, එය රචනාවක් ආකාරයෙන්ද සකස් කර තිබිය හැක. එසේ නම්, කාව්‍ය ශාස්ත්‍රය කෙසේ පැහැදිලි කරමුද?

කාව්‍ය ශාස්ත්‍රය හඳුනාගනිමු

කාව්‍යය යනු අලංකාර වචන සුදුසු පිළිවෙළකට අනුව ලිඛිතව හෝ වාචිකව ගැළපීමේ කලාවය. එහි අරමුණ වන්නේ අලංකාරවත් වචන කණ්ඩයකින් සිතුවිලි අවදි කොට අප හට ආස්වාදයක් ලබා දීමය. වෙනත් ආකාරයකින් කිවහොත්, එය “පද්‍යය උපයෝගි කරගෙන ලියනු ලබන්නකි.” ඇත්තෙන්ම කාව්‍යයක ප්‍රධාන අංග දෙකක් ඇත. එම අංග දෙක නම් තාලය සහ විරිතයි. අප අවට ලෝකයේ සෑම තැනකම දැකිය හැකි දෙයකි, තාලය. සාගරයේ රළ පෙළ නඟිද්දී එයට යම් තාලයක් නැතහොත් රිද්මයක් තිබෙන බව පැවසීමට පුළුවන. අපගේ ලොවට බලපාන දේශගුණයෙහි සහ කාලගුණයෙහි පවා යම් තාලයක් හෝ රටාවක් දැකගත හැක. අපගේ හද ගැස්මටද යම් රිද්මයක් ඇත. පද්‍ය රචනයෙහි තාලය යනු වර නැඟීමේදී ලැබෙන ස්වර මාධුර්යයයි. ඉන් අදහස් වන්නේ අප කවියක් කියවද්දී, යම් තාලයක් හෝ රිද්මයක් පුන පුනා අපට දැනෙනවා යන්නයි. විරිත යනු එම තාලයේ විලාසයයි. මෙය කවියෙන් කවියට වෙනස් වේ. කාව්‍ය ශාස්ත්‍රයෙහි දක්නට ලැබෙන තවත් වැදගත් අංගයකි එළිසමය. සාමාන්‍යයෙන් කවියක එළිසම වන්නේ පේළිවල අන්තිම වචන පෙළයි. එළිසමයටද විවිධත්වයක් ඇත. ඇතැම් අවස්ථාවන්හිදී, පේළි දෙක බැගින් එළිසම වේ. තවත් සමහර අවස්ථාවලදී පේළියක් ඇර පේළියක් එළිසම වේ.

ජපානයෙහි යොදාගන්නා හයිකු කාව්‍ය ශාස්ත්‍රයේ එළිසම භාවිත නොකළත්, එය, අදහස් ඉතා අලංකාර ආකාරයකින් ගළපයි. එසේ කරන්නේ අපට සිතාගත නොහැකි තරම් අඩු වචන ප්‍රමාණයක් භාවිත කිරීමෙනි. හයිකු කවියක් සකසන්නේ ස්වර සංයෝග 17කින් සෑදී ඇති වචන අතළොස්සකින් යුත් පේළි තුනකින් අදහස් සම්භාරයක් ප්‍රකාශ වන ආකාරයකටය. පළමු සහ තුන්වන පේළිවල ස්වර 5ක් බැගින්ද දෙවන පේළියේ ස්වර 7ක් බැගින්ද අඩංගුය. a හයිකු කවි කොතරම් අලංකාරවත් සහ සරලද කිවහොත්, ළදරු පාසැල්වල දරුවන්ට කාව්‍ය රසය මුලින්ම හඳුන්වා දීම සඳහාද එය යොදාගැනේ.

සාමාන්‍යයෙන් කාව්‍ය ශාස්ත්‍රයෙහි ප්‍රබල ලක්ෂණයක් වන්නේ වචන ස්වල්පයකින් ගැඹුරු අදහස් සම්භාරයක් ප්‍රකාශ කිරීමය. කවියක සඳහන් වන වචනවල අදහස් “මතුපිටට පමණක් සීමා නොවේ. එයින් ඔබේ පරිකල්පන ශක්තිය පිබිදෙයි. . . . ඉතා ගැඹුරු අර්ථයකින් පූර්ණ වූ එක වචනයක් දුටු පමණින් ඔබේ සිතුවිලි අවදි වී, මුළු කවියේම හරය එළිදරව් කරගැනීමට ඔබේ පරිකල්පන ශක්තිය ක්‍රියා කරයි.” (වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා) කෙසේවෙතත්, එවන් ප්‍රබල හැඟීම් දනවන අද්දැකීමක් ලබාගැනීමට නම් ඇතැම් කවි කිහිප වතාවක්ම කියවා අර්ථය ග්‍රහණය කරගත යුතු වේ.

