Skip to content

පටුනට යන්න

සියලුම ආගම් මඟ පෙන්වන්නේ දෙවි වෙතටද?

සියලුම ආගම් මඟ පෙන්වන්නේ දෙවි වෙතටද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

සියලුම ආගම් මඟ පෙන්වන්නේ දෙවි වෙතටද?

“ඇත්තටම මුළු විශ්වයටම ඉන්න එකම දෙවියන් තමන්ව නියෝජනය කිරීමට එකම එක ඇදහිලි ක්‍රමයක් තෝරාගෙන තියෙනවා කියන එක මට නම් අදහාගන්න බැහැ” කියා මාකස් බොර්ග් නමැති ගත් කතුවරයා සඳහන් කළේය. නොබෙල් සාම ත්‍යාගලාභී ඩෙස්මන් ටුටූ පැවසුවේ, “ඇදහිල්ල නමැති අභිරහස පිළිබඳව සම්පූර්ණ සත්‍ය අවබෝධය තිබෙනවායයි එකම ආගමකටවත් කියන්න බැහැ” කියායි. “ජෝටො මොත්, ටෝටො පොත්” යනු සුප්‍රසිද්ධ හින්දු සංකල්පයක්. එහි තේරුම නම් සියලු ආගම් එකම ඉලක්කයක් කරා ගමන් කරන විවිධ මාර්ගයන් යන්නයි. මෙම සංකල්පය ඇතැම් බෞද්ධයෝද විශ්වාස කරති. සියලුම ආගම් මඟ පෙන්වන්නේ දෙවි වෙතටයි යන්න මනුෂ්‍යයන් මිලියන ගණනකගේ විශ්වාසය වී තිබේ.

“සියලු ආගම්වලට තිබෙන්නේ එකම ඉලක්කයක්. වෙනත් ආකාරයකින් පවසනවා නම් ආගම් සියල්ල සත්‍යයට යන එක හා සමාන මාර්ගයන් හෝ එකම ඉගැන්වීම්” කියා ඉතිහාසඥ ජෙෆ්රි පාරින්ඩර් පවසයි. ඇත්තෙන්ම විවිධ ආගම්වල ඉගැන්වීම්, පූජා විධි සහ දෙවිවරු අතර යම් සමානකම් දක්නට තිබේ. බොහෝ ආගම්වල ප්‍රේමය විදහාපෙන්වන්න කියා පවසන අතර මිනි මැරීම, සොරකම සහ බොරු කීම වැරදි දේවල් කියා උගන්වයි. එමෙන්ම සමහර ආගමික කණ්ඩායම් අන් අයට උපකාර කිරීමට අවංක වෑයමක් දරයි. මේ අනුව ගත් කළ යම් පුද්ගලයෙකු තම විශ්වාසයන් අනුව කටයුතු කරමින් යහපත් ජීවිතයක් ගත කරනවා නම් ඔහුගේ ආගම කුමක්ද යන කාරණයෙහි එතරම් වැදගත්කමක් තිබේද? නැතහොත් සියලුම ආගම් මඟ පෙන්වන්නේ දෙවි වෙතටද?

අවංකකම විතරක් ප්‍රමාණවත්ද?

පළමු ශතවර්ෂයේ ජීවත් වූ පාවුල් ලෙස ප්‍රකටව සිටි, පසුව ක්‍රිස්තියානි ප්‍රේරිතයෙක් බවට පත් වූ සාවුල් නමැති යුදෙව් මිනිසා ගැන සලකා බලන්න. ඔහු යුදෙව් ආගමට ඉතාමත් ලැදි වූවෙකි. මෙම ලැදිකම නිසාම ඔහු ක්‍රිස්තු අනුගාමිකයන්ගේ ධර්මය වැරදියයි සිතූ අතර ඔවුන්ගේ නමස්කාරය අතුගා දැමීමට කටයුතු කළේය. (ක්‍රියා 8:1-3; 9:1, 2) නමුත් තමන් මෙන් අන් අයත් ආගමට තිබෙන ලැදියාව නිසා දෙවි කෙරෙහි ජ්වලිතයක් දැක්වුවත්, සම්පූර්ණ දැනුමක් නැති නිසා ඔවුන්ගේ නමස්කාරය වැරදි විය හැකි බව දෙවිගේ දයාව මගින් සාවුල් තේරුම් ගත්තේය. (රෝම 10:2) සාවුල් දෙවිගේ කැමැත්ත සහ දෙවි කටයුතු කරන ආකාරය ගැන ඉගෙනගත් පසු කලින් ඔහු විසින් පීඩා කරන ලද යේසුස් ක්‍රිස්තුස්ගේ අනුගාමිකයන් සමඟ නමස්කාරයේද හවුල් විය.—1 තිමෝති 1:12-16.