තමන් බලාපොරොත්තු වන ප්‍රතිඵලය ලබාගැනීමට කවියන් වචන තෝරන්නේ ස්වර්ණාභරණ තනන්නෙකු මැණික් තෝරන්නාක් මෙනි. උපදේශ වාක්‍ය සහ ගීත රචනා කළ ඉශ්‍රායෙල්හි සාලමොන් රජ “ප්‍රිය වචන” සහ “හරිවූ සත්‍යවූ කාරණා” සොයාගැනීමේ අදහසින් ඉතා ගැඹුරු ‘සෝදිසියක්’ කළේය.—දේශනාකාරයා 12:9, 10; 1 රාජාවලිය 4:32.

සාලමොන්ද ඔහුගේ පිය වූ දාවිත්ද එවකට පැවති හෙබ්‍රෙව් කාව්‍ය ශෛලිය යොදාගනිමින් කෘති නිර්මාණය කළේය. හෙබ්‍රෙව් පද්‍යය බොහෝ දුරට සංගීතය සමඟින් ගීතයක් ලෙස ගායනා කරනු ලැබේ. මෙම ගීතවල එළිසම දක්නට නොලැබේ. එසේ වුවද, එහි අදහස්වල හෝ සිතුවිලිවල තාලයක් දක්නට ලැබේ. මෙයට සමාන්තරත්වය යන පාරිභාෂික යෙදුම භාවිත කර ඇත. මේ අනුව, එක ළඟ පේළිවල සමාන අදහස් ඉදිරිපත් විය හැක. එසේ නැතහොත්, ප්‍රතිවිරුද්ධ අදහස් තිබිය හැක. (ගීතාවලිය 37:6, 9) සමහර අවස්ථාවලදී, පළමු පේළියට පසු දෙවන පේළිය අමතර යමක් එකතු කරමින් මුල් අදහස තවත් පුළුල් කරයි. මෙය ගීතාවලිය 119:1හි කර ඇති ආකාරය දැන් සලකා බලමු.

“නිර්දෝෂ මාර්ගයෙහි යන්නාවූ,

[යෙහෝවාගේ] ව්‍යවස්ථාවෙහි හැසිරෙන්නාවූ තැනැත්තෝ භාග්‍යවන්තයෝය.”

නිර්දෝෂ මාර්ගයෙහි යෑම යන්නෙන් අදහස් කරන්නේ යෙහෝවාගේ ව්‍යවස්ථාවෙහි හැසිරීම බව දෙවන පේළියෙන් පැහැදිලි කරන බව ඔබ දුටුවාද? හෙබ්‍රෙව් ක්‍රමයේදී පේළිවල එළිසම යෙදීමක් සිදු නොවේ. ඒ වෙනුවට, සමාන්තරත්වය නමැති ක්‍රමය නොහොත් අදහස තාලයකට අනුව දැක්වීම සිදු කෙරේ. ඒ නිසා මෙවැනි කවි පරිවර්තනය කිරීම පහසුය. b

මිනිස් හැඟීම්වල පරාසයම ඉදිරිපත් කිරීමට ක්‍රමයක්

කාව්‍ය ශාස්ත්‍රය ගී ගැයීමටත්, මිනිස් හැඟීම්වල මුළු පරාසයම ප්‍රකාශ කිරීමටත් කදිම මෙවලමකි. යෙහෝවා ඒදන් උයනේදී ආදම්ට ඒවව හඳුන්වා දුන් විට, ආදම්ට දැනුණු සතුට හා ඇයව දුටු පමණින් ඔහුගේ සියලු බලාපොරොත්තු ඉටු වූ බව පහත සඳහන් වදන්වලින් මනාව පිළිබිඹු වේ.

“මෑ මාගේ ඇටවලින් ඇටය,

මාගේ මාංසයෙන් මාංසයය;

මෑ මනුෂ්‍යයාගෙන් ගන්නාලද හෙයින්

මනුෂ්‍ය දූයයි කියනු ලබන්නීය.”

උත්පත්ති 2:23.

මෙම වගන්තිය සුවිශේෂ වන්නේ, පේළි කිහිපයකින් බොහෝ අර්ථවත් මෙන්ම හැඟීම් දනවන අදහස් ප්‍රකාශ වන නිසාය. ඇත්තෙන්ම මෙය වඩාත් කැපීපෙනෙන්නේ එය මුල් භාෂාවෙන්ම කියෙවූ විටය. මීට සමානව යෝබ්, ගීතාවලිය, හිතෝපදේශ සහ විලාප ගී වැනි කාව්‍යමය පොත් ඉතා වැදගත් ආත්මික සත්‍යයන් උගන්වනවාට අමතරව, පුදුම දනවන හැඟීම් පරාසයක් ප්‍රකාශ කිරීමට සමත් වේ. ඇත්තෙන්ම මුල් හෙබ්‍රෙව් බසෙහි, ගීතාවලිය පොතේ පළමුවන ගීතිකාව ඇරඹෙන්නේ “සතුට” නැතහොත් “ආශීර්වාදය” යන අදහස දෙන වචනයකිනි. ගීතාවලිය 63:1හි සඳහන් මතු දැක්වෙන වචනවලින් පිට වෙන ලේඛකයාගේ හැඟීම් ඔබ විස්තර කරන්නේ කෙලෙසද? හෙබ්‍රෙව් කාව්‍ය ශාස්ත්‍රයේ කැපීපෙනෙන ලක්ෂණයක් වන ප්‍රබල චිත්ත රූප මැවීමේ හැකියාව සැලකිල්ලට ගන්න.

දෙවියනි, ඔබ මාගේ දෙවිය. අලුයම ඔබ සොයන්නෙමි.

වතුර නැති, වියලුණ,

වෙහෙස උපදවන්නාවූ දේශයකදී

මාගේ ආත්මය ඔබ කෙරෙහි පිපාසා ඇත්තේය, මාගේ මාංසය ඔබ කෙරෙහි ආශා ඇත්තේය.

විලාප ගී පොතෙහි ජනිත කරවන්නේ වෙනත් ආකාරයේ හැඟීමකි. පොදු යුගයට පෙර 607දී, බබිලෝනිවරුන් අතින් යෙරුසලමට අත් වූ ඛේදනීය ඉරණම ගැන යෙරෙමියාගේ විලාප නැඟීම මෙම පොතෙහි දක්නට ලැබේ. කාව්‍යමය ශෝකාලාප පහකින් තම හැඟීම් වගුරුවන අනාගතවක්තෘවරයා, තම ශෝකයත් දිව්‍ය යුක්තිය ඉටු වූ ආකාරයට සම්පූර්ණයෙන්ම එකඟ වූ ආකාරයත් ප්‍රකාශ කළේය.

මතක ශක්තියට අත්වැලක්

කවියක් සකස් වී ඇති ආකාරය නිසා එය කටපාඩම් කරගැනීම පහසුය. අපට දායාද වී ඇති පැරණිතම ග්‍රීක් කවි වන ඉලියඩ් සහ ඔඩිසි නමැති කවි, අතීතයේ පැවැත්වූ ග්‍රීක් උත්සවයන්වලදී කටපාඩමින් කවියන් විසින් කියනු ලැබීය. ඇත්තෙන්ම මෙම කවි ඉතා දීර්ඝ ඒවා වන නිසා, එය සෑහෙන සමර්ථකමක් ලෙස සැලකිය යුතුය. ලැබී ඇති සාක්ෂිවලට අනුව බයිබලයෙහි ගීතිකා බොහොමයක්ද කට පාඩම් කරන ලදි. රූප නමස්කාරය කොතරම් නිෂ්ඵලද කියා පෙන්නුම් කරන ගීතාවලිය 115:4-8හි අඩංගු මතු දැක්වෙන වගන්ති සලකා බලමු. එහි චිත්ත රූප මැවීමේ හැකියාව හා ඉතා සරල මෙන්ම බිඳ හෙළිය නොහැකි තර්ක, සිත්ගන්නා තාලයකට ඉදිරිපත් කර ඇති ආකාරය විශේෂයෙන් සැලකිල්ලට ගන්න.

“ඔවුන්ගේ දේවතා රූප රන් රිදීය,

මනුෂ්‍යයන්ගේ හස්ත කර්මාන්තයෝය.

ඒවාට කටවල් ඇත, එහෙත් කථානොකෙරෙති;

ඇස් ඇත, එහෙත් නොදකිති;

කන් ඇත, එහෙත් නොඅසති;

නාස් ඇත, එහෙත් ගඳ සුවඳ නොදනිති;

අත් ඇත, එහෙත් නාල්ලති;

පා ඇත, එහෙත් නොඇවිදිති;

උගුරෙන් කථා නොකෙරෙති.

ඒවා සාදන්නොත්

ඒවා කෙරෙහි විශ්වාසය තබන සියල්ලොත් ඒවාට සමානවන්නෝය.”

ඉතා ප්‍රබල, පැහැදිලි වගන්ති කිහිපයක් මනසෙහි කොතරම් හොඳින් නොමැකෙන සේ කෙටෙනවාද කියා මෙයින් ඔබට පැහැදිලි වනු ඇත.

කවි ලියන්න ඔබත් කැමතිද?