කෙනෙකුට තෝරාගැනීම සඳහා ඇදහිලි ක්‍රම දහස් ගණනක් තිබෙනවා කියාත් අප කුමන ඇදහිලි ක්‍රමයක් තෝරාගත්තත් එය දෙවි පිළිගන්නවා කියාත් බයිබලයේ ලියා තිබෙනවාද? මෙහිදී, නැවත නැඟිටුණු යේසුස් ක්‍රිස්තුස්ගෙන් ප්‍රේරිත පාවුල්ට ලැබුණ උපදෙස්වලින් ඥානාලෝකයක් ලබාගත හැක. යේසුස් ඔහුට මෙසේ උපදෙස් දුනි. සියලු ජාතීන්ව ‘අන්ධකාරයෙන් ආලෝකයටද සාතන්ගේ බලයෙන් දෙවියන් වෙතට හරවාගැනීම සඳහා ඔවුන්ගේ ඇස් පහදවන්න.’ (ක්‍රියා 26:17, 18) මෙයින් එක් දෙයක් පැහැදිලි වේ. එනම් අප තෝරාගන්නා ආගම වැදගත්කමක් උසුලන බවය. පාවුල් දේශනා කළ බොහෝ මනුෂ්‍යයන්ට තමුන්ටම කියා ආගමක් දහමක් තිබුණි. නමුත් ඔවුන් සිටියේ ‘අන්ධකාරයේය.’ ඇත්තෙන්ම සියලුම ආගම් සදාකාලික ජීවිතයට සහ දෙවිගේ අනුමැතිය ලැබීමට මඟ පෙන්වනවා නම් යේසුස් තම අනුගාමිකයන්ට භාර දුන් ගෝලයන් සෑදීමේ කාර්යය සඳහා ඔවුන්ව පුහුණු කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැත.—මතෙව් 28:19, 20.

යේසුස්ගේ ප්‍රසිද්ධ කන්ද උඩ දේශනාවේදී ඔහු මෙසේ පැවසීය. “පටු දොරටුවෙන් ඇතුල්වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.” (මතෙව් 7:13, 14) ඇත්තේ ‘එකම ඇදහිල්ලක්’ බව බයිබලයේ පැහැදිලිවම පවසයි. (එපීස 4:5, නව අනුවාදය) ‘පළල්’ පාරේ යන බොහෝ දෙනාටත් ආගමක් තිබේ. නමුත් ‘එකම [සැබෑ] ඇදහිල්ල’ ඔවුන් සතු නැත. තිබෙන්නේ එකම එක සැබෑ නමස්කාරයක් පමණක් නිසා එය සෙවීමට ආශාවක් දක්වන අය ඒ සඳහා වෑයමක් දැරිය යුතුයි.

සැබෑ දෙවිව සොයන්න

මනුෂ්‍යය ඉතිහාසය ආරම්භයේදීම ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේ කුමක්ද කියා දෙවි මනුෂ්‍යයාට දැනුම් දුන්නේය. (උත්පත්ති 1:28; 2:15-17; 4:3-5) අදදින දෙවි කරන ඉල්ලීම් පැහැදිලිව බයිබලයේ විස්තර කර තිබේ. මෙතුළින් පිළිගත හැකි නමස්කාරය සහ පිළිගත නොහැකි නමස්කාරය අතර ඇති වෙනස සොයා බැලීමට අපට හැකියාවක් ලැබෙයි. (මතෙව් 15:3-9) සමහරෙකුට තම ආගම පරම්පරාවෙන් උරුම වී තිබේ. තවත් සමහරෙකු සමාජයේ බහුතරය පිළිගන්න දේ තෝරාගනී. බොහෝදෙනෙකුගේ ආගම කුමක්ද කියා තීරණය වීමට ඔවුන් ඉපදුණු වකවානුව සහ ඉපදුණු ස්ථානය බලපෑමක් වී තිබේ. කාරණය කුමක් වුවත් ඔබ තෝරාගත යුතු ආගම ඉබේම තීරණය වීමට හෝ වෙනයම් කෙනෙකු විසින් එය තීරණය කිරීමට ඔබ ඉඩ දෙනවාද?

ඔබ ඔබේ ආගම තෝරාගත යුත්තේ ප්‍රවේශමෙන් ලියවිලි පරීක්ෂා කර බලා සියලුම තොරතුරු සැබෑ බවට ඔප්පු වීමෙන් අනතුරුවයි. පළමු ශත වර්ෂයේ සිටී සමහර උගත් පිරිස් පාවුල් කිවූ දේ ඔහු කිවූ පමණින්ම විශ්වාස නොකළේය. ඔවුන් ‘කාරණා මෙසේදැයි දැනගන්නා පිණිස දවස්පතා ලියවිලි පරීක්ෂා කළේය.’ (ක්‍රියා 17:11; 1 යොහන් 4:1) ඔබත් එලෙස නොකරන්නේ මන්ද?

විශ්වයේ දෙවියන් සැබෑ ලෙස තමන්ට නමස්කාරය පිදීමට කැමති අයව සොයනවා කියා බයිබලයේ පවසයි. ඒ ගැන යේසුස් පැහැදිලි කළ ආකාරය යොහන් 4:23, 24හි මෙසේ වාර්තා කර තිබේ. ‘නුමුත් සැබෑ නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාට නමස්කාර කරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියා තමන්ට නමස්කාර කරන්නන් වන පිණිස එබඳු වූවන් සොයයි. දෙවි ආත්මයක්ය. ඔහුට නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කළ යුතුයි.’ අපේ පියවූ දෙවිට පිළිගත හැකි වන්නේ ‘තමන් ඉදිරියෙහි පිරිනමන පිරිසිදු වූ නොකිලුටු වූ භක්තියයි.’ (යාකොබ් 1:27) ජීවනයට යන පටු පාර සොයන මිලියන ගණන් අයට දෙවි ආශීර්වාද කර තිබේ. ඔහු සදාකාලික ජීවිතය ලබා දෙන්නේ පටු පාර සෙවීමට අවංක වෑයමක් දරා ඒ මාර්ගයේ දිගටම ගමන් කරන අයට පමණයි.—මලාකි 3:18.