කාව්‍ය ශාස්ත්‍රය සෑම තැනකම දැකිය හැක. එය ළමා ගීවල මෙන්ම ප්‍රචාරණ දැන්වීම්වලද අපට දැකගන්න පුළුවන. එමනිසා, කවියක් සාදන ආකාරය සම්බන්ධයෙන් වැඩිදෙනාට අඩුම තරමින් මූලික දැනුමක්වත් ඇත. එනමුත්, කවි ලියන්න ඔබ කැමති නම්, මුලින්ම ප්‍රසිද්ධ කවියන්ගේ කවි හොඳින් කියවා බැලීම සුදුසු විය හැක. මෙමගින් කවි ලිවීමේදී අදාළ වන විවිධ මූලධර්ම තේරුම්ගැනීමටත්, ඔබේ වාග් මාලාව තවත් පුළුල් කරගැනීමටත් හැකි වේ. කියවීමට කවි තෝරාගනිද්දී, තෝරා බේරා කටයුතු කිරීමේ වැදගත්කම ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. මන්ද පිළිකුල්සහගත හෝ පහත් අදහස් ඇති කවි කියවීමෙන් ඔබේ මනස දූෂ්‍ය කරගැනීම නුවණට හුරු දෙයක් නොවන බැවිනි. (පිලිප්පි 4:8, 9) ඇත්තෙන්ම ඉගෙනගැනීමට හොඳම ක්‍රමය වන්නේ පැන්සලක් සහ කඩදාසියක් ගෙන ලිවීමට උත්සාහ කිරීමයි.

කල් යත්ම, ඔබට ඔබේ පවුලේ සාමාජිකයන්ගේ සහ මිතුරන්ගේ වින්දනය පිණිස කවි රචනා කිරීමට හැකි වනු ඇත. අසනීපයෙන් සිටින කෙනෙකුට සුවය පතා හෝ වෙන යම් කෙනෙකුට ඔබේ කෘතඥතාව පළ කරමින් කාඩ්පතක් යවද්දී, කවියක ආකාරයෙන් ඔබේ අදහස් පළ කිරීම හොඳ අදහසක් විය හැක. කවිය දිග හා දක්ෂ ආකාරයකින් නිමවූ එකක් වීමට අවශ්‍ය නැත. ඔබේ හදවතෙහි තිබෙන දේ ප්‍රකාශ කිරීමට පේළි කිහිපයක් සෑහේ. ඇත්තෙන්ම මෙවැනි කවියක් රචනා කිරීම ඔබට ආස්වාදයක් සහ යම් තෘප්තියක් ලබා දෙයි. එපමණක්ද නොව, එම කාඩ්පත ලබන්නාද ඉන් මහත් සතුටක් භුක්ති විඳින බව නිසැකයි. විශේෂයෙන්ම ඔබේ සිතුම් පැතුම් ඉතා අලංකාර ලෙස මෙන්ම හදවතින්ම ප්‍රකාශ කිරීමට සෑහෙන වෑයමක් දරා ඇති බව ඔහුට හෝ ඇයට තේරෙද්දී ඔවුන් එය මහත් සේ අගය කොට සැලකිය හැක.

හොඳ කෑමක් පිළියෙළ කිරීමට දක්ෂ කෝකියෙකු වෙන්නම අවශ්‍යද? නැත. ඒ වගේම කවි ලිවීමට ඔබ ශ්‍රේෂ්ඨ පඬිවරයෙකු වීමටද අවශ්‍ය නැත. කෙසේවෙතත් ඔබේ පැත්තෙන්ම වෑයම, අඛණ්ඩ උත්සාහය අවශ්‍යය. ඒත් සමඟම හැඟීම් නිදහසේ ගලා ඒමටත්, පරිකල්පන ශක්තිය අවදි වීමටත් ඉඩ දිය යුතුය. එවිට ඔබ තුළ සැඟවුණු කවි ලිවීමේ කුසලතාව ඉස්මතු විය හැක! ඇත්තෙන්ම වචනවලින් ඔබ අඳින පින්තූරය සියලුදෙනාගේම පාහේ පුදුමයට හේතුවක් විය හැක.

[පාදසටහන්වල]

a හයිකු පිළිබඳව දැනගැනීමට 1989 ජනවාරි 8 පිබිදෙව්! සඟරාව (සිංහලෙන් නැත) කියවා බලන්න.

b පිබිදෙව්! භාෂා 83කින් පරිවර්තනය කෙරේ. එමනිසා, මෙම ලිපියෙහි කවි සඳහා නිදසුන් වශයෙන් බයිබලය යොදාගැනීමට තීරණය කර ඇත.

[21වන පිටුවේ පින්තූරය]

හෙබ්‍රෙව් ලියවිල්ලෙහි සෑහෙන කොටසක් කවි ලෙස නිමවා ඇත